දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»


යුද්දෙ නිසා රෝද පුටුවට වැටුණු මට මගේම කියා නිවහනකට යන්න ආසයි

යුද්දෙ නිසා රෝද පුටුවට වැටුණු මට මගේම කියා නිවහනකට යන්න ආසයි

මාධ්‍ය‍ෙව්දී බිරිය දයාගිනි කියයි

යුද්ධය ආරම්භයේ සිට ම අවසානය දක්වා ගෙවී ගිය තිස් වසරක කාලය තුළ සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ ජනතාව ද බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්හ. ඔවුහු යුද්ධයත් සමඟ විඳි මානසික කායික වේදනා අපමණය. ජීවිත අහිමි වීම් මෙන් ම දේපළ අහිමි වීම් බොහෝය.

යුද්ධය නිමා වී වසර පහක් ගෙවී යෑමට ආසන්නය. දැන් උතුරේ වෙඩි හඬ ඇසෙන්නේ නැතිවා සේ ම දකුණේ බෝම්බ පුපුරන්නේ ද නැත. එහෙත් යුද්ධය නිසා තවමත් පීඩා විඳින්නෝ, විඳවන්නෝ බොහෝ ය. ඒ අතර අපට හමුවූ මේ යුවළ විශේෂය.

දහසකුත් බලාපොරොත්තු සිහිනයන් පොදි බැඳගෙන ජීවිත ගමන යෑමට එක්වූ ඔවුන් දෙදෙනාගේ ම ජීවිත එකතැන නතර වූවා සේය. සියලු සිහින බිඳ වැටෙන්නට ගත වූයේ නිමේෂයකි. අද ඇය අසරණය. ඇතැම් විට ඇයටත් වඩා ඔහු අසරණය. යුද්ධය නිසා ජීවිතයේ සියල්ල අහිමි වූ ඇයටත් ඔහුටත් ඇති එක ම සතුට සැනසීම නම් ඔවුන් එකිනෙකා අතහැර නොයෑමය.

අගක් මුල් නැතැයි කියා ඔබට සිතෙන මේ කතාවේ ඇත්ත නැත්ත සොයන්නට ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. ඒ උතුරේ කොඩිකාමම් ප්‍රදේශයට ය. මඟ සොයාගෙන ඔවුන්ගේ නිවෙසට යන්නටත් භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන්නටත් මිතුරු අබ්දුල් රහීම් මොහොමඩ් නජීම් අපට එක්වූයේය. නජීබ් අපට සම්බන්ධකර දුන්නේ නිරෝෂන් ජයමහා සහෘදයා ය.

“ඒ යුද්ධයේ අවසාන දවස් ටික. අපි වෙල්ලමුල්ලෙයිවයිකාල් ඉඳලා ආරක්ෂාව පතා හමුදාව ඉන්න පැත්තට බේරිලා එමින් හිටියෙ. ඒ වන විටත් එල්ටීටීඊ අය වෙඩි තබනවා. අපි අපේ වටිනා බඩු මුට්ටුත් අරගෙන එමින් හිටියේ. නමුත් මගේ බිරියගේ බෙල්ලට වෙඩි වැදුණා. ඒ මූනිස්සම කට ඇතුළෙන් එළියට ආවේ. ඇය වැටුණා. ගෙනා හැමදේම අත්හැරලා මම මගේ බිරියව ඔසවා ගත්තා. අපි හමුදාව දෙසට උදව් ඉල්ලගෙන ගියා. ඔවුන් තුවාල ලබා සිටි මගෙ බිරිය ඔවුන්ගේ බාරයට ගත්තා. මට කඳවුරට යන්න වුණා.”

මුරගප්පෙරුමන් මදිවානන් රෝද පුටුවේ හිඳින තම බිරිය නිවෙස ඇතුළේ සිට අප සිටින දෙසට රැගෙන එමින් පවසන්නේය.

ඇගේ දෙපා පණ නැත. එමෙන් ම ඇගේ වමත ද වාරු නැත. මේ සිදුවීම සිදුවන කාලයේ ඇය මීටත් වඩා හැඩට රුවට සිටින්නට ඇත. දැන් ඒ කිසිවක් පෙනෙන්නට නැත. නිතර දෙවේලේ හැඬීම නිසාදෝ ඇගේ දෑස් රත් පැහැ ගැන්වී තඩිස්සි වී ඇත. තම බිරියගේ සොහොයුරියගේ නිවෙස් කාලයක් තිස්සේ පදිංචිව සිටින මදිවානන් හා දයාගිනි දෙදහස් නවය වසරේ ඔවුන් මුහුණ දුන් බිහිසුණු සිද්ධිය යළිත් සිහිපත් කරන්නට වූහ.

