1940 දී කොළඹ නගරයේ රික්ෂෝ හාරදාහක් තිබුණා

1940 දී කොළඹ නගරයේ
රික්ෂෝ හාරදාහක් තිබුණා
මුල්ම රික්ෂෝව ගෙනාවේ 1883 දි
 ආසියාවේ රටවල් අතරෙන් ප්‍රථම වරට තැපැල් ගෙන යාම සඳහා මේල් රථයක් භාවිතා කළේ
ශ්‍රී ලංකාවයි. 1832 දී ඇරඹුණු එම සේවය ගමනාගමනයේ නව පිටුවක් පෙරළමින්
මංමාවත් දියුණුවට මං සැලසුවේ ය. ඊළඟට 1864 දී දුම්රිය සේවය ස්ථාපනය කිරීම
ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ආර්ථික, සාමාජික හා සංස්කෘතික පෙරළියකට තුඩු දුන්නේය.
එහෙත් ආදියේ පටන් පැවත ආ බර කරත්ත ගමන නවතනු නොහැකි විය. දුර ධාවනය හා භාණ්ඩ
ප්‍රවාහනය බර කරත්ත මඟින් ඉටුවිය. කෙටි දුර ගමනට එනම් පාසලකට, වෙද ගෙදරට,
පොළට, මඟුලට හා දුම්රියපළට එදා යා හැකි වූයේ අද කුලී මොටෝරිය හා සමතැන්ගත්
බක්කි කරත්තයෙනි.
ගමනාගමනයේ ශීඝ්‍ර දියුණුවත් සමඟම ගම නගරයට සංක්‍රමණය විණි.
ජනාකීර්ණභාවයෙන් සංකීර්ණ වූ නාගරික සමාජය නව විලාසිතා හා නව පන්න උරුමකර
ගන්නට විය. එසේ උරුම වී සිය වසක් ඉක්ම යන්නටත් පෙර කෞතුක වස්තුවක් බවට පත්වූවකි
රික්ෂෝ රථය.
රික්ෂෝ රථය අප රටේ ආවේණික වාහනයක් නොවේ. එය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ භාවිතයට
පැමිණි අන්දම එවක ‘සිලෝන් ඔබ්සර්වර්’ පත්‍රයේ කතුවර ජෝන් පර්ගියුසන් ලියූ ‘1903
ලංකාව’ නමැති ග්‍රන්ථයේ සඳහන් වේ.
“කොළඹ නගරයේ ජනාකීර්ණ වීදි හා එහි වැසියන් නැරඹීමට හොඳම එසේම පහසු ක්‍රමයක්
වූ විදුලි ට්‍රෑම් රථ සේවයක් ඇති කිරීම දිගු කලෙක සිට අර අඳින ලද්දකි. එහෙත් ඒ
සඳහා නගරයේ එක් පසෙකින් පමණක් දිවෙන දුම්රියට අමතරව පහසු කුලියකට ගත හැකි
විවිධ වාහන අතුරෙන් ජපානයේ හා ඈත පෙරදිග භාවිත අපූර්වතම මිනිස් බලයෙන් යන
‘ජින් රික්ෂෝ’ රථද වෙයි.
කොළඹ, නුවර හා නුවරඑළිය ආදී ලංකාවේ නගරවල විශේෂයෙන් ජනප්‍රිය වී තිබෙන
රික්ෂෝ රථ 1884 දී බහුල වශයෙන් ධාවනය සඳහා යොදවන ලද්දේ චීනය, ජපානය ආදී රටවල
රික්ෂෝ භාවිතය දැක එය විශේෂයෙන් කොළඹ නගරයට ගැළපෙන බව පෙන්වා දෙමින් කළ
යෝජනාවක ප්‍රතිඵල වශයෙනි. හොංකොං හි පුරවැසියෙකුව සිටි විටෝල් මහතා විසින්
මීට ටික කලෙකට පෙර ප්‍රථම රික්ෂෝ රථය මෙහි ගෙන්වූ නමුත් ලිපි මඟින් අවධානය යොමු
කරවන තුරු ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන ලදී.”
ජේම්ස් විටෝල් විසින් 1883 මැයි මාසයේදී ප්‍රථම රික්ෂෝ රථය ශ්‍රී ලංකාවට ගෙනා බව
1885 ලංකා වාර්ෂික ග්‍රන්ථයේ දැක්වේ.
පසුව කුලියට යොදවන රථවලට අමතරව සමාජයේ ප්‍රභූවරු සිය පෞද්ගලික ප්‍රයෝජනය
සඳහා ඒවා මිලදී ගන්නට වූහ. ඇතැම් ප්‍රභූ පවුල් රික්ෂෝ රථ කිහිපයක් තමන් සතුව
තිබීම ගෞරවයක් කොට සැලකූහ. මේ හේතු නිසා විටෝල් සමාගමට අමතරව දොන් කරෝලිස්
සමාගම හා කාර්ගිල්ස් සමාගම ද ජපානයෙන් රික්ෂෝ ගෙන්වා අලෙවි කරන්නට විය. පසුව
දොන් කරෝලිස් සමාගම ඒවා මෙහි ම තනන්නට විය.
මුල් අවදියේ රික්ෂෝ රථ මෙන්ම රියකරු ද අතිශය ප්‍රිය උපදවන දර්ශනයක් විය. රිය
සැදූ ලීය මෙන්ම ඒ මත සවිකොට දිලිසෙමින් තිබූ පිත්තල තහඩු, ආසනය සැකැසූ විල්ලුද
රෙදි, වහලෙන් එල්ලූ මුතු පොටවල් හා රිය සක බැඳි මිණි ගෙඩි එය දෙව්ලොවින් බට
වාහනයක් සේ අලංකාර කළේ ය. රියකරු සැරසී සිටියේ හමුදා තූර්ය වාදක නිල ඇඳුමට
සමාන ඇඟලුම්වලිනි. සුදු පැහැති දිග කලිසමක් හැඳි රියකරු ෂර්වානියක් බඳු දිග
කබායක් ඇඟලා බඳ වටා වර්ණවත් බඳපටියක් ද බැඳ සිටියේ ය. හිස පැලැඳි තලප්පාව
නිසා ඔහු ඉන්දීය රාජ සේවකයෙකුගේ ස්වරූපය ගත්තේය. ඔහුට ඇතැම් විට පසුපසින් දිව
යන අතවැසියෙක් ද සිටියේය. ඔහුගේ කාරිය වූයේ කන්දක් හමුවූ විට රිය තල්ලු
කිරීමය.
රික්ෂෝ රථ බහුලවත් ම නගර සභාව විසින් ඒවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම 1884 සිට
අරඹන ලදී. බලපත්‍ර නිකුත් කිරීම භාර වූයේ නාගරික පශු වෛද්‍යවරයාටය. රථයේ
සුදුසුකම් මෙන්ම රියැදුරුගේ තත්ත්වයද ඒ සඳහා සැලකිල්ලට ගනු ලැබිණි. රික්ෂෝ
රථ ගමනාගමනය සඳහා කුලී ගාස්තු නියම කිරීමද නගර සභාව විසින් ඉටු කරන ලදී. එහෙත්
එසේ නියමිත ගාස්තුව නිශ්චිත වශයෙන් අය කරන ලද්දේදැයි සැක සහිතය.
එවක නිකුත් කළ නිල පත්‍රිකාවක රික්ෂෝ කුලිය සටහන් වී තිබූ අන්දම මෙසේය. ඊට
අත්කරත්ත යනුවෙන් ද නම් කැරිණ.
අත්කරත්ත කුලිය
මිනිත්තු 10කට වැඩි නොවන කාලයක ශත-10
පැය භාගයකට වැඩි නූන මිනිත්තු 10කට වැඩි කාලයකට ශත-25
පැයකට වැඩි නූන පැය භාගයකට වැඩි කාලයකට ශත-50
ඉන් පසු හැම පැය භාගයකටම ශත-10
රාත්‍රියට කුලිය
සවස 7ත් උදේ 6ත් අතරේ පැය භාගයකට වැඩිය පාවිච්චි නොකළ හෝ දහවල් කුලියට වැඩිය ශත
.05ක්ද, පැය භාගයකට වැඩිය පාවිච්චි කළේ නම් දවාලට නියම වූ කුලියට වැඩිය ශත 10ක්
ද අය කළ යුතුයි.
ගමනේ දුර ප්‍රමාණයට වඩා ගමනට ගතවන කාලය අනුව නියම කළ මෙම ගාස්තු ප්‍රමාණය 1947
දී ශත 15 සිට ශත 30 දක්වා ගණනකින් වැඩි කරනලදී.
එක් කුලී රියකින් පවුල් 3ක් ජීවත් වූහ. ඒ දවස මුළුල්ලේ එක් රියකරුවෙකු දවසකට
පැය අටක් බැගින් වැඩ කිරීමෙනි.
රික්ෂෝ රථවලට ඉල්ලුම පැවති අවදියේ රියැදුරෝ එකමුතු භාවයෙන් යුතුව සංවිධානය
වී සිටියහ. ඔව්හු ජාති හිතෛෂී ඇෆ්.ආර්. සේනානායක සිරිමතුන්ගේ
ප්‍රධානත්වයෙන් පොසොන් දන්සල් පවා පැවැත්වීමෙහි සමත් වූහ. අනාථයන්ගේ මළ
සිරුරු නොමිලේ ගෙන යෑම ඔවුන්ගෙන් ඉටුවූ ඉමහත් සමාජ සේවාවෙකි.
එක් අවදියක දී රික්ෂෝ රථ 4000 ක් පමණ තිබී ඇත. රථ වාහන බහුලවත්ම 1950 වන විට ඒ
සංඛ්‍යාව 250ට බැස තිබේ. රික්ෂෝ රථ ධාවනය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විසින්
පත් කරන ලද කමිටුවේ නිර්දේශය අනුව 1950 මැයි 10 දින සිට අලුත් රික්ෂෝ රථවලට
බලපත්‍ර දීම අත්හිටුවන ලදී. 1955 වන විට එම රථ සේවාව සම්පූර්ණයෙන් අහෝසි
කිරීමට ඔව්හු බලාපොරොත්තු වූහ.
ඊට පසු ඒ වෙනුවට ට්‍රයිසෝ නැමැති පාපැදි රික්ෂෝ රථ කිහිපයක් මහමඟ ගමන් ගත්
නමුත් ඒවාට කුලී මොටෝරිය සමඟ තරග වැදීමට නුපුළුවන් විය.
සුඛෝපභෝගී ලෙස ඉහළ අසුන් අරා වැජඹුණු බලවතෙකු තවත් අහිංසකයෙකු විසින් දිවි
රැකගැනීම සඳහා ආයාසයකින් උසුලාගෙන යාම මිනිස්කමට අවමානයක් හෙයින්
රික්ෂෝව පොදු ජන සමාජය විසින් බැහැර කරන ලදැයි සිතීම යුක්ත යුක්තය.
විටෝල් සමාගම මඟින් ප්‍රථම වරට රික්ෂෝ රථ ශ්‍රී ලංකාවට ගෙනා අවස්ථාවේ සුද්දන්
ඉදිරියේ මහ කළු සිංහලයෙකු අබිමන් පෑ සැටි සමකාලීන ගත් කතුවරයෙකු වූ
හේමපාල මුනිදාස සූරීන් සිය “රසාවදානය” කෘතියේ සඳහන් කොට තිබේ.
“එහෙත් චන්ද්‍රසේකර මුදලිතුමා වූකලී අභිමානය මිස සිය ධනය උතුම් කොට සැලකූ
මිනිහෙක් නො වේ. පළමු කොටම රික්ෂෝව ලංකාවට ගෙන්වනු ලැබූ සමයේ දිනෙක එම රථ එසේ
ගෙන්වා වෙළෙඳාමට තැබීමේ යෙදුණු විටෝල් සමාගමේ වෙළෙඳ ශාලාව තුළ මුදලි තුමන්
දකින්නට ලැබිණ.
“බොලා ළඟ අර ජින් රික්ෂෝ විකුණන්නට තියෙනවයි කියන්නෙ හැබෑද?” යි මුදලි තුමා
වෙළෙඳ සේවකයෙකුව සිටි සුද්දාගෙන් විමසුවේය.
මෙය ඉංගිරිසියට නැඟී ඇසුණු පසු මුදලිතුමාගේ දෙපා රැඳි පරණ සෙරෙප්පු කුට්ටම්
හා ඉණ රැඳි නූල් ඉහිරුණු ටුවිට් රෙද්ද දෙසත්, ගත රැඳ කෙටි කළු කබාය දෙසත්, හිසේ
ගැසුණු කැස්බෑ ලෙලි පනාව දෙසත් සුද්දා සාවඥ බැල්මක් හෙලුවේය. “රික්ෂෝ එකක් මිලයට
ගන්නට ආ මිනිහගේ හැටිය” යි ඔහු තමන්ට කියා ගත්තේ ය.
“නැහැ - රික්ෂෝ නැහැ” යි සුද්දා උත්තර දුන්නේය.
“රාළහාමි, රික්ෂෝ එකක්වත් ගන්න බැරි කෙනෙක්ය කියලා හිතාගෙනයි සුද්දා ඔහොම
කියන්නේ. රික්ෂෝ ගොඩක් තියෙනවා” යයි මුදලිතුමන් අඳුනන සේවකයෙක් මෙහිදී
මුදලිඳුගේ කනට කොඳුරා කීවේය.
එය ඇසූ මුදලිතුමා කෝපාග්නියෙන් දැවෙමින් කෙළින්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා
හමුවට ගියේය.
“බොලාගේ රික්ෂෝ එකක් කීයද?” මුදලිතුමා විමසුවේය.
“රුපියල් දෙසිය පනහයි.”
“ඔක්කොම රික්ෂෝ කීයක් තියෙනවාද?”
“දොළහයි”
“දාන්නට කියාපන් රික්ෂෝ දොළහම එළියට” යැයි මුදලිතුමන් නියෝග කොට “ඉඳා, ඔක්කොම
සල්ලි ගනින්” යි කියමින් නෝට්ටු මිටියක් සුද්දාගේ මේසයට විසි කෙළේය. මෙසේ ගනු
ලැබූ මේ රික්ෂෝ දොළහ අතුරෙන් එකොළහක් කොළඹ පටන් හොරේතුඩුවේ ගංගාරාමය දක්වා
පිහිටි පන්සල් එකොළහකට එදාම පූජා කෙළේය. එකක් පමණක් මුදලිතුමන්ගේ
පරිහරණයට ඉතිරි වුණේ ය.
නුවරඑළියේ හේමපාල
|