![]() ![]() |
||
පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්:එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය
1943 වසරේ දී චිත්‍රකලා ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරමින් සංවිධාන ගත වූ හා ක්‍රියාකාරී වූ ’43 කණ්ඩායම’ මෙරට දෘශ්‍ය කලාවේ පමණක් නොව පොදුවේ සංස්කෘතිකමය වශයෙන් ද තබන ලද වැදගත් පියවරකි. එම කලා ශිල්පීහු නවීකාරක වූවා සේම අතීත කලාව වෙත හරයාත්මක ගෞරවයක් ද දැක්වූහ. ඔවුහු ඉදිරිගාමී දෘෂ්ටියකින් කටයුතු කළා සේම සාම්ප්‍රදායික සිතුවම් කලාවේ ගැඹුරු හා පෘථුල බව ද වටහා ගත්හ. එම කලා ව්‍යාපාරය ශ්‍රී ලාංකේය නූතනවාදී කලාවේ දී දේශීයත්වය නූතනවාදීව ගළපා ගැනීමට උත්සාහ ගත් පදනම් අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ ද එබැවිනි. දේශීයත්වය යනු අතීත සම්ප්‍රදායන් දෙස හුදු ජනප්‍රිය ආකාරයෙන් බැලීම හෝ එහි අංග මෝස්තරාකාරව එක් කිරීම හෝ නොවේ. එය වර්තමාන මොහොතක ගැබ්ව පවතින එහි ඓතිහාසිකමය අර්ථය නවීකාරකව තේරුම් ගැනීමකි. එල්. ටී. පී. මංජු ශ්‍රී නමැති ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී චරිතය සමීපව කියවීම තුළ අද දවසේ ද කලාව පිළිබඳව උදාකර ගත යුතු අදහස් සමුදාය පිරිපහදු කර ගැනීමට අවස්ථාව සැලැසේ.
ඔහුගේ නෙත නොගැටුණු මහනුවර අවදියට අයත් බිතු සිතුවමක් නොවූ තරම්ය. කඩදාසියක් මත ඔහුගේ පැන්සල් රේඛාවෙන් පිටපත් නොවූ සාම්ප්‍රදායික බිතු සිතුවමක් ද නොවූ තරම්ය. මහනුවර සම්ප්‍රදායට අයත් විහාර සිතුවම්වල රූපිත අංග වෙන වෙනම සවිස්තරාත්මකව ඔහු විසින් චිත්‍රමය සටහන්වලට ගෙන ඇත. ස්පර්ශ සංස්කෘතික උරුමය, උරුම සංරක්ෂණය ආදි විෂයයන් යුනෙස්කෝ ආයතනයට අනුව මෑත දී වඩාත් සාකච්ඡාවට බඳුන් වන අතර මංජු ශ්‍රී තනි පුද්ගල චරිතයක් ලෙස ආත්මීය බැඳීමෙන් ක්‍රියාකාරී වූයේ එකී ක්‍රියාවන් සම්බන්ධවය. මංජු ශ්‍රී විසින් චිත්‍රමය ලෙස පිටපත් කරන ලද බිතුසිතුවම් රේඛා සටහන් සංගෘහිත ග්‍රන්ථයක් ඔහුගේ හැත්තෑ පස් වැනි ජන්ම දිනය සැමරීම වස් ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම ග්‍රන්ථයේ හැඳින්වීම තුළ දී මංජු ශ්‍රීව සඳහන් කරනුයේ ඊට වසර හැටකට පළමුව එම සිතුවම් වෙතට ඔහුගේ සිත ඇදී ගිය බවකි. එනම් ඔහු දහතුන් හැවිරිදි විය ගෙවූ 1915 දී පැවිදි වියට ඇතුළු වූ පසු ඒ සඳහා සිත් යොමු වූ බවයි. 1932 වසරේ දී තමා චීන භාෂාව හා මහායාන දර්ශනය ඉගෙන ගැනීම සඳහා රවීන්ද්‍රනාථ තාගෝරයන්ගේ ශාන්ති නිකේතනයට ගිය නමුත් එහිදී සිත්තරුන් හා ඔවුන්ගේ වැඩ දුටු විට තමා ද චිත්‍ර කලාවට පෙලඹුණු බව ඔහු සඳහන් කරයි. 1934 දී කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අතර එම අවස්ථාවේදී බිතුසිතුවම් කීපයක් පිටපත් කළ බවක් එම සිතුවම් ශාන්ති නිකේතනයේ දී ප්‍රදර්ශනය කළ බවත් එහි එක් බිත්තියක තාගෝර්ගේ සිතුවම් හා අනෙක් බිත්තියේ ඔහුගේ සිතුවම් පමණක් එල්ලා තිබූ බවත් ඉහත “හැඳින්වීමේදී” ඔහු සඳහන් කරයි.
1950 දී ඔහුගේ ජීවිතයේ රූපාන්තරමය වෙනසකට බඳුන් විය. එනම් චිත්‍ර ශිල්පියෙකු ලෙස උපැවිදි ජීවිතයට එළඹීමයි. 43 කණ්ඩායමේ සිත්තරුන්ගේ එකතුව නිරූපණය කරමින් ඔබ්‍රි කොලට් (1920 - 1992) සිත්තරා විසින් දිය සායම් මාධ්‍යයෙන් අඳින ලද සිතුවමේ දී මංජු ශ්‍රී දැක්වෙනුයේ භික්ෂු චරිතයක් වශයෙනි. ඔහුට ඔහුගේම ජීවිත භූමිකා දෙස පිටස්තරව දැකීමේ ‘ඇස’ චිත්‍ර කලාව විසින් උදාකර දී තිබිණි.
බොරැල්ල ගෝතමි විහාරයේ බිතුසිතුවම් ජෝර්ජ් කීට් විසින් සිදුකරන අතර තුර එහි සැරසිලි කලා මංජු ශ්‍රී විසින් සිදු කරනු ලැබීය. 1945 දී මුල්ම ඒක පුද්ගල චිත්‍රකලා ප්‍රදර්ශනය ඉදිරිපත් කළ මංජු ශ්‍රී විසින් 1947 සිට 1949 දක්වා ලන්ඩන්, වියානා ආදි යුරෝපීය නගරවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වන ලදී. 1979 වසරේ දී මැග්සේසයි සම්මානය මංජු ශ්‍රී සිත්තරාට හිමි වූ අතර 1981 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලදී. හතළිහ දශකය අග දී යුරෝපීය කලා ප්‍රදර්ශනවලින් ඉක්බිතිව ඔහුගේ ජිවිතය යොමු වනුයේ පුවත්පත් කලාව වෙනුවෙනි. ඒ අතරතුර දී විටින් විට අග නගරයේ දී චිත්‍ර ප්‍රදර්ශන ඉදිරිපත් කරන ලදී. ඔහුගේ දියණිය මණ්ඩලිකා මංජු ශ්‍රී සහ පුත් කුෂාන් මංජු ශ්‍රී ද චිත්‍ර කලාවේ නියැළී සිටිති. ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මැතිදුන්ගේ ආරාධනයෙන් ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ ඔහු විසින් මෙරට චිත්‍ර කලාව අරබයා හරවත් ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් මෙම පුවත්පත මඟින් ම ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙරට දෘශ්‍ය කලාවේ පෝෂණය උදෙසා ‘සිළුමිණ’ මඟින් ඉටුකරන ලද ‘ඉතිහාසමය’ මෙහෙවර ද මෙරට නූතනවාදී කලාව සමඟ මෙම පුවත්පත පැවති සබඳතාවය ද පසක් වේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |