![]() ![]() |
||
වට්ටි පෙට්ටි හට්ටි තිබුණ කුස්සිය දැන් නැතේ
පුවත්පතක සාකච්ඡාවකට එකතු වෙමින් එසේ කියා තිබුණේ අද කාලයේ යොවුන් නිළියකි. “ඔය කථාව ඇත්තක්. අපේ පුවත්පතට ඇය සම්බන්ධ ලිපියක් කිරීමට මමත් ඇගේ නිවෙසට ගියා. අපි සාකච්ඡා කළේ බිම ඉඳගෙන. ඒ දවස්වල ගෙදරට පුටුවක්වත් අරගෙන තිබුණෙ නැහැ.” අප ආයතනයේ සහෝදර මාධ්‍යවේදිනියක නිළියගේ කථාව සහතික කළාය. එක අතකට පුදුමයකි. ඒ තරමට ගෙදර දොර බඩු බාහිරාදියට අකමැත්තක් දක්වන්නෝ මේ පරපුරේ සිටිය හැකි ද? මගේ මතකය දිව ගියේ වසර පන්සීයකට කිට්ටු අතීතයක් ගැන ලියැවුණු සටහනක් වෙතය. එය මෙසේ ය. “ඔවුන්ගේ නිවාස ස්ථානවල ගෘහ භාණ්ඩ ඉතා ස්වල්පයක්ම වෙයි. ගේ මැද උඩපල්ලේ එල්ලූ හැළි වළං කීපයකි. බත බුදීමට තැටියක් හෝ දෙකක් වෙයි. හාන්සි වීමට ඇන්ද නැති පුටුවක් හෝ දෙකක් එක ගෙදරක වෙයි. (හාන්සි වන ඇඳි සහිත පුටු පරිහරණය කළ හැක්කේ මහ රජුට පමණි.)” ඔවුන් හට නිදා ගැනීමට පැදුරු කීපයක් ඇත. ආගන්තුකයකු පැමිණිය ද ඔහු නිදා ගත යුත්තේත් පැදුරකය. වී දැමීමට කූඩා කීපයක් ද වී කෙටීමට වං ගෙඩියක් සහ අගට පිහිලි සවි කළ කිතුල් මොහොල් ගස් කීපයක් ද ඇත. මේ හැර පොල් ගෑමට හිරමනයක් හා මිරිස් ආදි කුළු බඩු අඹරා ගැනීමට ඇඹරුම් ගලක් ද වෙයි. එදිනෙදා ජීවිකාව සඳහා අත්‍යවශ්‍ය වූ කැති පොරෝ, වෑ වක් පිහියා හා නියන් ආදි උපකරණ ද ඔවුන්ගේ නිවෙස්හි ඇත්තේය. ඔවුන්ගේ නිවාසවල මේස නැත්තේය. හැම කෙනෙකුම අහර බුදින්නේ බිම හිඳ ගෙනය.” රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව කෘතියේ එන මේ සටහන මීට වසර පන්සීයකට එහා නිවෙසක් සම්බන්ධ සම්පූර්ණ චිත්‍රයක් මවා ගැනීමට වුවද ප්‍රමාණවත්ය. මේ කියන නිළිය ඇතුළු එවැනි අදහස් දරන තරුණ පරම්පරාව මේ යන්නට හදන්නේ අප සිටිය තැනට ම ද?
නොක්ස් සඳහන් කළ ඉහත සටහන, අපේ ඉතිහාසයේ මූලාශ්‍ර ගොන්නක් විසින් ම සනාථ කර ඇති බව පැහැදිලිය. ඔහුට පසු කලෙක ලංකාවට පැමිණි ජෝන් ඩේව් වෛද්‍යවරයා ද තමන් ලංකාව හඳුනාගත් ආකාරය ගැන ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ. ඩේව් ලංකාවට පැමිණියේ නොක්ස් ගේ පැමිණිමෙන් වසර එකසිය පනස් හයකට පසුව වුවද සිංහලයාගේ ගෙවල බඩුබාහිරාදියේ වෙනසක් ඔහුද දුටුවේ නැත. නොක්ස් දුටු හිරමනය - වංගෙඩිය, මෝල් ගහ, හැළි වළං හා පැදුර ඒ ආකාරයෙන් ම ඩේවි ද දුටුවේය. “ඔවුන්ගේ චාම් සකසුරුවම් සහිත ගෘහ භාණ්ඩ, හාන්සි වීම සඳහා කුඩා ඇඳක් දෙකක්, බංකු දෙක තුනක් පැදුරු කීපයක්, පිඟන් බඳුන් දෙක තුනක් යන භාණ්ඩවලින් සමන්විතය. උසස් පන්තිවලට අයත් ඇත්තන් වෙත තැටි සහ අන්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ඇත්තේය. වට්ටි හා දළ මැටි බඳුන් යන මීට වැඩි මනත් ඔවුන්ගේ මුළුතැන් ගෙයි උපකරණ මෙසේ ය” (ඩේව් දුටු ලංකාව) යනුවෙන් පවසන ඩේවි ඊළඟට රූප සටහන් සහිත විස්තරයකට යන්නේ ඒ මුළුතැන්ගෙයි උපකරණ හඳුන්වාදීමටය. මෝල් ගහ සහ වං ගෙඩිය ඔහු හඳුන්වා දී ඇති මුල්ම මුළුතැන්ගෙයි උපකරණය වේ. එකල ගැමියා වී කෙටීම සහ පෑහීමට මෝල් ගහ සහ වං ගෙඩිය භාවිත කර ඇති බව ඔහු පවසයි. එකල කලාතුරකින් ගලින් තැනු වං ගෙඩි ද භාවිත වූ බව හේ පවසන්නේය. මෙකල ද ගල් වංගෙඩි කලාතුරකින් දැකිය හැකිය. එහෙත් ඒ පැරණි මහ ගෙවල් ආශි‍්‍රතව පමණි. මා බාල කාලයේ මගේ පියාගේ මහ ගෙදර ද විශාල කළු ගල් වංගෙඩියක් තිබුණා මට මතකය. අවුරුදු කාලෙට මේ වංගෙඩිය තාලෙට වැඩ අල්ලයි. එකල අලුත් අවුරුදු රස කැවිලි සෑදීමට ගමේ ගැහැනුන් එකිනෙකාගේ නිවෙස්වලට ගොස් උදවු, පදව් කර ගැනීම සිරිතකි. එසේ එන ගැහැනු දෙදෙනෙක් ගල් වංගෙඩිය දෙපැත්තට වී දියේ දැමු හාල් කොටන්නේ තරගයට මෙන් වුණද රිද්මයකටය. ඒ රිද්මය නොමැති වුවහොත් නම් වන්නේ අකරතැබ්බයකි. එකම වංගෙඩියක මෝල් ගස් දෙකකින් මාරුවෙන් මාරුවට හාල් කෙටීම හෙවත් දෙමෝලෙ කෙටීම බලා සිටීම පුංචි අපට විනෝදයක් සේම ආශ්චර්යයක් ද වූයේ එබැවිනි. ඩේවි ඊළඟට සටහන් තබන්නේ කුරක්කන් ගල ගැනය. කුරක්කන් සහ සෙසු ධාන්‍ය වර්ග ඇඹරීමට භාවිත කරන මේ කුරක්කන් ගල අයර්ලන්තයේ සමහර පෙදෙස්වල හා ස්කොට්ලන්තයේ කඳුකරයේ ඒ වන විටත් භාවිතයේ තිබු පැරණි කෙල්ටික් ඇඹරුම් ගලට සමාන වූ බව ඩේවි පවසයි. “ව්‍යංජන සඳහා යොදන නොයෙක් ද්‍රව්‍ය සියුම් ලෙස අඹරා ගැනීමට හා හොඳට මිශ්‍ර කිරීමට මට සිලිටු ගල් දෙකක් ද භාවිත කෙරෙයි. මින් එකක් කුඩාය. අනික ලොකුය.”
ඩේව් විස්තර කරන අපගේ තවත් ප්‍රධාන මුළුතැන්ගෙයි උපකරණයක් වන්නේ හිරමනයයි. වෑංජන රසවත් කිරීම පිණිස යොදනු ලබන පැසුණු පොල් ගා ගැනීම සඳහා මෙය භාවිත කෙරෙන බව ඔහු එහි සඳහන් කර ඇත. තවත් කාලයක් යන විට ඩේව්ගේ මේ විස්තර කිරීම් සිංහලයා ගැන සුද්දාට කරනු ලැබූ පැහැදිලි කිරීමකට සීමා වන්නේ නැත. අනිවාර්යෙන්ම තමන්ගේ සංස්කෘතිය ගැන ඩේවිගේ තොරතුරු සිංහලයාට ද කරනු ලබන සරල පැහැදිලි කිරීමක්ම වන්නේය. කුරහන්ගල යනු අපේ පරම්පරාවේ ද ඇස නොගැසුණු මුළුතැන්ගෙයි උපකරණයකි. ගල් වංගෙඩි තබා ලී වංගෙඩි ද හිඟය. ඇතැම් නිවෙස්වල නම් අඩියක් පමණ උසැති ලී වංගෙඩි දකින්නට ලැබේ. මිරිස් ගලේ ඇඹරිය යුතු පොල් සම්බෝලය, ලුණු මිරිස බොහෝ විට මේ වංගෙඩිවල කෙටී කෑම පිඟානට එයි. එහෙත් මිරිස් ගලේ ඇඹරුණු සම්බෝලයේ, ලුණු මිරිසේ රස දන්නා පැරැන්නෝ මේ වංගෙඩි සම්බෝලයට මනාපයක් නැත්තා සේය. පොල් සම්බෝලය, ලුණු මිරිස මේ අඩියක් උසැති වංගෙඩියේ කෙටෙන්නේ ඇතැම් විට කම්මැලිකමටය. එසේත් නැත්නම් මිරිස් ගලක් නැතිකමටය. වංගෙඩි, මිරිස් ගල්වලින් සිදු වූ කාර්යය අද ඉටු වෙන්නෙ බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් වැනි විදුලි උපකරණවලිනි. වෙලාව ඉතිරි කර ගැනීම මෙන් ම පහසුව සඳහාත් මේ උපකරණවලට වර්තමාන ගෘහණියෝ වැඩි කැමැත්තක් දක්වති. මුළුතැන්ගෙයි උපකරණ ගැන කථා කරන විට සිහි වෙන අතුරු කථාවක් ද මෙහි ලිවීමට කැමැත්තෙමි. පනස් විය ඉක්මවූ මගේ ඥාතිවරියක් සිටී. ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙන නිසා දිනපතා ඖෂධ ද ගනී. ඇය තරබාරුය. එබැවින් ඇගේ නැඟණිය ඇයට විදේශ රටක සැකසුණ ව්‍යායාම් මාලාවක උපදෙස් සහිත වීඩියෝ පටයක් ලබා දුන්නේ තරබාරුකම නැති කරගැනීමට උදව්වක් වේ යැයි සිතමිනි. ඇය ද මේ ව්‍යායාම දිනපතා කළේ නිරෝගි බව වැඩි කර ගැනීමට ය. ඖෂධ ද දිනපතාම ගැනිණි. එහෙත් සිදුවූයේ අනෙකකි. ඇය රෝගාතුර වූවාය. ඖෂධත්, ව්‍යායාමත් නිසා ඇගේ අධි රුධිර පීඩනය අනවශ්‍ය ලෙස පහත වැටී ඇති බව වෛද්‍ය පර්යේෂණවලින් හෙළි විය. ඇගේ සුවදුක් බැලීමට අපිදු ගියෙමු. එහිදී එම ව්‍යායාම් සහිත වීඩියෝ පටය අපට ද පෙන්වනු ලැබීය. එදෙස බලා සිටි ඇගේ සැමියා පැවසුවේ, මිරිස් ඇඹරීම, පිටි කෙටීම, අතු ගෑම වැනි සියල්ල ඒ ව්‍යායාම තුළ ද ඇති බවය. ඒ දෙස බලා සිටි අපට ද එය සත්‍යයක් බව වැටහුණි. වීඩියෝ පටයේ ව්‍යායාම් උපදේශකයන්ගේ ශරීර චලනයන් මේ ගෘහාශි‍්‍රත වැඩවලදී සිදුවෙන ශරීර චලනයන්ට බෙහෙවින් සමාන විය.
