මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

ධර්මිෂ්ඨ සමාජය මෛත්‍රී යුගයට පිවිසුණා

ධර්මිෂ්ඨ සමාජය මෛත්‍රී යුගයට පිවිසුණා

රාජා උස්වැටකෙයියාව

'ජනාධිපති ක්‍රමයේ ඓතිහාසික මූලයන් පිළිබඳ සටහනක් - ධර්මිෂ්ඨ සමාජයෙන් මෛත්‍රී පාලනයට' නමින් ග්‍රන්ථයක් එළි දක්වා මෙරට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ පූර්ණ සටහනක් තැබීමට රාජා උස්වැටකෙයියාව මහතා පසුගියදා කටයුතු කළේය. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් පළාත් පාලන මන්ත්‍රීධුර කීපවරක් දැරූ ඔහු මෙවර එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරයි. යථෝක්ත ග්‍රන්ථය දොරට වැඩීම සහ මේ දේශපාලන හැරැවුම පිළිබඳ අපි ඔහුගෙන් අසමු.

මෙවැනි පොතක් ‍එළිදක්වන්න ඔබ සිතුවේ ඇයි?

මේ රටේ පළමුවැනි ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදාත්, අවසාන ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 වැනිදාත් පැවැත්වුණා. ඒ සියල්ල පිළිබඳ පූර්විකාවක් සමඟ දේශපාලනඥයන් ලබාගත් සියලු ඡන්ද ප්‍රතිශත හා ඒ ඒ යුගවල පැවැති සමාජ, දේශපාලන හා ආර්ථික කාරණා, යමකුට අධ්‍යයනය කළ හැකි අයුරින් අන්තර්ගත කිරීමයි අරමුණ වුණේ.

රාජා උස්වැටකෙයියාව මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොත පිළිගන්වන අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩරනායක කුමාරණතුංග මහත්මියද සහභාගී වූවාය.

ජනාධිපතිවරණ පිළිබඳ පමණද?

නෑ. ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස 1505දී ලංකාවට ආවේ ආක්‍රමණයකට නොවේ, දැඩි මුහුදු රළට නෞකාව පාලනය කරගන්න බැරුවයි. පස්සේ ලන්දේසි සමයත්, 1815 ඉංගීසීන් උඩරට ගිවිසුම මඟින් රටම යටත් කිරීම දක්වාමත් විස්තරයක් මෙහි අඩංගු වෙනවා. පෘතුගීසි කාලේ සි‍ට පාලනය කළ ආණ්ඩුකාරවරු නම් සහිතව, 1796 ඇරැඹී 1832 දක්වා වුණු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ, 1833 පටන්ගත් කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණ මඟින් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මෙන්ම උඩරට පහතරට එකට එක් කර පළාත් 15ට තිබුණු පාලනය පළාත් 5කට කැටි කොට මධ්‍යගත පාලනයක් ඇති කරමින් ඒකීය රාජ්‍යයක් බවට පළමුවැනි වරට රට ඇත්තෙන්ම පත්වන්නේ ඉන් පසුව බවත් මෙහි දැක්වෙනවා.

ඇයි රජවරු රට එක්සේසත් කළේ නැද්ද?

රජවරු රට එක්සේසත් කළ අවස්ථා වරින් වර දක්නට ලැබුණත් රටම එක කොඩියක් යට ඉන්නේ ඉන් පසුවයි. ඊට පෙර රුහුණු, මායා, පිහිටි වගේ ප්‍රාන්ත බෙදී, ආර්යචක්‍රවර්තීන් වැනි අය යාපනය වෙනම පාලනය කළ නිසා ඒකීය බවක් දකින්න ලැබී නෑ.

සර්වජන ඡන්දබලය ආදියත් පොතට ඇතුළත්ද?

ඔව්. 1927 පැමිණි ඩොනමෝර් සාමි ඇතුළු 4 දෙනකුගෙන් සැදුණු කොමිසමේ නිර්දේශ අනුව 1931 මහජන ඡන්දෙන් බලයට පත් වන රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවද්දී එවකට එංගලන්තයේ කාන්තාවන්ටත් ඡන්ද අයිතිය තිබුණේ නෑ. මේ ඡන්දය යාපනේ දෙමළ තරුණ සංගමය වර්ජනය කළත්, පසුව පැවැති අතුරු මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වුණා. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවට දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි අය පත් වුණා. දෙවැනි ලෝක යුද්ධය නිසා මැතිවරණය කල් ගියත්, 1947 දක්වාම ඒ මන්ත්‍රණ සභාව පැවැතුණා. නවසිය හතළිස්හයේ බ්‍රිතාන්‍යය විසින් නිකුත් කරන ලද රාජාඥාවක් මඟින් නිදහස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිළිගෙන, '48 පෙබරවාරි 4 වැනිදා අපට නිදහස ලැබුණා.

ඒත් එය සම්පූර්ණ නිදහසක් නොවේ කියලා බොහෝ දෙනා කියනවා?

රාජාඥාවකින් නිසා සම්පූර්ණ නෑ. ඒත් එදා ඉඳන් 1972 දක්වා ලැබූ නිදහස භුක්ති වින්දා. ඒත් නිදහසින් පසු පුරවැසි පනත් දෙකෙන් වතුකරයට සම්බන්ධ - විශේෂයෙන් ඉන්දීය සම්භවය ඇති - දෙමළ ජනතාවට පුරවැසි බව ඔප්පු කරන්න බැරි වුණ නිසා දෙමළ දේශපාලනඥයන් ෆෙඩරල් පක්ෂය හදාගෙන අලුත් ආණ්ඩු ක්‍රමයක් වගේම උතුරත් නැ‍ඟෙනහිරත් දෙමළ කතා කරන අයගේ නිජභූමිය ලෙස හඳුන්වන්න පටන් ගත්තා.

ඊට පෙර මෙවැනි කතාවක් තිබුණෙ නැද්ද?

1929දී ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා මෝනිං ලීඩර් පුවත්පතට කියා තිබුණා ලංකාවට ගැළපෙන්නේ ෆෙඩරල් ඒ කියන්නේ සන්ධීය ආණ්ඩු කමයක් කියලා.

1972 නිදහස වෙනස් වුණා නේද?

ඔව්, සමගි පෙරමුණු ආණ්ඩුවේ ව්‍යවස්ථාවට කොල්වින් ආර්. ද සිල්වා මහත්මයා ව්‍යවස්ථාදායක සභාවක් මඟින් ගෙනා සංශෝධනයෙන් රැජනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරයාගේ බලතල අහෝසි වී, ශ්‍රී ලංකාවේ පළමුවරට ජනාධිපති ක්‍රමයක් බිහි වුණා. ඒ ජනාධිපති තමයි විධායක, සන්නද්ධ සේවා වගේම යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමත්, ජාතික රාජ්‍ය සභාව කැඳවීම හා වාර අවසන් කිරීම, විසිරවීම වැනි බලතල දැරුවේ. අගමැති හා ඇමැතිවරුන් පත් කළේ ඔහු වුණත් එවැනි ඔහුට අයත්යැයි සඳහන් කාර්ය 22ක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය තිබිය යුතුයි. එනිසා නාමිකයි.

එය ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් වෙනස් වුණා?

ඔව්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් වෙනස් වෙලා ස්ථාවර පාලන ව්‍යූහයක් සමඟ ඇති වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අදටත් පවතිනවා. එවකට පැවැති වෙස්ට් මිනිස්ටර් ක්‍රමයෙන් මිදිලා විවෘත ආර්ථිකය හා සංව‍ර්ධනයට ජයවර්ධන මහත්මයාට බලපෑවේ එවකට ඇමෙරිකාවේ සිටි රොනල්ඩ් රේගන් හා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිය ඍජුව වැලඳගැනීමයි. '78න් පසුව විධායක ජනාධිපති ඍජු තීරණ ගත්තා. 5/6ක බලය පාර්ලිමේන්තුවේ තිබුණු නිසා එය ජනතා පරමාධිපත්‍යය ලෙස හැඳින්වීමටත් ධුර කාලය අවුරුදු 6 දක්වාත් දිගු වුණා. ජේ.ආර්. කළෙත් තමන්ට වාසිදායක අවස්ථාවක් වුණු 1982දී, නියමිත ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමයි.‍

එවිට පසුගිය කාලේ වගෙ විවේචන ආවේ නැද්ද?

දැඩිව ආවා. ඒකාධිපති පාලනයක් කියා විශේෂයෙන් වමේ නායකයන් දැවැන්ත විරෝධතාවක් හයිඩ් පිටි‍යේ කළේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව සම්මත කරගනිද්දී. වම පාර්ලිමේන්තුව වර්ජනය කළා. අමිර්තලිංගම්ලා හිටියා. ශ්‍රීලනිපය විවාදය වර්ජනය කරලා සිරිමාවෝ මැතිනිය විශේෂ ප්‍රකාශයක් කළා‍, 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක මිලිටරි ආඥාදායක ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දී පසෙකට වී බලා සිට නොමැත‍. එවන් ක්‍රියාවකට අනාගතයේදීද ඉඩ නොදෙනු ඇත. අපට මේ රටේ ජනතා බලය කෙරෙහි විශ්වාසයක් තැබිය හැකිය. කිසිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට ඒ බලයට එරෙහිව ක්‍රියා කළ නොහැකිය. කෙසේ වෙතත් මෙවැනි බිය වැද්දීම්වලින් ශ්‍රීලනිපය නම් මෙල්ල කිරීමට නොහැකි බව අවධාරණයෙන් හා පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි' කියලා.

එය යථාර්ථයක් වුණාද?

ජේආර්ගේ සිට චන්ද්‍රිකා පාලනය දක්වා නම් ඒ මතය තහවුරු වුණා. ඒත් අවාසනාවකට විධායක ක්‍රමයෙන් උපන් ඒකාධිපති වියරුවට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට එකතු වන්න සිදු වුණේ 2005 සිට 2015 දක්වා ඒකාධිපති බලතල පෙන්වා, තවදුරටත් ජනපතිකමේ රැ‍ඳෙන්න 18 සංශෝධනය ගෙනා මහින්ද රාජපක්ෂට එරෙහිවයි. ඒ වෙද්දී එජාපය ස්වයං විවේචනයක යෙදෙමින් විධායක ජනාධිපති ක්‍රමය මේ ර‍ටට නොගැළැපෙන බව පක්ෂ සම්මේලනයේදී පිළිගනිමින් එයට විරුද්ධව අනෙක් බලවේග පෙළගැස්වූවා. එය දෛවයේ සරදමක්.

එහෙත් වමේ පක්ෂත් එයට අත ඉස්සුවා‍?

ව‍මේ පක්ෂ 18ට එකඟවීම වැරැදියි. අපි පක්ෂය තුළ ඒ ගැන අරගල කළා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කරන්න 8 වැනිදා මුලපිරුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

එහෙත් එය තවම සම්පූර්ණ වුණේ නෑ?

යම් යම් නෛතික ගැටලු නිසා විධායකයේ පූර්ණ බලතල අහෝසි කරගන්න බැරි වුණා තමයි. ඒත් 19 සංශෝධනය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න මඟක් පාදා දුන්නා. ඒත් එයට පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් නැති අයුරින් විපක්ෂයේ සංශෝධන 111ක් සහ ආණ්ඩු පක්ෂ සංශෝධන 63ක් කළා. සමහර ප්‍රගතිශීලී යෝජනා කප්පාදු වුණා. ඒත් මෛත්‍රී යුගය එයට මුලපිරුවා.

ඒ නිසාද ඔබ පොතටත් 'ධර්මිෂ්ඨ සමාජයෙන් මෛත්‍රී යුගයට' කියා නම තැබුවේ?

1977දී ජේ.ආර්. ජයවර්ධන කීවේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරනවා කියලා. පසුගිය 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ සම්පූර්ණ පාලනය අතට ගත්තේ මෛත්‍රී පාලනයක් ඇති කිරීමට. ඔහුගේ ඉදිරි පස් අවුරුදු වැඩපිළිවෙළේත් එය සඳහන් වෙනවා. දැන් අප පා තබා තිබෙන්නේ මෛත්‍රී යුගයට නිසායි එසේ නම් කළේ.

ඔබට තිබුණා වම හැටියට එජාපයට නො‍ගොස් වෙන ක්‍රමයක් අනුගමනය කරන්න?

වමේ ව්‍යාපාරය ශ්‍රීලනිපයේ යම් ප්‍රගතිශීලී හැඩයක් දැක්කත්, මේ දෙකම ධනපති පක්ෂ ලෙසයි හැඳින්වුණේ. පැරැණි මිනුම්දණ්ඩේ හැටියට එජාපය කොම්ප්‍රදෝරු සහ ශ්‍රීලනිපය ජාතික ධනේශ්වර කීවා. ඒත් දැන් ඒ දෙකේ ලොකු වෙනසක් නැති වෙලා. නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී මුහුණුවර මහින්දගෙන් පසු වෙනස් වුණා. අයුතු ලෙස මුදල් උපයමින් ප්‍රජාතන්්ත්‍රවාදී ගුණ අඩු වුණා. ඒ අතර එජාපය ආර්ථික, දේශපාලනික වෙනස්කම් ඇති කරගනිමින් ප්‍රජාතාන්ත්‍රික ගුණ වැඩි කරගත්තා. අනෙක මෙය සමාජවාදය සඳහා යන ගමනක් නොවන නිසා එජාපයට එක් වීම වරදක් සේ දකින්නේ නෑ. අනෙක, උතුරේ යුද්ධයෙන් පසු ජාතිවාදී ව්‍යාපාරයක් කරමින් ගිය රාජපක්ෂ රෙජීමයේ අයහපත් පාලනය සමඟ වමේ අපට ඉදිරියට යන්න බෑ.

ඒත් පිරිසක් ඔහු නැවත එනවාට කැමතියි?

එය හාස්‍යජනක කාරණයක්. දෙවරක් ජනාධිපති වෙලා ජනතාව ප්‍රතික්ෂේප කර පරාජය වුණු කෙනෙක් මේ රටේ කවදාවත් ආයේ ඡන්දේ ඉල්ලලා නෑ. ශ්‍රීලනිපයේ දෙවැනි පෙළට නායකත්වය බාර දිය යුතුයි. ජේආර් බරපතළ ගැටලු මැද්දේ ප්‍රේමදාසට නාමයෝජනා දෙමින් ආදර්ශයක් පෙන්වුවා. පැරැදුණු කෙනෙක් යළි අගමැතිකමට ඉල්ලනව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හොඳ දෙයක් නෙවෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්