දේශීය දැනුම ගැන සුබවාදී දැක්මක්
දේශීය දැනුම ගැන
සුබවාදී දැක්මක්
අවසන් ලිපියේදී අපගේ අවධානය යොමු වුණේ අපේ රටේ පැවති පුරාණ ගල් යුගයේ
සංස්කෘතිය කිසියම් පර්වර්තනයකට ලක් වීම සිදු වූයේ කෙසේද යන්න තේරුම්
ගැනීමටයි. එහිදී එවැනි පරිවර්තනයක් සිදුවීමට මහඟු අවස්ථාවක් උදා කරන
පරිසරයක් ඇති ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය වැදගත් වන්නේ කෙසේද යන කාරණය
තේරුම් ගැනීමටත් වෑයම් කළා ඔබට මතක ඇති. අපේ රටේ පුරාණ කාලයේ පැවති ශිෂ්ටාචාරයේ
විශිෂ්ටත්වය බිහිවන්නේ කෙලෙසකද යන කාරණය ගැන මැනවින් වැටහීමක් ඇති කර
ගැනීමට නම් අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ ජීවත් වූ ගල්යුගයේ මිනිසුන් සිය
සුපුරුදු දඩයම් ජීවිතය අතහැර ඒ වෙනුවට ගස්කොළන්, ගෙඩි, මල්, ඇටවර්ග සහ අල
වර්ග තමන්ගේ ආහාරය ලෙස භාවිතයට ගැනීම පුරුදු පුහුණු වූ අයුරු තේරුම් ගැනීම
අවශ්‍ය යි. එදිනෙදා ජීවිතයේ ආහාර අවශ්‍යතා සඳහා එලෙස ශාකවර්ධ වෙත නැඹුරු වීමෙන්
පසුකලෙක නියමානුකූල ගොවිතැන් වෙත යොමු වීමට ඔවුන්ට ඉන් පෙරහුරුවක් ලැබුණා.
ඕනෑ ම සමාජයක් ගොවිතැන ආරම්භ කිරීම ඒ සමාජය ශිෂ්ටාචාරය වෙත තල්ලු වී යාමට මහා
බලයක් ඇති කළ බව ලෝකයේ වෙනත් රටවල බිහි වූ පුරාණ ශිෂ්ටාචාර දියුණු වූ ආකාරය වෙත
අවධානය යොමු කිරීමෙන් පැහැදිලි කරගත හැකියි.
මේ කාරණය සම්බන්ධයෙන් අප විසින් තවත් බොහෝ තොරතුරු රැස් කළ යුතු ව තිබෙනවා.
අවසන් ලිපියේදී අප වඩාත් විස්තර සහිත ව සාකච්ඡාවට ලක් කළ බළංගොඩ ප්‍රදේශයේ
පනාන සහ ඉලුක්කුඹුරු ගම් දෙක අතර තැනක පිහිටා තිබෙන ලුණුගල්ගේ කැණීම් කිරීමෙන්
සොයා ගන්නා ලද සාක්ෂි පමණක් මීට ප්‍රමාණවත් වන්නේ නැහැ. අවස්ථා කිහිපයකදී
බළංගොඩ ප්‍රදේශයේ හෝ ඒ අවට තැන් කිහිපයක් ඉතා විමසිල්ලෙන් සහ නිශ්චිත
අරමුණක් සහිත ව පරීක්ෂා කොට බැලීමෙන් පෙර කී සංස්කෘතික පරිවර්තනය ගැන තරමක
විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වේ යැයි අප කල්පනා
කරනවා.
සමහර විට කෙනකුට සිතෙන්නට පුළුවන් මේ විස්තර කරන දේ සමස්ත ශ්‍රී ලංකාවට ම
පොදුවේ සිදු වූ පරිවර්තනයක් ද කියා. එය එසේ නොවන්නට ඉඩ තිබෙනවා. ඊට හේතුව
මෙවැනි සංස්කෘතික සහ තාක්ෂණික පරිවර්තන සිදු වන්නේ ඊට සුදුසු පරිසරයක්
තිබීමෙන් පමණයි. විශේෂයෙන් ම එවැනි පරිසර හැඳින්වීමට භාවිත කරන විද්‍යාත්මක
නම වන්නේ භංගුර පරිසර (volatile environments) යන්නයි. භංගුර යන්නෙහි තේරුම බිඳ
වැටීමේ භව්‍යතාවක් ඇති යන්නයි. බුදුදහමේ නියමයට අනුව සෑම දෙයක් ම බිඳ
වැටෙනවා. නමුත් ස්වභාවධර්මයට අයත් ඇතැම් දේ බිඳ වැටීමට හෝ වෙනස් වීමට සැලකිය
යුතු කාලයක් ගත වෙනවා. මේ සඳහා දිය හැකි හොඳ ම උදාහරණයක් වන්නේ දේශගුණයයි.
අපේ ජීවිත කාලය තුළ සැලකිය යුතු තරමින් දේශගුණය වෙනස් වූ ආකාරය අප දැක නැහැ.
අධික සීත කාලයක් පැවතිලා ඊට පසුව උණුසුම් කාලයක් උදා වූ බව අපට පෙනෙන්නට නැහැ.
අපට එවැනි අත්දැකීමක් නොමැත්තේ අප ජීවත් වන අවුරුදු 70-80 වැනි කෙටිකාලයක්
තුළ දේශගුණය වෙනස් නොවන නිසයි. කෙසේ වුවත් දේශගුණය පවා වෙනස් වනවා. මෙතැන බිඳ
වැටීමේ භාව්‍යතාවක් ඇති පරිසර යන්නෙන් අදහස් කරන්නේ කෙටිකාලයක් තුළ ඍතුමය
වශයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ වෙනස්කම්වලට ලක්වන පරිසර පද්ධතීන් බව වටහා ගත
යුතුයි.
මෙසේ සඳහන් කරනවිට කෙනකුට සිතෙන්නට පුළුවන් ඇත්තට ම ඔය කියන බළංගොඩ
ප්‍රදේශය එවැනි ඍතු වශයෙන් වෙනස් වන දේශගුණික ලක්ෂණවලින් සමන්විතද කියලා.
එය එසේ නොවෙයි. ඒ ප්‍රදේශයේ තිබෙන පරිසර තත්ත්වය තනිකර තෙත් සහගත හෝ තනිකර
වියළි සහගත නොවන බව මීට පෙර අවස්ථාවකදීත් මේ ලිපි මාලාවේ සඳහන් කර තිබෙනවා.
ඒ වෙනුවට එහි අද ජීවත් වන වැසියන් පවා අත්දකින්නේ ඒ ස්වරූප දෙකෙන් ම සමන්විත
මිශ්‍ර දේශගුණික තත්ත්වයක්. එය ඉතා ම සංකීර්ණ ලෙස ආදි කාලයේ සිට ම
මනුෂ්‍යයන්ගේ ජීවිතය වෙත බලපෑවා.
භංගුර පරිසර තත්වයක ජීවත් වීමේදී කෙනකුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම
අභියෝගය නම් වෙනස්වන පරිසර තත්ත්වවලට සාපේක්ෂක ව තමන්ගේ ජීවන පැවැත්ම හැඩ
ගස්වා ගැනීමට සිදු වීමයි. මෙහිදී විශේෂ වශයෙන් මෙය පිළිබිඹු වන්නේ යැපීම් ක්‍රම
හැඩ ගස්වා ගැනීමේදී යි. තමන්ගේ ආහාර සපයා ගැනීමට නම් අවුරුද්දේ ඒ ඒ කාලවල ඇද
වැටෙන වර්ෂාවේ ඝනකම අනුව වැවෙන ගස්කොළන් සමඟ ගනුදෙනු කිරීමට එවැනි පරිසරයක
ජීවත් වන මිනිසුන්ට සිදුවීම අනිවාර්යයි. එපමණක් නොවෙයි. සමහර විට ඒ ඒ කාලවල
සීඝ්‍රයෙන් බෝ වන සතුන් දඩයම් කිරීමටත් ඔවුන් පෙලැඹී තිබෙනවා. නමුත් ගස්කොළන්
මත යැපීම ප්‍රධානත්වයට පැමිණීම මෙහිදී කැපී පෙනෙනවා.
කෙටි කාලයක් තුළ වෙනස්කම්වලට ලක්වන ප්‍රාදේශීය හෝ කලාපීය මට්ටමේ දේශගුණයට
හැඩ ගැසීමට ආදි මිනිසුන් විසින් දරන ලද උත්සාහය නිසා සංස්කෘතික පරිවර්තනය
ඉක්මන් වුණා. මෙසේ වෙනස්කම්වලට මුහුණ දීමේදී නොයෙකුත් දේ අලුතින් හඳුන්වා දීමට
ඔවුන්ට සිදු වුණා. මේ අතරින් ප්‍රධානතම දේ හැටියට සැලැකෙන්නේ නව ආහාර වර්ග
සොයා ගැනීම හෝ තේරුම් ගැනීමයි. තමන් හෝ තමන්ගේ පරම්පරාවල කිසිවකු විසින් එතෙක්
කාලයකට අත්දැකීමක් කර නොගත් ගෙඩි වර්ගයක හෝ කොළ වර්ගයක, එසේත් නොමැති නම් අල
වර්ගයක ආහාරමය ගුණ අගුණ වටහා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් යම් තරමක
පරීක්ෂණයක් කළ යුතු ව තිබෙනවා. පරීක්ෂණ කී විට අපට නිතැතින් ම
සිහිගැන්වෙන්නේ වර්තමාන පර්යේෂණාගාරවල කරන විද්‍යාත්මක පර්යේෂණ ගැනයි. ඒ
කාලයේ අපේ මුතුන්මිත්තන් එවැනි පර්යේෂණ නොකළත්, සිය අත්දැකීම මඟින් නිසි දැනුම
ලබා ගෙන තිබෙනවා. මේ සඳහා පරම්පරා කිහිපයකට අයිති අය දිගින් දිගට ම අත්දැකීම්
ලබන්නට ඇති.
සමහර විට කුරුල්ලන් සහ වෙනත් සතුන් ආහාරයට ගන්නා දේ දෙස කාලයක්
තිස්සේ බලා සිටීමෙන් මේ දැනුම ලබා ගන්නට ඇති. ඒ කාලයේ සිටි සෑමදෙනා ම මෙවැනි
කටයුතුවල නොයෙදුණත්, සමහරවිට කිහිපදෙනෙක් හෝ එවැනි නවදැනුමක්
උත්පාදනය කිරීමට වෑයම් කළ බව නම් සහතික කොට කිව හැකියි. අප හඳුන්වන නව්‍ය
ජනනාත්මක දැනුම (innovative knowledge) යන්නෙන් අදහස් කරන්නෙත් මේ දේ බව අප
විසින් දැන ගත යුතුයි. මෑතකදී කැණීමට ලක්කළ ඉලුක්කුඹුර ගල්ගුහාවෙන් මිනිසුන්
විසින් ආහාරයට ගන්නා ලද ඇටවර්ග 20කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට
පුරාවිද්‍යාඥයන් සමත් වුණා. එපමණ පුළුල් පරාසයකට අයත් ඇට වර්ග ප්‍රමාණයක්
පරිසරයෙන් ලබා ගෙන ඒවා සිය ආහාරය සඳහා භාවිත කිරීමට සමත්වීම මඟින් පෙන්නුම්
කරන්නේ සිය ප්‍රයෝජනය පිණිස තමන්ගේ අවට පරිසරය යෝග්‍ය ලෙස භාවිත කිරීමේ දැනුම
ඔවුන් තුළ පැවැති බවයි. ගවේෂණාත්මක අරමුණක් සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ
මනා කළමනාකරණයක් මුල්කර ගත් සංවිධානාත්මක වැඩපිළිවෙළක් තිබීම ඊට
අවශ්‍යයි. එය ඉතාම පුරාණ කාලයක සිට අපේ දේශීය ජනතාව අතර දියුණු වූ ආකාරය
පිළිබඳ දැනුමක් අප අතර ගොඩ නැඟෙමින් තිබෙනවා. ඒ නිසා දේශීය දැනුම පිළිබඳ
සුබවාදී ව සිතීමට දැන් කරුණු පෙළ ගැසෙමින් තිබෙන බව දැන ගැනීම මේ රටට ආදරය කරන
ඔබටත් සුබදායක ආරංචිය විය හැකියි.
මහාචාර්ය
රාජ් සෝමදේව
|