ගියේ එල්ලිලා මැරෙන්නයි මළේ ලණුව කැඩී බිම වැටිලයි
ගියේ එල්ලිලා
මැරෙන්නයි මළේ ලණුව කැඩී
බිම වැටිලයි
පද්මලතා, විමලේ සමඟ දීග ගියේ මීට දහතුන් අවුරුද්දකට පමණ එපිට තමාගේම
කැමැත්තට ය.
දුක, සැප හා අගහිඟකම් මැදින් ගලා ගිය ජීවිතේ යන්තම් හෝ සැනසීමක් වූවා නම් ඒ
දරු දෙදෙනා ගේ සුරතල් ලෝකයම පමණි.
එහෙත් දරුවන්ගේ උවමනා එපාකම් හමුවේ කොයිතරම් පිරිමහගෙන ජීවත් වුවත් ලැබුණු
ආදායම සොච්චමක් විය.
සතුට වෙනුවට ප්‍රශ්න වැඩිවන විට, පද්මලතා බීජ ගොවිපොළේ වැඩට යන්නට තීරණය කළා
ය.
මෙතෙක් තමන් හරි හම්බ කරගෙන එන දේ අරපිරිමැස්මෙන් වියදම් කළ තම බිරිය, බීජ
ගොවිපළේ රැකියාවකට යාම, ඔහුට දරා ගත නොහැකි කාරණයක් වූවේ ය. එහෙත්
අකමැත්තෙන් වුව ද ඉවසා සිටියේ ය.
එන්න එන්න ම සැමියා මත්පැනට ඇබ්බැහි වන බව පද්මලතාට ද නොදැනුණා නොවේ.
පාන්දරින් නැඟිට දරුවන් පාසල් යවා සැමියා ද කුලී වැඩට පිටත් වූ පසු පද්මලතා බීජ
ගොවිපොළට ගියා ය. වැඩපළෙහි යෙදුණත් ඇගේ ඔළුවේ වැඩ කළ එකම කාරණය වූයේ
සැමියාගේ මේ බීමත්කමයි.
හැන්දෑවේ හෝ රාත්‍රියේ ඔහු කටගොන්නක් බීගෙන ගෙට ගොඩවූයේ ඉඳ හිට වුවත් දැන් දැන්
පුරුද්දක් තරමට ඔහු බොන්නට පටන්ගෙන තිබේ.
ඒ මදිවාට සැකයක් නිසා උපන් සිතිවිල්ලකින් ද ඔහු පීඩා විඳින්නට පටන්ගෙන ය.
පෙරදා මේ නිවෙසේ තිබූ සතුටත් සැනසීමත් කොහේදෝ පලා ගොසිනි.
බීජ ගොවිපොළේ ම සේවය කළ නිමල්, පද්මලතාගේ මේ හේබා ගිය ගතිය දුටුවේ වරක් දෙවරක්
නොවේ. තේ වෙලාවේදීත් දවල් කෑම වෙලාවේදීත් ඔහු ඇය හා කතාවට වැටුණේ හිතා මතාම ය.
හවස ගෙදර යද්දීත් ඈ සමඟ කතාවට වැටී, මඟක් දුර යන්නට පුරුදු වූයේ ය.
ඔවුන්ගේ කතාවේ ස්වභාවය කුමක් වුවත් විමලෙට මේ ආරංචිය කන වැකුණේ වෙනස් විදියකට
ය. එනම් බිරිය, අනියම් ඇසුරක පැටළී ඇති බවකි.
“මේ අපි සංසාරයේ පතාගෙන ආ ප්‍රේමයක්...” යැයි කියූ පද්මලතා කීයටවත් එවැන්නක්
කරාවි යැයි ඔහු විශ්වාස නොකළා පමණක් නොව, එය ඔහුට දරාගත නොහැකි ආරංචියක් ද වූයේ
ය.
පොළොන්නරුව අරලගංවිල ජීවත්වූ පද්මලතාවත් විමලේවත් නොසිතූ නොපැතූ ඒ දිනය
උදා වූයේ 2011 වසරේ මාර්තුවේ දිනෙක ය.
“එදා උදේ 7.30 ට මං බීජ ගොවිපළට ගියා. දවල් 1 ට මං ගෙදර ආවේ පොඩි දූට පොත් වගයක්
ගන්න ටවුමට යන්න තියෙන නිසා. මං එද්දී එයා ගෙදර ඇවිත් හිටියා. හොඳටෝම බීලා.
තනියම මොනවදෝ කියවා කියවා හිටියා. අතේ හිස් බියර් බෝතලයකුත් තිබුණා. මාව
දැක්කම උන්නු තැනින් නැඟිටලා මිදුලට බැහැලා බෝතලේ ගලක ගහලා කට කඩලා අත කපා ගන්න
උත්සාහ කළා. දරුවො දෙන්නයි මායි කෑගහගෙන එයාව බදාගත්තා. බෝතල් කටුව උදුරලා වීසි
කළා.
“අනේ මගේ දෙයියෝ! මොනවද මේ කරගන්න හදන්නේ...” කියලා මං අඬ අඬා ඇහුවා.
“කියපන් පද්මෙ... උඹට මාවද ඕනේ අරූවද ඕනේ...”
එයා මගෙන් ඇහුවා.
“මගේ දෙයියෝ මට ඔයා ඇර වෙන කවුරුවත් ඕනෙ නැහැ. අපි ඉස්සර වගේ සතුටින් ඉමු. ඔයා
නැතුව මටයි දරුවන්ටයි වෙන කවුද ඉන්නේ...”
මං විලාප තිබ්බා. ඊට පස්සේ අපි හතර දෙනාම බදාගෙන ඇඬුවා. ඊට පස්සේ එයා මගේ ඔළුව අත
ගාලා, කඳුළු පිහින ගමන් ලොකු දූට කතා කළා.
“පුතේ අම්මට බත් ටිකක් බෙදලා දෙන්න. බඩගිනි ඇති...” කියල දූට කිව්වා. දූ බත් පිඟන්
හතරක් බෙදා ගෙන ආවා. අපි හතර දෙනා අල්ල උඩ තියාගෙන එකට ඒ කෑම ටික කෑවා.
“දරුවගේ ඉස්කෝලෙ පොත් ටික අරගෙන එන්නම්...” කියලා මං මූණ හෝදගන්න ගියා. පොඩි
දූත් මා එක්කම ළිඳ ළඟට ගියා. ඒ අතරෙ මං දැක්කා එයා නිල් පාට සරමකුත් ඇඳගෙන
කුඹුක් ගහ පැත්තට යනවා.
 |
කොළඹ විශ්‍රාමික නාගරික
හදිසි මරණ පරීක්ෂක
එඩ්වඩ් අහංගම මහතාගේ
ජීවන අත්දැකීම් |
මං මූණ හෝදගෙන ගෙට ගියේ නැහැ. නිකමට ඔහු ගිය පැත්ත බැලුවා. දෙයියනේ! ඔහු ගහ
උඩටම නැඟලා. කඹයකුත් කර වටේ. මට කෑගැහුණා. මගේ දෙයියෝ බහින්න. මොනවද ඔය
කරන්නේ...” දරුවොත් බයවෙලා.
“අනේ තාත්තා වැටෙයි, පරෙස්සමට බහින්න තාත්තේ...” දරු දෙන්නත් කෑගැහුවා. එයා
මොහොතක් නැවතිලා මං දිහා බැලුවා. එහෙම කඹයේ එක කොනක් ගහේ ගැටගහලා අනෙක් කොන
බෙල්ලට දාගත්තා. අපි තුන් දෙනා ගිරිය යටින් කෑගැහුවා.
“මේ වැඩේ කරන්න බැහැ. මට මේක දරාගන්න බැහැ....” කියමින් එයා බිමට පැන්නා. පැන්නාද
වැටුණා ද කියලා මට තේරුමක් නැහැ.
අත්තක වැදී ලණුව කැඩී එයා බිමට ඇදගෙන වැටුණා. අපි එයා උස්සන්න හැදුවා.
“අනේ මට නැඟිට ගන්න බැහැ...” ඔහු වේදනාවෙන් කිව්වා. දූලා දෙන්නා එතැන තියලා මං
වාහනයක් හොයාගෙන එන්නම්” කියලා නැඟිටින්න හදද්දී එයා මගේ අතින් අල්ලා ගත්තා.
“මගේ අම්මා මාව දාලා යන්න එපා” මට බයයි...! කියලා මගේ දිහා කඳුළු පුරෝගෙන බලාගෙන
හිටියා.
අහල පහල අයගේ උදව්වෙන් අපි එයා අරලගංවිල ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එතැනින්
පොළොන්නරුවට මාරු කළා. එයාට හුඟක් අමාරුයි කියලා ඊළඟට කොළඹ ජාතික රෝහලට මාරු
කළා. අනේ එයා මහ ඉස්පිරිතාලෙදි අපිව දාලා ගියා...”
ඈ හඬමින් සාක්ෂි දුන්නා ය. අහංගම මහතා ඉදිරියේ, විභාග කෙරුණු මේ මරණ පරීක්ෂණය
ඉතාමත් සංවේදී එකක් වූයේ දියණියන් ද අම්මා මෙන් ම හඬ හඬා කළ විස්තරය නිසා ය.
අවසානයේ සිය පියාගේ නිසල සිරුර ද රැගෙන ඔවුහු අරලගංවිල බලා පිටත් වූහ.
“මේ පුද්ගලයා බෙල්ලේ වැල දාගෙන මැරෙන්න ගිහින් ලණුව කඩාගෙන බිම වැටුණා. ඔහු
හිටියේ බීමත්ව.
උඩ හිටන් වැටුණු පාරට ඔහුගේ කශේරුකාවේ ඇට කිහිපයක් ම බිඳී තිබුණා. එපමණක්
නොවෙයි, සුෂුම්නාවට ද හානි වී තිබුණා. බීමත්ව සිටි නිසා බිමට වැටෙන අවස්ථාවේ
ඔහුට වාරුවක් ගෙන බේරීමටවත් කිසිදු අවස්ථාවක් තිබුණේ නැහැ. හතර ගාතෙන් ම බිම
වැටී තිබූ නිසා හානිය වැඩියි.
කොහේවත් නැති සැකයක් හිතට ඇතුළු වෙලා. බීමත්කමත් ඊට එකතු වුණා ම මෙවැනි විපත්ති
මිනිසුන්ට සිදුවෙනවා.
ප්‍රශ්නයක් ආවොත් විසඳුම් හොයන්න ඕනෙ ඔළුවෙන් මිස හැඟීම්වලින් නෙවෙයි. ඒකයි මේ
මරණෙන් සමාජයට ගන්න තිබෙන පාඩම...”
අහංගම මහතා පවසන්නේ එයයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
|