හොඳ ආත්ම විශ්වාසයක් ඇත්නම් කිසිදා වරදට යොමු වන්නේ නැත
ධර්ම සේවනය
හොඳ ආත්ම විශ්වාසයක් ඇත්නම්
කිසිදා වරදට යොමු වන්නේ නැත
යම් විෂ සහිත ද්‍රව්‍යයක් දෑතින් ගෙන යන විටෙක අත්ලේ තුවාලයක්,සිදුරක්
නොවන්නේ නම් ඉන් හානියක් සිදු වන්නේ නැත. එමෙන්, අපි ජීවත්වන සමාජයේ ද
විවිධාකාරයේ විෂ සහිත පුද්ගලයෝ වෙති. පාපී නරක අය වෙති. එහෙත් ඔවුන්ගේ ඇසුරට
නොවැටෙන තාක් ඔවුන්ගෙන් අපට හිරිහැරයක්, කරදරයක් වන්නේ නැත. නරකක්,
නපුරක් වන්නේ නැත. තෝරා බේරාගෙන පුද්ගල ඇසුර සිදු කළ යුතු වන්නේ එහෙයිනි. අප
බෝසතාණන් වහන්සේ විවිධ ආත්ම බවවල, විවිධාකාර ගති පැවතුම් ඇති මිනිසුන් සමඟ
ජීවත් වූ හ. ඒ අතර නරක සිතුම් පැතුම් ඇති, අයහපත් දේට යොමුවුණු අය වූ හ. නොයෙක්
විෂමාචාරවලට යොමු වූ අය වු හ. එහෙත් උන්වහන්සේ ඒ අසත්පුරුෂ මිනිසුන් සමඟ
නොගැටී තමන්වහන්සේගේ ජීවිතය නිවැරැදි ලෙස සකස් කරගත්හ.
අසත්පුරුෂයා හා සත්පුරුෂයා වෙන් කර හඳුනා ගන්නේ කෙසේද? . සත් පුරුෂයා තම
මවුපියන් පෝෂණය කරන්නේ ය. තමන්ගේ කුලයේ වර්ගයේ වැඩිහිටියන්ට සලකන්නේ ය.
ප්‍රිය වදන්ම තෙපලන්නේ ය. කේළාම් නොකියන්නේ ය. සත්‍යම කතා කරන්නේ ය. ක්‍රෝධය දුරු
කළ අයෙක් වන්නේ ය. එවැනි පුද්ගලයා දකින තව්තිසා දෙව්ලොව දෙවියන් පවා ඔහු නම් සත්
පුරුෂයෙකැයි කියන්නේ යැයි අපේ බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සත්පුරුෂ
සූත්‍රයේ දී දේශනා කොට වදාළහ.

අපි ජීවත්වන කවර සමාජයක වුවද වැරැදිවලට යොමු වූවෝ වෙති. කෙනෙක් තවත් කෙනෙකුට
වංචා කරති. අවි ආයුධ, මත් ද්‍රව්‍ය වෙෙළඳාම් කරමින් තවත් කෙනෙකුගේ ජීවිතය
විනාශ කොට තමන් ගේ සැප බලාපොරොත්තු වෙති. බොරු කේලාම් කියමින් අන්‍යයන් අතර
ගැටුම් අමනාපකම් දකිමින් සතුටුවන අය ද වෙති. විවිධ අපචාරවලට යොමු වූ අය
වෙති. එසේ විෂමාචාර පැවතුම් ඇති අය කොපමණ සිටිය ද ඇත්ත කතා කරන්නට අපිට
බාධාවක් නැත. බොරුවෙන් වළකින්නට, වැඩිහිටියන්ට සලකන්නට , ප්‍රිය වචන කතා
කරන්නට ක්‍රෝධය දුරු කරන්නට බාධාවක් නැත. මේ විෂම සමාජයේ සත් පුරුෂයන් ලෙස
ජීවත් විය නොහැකි යැයි මැසිවිලි නඟන්නට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තමන් කවරෙක් ද
යන්න හොඳින් දැන ජීවිතය හසුරුවා ගැනීම ය. මිතුරු වෙසින් ඔබට ළං වු ඇතැම් අය පස්
පව් කරන්නට ඔබට අනුබල දෙනවා විය හැකිය. විවිධ නොපනත්කම්වලට පොලඹවා ගන්නට
උත්සාහ කරනවා විය හැකි ය. ඉන් මඟ හරින විට ඔවුන් ඔබ සමඟ අමනාප බවක් පෙන්වනවා
වීමට පුළුවන. එහෙත් තමන්ට තමන් පිළිබඳ හොඳ විශ්වාසයක්, ආත්ම ගරුත්වයක්
තිබෙනවා නම් කවුරු බල කර සිටිය ද ,කවුරු හැර ගියද ඔබ වරදට යොමු වන්නේ නැත.
ඔවුන්ගේ තත්ත්වයටම වැටී අසත්පුරුෂයකු වන්නේ නැත.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ සත් පුරුෂයා වෙත තිබිය යුතු වැදගත්ම
ලක්ෂණයන් වන්නේ හොඳ දේ හිතන, හොඳ දේ කරන, හොඳ දේ කියන ස්වභාවයයි. ඔහු සිය
මිතුරන් වෙනුවෙන් කරන්නට බැරි දේ කරන්නෙකි. දෙන්නට බැරි දේ ලබා දෙන්නෙකි.
යහළුවා වෙනුවෙන් ඉවසන්නට බැරි දේ ඉවසන්නෙකි. අප ජීවත් වන මේ සමාජයේ
එවැන්නන් සුලබ නැත. එහෙත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
සත්පුරුෂයින් ම ඇසුරු කළ යුතු බව ය. ධම්ම පදයේ බාල වග්ගයේ දී උන්වහන්සේ පෙන්වා
දුන්නේ, සමාජයේ ජීවත්වන විට තමන්ට වඩා උසස් කෙනෙක් ම ඇසුරට තෝරා ගත යුතු බවය.
එවැනි උසස් කෙනෙක් නොවේ නම්, තමන් හා සමාන ගුණ ඇති කෙනෙක් තෝරා ගන්නා ලෙස ය. එසේත්
නොවේ නම්, බාලයන් ඇසුරු නොකොට තනියම සිටිනා ලෙස ය. පුද්ගලයන් ඇසුරු කිරීමේ දී
කොතරම් සැලකිලිමත් විය යුතු ද යන්න මේ උපදේශයෙන් ම පැහැදිලි වේ.
එක් අවස්ථාවක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ අමතා, "භාග්‍යවතුන් වහන්ස,
මේ සම්බුද්ධ ශාසනයේ අඩක්ම රඳා පවතින්නේ සත් පුරුෂ ආශ්‍රය මත යැයි" යි පැවසී ය.
එවිට බුදුරජාණන් වහන්සේ "නැත ආනන්ද, අඩක් නොවේ. මේ සම්බුද්ධ ශාසනය
සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සත්පුරුෂ ආශ්‍රය මතය" යැයි පෙන්වා
දුන්හ.සත්පුරුෂයාගේ වටිනාකම එයයි.
මේ සමාජයේ බොහෝ දෙනෙක් තමන්ගේ වැරදි ,අඩුපාඩු පිළිගන්නට අකැමැතිය. කෙනෙක්
වැරදි පෙන්වා දෙනවා නම් ඒ තැනැත්තා තමන් ගැන ඊර්ෂ්‍යාවෙන්, කුහක කමින් එසේ අඩු
පාඩු කියන්නේ යැයි සිතා අමනාප වෙති.එහෙත් අපේ ශාස්තෲන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ
වැඩිහිටියෙක්, ගුරුවරයෙක් කල්‍යාණ මිතුරෙක් ආගමික නායකයෙක් මේ ආදී කවර
පුද්ගලයෙකු වුවද අපේ වැරැදි කියලා දෙනවා නම්, අඩුපාඩු පෙන්වා දෙනවා නම්, තමන්ට
නිධානයක් පෙන්වා දෙන කෙනෙක් ලෙස සිතා ඒ අවවාද පිළිගන්නා ලෙසය. ඒ අනුව ජීවිතය
සකස් කර ගන්නා ලෙස ය. අපේ අරමුණු, බලාපොරොත්තු වෙත ළඟා වීමට අවවාද, ආදර්ශ
අත්‍යවශ්‍යය.
ඒ අවවාද, අනුශාසනා , යහපත් ආදර්ශ අප සත් පුරුෂයන් බවට පත් කරන්නේ ය. අප
සත්පුරුෂයන් වූ විට අප අනුකරණය කරන්නෝ ද සත්පුරුෂයන් බවට පත් වෙති.
ඔබ ඉගෙන ගන්නා දරුවෙක් නම්, ගුරුවරුන්ට කීකරු නම්, පාඩම් වැඩ හොඳින් කරනවා නම්,
අභ්‍යාස කරනවානම් ඔබේ හොඳම මිතුරා ද ඔබ අනුකරණය කරනු ඇත.ඔබගේ මෙන්ම
මිතුරාගේද අධ්‍යාපනය සාර්ථක වනු ඇත. එය ඔබට ද සතුටකි. තරුණ වයස වැරදිවලට
යොමු වීමට වැඩි අවස්ථාවක් තිබේ. ඒ ඇසුරු කරන අය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ
යුතු කාලයකි. බුදු රජාණන්වහන්සේ මහා මංගල සූත්‍රයේ දි තරුණ ජීවිතය හැඩ ගස්වා
ගත හැකි ඉතා වටිනා සදූපදේශයන් රැසක් එහි දී අපට කියා දී තිබේ. ඔබ කොතැන
සිටියත්, කවර තත්ත්වයක සිටියත් හොඳ පුද්ගලයින්ගේ ඇසුරටම යොමු වීමට ස්ථිර
අදිටනක් ඇති කර ගන්න. නෙඵම් කොළයක ජලය නොරැඳෙන්නා සේ අසත් පුරුෂ ඇසුරින්
මිදෙන්න.
රමණී සුබසිංහ
|