කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
වට්ටි පෙට්ටි හට්ටි තිබුණ කුස්සිය දැන් නැතේ

වට්ටි පෙට්ටි හට්ටි තිබුණ කුස්සිය දැන් නැතේ

අපේ ගෙදර වැඩිය බඩු මුට්ටු නැහැ. අනවශ්‍ය බඩු පුවරගෙන ගේ අපිළිවෙළ වෙනවා දකින්න අපි කැමැති නැහැ.”

පුවත්පතක සාකච්ඡාවකට එකතු වෙමින් එසේ කියා තිබුණේ අද කාලයේ යොවුන් නිළියකි.

“ඔය කථාව ඇත්තක්. අපේ පුවත්පතට ඇය සම්බන්ධ ලිපියක් කිරීමට මමත් ඇගේ නිවෙසට ගියා. අපි සාකච්ඡා කළේ බිම ඉඳගෙන. ඒ දවස්වල ගෙදරට පුටුවක්වත් අරගෙන තිබුණෙ නැහැ.” අප ආයතනයේ සහෝදර මාධ්‍යවේදිනියක නිළියගේ කථාව සහතික කළාය.

එක අතකට පුදුමයකි. ඒ තරමට ගෙදර දොර බඩු බාහිරාදියට අකමැත්තක් දක්වන්නෝ මේ පරපුරේ සිටිය හැකි ද? මගේ මතකය දිව ගියේ වසර පන්සීයකට කිට්ටු අතීතයක් ගැන ලියැවුණු සටහනක් වෙතය. එය මෙසේ ය.

“ඔවුන්ගේ නිවාස ස්ථානවල ගෘහ භාණ්ඩ ඉතා ස්වල්පයක්ම වෙයි. ගේ මැද උඩපල්ලේ එල්ලූ හැළි වළං කීපයකි. බත බුදීමට තැටියක් හෝ දෙකක් වෙයි. හාන්සි වීමට ඇන්ද නැති පුටුවක් හෝ දෙකක් එක ගෙදරක වෙයි. (හාන්සි වන ඇඳි සහිත පුටු පරිහරණය කළ හැක්කේ මහ රජුට පමණි.)”

ඔවුන් හට නිදා ගැනීමට පැදුරු කීපයක් ඇත. ආගන්තුකයකු පැමිණිය ද ඔහු නිදා ගත යුත්තේත් පැදුරකය. වී දැමීමට කූඩා කීපයක් ද වී කෙටීමට වං ගෙඩියක් සහ අගට පිහිලි සවි කළ කිතුල් මොහොල් ගස් කීපයක් ද ඇත. මේ හැර පොල් ගෑමට හිරමනයක් හා මිරිස් ආදි කුළු බඩු අඹරා ගැනීමට ඇඹරුම් ගලක් ද වෙයි. එදිනෙදා ජීවිකාව සඳහා අත්‍යවශ්‍ය වූ කැති පොරෝ, වෑ වක් පිහියා හා නියන් ආදි උපකරණ ද ඔවුන්ගේ නිවෙස්හි ඇත්තේය. ඔවුන්ගේ නිවාසවල මේස නැත්තේය. හැම කෙනෙකුම අහර බුදින්නේ බිම හිඳ ගෙනය.”

රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව කෘතියේ එන මේ සටහන මීට වසර පන්සීයකට එහා නිවෙසක් සම්බන්ධ සම්පූර්ණ චිත්‍රයක් මවා ගැනීමට වුවද ප්‍රමාණවත්ය. මේ කියන නිළිය ඇතුළු එවැනි අදහස් දරන තරුණ පරම්පරාව මේ යන්නට හදන්නේ අප සිටිය තැනට ම ද?

කෙසේ වුවද වත්මන් තරුණ පරම්පරාව, නිවසක ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන් මෙවැනි ආකල්ප දරන බව පෙනී යයි. එහෙත් වැඩිහිටි පරම්පරාව නම් තම දරුවන් වෙනුවෙන් මොන මොනවා හෝ අඩුම කුඩුම එකතු කරන්නට වෙර දරයි.

නොක්ස් සඳහන් කළ ඉහත සටහන, අපේ ඉතිහාසයේ මූලාශ්‍ර ගොන්නක් විසින් ම සනාථ කර ඇති බව පැහැදිලිය. ඔහුට පසු කලෙක ලංකාවට පැමිණි ජෝන් ඩේව් වෛද්‍යවරයා ද තමන් ලංකාව හඳුනාගත් ආකාරය ගැන ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ. ඩේව් ලංකාවට පැමිණියේ නොක්ස් ගේ පැමිණිමෙන් වසර එකසිය පනස් හයකට පසුව වුවද සිංහලයාගේ ගෙවල බඩුබාහිරාදියේ වෙනසක් ඔහුද දුටුවේ නැත. නොක්ස් දුටු හිරමනය - වංගෙඩිය, මෝල් ගහ, හැළි වළං හා පැදුර ඒ ආකාරයෙන් ම ඩේවි ද දුටුවේය.

“ඔවුන්ගේ චාම් සකසුරුවම් සහිත ගෘහ භාණ්ඩ, හාන්සි වීම සඳහා කුඩා ඇඳක් දෙකක්, බංකු දෙක තුනක් පැදුරු කීපයක්, පිඟන් බඳුන් දෙක තුනක් යන භාණ්ඩවලින් සමන්විතය.

උසස් පන්තිවලට අයත් ඇත්තන් වෙත තැටි සහ අන්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ඇත්තේය. වට්ටි හා දළ මැටි බඳුන් යන මීට වැඩි මනත් ඔවුන්ගේ මුළුතැන් ගෙයි උපකරණ මෙසේ ය” (ඩේව් දුටු ලංකාව)

යනුවෙන් පවසන ඩේවි ඊළඟට රූප සටහන් සහිත විස්තරයකට යන්නේ ඒ මුළුතැන්ගෙයි උපකරණ හඳුන්වාදීමටය. මෝල් ගහ සහ වං ගෙඩිය ඔහු හඳුන්වා දී ඇති මුල්ම මුළුතැන්ගෙයි උපකරණය වේ. එකල ගැමියා වී කෙටීම සහ පෑහීමට මෝල් ගහ සහ වං ගෙඩිය භාවිත කර ඇති බව ඔහු පවසයි. එකල කලාතුරකින් ගලින් තැනු වං ගෙඩි ද භාවිත වූ බව හේ පවසන්නේය.

මෙකල ද ගල් වංගෙඩි කලාතුරකින් දැකිය හැකිය. එහෙත් ඒ පැරණි මහ ගෙවල් ආශි‍්‍රතව පමණි. මා බාල කාලයේ මගේ පියාගේ මහ ගෙදර ද විශාල කළු ගල් වංගෙඩියක් තිබුණා මට මතකය. අවුරුදු කාලෙට මේ වංගෙඩිය තාලෙට වැඩ අල්ලයි. එකල අලුත් අවුරුදු රස කැවිලි සෑදීමට ගමේ ගැහැනුන් එකිනෙකාගේ නිවෙස්වලට ගොස් උදවු, පදව් කර ගැනීම සිරිතකි. එසේ එන ගැහැනු දෙදෙනෙක් ගල් වංගෙඩිය දෙපැත්තට වී දියේ දැමු හාල් කොටන්නේ තරගයට මෙන් වුණද රිද්මයකටය. ඒ රිද්මය නොමැති වුවහොත් නම් වන්නේ අකරතැබ්බයකි. එකම වංගෙඩියක මෝල් ගස් දෙකකින් මාරුවෙන් මාරුවට හාල් කෙටීම හෙවත් දෙමෝලෙ කෙටීම බලා සිටීම පුංචි අපට විනෝදයක් සේම ආශ්චර්යයක් ද වූයේ එබැවිනි.

ඩේවි ඊළඟට සටහන් තබන්නේ කුරක්කන් ගල ගැනය. කුරක්කන් සහ සෙසු ධාන්‍ය වර්ග ඇඹරීමට භාවිත කරන මේ කුරක්කන් ගල අයර්ලන්තයේ සමහර පෙදෙස්වල හා ස්කොට්ලන්තයේ කඳුකරයේ ඒ වන විටත් භාවිතයේ තිබු පැරණි කෙල්ටික් ඇඹරුම් ගලට සමාන වූ බව ඩේවි පවසයි.

“ව්‍යංජන සඳහා යොදන නොයෙක් ද්‍රව්‍ය සියුම් ලෙස අඹරා ගැනීමට හා හොඳට මිශ්‍ර කිරීමට මට සිලිටු ගල් දෙකක් ද භාවිත කෙරෙයි. මින් එකක් කුඩාය. අනික ලොකුය.”

සුද්දා සිංහලයාගේ මිරිස් ගල ගැන කරන වර්ණනාව දකින අපට සිනා නැඟෙයි. එහෙත් ඔහු අපේ මිරිස් ගල ගැන විස්තර කර දෙන්නේ අපට නොවේ ඔහුගේ ජාතියටමය.

ඩේව් විස්තර කරන අපගේ තවත් ප්‍රධාන මුළුතැන්ගෙයි උපකරණයක් වන්නේ හිරමනයයි. වෑංජන රසවත් කිරීම පිණිස යොදනු ලබන පැසුණු පොල් ගා ගැනීම සඳහා මෙය භාවිත කෙරෙන බව ඔහු එහි සඳහන් කර ඇත.

තවත් කාලයක් යන විට ඩේව්ගේ මේ විස්තර කිරීම් සිංහලයා ගැන සුද්දාට කරනු ලැබූ පැහැදිලි කිරීමකට සීමා වන්නේ නැත. අනිවාර්යෙන්ම තමන්ගේ සංස්කෘතිය ගැන ඩේවිගේ තොරතුරු සිංහලයාට ද කරනු ලබන සරල පැහැදිලි කිරීමක්ම වන්නේය.

කුරහන්ගල යනු අපේ පරම්පරාවේ ද ඇස නොගැසුණු මුළුතැන්ගෙයි උපකරණයකි. ගල් වංගෙඩි තබා ලී වංගෙඩි ද හිඟය. ඇතැම් නිවෙස්වල නම් අඩියක් පමණ උසැති ලී වංගෙඩි දකින්නට ලැබේ. මිරිස් ගලේ ඇඹරිය යුතු පොල් සම්බෝලය, ලුණු මිරිස බොහෝ විට මේ වංගෙඩිවල කෙටී කෑම පිඟානට එයි. එහෙත් මිරිස් ගලේ ඇඹරුණු සම්බෝලයේ, ලුණු මිරිසේ රස දන්නා පැරැන්නෝ මේ වංගෙඩි සම්බෝලයට මනාපයක් නැත්තා සේය.

පොල් සම්බෝලය, ලුණු මිරිස මේ අඩියක් උසැති වංගෙඩියේ කෙටෙන්නේ ඇතැම් විට කම්මැලිකමටය. එසේත් නැත්නම් මිරිස් ගලක් නැතිකමටය. වංගෙඩි, මිරිස් ගල්වලින් සිදු වූ කාර්යය අද ඉටු වෙන්නෙ බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් වැනි විදුලි උපකරණවලිනි. වෙලාව ඉතිරි කර ගැනීම මෙන් ම පහසුව සඳහාත් මේ උපකරණවලට වර්තමාන ගෘහණියෝ වැඩි කැමැත්තක් දක්වති.

මුළුතැන්ගෙයි උපකරණ ගැන කථා කරන විට සිහි වෙන අතුරු කථාවක් ද මෙහි ලිවීමට කැමැත්තෙමි. පනස් විය ඉක්මවූ මගේ ඥාතිවරියක් සිටී. ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙන නිසා දිනපතා ඖෂධ ද ගනී. ඇය තරබාරුය. එබැවින් ඇගේ නැඟණිය ඇයට විදේශ රටක සැකසුණ ව්‍යායාම් මාලාවක උපදෙස් සහිත වීඩියෝ පටයක් ලබා දුන්නේ තරබාරුකම නැති කරගැනීමට උදව්වක් වේ යැයි සිතමිනි. ඇය ද මේ ව්‍යායාම දිනපතා කළේ නිරෝගි බව වැඩි කර ගැනීමට ය. ඖෂධ ද දිනපතාම ගැනිණි. එහෙත් සිදුවූයේ අනෙකකි. ඇය රෝගාතුර වූවාය. ඖෂධත්, ව්‍යායාමත් නිසා ඇගේ අධි රුධිර පීඩනය අනවශ්‍ය ලෙස පහත වැටී ඇති බව වෛද්‍ය පර්යේෂණවලින් හෙළි විය.

ඇගේ සුවදුක් බැලීමට අපිදු ගියෙමු. එහිදී එම ව්‍යායාම් සහිත වීඩියෝ පටය අපට ද පෙන්වනු ලැබීය. එදෙස බලා සිටි ඇගේ සැමියා පැවසුවේ, මිරිස් ඇඹරීම, පිටි කෙටීම, අතු ගෑම වැනි සියල්ල ඒ ව්‍යායාම තුළ ද ඇති බවය. ඒ දෙස බලා සිටි අපට ද එය සත්‍යයක් බව වැටහුණි. වීඩියෝ පටයේ ව්‍යායාම් උපදේශකයන්ගේ ශරීර චලනයන් මේ ගෘහාශි‍්‍රත වැඩවලදී සිදුවෙන ශරීර චලනයන්ට බෙහෙවින් සමාන විය.

ඇතැම් වෛද්‍යවරුන් ද පවසන්නේ මේ පැරැණි මුළුතැන් ගෙයි උපකරණ අපේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කළ බවය. මා වෛද්‍ය වෘත්තිකයකු නොවන බැවින් ඊට වැඩි යමක් ඒ ගැන නොලියමි.

ඩේවිද, නොක්ස් මෙන්ම පැදුර ගැන කියා තිබේ. ඔහුට අනුව සිංහලයාගේ සකසුරුවම් චාම් ජීවිතයේ පැදුර නැතිවම බැරි අංගයකි.

මේ “පැදුරු” කථාවෙන් මිදෙන්නට මෙරට සංස්කෘතිය ගැන විශේෂයෙන් ම රොඩී හා වැදි ජනතාව ගැන පර්යේෂණයක් කිරීමට පැමිණි ජර්මන් ජාතික පඬිවරයකු වූ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ටත් බැරි වුණි. නිදා ගැන්මට, හිඳ ගැනීමට සිංහලයාගේ නිවසේ එළුණු පැදුර ගයිගර් එන විට, බිහිවී තිබුණු සුපිරි හෝටල්වල ද එළා තිබුණි. ඔහු මුලින්ම නවාතැන් ගත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ද එලෙස පැදුරු එලා තිබුණි. එහෙත් ඒ නිදා ගැන්මට නම් නොවේ. ඔවුන්ට සත්කාර කිරීම සඳහා එහා මෙහා යන වේටර්වරුන්ගේ සපත්තු රහිත පා හඬ නොනැඟෙන ලෙසය එම පැදුරු අතුරා තිබුණේ.

ගයිගර් ඔරියන්ටල් හෝටලයේ දකින පැදුරත් සිය පර්යේෂණය සඳහා හමුවන රොඩී ජනයාගේ ගුබ්බෑයමේ තිබෙන පැදුරත් ඔවුනොවුන්ට ඉටු කර දෙන්නේ අරමුණු දෙකකි. ඔහු ඒ ගැන තබන සටහන මෙබඳු ය.

“රත්නපුරයේදී මෙන්ම මෙහිදී ද මම රොඩී ගුබ්බෑයමකට හිස දමා ඇතුළ නැරැඹීමට පසුබට නොවීමි. හදිරිවලානේ රොඩීන් රත්නපුරයේදී මම දුටු රොඩීන්ට වඩා දුප්පතුන් විය. පැල තුළ නිදා ගැනීම සඳහා වූ පැදුරු කඩමාලු දෙක තුනත් වළං කිහිපයත් හැරුණු විට වෙනත් එකදු භාණ්ඩයක් හෝ ගෘහ උපකරණයක් හෝ නොවීය.”

ඔරියන්ටල් හෝටලයේදී ගයිගර් දකින්නේ පැදුරු වියන්ය. රොඩී ගුබ්බෑයම තුළ ඔහු දකින්නේ පැදුරු කඩමාලුය. ඒ අනුව තැනක පයට එළුණු පැදුරු තවත් තැනක එළුණේ හිසටය.

ඔවුන් මෙලෙස දකින පැදුර ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ස්වර්ණලතා ඉහළගම මහත්මිය විසින් සම්පාදිත ග්‍රන්ථයකි. “පැදුර හා ජන ජීවිතය” නමින් ප්‍රකාශයට පත්වී තිබේ. පැදුර හා ජන ජීවිතය අළලා ග්‍රන්ථයක් ලියන්නට කරුණු තිබේ නම් පැදුර අපගේ ජීවිතවලට කෙතරම් සමීප වස්තුවක් ද යන්න අමුතුවෙන් කිව යුතු ය නැත.

“පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්වා වූ විවිධ අවස්ථාවන්හි දී පැදුර භාවිත විය...” (පැදුර හා සිංහල ජනජීවිතය)

“පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා...”
“අනේ දෙවියනේ මට වුණු වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා...”

වැනි ජනකවි බිහි වී තිබෙන්නේ ද පැදුර ඉහත කී ආකාරයට ජන ජීවිතය හා බැඳී පැවතුන බැවිනි.

පැදුරෙන් නැගිට නැවත ගයිගර් ගේ පර්යේෂණයන් වෙත ඇස ගසන කල්හි ඔහු නොක්ස්ට හා ඩේවිට වඩා දේවල් සිංහලයාගේ නිවස තුළින් දැක ඇති බව කිව යුතුය. නොක්ස්ට අනුව ඇඳි සහිත හාන්සි පුටු රජ සමය තුළ සෙසු නිවෙස්වලට තහනම් විය. එහෙත් ඒ ගැන ගයිගර් තබන්නේ මෙවැනි සටහනකි.

“සෑම නිවසකම ආලින්දයේ නොවරදවාම දක්නට ලැබෙන ප්‍රධානම ගෘහ භාණ්ඩය නම් දිගු ඇඳි සහිත හාන්සි පුටුවයි...”

උඩරට ගිවිසුමෙන් ලංකාව සම්පූර්ණයෙන්ම ඉංගිරිසින්ට පාවා දෙනු ලැබුණේ 1815 දීය. ගයිගර් ලංකාවට පැමිණියේ 1895 දීය. ඇඳි සහිත හාන්සි පුටුව සිංහල නිවෙස්වල ආලින්දයේ ප්‍රධාන ගෘහ භාණ්ඩය වීමට මේ අතරතුර කාලය ඕනෑවටත් වඩා වැඩිය.

ගයිගර් එබුණේ රොඩී ජනයාගේ කුබ්බෑයම්වලට පමණක් නොවේ. සිංහලයාගේ නිවෙස්වලට ද ඔහු එබී බැලු බවට සාක්ෂි ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථ දෙස බලන විට මැනවින් පෙනී යයි.

“....කඩුවෙල අවට ප්‍රදේශයේ ඉතා අලංකාර මැටි භාජන නිපදවන ස්ථාන බොහෝමයකි. ලොකු බඩක් සහ සිහින් බෙල්ලක් සහිත ගුරුලේත්තු සියලු භාණ්ඩ අතර වඩාත්ම හිත් ඇදගන්නා සුලු මෙවලම වේ. බොහෝ පැල්පත් ඉදිරිපස මෙම මැටි භාණ්ඩ විකිණීමට තබා තිබෙනු දැකිය හැකිය.

සිංහලයාගේ මුළුතැන්ගෙය මැටි භාණ්ඩවලින් පිරුණු එකක් නිසා කඩුවෙල මැටි භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තිබෙන බව පෙනෙන්නට තිබේ. සිංහලය, වචනයේ පරිසමාප්තයෙන්ම කෘෂිකාර්මික රටක් වන අතර තමන්ට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සියලුම දේ තමන් විසින් ම නිපදවා ගැනීමේ දක්ෂයෝ වෙති.” (ගයිගර් දුටු ලංකාව)

මේ ඡේද දෙස බලන විට පෙනී යන්නේ ගයිගර් එබී ඇත්තේ සිංහලයාගේ නිවෙස්වලට පමණක් නොව බවය. ඔහු මුළු රට දෙසම බලා ඇත්තේ ගවේෂණාත්මක ලෙසය. ඒ අනුව බලන විට පෙනී යන්නේ එකල අපගේ ගෘහ භාණ්ඩ සියල්ල අප විසින් ම තනා ගත් බවයි. එහෙත් වර්තමානයේ සිංහලයාගේ නිවෙසට හෝ ආර්ථිකයට එබී බලන්නට ගයිගර් ජීවතුන් අතර සිටියා නම්, අනේ අපොයි! යන හැඟීමකින් ඔහු වළක්වාලන්නට කිසිවකුට බැරිය.

රත්නපුර ප්‍රදේශයේ රොඩී ජනයා සොයා යන ගයිගර් අතරමගදී දකින්නේ අතින් කරින් බඩු එල්ලා ගත් යුවළකි.

“ඔවුන් අසල බිම ද කූඩ, සහ වට්ටි තුළ පිරුණු භාණ්ඩ විය.”

ගයිගර් ගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ක්‍රමයෙන් අවශ්‍යතා වැඩි, පරිභෝජනය වැඩි සමාජ ක්‍රමයකට අප අනුගත වෙමින් සිටි බවකි. මා මුලදී සඳහන් කළ නිළිය මෙන් අද සමාජයේ ඇතැමකු සිය ගෙවල් හිස්ව දකින්නට ආශා කරනුයේ මේ අවශ්‍යතාවල උච්ඡතම අවස්ථාවට අප පැමිණ සිටින නිසා ද විය හැකිය. අසීමිත අවශ්‍යතාවන්වල පීඩාව අප නැවත ගෙන යන්නේ අල්පේච්ඡ, සරල ගැමි ජන ජීවිතයට ම නොවන්නේ් ද?

සිංහලයාගේ මුළුතැන්ගෙයි මැටි බඳුන්වලින් පිරී ගිය තැනෙකැයි වරෙක ගයිගර් සඳහන් කරයි. සැබැවින්ම ඔහු සඳහන් ගුරුලේත්තුව අප කුඩා කල අප මහ ගෙවල්වල ද තිබුණි. පාසල් ඇරී හෝ සෙල්ලම් කර දහඩිය පෙරමින් එන අප එක හුස්මට බීගෙන යන්නේ වෙහෙස නිවන, ගුරුල්ත්තුවේ සීතල වූ වතුර ජෝගුවකි. එහෙත් වර්තමානයේ නිවෙස්වල මේ ගුරුලේත්තුවේ සීතල වතුර නැත. අද බාල පරම්පරාව ගුරුලේත්තුව හඳුනන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ ශීත පෙට්ටියේ අයිස් බවට හෝ ශීත බවට හැරුණ ජලයයි.

මැටි භාණ්ඩ තවමත් අපේ නිවෙස්වලින් අතුරුදන්ව ගොස් නැත. මාළු ඇඹුල් තියල් හෝ මාළු ජාඩි දැමීමක් වැනි අහරක් සැකසීමේදී නම් තරු පහේ හෝටලයක සූපවේදීයාටත් මැටි හට්ටියක් නැතිවා බැරිය.

මැටි බඳුන් ගැන කථා කරන විට මට ජන කථාවක් සිහි වේ. මේ ගැන සඳහන්ව තිබුණේ ප්‍රබෝධ කහඳගමගේ විසින් රචිත “කොත්මලේ ඇත්තෝ” නමැති කෘතියෙහිය.

ගැරඬි ඇල්ලට නම වැටුණ ආකාරය ගැන සඳහන් වන මේ ජනප්‍රවාදයේ මෙවැනි තැනක් වේ.

“...බමුණු ඇඹේනිය ඔහුට බත් කොත් ගාපු (පිඟාන පිරෙන්නම කොතක් වගේ බත් පුරවපු) මඩක්කුවක් (මැටි කෝප්පයක්) ගෙනැවිත් දුන්නාය.”

මඩක්කුව හෙවත් මැටි කෝප්පය සිංහල ගෙදරකට නැතිවම බැරි එකකි. මුළුතැන් ගෙයි මඩක්කු කීපයක් විය. අහර පිසීමේ කටයුතුවලදී ප්‍රයෝජනයට ගැනීමට වෙනම මඩක්කුය. අහර බුදීමට වෙනම මඩක්කුය.

මේ මැටි කෝප්පය කොරහක් තරමට විශාල වූ විට එය මැටි කොරහය. අපගේ නොමැකෙන පිය සටහන් තීරය කියවූ පියසීලි යාපා නමැති විශ්‍රාමලත් මහත්මියක සිය බාල කාලය ගැන ලියා එවූ රසවත් ලියවිල්ලක මැටි කොරහ ගැන සටහනක් ද වේ. ඇය කියා ඇත්තේ සිය මව කුඩා කාලයේ ඇය නාවනු ලැබුවේ මේ මැටි කොරහේ බවය.

උසස් පන්තිවලට අයත් ඇත්තන් වෙත තැටි සහ අන්‍ය සුඛෝපභෝගී භාණ්ඩ තිබු බව ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබුණි. ඒ බව උතුරු මැද ජන ජීවිතය හා සිරිත් විරිත් සම්බන්ධව මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා විසින් සංස්කරණය කරනු ලැබූ “සිංහල සිරිත් සංග්‍රහය” නමැති කෘතියෙන් ද පැහැදිලි වේ.

එම කෘතියේ මඟුල් බත අනුභව කිරීමට සැරසෙන අන්දම විස්තර කිරීම සඳහා වෙන් කර ඇති පරිච්ඡේදයේ මෙවැන්නක් වේ.

“ආහාර අනුභවයෙන් පසු රදලවරුන්ගේ සහ රටේ පටබැන්දන්ගේත් ඉඳුල් කොළ, විදාන කෙනකු විසින් ඉවතට ගෙන දමනු ලැබේ. අනිත් අයගේ කොළ දැමීමට දුරයා විසින් වට්ටියක් අල්ලනු ලැබේ. .... රදලවරුන්ට වතුර බීමට කෝප්ප හෝ පතුරු බැදපු සෙම්බුව ද, පටබැන්දන්ට පිත්තල සෙම්බුව ද, විදානෙට මැටි සෙම්බුව ද, කන්දනාට හා හේනයාට මැටි මුට්ටි දෙකක් ද දෙනු ලැබේ. මැටි භාජන දුන් අයට ඒවා ගෙන යන්නට හෝ මනාපයක් කරගන්නට පුළුවන.”
(සිංහල සිරිත් සංග්‍රහය)

මල්වර මඟුල සම්බන්ධයෙන් උක්ත ග්‍රන්ථයෙහි එන මේ කොටස සිංහලයාගේ මුළුතැන් ගේ මැටි බඩුවලින් පිරී ඇතැයි ගයිගර් කළ ප්‍රකාශය ප්‍රත්‍යක්ෂ කරන්නකි.

“බඩහැල තෙමේ ඉසදිය වක් කරන කළය ද, කැවුම් පිසින ඇතිලිය ද පිටි යොදන කොරහේ ද, බත් පිසින මුට්ටිය ද, මාළු උයන ඇතිලිය ද හාල් ගරන නෑඹිලිය ද, දෙහි තම්බන මුට්ටිය ද සමඟ තවත් වුවමනා කරන වළන් පහක් ඇතුළුව වළන් දොළහක් රැගෙන එන්නාහ. මෙසේ හේනයා ඇතුළු සෑම දෙනම සවස පැමිණ... පැදුරක්, මල්ලක්, වට්ටියක්, පෙට්ටියක්, ඇතුල්පතක් යනාදිය සූදානම් කර තබා පසු දින එළිවෙන්නට මත්තෙන්... අලුත් කළෙන් වතුර වඩා ඉසට වත් කරන්නාහ.”

මේ ඡේදයේ අවසන සිහි කරන්නේ රත්නපුර ගමනේදී අතින් කරින් බඩු ඔසවා ගෙන සිටි ගයිගර් දුටු යුවළය.

මැටි භාණ්ඩ පමණක් නොව වට්ටි, පෙට්ටි, කුල්ල, කිරි ගොට්ට පෙනේරය ආදි වූ මේ සියල්ල එකල අපගේ මුළුතැන් ගෙය අරක් ගෙන තිබුණි. ජනකවිය නොහොත් රබන් පදයට ද මේ වට්ටි පෙට්ටි එකතු වූයේ එබැවිනි.

“වට්ටියක් දං කඩං
පෙට්ටියක් දං කඩං
වට්ටියක් පෙට්ටියක්
බුරුතු බුරුතු දං කඩං”
“ඒ පදුර මේ පදුර
තේ පදුර ගාවා
වී මල්ල හොරු ගත්ත
අම්බලම ගාවා...”
“කොස් කටු කුල්ලක් ඉනේ තියාගෙන...”
(ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික රබන් පද - එස්. විජේසූරිය)

යනාදි රබන් පද දෙස බලන විට ද පැහැදිලි වන්නේ මුළුතැන් ගෙයි මේ උපකරණ භාවිත වූ විවිධාකාරයන් ගැනය.

මේ සමය පසු කරමින් එන මාර්ටින් වික්‍රමසිංහයන් නිවෙසක ගෘහ භාණ්ඩ දකින්නට ගත්තේ තරමක් වෙනස් ආකාරයටය.

“මා කුඩා කල, ගමක් පාසා වූ වඩු මඩු දැන් දක්නට නොලැබේ. දැන් ගම් වැසියෝ තමන්ට වුවමනා ඇඳ, පුටු, මේස යන ආදිය නගරයේ ලී බඩු සාප්පුවලින් මිලට ගනිති. අඩු මිලට සාප්පුවෙන් ගන්නා පුටුව ද ඇතැම් විට, හමසකින් හෝ අවුරුද්දකින් කැඩෙතත් අලංකාරය ද, මිල අඩුකම ද නිසා කවුරුත් ඒ සාප්පු පුටු අගය කරන්නට වූහ...”
(අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහ)

ගයිගර් දුටු ස්වයංපෝෂිත ආර්ථිකය වෙනස් වන්නට ගන්නේ වික්‍රමසිංහයන් ඔය කියන ආකාරයටය.

කෙසේ වුවද මේ කිසිවක් දැන හෝ නොදැන පීඩාකාරී අර්ථ ක්‍රමයෙන් නව පරම්පරාව නැවත සරල වෙන්නට තැත් දරද්දී සිය අතීතය ගැන රසවත් මතකයන් අවදි කරන්නෝ පැරැන්නෝය. ඒ රසවත් මතකයන් දැන ගන්නට සිබිල් වෙත්තසිංහමහත්මියගේ “වැනියං කළු වැනීයං” කෘතිය මහත් පිටිවහලක් බව මගේ හැඟීමය.

“මා නම් වැඩිය ඉන්න ආසා කළේ කුස්සියේ. ඇයි, කුස්සියේ කොච්චර අමුතු දේවල් තිබුණ ද? කොච්චර අමුතු දේවල් කෙරුණ ද? මිරිස් අඹරන ගල, මිරිස් අඹරන හැටි...

කරලැයින් වංගෙඩියෙ පිටි කෙටුවෙ අතක් පස්සට වීසි කර කර... කුස්සියේ තිබුණා ලොකු හාල් පෙට්ටියක්... ඉහළ දුමේ තිබුණෙ වළන් බිත්තියේ තැන් තැන්වල එල්ලා තිබුණ, කුල්ල, වට්ටි, ඇතුළුපත, පෙනේරේ, හැඳි ආන. දුමේ යටි පැත්තෙ මුට්ටියක තිබුණා කරවල.”

(වැනියං කළු වැනීයං)

සුමේධා නවරත්න


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා