කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»


කවි කල්පනා

කටුවේ වග­තුග

මාන­වයා හුරුව ඇඳු­මක් ඇඳී­මට
එය නිසි පරිදි සකසා ගත් මනා­පෙට
සුර­තින් මිදී මැසී­මට ගිය අගේ පිට
ඉදි­ක­ටු­වෙන් කෙරුණි මෙහෙ­යක් එදා සිට

කළු ගල් ඔප දමා බිතු සිතු­වම් කෙටුව
නෙළ­මින් පෙති පිළිම නෙත් පින­වන දුටුව
අබි­මා­න­වත් සේ විස්කම් මැව් තුටුව
ගල් වඩු­වාට ඇති සම්පත ගල් කටුව

මව­මින් රූ රටා පන්ගස් ගෙන රුදුරු
ගැමි යුව­ති­යගෙ දෑතින් නිම කළ සොඳුරු
පරි­හ­ර­ණ­යෙන් අත්හළ කල­කදී නුදුරූ
පන්ක­ටුවේ පිහිට මත නිම විය පැදුරූ

පීරා සක­ස­මින් ඔප කොට කියඹු රොද
හව­රිය තබා රුව දෙන අන්ද­මට සොඳ
ලල­නා­වි­යන් හිස රැඳවූ ඇතිව තෙද
හර­නෙල් කටුව ඇත කොණ්ඩයෙ අතර මැද

සුර­කින රිසින් මල් පෙති තැළු­ම­කට නොදී
තුඩ විස සහිත ඇත නටුවේ දිගට හැදී
නව නිප­ැයුම් තනන නෙක අර­මු­ණක යෙදී
වඩුවා බුරුම කටු­වෙන් ලී යසට විදී

ලියවී නැතත් මෙය ඉති­හා­සයේ පිටු
ඒ බව නොතේ­රෙයි අය හට මොළේ පටු
දිය දම අනුව කිසි මෙහෙ­යක් නොවී ඉටු
උල් වී හැදෙයි ආරෙට කටු ගහේ කටු

අප­රැක්කේ සුනිල්
 

මම තොප නොහ­ඳුනමි

ඔබේ හද­වත පුරා තැව­රුණ
සෙනෙ­හසේ මල්සු­වඳ විඳගෙන
දවස් තුන්සිය හැටක් සපි­රෙන
මොහොත වෙයි මට සුවය දන­වන..

අම­ත­කද මා ඔබට දැන්..

සඳ පහන් රෑ යාම­යේදී
සොඳුරු බස් ඔබ දොඩන විටදී..

විළි වැදි ඔබ සිනහ වෙද්දී
පිපුණි හද මල් සුවඳ විහිදී..

අම­ත­කද මා ඔබට දැන්..

සඳ­ව­තිය වත පුබු­වන විට
මුළු ලොවම නිදි­ගත් රැයේ
සිය දහ­ස්වර ඇම­තුවේ මා
ඔබේ තනි­කම මකා­ල­න්නට
අම­තක ද මා ඔබ දැන්..

මට ඔබ මතක නැත
මම තොප නුදු­ටු­වෙමි

පිය­සීලි විජේ­නා­යක
 

ඔබ සිහි කර

ඉර­ගල වැටෙන මොහො­තක දුක්බර විලස
නෙත් දෙක පියා සුදු­මල් පර­වන සවස
සායම් බොඳව ගිය මේකුළු යාය පිස
පව­නක් වෙලා නුඹ ගියෙ ඇයි කියන් මට

උත්තම කුලේ ඉප­දුණු පෙර වතා­වක
අන්තිම සටන තෙක් නොහැරී ගිය දුරක
නෙත් යුග වසා නිඳි­ගත් සීතල බිමක
ඒ පින් මහිම උරු­මයි උප­දින දාක

තෙද­බ­ල­ක­මට නිලැ­ඳුම හුරු සමර සුරූ
පුද­කළ නමට ළය පුද­සුන මත රුහිරූ
මේ ගංදිය සි‍ඳෙන­තුරු දින­යක මහරූ
ඒ ජාති­යෙත් එමි මම දිවි තිබෙන තුරූ

සත්කුළු පව්ව මැද හිම­ගිරි තලා­වක
සත් සමු­දුරු ඉමක නිස­සල දන­ව්වක
විල් ලිහි­ණි­යනි තෙපි ඉගි­ළෙන කොදෙ­ව්වක
සිහි කළ බැව් කියව් හමු වුණු ඇසි­ල්ලක

නන්දි අලුත්ගේ රත්න­වීර
 

අත්වැල බිඳුණු පසු

වියළි පත් තටු අගින් මුදවා
මලය රට සිට හමන සුළ­ඟට හසු වෙලා
සිඳී ගිය දා ගත රැඳුණ දිරි
කෙලෙස තනි­වම සිටියේ ද ගිනි ඉව­සලා

රන් හුයෙන් බැඳි සිනිදු කෝමල
සුරත ගොර­හැඩි වෙලා හද­වත කකි­යනා
සින්න­වුණ රන් මුදුව මතක ද
නුඹේ දෝතට පිපුණා කර­ගැට මල් ගෙනා

කිරි සිඳුණ ළැම පිදුව රතු ලේ
උරා බී දෙද­රු­වන් සැන­සෙනු දැක බලා
සැඟව ගිය හිමි රුව දෙනෙත් අස
ඇඳුණේ ද උණු කඳුළු අත­රින් බොඳ­වෙලා

බී. එම්. විශාකා බමු­ණු­සිංහ
 

හිතු­ව­ක්කා­රියෝ

කුඩා කුඩා දිය දහරා
රැසක් එක්ව
පරි­ණත වන ගංගා
අව­සන
සිය තනි කැමැ­ත්තට
සමු­දුරු වෙත ගොස්
එහි දිය සමඟ මුසු වෙයි

ගංගා වරු­ස­වි­තාන
 

සුවඳ - ගඳ

නගර සබාවේ කහ කළු කබාය ගල­වාලා
දාඩි­ය­ටම කළු ගැහිච්ච තොප්පිය මුද­වාලා
ගේ පිටු­පස පයි­ප්ප­යෙන් වතුර අතක් නාලා
සුවඳ හමන් ගෙට එන කොට මම තේ එක හදලා

උදේ රැයින් මල් කඩලා බුදුන් පුදා යන්නේ
නිදා ඉන්න දරු­ව­න්ගෙත් මුව සිප­ගෙන යන්නේ
ඒ සුව­ඳලු දවස පුරා ඔබ ළඟ දැව­ටෙන්නේ
අප දිවි අර­ණට නුඹ­මයි වන­ස්ප­තිය වන්නේ

කලින් ගෙදර ආපු දාට සේපා­ලික සෙවණේ
ඔබෙ සෙනෙ­හෙන් පොඩි­වු­න්ගෙත් කුස ගින්දර නිවුණේ
නැති බැරි­කම් අඳුර අරන් මඟ රැක­ගෙන උන්නේ
කුණු ලොරි­යයි සඳක් වෙලා අපට එළිය දුන්නේ

ජීවිතවල අතී­ත­යයි ලොරියේ පැට­වෙන්නේ
ඒත් මඟදි දුටු­වම ඇයි මුහුණු හකු­ළු­වන්නේ
කහ­වණු කන්දක නැඟි ලෙස කුණු­ගොඩ මත යන්නේ
නුඹේ සුවඳ පිවි­තුරු බව මං විත­රයි දන්නේ

සුවඳ හමන සහ­තික, නිල තල ලැබ­ගනු රිසිනේ
පොඩි­වුන් දෙන්නා වෙහෙ­සෙනු දැක නිහ­ඬව තැවුණේ
සැබෑ වුණොත් හෙට දින­යක ඒ සුන්දර සිහිනේ
කුණු ලොරි­යෙන් සමු­ග­න්නට බැරි­වද හිමි සඳුනේ

විජ­ය­ලක්ෂ්මී මෙන්ඩිස්
 

කිවි­ඳි­යගෙ සොහොන් බිම

හඬක් නැති ඉස­ව්වක
විසල් තුඟු තුරක් යට
තනි­වෙන්න මේ ලෙසින්
ලියැ­විලා තියෙ­න්නැති

එක පහන් සිළ­ක්වත්
නොදැ­ල්වෙන ගන­ඳු­රක
සඳ එළිය පම­ණක් ම
එදා මෙන් ළඟින් ඇති

සෙනෙහෙ දී මුළු ලොවට
හිස් අතින් නික්ම ගිය
කිවි­ඳි­යගෙ සොහොන මත
කිසි­වක් ම ලියා නැති

ඒත් මතු සස­රක දී
නුඹ නමට පුද දෙන්න
මහා ගැඹු­රක තවත්
ආදරේ තියා ඇති

නදිරා රෝෂිණි නල්ල­පෙ­රුම

(හඳ ඇවිත් හද පාරන කාව්‍ය සංග්‍ර­හ­යෙනි)

නවක මාන­විකා කුරුටු ගීතය

බොහෝ තැන්වල නොමැති පාඩම්
ජීවි­තය ඉල්ලා සිටියි
දුවේ, සර­සවි පුස්ත­කා­ලය
පීරු­වත් ඉන් පල නොවෙයි...

හරිත පැහැ­යෙන් දිලෙන ගහ­කොළ
අතර සැඟවී පිළිල ඇති විට
ශාක මල් ගැන කළත් වන­පොත්
දුවේ, රෝගය හමු­නො­වෙයි...

විදුලි එළි­යට අඳුරු නොවු­ණට
හාත්පස ගන­දුර තිබේ නම්
­වෙ­ළා­ගත් ජීවිතේ අඳු­රට
දුවේ, පල නැහැ විදුලි එළි­යෙන්...

ජීවිතේ සතු සියු­ම්කම් දැක
මොළොක් අතැ­ඟිලි පවා රළු­වෙයි
පත අටට හිඳ කළත් වන­පොත්
කොහිද සාහි­ත්‍ය­යෙන් පිහි­ටක්...

ලියා දෙන්නැති උපා­ධිය මතු
සොයා තර­ණය කරනු හැකි නම්
දුවේ, සර­සවි භූමියේ නැති
බොහෝ පාඩම් මුණ­ගැ­සෙයි ...

මහින්ද කුමාර දළු­පොත
 

එදා අපේ පුංචි කාලෙ

ගොයම් කැපූ ඉප­නැල්ලේ සරුං­ග­ලය උඩ අරින්න
බඩ වැටි ඕවිට අත­රින් රිංගා දං හිඹුටු කන්න
ගංගාවේ ඇළේ දොළේ කිමිදී පීනා නාන්න
අනේ යළිත් මගේ පුංචි කාලය මට අරන් දෙන්න

අම්මගෙ අත අල්ලා­ගෙන කන්දේ පන්ස­ලට යන්න
අප්ප­ච්චිට එකතු වෙලා කුඹුරෙ ලිය­ද්දක් කොටන්න
අක්කට විහි­ළු­වක් කරල උඩ පැන පැන හිනා වෙන්න
අනේ යළිත් මගේ පුංචි කාලය මට අරන් දෙන්න

වක්කඩ දිය වැටෙන හඬට නළි­යන පෙණ කැටි බලන්න
සිල් අර­ගෙන මාළු බාන කොක්කු දිහා බලා ඉන්න
ගල් කැට­යක් වීසි කරල කණ කොකාගෙ සුද දකින්න
අනේ යළිත් මගේ පුංචි කාලය මට අරන් දෙන්න

අප්ප­ච්චිගෙ බයි­සි­ක­ලය කිහිල්ලෙ ගහ­ගෙන පදින්න
වෙට්ටු­දදා ‘රිම්’ රෝදය කෝටු­ව­කින් අරන් යන්න
වැටි වැටි පස්සෙන් පන්නන මල්ලිට ඔච්චම් කරන්න
අනේ යළිත් මගේ පුංචි කාලය මට අරන් දෙන්න

දැලි ගාලා කොළ­ප­ත­කින් වෙස් මූණක් හදා­ගන්න
කැබැල්ල අතු බුරුල්ල අතු ඉණ වටේට එල්ල ගන්න
මහ මේසෙට මහ හයි­යෙන් ගහ ගහ බෙර පද හොයන්න
ආසයි මට එදා වගේ පුංචි තොවි­ල­යක් නටන්න

නාවි සම­ර­වීර
 

කොවුලා ගයයි තව­මත්

අලුත් අවු­රුදු දව­ස්ව­ලදී
කොහෝ ගැයූ ගී විඩා­පත් නුඹ
නො යා නිද­හස් සුවය සොය­මින්
වෙහෙ­සෙනු ද තව තුරු වදුල යට

එදා මා ළඟ සිටි මිතුරු කැල
මෙදා හැ‍රගොස් හුදෙ­කලා විය
ජරා­වය විය­පත් ය සිත­මින
දරු­වන්ට වුව මා එපා විය

නේක දුක් ඇති සසර ගම­නෙහි
වල්මත් ව හස­රක් නො දුටු සඳ
සැඳෑ කල එළැඹී ය නො දැනිම
සිතෙයි දැන් කු­මට දැයි මේ දිවි

ඒත් ආද­ර­ණීය කොවුලෝ
සැඟැව ගයනා නුඹේ ගී නද
සියල් දුක් කම්ක­ටුලු මඟ­හැර
ජීවි­තය සත­පවා ලනු මෙනි

ඇය නො දත් ආද­රය උතුරා
ගලයි නුඹෙ ගීත­යත් සම­ඟින
මිනි­ස්කම ඔසවා තබ­න්නට
පෑන් තුඩ කළ නොෙයක දස්කම්

කෙලෙස නුඹ දන්නෙහි ද කොවුලෝ
ඒ නිසා­වද මිහිරි ගී සර
මගේ විය­පත් දිවිය සර­සන
ඒ නිසා­වද කියන් කොවුලෝ

ජය­සේ­කර මල­වි­ආ­රච්චි
 

කලා විහී­නයෝ

වනසා දමා ඇත්තෙමු අපි
සංස්කෘ­තියේ සතු­රන්
අපට තිබෙයි,
දැන් අපි කරමු ඔවුන්ගේ කාරිය
ඔවු­නට වඩා හොඳින්.

කේ. අයි­යප්පා පනි­කර් K. Ayyappa paniker

පරිවර්තනය - කරුණාතිලක හඳුන්පතිරණ

1930 දී කේර­ලයේ උපන් මල­යා­ලම් කවි­යෙකි. ඔහු විවේ­ච­ක­යෙක්, අධ්‍යා­ප­න­වේ­දි­යෙක්, පරි­ව­ර්ත­ක­යෙක් මෙන් ම මල­යා­ලම් නව කවියේ නිය­මු­වෙකි. කේර­ලයේ කවි සඟ­රා­වක් වූ “කේරල කවිතා” හි සංස්කා­ර­ක­ව­රයා ය. ඉන්දීය කාව්‍ය එක­තු­වක් ඉංග්‍රීසි බසින් සංස්ක­ර­ණය කළ හෙතෙම මධ්‍ය කාලීන ඉන්දීය සාහි­ත්‍යය පිළි­බඳ කෘති­යක් ද ශේක්ස්පි­යර්ගේ කෘතී­න්වල මල­යා­ලම් බසින් සම්පූර්ණ පරි­ව­ර්ත­න­යක් ද සංස්ක­ර­ණය කළේ ය. 1984 දී ඉන්දීය සාහිත්‍ය ඇක­ඩමි සම්මා­නය ලැබූ අතර තවත් දෙස් විදෙස් සම්මාන ගණ­නා­වක් ම ඔහුට හිමි වී තිබේ.

අහිමි අකුරු

එදා විදු­හල් බිම
අප'තින් ගිලිහී
ඉවත විසි වුණ'කුරු
සර­සවි බිමෙන්
පිටමං ව එන
මංපෙත් ඔස්සේ
පවා සොයමි මම
කිසි­වකු පෙන්ව­න්නැති මුත්
කිසි විට ඒ කිසි­වක් මට
කාලයෙ වැලි­කඳු
අවු­ස්ස­මින මම
සිතින් පියා­ඹමි
පොඩි දරු­වකු සේ
ගම්දොර සිප්ලද
විදු­මව හෙව­ණට

කේ. පී. ඩබ්ලිව්. ප්‍රියන්ත ජය­ලත්
 

නිදිකුම්බාවී

නිසරු මහ බොල් පොෙළාව
සෙනෙ­හ­සින් වැල­ඳ­ගෙන
ලෝ­බ­යක් නැතුව ඈ
ලොවට මල් පුදන්නී..

අන් පහස ලද සැණින් එ­යට
එයට අම­නා­ප­යෙන්
විළි බියෙන් මුස­පත්ව
වහ වහා නිදන්නී..

තළන පාගන උන්ට
කිසිදු බිය­කුදු නැතුව
පුංචි කටු­ව­ලින් ඇන
වේදනා දෙවන්නී..

පුංචි නිදි­කු­ම්බාවී,
තැළෙන පෑගෙන අපට
සදා මත­කෙට ගන්න
පාඩ­මක් කියන්නී..

කරු­ණා­රත්න හපු­ආ­රච්චි
 

කවි සංවාද

ආද­රය එදා සහ අද

එස් එම් එස් එකක ලියු­මක ඇති   වෙනස
හඳුනා ගන්න පාදා ගත­ යුතු   නැණැස
කෙටි­යෙන් නොවේ දිගු විස්ත­ර­යක්   පිණිස
පන්හිඳ ගනිමු සනසා ගන්නට   මනස

දින­යත් ලිපි­න­යත් සෙත් පැතු­මත්   ලියලා
කොහො­මද ඉතින් අස­මින් සැප­දුක සොයලා
පිටු දෙක තුනක් පුරවා සෙනෙ­හස   කියලා
ලියනා ලියුම රස­වත් වෙයි හැඩ  තියලා

පෙම් පත මෙන්ම ලිය­නට ඇති වෙනත්   ලිපි
සුන්දර වදන් මුසු­කොට හැඩ කළොත්  අපි
කෙටි පණි­වි­ඩෙන් එස් එම් එස් එකෙන්   කැපී
මුල්තැන ලැබේ ලියු­මට පන්හි­ඳෙන්   පිපී

සිංග්‍රිසි නිසා සිංහල දිව උලුක්   කෙරු
කිය­වන ලියන දෙන්නා­ටම නොවෙයි   හුරු
කෙටි පණි­වුඩ එස් එම් එස් නැතත්   සරු
හද තුළ හැඟුම් ලියු­මක ලියු­වො­තින්  මරු

ගීයක කවක රස නැතු­වට   හඳු­නන්නේ
එෆ් බී ට්විටර් තුරුලේ රැය එළිවන්නේ
පෙම් කළ හිතක් මිස පෙම් පත අගයන්නේ
අහ­සින් වැටුණ මිනි­සුන් නැත එය   දන්නේ

හොරු මෙන් සැඟව ඉන්නා සිතු­විලි   රහසේ
මෙරු මෙන් ඉගිළ යන්නට හැර දුර   අහසේ
තරු මෙන් අකුරු ලිය­මින් පෙම්පත්   සහසේ
උරු­මෙන් ලැබුණ බස සුර­කිනු මැන   ඉහසේ

රත්නා ලංකා අබේ­වි­ක්‍රම

වෙල්එළි පඳුරු බඩ­වැටි වැව්  තාවල්ලේ
කල් යල් බලා හමුවී ගංතොට  වැල්ලේ
අල්ලා­ගෙන අතින් හැඩ බල බල  අල්ලේ
සෙල්ලම් කළ යුගය අව­සා­නයි  කෙල්ලේ

පර­පුර කුලය වංසය කර කර  අගය
බර­පැන, කුඹුරු, වතු­පිටි දෙස බැලු  යුගය
හර­වත් නොවේ එහි පෙම් සුව­යද  හිඟය
තිර ආද­රය අද එස් එම් එස්   ළඟය

හැඩ රුව උග­ත්කම ධන සම්පත  නිලය
වෙබ් අඩ­වි­යෙන් දත හැක හරි  පති­ප­ලය
පෙම්ප­ත­කට වඩා දෙන්නට  කුතු­හ­ලය
මොබ­යිල් ෆෝන් එක­කට අද ඇත  බලය

ආදර හැඟුම් සිත්මල තුළ  ජනි­ත­වන
යාකර කනට කිති කව කව සිරුර  මන
නෑඹුල් වියේ­දිම පෙම් රස උරන  පින
එස් එම් එස් එකය ප්‍රේමයෙ  සුර­බි­දෙන

නැණ මන වෙහෙස කර­වන බණ පොත  වාගේ
දන­වනු බැරිය පෙම්ප­ත­කට  අනු­රාගේ
දෙන­හැටි බලව් මොබ­යිල් එක  සහ­යෝගේ
හණ­මිටි කාර­යි­න්ටය මේ  අබි­යෝගේ

තල්ග­ම්පල ගුණ­සේන

ඉස්සර පෙම් හසුන් පෙම් කවි ජයට   ලියා
පැය විසි­හ­තර ඒ පිළි­බඳ සිහින  වියා
සුන්දර මතක සට­හන් මත දුරට   ගියා
විම­සමු ආද­රය අද කෙලෙ­ස­කද  කියා

යන්තම් ෆේස් බුක් පිටු­වක්  අර­ඹාලා
තුන්තිස් පැයේ සෙල් ෆෝනය අතගාලා
බොරු පින්තූර සහ තොර­තුරු ඇදබාලා
කෙල්ලන් ගත හැකිය ගානට   අඹ­රාලා

අම්මගෙ අප්පගෙ සේස­තම වැය  කොට
දම­මින් රී ලෝඩ් බර ගණන්   දින­කට
කව­දා­වත්ම නොදු­ටුව කෙනෙකු  සිහි­කොට
කෙල්ලන් කොතෙක් රැව­ටෙ­නවා ද  මෙලෙ­සට

ඉන්පසු ස්කයිප් තිර­යෙන් මුණ   ගැසෙති
මුළු රැය පුරා පෙම්බස් දොඩ­මින්   හිඳිති
නිරු­වත් රූප ලැප් ටොප් තිර­මත  මවති
කෙළ­වර ජීවි­තෙන් ඒ වන්දිය   ගෙවති

විටෙ­කදි මිස් කෝල් එන නොම්ම­රය  සොයයි
ඇර­ඹෙන කතා බහ යළි නැව­තු­මට   නොයයි
දුර දිග ගිහින් වැඩ වැරදී හඬන  අයයි
මඟු­ලට කළින් හනි­මුන් යන යුගය  මෙයයි

ඉස්සර පෙම් කතා මිහි­රිය   රස­වත්ය
ඉන් නැළ වුණේ ඇසු දුටු හැම   හද­වත්ය
අද ස්කයිප් එස් එම් එස්   බල­වත්ය
එහෙ­යින් සැබෑ ආද­ර­යද   යට­පත්ය

ශ්‍රියා හිඳු­රං­ගල

සංවා­ද­යට විවෘ­තයි

කවි කල්පනා
සිළු­මිණ කර්තෘ මණ්ඩ­ලය
ලේක්හ­වුස් - කොළඹ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්