කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
ග්‍රාම නිලධාරි පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරනවා

ග්‍රාම නිලධාරි පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරනවා

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

 

අවිස්සාවෙල්ල රෝහණ කුමාරගේ

සිළුමිණ ආරම්භ කළ මේ කාලීන විශේෂාංගයෙන් කිහිපවිටක්ම කියා තිබුණා සති 2 න් විශ්‍රාම වැටුප ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව. දැන් එයට බොහෝ කල් ගතවී තිබෙනවා. නමුත් නිවැරැදි ලියකියවිලි සියල්ලම අඩුවක් නැතිව තිබුණත් විශ්‍රාම වැටුප ලබා ගැනීමට විඳින්නේ අපමණ දුකකි. විශේෂයෙන්ම විශ්‍රාම ගෙන මාස 3 ක් පමණ ගෙවන්නට සිදුවන්නේ ණය මතයි. මේ ක්‍රමය රටපුරා විධිමත් කරන්න ඉක්මන් වැඩපිළිවෙළක් යොදන්න.

මුලින් විශ්‍රාම වැටුප් අංශයේ තිබූ ශෝචනීය තත්ත්වය මම දන්නවා. කෙනෙක් විශ්‍රාම ගත්තට පස්සේ මාස ගණන් නෙවේ අවුරුදු ගණන් විශ්‍රාම වැටුප සකසාගන්න එහා මෙහා දුවන්න සිදුවෙනවා. මෙයට ප්‍රධාන හේතුව වුණේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි නිවැරැදි ලෙස නොතිබීමයි. සමහරවිට පත්වීමේ ලිපිය ලිපි ගොනුවට එන්නේ විශ්‍රාම යන දවසේ. විශ්‍රාම වැටුප් ප්‍රමාදයට හේතුව වූ අංශ ගැන මට දැන් වුණත් කියන්න පුළුවන්. මේ නිසා මේවා හදාගෙන විශ්‍රාම වැටුප් ගෙවන්න සමහරවිට මාසයක් පමණ යනවා.

අද අපි මේ ක්‍රමය වෙනස් කරන්නට කටයුතු කොට තිබෙනවා. ලේඛන නිසි පරිදි ලිපි ගොනුවට ඇතුළු කළ යුතුයි යන කාරණය මුල් කරගෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. දෙවන කරුණ තමයි අද යමෙක් විශ්‍රාම යන දිනයේම පාරිතෝෂිතය ලැබෙනවා. විශ්‍රාම ගොස් මාසයකින් විශ්‍රාම වැටුප ලබා දෙන්නටත් අපි කටයුතු යොදා තිබෙනවා. මේ වැඩපිළිවෙළ ක්‍රමවත් කරන්න අපි නව තාක්ෂණය යොදා ගත්තා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නව තාක්ෂණික පහසුකම් යොදාගෙන ඉතාමත් කෙටි වේලාවකදි විශ්‍රාම වැටුප් නිකුත් කරන්නට අවශ්‍ය උපදෙස් දෙනවා. අපි ළඟදි හඳුන්වා දුන් ඊ - පෙන්ෂන් සේවාවෙන් මේ විශ්‍රාම වැටුප් ගෙවීම ඉතා ඉක්මන් කර තියෙනවා.

වත්තල ජී. සිරිවර්ධන

මෙදා අයවැයෙන් රාජ්‍ය සේවකයන් වන අපිට වැටුප් වැඩිවුණේ සියයට පහකින්. අපිට ලොකු විශ්වාසයක් තිබුණා මෙදා අයවැය ගැන. දැන් යුද්ධයට යන වියදමත් ඉතුරුයි. අනිත් පැත්තෙන් අපේ ජීවන වියදමත් ඉහළයි. ඇයි අපිට අඩුම තරමින් රුපියල් 2500 කින්වත් වැටුප් වැඩි කරන්න රජයට බැරි වුණේ?

අපි රජයේ සේවකයන්වත් පෞද්ගලික අංශයේ සේවකයන්වත් අමතක කර නැහැ. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළ යුතුයි යන කාරණයේ රජය ඉන්නවා. දැන් යුද්ධය අවසන් කර මාස 18 ක් ගතවෙලා. යුද්ධයෙන් පස්සේ රජය විශාල සංවර්ධන වැඩ පිළිවෙළකට ගියා. රජය යම් යම් ආයෝජන කර රටේ ජාතික ධනය වැඩි කරමින් ඉන්නවා. අපිට කියන්න බැහැ රටේ ආර්ථිකය විශාල වශයෙන් යහපත් කියලා. නමුත් හොඳ අතට හැරිලා තියෙනවා. මේ වගේ හොඳ ප්‍රවණතාවයකට රට හැරිලා තියෙන වෙලාවේ එහි ප්‍රතිලාභ ගන්නට තව අවුරුදු කිහිපයක් යනවා. අපේ රටේ රජයේ සේවකයෝ ඉන්නවා මිලියන 1.3 ක්. විශ්‍රාමිකයෝ ඉන්නවා 470 000 ක්. අපි රුපියල් 100 හරි රජයේ සේවකයකුට පඩි වැඩි කිරීමක් කළොත් රුපියල් මිලියන 1.9 ක් වැය වෙනවා.

අපේ රටේ සියලුම ජාතික ආදායම පඩිවැඩි කරන්න යොදනවා නම් රටේ සංවර්ධනය, ආර්ථිකය, ආදි සියල්ලම ඇන හිටිනවා. රටේ සංවර්ධනයක් සිදුවන්න නම් පාරවල් හැදෙන්න ඕන, ව්‍යාපෘති ක්‍රියාත්මක වන්න ඕන. හැම අංශයක්ම දියුණු විය යුතුයි. සෞඛ්‍ය අධ්‍යාපන වැනි ඒවාත් මේ සමඟම ඉදිරියට යා යුතුයි. මේවාට විශාල මුදලක් වැය වෙනවා. මේ නිසයි යම් කිසි ප්‍රමාණයක් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළේ. සියයට 5 ක පඩි වැඩිවීමක් සමඟ රුපියල් 600 ක ජීවන වියදම් අංක දීමනාවක් දුන්නා. මේ අනුව යම් කිසි ප්‍රමාණයකට රජය සලකලා තියෙනවා. නමුත් බලාපොරොත්තු වූ මුදල නොලැබුණා වන්න පුළුවන්. රජය ඉදිරි වසර දෙක තුන කාලයේ මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන විට ප්‍රකාශ කළ පරිදි වැටුප් වැඩි කිරීම් ලබාදෙන්න පුළුවන්.

මාතර කමිටු සාමාජිකයෙක්

රජයේ රැකියා ලබා දෙන්නේ උපාධිධාරින්ට පමණද? උපාධිධාරි නොවන අපිට රජයේ රැකියා ලබන්නට නොහැකිද?

රජයේ රැකියා උපාධිධාරීන්ට පමණක් සීමා කර නැහැ. නමුත් අපේ රටේ උපාධිධාරීන්ගේ මතයක් තියනවා, උපාධිය ගත්තොත් රජයේ රැකියාවක් ලැබිය යුතුයි කියලා. මෙය දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු මතයක්. වෙන රටවල්වල එහෙම නැහැ. අපේ රටේ උපාධිධාරීන් හැරුණු කොට උසස් පෙළ සමත් අය, සාමාන්‍ය පෙළ සමත්, සමත් නොවූ අය ඉන්නවා. දැනට යම් යම් සේවාවල ගුණාත්මක තත්ත්වය දෙස බලා අපි විවිධ තීරණ ගෙන තියෙනවා. මින් පසු ගුරුවරු බඳවා ගැනීමේදි උපාධිය සුදුසුකම් ලෙස සලකනවා. ඒ හැරුණු කොට ඕනෑම අයකුට ඕනෑම රැකියාවකට යාහැකියි. රාජ්‍ය පරිපාලන සේවයට උපාධිධාරීන්ට වගේම උපාධිධාරී නොවන අයටත් ඒමට පුළුවන්. ලිපිකාර විභාගයට උසස් පෙළ සමත් අයට ඉන්න පුළුවන්. ග්‍රාම නිලධාරි විභාගයට උසස් පෙළ සමත් අයට එන්න පුළුවන්. කවුරු හරි කියනව නම් රජයේ රැකියා වලට එන්න පුළුවන් උපාධිධාරින්ට පමණයි කියලා එය වැරැදියි. මීට අමතරව වෘත්තිය සුදුසුකම්, කුසලතා තියෙන අයටත් රජයේ රැකියාවලට යාහැකියි.

මතුගම නදිනි මදාරා

මෙතෙක් සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල මත ඉල්ලුම් කළ ග්‍රාම සේවක පත්වීම් මෙවර සිට උසස් පෙළ සමතුන්ට පමණක් සීමා කිරීම බහුතරයක් ශිෂ්‍යයන්ට කරන අසාධාරණයක්. මේ බඳවා ගැනීම් පටිපාටිය වෙනස් කොට නැවතත් සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල මත බඳවා ගැනීම් කළ නොහැකිද?

ග්‍රාම සේවා තනතුර සඳහා මෙතෙක් ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. දැනට ග්‍රාම නිලධාරින් 14,000 ක් ඉන්නවා. මේ අයගේ ලොකු මැසිවිල්ලක් තිබුණා ඔවුන්ගේ රාජකාරි ආවරණය වන කොන්දේසි මාලාවක් ඇතුළත් ව්‍යවස්ථාවක් තිබිය යුතු බව. අවුරුදු ගණනාවක් තිසේ මේ ව්‍යවස්ථාව ගැන කතා කරලා මං ඇමැතිවරයා ලෙස පත් වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ගත්තා. මේ සේවා ව්‍යවස්ථාව අනුව ග්‍රාම සේවා නිලධාරින්ගේ සේවා දියුණුවක් තියනවා. පඩි වැඩිවීම්, සේවයට පත්වීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මීට ඇතුළත් වෙනවා.

පඩි වැඩි කරන්න නම් අනිවාර්්‍යයෙන්ම සුදුසුකම් වැඩි කළ යුතුයි. මේ නිසා දැන් අවම සුදුසුකම වෙන්නේ අ.පො.ස (උසස් පෙළ) යි. මමත්, භාණ්ඩාගාරයත් මෙයට එකඟ වී අනුමත කළා. සේවා ව්‍යවස්ථාව අනුව සේවයේ තත්ත්වය, කොන්දේසි දියුණු වෙනවා. එයට සරිලන ආකාරයට අධ්‍යාපන සුදුසුකම් ද ඉහළ ගියා. අපි මේ නිසා අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ වැටුප් ක්‍රමයක් ද සකස් කළා. රාජ්‍ය සේවයේ වැටුප් ක්‍රමය ද මේ තනතුරට ඇතුළත් කර ග්‍රාම සේවක තනතුර විධිමත් කළා.

අරනායක ඇම්.ඩී. ප්‍රේමචන්ද්‍ර කරුණාතිලක

මාගේ පුතු ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී සම්මුඛ පරීක්‍ෂණයට ද සහභාගි විය. කුසලතා තිබුණත් පත්වීමක් නොලැබුණි. අඩුම තරමේ හිත සැනසෙන්නට, සැකහැර දැනගන්නට ලකුණුවත් එව්වේ නැත. ග්‍රාම නිලධාරි පුරප්පාඩු රාශියක් ඇති බව දැන ගන්නට ලැබුණි. අඩුම තරමේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන අවස්ථාවේදි හෝ රටේ තරුණ පිරිසට මේ අවස්ථාව ලබා දෙන්න.

ඔබේ පුතා ග්‍රාම නිලධාරි තරග විභාගයේදි ලබා ඇති ලකුණු අනුව සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමට සුදුසුකම් ලබා තිබූ බැවින් ඒ සඳහා කැඳවා තියෙනවා. ග්‍රාම නිලධාරි බඳවා ගැනීමට අදාළ වූ 2006.09.01 දිනැති ගැසට් නිවේදනයේ 4.2 ඡේදය අනුව අපේක්‍ෂකයකු සපුරා තිබිය යුතු මූලික සුදුසුකම් යටතේ අ.පො.ස (සා.පෙළ) විභාගයේදි ගණිතය විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්යයි. ඔබේ පුතු (සා.පෙළ) විභාගයේදී ගණිතය විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ඇති බව සම්මුඛ පරීක්‍ෂණයේදි ඉදිරිපත් කර ඇති සහතික අනුව අනාවරණය වී ඇති බැවින් ඔහු මූලික සුදුසුකම් නොලැබූ අපේක්‍ෂකයකු සේ සලකා ඇත. එබැවින් එම අය ග්‍රාම නිලධාරි තනතුර ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් නොලබා ඇත. HAF – 3/REC/Y/09/08හා 2010.03.18 ලිපියෙන් ද අපි ඔබ දැනුවත් කොට තිබෙනවා.

2007 අප්‍රේල් 01 දායින් පසුව ඇතිවූ ග්‍රාම නිලධාරි ඇබෑර්තු සඳහා ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ විභාගයක් ළඟදීම තියෙනවා. දැනට ඇබෑර්තු 2500 ක් පමණ තියෙනවා. ඒවා සියල්ල ලබන වසර මුලදි සම්පූර්ණ කරනවා.

මහියංගනය ටී.සී. වික්‍රමසිංහ

වයඹ පළාතේ උසස් ජාතික ඉංගිරිසි ඩිප්ලෝමා ධාරින්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා ඉල්ලුම්පත් කැඳවා ඇත. ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර මේ අයට ඉක්මනින් පත්වීම් දීමට කටයුතු සලසන්න.

මේ ගැටලුව අදාළ අපේ අමාත්‍යාංශයට නොවෙයි. ඔබේ මේ ගැටලුව සිළුමිණ පුවත්පත හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර විසඳුම් ලබා ගන්නා ලෙස දන්වමි.

නාච්චිමලේ දොන් සිරියාවති

ඊ - පෙන්ෂන් සේවාව ඔබතුමා යටතේ ආරම්භ කළ බව දැනගන්න ලැබුණා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ප්‍රමාදය මේ මගින් අඩුවෙයිද? පාරිතෝෂික ගැනීමේ ප්‍රමාදය වැළකෙයිද? හැම පළාතකටම මෙම ඊ - පෙන්ෂන් සේවාව ක්‍රියාත්මකද?

ඊ - පෙන්ෂන් ක්‍රමය ක්‍රියාත්මක කළ නිසා අද වන විට විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ පමාව බොහෝ දුරට වැළකිලා. පාරිතෝෂික මුදල එදිනම ලබා ගන්නත් විශ්‍රාම වැටුප මසක් තුළ ලබා දෙන්නත් හැකිවෙලා තියනවා. ඊ - පෙන්ෂන් සේවාව කියන්නේ පරිගණක තාක්ෂණය හරහා විශ්‍රාම වැටුප් සේවාව ක්‍රියාත්මක කිරීමයි. මෙතෙක් එසේ සිදුවුණේ නැහැ.

මෙතෙක් වුණේ ලිපිගොනු හරහායි. ලිපිගොනු මේස මත ගොඩ ගැසෙනවා. සමහර තැන්වල නිලධාරියා ෆයිල් වලින් වැසිලා. දැන් එහෙම නැහැ. සියල්ල පරිගණකය හරහා සිදුවෙනවා. ඉදිරියේදි ලංකාව පුරහම ක්‍රියාත්මක කරනවා.

දැනට නියාමක ව්‍යාපෘතියක් ලෙස කොළඹ, මොරටුව සීතාවක පුර ක්‍රියාත්මක කළා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල දැන් සියල්ල ඒකාබද්ධ කර අවසානයි. මෙහි ප්‍රගතිය බොහෝම හොඳයි. ලිපි ගොනු සියයට සියයක්ම පරිගණක ගත කරලා ඉවරයි. මාසයක් තුළ විශ්‍රාම වැටුප ලබාගත හැකියි.

මීගමුව සුමනා වීරකෝන්

දිසාපති ක්‍රමය යළි ඇති කරන්න යනවාද? එවිට ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් තනතුරු වලට කුමක් සිදුවේද? දිසාපති ක්‍රමය යළි ඇති කිරීමෙන් ලැබෙන සේවාවන් වල වෙනසක් සිදුවේද?

දැනට දිස්ත්‍රික් පාලනයේ ප්‍රධානම නිලධාරියා තමයි දිස්ත්‍රික් ලේකම්. ඊළඟට ප්‍රාදේශීය ලේකම්. දිස්ත්‍රික් ලේකම් මුලින් හැඳින්වූයේ දිසාපති කියලා. ප්‍රාදේශීය ලේකම් හැඳින්වූයේ උපදිසාපති කියලා. හුඟක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ බලය අද දියවෙලා ගිහින් තියෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට අධීක්‍ෂණය කිරීමේ බලතල අඩුයි. මේ නිසා ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් අපි යම්යම් අඩුපාඩු දකිනවා.

මෙය නැතිකිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා දිසාපති ලෙස නම් කරලා, ප්‍රාදේශීය ලේකම් අතිරේක දිසාපති ලෙස නම් කරලා ඒ කාර්යාල පද්ධති අතර වැඩි සම්බන්ධතාවක් ඇතිකරන්න අදහස් කරනවා.

කෑගල්ල පී. ජයලත්

මා 1972 රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලට දායකත්වය හිමි ගුරුවරියකි. 1975 සිට රජය එම පත්වීම විශ්‍රාම වැටුප් සහිත තනතුරක් බවට පත් කෙරීය. 2009 විශ්‍රාම ලැබූ මා හට අවශ්‍යව ඇත්තේ 1972 – 75 දක්වා අර්ථ සාධක අරමුදල ලබා ගැනීමටය. ඒ සඳහා මා විසින් කළ යුත්තේ කුමක්ද? පැහැදිලි කර දෙන්න.

ඔබට අර්ථ සාධක අරමුදලක් ලබා ගැනීමට බැරි නැහැ. අර්ථ සාධක අරමුදලක් කියන්නේ සේවකයාට තම වැටුපින් අඩුකර ගත් මුදලයි. එය අනිවාර්යයෙන් ගැනීමට පුළුවන් කම ලැබෙනවා.

ගාල්ල අසන්නෙක්

මා දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථිර නියාමකවරයකු වශයෙන් සේවය කරමි. මා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අයත් ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්‍ෂක තනතුර ලබා ගැනීමට අපේක්‍ෂා කරමි. නමුත් එම තනතුර ලබා ගැනීමට නම් බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් සුදුසුකම් සපුරා නොතිබීමයි. නමුත් ආයතන සංග්‍රහයේ ධ්ධ් වැනි ඡේදයේ 27 – 27 – 1 යන වගන්ති වලට අනුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් අදාළ අයැදුම්පත්‍රයක් සකස් කොට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මෙම තනතුරට පත්කළ හැකි බව වගන්තියේ සඳහන් වෙයි. එබැවින් මෙම තනතුර ලබාගත හැකිද යන්න සඳහන් කරන්න.

මූලික සුදුසුකම් සපුරා තිබීම අත්‍යාවශ්‍යයි. ආයතන සංග්‍රහයේ අදාළ වගන්තියේ බලපාන සුදුසුකම් සපුරා ඇත්නම් පමණයි. කෙසේ හෝ ඔබ පත්වීම් ලද දිනයේ නියම සේවා කාලය පිළිබඳ කිසිදු දත්තයක් අප වෙත නොමැති නිසා ඊට වඩා යමක් කිව නොහැක. ඒත් ඔබගේ සියලු තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් නමට යොමුකර වැඩිදුර විමසා බැලීම් කරන්න.

මාතර ඩී. විජේසූරිය

2006.01.01 ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ වැටුප 2006.01.01 දිනට විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ වැටුපට සම කරනවා ද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් තවමත් එය ක්‍රියාත්මක කරන තත්ත්වයට ඇවිත් නැහැ. මීට පෙර 1997 ට පෙර විශ්‍රාම ගිය අයට 1997 ජනවාරි 1 දා සේවය කළ අය වශයෙන් සලකා එදා වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප සැකසුවා. 2006.01.01 දින වැටුප් පදනම් කරගෙන ඊට පෙර විශ්‍රාම ගිය අයගේ වැටුපත් සකසන්නැයි ඉල්ලීමක් තිබුණා. මෙය කිරීමට බලාපොරොත්තුවක් තියනවා. නමුත් නිශ්චිතව කියන්න අමාරුයි.

වටරැක අජිත් කුමාර

මම ස්වයං රැකියාවක් කරන අවිවාහක තරුණයෙක්මි. මාගේ දෙමවුපියන් රජයේ සේවය කොට මිය ගොස්ය. දෙමවුපියන්ගේ විශ්‍රාම වැටුප ඔවුන්ගේ අභාවයෙන් පසු මා වැනි අවිවාහක ස්වයං රැකියාවක නියුතු දරුවන්ට ලබාගත නොහැකි ද? අප වැනි කාත් කවුරුත් නැති අයට මේ විශ්‍රාම වැටුප විශාල ශක්තියක් වනු ඇත.

ඔබට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා. නමුත් විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙ නැහැ. අවිවාහක විවාහක බව නොමැතිව පිරිමි අයට අනත්දරු විශ්‍රාම වැටුප් ලබා දුන්නා. ගැහැනු අයට දුන්නේ අවිවාහකව ඉන්නවානම් විතරයි. විවාහ වූ කාන්තාවන්ට අනත්දරු විශ්‍රාම වැටුප් ලැබුණේ නැහැ. දැන් අපි සංශෝධනයක් ගෙනැවිත් තියෙනවා. අවු. 26 දක්වා තරුණියන් සියල්ලම අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවනවා.

ගම්පහ සුනිල් චන්ද්‍රසිරි

2010 ජනවාරි මස එක්තරා ප්‍රාදේශීය ලේකම්වරයකුගෙන් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකයක් ඉල්ලු විට එය ප්‍රතික්ෂේප කළ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමාට දැන්වූයෙමි. නැවතත් මේ නිසා උරණ වූ ඔහු මම පදිංචි ඡන්ද නාම ලේඛනයෙන් ඉවත්කර මාගේ බිරිඳ හා දරුවන් පදිංචි වන ස්ථානයේ ලියාපදිංචි වන ලෙස උපදෙස් දෙන ලදි. මාගේ කැමැත්ත නැතුව වසර 20 ක් පමණ සිටි ස්ථානයෙන් මෙසේ ඉවත් කළ හැකි ද?

ඔබ කියා තියෙන දේ මම ඉතා හොඳින් අධ්‍යයනය කළා. මෙය ඉතාම වැරැදි දෙයක්. ප්‍රාදේශීය ලේකම්වරයකුට එහෙම තව අයකුගේ පදිංචිය වෙනස් කරන්න බැහැ. සුනිල් චන්ද්‍රසිරි මහතාගේ මෙම දුක් ගැනවිල්ල ගැන කරුණු සොයා බලා මම අදාළ ක්‍රියාමාර්ග ගන්නවා.

ඔහු එක තැනක ලියාපදිංචි වී තිබේනම් ඔහුගේ පවුලේ අනිකුත් අය ඡන්දයට ලියාපදිංචි වූ ස්ථානයේ ලියාපදිංචි වන්නට ඔහුට අයිතියක් නැහැ. ප්‍රාදේශීය ලේකම්ගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම වැරැදියි. අදාළ පුද්ගලයා ගැන පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ඔබ පදිංචි සිටි ස්ථානයේ ඡන්දය ලියා පදිංචි නොකිරීම හා ග්‍රාම නිලධාරියා විසින් පදිංචි සහතිකයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේදී ග්‍රාම නිලධාරී පවත්නා විධිවිධානවලින් බැහැරව ක්‍රියාකර තිබේදැයි යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා අමාත්‍යංශයේ විමර්ශන හා මෙහෙයුම් ඒකකය වෙත ද යොමු කරනවා. (ඔබ එවු ලිපිය ඇමතිතුමා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා බාර ගන්නා ලදී.)

ස්තුතිය - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. ඩී. අනුර පි‍්‍රයබන්දු හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහත්වරුන්ට

සිළුමිණ පුවත්පත විසින් ඔබේ ගැටලු ඇමැතිවරුන් හමුවට ගෙන යන ‘ඇමැතිතුමනි මේ අහන්න’ කාලීන විශේෂාංගයෙන් ඉදිරියේදී තවත් ඇමැතිවරු රැසකට ඔබේ ගැටලු ඉදිරිපත් කිරීමට අප සූදානම්. මෙතෙක් ඔබ අප හමු නොවූ ඇමැතිවරුන්ට මෙන්ම නව අමාත්‍යාංශ බාර ගත් නව අමාත්‍යවරුන්ට ද ඉදිරිපත් කිරීමට ඔබේ ගැටලු, යෝජනා ඇත්නම් අප වෙත ලියා එවන්න. “ඇමැතිතුමනි මේ අහන්න” සිළුමිණ ලේක්හවුස් කොළඹ 10
2429260 - ෆැක්ස්


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා