ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»

ජනපතිතුමනි, මේ මවු බස ඔසවා තබන්නට කාලයයි

ජනපතිතුමනි, මේ මවු බස ඔසවා තබන්නට කාලයයි

පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය කැලණිය විශ්ව විද්‍යාලය රනිල් ප්‍රභාත් සෝමරත්න

අද සමාජයේ සංස්කෘතිය සකස් වී ඇති ආකාරය කෙලෙස වුවත් අපේ මහා සංස්කෘතියේ කොටසක් වූ කවිය, විරිදුව, සීපදය මෙන් ම සිංහල භාෂාව මූලික කරගෙන මහා සංස්කෘතිය ශක්තිමත් කළ යුතු ය.

අපේ සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය, අභිමානය, ගෞරවනීයත්වය, ලෝකයේ අන් භාෂා හා සංසන්දනය කිරීමේ දී මොන තරම් ප්‍රබල සංකීර්ණ වූ භාෂාවක් ද කියන එක පෙන්නුම් කරනවා.”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සමස්ත ලංකා කවි සම්මේලනය
කුලියාපිටිය 2015 - පෙබ. 28

සිංහලකම, සිංහල ජාතිය, භාෂාව හා සංස්කෘතිය පවුරක් ලෙස භාවිත කළ කෙනකු වෙනුවට සිංහල භාෂාවේ සැබෑ වටිනාකම හඳුනාගැනීමට තරම් හෘදයංගම බවක් සහිත, මවු බස මවුබිමෙහි වටිනාම දායාදය බව හඳුනාගත් ජනාධිපතිවරයකු අපගේ ද අපේක්ෂාව විය. ඒ මේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහාය.

* සිංහල භාෂාව හා සාහිත්‍ය සම්බන්ධව ඉක්මනින් පිළියම් යෙදිය යුතු ගැටලුව.

දෙදහස් එකොළහේ (2011) ඔක‍්තෝබර් 30 මධ්‍යම රාත්‍රී දොළහ වන විට ලෝක ජනගහනය බිලියන හතක් වීය. දෙදහස් දොළහේ මාර්තු 20 නිර්ණය කැරුනු සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දෙලක්ෂ හැත්තෑපන්දහස් පන්සිය අනූහතකි.

ශ්‍රී ලාංකේය ජනගහනයෙන් ‘සිංහල’ ප්‍රතිශතය සියයට හැත්තෑ හතරකි ඒ අනුව ලෝක ජනගහනය හා සැසඳීමේ දී සිංහල භාෂාව ව්‍යවහාර කරන්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි. ඒ සීමිත සංඛ්‍යාවෙනුත් වැඩි දෙනා ‘සිංහල’ ව්‍යවහාර කරන්නේ භාෂණය සඳහා පමණි. ඒ සෑම පුද්ගලයකුගේ ම මරණයත් සමඟ භාෂණ සිංහලයේ එක් පුරුකක් ගැලවේ.

අලුතින් සිංහල භාෂක සමාජයට එක් වන සාමාජිකයා කිසිසේත් ම මිය ගිය භාෂකයාට සමාන නො වේ. මේ නිසා භාෂණයෙහි යෙදෙන සිංහල ව්‍යවහාරය ස්ථාවර නැත. වර්තමාන සිංහල භාෂක සමාජය මිය ගිය පසු ඊළඟ පරම්පරාවට උරුම වන්නේ එසේ මිය ගියවුන් භාවිත කළ භාෂා ව්‍යවහාරය ම නො‍ වේ. ඇතැම් වචන යෙදුම් පරම්පරාවක මරණයත් සමඟ වියැකී යයි.

සිංහල භාෂක සමාජයෙහි වර්තමාන ව්‍යවහාරය වෙත ඍජු ‍බලපෑමක් විද්‍යුත් මාධ්‍යවලින් සිදු වේ. රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකාවලින් විකාශය කෙරෙන වැඩසටහන්වල නිවේදකයන් මෙහෙයවන අය හා නාළිකා පිළිබඳ අවසාන වශයෙන් වගකීම් දරන්නන් මේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

