විවේචන නිසා පොත්පත් කියවීම නවතියි ද?
විවේචන නිසා පොත්පත් කියවීම නවතියි ද?
මීට අවුරුදු විසිපහකට තිහකට පමණ පෙර එක් ඉරිදා දින උදෑසනක සුප්‍රකට
නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන මහතා අප නිවස කරා පැමිණියේය. තමා අත තිබූ
ආරාධනා පතක් මා වෙත දිගු කරමින් ඔහු උදක් පවසා සිටියේ වේයන්ගොඩ මැදි විදුහලේ
ආදි සිසුවකු ලෙසින් රැස්වීමකට පැමිණෙන ලෙස තමන්ට ආරාධනාවක් ලැබී ඇති හෙයින්
ඒ සඳහා එහි පැමිණි බවය.
තවදුරටත් ඒ ගැන කරුණු හෙළි කළ එතුමා පවසා සිටියේ තමා
කුඩා කල උඩුගම්පළ ගාම් සිට ඉගෙන ගැනීම සඳහා බයිසිකලයෙන් පැමිණ ඇත්තේ ආරාධනා
පතෙහි සඳහන් මැදි විදුහලට නොව නගරයේ පිහිටි සීනියර් කොලීජීයට බවය. එම
කොලීජියේ ඉගෙන ගනිමින් සිටින විට එක් දිනක් සියලු දෙනාටම ඩැස් බංකු ද ඔසවාගෙන
අලුතින් තැනූ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට යන්නට සිදුවූ බවය.
ඒ අනුව ගුරුවරු හා
අනෙකුත් සිසුහු නගරයේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි අලුත් මැදි විදුහලට එදා
පයින්ම ගමන් කළහ.
ඔහු පැවසූ අන්දමට පනහෙ දසකයේ වේයන්ගොඩ මැදි විදුහල ආරම්භ කළ
සමයේ පුරෝගාමී සිසුන් වශයෙන් එහි ගොස් ඇත්තේ ඔවුන්ය. එය නගරයට දුරින් පිහිටි
හෙයින් ගමන් අපහසුව නිසා පසුව කොළඹ ආනන්ද විදුහලට මාරුවක් ලබාගත් බව ඔහු පවසා
සිටියේය. (තමන්ට තැපෑලෙන් ලැබුණ ලිපියකට ප්‍රතිචාර දැක්වීම පිණිස දහසකුත්
කටයුතු පසෙක තබා විදුහල්පතිවරයා මුණගැසීමට පැමිණි මේ නිහතමානී නාට්‍ය
කලාවේදියා වැන්නන් අද සොයාගත හැකි ද?)
ඔහු කියූ සීනියර් කොලීජිය පසුව වේයන්ගොඩ මහ විදුහල බවට පත්විය. මා එහි ඉගෙන ගත්
සමයේ විදුහල්පතිවරයා වූයේ නානායක්කාර නමැති පුහුණු ඉංග්‍රීසි ගුරු මහතෙකි.
මා හත්වැනි කැලෑසියේ ඉගෙනුම ලබන කාලයේ දිනෙක උදෑසන පවත්වන රැස්වීමට
විදුහල්පතිතුමා කලබලයෙන් මෙන් පැමිණියේය. සිහින් සිරුරකින් හෙබි ඔහු
සුදු මැදපු කලිසමකින් හා කමිසයකින් සැරසී සිය සම් සෙරෙප්පු කුට්ටම කෑගස්වා
ගස්වා සිසුන් ඉදිරිපිටට පැමිණ නිවේදනයක් නිකුත් කළේය.
එනම් පසුදින උදේ දහයට
ඩේවිඩ් කරුණාරත්න නමැති ලේඛකයා හා ‘දවස’ පුවත්පතේ කතුවරයා සිසුන්ට කතාවක්
පැවැත්වීම පිණිස අප පාසලට පැමිණෙන බවය. ඔහු තම මිතුරකු බවත් සියලු සිසුන්
පිරිසිදුව සුදු ඇඳුමින් සැරසී එදින පාසලට පැමිණෙන ලෙසත් එතුමා ඉල්ලීමක් කළේය.
(එකල අපි ඩේවිඩ් කරුණාරත්න යනු කවුදැයි නොදැන සිටියෙමු. ලේඛකයකු හා පත්තර
කතුවරයකු යැයි පැවසූ හෙයින් ඔහු කුමන වර්ගයේ සත්ත්වයෙක්දැයි දැක ගැනීමේ ආසාව
අප තුළ බලපැවැත්වීය. ඒ වන විට ඔහු ‘රණබිම’ හා ‘වීර චාරිකාව’ නමින් හෝමර්ගේ
කෘති දෙක සිංහල බසට පරිවර්තනය කර තිබුණ බව මට දැන් මතකය.)
ඩේවිඩ් කරුණාරත්න මහතා මගේ මතකයේ හැටියට මහත මිටි පුද්ගලයෙකි. ඔහු ටුවිඩ්
කලිසමකින් හා සුදු කබායකින් සැරසී ටයි පටියක් පැලඳ සිටියේය. ඔහු අප පාසල්
සිසුන් අමතා කතා කරන විට අපි විස්මයෙන් බලා සිටියෙමු. සිය උපැස් යුවල ගලවා කබා
සාක්කුවේ රුවා ගනිමින් ද නැවත එය සියතට ගනිමින් ද ඔහු කතා කරයි. මට මතක හැටියට
ඔහු කතාව පටන් ගත්තේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න පවසමිනි. ‘සම්පූර්ණ කරයි’
යන්න ගැන එදා අප තුළ නිශ්චිත අවබෝධයක් නොවීය.
කෙසේ වුවද කියවීමෙන් පමණක්
සෑහීමකට පත් නොවී කියවන දේ ගැන කිසියම් විවේචනයක් ද කළ යුතු බව ඔහු පැවසූ බව
මතකය. එහෙත් කියවන දේ විවේචනය කරන්නට අප සිතට ගත්තේ ඔහු එය පැවසුවාට බොහෝ
කලකට පසුවය.
විවේචනය යන වචනය අපගේ කනට වැටෙන්ට පටන් ගත්තේ හැටේ දශකයේ අග භාගයේදී යැයි
සිතමි. ඒ ජ්‍යෙෂ්ඨ පන්තිවලට නියමිත පොත පත ආශ්‍රිතව බව කිව යුතුය. කෙසේ වුවද මේ
යුගය වන විට විවිධ විචාරක කඳවුරු තම මත වාදයන් තහවුරු කරලීම පිණිස යුද වැදී
සිටි ආකාරය අපට දැකගත හැකිය.
නිදහස් කවිය ද, කොළඹ කවිය ද? රස වාදය ද බටහිර
විචාර වාදය ද? අසභ්‍ය සාහිත්‍ය විනාශය ගෙන එයි ද? ලියන භාෂාව ද හොඳ කතා කරන බස ද?
හෙළ බස ද සරල සිංහලය ද? න ණ ල ළ භේදයක් අපට අවශ්‍ය ද? ආදි වශයෙන් විචාරක
ගුරුකුල නොයෙක් ආකාරයෙන් පුවත්පත් ඔස්සේ යුද වැද සිටි ආකාරය අපට දිස්වෙයි.
නවකථා විචාරය සම්බන්ධයෙන් එදිරිවීර සරච්චන්ද්‍ර මහතා 1951 දී ‘සිංහල නවකථා’
කෘතිය පළ කළේය.
ඒ. ඇම්. ජී. සිරිමාන මහතා 1961 පළ කළ ‘භාවිත විචාරය’ හා 1963 දී
සෝමපාල විජේතුංගයන් සමඟ පළ කළ ‘කියවීම හා විචක්ෂණය’ යන කෘතියත් මෙරට කාව්‍ය
විචාරය සම්බන්ධයෙන් දෙබරයට ගල් ගැසීමක් බඳු විය. සරච්චන්ද්‍ර මහතා නවකථාව
සම්බන්ධයෙන් පැවසූ අදහස්වලට වැඩි වැඩියෙන් අභියෝග එල්ල වූයේ සිරිමාන්න මහතා
වෙතය. ඉන්දියානු රස වාදී විචාර සිද්ධාන්ත මත පිහිටා මෙරට කාව්‍ය විචාරයෙහි
නිරතව සිටි විද්වත්හු හා භික්ෂුහු ඔහුට පහර පිට පහර දෙන්නට වන්නෝය.
එයින්
මඳකටවත් නොසැලුණු ඔහු ‘විචාර මාර්ග සංසන්දනය’ නමැති කෘතිය 1964 දී පළ කරමින්
තම විචාර ප්‍රවේශය කුමක් ද යන්න පෙන්වා දුන්නේය. ඔහු එහිදී එස්රා පවුන්ඩ්ගේ
කියමනක් මෙසේ දක්වා සිටියි.
“තමා කන්නේ ජැම් බනිස් යැයි සිතාගෙන ක්ෂය රෝග විෂබීජ ගිලින දරුවකු දකින හොඳ
වෛද්‍යවරයකුට කිසිසේත්ම නිශ්ශබ්දව සන්තෝෂයෙන් සිටිය නොහැකි සේම, තමාගේ රට
සාහිත්‍ය ජරාවට යාමට ඉඩ දෙද්දී හොඳ ලේඛනය අවඥාවට ලක්වීමට ඉඩ දෙද්දී,
අවබෝධයෙන් යුතු පුද්ගලයාට සන්සුන්ව සිටිය නොහැකිය.
ලේඛන කලාව ජරාවට යනු
දැකීමෙන්, එහි ආදිනවත්, එයින් අප යැවෙන ස්ථානයත් හොඳින් දන්නා තැනැත්තකුගේ
සිතෙහි ජනනය වන අපෞද්ගලික කෝපය සමහරුන්ට අවබෝධ කරවීම දුෂ්කරය. ‘පැරදී
කෝපයට පත් පුද්ගලයෙක්, සමාජය එපාවූ පුද්ගලයෙක්, වැනි නිග්‍රහ වචනයෙන්
ගරහනු නොලැබ ඒ කෝපය කිසියම් ප්‍රමාණයකින් පැවසීම කළ නොහැකි තරම් අසීරුය.”
එදා බොහෝ පිරිස් සිරිමාන්න මහතා මෙරටට හඳුන්වා දුන් භාවිත විචාර සංකල්පයට
(Practical Criticism) තදින් එරෙහි වුවද ඔහු ඉදිරිපත් කළ සමහර තර්ක පසෙකලමින්
නූතන කාව්‍ය විචාරයේදී ඔහුගේ විචාර ක්‍රමය අභිරුචියෙන් යුතුව පරිශීලනය කරන
බව අපට පෙනෙයි.
සරච්චන්ද්‍රයන් නවකථා විචාරය කෘතියෙන් පළ කළ සමහර අදහස්
අගතිගාමීය. විශේෂයෙන් මුල් යුගයේ නවකථාකරුවන්ගේ කෘති අරබයා ඔහු කරන
විචාර සාර්ථක නැත. බටහිර නවකථා විචාරය එකවරම පහළ වූවක් නොවන බව ඉංග්‍රිසි
නවකථා සාහිත්‍ය ඉතිහාසය විමසන ඕනැම කෙනකුට පෙනී යන දෙයකි. එහිදී බටහිර නවකථා
විචාරකයන් කිසි විටක එක් ලේඛකයකු තවකෙකු හා සංසන්දනය කරමින් ඔහුගේ නවකථා
පහත් කොට සලකන්ට උත්සාහ කොට නැත.
බටහිර නවකථාවේ විචාරවාදී ඉතිහාසය
හැදෑරීමකින් තොරවදෝ (ඔහු එම කෘතිය රචනා කරන විට බටහිර නවකථා විචාරයේ නව
ප්‍රවණතා හා විචාර වාද ගැන සාකච්ඡා වුණ කෘති බිහිව තිබුණේ ස්වල්පයක් බව අපට
පෙනෙයි.) සරච්චන්ද්‍රයන් විසින් ඩබ්ලිව්. ඒ. සිල්වා බිහිකළ නවකථා සම්ප්‍රදාය
හෑල්ලුවට ලක් කරන සැටි අපට ඔහු 1951 පළ කළ ‘නවකථා විචාරය’ කෘතියෙන් පෙනී යයි.
මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිල්වා මහතා තනිවම සටන් කළ හෙයින් ඔහුගේ සාහිත්‍ය
සේවාවට බාධා ඇතිවූ බව ඔහු පිළිබඳව කෘතියක් කළ මහාචාර්ය මිණිවන් පී.
තිලකරත්න මහතා කියා සිටියි. ඒ හැරුණ විට හේමපාල මුනිදාස, ඒ. ටි. කන්නන්ගර, කේ.
බී. සුගතදාස වැනි වියත්හු සිල්වා මහතාගේ නවකථා වෙනුවෙන් කාලීන
පුවත්පත්වලින් කරුණු ඉදිරිපත් කර තිබෙන අයුරු අපට දැකිය හැකිය.
කලකට ඉහත මෙරට පැවැති විචාරයේ ස්වරූපය සම්බන්ධයෙන් ජී. බී. සේනානායක මහතා
‘විනිවිඳිමි අඳුර’ කෘතියෙහි මෙසේ දක්වයි.
‘මම මඟදී ඒ පත්‍රය මිලට ගෙන බසයේහිදී කියවුවෙමි. එය තිරිසන් ලෙස මට
පහරදීමක් විය. එහි පහරදීමට භාජනය වූයේ මගේ ලියවිලි නොව මගේ හැඩහුරුකමය.
එහෙත් එය ලියා තිබුණේ මගේ එක කෙටි කතාවක් විවේචනය කරන ව්‍යාජයෙනි.
මාර්ටින් වික්‍රමසිංහ කී පරිදි මගේ සිත බොහෝ රිදුණේය. මම ගෙදර ගොස් ඇඳුම් මාරු
කරන්ට මගේ කාමරයට ගියෙමි. එහි ඇතුල් වන්ට පෙර මම වැඩි කල්පනාවක් නොකොට පත්‍රය
කෑම කන මේසය පිට තබා ගියෙමි. මම ඇඳුම් මාරු කොට ඉන් පිටවී කෑම කන මේසය ළඟින් යන්ට
වීමි. මගේ මහලු අම්මා පත්‍රය මේසය පිට දිගහැරගෙන හිඳ සිටියාය. ඇගේ ඇස්වලින්
කඳුළු වැගිරෙනු මට පෙනිණි. මම පියවරක් ඉදිරියට ගොස් මේසය පිටවූ පත්‍රය දෙස
බැලිමි. ඈ මා ගැන ලියූ ලිපිය කියවා ඇති බව මට හැඟිණ. මම ඈට කිසිවක් නො කියා ගේ
තුළට ගියෙමි.
ඒ ලිපිය කියැවීමෙන් ඇගේ සිත වේදනා වූ බව මට හැඟුණේය. ලිපියෙහි ශීර්ෂ පාඨයෙහි
මගේ නම සඳහන් කොට තිබිණ. එහෙයින් එය කියවන්ට අම්මා පෙලඹුණේ යැයි මට සිතිණ. මා
තුළ ශෝකයක් ඇති විය.”
අවුරුදු පහළොවක් තිස්සේ ද්වේශ සහගත ලෙස තමන්ට පහර දුන් කල්ලියක් සිටි බවත් ඒ
නිසා තමන්ගේ පොත් විකිණීම අඩු වූ බවත් තමන්ට මෙන්ම මවට ද කුසගින්නේ සිටින්නට
සිදුවූ බවත් ඔහු එහි සඳහන් කරයි.
සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා කිරිම මෙහි අරමුණ නොවන හෙයින්
විචාරය සම්බන්ධයෙන් වරක් සිරිමාන්න මහතා දක්වා ඇති ඩි. එච්. ලෝරන්ස්ගේ
කියමනක් මෙහි දක්වමි.
“තමා විවේචනය කරන පොතින් විචාරකයා විඳින හැඟීම තර්කානුකූලව විස්තර කිරීමට
වැඩි කිසිවක් සාහිත්‍ය විචාරයෙන් නොවන්නේය. විචාරය කිසි කලෙක විද්‍යාවක්
වන්නේ නැත. පළමුවෙන්ම එය අතිශයින් පෞද්ගලික කාර්යයකි. දෙවනුව එය විද්‍යාව
විසින් නොසලකා හරිනු ලබන හරයන් විෂය කොට පවතින්නකි. එහි උරගල රසයයි. තර්ක බලය
නොවේ. අප කලා කෘතියක් විනිශ්චය කරන්නේ එහි අව්‍යාජ, සජීවී භාව අප කෙරෙහි බලපාන
අන්දම අනුවය... කලා කෘතියක ඇති සමස්ත සංකීර්ණත්වයෙන් හා කර්ෂණයෙන්ම එය විඳ
ගැනීමට විචාරකයකුට පුළුවන් විය යුතුය.
එසේ කිරීමට නම් ඔහු තෙමේම කර්ෂණයක්
හා සංකීරණත්වයක් ඇති මිනිසකු විය යුතුය. එහෙත් එවැනි විචාරකයෝ විරලයහ.
නිස්සාර මුරණ්ඩු ස්වභාවයක් ඇති තැනැත්තා කිසි කලෙක නිස්සාර මුරණ්ඩු විචාර විනා
අන් කිසිවක් නොලියයි. භාවමය වින්දනයක් ලබා ඇති මිනිසා (දැවී ගොස් සිය
භස්මාවශේෂයෙන් නැවත බහිවන) ෆීන්ක්ස් කුරුල්ලා මෙන් විරල වේ. සාමාන්‍යයෙන්
පාණ්ඩිත්වය වැඩිවන්ට වැඩිවන්ට මිනිසා භාවික ගොරහැඬියෙක් වෙයි.”
එෆ්. ආර්. ලීවිස් මෙන්ම ඔහුගේ බිරිඳ කිව්. ඩී ලීවිස් ද සාහිත්‍ය විචාරයෙහි
ප්‍රකටය. ජෝර්ජ් ඕවල් නමැති ඉංග්‍රිසි නවකථාකරුවා එකල බොහෝ සෙයින් ප්‍රකටව
සිටියේ දේශපාලනය හා දාර්ශනික සිතුවිලි සහිත විචාරකයකු ලෙසින්ය. ඕවල් නවකථා
රැසක් ද ලියා තිබුණේය. මුල් යුගයේ ලියූ ඒ නවකථා ගැන සඳහන් කරමින් ලිවීස්
මහත්මිය මෙසේ පවසයි.
“නවකථාකරුවකු බවට පත්වීම පිණිස ඕවල් මහතා විශාල ශක්තියක් වැය කළ යුතුව තිබේ.
මම ඔහුගේ නවකථා තුන හතරක් කියවා ඇත්තෙමි. එම දුර්වල කෘතිවලින් මට හැඟී යන්නේ එම
තත්ත්වය යටතේ ඔහුට නවකථාකරුවකු බවට පත්විය නොහැකි බවයි.”
මේ විචාරිකාවගේ කියමන කෙසේ වුවද පසුව ඕවල් බටහිර මෙන්ම පෙරදිග ද ප්‍රකට
නවකථාකරුවකු බවට පත්වූ අයුරු Animal Farm ; Burmese Days හා 1984 වැනි
කෘතිවලින් පැහැදිලි වෙයි. එහෙත් ඔහු හා සමකාලීන ඉංග්‍රිසි ලේඛකයකු වූ ලෙනාඩ්
වුල්ෆ් සම්බන්ධයෙන් නම් අපට දකින්නට ලැබෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් අදහසකි.
ලෙනාඩ් වුල්ෆ් සිවිල් නිලධාරියකු ලෙසින් ලංකාවට පැමිණ 1913 දී ලියූ
The Village
in the Jungle නවකථාව අපරදිග විචාරකයන්ගේ මෙන්ම පෙරදිග විචාරකයන්ගේ ද
සම්භාවනාවට ලක්වූ කෘතියකි. යටත් විජිත යුගයේ ජීවත් වූ ලාංකික ගැමියාට
දරිද්‍රතාව සමඟ මෙන්ම පරිසරය සමඟ ද දැවැන්ත අරගලයක යෙදෙන්ට සිදුවුණ
අයුරුත් යටත් විජිත පාලනයෙන් බැට කන ඔහු අන්ත අසරණ තත්ත්වයට පත්වන අයුරුත් මේ
නවකථාවෙන් නිරූපිතය. මෙහි ගම වටකර ගත් වනාන්තරය වනාහි පෙරදිග වටකර ගෙන
සිටින අධිරාජ්‍යවාදයේ සංකේතයක් ලෙසින් දැක්වීමට කතුවරයා සමත් වෙයි.
එහෙත් ඊට වසරකට පසුව වුල්ෆ් තවත් නවකථාවක් රචනා කළ බව බොහෝ දෙනා දන්නේ නැත. මේ
නවකථාව 1914 දී පළමුවෙන් ප්‍රකාශයට පත්වූ අතර නැවත වරක් ප්‍රකාශයට පත්ව
ඇත්තේ 1979 දීය. එම නවකථාව මුළු එංගලන්තයට එපාවූ කෘතියක් ලෙසින් සැලකූ බව
දැනගත් හෙයින් මම මෑතකදී එහි පිටපතක් තැපෑලෙන් ගෙන්වා ගතිමි.
ඒ නවකථාවේ නම
The Wise Vergins යන්නය. පොත පළවූ හැටියේම ඔහුගේ බිරිඳ අසනීප වූවාය. නැඟනිය පවසා
ඇත්තේ එය පුච්චා දමන ලෙසය. මිතුරු විචාරකයෙක් පවසා ඇත්තේ ඔහු සැබෑ
නවකථාකරුවෙක් නොව ඔටුවන් වෙළෙන්දකු බවය. “හත්තිලව් වර්ජින්ස් වලින් පස්සේ
මම ආයෙත් නවකථා ලියන්නේ නැහැ” වුල්ෆ් පවසා ඇත්තේය. එම නවකථාව සම්බන්ධයෙන් පළ
වූ විවේචන කරන කොට ගෙන වුල්ෆ් ඉන් පසුව කිසිදාක නවකථා නොලීවේය.
පොත්පත් කියවීම මෙන්ම විවේචනය ද වැදගත්ය.
සේනාරත්න වීරසිංහ
|