ඩේවිද, නොක්ස් මෙන්ම පැදුර ගැන කියා තිබේ. ඔහුට අනුව සිංහලයාගේ සකසුරුවම් චාම් ජීවිතයේ පැදුර නැතිවම බැරි අංගයකි. මේ “පැදුරු” කථාවෙන් මිදෙන්නට මෙරට සංස්කෘතිය ගැන විශේෂයෙන් ම රොඩී හා වැදි ජනතාව ගැන පර්යේෂණයක් කිරීමට පැමිණි ජර්මන් ජාතික පඬිවරයකු වූ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ටත් බැරි වුණි. නිදා ගැන්මට, හිඳ ගැනීමට සිංහලයාගේ නිවසේ එළුණු පැදුර ගයිගර් එන විට, බිහිවී තිබුණු සුපිරි හෝටල්වල ද එළා තිබුණි. ඔහු මුලින්ම නවාතැන් ගත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ද එලෙස පැදුරු එලා තිබුණි. එහෙත් ඒ නිදා ගැන්මට නම් නොවේ. ඔවුන්ට සත්කාර කිරීම සඳහා එහා මෙහා යන වේටර්වරුන්ගේ සපත්තු රහිත පා හඬ නොනැඟෙන ලෙසය එම පැදුරු අතුරා තිබුණේ. ගයිගර් ඔරියන්ටල් හෝටලයේ දකින පැදුරත් සිය පර්යේෂණය සඳහා හමුවන රොඩී ජනයාගේ ගුබ්බෑයමේ තිබෙන පැදුරත් ඔවුනොවුන්ට ඉටු කර දෙන්නේ අරමුණු දෙකකි. ඔහු ඒ ගැන තබන සටහන මෙබඳු ය. “රත්නපුරයේදී මෙන්ම මෙහිදී ද මම රොඩී ගුබ්බෑයමකට හිස දමා ඇතුළ නැරැඹීමට පසුබට නොවීමි. හදිරිවලානේ රොඩීන් රත්නපුරයේදී මම දුටු රොඩීන්ට වඩා දුප්පතුන් විය. පැල තුළ නිදා ගැනීම සඳහා වූ පැදුරු කඩමාලු දෙක තුනත් වළං කිහිපයත් හැරුණු විට වෙනත් එකදු භාණ්ඩයක් හෝ ගෘහ උපකරණයක් හෝ නොවීය.” ඔරියන්ටල් හෝටලයේදී ගයිගර් දකින්නේ පැදුරු වියන්ය. රොඩී ගුබ්බෑයම තුළ ඔහු දකින්නේ පැදුරු කඩමාලුය. ඒ අනුව තැනක පයට එළුණු පැදුරු තවත් තැනක එළුණේ හිසටය. ඔවුන් මෙලෙස දකින පැදුර ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ස්වර්ණලතා ඉහළගම මහත්මිය විසින් සම්පාදිත ග්‍රන්ථයකි. “පැදුර හා ජන ජීවිතය” නමින් ප්‍රකාශයට පත්වී තිබේ. පැදුර හා ජන ජීවිතය අළලා ග්‍රන්ථයක් ලියන්නට කරුණු තිබේ නම් පැදුර අපගේ ජීවිතවලට කෙතරම් සමීප වස්තුවක් ද යන්න අමුතුවෙන් කිව යුතු ය නැත. “පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්වා වූ විවිධ අවස්ථාවන්හි දී පැදුර භාවිත විය...” (පැදුර හා සිංහල ජනජීවිතය)
“පිලේ පැදුර හේනට අරගෙන යනවා
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |