මේ හරියට ඉගෙනගත් දේවල ප්‍රතිඵලයි
මේ හරියට ඉගෙනගත්
දේවල ප්‍රතිඵලයි
දිනේෂා ප්‍රසාදිනී
කොස්වාඩිය විජය කණ්ඩායම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් කාන්තා තරගාවලිය අඛණ්ඩව
පස්වැනි වරටත් ජයග්‍රහණය කිරීමට සමත් විය. මේ පස්වතාවෙන් අවසන් හතරවතාවටම විජය
කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ දිනේෂා ප්‍රසාදිනියි. දිනේෂා අවසන් තරගයේ දක්ෂතම
පන්දු පිරිනමන්නියට අමතරව අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ද වූවාය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේද නායකත්වය දරන දිනේෂා පසුගිය මැයි මාසයේ පැවැති 18
වැනි ජ්‍යෙෂ්ඨ ආසියානු වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරුවාය.
ලබන සාග් තරගාවලියට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව වන්නේද
දිනේෂායි.
පසුගියදා නිමා වූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොස්වාඩිය විජය කණ්ඩායම
අඛණ්ඩව පස්වතාවක් ශූරියන් වෙනවා. ඉන් හතරවතාවකම නායිකාව දිනේෂා?
ඔව්, අපි මේ තරගාවලියට එනකොට ලොකු බලාපොරොත්තුවක් මුලදි තිබුණා. අඛණ්ඩව පස්වැනි
වතාවටත් ජනාධිපති කුසලානය දිනා ගන්නවා කියලා.
මුලදි ලොකු බලාපොරොත්තුවක් තිබුණා කිව්වේ අවසන් තරගයේදී එහේම බලාපොරොත්තුවක්
තිබුණේ නැද්ද?
මේ තරගාවලියට දීර්ඝ කාලයක් ගත වුණා. ඒ එක්කම අපේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ආබාධවලට
ලක්වුණා.
අවසන් තරගයට යන කොට තමයි අපි ටීම් එක පවා හදා ගත්තේ. ඇත්තටම අපේ අතිරේක
ක්‍රීඩිකාවන් තිදෙනා සොයා ගත්තෙත් එදාමයි.
ඔවුන් අවසන් තරගයේ ක්‍රීඩා කළෙත් නෑ?
ඔව්. ඒ තුන් දෙනාව අපි බංකුවේ තියලා තමයි හත් දෙනාගෙන් වට පහම ක්‍රීඩා කරලා දිනුවේ.
පළවැනි වටය පරාජය වෙලයි ඉතුරු වට හතර දිනා ගත්තේ?
ඔව්. ගෝල්ඩන් බර්ඩ්ස් කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. අවසන් තරගයට අපි ටීම් එකක්වත්
නැතුව එනකොට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
හැබැයි දෙවැනි වටයේදී ඔබලා ටීම් එකක් විදියට නැඟිටිනවා?
ඔව්. පළවැනි වටය පැරදිලා අපේ බලාපොරොත්තු බිඳ වැටෙනකොට අපි ඊළඟට කල්පනා කළේ
උපරිමයෙන්ම තරගයක් හරි ගෝල්ඩන් බර්ඩ්ස්ලට දෙන්න ඕනා කියලා.
සටන්කාමීත්වය සහ දිනේෂා වටා කණ්ඩායම ගොනු කර ගැනීම පස්වැනි වතාවටත් ජනාධිපති රන්
කුසලානය දිනා ගන්න හේතු වුණා?
ඇත්තටම ඔව්. අපි මේ තරගයට යන කොටම අපේ තත්ත්වය දැනගෙන හිටියා. ඒ වගේම ගෝල්ඩන්
බර්ඩ්ස් ගැනත් අපි දැන හිටියා. ඔවුන් ප්‍රබලයි. ඒ ගැන කතා දෙකක් නෑ.
දිනේෂාට ඕනම වෙලාවේ කණ්ඩායම එක මිටකට ගොනුකර ගන්න පුළුවන් වුණා?
ඔව්. කණ්ඩායමෙනුත් ඒකට උපරිම සහය ලැබුණා. නායිකාව විදියට මගේ කණ්ඩායමට උපරිම දේ
කරන්න පුළුවන් වුණා කියලා නිහතමානීව සතුටු වෙනවා.
දිනේෂාගේ ගමත් කොස්වාඩියද?
මගේ ගම කොස්වාඩිය නෙවෙයි. විජයකටුපොතයි. මම කොස්වාඩියේ පදිංචියට ඇවිත් ඉන්නේ. අපේ
ගමේ වොලිබෝල ටීම් එකක් නැහැ. මේ තරගාවලිය ග්‍රාමසේවා මට්ටමින් පටන් අරගෙන ජාතික
තලයෙන් ඉවර වෙන තරගාවලියක්.
අපේ ගෙවල් විජයකටුපොත වුණාට, මම ග්‍රාමසේවා මට්ටමින් ම කොස්වාඩියේ පදිංචිවෙලා
ඉන්නේ. කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ තරගාවලියට ඉදිරිපත් වෙනවා.
දිනේෂාගේ පාසල් ජීවිතය පටන් ගත්තේ කොහෙන්ද?
මුලින්ම ගියේ විජයකටුපොත මහ විද්‍යාලයට. ඊට පස්සේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හම්බවෙලා
හලාවත මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයට එනවා. එතැනින් තමයි මගේ වොලිබෝල් ජීවිතය
ආරම්භ වෙන්නේ.
අද වොලිබෝල් ක්‍රීඩාවෙන් මම මෙතැන ඉන්නේ චාල්ස් තිලකරත්න සර්ගේ මග පෙන්වීම නිසයි.
දිනේෂාගේ පවුලේ විස්තර?
පවුලේ අම්මයි - අයියයි - අක්කයි. තාත්තා නෑ. අයියයි අක්කයි විවාහ වෙලා වෙනම ඉන්නේ.
මායි අම්මයි තමයි ගෙදර ඉන්නේ.
ඒ අර්ථයෙන් දිනේෂා කියන්නෙත් අහඹුවක්?
විජයකටුපොත විද්‍යාලයේ ඉන්න කාලයෙත් මට එහෙමට ක්‍රීඩාව ගැන අවබෝධයක් තිබුණේ නැහැ.
මාලිකා ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ තරග කිහිපයකට යොමු වුණා. උස පැනීම, දුර දිවීම
වගේ තනි ඉසව් කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ක්‍රීඩා
ශිෂ්‍යත්වය හම්බ වුණේ.
මම සේනානායක මධ්‍ය විද්‍යාලයට ඇවිල්ලත් උස පැනීම තමයි තෝර ගත්තේ. මගේ උස පැනීමේ
දක්ෂතාව දැකලා තමයි චාලි සර් මට වොලිබෝල්වලට කතා කළේ. මම සර් ළඟට යනකොට හරියට
පන්දුවක් පිරිනැමීමටවත් දැනගෙන හිටියේ නැහැ.
හැබැයි දිනේෂා අවසන් තරගයේ දක්ෂතම පන්දු පිරිනමන්නිය වගේ දක්ෂතම ක්‍රීඩිකාවත්
වුණා?
ඔව් ඒ ගැන සතුටු වෙනවා. මම හුඟක් කැප කිරීම් කරලා මේ තැනට ආවේ. මම හැම දෙයක්ම හරියට
ඉගෙන ගත්තා. මේ ඒ වගේ ප්‍රතිඵල තමයි.
මලල ක්‍රීඩාවේ උස පැනීම වගේ ඉසව්වක් අතහැරීම ගැන දිනේෂාට අද දුකක් - කනගාටුවක්
නැද්ද?
ඒ දේවල් වුණත් දැනුමක් තේරුමක් ඇතුව කළ දේවල් නෙවෙයි. ඒ හැම දෙයක්ම කළේ ආසාවට මිසක්
මහ ප්ලෑන් තියාගෙන නෙවෙයි. ඒ නිසාම දුකක් - කනගාටුවක් නැහැ. වොලිබෝල්වලින් අද ඉන්න
තැන ගැන සතුටුයි.
දිනේෂාගේ ජීවිතයේ වඩාත් කැමති දේවල් එහෙම තියෙනවද?
මම තනියෙන් ජීවත් වෙන්න තමයි වැඩියෙන්ම කැමති. වොලිබෝලයත් එක්ක ඒ තනිය පාළුව
මකාගන්න ආසයි.
දිනේෂා ගුවන් හමුදා සාමාජිකාවක්. ආයතනික වශයෙන් ලැබෙන සහාය?
පහළම නිලයේ පටන් ඉහළම නිලය දක්වා සෑම කෙනෙක්ම තමන්ගේ උපරිමය අප වෙනුවෙන් කරනවා. මම
මුලින් වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, රැකියාව නැති වුණාට පස්සේ ගුවන් හමුදාවට
සම්බන්ධ වුණා.
අනාගතය කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නේ?
වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉහළම දක්ෂතා දක්වමින් ඉදරියට යන එක. ඒ වගේම ලස්සන ජීවිතයක් ගත
කරන්නත් බලාපොරොත්තු වෙනවා.
බන්ධුල
ජයමාන්න
|