“ඔය සිද්ධිය වෙද්දි මගෙ බිරියට දරුවෙක් ලැබෙන්න හිටියේ. ඒ වෙනකොට දරුවා ලැබෙන්න ඇවිත් මාස පහයි. සිද්ධියෙන් තුවාල ලබපු බිරිය මුලින් ම මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව පදවිය රෝහලෙන් කුරුණෑගල රෝහලටත් එත­ැනින් වව්නියාව රෝහලටත් මාරුකර තිබුණා. බිරිය මාස හතක් රෝහල් ගතවෙලා හිටියා. කොහොම නමුත් වෙඩි වැදිලා රෝහල් ගතකරලා දවස් දෙකකට පස්සේ තමයි දරුවෝ නැති වුණු බව දැනගෙන තියෙන්නේ. බිරියට දරුවෝ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ලැබෙන්න ඉඳලා තිබුණේ. නමුත් අපිට ඒ දරුවන්ගේ මුහුණු බලන්න වාසනාව නැති වුණා. වෙඩි වැදිච්ච දවසේ ඉඳලම එයාට ඇවිදින්න බැරි වුණා. පසුව බිරිය රාගම පුනරුත්ථාපන රෝහලට ඇතුළත් කර තිබුණා. ඒත් එයාට ඇවිදින්න බැහැ. මේ හැම දෙයක් ම වනතුරු මම හිටියේ සෙට්ටිකුලම හමුදා කඳවුරේ. කඳවුරේ ඉන්දැද්දි වමනය, බ‍ෙඩ් අමාරුව හැදිලා මමත් අසනීප වුණා. ඒ නිසා කඳවුරෙන් එළියට ගිහිල්ලා බිරිය ගැන හොයන්න බැරි වුණා. මං හරිම හිතේ අමාරුවෙන් හිටියේ මට එයා නැති වුණා කියලා. වව්නියාව රෝහලේදි තමයි දරුවෝ නැති වුණා කියලා දැනගෙන තිබුණේ. බොරැල්ල කාසල් රෝහලේදී තමයි ශල්‍ය කර්මයකින් මළ දරුවන් අරගෙන තිබුණේ. මේ හැමදේම සිදුවෙලා මාස ගාණකට පස්සේ තමයි මට බිරිය හොයා ගන්න පුළුවන් වුණේ. මගෙ අක්කා ඇය ළඟ තනිවට හිටියා. ඇවිදින්න බැරි බිරියට රාගම පුනරුත්ථාපන රෝහලේදි ප්‍රතිකාර කළා. මගේ අක්කා බිරිය ළඟ මාස ගානක් නරත වී සිටියා. නමුත් අපට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. එදා අපි රාගම ඉඳලා කෙළින්ම ආවේ මෙයාගේ පුංචි අම්මගෙ ගෙදරට. ඒ ත්‍රිකුණාමලයේ. එහෙ අවුරුද්දක් විතර හිටියා. ඊට පස්සේ තමයි කොඩිකාමම් වල සිවන්කෝවිල් වීදියේ අක්කගෙ ගෙදරට ආවේ.” මදිවානන් පවසන්නේ තම බිරියට අත් විඳින්නට සිදුව ඇති වේදනාව ගැන තැවෙමිනි.

මදිවානන් තිස්හත් හැවිරිදිය. දයාගිනි තිස් දෙහැවිරිදිය. ඔවුන් දෙදෙනා දැන හඳුනා ගත්තේ දෙදහස් හත අවුරුද්දේදීය.

“මම ඒ දවස්වල පෞද්ගලික බැංකුවක සේවය කළා. ඒ බැංකුව රන් බඩු ව‍ගේ ම වෙනත් වටිනා දේවල් උගස් ගන්න එකක්. මදිවානන් ඒ කාලේ තිනකරන් පත්තරේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කරනවා. ඔහු දැනටත් ඒ රස්සාවම තමයි කරන්නේ. අපි දෙන්නා යාළුවෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි විවාහ වුණේ. අපිට ලස්සන හීන තිබුණා. අපි මුලින් ම හිටියේ කන්කසන්තු‍ෙර් හමුදා පාලනය තියෙන හරියේ. අපිට එහෙ ගෙයක් තිබුණා. නමුත් යුද්දෙත් එක්ක අපි ඒක අතහැරලා ආවා. ඒ ඉඩම්වලට අපි ආයේ ගියෙත් නැහැ. ඊට පස්සේ අපි හිටියේ මුලතිව්, පුදකුඩිඉරුප්පු වල. අපි තල් අතුවලින් ගෙයක් හදාගෙන හිටියේ. මට මේ අනතුර වුණේ 2009 මැයි 16 දා. මං මුලින් ම දැනගෙන හිටියේ නැහැ මට දරුවෝ දෙන්නෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මට ලැබුණේ දුවලා දෙන්නෙක්. ඒත් ඒ දෙන්න ම මැරිලා හිටියේ... ආඬවනේ...” මෙතෙක් වේලා කඳුළු හිරකරගෙන කතා කළ දයාගිනි ගේ හඬ බිඳී ගියේය. ඇය දෑතින් මුහුණ වසා ගත්තීය.

“එ‍යාට දුකයි. මේ වෙච්ච හැමදේටම. අපි ඉන්නේ එයාගේ අක්කගෙ ගෙදර. මුලින් මුලින් මෙයාගේ අම්මා රොටි, පිට්ටු හදලා විකුණලා තමයි අපිට උදව් කලේ. මම තිනක්කුරල් පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්. මට මාසෙකට රුපියල් 5000 යි ලැබෙන්නේ. ඒ ඇරුණම සමෘද්ධියෙන් රුපියල් 3000 ක් ලැබෙනවා. මෙයා එදා ඉඳලම රෝද පුට‍ුවේ ඉන්නේ. රෝද පුටුවක් මාස හතරකට පහකට වඩා පාවිච්චි කරන්න බැහැ. දැන් තියෙන රෝද පුටුවත් අබලන්.”

මදිවානන් පවසන්නේ තමන්ටත් ඇයටත් මුහුණ දීමට සිදුව ඇති මදි අමාරුකම්ය. ඔවුන්ට ඉන්න හිටින්නට ගෙයක් නැත. සොහොයුරියට අයත් නිවෙසට යාබද ඉඩම දැන් අයිති දයාගිනිට හා මදිවානන්ට ය. ඔවුහු ඒ ඉඩමේ කලකට පෙර උතුරු වසන්තයෙන් ලබා දුන් ආධාර යටතේ නිවෙසක් ඉදිකිරීමට අත්තිවාරම් දැමූහ. ගෙවී ගිය කාලය වසර දෙක තුනකි. තම ආබාධිත බිරියගේ දෛනික වැඩකටයුතු ද, පත්තර රැකියාව ද කරන අතරතුර ඉඩක් ලද විටෙක මදිවානන් සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන්නේය.

“අපිත් ආසයි ලස්සනට ඉන්න. මේ අනතුරින් පස්සේ අපිට පුතෙක් ලැබුණා. ඒකත් හරි අවදානමක්. නමුත් පුතා හොඳින් ඉන්නවා. ඔහු දැන් පෙර පාසල් යනවා. බිරියගෙ අම්මත් තාත්තත් අපත් සමඟ ඉන්නේ. අපි ඉන්නේ අක්කගෙ ගෙයි කාමරයක. අපිට මේ ගේ හදාගන්න පුළුවන්නම් ලොකු දෙයක්. කවුරු හරි උදව් කරනවානම් ඒක ලොකු පිනක්.” මදිවානන් පවසන්නේ හැඟුම්බරවය.

අතීතය, වර්තමානය ඔවුන්ට දුකක් ය. එහෙත් තම පුතු සමඟ හෙට දවසේ ලස්සනට ජීවත් විමට ඔවුහු ප්‍රාර්ථනා කරති. මිදුලේ පසෙක දැලක් දමා වසා ඇති පුංචි පුංචි කුකුළු පැටවුන් හා කිකිළිය දෙස දයාගිනි බලා සිටින්නේ අරමුණක් නැතිවය. විටෙක රෝද පුටුව මත තබාගෙන සිටින ඇගේ වමත තොරක් නැතිව ගැස්සෙයි. විටෙක ඇය හූල්ලයි. මෙලොව එළිය දකින්නටත් පෙර මියගිය දියණියන් දෙදෙනා නිරන්තරයෙන් ම සිහිවන්නේ යැයි ඈ පවසන්නේ දෑසේ නැගි කඳුළක් පිසිමිනි.

“අපි යුද්ධ කාලේ පුදුම දුකක් වින්දේ. අපිට අපේ හැමදේම නැති වුණා. යාපනය පුවත්පත් සංගමයෙන් අපට දැනම් දීලා තියෙනවා ගෙයක් හදලා දෙනවා කියලා. ඇත්තට ම ඒක එහෙම සිද්ධ වෙනවා නම් එය හරි වටිනවා. මගේ බිරියට දැන් බෙහෙත් කරන්නේ නැහැ. නමුත් ව්‍යායාම් ප්‍රතිකාර කරනවා. රෝහලට ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබාදෙන්න විදිහක් නැහැ. ඇය රෝහලට ගෙනියන්න වෙන්නේ ත්‍රිවිලරයක. ඒකට රුපියල් දාහක්වත් යනවා දවසට. මම මට පුළුවන් විදිහට මෙයාව බලා ගන්නවා.” මදිවානන් පවසන්නේය.

“මහත්තයා පුළුවන් විදිහට එදා ඉඳලා ම මාව බලා ගන්නවා. අපි දෙන්නගෙ එකම බලාපොරොත්තුව පුංචි පුතා. දැන් මට ඉස්සර වගෙ හීන නැහැ. ඒත් එක හීනයක් තියෙනවා. ඒ තමයි මගෙ පුතාට හොඳට උගන්නන එක.” දයාගිනි පවසන්නීය.

යුද්ධය නිසා කඩා වැටුණ ජීවිත ගොඩනගඟා ගන්නට අද ඇයගේ දෑත් දෙපා වාරු නැත. නමුදු තුන්සිය හැටපස් දවසේ ම රෝද පුටුවේ සිටිනා ඇය සිහින දකින්නේ තමන්ගේ ම නිවෙසක පදිංචි වීම හා තම එක ම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටය. ඉදින් ඒ සිහින ඉක්මනින් ම සැබෑ වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්