කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

සංවාද මණ්ඩපය

ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා නම් අපිත් කැමැතියි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී

පාලිත රංග බණ්ඩාර

මේ අය වැය මහජනයා රැවටීම සඳහා ඉදිරිපත් කළ ඉලක්කම් විජ්ජාවක් පමණ කැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර මහතා කියයි. සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ ය. එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට මන්ත්‍රීවරයා දුන් පිළිතුරු මෙසේ ය.

 ඔබ කොහොමද මේ අය වැය දකින්නේ?

මේ සීනි බෝල අයවැයක්. මේකෙන් සුරංගනාලෝකයක් මවල පෙන්නන්න හැදුවත් ඒක සැබෑ වෙන එකක් නොවෙයි. ජනාධිපතිවරණයේ දී ජනතාව රවටන්න හිතාගෙන තමයි මේ අය වැය ඉදිරිපත් කරල තියෙන්නේ. ජනාධිපතිවරණය නොතියා එක මාස හයක් ඇදගෙන ගියොත් මේ අය වැයේ ඇති තත්ත්වය බලාගන්න පුළුවන් වෙයි. ආණ්ඩුවක අය වැයක් කියන්නේ ඉදිරි වසර සඳහා ආණ්ඩුව මුදල් වැය කරන්න බලාපොරොත්තු වන ආකාරය හා ඒවා පියවා ගන්නා ආදායම් ලබාගන්න ආකාරය පෙන්වන ලියවිල්ලක්.

මේකෙ පෙන්වන හුඟක් දේවල්වලට මුදල් වෙන් කරල නැහැ. එතකොට මුදල් වෙන් ‍ෙනාකළ යෝජනා ක්‍රම මූල්‍ය ප්‍රතිපාදන නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියල අහන්න ඕන. එක උදාහරණයක් කියන්නම්. ඇඟලුම් සේවිකාවන්ට විශ්‍රාම වැටුපක් දෙනව කියනවා. ඒකට වෙන් කරපු මුදලක් නැහැ.

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් දෙන්න යනව කියල ඒ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල අහිමි කරන්න ගිහින් සේවකයෝ ඒක බේරා ගත්තෙත් ජීවිත පූජා කරල. එදා කටුනායක රොෂාන් චානක කියන තරුණයා ජීවිත පූජා කළේ මේ සටනට. මේ වගේ දේවල් නිකන් කියන්න පුළුවන්. ඒ සඳහා යන මුදල් හොයාගන්න මාර්ගය කියන්න ඕන‍.

 ආණ්ඩුව කියන්නේ අවුරුදු දහයක සංවර්ධනයේ ප්‍රතිලාභ දැන් ජනතාවට දෙන්න පුළුවන් වෙලා තියෙනව කියලයි?

අපිත් සතුටු වෙනව ඇත්තටම ජනතාවගේ ජීවන තත්ත්වය මේකෙන් උඩට ගන්න පුළුවන් නම්. අද මිනිස්සුන්ට ජීවිත ගෙවා ගන්න වෙලා තියෙන්නේ ඉතා ම අමාරුවෙන්. හැම ‍එකෙන් ම ආණ්ඩුව බදු අය කරන නිසා ජනතාවට තමන් කන බොන දේටත් ආණ්ඩුවට බදු ගෙවන්න වෙලා තියෙනවා.

අය වැයෙන් කිව්වා අඩු පොලියට ස්වයං රැකියා කරන්න රුපියල් පනස් දාහක් දෙනව කියලා. ලාභ දායි ව්‍යාපාරයක් කරන්න බැරි නිසා මේ මුදල ගත්තොත් කාන්තාවන්ට ණය ගෙවා ගන්න බැරිව හිරේ ළඟින්නයි වෙන්නේ.

මේ මුදලින් කුකුල් ව්‍යාපාරයක් පටන් ගත්තත් ලාභයක් ලබන්න බැහැ. එහෙම ලාභයක් ලබන්න නම් ආණ්ඩුව ඒ නිෂ්පාදන ද්‍රව්‍යවල බදු මුදල් අයින් කරල තරගකාරී ලෙස ඒ ව්‍යාපාර ගෙනියන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕන. අපේ ගණන් බැලීම අනුව රුපියල් පනස් දහස් ගණනින් හදන්න පුළුවන් කිකිළියන් 62 යි. එක කිකිළියක් පස් මාසයක් හදන්න රු. 800 ක් වියදම් වෙනවා.

එතකොට කිකිළියෝ 62 දවසකට ගන්න පුළුවන් සාමාන්‍ය බිත්තර ගණන 50 යි.‍ එක බිත්තරයකට ලැබෙන තොග මිල රු. 8 යි. එතකොට බිත්තර විකුණා ලැබෙන මුදල දවසකට රු. 400 යි. දවසකට කුකුළු කෑම වියදම කිලෝවට රු. 60 ගණනේ කිලෝ හයට රු. 360 යි.

එතකොට ලාභය රු. 40 යි. විටමින්, විදුලි, ජලය සඳහා තව වියදමක් යනවා. එහෙම කරල සියයට 3 ක පොලී ණය ආපසු ගෙවන්නේ කොහොමද? ඔහුගේ හෝ ඇයගේ දවස වියදම හොයන්නේ කොහොමද කියන ප්‍රශ්න තියනවා.

 ඔබ කුකුළු ව්‍යාපාරයටත් අලාභයට ගණන් හදන්නේ?

මං කියන්නේ ප්‍රායෝගිකව ඒ ව්‍යාපාරය කරන කෙනෙකුට මුහුණ දෙන්න වෙන තත්ත්වය. හුඟක් කැපව‍ීම කරල තමයි යම් ව්‍යාපාරිකයකුට ගොඩවෙන්න වෙන්නේ. මොකද හැම දේකටම ආනයන බදු ගහල තියෙන්නේ.

අපි කිව්වේ රජයේ සේවකයන්ගේ පඩිය දස දහසකින් වැඩි කරනවා කියලා. නමුත් රජයේ සේවකයන්ට ඇත්ත වැඩිවීම රුපියල් 760 යි. ජිවන අංකය කොහොමත් දිය යුතු එකක්.

දැන් රාජ්‍ය සේවකයන්ට රුපියල් පනස් දහසකට යතුරු පැදියක් දෙනවා. ඒ යතුරු පැදිය ඉන්දියාවෙන් ගේන්නේ රු. 39000 කට. එ‍තනම 11000 ක් ලාභයි. පඩියෙන් පනස් දහස අවුරුදු පහකින් කපනවා.‍ ෆුල් ඉන්ෂුවරන්ස් 12000 ක් එක්ක රජයට 111000 ක් අවුරුදු පහ අවසානයේ ලැබෙනවා.

 මේ අය වැය ඔබ කොහොම කිව්වත් ඉතිහාසයේ වැඩිම සහන ලැබුණ අය වැය විදියටයි සලකන්නේ‍.

මේ අය වැයේ එක යෝජනාවක් තියනවා සෞඛ්‍යය ගැන හැම පුරවැසියෙක් ම පරීක්ෂණ කරනව කියලා.

 ඔබ ජනාධිපතිතුමාගෙන් ඇහුවනේ ඔය පරීක්ෂාව කරනවද කියලා?

ඔව්. මාවත් පරීක්ෂා කරනවා කියල එතුමා කිව්වා. දැන් මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ඉන්නවා. මේකට රු. මිලියන 500 යි වෙන් කරල තියෙන්නේ. එතකොට එක පුරවැසියකුට වැටෙන මුදල රු. 25 යි. රුපියල් 25 න් ටෙස්ට් එකක් කරනව තියා ඉන්ජෙක්ෂන් කට්ටක්වත් ගන්න පුළුවන් ද? මේකම ඇතිනෙ මේ අය වැයේ තියන ව්‍යාජය තේරුම් ගන්න. ආබාධිත අයට රු. 3000 දෙනව කියන කතාවත් අවුරුදු 4 ක සිට අය වැයෙන් කියන කතාවක්.

අර 2010 ජනාධිපතිවරණයේ දී දෙනව කියපු රු. 2500 වත් තවම දුන්නේ නැහැ.

යුද්දෙට විශාල වියදමක් දිනපතා අවි ආයුධ උණ්ඩවලට යනව කිව්වා. ටොන් 1 1/2 ක රත්රන් කොටින්ගෙන් අල්ලා ගත්ත කිව්වා. කොටි නැව් 18 ක් තියෙනව කිව්වා. මේ මුදල් වලට කෙළේ ‍කුමක්ද? ආණ්ඩුවේ ම ඇමැතිවරු දැන් කියනවනේ දෙන්න ඕන ප්‍රතිලාභ ජනතාවට ආණ්ඩුව දුන්නේ නැහැ කියල.

 මේ ඇතිවන සංවර්ධනය සියලු දත්තවලින් පැහැදිලි වෙනවා.?

සංවර්ධනය, සංවර්ධනය කියල පෙන්වන ලොකු ඉලක්කම් ගොඩක් තියනව තමයි. මං අහන්නේ ගමේ කොයි මිනිහගේද කරල පැහිල තියෙන්නේ. ආණ්ඩුවේ හෙංචයියන් කීප දෙනෙක් පමණයි අද වෙනකොට හැදිල තියෙන්නේ.

ත්‍රීරෝද රියැදුරන්ටත් විශ්‍රාම වැටුප් දෙනව කිව්වට ගොවි විශ්‍රාමයවත් අවුරුදු දෙක හමාරක් ගෙව්වේ නැහැ.

අන්තිමේ ගොවියො අමුඩය ඇදගෙන කොළඹ ආවා. ඒත් විශ්‍රාම වැටුප අහිමි වුණ ගොවියන්ට ගෙව්වේ නැහැ. රටේ ආර්ථිකය හැදෙනව නම් අපිත් කැමැතියි. ආර්ථිකය හැදෙනව නම් හැම කෙනෙකුගේ ම ආදායම වැඩිවීමක් වෙන්න එපායැ.

 මේ අය වැය නිසා අද විපක්ෂයේ කට වැහිල නේද?

එහෙනම් මේ අපි කට ඇරගෙන ඉන්නේ. උපාධිධාරීන් රැකියා දුන්නත් උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් විශාල පිරිසකට රැකියා ලැබිල නැහැ. කම්හල් හැදෙන්නේ නැතිව කොහොමද රැකියා ඇතිවෙන්නේ‍. නිෂ්පාදන කර්මාන්තය නිෂ්පාදනය වර්ධනය වීමත් සමඟ තමයි රටක් ඉදිරියට යන්නේ.

ඒ රටේ ජාතික නිෂ්පාදනය වර්ධනය වෙන්නේ. එහෙම ආශ්චර්යයක් අපි මේ රටේ දකින්නේ නැහැ. සීතාම්බර පටසළු කතාව වගේ ජනතාව මුලා කිරීමක් කරන්නේ. ජනතාවට කන්න තියෙනව නම් අම්මල දරුවො දාල යන්නෙවත් දරුවෝ ගඟට මුහුදට දාන්නේවත් නැහැනේ. එහෙම අගහිඟකම් නැතිනම් අම්මල කිරි දරුවෝ දාල මැද පෙරදිග බැල මෙහෙවරට රට යන්නේ නැහැනේ.

 ජනාධිපතිවරණයට දැන් එජාපය ලෑස්තිද?

අපි පක්ෂයක් ලෙස වගේ ම විපක්ෂය ලෙසත් මේ ජනාධිපතිවරණය ජයගන්න උපක්‍රමශීලීව ක්‍රියා කරනවා.

 කවුද අපේක්ෂකයා?

මැතිවරණය ප්‍රකාශ කළා ම අපේ අපේක්ෂකයා කියනවා. අපේ පැත්තෙත් ජනප්‍රිය චරිත හුගක් ඉන්නවා.

ඉල්ලන්න කවුරුවත් නැත්නම් මමත් ඉන්නවා. සිංහල - බෞද්ධ ඓතිහාසික පරංගි පරද්දපු පරපුරකින් මාත් එන්නේ.

දන්නේ නැතිනම් මුල්ලේරියා අභිමානය පොත කියවල බලන්න.


වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කරලා ඉවරයි

අන්තර්ජාතික මුල්‍ය සහයෝගීතාව පිළිබද ජ්‍යෙෂ්්ඨ ඇමැති, නියෝජ්‍ය මුදල් ඇමැති

අචාර්ය සරත් අමුණුගම

2015 වසරේ අය වැය ගැන නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා ලෙස ඔබ දකින්නේ කොහොමද?

මේ අය වැයේ ප්‍රධාන ලක්ෂණය නම් ශීඝ්‍ර සංවර්ධනය මඟින් සමාජයේ සෑම ජන කොටසකටම ප්‍රතිලාභ ලබා දීම. ඇත්ත වශයෙන්ම ඒ වගේ ව්‍යුහාත්මක වෙනසක් කරලා ශීඝ්‍ර සංවර්ධනයක් ලබා ගන්නේ නැතිනම් තව විදියකින් කිව්වොත් රට සංවර්ධනය වෙන්නේ නැතිනම් එහෙනම් ඒ සමාජ ස්ථරයන්ට ඒ පහසුකම් ලබා දෙන්ඩ හැකියාව ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ආර්ථික උපක්‍රමයක් විදියට සලකන්නේ ව්‍යුහාත්මක වෙනස්කම් මඟින් ආර්ථිකය ඉක්මනින් සංවර්ධනය කිරීමත් සංවර්ධනයට වේගවත් කර ඒ ලැබෙන ප්‍රතිඵල ඉක්මනින් සියලුම සහභාගී වෙන අයට ලබා දීමයි.

ඒ පසුබිමෙන් තමයි මේ අය වැය දෙස බලන්ඩ ඕනේ. ඉස්සෙල්ලාම බලන්ඩ අපි ලබා තියෙන ඒ ආර්ථික ප්‍රගමනය. අර්ථ ශ්‍රාස්ත්‍රය අනුව නිර්නායකයන් නියම කර ගෙන තිබෙනවා. ආර්ථික සංවර්ධනය විග්‍රහ කර ගන්ඩ. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයටම බලපාන නිර්නායකයක්. මොනවද මේ නිර්නායකයන්.

පළමුවෙනි දේ තමයි අර්ථික සංවර්ධන වේගය. දැන් ලංකාව ඉතාම ප්‍රශස්ථ සංවර්ධන මාවතකට ගිහින් හොඳ සංවර්ධන වේගයක් ලබා ගන්නවා. දළ වශයෙන් 7.5 සිට 8 දක්වා වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනයක් ඇති වෙලා තිබෙනවා.

මේක දකුණු ආසියාවේ ඉහළම සංවර්ධන වේගය.මොකද වෙන රටවල් ගත්තාම සාමාන්‍ය ප්‍රතිශතය 4.5 ත් 5 අතර තමයි තිබෙන්නේ. ඒවත් එක්ක සංසන්දනය කළාම අපේ ආර්ථික වර්ධන වේගය ඉතාම හොඳ මට්ටමක තියෙනවා කියා කියන්ඩ පුළුවන්. ඒ ආර්ථික වේගය අපට ලැබෙන්නේ ක්ෂේත්‍ර තුනකින්. ඒ තමයි කෘෂිකර්ම , කර්මාන්ත සහ සේවා යන ක්ෂේත්‍රය යන තුන.

එතකොට ඒ කොටස් තුන අතර තියෙන අන්‍යොන්‍ය ප්‍රතිශතය වෙනස් වෙන්ඩ පුළුවන්. අපි ඒ වෙනස් වීම බොහෝ දුරට සේවා ක්ෂේත්‍රයට බර දැමීමෙන් ඉදිරියට යන බව තමයි පෙනෙන්ඩ තියෙන්නේ. එ කෙසේ වෙතත් ඒ ක්ෂේත්‍ර තුනේම සංවර්ධනයක් පේන්ඩ තියෙනවා. එමඟින් මේ සංවර්ධන වේගය රට ලබා ගෙන තියෙනවා. ඒ නිසා අතීතය දෙස බලපුවාම ඉතාම ‍හොඳ වර්ධනයක්. අතීතයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබ්බේ සියයට 4 සහ 5 අතරයි.

මේ අය වැයේ විශේෂ ලක්ෂණ මොනවාද?

මේ අය වැයේ තියෙන තවත් හොඳ ලක්ෂණයක් තමයි උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට සැලසුම් කිරීම. මීට පෙර උද්ධමනය තිබ්බේ සියයට 10 සහ 9 වගේ ප්‍රමාණයට. නමුත් පසුගිය වසර කීපයේදීම උද්ධමන වේගය එක් ඉලක්කමක සියයට 5 ප්‍රමාණයක රඳවාගෙන තිබෙනවා.

උද්දමනය කියන්නේ ඇත්ත වශයෙන්ම දුප්පතා මත හෙළන බද්දක්. මොකද හැම දේම මිල වැඩි වුණාම උස් පහත් බේදයකින් තොරව මිනිස්සු ඒ භාණ්ඩ සඳහා තියෙන මිල ගෙවිය යුතු වෙනවා. නමුත් උද්ධමනය අඩු වුණාම මිනිස්සුන්ට භාණ්ඩ සඳහා ගෙවන්ඩ තියෙන මිල අඩු වෙනවා. ඒ නිසා උද්ධමනය ප්‍රශස්ථ මට්ටමකට ඇවිත් තියෙනවා. හොඳ ආර්ථිකයක අපි බලන්නේ සංවර්ධන වේගය උද්ධමන වේගයට ඉහළින් තියෙන්ඩ ඕනේ. දැන් අපිට ඒක පේන්ඩ තියෙනවා. ඒක හොඳ ලකුණක්.

ලොව වෙනත් රටවල් හා සසඳනකොට අපේ රට කොතනද ඉන්නේ?

ඒ වගේම තමයි රැකියා වියුක්තිය. අපේ විරැකියාව වර්ෂයෙන් වර්ෂය අඩු වෙලා තියෙනවා. ඒක වඩාත් වැදගත් වෙන්නේ ජනගහනය වැඩි වෙන අතර තවත් විදියකට කිව්වොත් රැකියා ලබන්ඩ බලාපොරොත්තු වෙන අයගේ ප්‍රමාණය වැඩි වෙන අතර රැකියා ලබා දීමේ ප්‍රතිශතය අඩු කර ගන්ඩ පුළුවන් වුණොත් ඒ කියන්නේ හොඳ වර්ධනයක් අපිට පේන්ඩ තියෙනවා.

තවත් වැදගත් සාධකයක් තමයි ඒක පුද්ගල අදායම. ලංකාවේ ඒක පුද්ගල ආදායම අවුරුදු කීපයකට පෙර තිබ්බේ ඇමෙරිකානු ඩොලර් 900ක‍ට වගේයි. නමුත් දැන් අපි 201 0 සිට බැලුවොත් ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 2400 යි. 2011 එය 2836 යි, 2012 ඇ.ඩො 2922යි ,2013 ඒක පුද්ගල අදායම 3280 යි. 2014 අපි බලාපොරොත්තු වෙනවා 3719 ඒ වගේම 2015 වසර වෙන කොට ඇ.ඩො 4000ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. 2020 වෙනකොට ඇමෙරිකානු ඩොලර් 10000 ක ඒක පුද්ගල අදායමක් අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 10 දී ඇමෙරිකානු ඩොලර් 900 ඉඳලා අද 4000 දක්වා වර්ධනය වීම ඉතාම හොද ලකුණක්.

මැලේසියාව සහ කොරියාව , වියට්නාමය වගේ රටවල් එක්ක තමයි අපේ රට සංසන්දනය කරන්ඩ පුළුවන් වෙන්නේ ඒ රටවල් එක්ක බලපුවාම ලංකාව ඉතාම හොඳ ගමනක යන්ඩ ලෑස්ති වෙනවා කියලා අපිට කියන්ඩ පුළුවන් . දැන් අපි තවත් නිර්ණායකයක් ගමු.

මේ රටේ විදේශ සංචිතය ගත්තාම කොපමණ තියෙනවාද දැන් අපට ඇ.ඩො. බිලියන 10 ක් තියෙනවා ඒ කියන්නේ මේරටට අවශ්‍ය මාස 6 කට අවශ්‍ය කෑම බීම වැනි දේ ආනයනය කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම එය රක්ෂණයක් වගේයි. එක කාලයක් තිබ්බා අපිට සති හයක් වත් නැති කාලයක්.

ඒ අනුව සෑම නිර්ණායකයක් දිහාම බැලුවාම අපිට සෑහිමට පත් වෙන්ඩ පුළුවන් කම තියෙනවා. ඉතාම වැදගත් දෙය තමයි අය වැයක් විශේෂයෙන්ම මුල්‍යමය වශයෙන් අසාර්ථකද සාර්ථකද කියලා බලාගන්ඩ පුළුවන් අය වැය පරතරයෙන් තමයි. හැම රටක්ම බලන්නේ මේ පරතරය අඩු කර ගන්ඩ දැන් බලන්ඩ ලංකාව ‍ එය මොනතරම් හොඳට කරලා තියෙනවාද කියලා . 2010 වෙන කොට සෘණ දශම අටක් අඩුපාඩුව 2011 එය සෘණ 6.9 ක් වුණා. 2012 එය සෘණ 6.5 ක් වුණා.

 2013 වෙන කොට එය සෘණ දශම 5 ක්වුණා දැන් අපි මේ අය වැයයටත් බලාපොරොත්තු වෙනවා සෘණ 4.6 දක්වා අඩු කර ගන්ඩ ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ 4.6 ක් තමයි අයවැය හිඟය බවට පත් කර ගන්නේ .අය වැය හිගය අපි වසරින් වසර අඩු කළාම ප්‍රධානම දෙය තමයි ආර්ථිකය කළමණාකරණය කර ගන්ඩ ණය ලබා ගන්ඩ විශේෂයෙන්ම පුනරාවර්ථන විදයදම් වැනි දේවලට මුදල් ණයට ගැනීම අඩු වෙනවා.

මෙතෙක් කල් අය පැත්ත කළමනාකරණය කර ගන්ඩ හැකියාව ලැබුණා. වෙනත් විදියකට කියනවා නම් අපි ලබා ගත යුතු බදු පෞද්ගලික බදු වෙන්ඩ පුළුවන් ලංකාවට භාණ්ඩ ගෙන එන විට බදු වෙන්ඩ පුවවන් දැනට අපේ තියෙනවා දළ ජාතික නිෂ්පාදිතය සියයට 13 ක්. අපේ අරමුණ එය සියයට 16 දක්වා වර්ධනය කර ගැනීම. දැන් විපක්ෂය නිතරම හුවා දක්වනවා අපි ආදයම් එක්කාසු කර ගැනීම මදියි කියලා. අපි දන්නවා ඒක වමේ සහ දක්ෂිණාංෂික දේශපාලන පක්ෂ කරන චෝදනාවක් . නමුත් අපි මතක තියා ගත යුතුයි එය සංඛ්‍යාත්මක හරඹයක් විතරක් නෙමෙයි එය ප්‍රතිපත්තිමය වෙනස් වීම් අනුවත් වෙනවා.

හොඳම නිදසුන තමයි ලංකාවට මෝටර් වාහන ගේන එක සීමා කළාම ඒවායින් ලැබෙන බද්ද භාණ්ඩාගාරයට ලැබෙන්නේ නෑ. ඊට පෙර වසරවල මිට වඩා වාහන ගේන්ඩ අවස්ථාව සැලසුණ වෙලාවේ අපේ අය ක්ෂේත්‍රය වැඩි වුණා. අපේ රටේ මෝටර් රථ සුළු වශයෙන් නිපදවන්නේ ඒවායේ අමතර කොටස් ගෙන්වන්නේ පිටරටින් ඒ නිසා මේ හැම එකකම තුලනයක් ඇති කර ගන්ඩ වෙනවා. දැන් මේ අය වැයෙන් වාහන ගෙන්වීමට ඉඩ ලබා දී තියෙනවා බදු අඩු කිරිමෙන් සහ තවත් සහන මඟින්.

එතකොට අනිවාර්යයෙන්ම අපේ අය වැඩි වෙනවා. අය වැය පරතරය ගැනම කතා කරමින් ඉන්නවාට වඩා මොන මොන සාධක නිසාද මේ පරතරය ඇති වුණේ කියලා අපි කල්පනා කළ යුතුයි. හැබැයි මොන පැත්තෙන් බැලුවත් බදු එකතු කිරීම කාර්යක්ෂම කළ යුතුයි.

අපේ ආර්ථික වර්ධනය ගැන සතුටු විය හැකිද?

ඒ බදු දැල හරියට ක්‍රියාත්මක කිරීමෙන් අපිට අදායම් ලබා ගන්ඩ පුළුවන් ඒ නිසා අපේ අරමුණ දළ ජාතික ආදායම සියයට 16 බව‍ට පත් කර ගැනීම. ඒ අතින් බැලුවාම අපේ ආර්ථිකය හොද ගමනක යනවා. ඒ අපි ආර්ථිකය ශක්තිමක් කිරිමට ගත් තීරණවල ප්‍රතිඵල තමයි ඒ.

එකක් තමයි රාජ්‍ය අංශය වඩාත් ඵලදායි කිරිමට පියවර ගැනීම. ඒ වගේම බදු ක්‍රමය කළමනාකරණය කිරීම. තෙල් මිල සහ විදුලි බිල උස් පහත් කිරීමෙන් තමයි මේ ප්‍රශස්ථ වර්ධනය අපිට දකින්ඩ තියෙන්නේ.

