යථාර්ථවාදී නාට්‍ය කලාව ගැඹුරින් ඥානනය කිරීම පිණිස...
යථාර්ථවාදී නාට්‍ය කලාව
ගැඹුරින් ඥානනය කිරීම
පිණිස...
 සුගතපාල ද සිල්වා අප විසින් හැදෑරිය යුතු සමාජ විද්‍යාත්මක යුගයේ
යථාර්ථවාදී පෙළ පිටපත් රචකයා මෙන්ම ප්‍රාරම්භක නාට්‍යකරුවා ද වේ. නවසිය
පනස් හයේ (1956) දී සිදු වූහයි කියැවෙන නූතන නාට්‍ය කලාවේ යුග පෙරැළිය තුළ
අනිවාර්යයෙන් සිදු විය යුත්තා වූ විප්ලවීය සමාජ විද්‍යාත්මක පරාවර්තනය
“මනමේ” නාටකයේ අන්තර්ගතයෙන් හෝ ආකෘතියෙන් සිදු නොවුණි. එතෙක් පැවැතියා වූ
ඓතිහාසික සිනමාවේ අනුකාරකවාදී සන්දර්ශන යථාර්ථවාදී සංයමයෙන් යුතු ව
සිනමානුරූපී කැන්වසය මත ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රණය කළ ද දේශජ නාට්‍ය කලාව
නූතනත්වයට පත් කිරීමට පර්යේෂණ සිදු කළ සරච්චන්ද්‍ර “යථාර්ථවාදය” මඟ හැර එය
නාඩගම් ගීත මාධුර්යයේ අන්තර්ධාන වන සැටි බලා නිවී සැනහුණි. එනමුත් ශෛලීගත
ආඛ්‍යානයේ භාවිතය තුළ යථාර්ථවාදී සමාජ සන්දර්භයන් උගත් සංයමයෙන්
සාකච්ඡාවට බඳුන් කළ හැකි බව පෙන්නුම් කළේ ද සරච්චන්ද්‍ර ම ය. ඒ “සිංහබාහු”
තුළිනි. එහෙත් සරච්චන්ද්‍රගේ නාට්‍ය භාවිතාවේ වැඩි ඉඩකඩක් ඔහු දැනුවත්
මනසින් වෙන් කළේ ඓතහාසික ආඛ්‍යාන ධාරාවේ නාට්‍ය මඟින් කෙරෙන සෞන්දර්යාත්මක
උත්තර මානුෂීය ධර්මතා විමසීමට ය. එය බොහෝ විට මනස කේන්ද්‍ර කරගත් විඥාන වාදී
විග්‍රහයකි.
විඥානය යනු සිත්හි ඇති වන හැඟීම් හා අදහස් නම් ප්‍රේමය, කෝපය, පාවා දීම වැනි
හැඟීම් පිටාර ගලන මනමේ නාට්‍යයේ චරිතාවේශයන්ගේ පදනම් ආගමානුකූල සන්දර්භයක
ප්‍රපංචනය කර ඓතිහාසික නාඩගම් ගීත වල මධුර අනුවාදන වලට ප්‍රේමයේ හැඟීම් බරිත
සාහිත්‍යමය භාෂණයෙන් යුතු කාව්‍ය රචනා පෙළ ගැස්වීම රචකයාගේ කාර්ය භාරය යි. එය
එකල ජනප්‍රසාදය දිනාගත් මොහම්මද් රාෆි හින්දි චිත්‍රපටවල ප්‍රේම ගීත ගැයූ
පරිදි එච්. ආර්. ජෝතිපාල ලවා ගායනා කරවනු අටියෙන් කරුණාරත්න අබේසේකර ලවා
රාෆි ගයන ගීතයේ වචන සිංහලයෙන් ලිවීම වැනි ම ය. ඒ විනා ඉන් ඔබ්බෙහි පිහිටි සමාජ
ආර්ථිකයේ ද්‍රව්‍යවාදි විශ්ලේෂණයක් මේ තුළ නොවිණි.
ප්‍රතිඵලය භයානක විය. සරච්චන්ද්‍රගේ ම අනියම් පෙලඹ වීමෙන් ශෛලීගත නාට්‍යය
සැකිලි සිංහල නාට්‍ය වේදිකාව මත ප්‍රලය වන්නට විය. විචාරකයන් මේ රැල්ල
හැඳින්වූයේ “මනමේනියාව” යනුවෙනි. භාෂ්මාවශේෂ ව අද අපේ ගෞරව බහුමානය ලබන
ඇතැම් නාට්‍ය කාරකාදීන් ද එකල මනමේනියාව තදින් වැලඳුණු එසේ හෙයින් ම
සරච්චන්ද්‍රගේ සදය විවේචනයට පාත්‍ර වූ වාහු වෙති. නාඩගම් ගී අනුවාදන
අනුකරණය සහ ඓතිහාසික ජනප්‍රවාදය මඳක් වෙනස් කර කොළඹ වේදිකාවට සංක්ෂිප්ත
කිරීමට ඔබ්බෙහි පහළ වුණු “ශෛලීගත නාට්‍ය ආකෘතිය” හරහා සමාජ දේශපාලනික
ප්‍රතිවිරෝධතා යථාර්ථවාදී ව සාකච්ඡා කළ හැකි ද යන්න ඉදිරියේ සරච්චන්ද්‍ර
පරාජය පිළි ගත්තේ ය.
දශකයක් පමණ යනතුරු ගොජ දමමින් ඔද වඩමින් මන නන්දනය, මන
රංජනය කෙරුණේ නාඩගම් කලාවෙන් ණයට ගත් නූතන නාට්‍ය කලාවේ විජයග්‍රහණයයි. එය
මෙකල විවිධ ක්ෂේත්‍රවල දක්නට ලැබුණු සුලබ සිදුවීමකි. සරච්චන්ද්‍රගේ ම අනුහස්
ලැබුණු අනුප්‍රාණය ලැබුණු විශ්වවිද්‍යාල ඇකඩමිය බිහි කරන ලද විචාරකාචාර්ය
කාරකාදීහු ද මේ ව්‍යාපාරය සඳහා පෙළ ගැසුණහ. සමහර විචාර සරච්චන්ද්‍රගේ
සාහිත්‍යමය භාෂණය සහිත තීන්ත පෑන් තුඩඟින් ලියැවුණු නමුදු මේ විචාරක
පුත්‍රයන්ගේ නම් ඒ විචාර අගට යෙදුණු සාරවත් ලිපි බවට පෙරළුණි. ඊළඟ සතියේ මෙකී
විචාර සති අන්ත ජාතික පුවත්පතේ පළ වී පාඨකයා කියවත්ම ඊට ප්‍රති විරෝධී අදහස්
රැගත් ලිපිය ද එතුමාගේ අතින් ලියැවී එහි අගට තමාගේ නම යොදති යි ඊළඟ අනුගාමි
ශිෂ්‍ය බාලයා බලාපොරොත්තු විය. පේරාදෙණි ගුරු කුලයේ නව විචාරක කලා ව්‍යාපාරයේ
ද බිහිවීම එයයි.
නූතන නාට්‍ය වංශය ලියන්නට පිරිසක් එසේ අර අඳිත්දි තවත් සමහරෙක් එය
අනුකාරකවාදී විකට රූප සන්දර්ශනයක් බවට පත් කර ගත්හ. මේ තත්ත්වය තව දුරටත්
පවත්වාගෙන යා නොහැකි විය. ඒ බව සුගත් පවසන්නේ මෙපරිද්දෙනි.
“...මම ප්‍රසිද්ධියේ කිව්වා ශෛලීගත නාට්‍යය දැන් ඔතැනින් එහාට ඉදිරියට යන්නේ
නැහැ කියලා. ඒ නිසා අපි අලුත් මාර්ගයක් සොයන්න ඕනෑ බව මම පෙන්නලා දුන්නා. හේතුව
හැම මිනිහාම හිතුවා ගීතයක් හදලා ඒකට ගමන් තාලයක් දාපුවහම ඒක ශෛලීගත
නාට්‍යයක් කියලා. ඒක ඒ තරම් පහසු දෙයක් හැටියටයි මිනිස්සුන්ට පෙනුණේ. හැමෝම
පෝළිමට ශෛලීගත නාට්‍ය හැදුවා. එහෙම නාට්‍යයක් මම බැලුවා. සේන කියලා
මිනිහෙකුගේ. ඒ මිනිහාගේ නාට්‍ය දැකපු මට හිතුණා මේ තමයි ශෛලීගත සම්ප්‍රදාය
නමැති මිනී පෙට්ටියට ගහපු ඇනේ කියලා. ඌ හොරෙක්..., චෞරයෙක්!
සරච්චන්ද්‍ර ගේ භාවිතයට අභියෝග කළ හැකි යථාර්ථවාදී ක්‍රමවේදය ඉදිරියට ගෙන
ආ සුගතපාල ද සිල්වාගේ යථාර්ථවාදී ආකල්ප ගොඩ නැඟුණු ආකාරය ඔහු හදාරන අලුත්
පරම්පරාව අනිවාර්යයෙන් කියැවිය යුතු වේ. හේතුව නාට්‍ය කලාව නොව ඕනෑම
ක්ෂේත්‍රයක පරමාදර්ශී පුද්ගලයන් බිහිවීමට ඔවුනගේ ජීවිත දශාව අනිවාර්ය
පදනමක් බැවිනි. මේ ඔහුගේ ජීවිත දශාව ඔහුගේම වදන් වලිනි.
“...නාට්‍යකරණය මම පාසල් යන කාලෙම පටන් ගත්තා. අපේ පාසලේ සතියකට සැරයක්
‘සංගීත සැන්දෑව’ කියලා වැඩ සටහනක් තිබුණා. මමත් පොඩි පොඩි අයිටම්ස් ඉදිරිපත්
කරන්න පටන් ගත්තා. කාලයක් මට ඕන කරලා තිබුණා කොමිඩියන් කෙනෙක් වෙන්න. අර සිල්ක්
සරමයි කළු කෝට් එකයි කුඩෙයි අරගෙන... එඩී ජයමාන්න වෙන්න. ඉස්කොලේදී මමම නාට්‍ය
ලියන්න පටන් ගත්තා. ආභාසය ලැබුවේ පියදාස සිරිසේන මහත්තයාගෙන්. පළමු
දර්ශනයෙන් පස්සේ මේ නාට්‍ය ඉස්කෝලෙන් පිටත් පෙන්නුවා. මමමයි රඟපෑවේ. සීන්ස්
15න් අටකම මම ඉන්නවා. පේරාදෙණියේ තිබුණා ද්වී භාෂා පාසල කියලා එකක්. එතැන
පෙන්නුවා. 1945 දී. මට රු. 100ක් හම්බ වුණා.
මේ නාට්‍ය ලියන ශෛලිය හදාගන්න මට මූලික වුණේ මුල්ලෙපිටියේ කේ. එච්. ද සිල්වා
කියන කවියා.
මට නාට්‍යකරණය ම කරන්න ඕන නිසා 1946 දී ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් සේවයට
ගියා. මේ නිල්දණ්ඩා හින්නේ, එගොඩදන්ඩ පාසලට. මේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. මට
එතකොට වයස 20ක් විතර ඇති. මට යුනිවර්සිටි යන්න බැරි වුණා. කොළඹ ආවේ ඉගෙන ගෙන
කොහොමහරි යුනිවර්සිටි යනවා කියලා තමයි. එතැන දී වුණේ චිත්‍රපටි බැලිල්ලයි,
නාට්‍ය බැලිල්ලයි. ඉතින් මුල් කාරණේ මඟ හැරුණා. දැන් මම සන්තෝෂ වෙනවා නොගිය එකෙත්
හොඳක් තියනවා කියලා. ගියා නම් මමත් කාගේ හරි ගෝලයෙක් වෙලා නවතින්න තිබුණා.
ගෝලයෙක් වෙලා නවතිනකොට ස්වාධීන නැහැ. කොහොම හරි ඉංග්‍රීසි ඉගැන්නුවා මම
අවුරුදු දෙකක් විතර.
නාට්‍ය කරන්නට සිත් පහළ වන ඕනෑම තරුණයකු හට දෙමවුපියන්ගෙන් නම් ලැබෙන්නේ
අනුබලයක් නොවේ. එය එදත් එලෙසමය... අදත් එලෙසමය.
“...වෙලා තිවුනේ අපේ පවුල වෙළෙන්දෝ. මම මේ වගේ දේවල් කරන එක ගැන ඔවුන් කැමැති වුණේ
නැහැ. ඒ අය කිව්වේ ඔයාට අන්තිමට කලිසම විතරක් ඉතුරු වෙයි කියලා. ඉතින් ඉස්කෝලේ
වැඩවලින් අයින් වෙලා මම ගම්පොළ අච්චු කන්තෝරුවක වැඩට ගියා. ඒක මගේ මාමගේ. එතන
මැනේජර් වැඩේ කළා. එතැන ඉඳගෙන පොත් පත් කියවනකොට මට ලොකු ආසාවක් ඇතිවුණා
ලේඛකයෙක් වෙන්න ඕන කියලා. ඒ කාලේ ‘සිංහල ජාතිය’ කියල පත්තරයක් තිබුණා. කාලීන,
උපහාසාත්මක ලිපි මාලාවක් ලිව්වා මම ඒකට.
කාලයක් යනකොට අච්චු කන්තෝරුවේ මාමා එක්ක අමනාපකම් ඇතිවුණා. හිතුණා හොඳ ම දේ
කොළඹ එන එක කියලා.
පත්තරේ දැන්වීමක් තිබුණා කොළඹ පොත් සාප්පුවකට සෙල්ස්මන් කෙනෙක් ඕන කියලා. පස්සේ
මම ඉන්ටර්වීව් එකට ආවා. තනතුරු දෙකයි... සෙල්ස්මන්, එකවුන්ට ක්ලාක්. මාසෙකට
රුපියල් 75යි... ඒ මුදලින් කොළඹ ඉන්නේ කොහොම ද කියලා කල්පනා කළා. ඒත් මුහුණ දෙන්න
හිතාගෙන මම බෝඩිමක් හොයාගත්තා රුපියල් 50කට. රෑ කෑමයි උදේ කෑමයි දුන්නා. මට
යාළුවෙක් මුණ ගැහුණා ආරියවංශ පතිරාජ කියලා... මිනිහා ධර්මසේන පතිරාජගේ
අයියා. අන්තිමේදී මිනිහාගේ ඉල්ලීම පිට මම මිනිහා එක්ක නැවතුණා. පොත් සාප්පුවේ
වැඩ කරන නිසා පොත් කියවන්න chance එක ලැබුණා... ප්‍රකට ලේඛකයෙක් හිටියා ඒ කාලේ
සිරිල් බී. පෙරේරා කියලා. ඔහු වැඩ කළේ බ්‍රිටිෂ් එම්බසි එකේ. පොත් සාප්පුවේ වැඩ කරන
අතරතුර application එකක් දැම්මා මම බ්‍රිටිෂ් එම්බසි එකේ රස්සාවට. ඔවුන් ඒ කාලේ
ප්‍රකාශනයක් නිකුත් කළා “බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති” කියලා.
ඒකෙ උප කර්තෘවරයකු
හැටියටයි ඔවුන්ට කෙනකුට වුවමනා කරලා තිබුණේ. කරන්න තිබුණු වැඩ තමයි ඉංග්‍රීසි
ලිපි සිංහලයට පරිවර්තනය කරලා පිටු හදන එක. ඉතින් ගියා මම සිරිල් ව මට නිතරම
හමු වෙනවා. අපි නවකතා ඉංග්‍රීසියෙන් කියවනවා. එක්කෙනෙක් අනෙක් කෙනාට ඒ පොතේ
තිවුණු දේ විස්තර කරන්න ඕනා. ආපහු හැන්දෑවට ඩිස්කස් කරනවා... ඒ කරුණුම. ඒ අතර
argue කරනවා. එක්කෙනෙක්වත් පෙලඹුණේ නැහැ අනෙකාට yes කියන්න. ඒ තරම් වාද විවාද
දරුණුයි. “අපේ කට්ටිය” වර්ධනය වුණා මේ අතරේ... මම, සිරිල්, රැලෙක්ස් රණසිංහ,
වික්‍රම බෝගොඩ වගේ අය... නාට්‍යවලට තියන උනන්දුව නිසා කණ්ඩායම තව වර්ධනය වුණා.
අපි කණ්ඩායමම ගිහින් නාට්‍ය බලන්න පටන් ගත්තා. මම නිතරම ඒ නාට්‍යවල වැරැදි
දැක්කා.... කතා කළා... දවසක් මට සිරිල් බී. චැලේන්ජ් එකක් කළා. “...උඹ හැමදාම
අනුන්ගේ නාට්‍ය බල බලා බණිනවා... පුළුවනිනම් නාට්‍යයක් කරලා පෙන්නපන්...”
කියලා. ඇත්තටම නාට්‍යවලට අවශ්‍ය අනුභූති මගේ ඔළුවට ආවා ඒ දවස්වල. ඉතින් මම
“බෝඩින්කාරයෝ” කියලා පිටපතක් ලියලා නාට්‍ය අනුමණ්ඩලයට භාර දුන්නා... රාජ්‍ය
නාට්‍ය තරගයත් ඒ දවස්වල පටන් අරගෙන තිබුණේ.
නාට්‍යකරුවකු වන්නට හිතන ඕනෑම තරුණයකුට අද බැඳෙන්නට “නාට්‍ය කණ්ඩායම්” එමට
ය... ගුරුවරු ද එමට ය. වැඩමුළු මෙහෙයවන්නෝ ද පඳුරක් ගානේ සිටිති. එහෙත් ඔවුන්
බිහි කරන නාට්‍ය අන්තර්ගතයෙන් නීරස ය. භාවිතයෙන් අශාස්ත්‍රීය ය. විකට විගඩම්
ද මඩිය තර වන මෙහෙයුම් ය. විශ්වවිද්‍යාල නාට්‍ය අංශ තරුණ තරුණියන්ට ඔරොත්තු
නොදෙන සම්භාව්‍ය ග්‍රීක පිටපත් අනුකරණය කරති. ප්‍රසාංගික ගුණ අතුරුදන් ව
ගොසිනි. සුගතපාල ද සිල්වාගේ නාට්‍ය භාවිතය ක්‍රමානුකූල ව ගොඩනැඟුණු අයුරු
හැදෑරීමෙන් අද තරුණ තරුණියන්ට මේ වැරදෙන පොටවල් ලෙහා නැවත පටන් ගත හැකිය.
“අපේ කට්ටිය” හැදුණු හැටි වර්ධනය වුණු හැටි නැවත නැවත කියවීම දැන් යුගයේ විභාග
පාස් කර ගැනීමට නාට්‍ය හදන කට්ටිය කියැවිය යුතු ම ය.
බෝඩිම් කාරයෝ පළමු නාට්‍ය නිර්මාණය වුණු හැටි ඊට හොඳ නිදසුනකි.
“...Dialogue Drama Has Comes to Stage - සංවාද නාට්‍ය වේදිකාවට පැමිණේ” මේ ඒ
කාලේ ඉංග්‍රීසි පත්තරයක විශේෂාංග හෙඩිමක්! බෝඩිම් කාරයෝ නාට්‍ය හොඳට කෙරුණා.
ආතර් යූ. අමරසේන තමයි ටෝනි රණසිංහ ව ගනිමු කියලා තිස්ස අබේසේකර වික්‍රම බෝගොඩ
ව ගෙනත් දුන්නා. ඒත් රිහර්සල් කරගෙන යනකොට සල්ලි නැහැ. ඒ කියන්නේ රිහර්සල්
කරගෙන යන තැන ලයිට් නැහැ. ඒ හින්දා අපි පැට්‍රොල් මැක්ස් එකක් ගත්තා... දෙකයි
පනහකට. ඒත් ඒක ගන්නත් සල්ලි තිබුණේ නැහැ. ඒ පාර ඔක්කොම කට්ටිය ශත 25/25 දාලා 2.50
හදා ගත්තා. පුහුණුවට කොම්පඤ්ඤවීදියේ සෙන්ට්‍රල් විද්‍යාලය තෝරා ගත්තා. රෑ
වෙනකන් රිහර්සල් කළා. ටික දවසක් යනකොට ප්‍රින්සිපල් ලෙඩක් ඇද්දා. රෑ වෙනකන්
ගැහැනු ළමයි මේ පුහුණුවීමේ ඉන්නවා කියලා. පස්සේ රෝයල් ප්‍රයිමරි එක ගත්තා. පස්සේ
වැඩේ කරගෙන යනවා. පිරිසක් ඇවිත් බලාගෙන ඉන්නවා. ඉතින් මට තේරුණා මම යන මාර්ගේ
හොඳට ක්‍රියාත්මක වෙනවා කියලා. මට හිතවත් මිනිස්සු කිව්වා “...හරියට කරපන්...
බෝම්බයක් වාගේ වැඩ කරයි...!” කියලා.
මම හිතන්නේ මගේ පළමු නාට්‍යය සාර්ථක වුණේ නාට්‍ය ලියලා තිබුණු අව්‍යාජ විදිහ, නළු
නිළියන්ගේ කැපවීම අව්‍යාජ, ශ්‍රේෂ්ඨ නිසා. නාට්‍ය රචනයකට අවශ්‍ය ම නාට්‍යමය
අවස්ථා, නිදහස් අදහස් ඒවා හොඳට ලියැවිලා තිවුණා. ඒ වාගේම ඒවායේ තිවුණු අදහස්
නළු නිළියන් ඇදලා ගත්තා. හැමෝම වාගේ හොඳ විචාර බුද්ධියකින් වැඩේට සහභාගි වුණා.
හේතුව නළු නිළියන් හැම වෙලාවෙම අනුන්ගේ නාට්‍ය බැලුවා... පොත් පත් කියෙව්වා...
සංවාද වාද විවාද කළා... ඉතින් ප්‍රේක්ෂකයොත් එහෙමයි. කණ්ඩායමේ ඇතුළේ වුණත් සෙසු
චරිත සෙස්සන්ගෙන් විස්තර වුණා... රිහර්සල් ඉවර වුණා කියලා නාට්‍ය පුහුණුවීම් අත
හැරලා, ඔළුවෙන් අමතක කරලා ගියේ නැහැ.
පුරුද්දක් තිවුණා කරපු දේවල්වල හොඳ නරක
කතා කරලා ඉස්සරහට යන ගමන හදා ගන්න. නළුවෙකුගේ දොසක් දැක්කා නම් ඒක මිනිහාගේ
මුහුණට කියන පුරුද්දක් තිවුණා... හැමෝගෙම, හැබැයි අවංකව. හෙළා දකින්න නෙවෙයි.
ඉතින් මට ඒක පහසුවක් වුණා. සුගතපාල ද සිල්වාගේ නාට්‍ය භාවිතය හෙවත්
යථාර්ථවාදී නාට්‍ය ක්‍රමවේදය හැදෑරීමට පසු පරම්පරාවල තරුණයන් උත්සුක
නොවී යථාර්ථවාදී නාට්‍ය මේ යැයි සිතා සිතූ බුද්ධියෙන් ලියූ එදිනෙදා සංරචක
Day
today Events සුගතපාල ද සිල්වා නාට්‍ය අංශය අධීක්ෂණය කළ ජාතික තරුණ සේවා සභාවේ
යෞවන නාට්‍ය උලෙළ අභිමුවට ගෙන අවුත් ඔහු ලවා නියත විවරණ ලබන්නට පෙළ ගැසීමෙන්
ඔහු මහත් අසීරුවට ලක් කළහ. මේ අසීරුතාව ඓතිහාසිකව ඔහු පෙළු ධර්මතාවකි. ඒ
යනු බෝඩිම්කාරයෝ නාට්‍ය පසුපස්සෙන් ද මේ අනුකාරකවාදී රැල්ලක් එදා ඉස්මතු
වුණි. හැමදේම අනුකරණය කිරීම මෙන්ම දර්ශනය බැහැර කර ආකෘතිය වැලඳ ගැනීම ලෙහෙසි
දෙයකි. සුගතපාල ද සිල්වා සියල්ල උපේක්ෂා පෙරදැරි ව මේ සියල්ල දුටුවේ
මෙපරිද්දෙනි.
“...බෝඩිම්කාරයෝ වාගේ රැල්ලක් එන්න පටන් ගත්තා. කොච්චර ද කියනවානම් සමහර
නාට්‍යවල මගේ නාට්‍යයේම තිබෙන චරිතත් තිබුණා. මම බෝඩිම්කාරයෝ නාට්‍ය අවුරුදු
5ක් තිස්සේ දිව්වා. ඒත් මේ නාට්‍යයෙන් පස්සේ සිද්ධ වුණේ හැම ක්ෂේත්‍රයක ම
හැඟීමක් නැති උදවිය හතු පිපෙනවා වගේ ඇති වෙන්න පටන් ගත්තා. කිසිම විදිහකින්
නාට්‍ය කලාවට සම්බන්ධයක් මේ අයගේ තිවුණේ නැහැ. මෙහෙම තියෙද්දී තේරුමක් ඇතිව
ඉදිරියට ආ කෙනෙක් තමයි ප්‍රේමරංජිත් තිලකරත්න. ඉතින් කොහොම හරි හරසුන්
රැල්ලට අපිට එරෙහි වෙන්න බැරි හේතු තියෙන්නෙත් අපි අතරමයි.
මම හිතන්නේ අලුත් නාට්‍ය තරුණයන් අතින් බිහිවෙන්න ඕන යුද්ධය තුළින්. මම මේ
කියන්නේ ලංකාවේ තරුණයෝ පාදක කරගන්න ඕන යුද වාතාවරණය. අලුතින් හිතුවොත්
තරුණයන්ට නිර්මාණ ලෝකය පුළුල් කරගන්න පුළුවන්...”
ඇත්තටම යථාර්ථවාදී නාට්‍ය කලාව ගැඹුරින් ඥානනය කරගනු පිණිස සුගතපාල ද
සිල්වා පෙන්වූ ගමන් මඟෙහි සුවිශේෂී ප්‍රභේද කිහිපයක් අපේ තරුණයන් හැදෑරිය
යුතුව තිබේ. ඒවා නම් 1. ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය, 2. මාක්ස්වාදය, 3. ඔහුගේ
පෙළ රචනා.
“...ඇත්තටම අපේ කාලයේ නාට්‍ය ලීවේ, රඟපෑවේ අධ්‍යක්ෂණය කළේ, නිෂ්පාදනය කළේ
සංවිධානය කළේ නාට්‍ය කලාවට කිසියම් සම්බන්ධයක්, රජයේ පරිපාලන ක්ෂේත්‍රයට
ආදරයක්, ගෞරවයක්, කලාත්මක හැඟීමක් ඇති උදවිය. ඉතින් නාට්‍ය කලාවේ මූලික
ගුණධර්ම ටික ආරක්ෂා වුණා. පස්සේ පස්සේ රටේ දේශපාලනය සවුත්තු වුණාට පස්සේ නාට්‍ය
කලාවට ඉන් බේරිලා ඉන්න බැරි වුණා...”
ධර්මජිත් පුනර්ජීව
|