කුරුටු ගීයට වගේම දුවටත් මං ආදරෙයි
කුරුටු ගීයට
වගේම
දුවටත්
මං ආදරෙයි
ඔබට සියලුම මිනිසුන් සමහර අවස්ථාවලදී රැවටිය හැකිය. සමහර මිනිසුන්
සියලුම අවස්ථාවලදී රැවටිය හැකිය. එහෙත් ඔබට සියලුම මිනිසුන් සියලුම
අවස්ථාවලදී රැවටිය නොහැකිය.
බර්නාඩ් ෂෝ ගේ මේ ප්‍රකට කියුම මෙරට සමාජ ආර්ථික දේශපාලන කතිකාවනට අදටත්
වලංගුය.
කෝටි ප්‍රකෝටි ගණනින් ජනතා මුදල් ගසා කෑ දූෂිතයන් හිතුමතේ නිදැල්ලේ හැසිරෙද්දී
අහිංසකයන් නම් තම නිර්දෝෂි භාවය ඔප්පු කරගන්නට බැරිව පෝරකයට පවා යන අවස්ථා ද
මේ රටේ එමටය.
අධිකරණය හෝ එහි ස්වාධීනතාව විවේචනය කිරීම අපේ අරමුණ නොවේ. එහෙත් ලොව
අටවැනි පුදුමය ලෙස සලකන සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් තම නම කුරුටු
ගාන්නට ගිය සිත්තණ්ඩියේ පදිංචි සින්නතම්බි උදය ශ්‍රී තරුණියට නම් නීතිය අකුරටම
ක්‍රියාත්මක විය. වසර දෙකක් හිරගෙට යැවූ ඒ තීන්දුව අසා ඇගේ මව හා නෑ සියල්ලෝ හිස්
අහසට අත් ඔසවා “ආන්ඩවනේ” යැයි කිවූහ.
මේ ඒ තරුණියගේ මව අපට කියූ කතාවයි.
සීගිරිය කැටපත් පවුර ගැන අපි දන්නේ නෑ. නොදැනුවත්කම නිසා මගේ දුව ඒකෙ තමන්ගෙ
නම ලියලා. ඒකෙ එහෙම ලියන්ට හොඳ නැති බව දැන් කරුණු තේරුම් කළාම අපි දන්නවා.
නොදැනුවත්කමින් ඒ වැරැද්ද වුණේ. අනේ! ඒකට දුවට සමාව දෙන්න...” ඇය හැඬු කඳුළින්
කීවාය.
මෙයාගෙ අප්පා මෙයා පුංචි දවසෙම නැතිවුණා. මෙයා ලොකු මහත් කරගන්න මං නොවිඳිනා
දුක් වින්දා. කුලී වැඩ කළා. පිටි කොටලා කොටලා ආප්ප හදලා නගරයේ කඩ හොයාගෙන
කඩයප්පන් දැම්මා. ඒ නිසාම ලොකු මහත් කරගන්ඩ මිසක් එයාට ලොකු අධ්‍යාපනයක්
දෙන්නත් මට බැරි වුණා. සිත්තණ්ඩියේ පුංචි කර්මාන්ත ශාලාවක එයා වැඩ කරන්නේ. ගිය
මාසේ (පෙබරවාරි 14) ඇය තමන්ගේ යෙහෙළියන් එක්ක සීගිරිය බලන්ඩ ගියා.
අනේ! මෝඩකමට මේ ළමයා ඒ කැටපත් පවුරේ එයාගෙ නම ලියලා. කොණ්ඩා කටුවක් ඒකට
පාවිච්චි කරලා තියෙන්නෙ. නිලධාරීන් දෙන්නෙක් දුවගෙන ඇවිත් දුව අල්ලාගෙන
රුපියල් ලක්ෂයක දඩ මුදලක් හා අවුරුදු 5 ක සිර දඬුවමක් නියම කරනවයි කියලා
බැන වැදිලා තියෙනවා. අනේ මයෙ කෙල්ල සීගිරි ගලෙන් පහළට පනින්ට උත්සාහ කරනකොට
එයාගෙ යහළුවෙක් එයාව බේරගෙන. එයාගෙ හොඳම යාළුවා තමයි තරුෂිකා කියන්නේ.
මාධ්‍යවල පට්ටපල් බොරු නිසා මගේ දුවට තවත් ලජ්ජාවක්. එයා තමන්ගෙ පෙම්වතාගෙ නම
ඒකෙ ලිව්වා කියලයි කතාව ගියේ. එයා ලියලා තියෙන්නෙ ටී. උදයා කියලයි. ටී කියන්නෙ
තමන්ගෙ යාළුවා තරුෂිකාගෙ මුලකුර. ඒක දාලා ඇගේ නම උදයාත් සම්බන්ධ කරලයි ලියලා
තියෙන්නෙ.
අනේ! අපි නීති දැන හිටියෙ නෑ. අපි නීති ගරුක මිනිස්සු. මේ දරුවාට නිදහස ලබා
දෙන්න. දුව නැත්නම් මාත් මැරේවි.
අපි නීති හා නියෝගයන් පිළිපැදිය යුත්තේ ඇයි? යන්න සෑම පුරවැසියකුම සිතිය
යුතු දෙයකි. අප නීති හා නියෝගයන් පිළිපැදිය යුතු වන්නේ ඒ ඒ නීතිය කඩකිරීමෙන්
දඬුවමකට හසුවිය හැකි ය යන බිය නිසා නොව, ඒ ඒ නීතිය රැකීමෙන් සමාජයට වන යහපත
ගැන සිතාගෙනය.
සිත්තණ්ඩියේ උදය ශ්‍රී ලා නීතිය නොදැන සිටිම ප්‍රමාණවත් නැත. එහෙත් මේ කැටපත්
පවුර ළඟ මෙවැනි අශෝභන දෑ සිදුවූ පළමු අවස්ථාව ද? වරක් මෙහි චිත්‍රවල කෙනෙක් තාර
ගෑහ. ඔවුන් නීතියට අල්ලා ගත නොහැකි විය. ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසෙහි මේ
චිත්‍ර ඇඳීමට පාවිච්චි කළ අපේ ගස්වල මල්, යුෂ, පත්‍ර සොයා ගැනීමට පවා නොහැකි විය.
පසුව එය යම්තමට සංරක්ෂණය කැර දුන්නේ ඉතාලි ජාතික ලුසියානෝ මරෙන්සි මහා චිත්‍ර
ශිල්පියාය.
බුදල් මි
සියොවැ ආමි
බැලු බැලු බොහොජනා
ගීලී ලුයෙන් නො ලීමි
ඉතා ඈත යුගයකදී බුදල් නමැති ගැමියා පවුලේ සියලු දෙනා සමඟ මෙහි පැමිණ බැලු බැලු
සියලු විසිතුරු හිතේ හැටියට නො ලියු බව එදා බසින් කැටපත් පවුරේ සටහන් කළේ
එලෙසිනි. මෙවන් වටිනා ඉතිහාසයක් අරා සිටිනා කැටපත් පවුර රැකගැනීම ඉතා
වටනේය. ඒ සඳහා නිලධාරීන් දෙදෙනකු යොදවා සිටියේ යැයි ද අපට දැනගන්නට ලැබිණ. ඒ
නිලධාරින් මෙවැනි යමක් සිදුවන තුරු කොහි සිටියේදැයි ඔවුනට විනය පරීක්ෂණ
නැද්දැයි අසන්නට කිසිවෙක් නැත. ඒ මේ රටේ හැටිය. වරදට හසුවුණේ උදය ශ්‍රී තරුණිය
පමණය.
ඒ සිත්තණ්ඩියේ උදය ශ්‍රී ගේ අම්මාගේ විලාපය නැවතත් මට ඇසේ.
අවුරුදු දෙකක් ඇයව හිරේ වැටිලා. මොනවා දන්නව ද ඒ දරුවා. වරදක් සිදුවෙලා තිබුණ බව
පිළිගන්නවා. ඒත් ඒකට මේ තරම් දඬුවමක්. අනේ බලය ඇති මහත්වරුනේ මගේ දුව බේරා
දෙන්න. ඇයගේ ආත්මය මේ වගේ සුළු දෙයකින් නැති කරන්ඩ ඉඩ තියන්න එපා...
පුරාවිද්‍යා පනත හරිම බලවත්ය. එහෙත් ඒ පනත තිබු රටේ නිධන් කොල්ලය ජයට සිදුවෙයි.
බුදු සිරස පාදම උදරය කුළු ගෙඩිවලින් තළන හොරුනට ඉඩකඩ තිබේ. දීඝවාපියේ මතු
නොව ඩෙල්ෆ්ට් දූපතේ ද බෞද්ධ උරුමය වනසා දමන බෞද්ධ පුරා විද්‍යාත්මක වටිනා ඉඩම්වල
ජනාවාස බිහි කරන දේශපාලනඥයන්ට නම් දඬුවමක් නැත.
ඒ අතර සියනෑ කෝරලයේ අසරණ සරණලාද මීපුරේ කුඩු සෙන්පතියෝ ද රයිගම් පුරයේ
රත්තරං ලාද, කාඩ්බෝඩ් දුටුගැමුණුලා ද මහ දවල් මිනී මරන කොළොන්නාවේ බොඩි
බිල්ඩර්ලා ද මේ විදියට ලක පුරාම සිටිති.
වැරැදි කිරීමට ඔවුන් බය නැත. වැරැදි කැර නීතියෙන් ගැලවී යාමට ද ඔවුනට හැකි බව
ඔවුනගේ විශ්වාසයයි. කතා කරන විට ඔවුන් තරම් ශුද්ධෝත්තමයන් ද නැත. නීතිය මේ
දූෂිතයන්ට හරිහැටි ක්‍රියාත්මක වන්නේ කවරදාදැයි යුක්තිගරුක ජනතාව ඇසිපිය
නොහෙළා බලා සිටිති.
උපාලි සමරසිංහ
|