ඔහු අද සිටියේ නම්...
ඔහු අද සිටියේ නම්...
ලේක්හවුස් හිටපු සභාපතිවරයකුවූ
ජනදාස පීරිස් මහතාගේ ගුණ සමරුව මාර්තු
17 වැනිදාට යෙදී ඇත.
මේ ලිපිය ඒ නිමිත්තෙනි. ඔහු අද ජීවත්ව සිටියේ නම් පසුගිය ජනවාරි අට වැනි දින අප රටේ ජනතාව සිදුකළ
නිහඬ විප්ලවය පිළිබඳව අමන්දානන්දයට පත් වනු නිසැකය. ඔහු ඉතා සියුම්
දේශපාලන ඉවක් තිබූ විශ්ලේෂකයකු මෙන්ම පුරෝකථකයෙක් ද විය.
එවන් එක් දිනක් විශේෂයෙන්ම මගේ මතකයට නැඟේ. ඒ 2010 සැප්තැම්බර් 09 වැනිදාය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 ඒ සංශෝධනය අලුතෙන්ම එක් වූයේ
එදිනයි. එම පුවතට සවන් දීමෙන් පසුව ඔහු මා අමතා කීවේ මෙසේ ය. “කවදා හරි බලන්න. 18
ඒ සංශෝධනය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා, ඒකෙන් පරාද වෙලා ගෙදර යන
ප්‍රථම ජනාධිපති වන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයායි” මම එදා ඔහු හා එකඟ වීමට මැළි
වීමි.
එතරම් ප්‍රබල ස්ථාවරයක සිටින අයෙක් කෙසේ නම් පරාජය වෙයි ද? “එහෙම සිතන්න එපා,
බොහෝ ප්‍රබල යයි සිතූ පුද්ගලයන් මෙන්ම රාජ්‍යයන් ද නොසිතූ මොහොතක නොසිතූ විරූ
අයුරින් ඇද වැටෙනවා”. ඔහුගේ පුරෝකථනය නිවැරැදි විය. එහෙත් එය දැකීමට ඔහු මා
සමඟ සිටියේ නැත.
ඒ දිනවල බොහෝ පිරිස් යාපනය ප්‍රදේශයේ සංචාරයෙහි යෙදුණහ. අපට ද සමහර පිරිස්
සමඟ එක්වීමට ඇරියුම් ලැබිණ. ඔහු දැඩි ස්ථාවරයක සිටියේය. “ශාප ලත් යුද්ධයක්
නිමා වූ බව ඇත්ත. එහෙත් යාපනයේ ජනතාව වෙත සැබෑ නිදහස උදා විය යුතුයි. ඔවුන්ගේ
සිත් තුළට එම නිදහස කා වැදීමට ඉඩ සැලසිය යුතුයි. ඔවුන්ගේ පෙර පැවැති සිරිත්,
ජීවන රටාව, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු යළි පණ ගැන්වීම සඳහා පූර්ණ නිදහස
හා පූර්ණ අනුග්‍රහය ඔවුනට ලැබිය යුතුයි. දෙමළ ජනතාව ද මේ රටේ ප්‍රථම පන්තියේ
පුරවැසියන් විය යුතුය.
‘‘ත්‍රස්තවාදයෙන් තොර නියම නිදහස ඔවුන් හඳුනාගන්නේ එවිටයි. කඩා බිඳ දැමුණු
ගොඩනැඟිලි, සොහොන් කොත්, ප්‍රදේශය පුරා අරක්ගෙන සිටින හමුදාව හා ගරා වැටුණු
සංස්කෘතියක් දැක බලා ගැනීමට මම එහි නොයන්නෙමි. කවදා හෝ මා යාපනය ප්‍රදේශයට
යන්නේ ඔවුන් නියම නිදහස භුක්ති විඳින දා ඔවුන්ගේ මිත්‍රයකු හැටියටයි.” ඒ එදා
ඔහු දැඩිව කියූ අයුරුය. අද එවැනි තත්ත්වයක් උදාවෙමින් තිබේ. ඒත් මා සමඟ
යාපනයට යාමට අද ඔහු නැත.
ඔහු ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව 14කි. 1971 වසරේදී එළි දැක්වූ ‘මෙලොව සියක් අවුරුදු
එහි එක් දවස’ යන ග්‍රන්ථය ඔහුගේ කුලුඳුල් නිර්මාණයයි. එය අප රටේ ප්‍රථම
අභ්‍යවකාශ නවකතාව ද වෙයි.
මෙම නවකතාවේ දෙවන මුද්‍රණයක් පළ කිරීමට ද, එහි දෙවන කොටස නවතම විද්‍යාත්මක
තොරතුරු ද අලළා ලිවීමටද ඔහු අරමුණු කර සිටියේය. එම භාග්‍යය ඔහුට අහිමි විය.
2007 වසරේ ජූලි මාසයේදී ඔහු ලියා පළ කළ ‘ජාතික ගැටලුව : ගෝත්‍රික රාජ්‍යයේ සිට
ගෝලීය රාජ්‍යය දක්වා”, යන ග්‍රන්ථය ඔහුගේ ලේඛක ජීවිතයේ මුදුන් මල්කඩ ලෙස ඔහු
සැලකුවේය. එවකට මෙම ග්‍රන්ථය සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.
මුද්‍රණ වියදම් හෝ පියවා ගැනීමට ඔහුට නොහැකි විය.
එහෙත් යළිත් ඔහු අනාවැකියක්
පළ කළේය. “කවදා හරි බලන්න. මේ පොතට ඉතාමත් ඉහළ අගයක් ලැබේවි. ජාතික ගැටලුවේ
සම්පූර්ණ ඉතිහාසයත්, එය මෙතරම් සංකීර්ණ වූ ආකාරයත් එහි තිබෙනවා. අනාගත
දේශපාලකයින්ට සාර්ථක විසඳුමක් සොයා ගන්නට මේ පොත දීප්තිමත් ආලෝකයක් ලබා
දේවී.”
ඔහු ලියන්නට අරමුණු කර තිබූ අලුත්ම ග්‍රන්ථයක පූර්විකාව ඔහුගේ ලිපිගොනුවක්
තුළ තිබී මා අතට පත් විය. එසේ ලිවීමට අරමුණු කරගත් පොත ඔහු නම් කර තිබුණේ ‘Green
is the New Red’ හෙවත් ‘කොළ පාට යනු නව රතු පාටයි’ ලෙසිනි. එකම එක පරිච්ඡේදයක්
පමණක් එහි ලියා තිබිණ. අද අප රටේ වාමාංශික ව්‍යපාරයට හිමි වී ඇති සංවේගජනක
ඉරණම පෙනෙන විට, ඔහු ලියා ඇති එකම එක පරිච්ඡේදය කොතරම් අගනේදැයි මට සිතේ. ඔහු
ජිවිතය පුරාම පිවිතුරු කොමියුනිස්ට්්වාදියෙක් විය.
ලේක්හවුස් ආයතනය භාරව එහි සභාපති ලෙස සේවය කරද්දී, ඔහුට ඉතා වැදගත් අදහසක්
පහළ වී තිබිණ. ඒ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති නාළිකාවක් ලේක්හවුස්
ආයතනයට අනුබද්ධව ආරම්භ කිරීමයි. BBC, CNN, NDTV, අල්ජසීරා වැනි නාලිකාවක්
නිර්මාණය කිරීමට ලේක්හවුස් ආයතනයට සියලුම සම්පත් ඇති බව ඔහුගේ අදහස විය.
එහෙත් නොසිතූ විරූ ලෙස 2005 නොවැම්බර් මාසය අගදී ඔහු එම ආයතනයෙන් ඉවත් කරනු
ලැබිණ.
තමාට පහළ වූ එම අදහස වෙනස් අයුරකින් ක්‍රියාත්මක කිරිමට ඔහුගේ ව්‍යවසායක
බුද්ධිය යම් මඟක් සොයා ගත්තේය. ඒ PEO TV මාධ්‍ය ජාලය යටතේ ‘නොලේජ් ටීවී’ නාළිකාව
අලුතෙන්ම නිර්මාණය කිරීම මඟිනි.
ඔහුගේ පරම අධ්‍යාශය වූයේ හැකිතාක් දුරට දැනුම බෙදා දීමයි. මේ සඳහා ඔහු දිවා රෑ
නොබලා වෙහෙස වෙමින් දැනුම රැස් කළේය. ඒවා අනගි වැඩසටහන් බවට පත්කිරීමට ඔහුගේ
පුතු චාමර මහත් සේ කැපවුණේය.
2003 වසරේදී දඹදිව වන්දනා ගමනකට සහභාගි වූ ඔහු නාලන්දා විශ්ව විද්‍යාලයේ
නටබුන් බැලීමට ගියේය.
විශ්ව විද්‍යාලය පුරාම ඇවිදිමින් විස්තර ලබා ගනිමින් එදා ඔහු අප්‍රමාණ
ප්‍රීතියට පත්විය. “කවදාහරි මෙම විශ්ව විද්‍යාලය නව පණක් ලබා ලෝක පූජිත වෙනවා”
ඔහු එදා ප්‍රකාශ කළේය. පසු දිනෙක ඔහු පුරෝගාමී වූ ‘නොලේජ් ටීවී’ නාළිකාව තුළින්
ප්‍රතිසංස්කරණයට යොමු වූ නාලන්දා විශ්ව විද්‍යාලය ගැන අගනා වැඩසටහනක් ද
නිර්මාණය කොට විකාශය කළේය.
ඔහු ජීවිතය පුරාම ඉතාමත් ගරු කළ දේශපාලනඥයා වූයේ කියුබාවේ හිටපු ජනාධිපති
ෆිදෙල් කැස්ත්‍රෝ ය. ජීවිතයේ එක් වරක් පීරිස් මහතාට කැස්ත්‍රෝ මහතා මුණ ගැසී
තිබිණ. බැරැක් ඔබාමා මහතා ඇමෙරිකානු ජනාධිපති ධුරය දරන කාලය තුළ දී, කියුබාව
හා ඇමෙරිකාව අතර යම් සංහිඳියාවක් ඇති වන බවට පීරිස් මහතා අනාවැකියක් පළ
කළේය. එය අද සිදුවෙමින් තිබේ.
කියුබානු නායකයාගේ අනුගාමිකයකු වූ වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්
පිළිබඳව ද ඔහු තුළ වූයේ තද කැමැත්තකි. ඔහු මිය යන විට පීරිස් මහතා ද රෝහලේ ඇඳක්
මත වැතිර සිටියේය.
චාවේස් මහතා මියගිය පුවත ඇසු ඔහු දැඩි කම්පාවට පත්විය.
ඔහු පිළිබඳව ලිපියක් ලිවීමට සියලු කරුණු ගොනු කළ බවත්, එය ලිවීමට තමාට දැන්
ශක්තියක් නැති වීම ගැන දුක් වන බවත් ඔහු කීවේ ඉතා ශෝකයෙනි.
අද ඔහු ජීවතුන් අතර සිටියා නම්, මෑතකදී ලෝකයේ ඇති වූ නව ප්‍රවණතා ගැන, අර්බුද
ගැන ලිපි ලියනු ඇත. ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ ආසන 70න් 67ක්ම දිනූ පුංචි
මිනිසා, ආම් ආද්මි පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් ගැන, මීට වසරකටත් අඩු
කාලයකට පෙර එතරම් ජනප්‍රියතාවක් දැක්වූ භාරතීය ජනතා පක්ෂය, ඔහු වෙතින් ලද
පරාජය ගැන ඉතා වැදගත් විමර්ශනාත්මක ලිපි ඔහු අතින් ලියවෙනු ඇත. එවැනි
පුද්ගලයකු අප රට තුළ ද බිහි වන්නේ, එය සිහිනයක් පමණක් විය හැකි ද යන්න ගැනත්
ඔහු විචාරයක් කරනු ඇත.
එමෙන්ම රුසියාව හා යුක්රේනය අතර ඇති අර්බුදය ඔහුට නුහුරු නුපුරුදු මාතෘකාවක්
නොවනු ඇත. I S I S සටන්කාමීන්ගේ දරුණු ක්‍රියා ගැන ඔහු තම අදහස් නොවළහාම කියනු
ඇත. ආගමික අන්තවාදය හා එමඟින් මුළු ලෝකයටම සිදුවන විනාශය ගැන ඔහු අතිශය
විචාරාත්මක කරුණු පිරි ලිපි ලියනු ඇත. ඒ සියල්ලටම වඩා අප රටේ විවිධ ජන වර්ග අතර
ඇති විය යුතු සමඟිය හා සංහිඳියාව ගැනත්, එය ළඟා කර ගත හැකි ක්‍රමවේදයන්
ගැනත් ඔහු ලියනු ඇත. මුළු ලෝකයම අතැඹුලක් සේ දත් ඔහු ඕනෑම ලෝක අර්බුදයක
නිවැරැදි තොරතුරු ගෙනහැර පෑමට ඉතා සමතෙක් විය.
ඔහු ගුවන් විදුලි ප්‍රවෘත්ති අංශයේ සේවය කරද්දී ලියූ ‘ප්‍රවෘත්ති පසුබිම්’ ප්‍රමුඛ
කරගත් ‘චාමර’, ‘ලොව නව ප්‍රවණතා’, ‘ජනභක්ති’ වැනි ආරූඪ නම්වලින් ඔහු ලියූ ලිපි
දහස් ගණනක් ද, ඔහුගේම නිර්මාණයන් වූ ‘ජගත්’ හා ‘World View’ සඟරා සිය ගණනක් ද,
දේශපාලනය පමණක් නොව විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව නවතම තොරතුරු සමඟ
ඔහු පුවත්පත්වලට ලියූ ලිපි රාශියක් ද ඇත.
අනපේක්ෂිත ලෙස හැත්තෑ විය පසු කරද්දී ජීවිතයට සමුදීමට සිදු වීම නිසා, ඔහුට
සිය මෙහෙවර පරිපූර්ණ කරගැනීමට නොහැකි විය. ඔහුට ඒ පිළිබඳව දැඩි දුකක් දැනී
තිබිණි. ලංකා සමසමාජ පක්ෂයේ නිසි තැනක් කිසි විටෙකත් නොලද, එහි ආරම්භක පතාක
යෝධයකු වූ සිය පියා වන පාණදුරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙන්රි පීරිස් මහතා
ගැන පොතක් ලිවීමට, ඔහු සියලු කරුණු රැස්කර තිබිණ. එය ඉටු කිරීමට නොහැකි විය.
ජාතික ගැටලුව පිළිබඳව විකල්ප ඉතිහාස පොතක් ලිවීමට ඔහු අරමුණු කර සිටියේය.
සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලියේදී මූලික කාර්යභාරයක් ඉටුකිරීමට ඔහු සැදී
පැහැදී සිටියේ දකුණු අප්‍රිකාවේ එම ක්‍රියාවලින් පිළිබඳ අදාළ සියලු විස්තර
අධ්‍යයනය කිරීමෙන් ලත් පන්නරය අනුවය. එයට ද සහභාගිවීමට ඔහුට නොහැකි විය.
ඔහු මා සමඟ අප රටේ මතු දේශපාලනය පිළිබඳව පළ කළ අනාවැකි කිහිපයකි. එයින්
සමහරෙක් ඉටු වී ඇත.
තවත් රැසක් ඉටුවීමට ඇත. එහෙත් ඒවා ඉටු වනු ඇත්දැයි දැකගැනීමට මගේ ජිවිත කාලය
ප්‍රමාණවත් නොවනු ඇත. මේ තරම් නැවුම් පුවත් බහුල යුගයකදී රූපවාහිනිය
ඉදිරිපිට වාඩි වී මම තනිවම ඒ සියල්ල දකිමි. අසමි. ඒවා බෙදා හදා ගන්නට, නිසි
විචාරයක් ලබා ගන්නට, එතුළින් මැවෙන අනාගතය ගැන මත පළ කරන්නට අද ඔහු මා ළඟ
නැත.
අද අප රටේ පවත්නා දේශපාලන වාතාවරණය ගැන ඔහු උදම් වන අයුරු, මුව පුරා සාඩම්බර
සිනා මතුවන අයුරු දැකීමේ වාසනාව මට අද අහිමිය.
එහෙත් ඔහුගෙන් ලද ජීවිත පන්නරය තුළින්, මමත් අනාගතය විනිවිද දැකීමට යම්තාක්
දුරට සමත් වෙමි. ඒ අාධ්‍යාත්මික වශයෙන් ඔහු තවමත් මා සමඟම ජීවත් වන හෙයිනි.
මාලිනී පීරිස්
|