වැඩසටහන්වල වාණිජ අරමුණු සඳහා භාෂාවේ වාක් සංයුතිය, වාක්‍ය ව්‍යුහ හා යෙදුම් හිතාමතා වෙනස් කිරීමෙන් උද්ගත විය හැකි ව්‍යවහාර භාෂා ‘වෙනස’ භාෂාවේ විකෘතියකි. භාෂාණ සිංහල ස්වාභාවික ව විකාශනය වෙමින් වර්ධනය වන්නක් නොවේ. ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයන් මඟින් විකෘතියට පත් ව, ඒ විකෘතිය භාෂණ විඥානයට ඇතුළු වී එහි ස්වාභාවික වර්ධනය පාලනය කරන හෙයිනි. ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි දී ද මේ ප්‍රවණතාව දක්නට ලැබෙයි.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිංහල භාෂාව පැවැති සමාජ තත්ත්වය අද වන විට ද කිසිදු වෙනසකට බඳුන් ව නැත. හෙළ අටුවා පාලියට නැගීමෙන් පසු සිංහලයාට වටිනා ම දේ තිබුණේ පාලි භාෂාවෙනි. ඔහු අනුගමනය කළ සාහිත්‍ය ක්‍රමෝපායයන් තිබුණේ සංස්කෘතයෙනි. අදටත් ඔහු වැදගත් ම යැයි සිතන බොහෝ දේ තියෙන්නේ සිංහල භාෂාවෙන් නො වේ.

සිංහලයාගේ ගෞරවයට සිංහල දන්නා තැනැත්තා පාත්‍ර වූයේ නැත. පැරැණි සමාජයෙහි පඬිවරු වූවාහු ‘දෙමළ, සකු, මගද’ ඈ ප්‍රාචීන භාෂා හැදෑරූවෝ ය; අද ප්‍රතිචීන භාෂා හැදෑරූවෝ ය.

වෙනත් භාෂා හැදෑරීම අත්‍යවශ්‍ය වේ. මානව ඥාන සම්පත් උරුම කරගැනීමට කිසි සේත් ම එක් භාෂාවක් ප්‍රමාණවත් නොවන බව විවාද රහිත ය. සිංහලයා සිතා බැලිය යුතු කරුණ එය නො වේ. තමන් ම තමන්ගේ මවු බස පහත් කොට සලකන්නේ ඇයි ද යන කාරණය යි. මීට මෑත කාලීන නිදසුනක් ලෙස : ජනාධිපතිවරයා සිංහල භාෂාවෙන් ජාත්‍යන්තරයේ දී කථා කිරීම සිංහලයාගේ අභිමානයට හේතු විය යුතු වුවත් ඇතැම් අය එය නිග්‍රහය සඳහා භාවිත කිරීමේ සිදු වීම සැලකිය හැකි ය.

සමාජය තුළ භාෂාව, සාහිත්‍යය වැනි දේ කෙරෙහි පහත් හැඟීමක් ඇති කිරීමට පසුගිය රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ බන්දුල ගුණවර්ධන මහතාගේ නායකත්වයෙනි. ඔහු කලා විෂය මාලාව හෙළා දකිමින් එය නොවැදගත් දෙයක් බව තහවුරු කිරීමට මහත් කැප වීමකින් ක්‍රියා කළේ ය. පසුගිය ආණ්ඩුව වැඩි වශයෙන් කථා කළේ ද සිය පැවැත්ම පිහිටුවාගෙන සිටියේ ද සිංහල බෞද්ධ පදනම මත ය.

එසේ සිටිමින් ම සිංහල භාෂාව හා බෞද්ධ ශිෂ්ටාචාරය, ඉතිහාසය වැනි විෂයයන් කිසි සේත් ම ප්‍රයෝජනවත් නොවන, අනාගත ලංකාවට නොගැළැපෙන විෂයයන් සේ හංවඩු ගසා බැහැර කළේ කෙසේ ද? ඔවුන්ගේ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය එහි හරය ස්පර්ශ කළ ගැඹුරු චින්තනයක් නොවූ නිසා විය හැකි ය. ගුණදාස අමරසේකර වැනි ජාතික චින්තනය පිළිබඳ න්‍යායාචාර්යවරුන්ට කළ හැකි ව තිබූ දෑ ඔවුහු නොතකා හැරියහ.

සිංහල භාෂා ගුරුවරුනුත් සාහිත්‍ය ගුරුවරුනුත් පැරණි සටහන් මත ම යැපීම හේතු කොටගෙන පාඨශාලීය භාෂා හා සාහිත්‍ය අධ්‍යයනය නීරස විෂය ක්ෂේත්‍රයක් බවට පත් විය. සාමාන්‍ය සමාජ මතය අවිචාරශීලී ව පිළිගත් මාන්නක්කාර පාසල් ප්‍රධානීන් ද කලා විෂය මාලාවන්ට සිසුන් බඳවා ගැනීමේ දී ම සිංහල අවශ්‍ය නම් කළ හැකි, නැත හොත් අත්හැරදැමිය හැකි විෂයයක් ය යන අදහස ඇති කර ඇත.

සිංහල භාෂාව හා සාහිත්‍යය ජ්‍යෙෂ්ඨ පාඨශාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිර්දේශ කර ඇතත්, 1956 සිට අද දක්වා පාඨශාලීය භාෂා හා සාහිත්‍ය අධ්‍යයනය අනුක්‍රමයෙන් බැහැර කර ඇති අන්දම නිරීක්ෂණය කළ හැකි ය.

බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැති ව සිටි සමයෙහි භාෂාව හා සාහිත්‍ය්‍ අධ්‍යයනය එහි දරුණු ම සංහාරයට මුහුණ පෑවේ ය.

කලා විෂය මාලාවේ අනිවාර්ය විෂය විවාද රහිතව සිංහල භාෂාව හා සාහිත්‍යය විය යුතු ය. එහෙත් එය දශක ගණනාවක් තිස්සේ ම මඟහැර ඇත. ඊළඟ මහ මැතිවරණයට පෙර මේ ජාතික වැදගත්කමකින් යුතු, මුළු රට ම අත් ඔසවා එකඟ වන යෝජනාව සම්මත කර දෙන ලෙස අවධාරණය කිරීම සියලු භාෂා සාහිත්‍යෝන්තිකාමී සූධීන්ගේ වගකීමකි.

අනාගත ‘වෙනස්’ ශ්‍රී ලංකාවේ කවියක් රස විඳින වෛද්‍යවරයකු, සාහිත්‍ය සේවනයේ යෙදෙන ඉංජිනේරුවකු, හෘදයංගම වෘත්තිකයකු, ගණකාධිකාරීවරයකු, බැංකු නිලධරයකු, අවශ්‍ය නම් සෑම අංශයකට ම සාහිත්‍ය කොටසක් නිර්දේශ කිරීම සුදුසු ය. යහ පාලනයකට සුදුසු ප්‍රජාවක් බිහි කැරගැනීමේදී සාහිත්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

කුමන විෂය මාලාවක් යටතේ පෙනී සිටිය ද වැඩි ම පිරිසක් අධ්‍යාපන මාධ්‍යය ලෙස භාවිත කරන්නේ සිංහලය යි. සිංහල මාධ්‍යය නිවැරැදි ව භාවිත කිරීම සඳහා අපේක්ෂකයන් තුළ අවශ්‍යතාව මතු කළ යුතු ය.

එය අනිවාර්ය වැදගත්කමක් උසුලන දෙයකි. සාමාන්‍යයෙන් සිංහල මාධ්‍ය නිවැරදිව ව්‍යවහාර කරන්නේ ද යන්න පරීක්ෂා කැරෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිතුරු ඇගැයී‍මේ දී පමණි.

අනෙකුත් විෂයන්වලට පිළිතුරු ලියන මාධ්‍යය ද සිංහල වුවත් එහි දී ඒවා ඕනෑ හැටියකට හැසිරවීමට නිදහස සලසා ඇත. මේ තත්ත්වය වෙනත් රටක හෝ භාෂාවක සිදු වන්නක් යැ යි සිතය නොහැකි ය.

පැරැණි සාම්ප්‍රදායික ව්‍යාකරණය ඒ අයුරින් ම වනපොත් කරවමින් සිසුන් පීඩාවට පත් කිරීම වෙනුවට, නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වූ තර්කානුකූල ව්‍යාකරණ අධ්‍යයනයකට මග පාදන ව්‍යාපෘතියක් මඟින් සිංහල මාධ්‍යය නිවැරැදිව හැසිරවීමේ ශික්ෂණය ඇති කළ හැකි ය.

සිංහල භාෂාව හා සාහිත්‍ය අධ්‍යයනය උසස් පෙළ කලා අංශට වත් අනිවාර්ය කිරීම සඳහා මැදිහත් වන ලෙස සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය, අභිමානය, සාහිත්‍යයෙහි ගම්භීර මාධූර්යය මැනැවින් හඳුනන ජනාධිපතිතුමාගෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටිමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්