මේ අය වැයෙන් ඒ පසුබිම තුළ යම් මට්ටමකට ඇවිත් තියෙනවා. ඒක 2020 දක්වා සැලසුම් සහගතව ගෙන යනවා. අවුරුදු පහක් තිස්සේ ලබා ගත් ජයග්‍රහණයන් අනෙක් අයට ලබා දෙන කාලය ඇවිත්. මොකද ටික කාලයක් යනතුරු ආදායම් වැඩි කරගන්ඩ වෙනවා අකාර්යක්ෂමතාව අඩු කර ගන්ඩ වුණා. අපි හිතමු තෙල් මිල, ගෑස් මිල, විදුලිය, ප්‍රවාහනය මේ ආදි දේවලට ලැබෙන සහනාධාර. පාඩු ලබන ආයතන , ලාභ ලබන ආයතන බවට පරිවර්ථනය කර ගෙන යනවා. ඒ නිසා අපිට දැන් ජනතාවට සහන ලබා දෙන්ඩ පුළුවන්.

ආර්ථිකයට බලපාන විශේෂ සාධකය තමයි තෙල් මිල. අපිට දැන් තෙල් මිලේ හොඳ සහනයක් එන්න තියෙන බව පෙනෙනවා. තෙල් මිල ශීඝ්‍රයෙන් බැහැගෙන යනවා. ඒකෙන් අපි වගේ රටවලට වාසි ලැබෙනවා.

ඒ වාසිය රටේ ජනතාවට ලබා දී තියෙනවාද?

ඒක දැන් කරගෙන යනවා. . තෙල් මිල ප්‍රශ්නයට විසඳුම් හැම රජයක්ම සෙවිය යුතු වුණා. එක පැත්තකින් ගල් අගුරු සහ තෙල් මිලට යන වියදම් ගැන රජයක් සෑම වෙලාවකම බැලිය යුතුයි. විශාල ධනස්කන්ධයක් තෙල් සඳහා පිට රටවලට ඇදී යන එකත් එක්ක රජයකට අරගල කරන්ඩ සිදු වෙලා තියෙනවා. ඒක ලොකු ආර්ථික ප්‍රශ්නයක් තෙල් මිල සහ තෙල් මිල හසුරවන අායතන හැසිරවීම ප්‍රශ්නයක්. ඒ අයතන ණය නැති ආයතන ලෙස පවත්වා ගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේම ඒ අායතන මඟින් තෙල් මිලේ වාසිය මහජනයාට ලබා දීමත් කළ යුතු වෙනවා

ඒ තෙල් මිල කළමනාකරණය කරන්ඩ අපිට හැකියාව ලැබිලා තියෙනවා. මං දකින්නේ එය අපේ විශාල සහනයක් සහ ජයග්‍රහණයක් විදියටයි. ඒ සහනය අපි ලබා දෙන්නේ කොහොමදැයි ඉස්ෙසල්ලාම අපි බැලිය යුතුයි. මේ රටේ වඩාත්ම නිෂ්පාදනයට සම්බන්ධ වෙන කොටස් අපි ෙශ්‍ර්ණි ගත කරමු. ඉහළින්ම සුළු හා මධ්‍ය පරිමාන ක්ෂේත්‍රය. ඔවුන් තමයි ලංකාවේ විශාලම වෙළෙද ආයතන තිබෙන අය. ජාතික ධනයෙන් සියයට 30 ක් උපයන්නේ ඔවුන් වඩාත්ම රැකියා ලබා දෙන්නේ ඔවුන්. ඒ නිසා මේ අය වැයෙන් ඒ ක්ෂේත්‍රය නඟා සිටුවීම ගැන අවධානය යොමු කරලා තියෙනවා. නොයෙක් යෝජනා ඒකට ඇතුළත් කර තියෙනවා.

ඒ ක්ෂේත්‍රයේ ඉන්න ගොවි ජනතාවට විශාල සහනයක් මේ අය වැයෙන් ලබා දී තියෙනවා. සහතික මිල වැඩි කරලා තියෙනවා. ඒ වගේම පොහොර සහනාධාරය වෙනත් කෘෂි අංශවලටත් යොමු කරලා තියෙනවා. ණය ක්‍රම හඳුන්වා දී තියෙනවා. දේශීය ගොවියන් උනන්දු කරන නොයෙක් ණය ක්‍රම ලබා දී තියෙනවා. ඒකටත් රජයට වාසනාව තියෙනවා.

සංවර්ධනයේ හොඳ ලකුණක් තමයි පොලී අනුපාත අඩු වීම. ඉස්සර සියයට 16, 14 තිබ්බ පොලිය අපි අඩු කරලා තියෙනවා. ඒ නිසා බැංකුවකට ගිහින් ණයක් අරගෙන ආයෝජනයක් කරන්ඩ පුළුවන් අයට ඒ වාසිය ලැබෙනවා. ඒ වගේම තමයි තේ රබර් පොල් වගාවට උනන්දු කිරීමට ණය ක්‍රම හඳුන්වා තියෙන‍වා අඩුම පොලියට. ව්‍යවසායකයන්ට බදු සහන ලබා දී තියෙනවා ඒ අයට අවශ්‍ය උපකරණ අඩු බදු වලින් රටට ගෙන එන්ඩ පුළුවන් වෙනවා.

අපේ ආර්ථිකයේ ඉක්මන් පිම්මක් පනින්ඩ පුළුවන් අංශය තමයි සුළු හා මධ්‍යම පරිමාණ අංශයයේ අයගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරීම. ඒ ව‍ගේම තමයි අපි ඒ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමේදි අපි උපයෝගී කර නොගන්නා පිරිස තමයි කාන්තාවන්. පිරිමියා රැකියාව කරනවා ඒ වැටුපෙන් පවුල නඩත්තු කරනවා. අපි බලන්ඩ ඕනේ කුටුම්භයකට ලැබෙන අදායම ගැන. දැන් හුගාක් විට උපාධිධාරින් පවුලේ කාන්තාව සහ පිරිමියා පඩියක් ගන්නවා. එන්ඩ එන්ඩම අපේ වයස්ගත පිරිස වැඩි වෙනවා.

අනාගත ශ්‍රම හමුදාව කුඩා වෙනවා. අපේ අාර්ථිකය දියුණු වෙනකොට අපේ ශ්‍රම හමුදාම හීන වෙන එකට අපිට හොඳම විසඳුම තමයි අපේ ශ්‍රම හමුදාමේ හැකියාවන් වර්ධනය කිරීම. ඒ තමයි විද්‍යාත්මක අතින් ඔවුන්ගේ හැකියා වැඩි කිරීම. බොහෝ විට අද තියෙන්නේ සාම්ප්‍රදායික දැනුම තියෙන ශ්‍රම හමුදාවක්.

දැන් විශ්ව විද්‍යාලවලින් එළියට එන්නේ කලා සහ වාණිජ දැනුම සහිත උපාධිධාරීන් විතරයි. නමුත් රටට අවශ්‍ය විදියට විද්‍යාව තාක්ෂණය ගණිතය අංශවලින් එන උපාධිධාරීන් අඩුයි. නමුත් රජය උත්සාහ කරන්නේ ඒක හරි පැත්තට ගෙන ඒමටයි.

අධ්‍යාපනයෙන් නව වෙළෙදපොළට යන්ඩ පුළුවන් ශ්‍රම හමුදාවක් අපි මෙතෙක් හදලා තිබ්බේ නෑ. ඒකට පිළියම් තමයි මහින්දෝදය පාසල් . අපි පර්යේෂණයක් කළා. උපාධිධාරින් උපාධි ගන්නා උත්සවයට එන කොට ඔවුන්ගෙන් ප්‍රශ්න මාලාවක් ඇහුවා. ඔවුන් විභාගය ලියා ගෙදර අවුරුද්දක් ඉඳලා එන අය.

කලා උපාධිධාරින්ගෙන් සියයට අනුවකට රැකියා නෑ. නමුත් විද්‍යා සහ ගණිත උපාධිධාරීන්ගේන් සියයට අනුවකට රැකියා තියෙනවා. විශ්ව විද්‍යාල ක්‍රමයෙන් පිට කරන අයයි සැබෑ ලෝකයයි අතර සම්බන්ධයක් නෑ.

ඒ තුළ තමයි මේ නොයෙක් සමාජ ගැටුම් විපර්යාස ඇති වෙන්නේ ඒ නිසා විද්‍යා ක්ෂේත්‍රයට යාම අවශ්‍යයි. ඒ වගේම ශ්‍රම හමුදාවට ඇතුළත් නොවන කාන්තාවන් ශ්‍රම හමුදාවට ගේන්ඩ ඕනේ. එතකොට අපේ ජනගහනය දෙගුණ වුණා වගේයි. ඒ අය හුගාක් උනන්දු කිරීමත් මේ අය වැයේ තියෙනවා.

 කාන්තා ව්‍යාවසායකයන්ට ණය ක්‍රම තිබෙනවා. ඇපකර රහිතව , පොලී රහිතව සහ ඒ වගේම අවුරුදු 10 කාලසීමාවක ආපසු ගෙවීමේ ණය ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ඒ ව‍ගේම සමෘද්ධිය මඟින් ණය ක්‍රම හඳුන්වා දී තිබෙනවා. මේ අය වැය හදන්ඩ පෙර ජනාධිපතිතුමා වෘත්තිය සමිති සහ සෑම ක්ෂේත්‍රයකම අය සමඟ සාකච්ඡා කළා. යම් යම් සුවිශේෂි ප්‍රශ්නවලටත් මේ අය වැයෙන් විසඳුම් ලැබුණා. ඒ අයගේ නිරන්තර ඉල්ලීමක් තිබ්බා විශ්‍රාම වැටුම් විසමතා ඉවත් කරන්ඩ කියලා.

මුලින් පෙන්වපු විදියේ පොලී ප්‍රතිශතය බැස්සාම විශ්‍රාමිකයන්ගේ තැන්පතු සඳහා ලැබෙන පොලිය අඩු වෙනවා. බොහෝ විට ලක්ෂ 4, 5 තැන්පත් කරලා ඉන් ලැබෙන පොලියෙන් ජීවත් වෙන සහ යම් යම් සුළු ව්‍යාපාරික කටයුතු කරන විශ්‍රාමිකයන් ඉන්නවා. ඒ නිසා ඒ අයට සියයට 12 පොලී ප්‍රතිශතයක් දෙන්ඩ මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ වගේම ඒ අය ව්‍යාපරයක් කරනවා නම් පොලී රහිත ණය ගන්ඩ පුවවන්. ඒ වගේම තමයි රජයේ සේවකයන්ට අවම වශයෙන් රුපියල් 25000 ක් හෝ 30000 ගන්ඩ පුළුවන් ක්‍රමයක් හදලා තියෙනවා.

නවකයෙක් විදියට රාජ්‍ය සේවයට බැඳෙන කෙනෙකුට මුලින්ම රුපියල් 15000 ක වැටුපක් ලැබෙනවා. ලැබෙන දීමනා සංයුතියක් විදියට මුලික වැටුපට එකතු වෙනවා. ඊට අමතරව ජීවන වියදම් දීමනාව ලැබෙනවා. ඒවා ඔක්කොම එකතු කරපුවාම රුපියල් 10000 ලැබෙනවා. ඒ මත තවත් ඒ අයට අතිකාල දීමනා වැනි‍ දේවල් එක්ක ගත්තාම දළ වශයෙන් රුපියල් 30000 වැටුපක් රාජ්‍ය සේවකයකුට ගන්ඩ පුළුවන්. එතකොට ඒ අයට තමන්ගේ වැටුපෙන් සියයට 40 ක් ණය ගන්ඩ පුළුවන්. එහෙම සංයුක්ත වැටුපට ගියාම ණය ගන්ඩ පුළුවන් හැකියාව වැඩි වෙනවා. අතිකාල දීමනාව වැඩි වෙනවා. විශ්‍රාම වැටුප වැඩි වෙනවා.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට 150000 බඳවා ගන්ඩ විවිධ වැඩසටහන් මේ අය වැයේ තිබෙනවා. ඒ නිසා අලුතෙන් ශ්‍රම හමුදාවට ඇතුළුවෙන අයටත් රැකියා ලබා දෙනවා. අනාගතයේ විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය වෙන්නේ විද්‍යා අංශයෙන් . දැන් රාජ්‍ය අංශයේ ලක්ෂ 14 ක් සිටිනවා. ෙම් නිසා අනාගතයේ අපිට ඉදිරියට යන්ඩ වෙන්නේ විද්‍යා අංශයෙන් .

ජනාධිපතිතුමා අය වැයේදී කිව්වා රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල මුලික වැටුපට එකතු කරනවා කියලා. ඒක හරියටම ගණනය කිරීමකින් ප්‍රකාශ නොවුණේ ඇයි?

ඒ දීමනා මෙහෙමයි. වේතනය ගැන ප්‍රශ්නයක් නෑ. ඒ දීමනා කොටස් දෙකට බෙදෙනවා. ඒ තමයි ඒ වෙලාවේ වැටුපට එකතු නොකර සුවිශේෂ දීමනා විදියට දීපු ඒවා. ඊට අමතරව තියෙනවා ජීවන වියදම් දීමනාව. එතකොට ජීවන වියදම් දිමනාව වෙනම තියෙනවා අනෙකුත් සියලුම දීමනා මුලික වැටුපට එකතු වෙනවා. ඒ නිසා ඒකේ කිසිම ගැටලුවක් නෑ. ඕනෑම රාජ්‍ය සේවකයෙක් තමන්ගේ කලින් වැටුප් පත ගත්තාමදන්නවා තමන්ගේ සුවිශේෂ දිමනාව කොපමණද ජීවන වියදම් දීමනාව කොපමණද කියලා.

එක් එක් අයගේ වැටුප් තල අනුව දීමනා වෙනස් වෙනවාද?

මං මුලින්ම කිව්වේ රාජ්‍ය සේවයට අලුතෙන්ම බැඳෙන කෙනකුට ලැබෙන මාසික ආදායම ගැන. රාජ්‍ය සේවයේ පඩියට අමතරව ඒ අයට වැටුප් වර්ධක ලැබෙනවා. දස දෙනෙක් ඉන්නවා නම් ඒ ඒ අයට තනතුරු අනුව සුවිශේෂ වැටුපක් තියෙන්නේ. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා වැටුප් තල ගැන කතා කරන්ඩ බෑ. එක් එක් අයගේ වැටුප් තලය අනුව දීමනාවන් වෙනස් වෙනවා.

අය වැයෙන් යෝජනා කරපු දීමනා සියල්ල මුලික වැටුපට එක් කරන්නේ ලබන වසරේ ජුලි මාසයේ ඉඳලා. එය ප්‍රමාද වෙන්නේ ඇයි?

මේ වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කරන්ඩ විශාල කාලයක් යනවා. මොකද මේ හැම කෙනාගේම වැටුප සකස් කරන්ඩ වෙනවා. මගේ වැටුප නෙමෙයි මගේ අල්ලපු මේසයේ ඉන්න කෙනාගේ වැටුප. ඒ නිසා රාජ්‍ය සේවයේ දළ වශයෙන් ලක්ෂ 14 ඉන්නවා නම් ඒ සෑම කෙනාගේම වැටුප සුවිශේෂයි. ඒ එක් එක් අයගේ වැටුප්තල වෙනස්. ඒ නිසා දීමනා සියල්ල මුලික වැටුපට එක් කිරීමට කාලයක් යන නිසා තමයි නොවැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 3000 දීමනාවක් ලබා දෙන්නේ.

රාජ්‍ය සේවකයන්ගේ දිමනා සියල්ල ජූලි මුලික වැටුපට එක් කිරීම වෙන එකක් නෙමෙයි කියලා විපක්ෂය කියනවා?

ඒක වැරැදියි. කවදාවත් අය වැයකින් නොවෙන දෙයක් කියන්නේ නෑ. මොකද ඒ සඳහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ ගණන් හිලවු ඔක්කොම හදලා ප්‍රතිපාදන එක්ක සංසන්දනය කරලා තමයි ඒවා සකස් කරන්ඩ වෙන්නේ. විරුද්ධ පක්ෂයේ කතාව හරිම තකතීරු කතාවක්. රජයකට ඕනෑ නම් කිසිම දෙයක් නොදි ඉන්ඩ පුළුවන්. අපි අය වැයක අර්ථය තේරම් ගත යුතු වෙනවා. අය වැයෙන් කියන්නේ අපි මෙන්න මේ වැඩ කරන්ඩ යනවා කියලා සහ මහ අරමුදලින් ඒ එක් එක් අංශවලට මුදල් බෙදී යනවා කියන කාරණය බව අපි වටහා ගන්ඩ ඕනෑ. අපිට යම් විදියකට මුදල් ප්‍රතිපාදන මදි වුණොත් පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් මුදල් ලබා ගන්ඩ පුළුවන්.

නමුත් පසුගිය අය වැයෙන් කියපු හමුදා පවුල්වල තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂයක් දෙනවා කියන එකට මොකද වෙලා තියෙන්නේ?

ඇත්ත වශයෙන්ම මං ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. හමුදා පවුල්වල තුන්වෙනි දරුවාට දෙනවා කිව්වා රුපියල් ලක්ෂය එවැනි පවුල් 9700 කට පමණ ලබා දී තිබෙනවා. විරුද්ධ පක්ෂයට ඒ සංඛ්‍යා ලේඛන නෑ.

එතකොට ගිය අය වැයෙන් කිව්ව කර්මාන්ත ශාලා 200 හැදුණාද?

දැන් බලන්ඩ කොපමණ කර්මාන්ත ශාලා හදලා තියෙනවාද කියලා. මං හිතන්නේ සමහර විට කර්මාන්ත ශාලා 200 ට වඩා හදලා ඇති. ඒ ගැන ආයෝජන මණ්ඩලයෙන් ඇහුවා නම් උත්තර දේවි. පළාත් සභා ප්‍රාදේශීය සභා දුන්න බලපත්‍ර අනුව. මේ කර්මාන්ත ශාලා අලුතෙන් හදන එක අහසෙන් කඩා වැටෙන දේවල් නෙමෙයි. විශාලම ප්‍රශ්නය තමයි බැංකු පොලී අනුපාත අඩු කිරීම. කර්මාන්ත ශාලා ඇති කරන අය බැංකු ණයක් ගන්නවා. ඒ සදහා අවශ්‍ය වාතාවරණය දැන් අපි හදලා දීලා තියෙනාවා. දැන් යම් යම් ක්ෂේත්‍රවලට බදු සහන දෙනවා නම් කොහොමද කියන්නේ කර්මාන්ත ශාලා ඇති කරලා නෑ කියලා.

අපිට ගෙන් ගෙට ගිහින් කර්මාන්ත ශාලා දාලාද කියලා හොය හොයා ඉන්ඩ බෑ. රජයකට කරන්ඩ පුළුවන් කර්මාන්ත ශාලා හදන්ඩ වාතාවරණය හදලා දෙන්ඩ. ඒකේ ප්‍රතිඵල ආයෝජන මණ්ඩලයෙන් විපක්ෂයට බලා ගන්ඩ පුළුවන්. කර්මාන්ත අමාත්‍යාංශයට ගිහින් බලා ගන්ඩ. මේ ර‍ටේ ආදායම් වියදම් දෙස බැලුවාව විදේශ ආනයන අපනයන දෙස බැලුවාම 2010 තිබ්බේ සෘණ 2.9 යි එය අද ඒක ධන 1. 7 වෙලා. භාණ්ඩ පිටරට යැවීමේ වර්ධනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කර්මාන්ත දියුණු වෙලා තියෙනවා.

විපක්ෂය ‍කල්පිත අය වැයක් ඉදිරිපත් කළා. ඔවුන් කියනවා පෙට්‍රල් මිල ඔවුන්ගේ රජයකින් රුපියල් 50 කින් අඩු කරනවා කියලා? ආණ්ඩුවට මීට වඩා තෙල් මිල අඩු කරන්ඩ බැරිද?

ලෝකයේ රටවල සෑම විපක්ෂයක්ම රජයට එරෙහිව කල්පිත අය වැය ඉදිරිපත් කරනවා. ඒ මොකද ඒ අයට බලයට එන්ඩ බෑ. බලයට එන්ඩ බැරි අයට ඕනෑ දෙයක් කියන්ඩ පුළුවන්. දැන් අංගොඩ ඉන්න අය කියනවා මං තමයි රජ්ජුරුවෝ කියලා. ඒ වගේ විපක්ෂයට ඕනෑ දෙයක් කියන්ඩ පුළුවන්.

නමුත් ජනතාව එයාලා කියන දෙය පිළිගන්නේ නෑ. කිසිම කෙනෙකුට කල්පිත අය වැය ගැන හිතලා තීන්දු ගන්ඩ බෑ. විපක්ෂය තමයි ඔය කල්පිත අය වැයෙන් ඡන්ද ගුණ්ඩුවක් දෙන්ඩ යන්නේ. විරුද්ධ පක්ෂයට රටේ විධායක බලතල දීලා නෑ. එයාලා ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරයි. ඒ නිසා ඔය විපක්ෂයේ කල්පිත අය වැයට කියන්ඩ තියෙන්නේ හිඟන්නන්ගේ හීන වගේ කියලායි. සැප හිතින් ගන්ඩ පුළුවන් වගේ තමයි විපක්ෂය හිතින් හීන දකිනවා.

පෙට්‍රල් , ඩීසල් මිල මිට වඩා අඩු කරන්ඩ බැරිද?

මීට පෙර ලෝක වෙළෙද පොළේ තෙල් මිල වැඩි වු කාලයේ තෙල් සංස්ථාව හොඳටම ණය වුණා. මොකද වියදම් කරපු මිලට වඩා සහනාධාර මිලට තමයි තෙල් ජනතාවට ලබා දුන්නේ. එහෙම ලබා දෙනකොට ඒ ආයතන කෝටි ප්‍ර‍කෝටි ගණන් පාඩු ලැබුවා.

ඒ ණය දුන්නේ කොහෙන්ද අපේ බැංකුවලින්. ඒ නිසා මේ විදියටම දිගටම ගියා නම් මේ ලෙඩේ බැංකුවලට හැදෙනවා. බැංකු බංකොලොත් වෙනවා. ඊළඟට බැංකුවලට රජයෙන් සල්ලි ගන්ඩ වෙනවා . ඒ නිසා මහජනයාටත් සාධාරණයක් ඉටු කරන ගමන් තෙල් සහන මිලට ලබා දෙනවා.

දැන් පසුගිය කාලයේ තෙල් සංස්ථාව ලැබු පාඩු පියවා ගනිමින් යනවා. මොකද දැන් ලෝක වෙළෙද පොළේ තෙල් බැරලයේ මිල පහළ යමින් තිබෙන්නේ. මේ රාජ්‍ය ආයතන සම බර තැනට ආවාම ඉදිරියේදී තෙල් මිලේ සහනය රජයට දෙන්ඩ පුළුවන් වේවි. එහෙම නැතිනම් තෙල් සංස්ථාව වැනි ආයතන පිටරටට විකුණන්ඩ වෙන්නේ. එවැනි දේ අපේ රජයට කරන්ඩ බෑ.

මේ අය වැය මැතිවරණ අයවැයක් කියන චෝදනාව තිබෙනවා. ?

කොහෙත්ම නෑ. අපිට තියෙන්නේ වාර්ෂිකව 2020 දක්වා යන වැඩපිළිවෙළක්. ඒක ඕනෑම කෙනෙකුට මහ බැංකුවට නැතිනම් මුදල් අමාත්‍යාංශයට ගිහින් ඒ ලේඛන පරීක්ෂා කරන්ඩ පුළුවන්. අපේ අරමුණු ඕනෑම කෙනෙකුට බලා ගන්ඩ පුවවන්. ඒ වගේම කිව යුතුයි හැම අය වැයක්ම දේශපාලන අය වැයක් තමයි. එදා එන් එම් පෙරේරා මහත්තයාගේ අය වැය දේශපාලන අයවැයක් නෙමෙයිද? කේ.එන් චොක්සි ගේ අය වැය දේශපාලනික නැද්ද?

ඒ ඒ දේශපාලන පක්ෂවල මතය අනුව අය වැය හැදෙනවා. ජනාධිපතිතුමාගේ මතය තමයි මේ රට දියුණු කරන්ඩ ඕනේ ඒ වගේම එහි ප්‍රතිලාභ මහජනතාවට ලබා දිය යුතුයි කියන එක. ඒ දේශපාලනය අපි කරනවා.

මේ අය වැය ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ඇය වැයක් කියන කතාව බොරුවක්ද?

නැහැ. එන වසරේ ඡන්ද එන්ඩ පුළුවන්. නමුත් ඒකට ඉලක්ක කරලා අය වැය අපිට හදන්ඩ ඕනේ නෑ. නමුත් මං මුලින් කිව්වා වගේ අපේ රජයේ ඉලක්කය වුණේ සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීම.

පළමු වසරේ දෙවෙනි වසරේ දුන්නේ නෑ. නමුත් දැන් අපි අවුරුදු 5 කින් පසුව යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. ඒ නිසා ජනතාවට සහන දෙනවා.

ජනතාවට සහන දෙන්ඩ බාහිර සහ අභ්‍යන්තර හේතු බලපානවා. එකම හේතුවක් නෙමෙයි. ඉදිරියට ඡන්දයක් එනවා නම් අපේ රටේ ආර්ථිකය හොදයි නම් ඒ ප්‍රතිලාභ මහජනයාට නොදී ඡන්දයකට යන එක තකතිරු වැඩක්නේ.

ඒ නිසා අපි ඒ සහන දෙමින් යනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රජය මේ තරම් හොඳට ආර්ථිකය කළමනාකරණය කළා නම් එහි වාසිය ජනාධිපතිතුමාට ලැබිය යුතුයි. ඒ වාසිය ලබා ගැනීමේ වරදක් නෑ.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්