පුවත් සඟරාකරණයට ලාංකික හැඩරුවක් දුන් ගාමිණි

පුවත්
සඟරාකරණයට
ලාංකික
හැඩරුවක් දුන් ගාමිණි
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පළවන ‘දෙසතිය’, මෙරට ප්‍රථම සහ එකම පුවත්
සඟරාව (News MAGAZINE) ලෙස හඳුන්වා දිය හැකිය.
එතෙක් අප රටේ පැවතුණේ බෙහෙවින් ම ගතානුගතික වූ ‘ශ්‍රී’, ‘රසවාහිනි’ වැනි
සඟරා ගොන්නකි. මේ අතරින් ‘රසවාහිනි’ කිසියම් ප්‍රමාණයකට ශාස්ත්‍රීය මට්ටමක
තිබූ බව සැබෑය.
‘පුවත් සඟරා’ යනු කිසියම් කාලීන පුවතක පසුබිම් විවරණයයි. ටයිම්, නිවුස් වීක්,
ඉන්ඩියා ටුඩේ, ෆ්රන්ට් ලයින් වැනි ඇමෙරිකානු හා ඉන්දීය මාදිලිය මෙහිදී මෙහිදී
‘දෙසතියට’ පූර්වාදර්ශ වූ බව පෙනේ. ‘දෙසතිය’ සංකල්පය එවක ජනමාධ්‍ය
අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය සරත් අමුණුගමගේය. ඔහු දෙසතියේ ප්‍රධාන
සංස්කාරක විය. මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූද, නිර්මාණශීලි ලේඛකයකු හා
ප්‍රඥා සම්පන්න කලා විචාරකයකු වූද සිරිල් බී. පෙෙර්රා ‘දෙසතිය’ සමාරම්භක
සංස්කාරක ධුරය දැරුවේය. ගාමිණි විජේතුංග ‘දෙසතියට’ සම්බන්ධ වූයේ විශේෂාංග
රචකයකු වශයෙනි. ඒ ආරම්භයේ සිටමය.
ටික කලෙකින් ගාමිණි ‘දෙසතියේ’ සංස්කාරක තනතුරට පත් වූයේය. එවක ඔහු
ගුවන්විදුලි විචිත්‍රාංග පිටපත් රචකයකු, ගීත රචකයකු හා චිත්‍රපට ප්‍රචාරක
දැන්වීම් පිටපත් රචකයකු වශයෙන් බහුවිධ කෞශල්‍යයක් පාමින් සිටියේය.
විශේෂයෙන් ගුවන් විදුලි පිටපත් රචනයෙහිලා ගාමිණි භාවිතා කළ භාෂා ශෛලිය ඔහු
පුවත්පත් ලේඛනයට ද ගෙන ආ ආකාරය දිස්වෙයි. ගාමිණි, සිරිල් බී. පෙරේරා මෙන් ම
පුවත්පත් භාෂාව නවීකරණය විය යුතුය යන මතවාදයේ දැඩිව පිහිටා සිටියෙකි. මා
වරක් ‘රාවය’ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකදි ගාමිණි මෙසේ කියා සිටියේය.
“අපේ පුවත්පත් කලාව තවමත් තිබෙන්නේ බර කරත්ත යුගයේ. පුවත්පත් භාෂාව ම අරන්
බලන්න. ඒක කොයිතරම් ගතානුගතික ද? භාෂාවේ කන්‍යාභාවය රකිමින්
පුවත්පත්කලාව ඉදිරියට ගෙනියන්න බෑ. (රාවය - 1991 අප්‍රේල් 14) ගාමිණි
‘දෙසතිය’ සඳහා අගනා කවරයේ කතා රැසක් ලීවේය. ඉන් කීපයකට මට ද සම්මාදම් වන්ට
ලැබීම ආපසු හැර බලද්දි මා සලකන්නේ භාග්‍යයක් ලෙසිනි. මර්සලිනු ජයකොඩි පියතුමා,
මනමේ 25 වැනි සැමරුම වැනි කවරයේ කතා මේ අවස්ථාවේ මගේ මතකයට නැඟෙන කීපයකි.
ආචාර්ය අමුණුගමගේ නිරන්තර විපරම ‘දෙසතියට’ තිබිණි. වරක් ගාමිණි ආසියාන්
සංවිධානය අලළා ලියූ කවරයේ කතාව අමුණුගම මුළුමනින්ම වෙනස් කළේය. එවිට ගාමිණි
ඔහුගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් තවත් කවරයේ කතාවක් ලීවා මට මතකය.
ගාමිණිගේ වඩාත් කැපී පෙනුණේ ඔහු ලිපි සඳහා යෙදූ අගනා සිරස්තලය. ඒවා අතිශය
නිර්මාණශීලී වූයේය. ඉක්මන් නත්තලකට ඉදෙන තැචර් පුඩිම, ආඬි හත්දෙනාගේ ඔපෙක් කැඳ
හැලිය, නාඬන් හිරමනේ පොල් මිල වැඩියි අද, කිරි සුවඳේ දැවටෙන මල් හීසර (ළමා විවාහ
ගැන වූ ලිපියකට) වැනි ශිර්ෂ පාඨ මේ අවස්ථාවේ මා සිහියට එයි.
ගාමිණි වරක් උපාලි ජයවර්ධන ගැන මාහැඟි කවරයේ කතාවක් ලීවේය. එය උපාලි තමන්ගේ ම
පුවත්පත් ආයතනයක් ගොඩනැංවීමට මුල පුරමින් සිටි කාලයකි. ගාමිණි ලියූ ලිපිය
කෙරෙහි උපාලි කෙතරම් පැහැදුණේ ද කිවහොත් තමා ඇරඹීමට සූදානම්ව සිටි පුවත්පත්
සමූහයේ ප්‍රධාන කර්තෘ ධුරය සඳහා පළමු ආරාධනාව කළේ ගාමිණිටය. එහෙත් අවදානම්
භාර ගැනීමට ගාමිණි දැක්වූ නිසඟ බිය හේතුවෙන් ඒ අවස්ථාව අවාසනාවන්ත ලෙස වැළකී
ගියේය. රජයේ විශ්‍රාමික රැකියාවක් අතැර පෞද්ගලික අංශයේ වෘත්තියකට යාම මහත්
අවදානම් සහගත ක්‍රියාවක් ලෙස ඔහු කල්පනා කළා විය යුතුය. මෙ කරුණ දන්නේ මා ද
ඇතුළු ආචාර්ය අමුණුගම, ගාමිණි ළඟින් ම සිටි ‘දෙසතිය’ රූ රටා සැලසුම් ශිල්පි
ඩබ්.එම්.කේ. විජයබණ්ඩාර වැනි ස්වල්ප දෙනකු පමණි. පසුව ඒ සුපිරි අවස්ථාව හිමි
වූයේ ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී එඩ්මන්ඩ් රණසිංහයන්ටය.
ගාමිණි නව පරපුරකට නොමසුරුව අතදුන් සංස්කාරකවරයෙකි. පසුකලෙක වෘත්තිමය
වශයෙන් මහේස්ත්‍රාත්වරයකු වූත් සාහිත්‍ය කලා විචාරකයකු වූත් සමන්
වික්‍රමාරච්චි, ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, අද ‘දෙසතිය’ සංස්කාරක ධුරය දරන
සුමිත් මායාදුන්නේ, ක්‍රීඩා ලේඛක සරත් ජයසිංහට මෙන් ම පෞද්ගලිකව මට ද ගාමිණි
දුන් අනුග්‍රහය කෘතඥතා පූර්වකව සිහිපත් කළමනාය. (එකල ‘දෙසතියේ’ සාහිත්‍ය
අතිරේකය සංස්කරණය කරන ලද්දේ මවිසිනි.)
‘දෙසතියේ’ සිටියදි ගාමිණි සිනමා ලේඛනයේත් විචාරයේත් යන දෙකේ ම යෙදුණේය.
