කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
දැනුම සොයා පියමං කරන යුගයට සිසුන් ලක්ෂ 41 කට පෙළ පොත්

දැනුම සොයා පියමං කරන යුගයට සිසුන් ලක්ෂ 41 කට පෙළ පොත්

පාසල් පෙළ පොත් බෙදා දීමේ දිනය මෙවර යෙදී ඇත්තේ දෙසැම්බර් 08 දාට ය. ලක්ෂ 41 ක් වූ සිසු දරුවන්ගේ අතට නිවැරැදි, ගුණාත්මක පෙළ පොතක් මෙවර ද පත්වීමට නියමිතය. මෙම ලිපිය සැකසෙන්නේ ඒ ජාතික උත්සවය නිමිත්තෙනි.

සිත් පුරා මල් පිපී
අලුත් පොත් සුවඳ දී
නෙත් පුරා රූ මැවූ
අපේ ලොව එළිය වී

පුංචි මුව සිනා රැළි
පොත් පුරා දැනුම පිරි
අලුත් පොත්වල එළිය
අලුත් වෙයි සැම දිනේ

පොත් අපේ නෙත් වගේ
නෙත් රකින විලසිනේ
දැනුම දෙන පොත පතත්
රැක ගනිමු සතුටිනේ...

මේ නැණ නුවණ දියුණු කරන පෙළපොත් සුරැකීමේ ගීතයයි. පාසල් ශිෂ්‍යයන් සඳහා නොමිලයේ ලබා දෙන්නාවූ පෙළ පොත් බෙදා දීමේ තවත් දිනයක් මේ මස 08 දායින් උදාවෙයි.

උතුරු නැඟෙනහිර බිම්කඩ නිදහස් වී ශ්‍රී ලංකාවට නව අරුණළු උදාවෙද්දී ඓතිහාසික ලෙස 2010 වසර සඳහා පෙළපොත් බෙදා දීම යාපනයේ වෙම්බඩ් කාන්තා විදුහලේ දී සිදුවිය. මෙය ඓතිහාසික වන්නේ උතුරු නැගෙනහිර දෙපළාත් යුද්ධයෙන් මුදවාගෙන පැවැත්වූ ප්‍රථම ජාතික උත්සවය වීම නිසා පමණක් නොව එය දැයේ දරුවන් උදෙසා පවත්නා වූ සත්කාරක සේවයක් ලෙස ප්‍රථම වරට උතුරේ දූ දරුවන් අතට අදාළ නිලධාරීන් අතින් ම පත් කිරීමයි. එදා මේ දරුවන්ගේ ගෙලට වැටුනේ සයනයිඩ් කරලක් නම් මෙදා මේ දූ දරුවන්ගේ සුරතට පත්වුණේ අකුරු කරන පෙළපොත් ය.

මේ යන ගමන් මග නොනවත්වා ඉදිරියට ගෙන යමින් මෙවර අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව නැඟෙනහිර දරු දැරියන්ට මෙවර පාසල් දිවියට තවත් අරමුණක් කැන්දමින් 2011 වසරට පෙළපොත් ලබාදීමේ ජාතික උලෙළ සනිටුහන් කරන්නේ ත්‍රිකුණාමලය ඔරිස්හිල් විවේකානන්ද විදුහලේ දී ය. ඒ දෙසැම්බර් 8 දා ය.

රජයේ සියලු පාසල්වලට පෙළ පොත් බෙදාදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට පැවැරුණේ 1980 දී ය. 2002 වසරේදී බහු පෙළපොත් ලිවීම ආරම්භ වුවත් 2006 දී නව විෂය නිර්දේශයට අනුකූ®ල තනි පෙළපොත් සංකල්පය ක්‍රියාත්මක විය. කාලාන්තරයක් මුළුල්ලේ පෙළ පොත් සිසු දරුවන් අතට පත් කිරීමේ ප්‍රමාදයට තිත තබමින් පාසල් නිවාඩුවට පෙර කලට වේලාවට පෙළ පොත් ලැබෙන්නට පටන් ගන්නේ වත්මන් ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගේ නායකත්වය හා අධීක්ෂණය යටතේ ය.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සෑම වසරකම ලක්ෂ 41 ක් වූ සිසු ප්‍රජාවට නොමිලයේ පෙළපොත් බෙදාදෙයි. ඒ අවස්ථාව සෑම වර්ෂයකම සනිටුහන් වන්නේ පෙළපොත් බෙදාදීමේ දිනයෙනි. හුදෙක් පෙළ පොත් බෙදා දීමේ දිනය දිනයක් පමණක් ම නොවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පෙළපොතක අගය, වටිනාකම සිසු ප්‍රජාවට ම පමණක් නොව ගුරු දෙමව්පියන්ටත් කියා දෙන දිනයකි.

රජය සෑම වර්ෂයකම පෙළ පොත් සඳහා වැය කරන්නා වූ රුපියල් මිලියන 3000 කට ආසන්න අතිවිශාල ධනස්කන්ධයෙන් කොටසක් හෝ ඉතුරු වන්නේ දරුවන්ට පෙළ පොතක වටිනාකම අවබෝධ වුවහොත් පමණි. පෙළ පොත් රජයෙන් නොමිලයේ මුද්‍රණය කර ලබාදෙන නිසාදෝ ඒ පෙළපොත ආරක්ෂා වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි. එක් පෙළ පොතක් වසර 3 ක් භාවිතා කළ හැකි පරිදි සුරක්ෂිතව භාවිතා කරන්නට දරුවන් ඉගෙන ගත යුතු ය. නැවත භාවිතය වේගවත් වන තරමට ම රටේ මුදල් ද ඉතිරි වෙයි.

වත්මන් ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා යටතේ පෙළ පොත් වල නැවත භාවිතය ද වේගවත් වී තිබෙයි. ඒ සඳහා පාසල් ශිෂ්‍යයන් දිරිමත් කරන වැඩසටහන් ද අරඹා තිබේ. මෙවර පෙළ පොත් බෙදා දීමේ දිනයේ දී 2010 වසර තුළ පෙළපොත් ඉතා හොඳින් භාවිතා කළ එක පංතියක දරුවන් 3 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුනට වටිනා සහතිකයක් පිරිනැමෙයි. එය ජාතික උත්සවයේදී පමණක් නො ව, එයට සමගාමීව සියලුම පාසල් වල පෙළ පොත් බෙදාදීමේ දිනය සමරමින් මේ සහතික පත් තිළිණ කෙරෙයි.

2011 වර්ෂය සඳහා පොත් මිලියන 37 පොත් වර්ග 443 කින් මුද්‍රණය වී හමාර ය.

මේ සඳහා රජය මෙවර රුපියල් මිලියන 3000 ක වියදමක් දරා ඇත. මීට අමතරව පෙළපොත් බෙදාදීමේ දිනයේදී ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද වර්ග 514 ක් මිලියන 3.4 ක ප්‍රමාණයක් ද මුද්‍රණය කර බෙදා දීමට නියමිත ය.

දිවයිනේ සියලුම ගුරුවරුන්ගේ මෙම අත්පොත සඳහා මෙවර රුපියල් මිලියන 350 ක ප්‍රමාණයක් මුද්‍රණය සඳහා වැය වී ඇත. එසේ ම නැවත භාවිතයට ශිෂ්‍යයන් දිරි ගැන්වීම නිසා නැවත පරිහරණයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 1000 ක ප්‍රමාණයක් රජයට ඉතිරි වෙයි.

මෙවර සිසු දරුවන් අතට පත්වන පෙළ පොත් හි මින් පෙර කිසිදාක සිදු නොවූ අලුත් වෙනස්කමක් සිදු කරන්නට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. ඒ ගුණ නුවණින් පිරි දරු පරපුරක් සඳහා පෙළපොත් යන තේමාව පමණක් නොව නිරෝගී දරු පරපුරක් සඳහා ද පෙළපොත් ලබාදීම යන තේමාව ද නිමිති කරමින් මෙවර බරින් වැඩි පෙළ පොත් කොටස් කර සිසු අයිතියට පත්වීමට නියමිත ය.

දෙසැම්බර් 08 දා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලයේ ප්‍රධාන ජාතික උලෙළට සමගාමීව පළාත් මට්ටමින් ද උත්සව පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් පාසල් බලධාරීන්, ප්‍රධාන ලේකම්වරු පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැනුවත් කර ඇත.

ඒ සෑම උත්සවයකදීම 2011 වසර සඳහා පාසල් පෙළ පොත් බෙදාදීම, පාසල් පෙළ පොත් පරිහරණය වෙනුවෙන් සහතික පත් ලබාදීම මෙන් ම අධ්‍යාපන අමාත්‍යතුමා හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තුමාගේ අධීක්ෂණය යටතේ නිරෝගී, සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් වෙනුවෙන් නිර්මාණය වූ 2011 වසරේ සිට පාසල් දරුවන්ගේ භාවිතයට යන සෞඛ්‍ය නිර්දේශයානුකූල පාසල් පොත් බෑගය හඳුන්වා දීම ද සිදුවෙයි.

මේ වනවිට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සමස්ත පෙළ පොත් අවශ්‍යතාවයෙන් සියයට 90 ක් බෙදා හැර අවසන්ව ඇත. ඉතිරි සියයට 10 ද පෙළ පොත් බෙදාදීමේ දිනයට පෙරාතුව අවසන් කෙරෙනු ඇත. 8 දා වන විට ලක්ෂ 41 ක් වූ පාසල් ශිෂ්‍යයන් සියලු දෙනාටම කිසිදු අඩුවකින් තොරව පෙළපොත් ලබාදෙන්නට රජය දැනටමත් සූදානම් ය. මෙය ද එක්තරා අභියෝගයක් ජයගැන්මකි.

නිවැරැදි බවින් යුතු, ගුණාත්මක පෙළ පොතක් ලක්ෂ 41 වූ සිසු දරුවන්ට නිසි කලට පෙර ලබාදෙන්නට හැකි නම් එය ලොකු ම ලොකු අභියෝගයක් ජයගැනීමකි.

මේ අභියෝගය ජය ගැන්මට පාසල් ප්‍රධානීන්ට ද යම් කිසි කාර්ය භාරයක් උරුමය. පෙළ පොත් ඍජුවම ලැබෙන පාසල්වල විදුහල්පතිවරුන් තමන්ට ලැබී ඇති පෙළපොත් ප්‍රමාණයේ ඌනතා ඇද්ද යන්න සොයා බලා එසේ අඩුවක් තිබේ නම් වහාම එය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීමේ අංශයට දැන්විය යුතු ය.

පෙළ පොත් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල මධ්‍යස්ථානාධිපතිවරුන් තමන්ට ලැබෙන පෙළ පොත් නියමිත දිනට පෙර පාසල් වලට බෙදාහැරිය යුතු ය. යම් හෙයකින් තම පාසලට පෙළ පොත් නො ලැබුණේ නම් වහාම මධ්‍යස්ථානය හරහා එම පොත් ලබාගැනීමට කටයුතු කළ යුතු යි. මේ නිසා විදුහල්පතිවරු නිවැරැදි සංඛ්‍යා ලේඛන එවීමට ද වගබලා ගත යුතුව ඇත.

හෙටින් එළඹෙන්නේ දැනුම සොයා පියමං කරන යුගයෙකි. මේ අනුව පාසල් ශිෂ්‍යයන් ද නව දැනුම සොයා යා යුතු ව ඇත. ඔවුන්ගේ දැනුම අලුත් කරමින්, නව ප්‍රවේශයකට සිසු දරුවන් යොමු කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යන ගමන් මග අප අගය කළ යුතුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා