මීයන්ට ගිය දෙවොලක්!
මීයන්ට ගිය
දෙවොලක්!
ඉන්දියානුවන් යනු පුදුමාකාර ජාතියකි. මේ කතාව ද ඉන්දියානුවන් වැඩි
දෙනකුගේ පූජෝපහාරයට ලක්වූ දේවාලයක් ගැන කතාවකි. මේ දේවාලය පිහිටියේ
ඉන්දියාවේ රාජස්ථානයේය. කර්නි මාතා දෙවඟන වෙනුවෙන් පිහිටුවාලු මේ දේවාලයට
දැන් බැතිමතුන් වැඩිපුර ඇදී එන්නේ දෙවඟනගේ පිහිට පතනවාට වඩා එහි සිටින මීයන්
රොත්තකගේ ආශිර්වාදය ලබා ගැනීමට බව වාර්තා වේ.
මේ දේවාලයේ සිටින මී ගහනය 20000 කට අධිකය. දෙවොල පුරාම පිළිම අස්සේ ද වහල පුරා ද
දොරවල් දිගේ ද සෑම අහුමුල්ලකම මීයෝ දුව යති. වෙනත් තැන්වල නම් දුටු පමණින්
පිටුදකින මීයෝ මේ දෙවොලේ දී සාදරයෙන් පිළි ගැනෙති. ඇතැම් මීයන් බැතිමතුන්ගේ
සිරුරුවල දැවටෙමින් දුව ගිය ද ඒ ගැන කිසිවෙක් අවුලෙන් කතා නොකරයි.
එකා දෙන්නා බැගින් බෝවී දැන් මීයන්ටම ඇරී තිබෙන වගක් පෙනෙන මේ දේවාලයට පැමිණෙන
බැතිමත්හු මේ මීයන්ට කවති, පොවති. ආරක්ෂා කරති. ඉනුත් නොනැවතී උන් සඳහා කූඩු ද
තනා දෙති. එපමණක් නොවේ මීයන් ගිල දැමීම සඳහා පැමිණෙන උරගයන් ගෙන් ද උන් ආරක්ෂා
කරති.
දෙවොල පුරා දිව යන මීයන් එහි තැනින් තැන බැතිමතුන් විසින් මීයන් උදෙසා තබා ඇති
විශාල ලෝහ බඳුන්වල ඇති කිරි, සහ ආහාර රිසි සේ බුක්ති විඳිති. කුඩා ළමෝ මීයන්
අතගාමින් උන් සුරතල් කරති. මේ මී පුදුමය නැරැඹීමට පැමිණෙන සංචාරකයෝ
විමතියෙන් ඒ දෙස බලා සිටිති.
මීයන් උදෙසා බැතිමතුන් වැඩිපුරම පුද කරනුයේ පැණි රස ආහාරය. එලෙස පුද කළ
ආහාරයක් මීයන් විසින් ලෑටි ගානු ලැබ ඇත්නම් එය ශුද්ධ වූ දෙයක් ලෙස සැලැකේ. එලෙස
මීයන් අඩක් කා දැමූ ආහාරය බැති සිතින් අනුභව කිරීමට ද බැතිමත්හු නොපැකිළෙති.
 |
මීයන් සඳහා කල්දේරම්වල අඩුක්කුව
පිසෙද්දී |
“ඉස්සර මේ පළාතේ මෙලෙස මීයන්ට ඇරුණු දෙවොලක් ගැන තොරතුරු තිබුණේ නැහැ. එහෙත්,
මෙහි මෙලෙස මීයන් වැඩියෙන් බෝවීම නිසා උන් දැක බලා ගැනීමටත් පුද සත්කාර
කිරීමටත් දැන් බැතිමතුන් පැමිණෙනවා” යැයි දෙවොලට පැමිණි සුරේන්ද්ර ෂර්මා
පැවැසීය.
කළු සහ දුඹුරු මීයන් අතරින් ඉඳහිට සුදු මීයකු දිව යද්දී ඒ සුදු මීයා දර්ශනය වීම
ද සුබ කටයුත්තක් ලෙස සැලැකේ. දෙවාලයේ පූජකයෝ බැතිමතුන්ට මීයන්ට හානියක් සිදු
නොවන ලෙස ඇවිද යන ලෙස නිරන්තරයෙන් උපදෙස් දෙති. මන්ද ඒ දෙවොලේ නීති අනුව මීයකු
පෑගීම හෝ මැරීම විශාල පාපකර්මයක් වේ.
එලෙස මීයකු මරා පාපයක් සිදුකරගන්නා බැතිමත්තු රිදී හෝ රන් පැහැයෙන් තැනු මී
පිළිරුවක් ගෙන ඒ පාපයට වන්දියක් ලෙස දෙවොලට පූජා කරති.
මේ අතර දේවාලයේ දැවැන්ත කල්දේරම්වල ආහාර සැකසෙන්නේ මීයන් උදෙසාය.
සේමාලි කැල්ලපත
|