දැළි පිහියෙන් අකුරු කිරීම
දැළි පිහියෙන් අකුරු කිරීම
චම්මින්ද වෙලගෙදර

පෙර දවස පුවත්පතක් බිහි වෙනවා යනු තවත් විශ්වවිද්‍යාලයක් ඇරැඹීමක් ලෙසයි
බුද්ධිමතුන් දුටුවේ. එය එදා කළුකොඳයාවේ පඤ්ඤාශේඛර හිමියන්ගේ සඳහනකි. එදා
මාධ්‍යය වූයේ පුවත්පත හා එක ම ගුවන්විදුලි සේවයකි. එහෙත් ඒ සීමිත මාධ්‍යය එදා
මේ රටේ ජනතාවට අවශ්‍ය දැනුම මෙන්ම විනෝදය ද ලබා දුන්නේ ය. එසේ දැනුම හා විනෝදය
ලබා දීමේදී ඔවුහු හැකිතාක් මාධ්‍ය ගෞරවය සහ නිවැරැදි පිළිවෙත් අනුගමනය කළහ.
පාඨකයාගේ සහ ආසන්නයේ රුචිය දැනුම හා වින්දනය ගැන පරිස්සම් වූහ. එනිසාම එදා
සන්නිවේදනයේ දී ග්‍රාහකයා මූලික වූයේ ය. ඔහුට ඉහළ ම ප්‍රමිතියක බස හා දැනුම්
දීමට මාධ්‍යකරුවා සිය සන්නිවේදන මෙවලම් භාවිත කළේ ය.
අද දවසේ පුවත්පත් රැසකි. ගුවන් විදුලි සේවා එමෙන් දෙගුණයකි. ඒ සියල්ල
අබිබවමින් නව තාක්ෂණය විසින් ලබා දුන් රූපවාහිනිය පැමිණ ඇත. අපේ රටට අද
ඔරොත්තු නොදෙන තරමට රූපවාහිනි නාළිකා ද ඇත. මේ නිසා මේ රටේ ජනයාට බොහෝ දේ දැන
ගැනීමට සහ විඳීමේ අවස්ථාව ලැබී ඇත. එනිසා අද විශ්වය අතැඹුලක් බවට පත් ව ඇත.
මාධ්‍යයට බොහෝ දේ කිරීමට සිය ග්‍රාහකයා දැනුම්වත් කළ හැකිය. එහිදී සියලු මාධ්‍ය
සැලකිලිමත් විය යුත්තේ නිවැරැදි දෙය නිවැරැදි කලාවට ඔහුට ලබා දීමයි. මාධ්‍ය
කරුවාට අසාධාරණය සාධාරණීකරණය කිරීමේ අයිතියක් නැත. බලය විසින් අවනීතිය
නීතියක් බවට පත් කිරීමේදී එයට ප්‍රශස්ති ගැයීමට හැකියාවක් නැත. එසේම ඇත්ත නැති
කොට නැති ඇත්තක් සත්‍යය බවට හරවා පෙන්වීම ද නොහැකිය. ඒ යහපත් මාධ්‍ය සදාචාරයක්
ඇති මාධ්‍යයක වැදගත් සන්නිවේදනයයි. එහෙත් මාධ්‍යකරුවා ප්‍රබල නොවූ මාධ්‍ය
ආයතන හිමියා ප්‍රබල වූ සමාජයක හෘදය සාක්ෂිය මත පෑන, කටහඬ හෝ කැමරාව හසුරුවන
මාධ්‍යවේදීහු අසරණ වෙති.
අද මාධ්‍යයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව වශයෙන් යමෙකුට කිව හැක්කේ මේ
“නිදහස් මතවාදී සංකල්පය” කියා ය. එහෙත් නිදහස් මතවාදී සංකල්පය (CONCEPT OF
LIBERTARIAN) යනු තම තමන්ට ඇවැසි හා රුචි පරිද්දෙන් මාධ්‍යය භාවිත කිරීම නොවේ.
එසේම තමාට හිතෙන දෙයක් හෝ ඉක්මනින් ග්‍රාහක මනසට ඇතුළුවීම උදෙසා ආවේගශීලී හෝ
කුප්පවනු ලබන මනසත් ඇති කරවීම නොවේ.
එය ඊට වඩා ගැඹුරු හා නිදහස් මතධාරී නැඟී සිටීමකි. එසේම ධනවාදී මතවාදයට
එරෙහිව නැඟී සිටීම උදෙසා නිර්මිත වූවෙකි. එහිදී මිනිසාගේ මානසික හිරවීම්
දේශපාලනික හා සාමාජික බැඳීම්වලින් මිදීමේ ක්‍රමයක් ලෙස මෙය ව්‍යාප්ත වූයේ ය.
ඒ අනුව ජනතාවට අහිතකර දේවල් ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ඒ සමාජ ව්‍යසන
පිටුදැකීමට මේ මඟින් හැකිය. පාලනයක් පෙරළා දැමීම වුවද නිදහස් මතවාදයෙන්
සිදුකළ හැකිය. එහෙත් අද අපගේ බොහෝ සන්නිවේදන මෙවලම් ක්‍රියාත්මක වන්නේ විවෘත
භාවය ගැටලු නිරාකරණයට යෙදවීම හෝ යටපත් කරන දෙයින් සත්‍යය සෙවීම වෙනුවට “ජෝන්
ස්ටුවට් මිල්” සඳහන් කරන “බොරුවක් මඟින් ද ඇත්ත දැනගත හැකි ය” යන්නේ බොරුව හෝ
විස්මය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් යානය කර ගැනීමයි.
වර්තමානයේ මේ ඛේදවාචකය ඇතිවූයේ කෙසේ ද? එය හුදෙක් තරගකාරිත්වය මත ඇති වූ
ඊනියා “පළමුවැනියා වීමේ රෝගය” විසින් බිහි කරවනු ලැබු පරාජිත අප්‍රසන්න අතුරු
ඵලයකි. මේ නිසා පළමුවැන්නා වීමට හෝ පොරක් වීමේ ගාය විසින් සංයමය හා බුද්ධිය
පළුදු කරගත් අපේ ඇතැම් මාධ්‍ය සගයන්ගේ හැසිරීම වර්තමානයේදී ප්‍රබල සමාජ
අර්බුද නිර්මාණය කිරීමට ඉවහල් වී ඇති බව පෙනේ.
මේ නිසා ගිලිහී යන්නේ ඥානය නිපදවීමේ සන්නිවේදනයට ඇති බලයයි. ඒ තත්ත්වය
වර්තමානයේ දී දැඩි සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් සිටී. එසේ වන්නේ,
පර්යේෂකයන් විසින්, සන්නිවේදනය මඟින් පුද්ගලයාගේ අභිමතාර්ථ,
අයිතිවාසිකම් කොතෙක් දුරට යටපත් කළා ද යන්න නොසොයා සිටීමෙන් ය.
මේ අනුව ශ්‍රී ලංකාව වැනි රටවල සිදුවන්නේ කුමක් ද? විවිධ මට්ටම්වල සිටින
පුද්ගලයන්ට තම තමන්ට අවශ්‍ය ලෙස සන්නිවේදනය භුක්ති විඳීමේ අවකාශය ලබා දීමයි.
එය හුදු මාධ්‍ය හෝ පුද්ගල නිදහස නොවේ. මෙයින් සිදුවන්නේ විවිධ හැල
හැප්පිලිවලින් භේද බින්න වී ඛේදනීය තත්ත්වයට පත් වූ අවිධිමත් හා අසමතුලිත
පුද්ගලයාගේ මනෝමය ක්‍රියාකාරකම් යථා පරිද්දෙන් ගොඩ නැඟීමට අත්වැලක්
නොවීමයි.
වර්තමානයේදී සන්නිවේදනය විසින් සමාජ රූපකාර්ථ (MASS METAPHORS) මැවීමක්
සිදු නොවේ. එය බොහෝ දුරට සිදු කරන්නේ ආවේගශීලිත්වය, ලිංගික උත්ප්‍රාසය, හා
අන්තවාදි මත විදාරණය ඔස්සේ සාමූහිකත්වය බිඳ දැමීමයි. හුදෙකලා
සන්තර්පණවේදයකට ඇතැම් සන්නිවේදන මාධ්‍ය ගාල් වීමයි. එයින් තොරතුරු විනාශය
කරන්නේ ඒක පාර්ශ්වීය ඇළුම් බවිනි. එයින් මාධ්‍ය පුළුල් කළ යුතු සිය ග්‍රාහක ඥානය
පුළුල් නොකරනු ලබයි. මාධ්‍ය භාෂාවන් සමඟ රූපයත් සමඟ දිගු සංවාදයක යෙදිය හැකි
මෙවලමකි. ඒ වැදගත් බස අකුරු කළ විට ඒවා වචන වෙයි. වචන වාක්‍ය ලෙසින් කියවීමෙන්
පාඨකයා දැනුම්වත් වෙයි. එය අසන්නට සැලැස්වීමෙන් ඔහු තවත් මාධ්‍ය හා සමීප වෙයි.
එම වචනම හඬක් වී පසුව රූපයක් සමඟ හඬ මැවීමෙන් එය පාඨකයාට - ප්‍රේක්ෂකයාට,
ශ්‍රාවකයාට ග්‍රාහකයෙකු ලෙසින් තවත් සමීප වීමේ වරය ලබා දෙයි.
තොරතුරු තාක්ෂණයෙන් ලබා දුන් මේ මෙවලම අද එවැනි කාරියකට යොදා නොගැනීමෙන්
සිදුවන්නේ එහි නිර්මාපකයන්ට ද නිගාවකි. එසේම මාධ්‍ය කුමක් ද? මාධ්‍ය සදාචාරය
කුමක් ද කියා අවබෝධ කරගත් හා කර දෙන අයට ද නිගාවකි. මෙයින් අවසානයේ
සිදුවෙන්නේ කුමක් ද? පුද්ගලයා පෞද්ගලීකරණය කරවීමයි. ඔහු ඔහුටම ආවේණික
ලෝකයක් තුළ හුදෙකලා කරවීමයි.
සන්නිවේදනයේ වැදගත් භූමිකාවක් නියෝජනය කළ මාෂල් මැක්ලූහන් “මාධ්‍ය
පුද්ගලයන් කුඩා කොටස්වලට කඩා වෙන් කරනවා” යැයි කීවේ එම තත්ත්වය හඳුනා
ගනිමිනි. ඔහුගේ කියමනින් තහවුරු වන අනෙක් සත්‍යය නම් බටහිර සන්නිවේදකයෝ
වාචිකත්වය ගෝත්‍රික හැඟීමක් බවට පත් කළ බවයි. ඒ මඟින් ඔවුන් නැති කළේ
ජාතිකත්වය පෝෂණය වීමේ අභිලාසයයි.
එහිදී පුද්ගලාන්තර මනසින් වර්තමානය
වෙද්දී පොදු හැඟීම, අපේකම ජාතිකත්වය යන්න පැන ගොස් ඇත. එය සංස්කෘතිය තුළින් ද
ලුහුටා යාමට සලස්වා ඇත. ඒ වෙනුවට සිදුවන්නේ පුද්ගල චරිත හා සිදුවීම් ඉස්මතු
වීමයි. එයින් මිනිසුන් හුදෙකලා වෙයි. තනි තනිව ඔවුහු වෙසෙන්නට සිතයි. “මම”
පමණක් යන මතවාදය ඔස්සේ ඔහු ඉන්පසු පාරිභෝගික සත්ත්වයකු වෙයි. මේ තත්ත්වය
බෙහෙවින් සිය වාසියට හා පැවැත්මට හරවා ගන්නේ, “නිදහස් මතවාදී සංකල්පය” යැයි
කියමින් පොදු සමාජය කුඩා කොටස්වලට කඩාගෙන ඔවුන්ට අමතන සන්නිවේදකයා ය.
මේ නිසා අනාගතයේ දී පොදු සටන් ඇති නොවෙයි. මිනිසුන් දැනුම්වත් වන්නේ පෞද්ගලික
ඇමතුමිනි. මේ නිසා පොදුවේ ලබන සියලු ජයග්‍රහණවලට වඩා මූලිකත්වය පෞද්ගලික
ස්මතු වීම් වෙනුවෙනි. එහිදී සමාජ අකම්පාව මායිම් කරනු නොලබයි. අනුව සිදුවෙන්නේ
මිනීමැරුම්, මංකොල්ල කෑම්, ලිංගික අතවර හා ප්‍රචණ්ඩ ක්‍රියා සාමාන්‍යකරණය වී
සමාජගත වීමයි.
වත්මන් සමාජය මේ තත්ත්වයට මුහුණ දෙමින් සිටී. බටහිර රටවල එය සිදුවී හමාර ය.
එහෙත් තවමත් මෙය අපගේ රටවල එළිපත්ත පැන්නා පමණකි. මේ අනුව ආයාත නිර්යාත
වෙළෙඳාමේ දී ඇතිවෙන අතිරික්තය අනුව එම රටේ සංවර්ධනය මැනීම සිදුවෙන නිසා
සංස්කෘතික හා සාරධර්මවල අගයන් හීන වන තත්ත්වයකට පත්වෙයි. එහිදී සංවර්ධනයේ
අතිරික්තයෙන් ඉහළ යන්නේ තාක්ෂණික හා විද්‍යාත්මක අංශයන් ය. එහිදී මිනිසා යන
මූලික ප්‍රපංචයේ වටිනාකම පරදවා පාරිභෝජන අවශ්‍යතා මත කුමන නිර්මාණයකට හෝ
නිෂ්පාදනයකට වුවද ඇතැම් ව්‍යවසායකයින් පෙලඹේ. එසේ පෙලඹෙන්නේ ඉන් තහවුරු
කරන ලාභයේ මිල මට්ටම අනුවය.
එහිදී ඇතිවන අතුරු ඵල කීපයකි. එම අතුරු ඵලවලට බඳුන් වන්නේ පොදු ජනතාවයි.
ඔවුන්ට එක් ව නැඟීමට හඬක් නැති වෙයි. හඬ රැගෙන යාමට වාහකයන් උපකාර නොකරයි.
එහෙත් එම වාහකයන්ම තමන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා පාලකයන්ගේ අතකොළු බවට
පත්වෙයි. ආයාත නිර්යාත නම් වූ විදේශ වෙළෙඳාමේ දී ඇතිවෙන ගෙවුම් ශේෂයේ ධන ශේෂය හා
අතිරික්තය නිසා පාලකයන් සිදු කරන්නේ තමන් ජනප්‍රිය වීමට සන්නිවේදන මාධ්‍ය
භාවිත කිරීමයි. එම කාරියේදී ඔවුන්ට බිලිවෙන්නේ අවම අධ්‍යාපනයක් ලැබූ, දහසක්
ජීවන ගැටලුවලින් තුලනය නොවූ හිඟයක් ඇති ශේෂ පත්‍ර හිමි සාමාන්‍ය ජනතාවයි.
ඔවුන්ගේ මනස් නිවී ගිය හෝ තර්කානුකූලව සිතීමට හෝ පුරුදු වූ ඒවා නොවෙති.
නිරන්තර හිඟතාවෙන් පෙළෙන මේ මනස් කැලඹිලි සහගත ය. වෙනස් වෙන ඉරියව්වලින්
යුක්ත ය. එම හිඟුම්වලින් පිරි ගිය ඔවුන් බොහෝ විට අසරණ මෙන්ම ප්‍රචණ්ඩකාරී ද
වෙයි. එවැනි පිරිස් ආලෝලනය කිරීම මේ දේශපාලකයන්ට ඉතා පහසු ය. එබැවින් ඔවුහු
මේ සාමාන්‍ය ජනයාගේ මානසික භූගෝලයට පොරොන්දු නම් අල්ලස ආලේපනය කරයි.
අවසානයේදී කූට වෙළෙඳ ව්‍යාපාරිකයා සිය ප්‍රචාරණය මඟින් පාරිභෝගිකයා සිය
ගැනුම්කරුවා බවට පත්කර ගන්නාක් මෙන් සාමාන්‍ය වැසියාගේ වීරයා වැඩිපුර මාධ්‍ය
යොදා ගන්නා සහ මාධ්‍ය විසින් ඔහු හෝ ඇය හොඳ යැයි දමනු ලබන උපැස් යුවළෙන් ඔහු වැලඳ
ගනියි.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක ද අද සිදුවෙන්නේ එයයි. විදේශ
වෙළෙඳාමේ හිඟතාවකින් පෙළුණ ද අපගේ නායකයින් සාමාන්‍ය ජනතාවට නොසෑහෙන
විහිළු සපයන බව ඔවුහු නොදනිති.
මේ නිසා සංවර්ධනය වූ රටක පාලකයෙකු ජනප්‍රියතාව රැකගැනීමට මාධ්‍ය යොදා
ගන්නා අතර අපගේ රටේ මාධ්‍ය යොදා ගෙන පාලනය අල්ලා ගනිති. එය මාධ්‍ය කරුවාගේ යහපත්
අරමුණකි. ක්‍රියාවකි. එහෙත් මාධ්‍ය කරුවා නිවැරැදි දෙය නිවැරැදි වේලාවට
කළහොත් පමණක් එය සාර්ථක වෙයි. යහපත් වෙයි. එසේනම් යහපත් මාධ්‍යකරුවා සිදු කළ
යුත්තේ අසවලා පාලකයා ලෙස හෝ අසවලා වංචනිකයා ලෙස ඔසොවා තැබීම හෝ පෙළා දැමීම
නොවිය යුතුය. මාධ්‍යවේදියා මාධ්‍ය කොන්ත්‍රාත්කරුවකු නොවේ. ඔහු ග්‍රාහකයාගේ
මානසික භූගෝලය පුළුල් කරන්නා ය. ඥානය වර්ධනය කරන්නා ය. එසේ නොමැතිව ඇල්ෆ්‍රඩ්
හොවාක් කීවාක් මෙන් එකම දෙය මන්ත්‍රයක් සේ කියමින් ලියමින්, පෙන්වමින් එය
සාමාන්‍ය ජනයාගේ ඉල්ලීම හෝ තේරීම බවට පත්කරවීම නොවේ. එය මාධ්‍ය
ප්‍රචණ්ඩත්වයයි. සැලසුම් සහගත මාධ්‍ය ආක්‍රමණයයි. සෞන්දර්යාත්මක හා
සදාචාරාත්මක කිති කැවීම්වලින් අද මෙවැනි ක්‍රියා සිදු වෙයි. එය හුදු
දේශපාලනයේදී පමණක් නොව සමාජ විරෝධීන්, අපරාධකරුවන් හා නීතියට එරෙහිව
ක්‍රියාත්මක වන්නවුන් ද ආරක්ෂා කිරීම දක්වා දිව යනු ඇත.
ලුවී කෝසර් නම් සමාජ විද්‍යාඥයා මෙය දකින්නේ ඉතා ගැඹුරු සමාජ ආක්‍රමණයක් සහ
ත්‍රස්තවාදයක් ලෙසට ය. බාහිර නෛතික ප්‍රචණ්ඩත්වය රූපවාහිනිය මඟින් පොදු
ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් එතෙක් පිළිගෙන තිබූ සාරධර්ම සහ ඉවසීම්
ඔවුන්ගෙන් ඉවත්ව යා හැකිය. ඔවුන් එය පෙළා දැමීමේ දැනුම්වත් භාවයක් ඉන් ලබයි. එය
කුපිත කරවීම දක්වා වර්ධනය විය හැකිය. මේ සියල්ල මාධ්‍යයට කළ හැක්කේ
සංවිධානශීලීව සහ සැලසුම් සහගතව ය. එබැවින් මාධ්‍ය කරුවා පූර්ණ දැනුම්වත්
ඇත්තකු හෝ හොඳ නරක කියවා ගත හැකි තරමේ බුද්ධියෙන් හෝ යුක්ත විය යුතුය. එහිදී වඩා
ප්‍රමුඛ විය යුත්තේ හෘදය සාක්ෂියයි. එහෙත් හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරන
මාධ්‍යකරුවන් අද සොයා ගැනීම අසීරු කටයුත්තකි.
එහෙත් සාමාන්‍ය ජනයාගේ හෝ කුමන තරාතිරමක හෝ සිවිල් ජනයාගේ අයිතිය රැකීමට
පෞද්ගලික න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වෙන මාධ්‍යයකින් බලාපොරොත්තු විය
හැකි නොවෙයි. එය පවා පරාජය කළ හැක්කේ මාධ්‍යවේදීන් උපක්‍රමශීලී වුවහොත්
පමණකි. එහිදී මාධ්‍යවේදියාගේ හෘදය සාක්ෂිය වැදගත් වෙයි. එහෙත් ආර්ථිකය විසින්
හිඟතාව විසින් සිරකරුවන් හෝ ඇපකරුවන් වූ මාධ්‍ය සමාජයක් වේනම් එම සමාජ
වෙනස්කම් දක්නට අසීරු වෙයි.
මරණයේ සම්භාවනීයත්වය ප්‍රචණ්ඩත්වය හා බලය විසින් නැති කළ සමාජයක සමාජ
විරෝධි ක්‍රියාවන්ට එරෙහි ව යන අරගලයක් කරා මෙහෙයවෙන ජන සමාජ ඉදිරියේදී
දැකීම ඒ අනුව අසීරු වෙයි. ඒ අනුව සිදුවිය හැක්කේ මිල ගෙවා ලෙඩ රෝග හා වස විස
ශරීරයට ඇතුළු කරවා ගැනීමයි. පිරිසිදුව හඹා යා යුතු නිවහල් නිදහස් සුළඟේ පා
කරන පරමාණු ආශ්වාස කිරීමයි. නිෂ්පාදකයාට අවශ්‍ය භාණ්ඩ මෙන්ම නිර්මාණය තමන්ගේ
කරගැනීමයි.
එයින් මිදීමට යහපත් මාධ්‍ය සත්කාරයක් සේම පෞද්ගලිකත්වයෙන් මිදුණු පොදුජන
විඤ්ඤාණයක් ද අවශ්‍ය වෙයි. එසේ නම් වර්තමානයේ නිවැරැදි මාවතකට පොදුවේ
පිවිසීමට හැකි දැනුම්වත් භාවයක් සහ පොදු කියවීමක් අද අවශ්‍ය ව ඇත.
|