කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
අමරදේවයන්ට සුබ උපන් දිනයක්!

අමරදේවයන්ට සුබ උපන් දිනයක්!

ශ්‍රී ලංකාවේ ගී ඉසිවර මහා ගාන්ධර්වයාණන් වු, පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීහු අද (5) 81 වැනි වියට පා තබති. මේ ඔහුගෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටුවූ මෙහෙය ඇගැයීමකි.

නූතන ඉතිහාසය ලියන අයට වැදගත් කරුණක් සිහිපත් කරමි. ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂෙත්‍රයට අනුපමේය සේවයක් ඉටුකළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන් හා ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වැනි සංගීතඥයන් ගායකයන්ගේ නම්, නූතන මහාවංශයට ඇතුළත් කිරීම යෝගය බවයි.

නැලවුණු වෙණ සරින් නැඟි කත ඈ බඹර
හදදිනු රසික ලොව සරසවි පුත් කුමර
විරිපුනු මහ ගදඹ සහ දේවිය අමර
ලොව දිනු දිනෙහි සළනෙම් ආසිරි සමර

හියුබට් ද අල්විස්

පණ්ඩිත් අමරදේවයන්, සිරිලක බිහිවුණු අති විශිෂ්ට සංගීතවේදීන්ගෙන් කෙනෙකි. හෙළ ගී කලාවක් නිර්මාණය කළ අමරදේවයන්, ඔහුටම ආවේනික මධුර මනෝහර ස්වරයකින් දහස් ගණනක් ගී ගයමින්ද, මෙරට ජනතාවට නැවුම් ආශ්වාදයක් ලබාදුන් සංගීත ඉසිවරයෙකි.

”වැලිතල අතරේ” සසරවසනතුරු යන ගීත අපට ඇසෙන සෑම මොහොතකම චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන් අප අසලය. සන්නාලියනේ ගීය ගුවනට මුසුවනවිට, මහගම සේකරයන්ට ජීවය ලැබේ. මේ කලාකරුවන්ගේ අමරණීයත්වයයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්‍රසන්න, ඒ මධුර මනෝහර, ආකර්ශනීය ස්වරයෙන් ගීයක් ගයන විට එම ගීතයේ ඔහු ජීවත්වන බව ඔහුගේ භාව නිරූපණයන්ගෙන් සක්සුදක්සේ පැහැදිලිවේ. එම ගීයට නව පණක්, ජීවයක් හේ හදවතින්ම ලබාදේ. මහබෝවන්නම ගයන විට බෝපත් සෙලවෙන අන්දම අප සිතට දැනේ. ඈත කඳුකර හිමව් අරණට අප ගෙනයන විටදිත් පිලේ පැදුර ජනකවි ආරෙන් ගයනවිට නමෝතස්ස භගවතෝ අරහතෝ ආදී වශයෙන් බුදුගුණ වර්‍ණනා කරන විටදිත් සත්සමුදුරේ සිනිඳු සුදුමුදුතලාව - ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ නගින ඝෝෂාවත්, දස්කොන් කතාව කියන, දස්කොන් සකිසද ඇසෙනවිටත් ඩෝල්ටන්ගේ ජාතියේ ගීතය සසර වසනතුරු ගුවනට මුසුවන තාක් කල්ද අමරගීසර මුසුකරන අමරදේවයන් අමරණීයය. හේ, ජාතියේ මහා අභිමානයයි. අමරදේව රටක් නොව ලොවක් වටිනා සුන්දර, නිහතමානී මිනිසෙකි. ඔහුට ඇත්තේ ආකර්ශනීය අහිංසක සිනාවකි.

1975 වර්ෂයේදී ප්‍රථමවරට මා අමරදේවයන් හමුවිය. එදා සිට අද දක්වා අපගේ ඇසුර අඛණ්ඩව පවතී. එවකට මා ලංකා බැංකුවේ මහජන සම්බන්ධතා කළමනාකරු ලෙස සේවය කෙරුවෙමි.

ලංකා බැංකුව, දේශීය බැංකුවකට වඩා බර්ක්ලේස්, ලොයිඩ් ආදි ප්‍රකට බ්‍රිතාන්‍ය බැංකු සම්ප්‍රදායන් අනුගමනය කරන බැංකුවක් විය. ඉංගිරිසි අධ්‍යාපනය ලැබුවද, අප හෙළබසට, හෙළ කලාවට දැක්වූයේ අසීමිත ආදරයකි. මේ වකවානුවේ ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස, සිංහල භාෂා ප්‍රවීණයකු මෙන්ම ආර්ථික විශේෂඥයකු වූ ඒ.එස්. ජයවර්ධන – අමරානන්ද ජයවර්ධන ශූරීන් පත්වූයේය. මා දිනක් ඔහුට, නව ආරක සංගීත වැඩසටහනක් පිළිබඳ යෝජනා කෙරුවෙමි. ජයවර්ධන මහතා මගේ අදහසට එකඟ විය.

මෙම සම්භාවනීය සංගීත වැඩසටහනට උපදෙස් ගන්නට මා ප්‍රවීණයන් දෙදෙනකුගේ සහාය ලබාගත්තෙමි. ඒ, අමරදේව සහ ගුවන් විදුලියේ එවකට සිංහල සේවා අධ්‍යක්ෂ එච්.එම්. ගුණසේකරගේය.

1977 අප්‍රේල් මාසයේදී අප සාමාන්‍යාධිකාරී – කළමනාකරු ඒ.එස්. ජයවර්ධනත්, අමදේව ශූරීනුත්, එච්.එම්. ගුණසේකරත්, කොළඹ යෝක් වීදියේ ත්‍රැප්‍රොබේන් හෝටලයේ දිවා ආහාරය ගනිමින් ශශ්‍රී ලංකාවේ ඉතාමත් ජනපි‍්‍රය ගුවන් විදුලි සංගීත වැඩසටහනක් වූ “ආරාධනා ස්වර දැහැන” ට වස්තු බීජය සැකසුවෙමු.

එම වැඩසටහන අද ලංකා බැංකුවට පමණක් නොව රටටම පොදු වැඩසටහනක් බවට පත්ව ඇත.

ඇතැම්විට වර්තමානයේ බොහෝ දෙනා ආරාධනා බිහිවුණු ආකාරය නොදන්නවා විය හැක. එදා ආරාධනා වැඩසටහනේ සැලැස්ම අපි නිර්මාණය කෙරුවෙමු. පැයක හෝ පැය එකහමාරක වැඩසටහනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ ගායක ගායිකාවන්, ආරාධිත අමුත්තන්, ශ්‍රාවකයන් පිරිසක් ඉදිරියේ පැය එකහමාරක දෙකක ආරාධනා වැඩසටහන ආරම්භ කෙරිණි.

ලංකා බැංකුව වෙනුවෙන් “ලංකා බැංකුවයි මේ අපේ - ලක් දනන් ගෙ පින් බෙලෙන් පහළවූ ජාතික ධන නිධානයි” යන ගීය, අමරදේවයන්ගේ සංගීත රටා මුසුව, ගායක වෘන්දයක් මඟින් නුගේගොඩ එක්තරා ශබ්දාගාරයකදී රාත්‍රිය පහන්වන තෙක් තැටිගත කෙරුවෙමු. ලංකා බැංකුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන මහින්ද ඕපාත සහ මම මේ ගීතය පටිගත කරනවිට එහි සිටියෙමු. මේ ගීය අරිසෙන් අහුබුදු ශූරීන් ලියූවකි.

අමරදේවයන්ගේ ආරාධනා ස්වර දැහැන ලංකා බැංකුවේ මහජන සම්බන්ධතා හා අලෙවි අංශය ඉදිරිපත් කිරීමේදී ලංකා බැංකුවේ අයි.ඒ. ගුරුසිංහ, දයා බොල්ලෑගල, සරත්චන්ද්‍ර පත්තඬුවන, ගාමිණී ප්‍රනාන්දු හා කාර්ය මණ්ඩලයෙන් ලැබුණ දායකත්වය අගය කරමි.

වර්ෂ 1977 අපේ‍්‍රල් මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස ආරාධනා ස්වර දැහැන තැටිගත කෙරුවෙමු. වැඩසටහන ඉදිරිපත් කළේ නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධනය. අමරදේවගේ් මධුර මනෝහර ගීත සමුච්චියෙන් අපි සැම වශීවීමු.

ඉතා ඉක්මනින්ම ආරාධනා ස්වර දැහැන ජනපි‍්‍රයත්වයේ ඉහළම හිනිපෙත්තටම නැංගේය. නන්දා මාලිනී, වික්ටර් රත්නායක, විශාරද සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලිනි බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ, සෝමතිලක ජයමහ ආදී ප්‍රවීණ ගායක ගායිකාවෝ ආරාධනා ස්වර දැහැන පෝෂණය කළ කලාකරුවන්ගෙන් කීපදෙනෙකි.

ධර්මවර්ධනගෙන් පසුව, මේ වැඩසටහන මෙහෙයවන්නට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට මා නම් කෙළේ පාලිත පෙරේරායි.

ඉන්පසුව ආරාධනා වැඩසටහන ඉදිරිපත් කරන ලෙස මට ආරාධනා කළේ එවකට ලංකා බැංකු සභාපතිව සිටි නිශ්ශංක විජේවර්ධනයි.

1978 පොසොන් පොහෝ දින විශේෂ ආරාධනා වැඩසටහනක් අනුරපුර බැංකු පරිශ්‍රයේ සිට කිරීමෙන් පසුව, අමරදේවයන් සමඟ පොසොන් දිනට සති දෙකකට පෙරාතුව එහි සංවිධාන කටයුතු පිළියෙළ කිරීමට මමත්, අමරදේවයනුත් අනුරපුර බලා ගියෙමු. වාහනය පැදවූයේ මාය. එය අමතක නොවන සුන්දර ගමනක් විය. ඇතැම්විට අමරදේව ශූරින් තම ගීත මුමුණයි. අනුරපුරයට ළඟාවෙත්ම අපට ඈතින් දිස්වූයේ අපගේ සාඩම්බර, තෙදවත් බෞද්ධ ඉතිහාසය කියාපාන අහස්කුසට විහිදෙන රුවන්වැලි මහා සෑ රදුන්ය. මා අමරදේවයන්ට දන්නෝ බුදුන්ගේ සිරිසඟබෝ නාට්‍යයේ එන ගීතය ගායනා කරන්නට ඇරයුම් කෙළෙමි. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවි රකිති සොඳ... සම්පූර්ණ ගීයේ පදමාලාව ඔහුගේ මතකයෙන් ඉවත්ව ඇත. කෙසේවුවද, අපගේ පොසොන් ආරාධනා ස්වර දැහැනට මෙම ගීතය ඇතුළත් කරන ලෙස මා කළ ඉල්ලීම හේ සතුටින් බාරගත්තේය.

”ප්‍රේමසර, වචන, පදමාලාව තමයි මට හරියට මතක නැත්තේ.

ගීතයේ පද මා ඔහුට සොයා දෙන බවට පොරොන්දු වුනෙමි. ගුවන් විදුලි තැටි ගබඩාවට ගොස් සංගීතය ශ්‍රවණය කොට පදවැල ලියා, අමරදේවයන්ට බාර දුන්නෙමි.

පොසොන් සඳෙන් අනුරපුරයම ඒකාලෝකවී තිබිණ. අමරදේවයන් තම අමරණීය හඬින් පොසොන් ස්වර දැහැන ඇරඹුවේ දන්නෝ බුදුන්ගේ ගීයෙනි. පන්දහසකට වඩා වැඩි පිරිසක් ලංකා බැංකු පරිශ්‍රයේ තනා තිබුණු විශේෂ වේදිකාව අසල, මහ පාරේ රැස්කකා ගීත සමුච්චයේ රස වින්දෝය.

වන්නකුවන්නගේ දොන් ඇල්බට් පෙරේරා - අමරදේවයන්, මොරටුවේ දී උපත ලැබුවේ 1929 දෙසැම්බර් 05 වනදාය. සංගීතය, ඔහුට සසර පුරුද්දක් වන්නට ඇත. කුඩා කාලයේදීම සංගීත භාණ්ඩවලට පි‍්‍රය කළ හේ වයලීනයට දැක්වූයේ අසීමිත ආශාවකි. අසෝකමාලා චිත්‍රපටයේ “ඇයි කළේ යමෙක් ආලේ” සහ “භවේ භීත හැරලෝ” යන ගීතය ඔහු චිත්‍රපටියකට ගායනා කළ ප්‍රථම ගීත විය.

ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂෙත්‍රයට අමිල සේවයක් කළ එදා ගුවන් විදුලිය ඔස්සේ ඉදිරිපත් කළ “මධුවන්ති”, “ජනගායනා”, “ස්වර්ණ වර්ණ”, “විජය ගීත” සංගීත ක්‍ෂෙත්‍රයේ සුබවාදී පෙරලියක් ඇති කළේය. අමරදේවයන්ට, ප්‍රවීණ සංගීතවේදින්, කලාකරුවන් ඇසුරු කරන්නට වාසනාව ලැබුණි. ඒ අතර ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, මොහමඩ් ගවුස්, ඩන්ස්ටන් ද සිල්වා, එඩ්වින් සමරදිවාකර, චිත්‍රසේන, පණීභාරත, ප්‍රේමකුමාර එපිටවෙල කැපී පෙනුණි.

මේ සංගීත ඍෂිවරයාටම ගැලපෙන ගීත රචනයේ යුග පුරුෂයන් දෙදෙනෙක් ද සිටියේය. ඒ, මහගම සේකර ශූරීන් හා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. මෙයට අමතරව, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් ද අල්විස්, සුනිල් සරත් පෙරේරා, බී.ටී. මෙන්ඩිස් ආදී ප්‍රවීණ ගීත රචකයන්ගේ පදමාලාවලින් ද හේ පොහොසත් විය.

රන්මුතු දූව, රන්සළු, සත්සමුදුර වැනි චිත්‍රපටවලට සංගීතයෙන් දායකත්වය සැපයූ අමරදේවයන්ගේ සිනිඳු සුදුමුදු තලාවේ ගීතය අප කෙසේ නම් අමතක කරන්නද? හේ කීපවරක්ම සරසවි සම්මානය ඇතුළු විවිධ සම්මාන වලින් පිදුම් ලැබීය.

මහා ප්‍රාඥයෙක් වන පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන ශූරීන් මෙන් අමරදේවයන් ද අඩවන්වූ දෙනෙතින්, සිනාරැල්ලකින් පුද ශ්‍රාවකයන් දෙස බලන අන්දම මැවී පෙනේ. ඔහුට ඇත්තේ කාරුණික හදවතකි. හේ සැමවිටම තමා සොයා ආ නවක සංගීත ශිල්පීන්ට නිර්ලෝභීව අත දුන්නේය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වියත් ඇමතිවරයකු හා ඉහළ කලා රසවිඥානයක් ඇති ආචාර්ය සරත් අමුණුගම, මෙම ප්‍රවීණ සංගීතවේදියා ඉතා ළඟින් ඇසුරු කෙළේය. චිත්‍රසේනයන්ගේ නල දමයන්ති, කරදිය වැනි ඔපෙරාවන්ට, අමරදේවයන් සංගීතය සැපයීය. ඒවා විශිෂ්ට නිර්මාණ විය.

2001 වසරේදි, පිලිපීනයේ රැමොන් මැග්සේසේ සම්මානයෙන් ද අමරදේවයන් පිදුම් ලැබීය.

වර්ෂ 2000 දෙසැම්බර් 29 වනදා අමරදේවයන්ගේ ජීවිතයේ අමතක නොවන දිනයකි. පේරාදෙණිය සරසවිය මඟින් ගෞරව ආචාර්ය උපාධිය, අමරදේවයන්ට පුදන ලදී. එදා උපාධි උළෙලේදී, සම්මානනීය උපාධිධාරින්, උපකුලපතිවරයා හා විද්වත් ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රධාන අමුත්තන්ට අමරදේවයන් හඳුන්වා දුන්නේ පේරාදෙණිය සරසවියේ සිංහල මහාචාර්ය හා කලා පීඨාධිපතිවූ කේ.එන්.ඕ. ධර්මදාසයි. කේ.එන්.ඕ. අමරදේවයන් මෙසේ හැඳින්වීය.

සමකාලීන, නූතන සංගීත ක්‍ෂෙත්‍රයේ නිම්වළුලු පුළුල්කොට, රසඥතාවයෙන් යුක්ත, පරිපුන් අය අතරත්, සාමාන්‍ය රසිකයන් අතරත් එකසේ පිදුම් ලබන, ගෞරව ලබන, එක්තරා ප්‍රතිභාපූර්ණ විද්වත් කලාකරුවෙක් සිටී. තම සංගීත කෞශල්‍ය තුළින්, තම නිර්මාණ තුළින්, ජාතික සම්ප්‍රදායක් ගොඩනැඟීමේ ලා විශාල දායකත්වය දැරූ මොහු නෛසර්ගික බුද්ධිමතෙකි.

ශ්‍රී ලාංකික සංගීත කලාවක් ගොඩනඟාලීමේ මං පෙත් විවර කරමින්, නිර්මාණ ශිල්පියකු අති විශිෂ්ට වයලීන වාදකයකු හා මහා සංගීතඥයකු ගායකයකු ලෙස අඩ සියවසක කාලපරාසයක් මේ රටට අමිල සේවයක් කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරින්.

අමරදේවයන්ගේ නාමය මෙරට සංගීත වංශයේ නොමැකෙන ලෙස දීර්ඝ කාලයක් සටහන්ව පවතිනු ඇත.

අමරදේවයිනි ඔබට සුබ උපන් දිනයක් වේවා!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා