මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

පක්ෂ අනුව වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි

පක්ෂ අනුව වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි

- අතුරලියේ රතන හිමි

මේ දිනවල ඔබ වහන්සේ තරමක් නිශ්ශබ්දයි?

මම නිශ්ශබ්ද නෑ. හැබැයි, මාධ්‍යවල වාද විවාද ආදියට ගියේ නෑ. ඒත් ජාතික මට්ටමේ ප්‍රධාන රැස්වීම්වලට ගියා.‍ මොරවක, පැල්මඩුල්ල, කොළොන්න, මීරිගම, යටියන වගේ ප්‍රදේශවල.

මාධ්‍යවලට නොවැඩියේ?

ප්‍රධාන වශයෙන් මම හිතුවේ අවශ්‍ය විට පමණක් පෙනී සිටිනවා කියලා. මාධ්‍යවලින් ආරාධනාවක් කළ විට මම මගේ අදහස් පළකරනවා.

පසුගිය රජය සමයේ මාධ්‍ය පිළිබඳ විවේචනයක් තිබුණා. අද දවසේ මාධ්‍යවල තත්ත්වය ගැන මොකද හිතන්නේ?

ඒක තමයි අපි කළ වෙනස. එය දැන් දකින්න පුළුවන්. දැන් රජයේ මාධ්‍යවලට තර්ජන නෑ. හැමෝම මධ්‍යස්ථ මාධ්‍ය කලාවක යෙදෙනවා.‍ දියුණු රටක ලක්ෂණ පහළ වෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕන.

18 වැනිදා ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

අපි විශ්වාස කරනවා මේ වර එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරයි, වැඩි ආසන ගණනක් ගන්න පුළුවන් වෙයි කියලා.

ආසන සංඛ්‍යාව ගැන යම් තක්සේරුවක් තිබෙනවාද?

නෑ. මට ජනතාවගේ විඥානය ගැන එහෙම අනාවැකි කියන්න බෑ.

මාදුළුවාවේ සෝභිත හිමියන් කී පරිදි තැටිය රත් වුණු වෙලාවේ සිතූ ලෙස රොටිය පුච්චාගන්නට පුළුවන් වුණාද?‍

එක එක්කෙනාගේ අදහස් ගොඩක් තිබෙනවා. ඒත් අපගේ ප්‍රධාන අරමුණ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියට ගේන්න ඕන. විගණන පනත ගේන්න ඕන. ඒ සියල්ලටත් වඩා වැදගත් ජාතික සැලසුම් කොමිසම ගේන්න ඕන. එය අප එක්සත් ජාතික පෙරමුණත් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ අපි මේ ගැන ඉතා පැහැදිලිව සටහන් කර තිබෙනවා. එය ඉක්මනින්ම ක්‍රියාවට නඟන්න ඕන. නැත්නම් මේ රටේ ඉඩම්, පරිසරය අත්තනෝමතිකව විනාශ කරනවා, ජාතික සැලසුමකින් තොරව. ඒ නිසා බලශක්තියට, ගොවිතැනට, කාර්මිකකරණයට සුදුසු ප්‍රතිපත්තිය කුමක්ද කියලා රටේ පිළිගත් ප්‍රාමාණික උගතුන්ගෙගන් සැදුම් ලත් විද්වත් මණ්ඩලයක් මඟින් නිර්දේශ අරගෙන ඒවා අමාත්‍යාංශවලට ලබා දී ඒ මත අපේ ඉදිරි සංවර්ධන උපාය මාර්ග සැලසුම් වෙන්න ඕන කියන එකයි ඉන් අදහස් වෙන්නේ.

මෙය 1950 සිට වගේ ඉන්දියාවේ ක්‍රියාත්මක වුණේ. ඉතා සාර්ථක වැඩපිළිවෙළක්. මොකද ආණ්ඩුව වෙනස් වුණාට ඒ කොමිසම වෙනස් වෙන්නේ නෑ. පක්ෂ මාරු වුණු පළියට රටේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නෑ. දේශපාලනඥයන්ට, තනි පුද්ගලයන්ට අවශ්‍ය විදිහට රටේ ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන්න බෑ. රටට ඔබින ජාතික ප්‍රත්පත්තියක් ඉන් හැදෙනවා.

1994 පොදු හතුරා කියු රනිල් වික්‍රමසිංහ හා 2005 ඔබ වහන්සේලා එක්ව පරාජය කළ චන්ද්‍රිකා

කුමාරණතුංග දෙපළ සමඟ එක්ව ක්‍රියා කරන්නේ කොහොමද?‍

අපේ මතවාදයට විරුද්ධ අය එදත් සන්ධානයේත් හිටියා. ඩීව් ගුණසේකර, වාසුදේව නානායක්කාර හැම දාම කීවේ යුද්දෙ කරන්න එපා කියලානේ. අපි ඒ අය එක්කත් වැඩ කරලා තිබෙනවා. විවිධ ස්ථාවරයන් දරන අය ඉඳීම පෙරමුණක ලකෂණයක්. ඒත් අපි බලන්න ඕනේ රට පැත්තෙන් හරි දේ මොකක්ද කියලා. ඒ මතය තමයි ඉදිරියට යන්නේ. අපි ජනතාවගේ තීන්දුවත් සමඟ ඉන්නේ. එහිදී එතන ඉන්න පුද්ගලයන් කණ්ඩායම් කවුද කියන එක අපට වැදගත් නෑ.

ඩයස්පෝරා සන්දර්ශනයක් පවත්වන්න ඉඩ දෙනවාය කියන අය හිටියත් කමක් නැද්ද?

රටක ත්‍රස්තවාදය පරාජය කිරීම ජාතික අවශ්‍යතාවක්. ඒ පිළිබඳ යම් කිසි ගැටලුවක් තිබෙනවා‍ නම් රට අභ්‍යන්තරයේ තමයි අපි එය විසඳන්න ඕන. මානව හිමිකම් නමින් රට අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න කිසිම විදේශ රටකට අයිතියක් නෑ. එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් අපි එයට විරුද්ධව පෙනී සිටිනවා.

ඔබ වහන්සේලා ඇයි එජාපයම තෝරාගත්තේ. ජවිපෙ හෝ වෙනත් බලවේගයකට එකතු නොවී?

අපි ජාතික හෙළ උරුමය ලෙස මුලින්ම උත්සාහ කළේ ජවිපෙ සමඟ එකතු වෙන්න. ඒ ගැන සාකච්ඡාවකුත් කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනූ ගමන්ම එවැනි තුන්වැනි පෙරමුණක් හදන්න මම පෞද්ගලිකවම ඉදිරිපත් වුණා. ජවිපෙ එයට අකමැතියි කියලා දැනුණාම සරත් ෆොන්සේකා මහත්මයත් එක්ක කතා කළා. ඊට පස්සේ අපිට තිබුණේ තුන්කොන් සටනක්. ජවිපෙ, සරත් ෆොන්සේකා, සහ අපි කියන තුන් ගොල්ලම ඉල්ලද්දි ශ්‍රී ලංකා යූඑන්පීවලට අයිති ඡන්ද නොවන, පාවෙන ඡන්ද සඳහා තුන් කොන් සටනකට ගියාම ඒකමිතික බව නැති වෙනවා. අඩු ගානේ සරත් ෆොන්සේකා මහත්මයාවත් එකතු වුණානම් අපි සිතාගෙන හිටියේ මැද බලවේගයක් ලෙස ඉල්ලන්න. නමුත් ඔවුන් ස්වාධීකව යන්න තීරණය කළා.

ඔබ වහන්සේ ඡන්දය නොඉල්ලා ජාතික ලැයිස්තුවට එක්වුණේ ඇයි?

මේ රටේ විශාල භූමිකාවක් මම කළා‍. ආයේ මම ගිහින් ඡන්දය ඉල්ලන්න ඕන නෑ. ඕනම පක්ෂයකින් මට ඒ වෙනුවෙන් ගරු කිරීමක් කරන්න ඕන. අනෙක මම කොහොමත් මේ මනාප ක්‍රමයට කැමති නෑ. මම කල්පනා කළා ඒ පොරයට එකතු නොවෙන්න.

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අවසාන හරියට ඔබ වහන්සේ ඇතුළත් කිරීමෙන් කලකිරීමට පත්වෙලා කියලා මාධ්‍යවල වාර්තා වුණා.?

ඒක අමූලික අසත්‍යයක්. මම කිසිම කලකිරීමකට පත් වෙලා නෑ. මට මන්ත්‍රීධූරය ලැබෙනවාද, ජාතික ලැයිස්තුවෙන් ලැබෙයිද නැද්ද කියන එක මට වැදගත් නෑ. මොකද එයට මාව ඇතුළත් කළේ මම බල කරලා නෙවෙයි. මම ඉතාම දැඩි අධිෂ්ඨානයක ඉන්නවා. ඔය කතාව මාධ්‍ය සදාචාරය පිළිබඳත් ප්‍රශ්නයක්.

මෙතෙක් ඔබ වහන්සේ ගත් දේශපාලන තීන්දු තීරණ පිළිබඳව නිරාමිස සතුටක් ලබන්න පුළුවන්ද?

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා කියලා මම සතුටු වෙනවා.

දේශපාලනය අයිති වන්නේ සම්මුති සත්‍යයට?

ඔව්. කොහොමත් එය පරමත්ත සත්‍ය වන්න බෑනේ.

බෞද්ධ දර්ශනයේ පිහිටමින් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය බව පිළිගනිමින් පවා රට යන මේ ගමනට ඔබවහන්සේ එකඟද?

හැම දේම අනිත්‍යයි. එහෙමය කියලා ලෝක ධර්මතාව මිනිස්සු අතහරින්නේ නෑනේ. ලෝකේ අනිත්‍යයි කියලා දරුමල්ලන් නොහදා ඉන්නේ නෑනේ. හෙට මැරෙනවා කියලා අද නොකා ඉන්නේ නෑනෙ. ලෝකයාගේ යහපත වෙනුවෙන් අප විසින් කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. අනිත්‍යතා ධර්මය අපි පෙන්වා දෙන්නේ මිනිස්සු පරාර්ථයට හරවන්න. මැරෙනවා කියලා කාටහරි කීවාම ඒ කෙනාගේ ආත්මාර්ථය අඩු වෙනවා. මිනිසුන් යහපතට ගේන්න එය හොඳ සංකල්පයක්. අපේ පරමාර්ථය වන්නේ ලෝකයේ සාපේක්ෂව හොඳම දේ ලෝකයා වෙනුවෙන් කිරීම.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් මේ රටේ යහපත් සමාජයක් බිහි කරන්න පුළුවන් වාතාවරණය ගොඩනැ‍ඟෙයිද?

මම හිතන්නේ අපි ඉක්මනින්ම රටේ ජනතාවගේ ආහාරපාන, සෞඛ්‍යය, ගමනාගමනය, අධ්‍යාපනය වැනි මූලික ප්‍රශ්න විසඳගන්න ඕන. ඒ සඳහා ලෝකේ ප්‍රවණතා සැලකිල්ලට ගන්න ඕන. පරණ සංවර්ධනය ආපසු කරන්න බෑ. අපේ සම්පත්, ගහකොළ වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්න ඕන. ඉන් පසුවයි දෙවැනි දේවල් හිතන්න ඕන. නිදසුනක් හැටියට රටේ ආහාර සුරක්ෂිතතාව සියයට සියයක් ඇති කරගන්න අපට පුළුවන්. ඒත් අවාසනාවකට අද අපි බිලියන 500ක විතර ආහාර පිටින් ගේනවා. අපේ රටේ දේශීය සම්පත්වලට ප්‍රමුඛතාව දෙන ආකාරයේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕන. අපේ රටේ ගහකොළවලින් පවා අපි ප්‍රයෝජනයට අරන් තිබෙන්නේ සියයට 35ක විතර ප්‍රමාණයක්. එකතු කළ අගය නැතිවයි අපි බොහෝ අමුද්‍රව්‍ය විකුණන්නේ.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ මේ කටයුතු කරන්න පුළුවන් වෙයිද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වුණත් නව ප්‍රවණතා හඳුනාගෙන තිබෙනවා. එයින් ලෝකේ රටවල් විකල්පයක් කරා ගෙන යන්න පහසු වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයාට එය තේරුම්ගන්න පුළුවන් බව සාකච්ඡාවලදී මට තහවුරු වුණා. මම අනෙක් පාලකයන් සමඟත් මෙය කතා කර තිබෙනවා. ඔවුන්ට‍ ‍මේ කියන දේ තේරෙන්නේවත් නෑ.

අපි ප්‍රතිපත්තිවල ඉතා පැහැදිලිව තිබෙනවා වසවිසෙන් තොර ගොවිතැනට, පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදවලට මුල් තැන දෙමින් අපේ ගහකොළ රැකෙන ආකාරයට අපි කටයුතු කරන්න ඕන බව. මෙයින් කියන්නේ නෑ අපි කාර්මීකරණයෙන් තොරයි කියලා. කාර්මිකකරණය අපි ගන්න ඕන අපේ ඒ කොන්දේසිවලට යටත්ව.

ලෝකේ ඉදිරියට යන්න පුළුවන් වන්නේ පරිසර හිතකාමීව හිතන අයට විතරයි. ඒ සඳහා ලොකු වටිනාකමක් අපට තිබෙනවා කාබන් වායුව වෙන රටවලට වඩා ඉතා අඩු මට්ටමකින් පිට කිරීම නිසා. එය අපට ප්‍රවර්ධනය කරන්න පුළුවන් ආර්ථික වශයෙන් වටින දෙයක්. ඒ වගේම කාබන් ණය දෙන ආර්ථිකයකට අපි යන්න ඕන.

ජනතාව මෙය තේරුම් ගනීද?

යුරෝපයේ, ජපානයේ මේ ගැන තිබෙන සාකච්ඡාව අපේ රටේ නෑ. ඉදිරියේදී මේ පිළිබඳ දැනුම්වත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ගමන අපි කොහොම හරි යන්නම ඕන. ලෝකයත් ධනවාදීද සමාජවාදීද කියලා නෙවේ, මේ විකල්පවලට යන්න වෙනවා. පොහොසත් රටවලට රිවස් ගහන්න බෑ. ඒත් අපේ වගේ රටවලට පුළුවන්.

ආපසු කරත්ත යුගයට යනවා කියා සමහරු ඔය ගැන කීවා?

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් කියලා තියෙනවා සෙනසුරාදා ඉරිදා පාපැදිවලින් යන්න කියලා. ජර්මනිය, ඉතාලිය කරන වැඩක් ඒක‍. ජනතාව මෙයට කොහොම හරි හුරුකරන්න වෙනවා. මෙය ආස්වාදජනකයි. ලොකු බෙන්ස් කාරයකින් කිලෝමීටර හතරක් පහක් යන්න පැයක් විතර ට්රැෆික් ‍එකේ ඉඳීමෙන් ඇතිවන ආතතිය මේ ක්‍රමයෙන් අඩු වෙනවා. ව්‍යායාමයක් වෙනවා, පරිසරයත් පිරිසුදු වෙනවා. හරිත හා පිරිසුදු නගරයක් කියන සංකල්පයට ලෝකේ දැන් එනවා. ඒ වෙනසට ආදර්ශයක් නැති කමයි ප්‍රශ්නෙ.

මෙවර මැතිවරණයෙන් පසු ඒ දේවල් කළ හැකි වෙයිද?

අපි බලාපොරොත්තු වන්නේ එහෙමයි. ඒත් මේ දේවල් තේරුම් ගෙන එයට සහයෝගය දෙන ආණ්ඩුවක් සමඟ පමණයි ගමන යා හැක්කේ. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ජනවාරි 8 අප ලබාගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යන්න පුළුවන් තීරණයක් ගන්න. අනිසි බයක් ඇති කරගන්න එපා. ජනාධිපති කෙනෙක් ඉන්නවා රටේ ඒකීයභාවය, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. පාර්ලිමේන්තුව අස්ථාවර වුණොත් එය ස්ථාවර කරන්න හැකියාව තිබෙනවා. රටේ වැරැදි තීන්දුවක් ගත්තොත් විනිශ්චයකරුවෙක් හැටියට ඔහුට තීන්දුවක් ගන්න පුළුවන්. මේ ජය ආපස්සට යන්න දෙන්න හොඳ නෑ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්