යහපාලන ක්‍රිකට් පුටුව වඩාත් සුදුස්සාට
යහපාලන ක්‍රිකට් පුටුව
වඩාත්
සුදුස්සාට

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලවරණ උණුසුම තරම් තවත් උණුසුම් දෙයක් නොමැති
තරම්ය. ඒ අතර ක්‍රිකට් නිලවරණ උණුසුමට හිමිවන්නේ ඊට වඩා සුවිශේෂි ස්ථානයකි. ක්‍රීඩා
පනතේ ඇතැම් සංශෝධන නිසා ද මේ උණුසුම දෙගුණ තෙගුණ වී තිබේ. කතාබස්වල උණුසුම දෙගුණ
තෙගුණ වුවද ක්‍රියාකාරකම්වල නම් ඇත්තේ ඇල්මැරුණු ස්වභාවයකි. මොන පොරොන්දු දී මුල්
පුටු ඩැහැ ගන්නට වෙර දැරුවද කවුරු කවුරුත් කළේ තමන් දන්නා ප්‍රමාණයට සෑම දෙයක්ම
කරගෙන යාම පමණි. සමස්තයක් ලෙස මුළු ක්‍රීඩාවම එක තැන පල්වීමට ද මෙය හේතු සාධක විය.
ජයග්‍රහණවල හැරවුම් ලක්ෂයක්වත් හඳුනා ගැනීමට නොහැකි වූ අතර, සියල්ල ඉබාගාතේ මඩේ
සිටවූ ඉනිමෙන් එහාට මෙහාට වැනුණා මිසක් ඊට වඩා දෙයක් නැත.
නව වසරේ හාපුරා කියා මෙරට ක්‍රීඩා නිලවරණ සමය කලඑළි බසින්නේ ක්‍රිකට් නිලවරණයෙනි.
මෙරට ක්‍රීඩා නිලවරණ උණුසුම සේම කතාබහක් පවතින්නේ ද සංගම් - සම්මේලන කිහිපයක වන අතර
එහි මුලින්ම තිබෙන්නේ ක්‍රිකට් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ සංගම් -
සම්මේලනයන්හි නිලවරණ කතාබහ තබා ඒවා තිබෙනවාද නැද්ද කියාවත් සමහරවිට සොයා ගැනීම
අපහසුය.
කතාබහක් පවතින සංගම්, සම්මේලනයන්හි නිලවරණ උණුසුම ගිනියම්ව පැවැතියද ඒවා තුළ ඇත්තේද
ලාභ ප්‍රයෝජන, ජනප්‍රියත්වය, ආර්ථික වාසි වැනි සාධක පමණි. තම තමන් බාර ගන්නට පොරකන
ක්‍රීඩාවන් පිළිබඳ පවා සැබෑම කැක්කුමක් - රුදාවක් ඇත්තේ කීයෙන් කී දෙනාටද යන්න
මෙහිදී විමසා බැලිය යුතුය.
මෙරට හිටපු ක්‍රීඩා ඇමතිවරයකු ප්‍රකාශ කළ පරිදි ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලාංකීය
ක්‍රීඩාවේ කරුමක්කාරයන් වෙමින් තවත් වසරකට හෝ කාලය දිගු කර ගැනීමට මාන බලන්නේ
ක්‍රීඩාවට ඇති ආදරයට නොවන බවට සාධක අමුතුවෙන් සෙවිය යුතු නොවේ.
කරුණු කාරණා මොන ආකාරයෙන් කිරා මැන බැලුවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කවදත්
තිබුණේ ගිනියම් වූ උණුසුමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙතරම්ම උණුසුමක් වූයේ
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගලා ආ මහා ඩොලර් ධනස්කන්ධය නිසා මිසක්
වෙන කිසිම හේතුවක නිසා නොවේ.
1999 ක්‍රිකට් නිලවරණයට ජනාධිපති ආරක්ෂක අංශ පවා කැඳවූ අතීතයක් පසු කර ඇත්තෙමු.
මෙතරම් උණුසුමක් මේ ක්‍රිකට් නිලවරණයට ලැබී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996
දිනා ගත්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පොම්ප වන
ධනස්කන්ධය මෙරට ක්‍රිකට් වටා කැරකෙන කිහිප දෙනාම හොඳාකාරවම දන්නා බැවිනි. 1996
ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගන්නා විට ක්‍රිකට් මහා පුටුවේ සිටි ආනා පුංචිහේවාට ඊළඟ
නිලවරණයේදී යන්නට සිදුවීම ලංකාවේ මිසක වෙන රටක නම් සිදු නොවන දෙයක් බවට විවාදයක්
නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි පවසන්නේ තමා කිසි දිනෙක මේ
බලපොරයට එක් නොවන බවය. ඒ මේ බලපොරවලින් ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බව සක්සුදක් සේ
දන්නා හෙයිනි.
මෙවර ක්‍රිකට් නිලවරණයට එළිපිටම තරග බිමට පිවිස ඇත්තේ ආණ්ඩු පක්ෂයේම පාර්ශ්වයන්ය. ඒ
රණතුංග පාර්ශ්වය සහ තිලංග සුමතිපාල පාර්ශ්වයයි. මේ පාර්ශ්වයන් දෙකම මේ මොහොතේ
එළිපිට හෝ අභ්‍යන්තරයේ ඇණ කොටා ගැනීම කොතරම් උචිත දැයි ඉදිරි දින කිහිපය තීරණය කරනු
ඇත.
ක්‍රීඩා නිලවරණයවලදී සිදු විය යුත්තේ දක්ෂයන් අතරින් වඩා දක්ෂයන් පරිපාලනය අතට
ගැනීමය. නමුත් අපේ රටේ සිදු නොවන්නේ ද ඒ දේම බව ආපසු හැරී බැලීමේදී පෙනී යයි.
එමෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් හෝ ක්‍රීඩාව ප්‍රගුණ කළ පිරිස් අපේ රටේ ක්‍රීඩා පුටුවල
දක්නටද නැත.
මේ අවාසනාවන්ත තත්ත්වය නිසාම කොහේ හෝ කරක් ගසන පිරිස් තම නිලතල බලය භාවිත කරමින්
ක්‍රීඩා සංගම් - සම්මේලනවලට රිංගා ගනිති. මේ පිරිස්වලට ඡන්දය භාවිත කරන පිරිස් ද
නිලතල බලයට අන්ධ වී කටයුතු කරනවා විනා මේ නිලධාරීන් තනතුරවලට රිංගා ගෙන ක්‍රීඩාව
තවත් වටයකින් විනාශය කරා ගෙන යන බව නොදැනීම තරම් තවත් කරුමයක් මෙරට ක්‍රීඩාවේ නැත.
අද ඡන්දයකට අසුන් ගන්නා නියෝජිතයෝ තම ක්‍රියාකාරීත්වය රහස් ඡන්දයකට, අත එසවීමකට
සීමා කර ගැනීම තුළ පැහැදිලි වන්නේ ඔවුන් තුළ පවතින ගැතිකම පමණි. මෙවැනි ගැතිකම්
වලින් ක්‍රීඩාවට කවදාවත් සුගතියක් අත් නොවන බව පැහැදිලිය. නමුත් මෙවන් ගැති
පිරිස්වලට මුදල් ටිකක් විසි කර කෑම බීම වේලකින් තමන්ගේ ගමන තමන්ට ඕනෑ දිසාවට රැගෙන
යා හැකි බව මහා පුටුවල වැජඹෙන්නෝ හොඳාකාරව දනිති. මේ ක්‍රමය වෙනසක් කිරීමට කවුරුන්
හෝ පෙරට ආ යුතුය.
|