කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

නිදහස් සටනේ පුරෝගාමි ජනනායක ඩී. ඒ. රාජපක්ෂ

නිදහස් සටනේ පුරෝගාමි ජනනායක ඩී. ඒ. රාජපක්ෂ

නොවැම්බර් 7 වැනි දිනට යෙදෙන දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

දෙසක, පෙදෙසක හෝ රැසක ප්‍රධානියකු, පෙරමුණේ සිටින්නකු හෝ ජනතා නියෝජිතයකු නායකයෙකි. නිවැරැදි දිශාවට, නිවැරැදි අරමුණට, නිවැරැදි ලෙසින් කලට වේලාවට තමා නායකත්වය දරන පිරිස හෝ සමස්ත ජනතාව මෙහෙයවන්නා ජන නායකයෙක් ලෙස ඉතා කෙටියෙන් හඳුන්වාදිය හැකිය.

සැබෑ නායකයා සැබැවින්ම සිය කණ්ඩායමේ අන් අයට වඩා හෑම අතින්ම කැපී පෙනෙයි. ඉදිරියෙන්ම සිටී. ඔහුට මනා පෞරුෂත්වයක් ඇත. තීක්ෂණය, දූර දර්ශීය දැනුමැතිය. බුද්ධිමත්ය. අවංකය. එඩිතරය. සිය කණ්ඩායමේ, පෙදෙසේ නැතහොත් සිය දෙසේ ප්‍රධානියා නොහොත් නායකයා තම පිරිස යහපත්, පොදු අරමුණට සාර්ථකව ඉක්මනින් මෙහෙයවමින් කැටුව යයි.

ශ්‍රේෂ්ඨ නායකයන් සම්බන්ධයෙන් කැපී පෙනෙන මෙවන් ලක්ෂණයන් ගෙන් පිරිපුන් ශ්‍රේෂ්ඨයන් ගෙන් අඩුවක් අප රටේ කවදත් නොවීය. පඬු අබා, ගැමුණු, වළගම්බා, පැරකුම්බා විජයබා ආදි දේශපාලන රාජ්‍ය නායකයන් ද, වාරියපොළ සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි වැනි දේශ ආගමික හිතෛෂී ආගමික නායකයින් ද ඇතුළත් සදාදරණීය ගෞරවාචාරයට පාත්‍ර වූ එවන් නායකයන්ගේ නම් රැසක් තොරතුරු සොයාගෙන ඇති ඉතිහාසයේ සිට අද දක්වාත් අප රටේ ජන හද තුළ රැ‍ඳේ.

ඉතිහාසයේ අප රට දුර්භාග්‍ය සම්පන්න වූ බොහෝ යුගයන්හි ඉන් රට, දැය, සමය බේරා ගැනීමට සමත් ඉහත කී ජන නායකත්ව ලක්ෂණවලින් පිරිපුන්, සැබෑ ජන නායකත්වය යනු කුමක් ද යන්න ලෝකයාට විදහා දැක්වූ නායකයන් රැසක් රුහුණෙන් මතු විය.

අප රටේ දුර්භාග්‍ය සම්පන්න දේශපාලන යුගයන් හමාර කළ පණ්ඩුකාභය, ගැමුණු, වළගම්බා, ගජබා, 1 වන විජයබා, අනගාරික ධර්මපාල තුමා ආදින්ගේ ශ්‍රේෂ්ඨ නම් ඒ අතර රැ‍ඳේ. ඉතිහාසයේ නූතන අවධිය හදාරණ අපට රුහුණෙන්ම බිහිවූ එවන් ශ්‍රේෂ්ඨ සැබෑ ජනතා නායකයන් රැසක් අනාවරණය වේ.

ඉන් මෙපිට රුහුණේ වීරකැටියෙන් බිහිවූ ඩී. ඩී. රාජපක්ෂ, ඩී. සී. රාජපක්ෂ 1936 දී එවකට එංගලන්තයට යටත්ව පැවැති ශ්‍රී ලංකාවේ එංගලන්ත පාලකයන් විසින්ම ඇතිකර තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට අසුනින් තේරී පත්වූ ඩී. එම්. රාජපක්ෂ මැතිතුමා ගෙන් සමාරම්භ වන විශේෂයෙන් දේශපාලනයේ රාජපක්ෂ නායකත්ව නාමය ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද්‍ර, නාමල්, යෝෂිත ආදි අතිශයින් කැපී පෙනෙන ආදර්ශවත් ජන නායකයන් රැසක් රුහුණෙන්ම මෙරට බිහිවීම විශේෂත්වයකි.

බටහිර සුදු අධිරාජ්‍යයෙන් හෙළදිව බේරා ගැනීමට එදා ඩී. එම්. හා ඩී. ඒ. සිය දේශ හිතෛෂී සහෝදර ජනතාවට නිසි නායකත්වය සපයමින් නිදහස් සටනේ පුරෝගාමී අන්‍ය නායකයින්ට සහාය‍ දෙමින් එක්ව කළ සටනින් නිදහස ලබා දුන්නාක් මෙන්ම, දිනූ නිදහස අර්ථවත් කරන්නට, ආර්ථික, සමාජ නිදහස ද රටට දායාද කරන්නට ද රාජපක්ෂවරුන් එදා සිට කටයුතු කළහ. එම පරපුරේ වර්තමානිකයෝ ද සිය පිය මුතු පරපුරේ මහඟු ජන මෙහෙවර අතිශය සාර්ථක ලෙස ඉදිරියටම ගෙන යති.

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන් 1905. 03. 31 වැනිදා උපන්නේ වීරකැටියේ බුද්ධියගම රාජපක්ෂ මහගෙදරදීය. ඩී. ඩී. රාජපක්ෂ විදාන ආරච්චි රාළහාමිටත් ඩී. ජී. ඩබ්ලිව්. රත්නායක මැතිනියටත් තුන්වන දරුවා ලෙස බිහිවූ එතුමා ගමේ පාසල වූ වීරකැටියේ මංඩාඩුව විදුහලින් මූලික අධ්‍යාපනයත් ගාල්ලේ රිච්මන්ඩ් විදුහලින් ද්විතීය අධ්‍යාපනයත් ලැබ ගති. විනීත ගති පැවතුම් ඇති දක්ෂ සිසුවකු වූ ඩී. ඒ. ශිෂ්‍යයා විශේෂයෙන්ම පාසල තුළදී සිය ගුරුවරුන්ගේත් සහෝදර ශිෂ්‍ය සමූහයේත් ආදරයට ලක් විය.

ඒ ඔහුගේ හැදියාව, ක්‍රියාශීලීත්වය, ශිෂ්‍ය නායකත්වයට පත්වීම්, සංවිධානමය හැකියාවන්, ක්‍රිකට්, පාපන්දු ආදි ක්‍රීඩා දක්ෂතාවයන් ආදි යහ ශිෂ්‍යභාවයන් නිසාමය. සිය පාසල් දිවිය තුළ සිය දක්ෂතාවය හා නිසි ජයග්‍රහණ මෙහෙයුම් නිසාම විවිධ ජයග්‍රහණ අත්කර ගනිමින් විදුහලට ද ගෞරවයක් දිනා දුන් ඔහු පාසල් ආගමික කටයුතු, සමාජ හා සුබ සාධන සේවාවන් හිදී ද නිසි ලෙස පෙරමුණ ගති.

එමඟින් ඔහු පාසල් ප්‍රජාව අතර කැපී පෙනුණි. යහතින් පාසල් දිවිය හමාර කළ ඩී. ඒ. ඉන්පසු එක්වන්නේ සිය පිය හා සහෝදර ඩී. එම්. ආදින්ගේ සමාජ දේශපාලන ගමනට ක්‍රියාශීලී දායකත්වය සපයමිනි. එවකට වසර 20 ක වයසැති යෞවනයකු වූ මෙතුමාට “පුංචි රාලහාමි” යන සුරතල් ඇමතුම් නාමය ගම් වාසීන් වහරින් ප්‍රදානය කළේ හුදෙක්ම ඒ වන විට එම රාජපක්ෂවරුන් ගම්වාසීන් අතර දිනා සිටි ජන නායකත්වය නිසාම බව වසර 09 ක් වීරකැටියේ උප දිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි මා සමඟ එදා පැරැන්නෝ ප්‍රකාශ කළහ.

“රුහුණේ සිංහයා” යන විරුදාවලියෙන් නම් ලත් සිය වැඩිමහල් සොයුරා එවකට පැවැති සුදු අදිරද පාලන බලයෙන් රට මුදා ගැනීමට සිය මෙහෙවර 1936 සිට නොඅඩුව ඉටුකරමින් සිටියේය. අදිරද ගැති සුදු පාලකයන් සිය සහෝදර ජනතාවට කරන තාඩන පීඩන, අසාධාරණ බදු පීඩා මෙන්ම සැහැසි දඬුවම් ද නොඉවසූ ඩී. එම්. ඇතැම් සුදු පාලකයන්ට සිය බාහු බලය පෙන්වීමට ද නිර්භය විය.

ඒ වන විට මෙරට නිදහස් සටන සාර්ථකව ඉදිරියට යන සමයයි. දේශ හා ජනතා හිතෛෂීයකු වූ එතුමා සිය නායකත්ව යුග මෙහෙවර රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළදීත්, පිටදීත් නොඅඩුව සපුරාලීය. සිය ජනතාවට ඉඩම් වගා අවසර පත්‍රයේ සිට ඔවුන්ගේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික, ප්‍රජා පොදු පහසුකම් ලබාදීමට නිබඳවම කැපවෙමින් යුග යුතුකම් ඉටු කළේය. ඩී. එම්. 1945. 05. 18 දින රුහුණු ජනතාව ද හඬවා මෙලොවින් සමුගත්තේය. ඩී. ඒ. වඩාත් ක්‍රියාකාරීව ඉන් පසු දේශපාලන නායකත්වයේ පෙරට එන්නේ ඒ සිය සොහොයුරාගේ පාඩුව පිරිමසිමිනි.

1945. 08. 08. දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට අසුනට නිතරගයෙන් පත්වූ එතුමා නිදහස් සටනට සිය නායකත්වය ද එක් කළේය. සටන ජය ගැනිණි. සියවස් 4 1/2 කට පසු රට නිදහස් විය. ඉන් පසුව බෙලිඅත්ත ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ඉඩම් හා ඉඩම් සංවර්ධන, කෘෂිකාර්මික හා ආදි අමාත්‍යවරුන්ගේ පාර්ලිමේන්තු ලේකම්, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය, පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපති, නියෝජ්‍ය කථානායක ආදි ගෞරවනීය නිලතල රැසක් හොබවන්නට සමත් වූ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා සිය දෙසට රැසට මෙන්ම බසට ද සමස්ත ජනතාවට ද සැබෑම නායකයකු විය.

දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය හා විවාහ වී අතිශය සාර්ථක හා ආදර්ශවත් යුග දිවියක් ගත කළ එතුමා මෙරටට බිහි කළ අනාගතයේ දායාදය දරුවන් නව දෙනකු ගෙන් යුත් පරපුරයි. වර්තමානයේ අප රට දේශ දේශාන්තරයන්හි ගරු නම දිනාගෙන තිස් වසරක් පැවැති කෲර යුද්ධය ද නිමාකර ආසියාවේ ආශ්චර්යවත් රට ලෙස නම් දිනා දීමට ඩී. ඒ. රාජපක්ෂ මැතිඳු එදා සිය දරුවන්ට ස්නේහවන්ත පියෙකු, තුන්කල් විනිවිද දුටු නායකයකු ලෙසින් දුන් ආදර්ශය මොන තරම් අගනේ ද?

දිවංගත අගමැති බණ්ඩාරනායක මැතිඳුන්ගේ සෙවණැල්ලක් වූ එතුමා වලවේ ගංගා නිම්න සංවර්ධනය, චන්ද්‍රිකා වැව හා කිරම ඔය, ඌරුබොක්ක ඔය, උඩුකිරිවිල ජලාශ යෝජනා ක්‍රමය ආදි රැසක් නිම කරවීය. උදැල්ල, කැත්ත, නඟුල, කෙත, නියර දෑත දෙපයට හොඳින් හුරු වූ එතුමා ගොවි, කම්කරු ජනතාවගේ සැබෑ මිතුරෙකි. හිතවතෙකි. උපදේශකයෙකි. නායකයෙකි. අනුගමනයට සුදුස්සෙකි. පන්සල හා පල්ලියේ ද දායක, කාරකයකු වූ එතුමා විහාරස්ථාන හා අන්‍ය ආගමික ස්ථාන දියුණු කර ගැනීමට වෙහෙසිණි. ඒ බැව් කෘතෝපකාර ලෙස අදත් ගම්මු සිහිපත් කරති.

ඩී. ඒ. මැතිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වඩාත් ඉස්මතු වන්නේ එතුමා දරුවන් තැනූ විලාශයයි. නිරෝගීව, නිහතමානීව, ගුණ ගරුක සම්ප්‍රයුක්තව, උගත්කමින්, නැණ නුවණින් පිරිපුන් දරුවන් රැසක් දැයට බිහිකළ එතුමා සිය දේශපාලන අත්දැකීම් තුළ ලබාගත් දැනුම නිසාදෝ නුදුරු අනාගතයේ මෙරටට ඇතිවිය හැකි යුද, කෝලාහල, අසමගි සන්සිඳුවීමට සමත් දරු පිරිසක් රටට දායාද කළේය. ඒ ඔහුගේ තුන්කල් දක්නා නුවණ පසක් කළ හැටියි.

ඒ ප්‍රභාවයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිය ජනතාව ජාති, ආගම්, කුල, දේශපාලන ආදි පටු භේදයන් ගෙන් තොරව සැම දෙනාගේ සහාය ලැබ අද රට කරවති. 2009. 05. 18 දිනට තිස් වසක් ගෙවුණු ලෝකයාම බියට පත්කළ යුද්ධය නිමා කෙරිණි.

රටේ ආර්ථිකය අද ශීඝ්‍ර ලෙස දියුණු වෙමින් පවතී. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, කොළඹ වරාය නව නගරය, රට පුරා ඉදිවන නව නාගරික පහසුකම්, කොළඹ නෙළුම් කුලුන, නෙළුම් පොකුණ රඟහල, අනුරාධපුර ඉදිවෙමින් පවතින සඳ හිරු සෑය ආදි ආගමික සිද්ධස්ථාන, නව අධිවේගී මාර්ග ආදි පහසුකම් රැසක් දැන් අප දෙනෙතට දිස්වේ. රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදි සියල්ල දියුණුව කරා ගමන් කරයි. නව වැඩ සැලසුම් යෝජනා ක්‍රම ද දිනෙන් දින ආකස්මිකව ඉස්මතු වේ.

මෙවන් යුග අසිරියක් දැයට උදාකළ රාජපක්ෂවරුන්ගේ කාර්ය සංසිද්ධීන්හි උදාර හා දක්ෂ නායකත්වයන්හි ඩී. ඒ. තැබූ ලකුණ සියලු ඓතිහාසික ලියවිලිවල සටහන් වෙමින් ශ්‍රී ලංකාවාසී සමස්ත අනාගත පරපුරට දේශ හිතෛෂීව සදාකල්හි සැමරිය යුතු බව එතුමාට නිවන් සුව පතමින් සඳහන් කරමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්