මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»


මාලනීගේ ප්‍රථම ප්‍රසිද්ධ වේදිකා රංගනය

මුදු දිය දහරක්.... 48

මාලනීගේ ප්‍රථම ප්‍රසිද්ධ වේදිකා රංගනය

ගුවන් විදුලි සේවයේ නිබන්ධ සම්පාදක වැඩ කටයුතු මධ්‍යයේ මගේ අලුත් ම නාට්‍යය රංගනගත කිරීමේ කාර්යය ද කෙසේ හෝ මැනවින් ඉටු කළ යුතු ය යන චේතනාව මසිත දැඩි ලෙස වෙලී තිබිණ. හෙන්රික් ඉබ්සන්ගේ නෝවිජියානු මුල් නාට්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය වී තිබුණේ Lady from the sea යනුවෙනි. මම එය ‘සයුරෙන් ආ ළඳ’ යනුවෙන් නම් කළෙමි. එහි බෙහෙවින් දැක ගත හැකි වූයේ නාට්‍යමය ජවනිකා වෙනුවට සංවාද බහුල බවකි. දිගු සංවාද බහුල නාට්‍යයක් කෙසේ ‍නම් ප්‍රේක්ෂක සිත ඇද බැඳ ගැනීමට සමත් වේද යන සැකයක් ද මසිත ජනිත විය. එහෙත් මෙය කෙසේ හෝ දි‍රියෙන් යුතුව ජය ගත යුතු යයි මම සිතුවෙමි.

අතිදක්ෂ රූපණ ශිල්පීන් යොදා ගතහොත් අභිමත කාර්යය පහසු වන බව මට සිතිණ. සබැවින් මම ප්‍රධාන නළුවා ලෙස ඉංග්‍රීසි උපදේශකවරයෙකු වූ මා මිත්‍ර ලක්ෂ්මන් ප්‍රනාන්දුත් ප්‍රධාන නිළි භූමිකාවට මාලිනී ෆොන්සේකාත් යොදා ගත්තෙමි. මෙය මාලිනීගේ ප්‍රථම ප්‍රසිද්ධ වේදිකා රංගය වූ බව මම පසු කලෙක දැන ගත්තෙමි. මම ඉබ්සන්ගේ මුල් කෘතිය මැනවින් හැදෑරුවෙමි. අදාළ පසුබිම් ලේඛන හැකිතාක් කියවීමි. අවශ්‍ය පරිදි සාකච්ඡා පැවැත්වීමි. ඉන් පසුව නිෂ්පාදන කටයුතුවලට අත ගැසුවෙමි.

මේ නාට්‍යය කෘතියේ කිසියම් අපූරු ගුප්ත බවක් හා අතිශය සුන්දරතාවක් අන්තර්ගත වී ඇතැයි යන හැඟිමින් යුතුව සිටියෙමි. එහෙත් ඒ බවක් මගේ නාට්‍යය දිග හැරෙන අයුරු නැරඹූ හිතවත් රසිකයනට නොදැනුනු බවක් ද මට හැඟිණ. මම තරමක කනස්සල්ලට පත් වුනෙමි. එය උග්‍ර වූයේ ‘ඇයි ඔබ ඉබ්සන්ගේ ඔය නාට්‍යය තෝරා ගත්තේ?” යන ප්‍රශ්නය ඇසීමෙනි‍. මට හැඟුණා මේ නාට්‍යයේ මානව දයා ගුණයත් සුන්දරත්වයත් යන සාධක දෙකම වෙන් කළ නොහැකි විදිහට සංකලනය වෙලා තිබෙනවා කියල” මම පෙරලා ප්‍රතිචාර දැක්වීමි. ‍Óඔය නාට්‍යයේ නාට්‍ය උචිත අවස්ථා හුඟක් නෑ නේද?”

“ඒ වුණාට යටි පෙළ හුඟක් ප්‍රබලයි” මම කීමි. මේ නාට්‍යය ඡායානුවාදයක් ලෙස ලිවීමත් එයම නිෂ්පාදනය කිරීමත් යන කාර්යයන්ගෙන් මා ලද තෘප්තිය බොහෝ දෙනෙකුට නොදැනිණ. කෙසේ වෙතත් ‘සයුරෙන් ආ ළඳ’ නාට්‍යය එක් අවුරුද්දක (1966 විය යුතු ය) රාජ්‍ය නාට්‍ය උත්සවයේ ආරාධිත නාට්‍යයක් වශයෙන් රංගගත විය. මේ නාට්‍යය නැරඹූ මා මිත්‍ර සිළුමිණ පුවත්පතේ විශේෂාංග කතුවරයා වූ බෙනඩික්ට් දොඩම්පෙගම කියා සිටියේ ‘සයුරෙන් ආ ළඳ නාට්‍යය සංගීත සංධ්වනියක් ලෙස ඔහුට පෙනී ගිය බවකි‍. වෙනත් ඉංග්‍රීසි පුවත්පතක විචාරකයෙකු කියා සිටියේ ‘සයුරෙන් ආ ළඳ රූප ශිල්පීන් නාස්ති කළ රංගයක් බවයි. Actors Wasted යනුවෙන් ඒ අදහස ගම්‍ය කර තිබුණි. මේ නාට්‍යය සඳලංකාව පැත්තේ ගමක රංග ගත කිරීමටත් ගමන් වියදම් ඇතුළු වෙනත් නාට්‍ය ගාස්තු ගෙවීමටත් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කැමැත්ත ප්‍රකාශ කළ සේක. ඊට එකඟ වී ‘සයුරෙන් ආ ළඳ’ ඒ ගමට ගෙන ගිය නමුත් ගමේ ජනයාට අප නාට්‍යය ඇල්ලුවේ නැත.‍

තවදුරටත් මගේ නාට්‍යය රංගගත කිරීමෙන් වැළකිය යුතු යයි මම තීරණය කළෙමි. මගේ සිතට ඒ තීරණය අනුව කණස්සල්ලක් නොවීය. සිරිත් ප්‍රකාර කොල්ලුපිටියේ බ්‍රිතාන්‍ය කවුන්සලයේ පුස්තකාලයට ගිය මම මේ නාට්‍ය පිළිබඳවත් එය රංගගත කිරීමත් පිළිබඳ ලියවුණු මූලාශ්‍ර ඇසුරු කරන්නට ‍පටන් ගත්තෙමි. මට දැන ගැනීමට ලැබුණේ මේ නාට්‍යය රඟ දක්වන ලද කිසිදු තැනකින් යහපත් ප්‍රතිචාර නොලැබී ඇති වගයි. ඇතැම් විචාරකයන්ගේ සටහන් වලට අනුව මේ නාට්‍යය සුදුසු වන්නේ කියැවීමට විනා රඟ දැක්වීමට නොවන බවකි. ‘සයුරෙන් ආ ළඳ’ නාට්‍යය සම්බන්ධව එය තමන්ගේ ම කාර්යයක් ලෙස සමීප කරගෙන සිටි මගේ හිතවතා වූයේ සෙනෙවිරත්න ජයසිංහ (පොඩි ජයසිංහ) නමැති සමීපතමයාය. ‍ඔහු මගේ සිත නිරන්තරව දිරිමත් කරමින් කියා සිටියේ ‘අපි වෙන නාට්‍යයක් කරමු’ යන්නය. එහෙත් මට අවශ්‍ය වූයේ තවත් නාට්‍යයක් කිරීම වෙනුවට හැකිතාක් නාට්‍ය පෙළ කියවීම හා නාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳව යහපත් ගුරුපදේශ ලබා ගැනීමකි. ‘සයුරෙන් ආ ළඳ’ නාටකය තවත් කීප තැනක රඟ දැක්වීමට ඉල්ලීම් තිබුණ ද මම ඒ හැටි ඒ ගැන උනන්දුවක් නොදැක්වීමි.

මගේ ම නිෂ්පාදනය මා රඟහලක ඈතට වී බලා සිටියදී එහි බොහෝ අඩුපාඩුකම් ඇති බව මට වැටහිණ. මේ නාට්‍යය මීට වඩා මැනවින් නිෂ්පාදනය කිරීමට නම් සංගීතය හා නර්තන විලාස ඊට අන්තර්ගත කළ යුතුය යන හැඟීමක් මා තුළ පිවිසියේ කෙසේ දැයි මට සිතාගත නොහැකි ය. බාගදා එය සිදුවන්නට ඇත්තේ එකල විටින් විට බ්‍රිතාන්‍ය කවුන්සලයේ අනුග්‍රහයෙන් කොළඹ බිෂොප් විද්‍යාල රඟහලේ හා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පෙන්වන ලද නාට්‍යය නැරඹීමෙන් විය යුතු ය. තවද හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය කෘතියක වටිනාකම රැඳී පවතින්නේ ඊට නිෂ්පාදකය විසින් දෙනු ලබන අර්ථ කථනය ඔස්සේ බව ද මම කෙමෙන් වටහා ගතිමි. මේ කාරණා සියල්ල පසුබිම් වී මම තරමක නිශ්ශබ්ද කාලයක් ගත කරමින් නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයක් කළ යුතු යයි නිගමනය කළෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මගේ මේ අධ්‍යයනයේ පුරෝගාමී කෘතිය වූයේ Understanding Drama යන මහාර්ඝ කෘතියනි. එහිලා ලෝක ප්‍රකට නාට්‍ය විස්සක් පමණ සාකච්ඡාවට ලක් කෙරේ. මෙසේ පරිශීලනය කරමින් යද්දී මට ධම්ම ජාගොඩ නම් වූ තරුණ රංග වේදියා මුණ ගැසීමේ අවස්ථාව ලැබිණ.

ධම්ම ජාගොඩ මිතුරා මුණ ගැහීම අහම්බෙන් සිදුවූවකි. එක් දිනක් මම මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණ ගැසීමට ඇස් වාට්ටුවේ බෞද්ධ කාන්තා විදුහල අසබඩ පිහිටි සඳැල්ලට ගියෙමි. එය කුමක් හෝ නාට්‍ය කලාව සම්බන්ධ කාරණයක් විය යුතු යයි මම සිතමි. මහැදුරානන් මුණ ගැසීමට පැමිණ සිටියේ එකල ‘මුහුදු පුත්තු’ නමින් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළ ගුණසේන ගලප්පත්තිය. ඔහු සමඟ ධම්ම ද පැමිණ සිටියේ ය. ගුණසේන ගලප්පත්ති මහතා මා ඒ වනවිට දැන හැඳින සිටිය මුත් ධම්ම ප්‍රථම වරට මුණ ගැසුණේ මෙදින ය. මහැදුරු සරච්චන්ද්‍ර මගින් මට ධම්ම මුණගැසීම මගේ රංග කලා චින්තනයේ බොහෝ වෙනස්කම් ඇති කිරීමට හේතු කාරක වීය. ධම්ම හික්කඩුවේ ගමක හැදී වැඩී පහතරට යාතුකර්ම ගැනත් ඒවාට සම්බන්ධ වෙනත් බොහෝ රංග කලා සම්ප්‍රදායන් ගැනත් දැඩි උනන්දුවකින් පසුවූ කෙනෙකි. එහෙත් මේ වනවිට ඔහු මුහුදු පුත්තු නාටකයේ එක් නළුවකුගේ අඩු පාඩුවක් සපුරාලීමට ගලප්පත්තිට සහයෝගය දක්වමින් සිටියේ ය. මේ අතර ඔහු තම ප්‍රථම ප්‍රයත්නය ඉතා ඉක්මනින් රංග භූමියට ඒමට සලස්වන බව කීය.

“මොකක්ද ඔය නාට්‍යය?” මම ඇසුවෙමි.

“වෙස් මුහුණු - ටෙනසි විලියම්ස්ගේ The street ear named Desire නාට්‍යයේ ඡායානුවාදයක්. ධම්ම තම නාටකය පුහුණු කරන තැනට ගොස් මම බොහෝ‍ වේලා බලා සිටියෙමි. ස්ටැන්ලි ද සොයිසා නමින් එකල ප්‍රකටව සිටි පොලිස්පතිවරයෙකු ගේ දියණියක වූ  රොමා ද සොයිසා වෙස්මුහුණ නාට්‍යයේ ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කළා ය. රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රධාන නළු භූමිකාව නිරූපණය කළේ ය. එය අපූරු නාට්‍යක් වූ බව අප කාටත් ගරු සරු ඇතිව පිළිගැනීමට සිදුවිය. ටෙනසි විලියම්ස්ගේ මේ ඇමෙරිකානු නාට්‍යය චිත්‍රපටයක් වශයෙන් ද කලකට උඩදී තිරගත විය. එය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ඇමෙරිකන් සිනමා වේදියෙකු වූ එලිය කසාන් (Elea Kazan) විසිනි. ‍මම ඒ චිත්‍රපටය දෙවරක් ම නැරඹුවෙමි. රංග භූමියට සකසන ලද නිර්මාණයක් මුල් කෘතියේ හරයට බාධා නොවන පරිදි තිර නිර්මාණයක් කළ හැක්කේ කෙසේ ද යන්න මම හැදෑරුවෙමි‍. ඒ පිළිබඳව මම ධම්ම සමඟත් තවත් කීප දෙනෙකු සමඟත් කතා කළෙමි.

ධම්ම ජාගොඩගේ හොඳම මිතුරන් දෙදෙනෙක් ද ඇසුරු කිරීමට මට මේ කාලයේ අවස්ථාව ලැබිණ. ඔවුන් දෙදෙනා නම් බන්දුල විතානගේ හා තිලක් ජයරත්නය. මම මුලින් ම ඔවුන් දෙදෙනාවම මුණ ගැසුණේ කොළඹ විශ්ව විද්‍යාලයේදී ය. සීතා උපාධි අපේක්ෂිකාවක වශයෙන් ඉගෙනුම ලැබුවේ කොළඹ විශ්ව විදයාලයේ බැවින් ඇය හමුවීමට යනවිටදීත් විශ්ව විද්‍යාලයේ නවකලා මන්දිරයේ සන්ධ්‍යාවේ රඟ දක්වනු ලබන නාටක බැලීමේදීත් මේ මිතුරන් දෙදෙනා මුණ ගැසිණ. තිලක් මෙන් ම බන්දුල ද රංග කලාවේ ලොල් අය වූහ. මෙකල මහා බ්‍රිතාන්‍යයේ අතිශයින් ප්‍රකටව තිබූ look back In Anger නමැති ඉංග්‍රීසි නාට්‍යය තිලක් ජයරත්න පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළේ ය. එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ බන්දුල විතානගේ ය. තිලක් මෙන් ම බන්දුල ද උපාධිධරයන් වශයෙන් පළමු පත්වීම් ලබා ගත්තේ ගුවන් විදුලි සේවයේ ය. ඒ අතරවාරයේ ඔවුහු නාට්‍ය කලාවට සමීප සම්බන්ධතා දැක්වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්