‘තුන්වැනි යාමය’ චිත්‍රපටය තිරගත වූ අවස්ථාවේ ගාමිණිත් මමත් එක්ව එහි අධ්‍යක්ෂ
ධර්මසිරි බණ්ඩාරනායක සමඟ සම්මුඛ සාකච්ඡාවක් කොට ලිපියක් සකස් කළෙමු. ‘මගේ
චිත්‍රපට ශිල්පීය හරඹ වෙන්නේ නුඹලාට’ යන සිරස යටතේ පළවූ ඒ ලිපිය එකල ක්ෂේත්‍රයේ
මහත් කතාබහකට ලක්වූයේය. එම ලිපිය නිසා ධර්මසිරි කාලයක් අප දෙදෙනා සමඟ
අමනාපව සිටියේය.
තුන්වැනි යාමය, කලියුගය, යුගාන්තය, විරාගය, සාගර ජලය, දඩයම, පාරදිගේ ගාමිණි
දෙසතිය ට ලියූ සිනමා විචාර අතරින් කීපයකි.
දෙසතියට සම්බන්ධ වන්ට පෙර ගාමිණි දීපශිඛා, පරසතු, විකසිත පරසතු වැනි සිනමා
පුවත්පත්වලට විශේෂාංග ලිපි ලියා සිනමා පුවත්පත්කරණය ගැන ප්‍රමාණික
අත්දැකීම් රැසක් ලබා තිබිණි. ඔහු දීපශිඛා පත්‍රයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,
ස්වර්ණා මල්ලවආරච්චි යන අය සමඟ කළ සංවාද එකල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.
සිනමා විචාරකයකු වශයෙන් ගාමිණි ඔහුගේ සමකාලීනයන් සමඟ සලකා බලනවිට
සුවිශේෂ වූයේ අන්තර්ජාතිකව වර්ධනය වන නව විචාර විඥානයෙන් (විශේෂයෙන්
පශ්චාත් නූතනවාදී සංකල්පවලින්) නොමඳව පෝෂණය වූවකු වන බැවිනි. ගාමිණි ලියූ
සිනමාව, සංස්කෘතිය හා මතවාදය සිංහල සිනමාවේ ශෘංගාර කලාපය (දර්ශන ලියනගේ සමඟ)
වැනි සිනමා පොත් ඊට සාක්ෂ්‍ය සපයයි.
පුවත්පත් කලාව සම්බන්ධයෙන් ද එසේමය. ඔහු ඉංග්‍රිසි පොත් කියැවීමෙන් හා
ශිෂ්‍යත්ව ලබා විදෙස් රටවලට ගොස් පත්‍රකලා දැනුම ප්‍රගුණ කර ගත‍්තේය. ඔහු
කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ලියූ පර්යේෂණාත්මක
නිබන්ධය (ශ්‍රී ලංකාවේ පුවත්පත් අයිතිය සහ දේශපාලන සන්නිවේදනය) එකී විෂය
අරභයා එතෙක් මෙතෙක් ලියැවුණු විශිෂ්ටතම න්‍යායාත්මක ප්‍රකාශනය ලෙස විද්වත්
සැලකිල්ල ලබයි.
‘දෙසතියෙන්’ විශ්‍රාම ගිය පසු ගාමිණි ‘මාතොට’, ‘සංවාද’ යන සඟරා දෙක සංස්කරණය
කළේය. ‘ඉරිදා’ ඔහුෙග් කර්තෘත්වයෙන් පළවූ පුවත්පතකි.
ගීත රචකයකු වශයෙන් ද ගාමිණි දැක්වූ ප්‍රතිභාව අද්විතීයය. ‘නෑදෑයෝ’
චිත්‍රපටයේ එන ටී.ඇම්. ජයරත්න ගයන ‘ජීවිතේ අමධාරා’ නම් වූ ගීතය ඔහුගේ
පබැඳුමකි. යහළු යෙහෙළි, ආදර කතාව, සත්‍යග්‍රහණය, ජීවිතයෙන් ජීවිතයක්,
පොරොන්දුව වැනි සිනමාපටවලට ද ඔහු ගීත රචනා කර ඇත. ඉන් ඇතැම් ගී නිර්මාණ සඳහා
සම්මාන පවා දිනා ඇත. සහරාවේ සිහිනය චිත්‍රපටයේ සම තිර රචකයා ගාමිණිය. ඒ
හැරුණුකොට ජාතියේ යශෝරාවය (අනගාරික ධර්මපාල ශත සංවත්සරය) ට්‍රිබියුට් ටු
ද ප්‍රොෆසී (ඩී. ඇස්. සේනානායක සැමරුම්) ‘ලාංකික සිනමාවේ සිංහල ලකුණ (ජෝ
අබේවික්‍රම ගැන වූ) වැනි වාර්තා චිත්‍රපටවල ද තිරනාටකය ඔහුගේ ය.
ගාමිණි ස්වකීය ජීවිතයේ අවසාන භාගයේදී පමණ නවකතා පරිවර්තනකරණයට ද යොමු
වූයේ ය. පියාපතක් වන් ජීවිතයක් (මිලාන් කුන්දේරා) අර්ජුන් (සුනිල්
ගංගෝපාද්‍යය) ඔහු පරිවර්තනය කළ නවකතා දෙකකි.
චිත්‍රපට ප්‍රචාරක දැන්වීම් පිටපත් රචනයෙහිලා ගාමිණි දැක්වූ දස්කම්
විචාරවත් ඇගැයීමකට ලක් නොවීම කනගාටුවට කරුණකි. ගාමිණි මෙම කෂේත්‍රයට
පිවිසියේ ‘නිම්වළල්ල’ චිත්‍රපටයෙනි. ඔහු රැලෙක්ස් රණසිංහ සමඟ එක්ව
දුහුළුමලක්, මඩොල්දූව වැනි චිත්‍රපටවලට ප්‍රචාරක දැන්වීම් පිටපත් ලීවේය.
දුහුළුමලක් චිත්‍රපටයට ඔහු ලියූ ‘එක රැජිනට ඔටුනු දෙකක්’ අදටත් අපේ
මතකයෙන් ගිලිහී නොයන ස්ලෝගනයකි. දෑස නිසා, මංගලා, ගඟ අද්දර, චූඩා මාණික්‍ය,
හිමගිර, සාගර ජලය, සති පූජා, ගාමිණි ස්වාධීනව ලියූ චිත්‍රපට ප්‍රචාරක දැන්වීම්
පිටපත් ය. ඒවායින් ගාමිණිගේ රචනා චාතුර්යය මැනවින් පිළිබිඹු වෙයි.
1986 දී පමණ ගාමිණි, නීල්. අයි. පෙරේරා සමඟ එක්ව චිත්‍රපට විචාරක සංගමය
පණගැන්වූයේය. එහි රැස්වීම් බොහෝමයක් ම පැවතියේ ‘දෙසතිය’ කාර්යාලයේදි
බැවින් මම ද ඊට සම්බන්ධ වීමි. සිංහල සිනමාවට 40 වසරක් පිරීම නිමිත්තෙන් සිංහල
සිනමාවේ හොඳම අධ්‍යක්ෂවරුන් දසදෙනා (සිංහල සිනමාවේ දසමහා පුරුෂයෝ) තෝරන
ලද්දේ විචාරක සංගමය විසිනි.
ගාමිණි මුද්‍රිත මාධ්‍යයෙන් විද්යුත් මාධ්‍යයට විතැන් වූයේය. ඔහු රූපවාහිනි
සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) තනතුර දැරුවේය. ගාමිණි තක්කඩි රැලකගේ ගොදුරක්
වී එයින් ම මරණය ළඟාකර ගත්තේ ඒ අවදියේය. එය ඔහුගේ ස්වාධීන මාධ්‍ය ජීවිතයට ද
මහත් කැළලක් වූයේය.
කෙසේ වෙතත් ගාමිණි අපෙන් සමුගත් අවස්ථාවේ ඔහු මෙන් ම විශිෂ්ට ගණයේ පුවත්පත්
කලාවේදියකු වූ අජිත් සමරනායක අපූර්ව මරණ ස්මෘති සටහනක් ලීවේය. එහි එක් තැනක
මෙසේ ලියැවී තිබිණි.
“ගාමිණි නූතන ලෝකයේ කඩ ඉම් ආක්‍රමණය කළ අපේ පරම්පරාවේ මිනිසා විය.”
සුනිල් මිහිඳුකුල
|