මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

මහ මැතිවරණයට පෙරවදනක්

මහ මැතිවරණයට පෙරවදනක්

මේ සටහන තබන මොහොත වන විට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉතුරුව තිබුණේ දින හතරකි. මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පහළොස්වන මැතිවරණය සඳහා තරග කරන මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 6151 කි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 201 ක් නියෝජනය කරමිනි. පොදුවේ ගත් විට පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන්, තුන්දහස් හයසිය පනස්තුන් දෙනෙක් ද ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයන්, දෙදහස් හාරසීය අනූඅට දෙනෙක් ද, මැතිවරණ තරගය තුළ සිටිති. සංඛ්‍යාත්මකව එසේ විශාල අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ තරගය තුළ සිටිය ද මේ අතරින් උත්තරීතර ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනුයේ එකසිය අනූඋහය දෙනෙකුට පමණි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් එකසිය අනුහය දෙනෙක් ද, ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීවරු විසිනව දෙනෙකු ද තෝරා ගනු ලැබේ.

මීට වසර 05 කට පෙර, යුද ජයග්‍රහණයේ උණුසුම මැද පැවැති අවසන් මහා මැතිවරණය “තනි අශ්වයකුගේ” තරගයක් පමණක් වුවද, දාහත් වැනිදා පැවැත්වෙන මැතිවරණය නම් උණුසුම් අවසානයක් කරා ගමන් කරන ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබේ. 2010 මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේ මුළු රටින්ම වැටි තිබු ඡන්ද ගණන හතළිස් අට ලක්ෂ හතළිස් හයදහස් තුන්සිය අසූඅටක් විය. මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එය 60.33% ක් විය. ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුර 17 ද සමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 144 ක් නිදහස් සන්ධානයට එවර, හිමි වූ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුර ගණන 60 ක් විය. 29.34% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබු එජාපය එම මැතිවරණයේ දී තම නම ඉදිරියෙන් ඡන්ද විසිතුන් ලක්ෂ පනස්හත් දහස් පනස්හතක් හිමි කර ගෙන තිබුණි.

දාහත් වැනිදා පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තබා ඇත්තේ සුබවාදී බලාපොරොත්තු ය. දෙපාර්ශ්වයටම ඇත්තේ ජයග්‍රහණය පිළිබඳ අදහසකි. ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධානයේ අප්‍රකාශිත අගමැති අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ පසුගිය දා සඳහන් කර තිබුණේ සඳුදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී තම පක්ෂයට මන්ත්‍රී ධුර 117 ක් ස්ථිරවම හිමි වන බවය. රාජපක්ෂ තරමටම උදාරම් කථා නොකීව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සිටිනුයේ ජයග්‍රහණය පිළිබඳ තිර අධිෂ්ඨානයකිනි.

අවසාන ජයග්‍රහණය සම්බන්ධයෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තබා ඇති බලාපොරොත්තුව අතිමහත් වන මුත්, එය යථාර්ථයක් වීමට ඇත්තේ අඩු ඉඩකඩකි. සැබැවින්ම ජයග්‍රහණයක් කරා යන ගමනේදී වික්‍රමසිංහ මහතාට සාපේක්ෂව වඩා වැඩි ප්‍රශ්නවලට මුහුණ දීමට රාජපක්ෂ මහතාට සිදුව තිබේ. 2005 වසරේ දී ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු, රාජ්‍ය බලය නොමැතිව රාජපක්ෂ මහතා මැතිවරණයක් මෙහෙයවන පළමු වතාව මෙයය. පසුගිය කාලයේ පැවැති සෑම මට්ටමේ මැතිවරණයකදීම තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සමස්ත රාජ්‍ය යන්ත්‍රණය අඩු නැතුව යොදාගත් රාජපක්ෂට මෙවර වෙනම ම වූ තත්ත්වයකට අනුගත වීමට සිදුව ඇත. පොලීසිය හා මැතිවරණ කොමිසම මධ්‍යස්ථ වීම එම තත්ත්වය තවත් දුෂ්කර කර තිබේ. මේ සියල්ලට අමතරව නිදහස් සන්ධානයේ හදවත බඳු ශ්‍රීලනිපය තුළ ඇති අභ්‍යන්තර අර්බුද ද අවසාන ජයග්‍රහණය පිළිබඳ රාජපක්ෂ මහතාට ඇති අවස්ථා තවත් දුරස් කරයි.

පෙර සඳහන් කළාක් මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සාපේක්ෂව, වඩාත් සුව පහසු ස්ථානයක සිට තරග කිරීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණට මෙවර ලැබී තිබේ. විශේෂයෙන්ම කලකට පසු ආණ්ඩු බලය සහිතව මැතිවරණයකට ඉදිරිපත් වීම සෑහෙන කාලයක් තිස්සේ නිද්‍රාශීලීව සිටි එජාප පාක්ෂිකයන් තුළ විශාල ගැම්මක් ඇතිකර තිබෙන ආකාරයක් පෙනෙන්නට ඇත. මේ සියල්ල අවසාන සමීකරණය නිර්මාණය වීමේදී එජාපයට වාසි විය හැකි කාරණාය. කෙසේ වෙතත් මේ ලියුම්කරුට අනුව නම් ඉදිරි මැතිවරණයේ “කළු අශ්වයා” වනු ඇත්තේ ජවිපෙය. 2001 මහා මැතිවරණයේ දී ලැබු අන්දමේ ඉහළ සහයෝගයක් ජවිපෙට මෙවර ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. මීට වසර 14 කට පෙර පැවැති එම මහ මැතිවරණයේදී ජවිපෙට මුළු රටින්ම ඡන්ද 815353 ක් හිමි වූ අතර ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී ධුර ද සමඟින් මන්ත්‍රී ධුර ගණන 16 ක් හිමි විය.

දාහත් වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී වැඩිම නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගනු ලබනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මන්ත්‍රීවරු 19 ක් කොළඹින් පාර්ලිමේන්තුවට තෝරා ගනු ලබන අතර මෙවර ද එම දිස්ත්‍රික්කය ජය ගැනීමේ වැඩි ඉඩකඩක් එක්සත් ජතික පෙරමුණට තිබේ. එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟින් ප්‍රබල අපේක්ෂක ලැයිස්තුවක්, “අලියා” ලකුණින් මෙවර කොළඹට ඉදිරිපත් කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී ලැබු අන්දමේ දිනුමක් කොළඹින් එජාපයට හිමි වුවහොත් මන්ත්‍රී ආසන 11 ක සීමාව කරා යෑමේ අවස්ථාව ඔවුනට හිමි වනු නිසැකය. එජාපෙට මන්ත්‍රී ධුර 11 ක් කොළඹින් දිනාගතහොත් සන්ධානයට හිමි වීමට ඉඩ ඇත්තේ මන්ත්‍රී ධුර 06 ක් පමණි. ඒ ජවිපෙ ද පෙනෙන්නට ඇති ආකාරයට කොළඹින් මන්ත්‍රී ධුර දෙකක් දිනා ගැනීමට ඉඩ ඇති බැවිනි. අනුර දිසානායක හා ජවිපෙ වෘත්තිය සමිති නායකයා වන හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත කොළඹින් තරග කිරීම තුළ රටේ සෙසු තැන්වලට සාපේක්ෂව ඉහළ සහයෝගයක් සීනුවට කොළඹින් ලැබී තිබේ.

පොදුවේ ගත් විට මාධ්‍ය සම්බන්ධතා වැඩි බස්නාහිර පළාත තුළ ඉහළ සහයෝගයක් හිමිව ඇත්තේ එජාපයටය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ එජාපය ශක්තිමත් ලෙස ස්ථානගතව ඇති ආකාරයක් පෙනෙන්නට ඇති අතර කතෝලික ඡන්ද වැඩි වශයෙන් ඇති වෙරළ තීරය තුළ ඔවුන් අතිශය ප්‍රබලය. දිස්ත්‍රික්කයේ ඇතුළට වන්නට පිහිටි මැතිවරණ කොට්ඨාසවල ප්‍රධාන පක්ෂ දෙකටම එක සමාන සහයෝගයක් ඇති බව පෙනෙන්නට ඇති තත්ත්වයක් තුළ ඉහත කී වාසිය නිසි ලෙස කළමනාකරණය කරගතහොත් එය එජාපයට ගම්පහ දිස්ත්‍රික්කයේ බලය හිමි වීම සහතික කරනු ඇත.

2001 මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ පැවැති එකදු හෝ මැතිවරණයක් ජය නොගත් එජාපයට මෙවර ඒ සඳහා හොඳ ඉඩක් විවර වී තිබේ. නමුත් ඒ සඳහා ඔවුන් බණ්ඩාරගම, මතුගම වැනි ආසනවලින් නිදහස් සන්ධානයට ලැබෙන ඡන්ද පදනම අඩු කරගත යුතුය. පෙනෙන්නට ඇති ආකාරයට කළුතර දිස්ත්‍රික්කයේ බලය කාට හිමි වුවද ප්‍රධාන පක්ෂ දෙක අතර ඒ හැටි පරතරයක් කළුතර අවසාන ප්‍රතිඵලය තුළ අපේක්ෂා කළ නොහැකි තරම්ය. බොහෝ විට එහි මන්ත්‍රී ආසන බෙදී යා හැක්කේ 5 : 4 : 1 අනුපාතයටය.

පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී නිදහස් සන්ධානයේ ජයබිම වූයේ දකුණු පළාතය. මෙවර ද ඉහළ සහයෝගයක් එයට දකුණේ හිමිව ඇතත් පළාතට අයත් මන්ත්‍රී ධුර 25 න් උපරීමව සන්ධානයට මන්ත්‍රී ධුර දොළහකට වඩා ලැබෙතැයි අනුමාන කළ නොහැකි තරම්ය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ සන්ධානය තරමක් ස්ථාවර වුවද, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුළ අවසාන ජයග්‍රහණය සඳහා “පෝටෝ ෆිනිෂ්” තරග නිමාවකට මුහුණ දීමට ඔවුනට සිදුව ඇත. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ එජාපය විශාල “පිම්මක්” පැන ඇති අතර, මැතිවරණ ක්‍රියාවලිය තුළදී හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා දැඩි ප්‍රදර්ශනාත්මක මැතිවරණ ව්‍යාපාරයක් එජාපය ක්‍රියාත්මක කරන ආකාරය දැකගත හැකි විය. මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටින් තරග නොකිරීම සන්ධාන ආධාරකරුවන්ගේ උනන්දුව හීන කර ඇති ආකාරය පැහැදිලිවම පෙනෙන්නට ඇත. හම්බන්තොට රාජපක්ෂලාගේ ජයභූමිය ලෙස පිළිගැනුණ ද ආණ්ඩු වෙනසක් සිදුවන මැතිවරණයකදී ඒ තත්ත්වය වෙනස් වන බව එජාපෙ ජයගත් 2001 මහ මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙනු ලැබීය. ඇතැම් විට මෙවර ද එබඳු ප්‍රතිඵලයක් හිමි වුවහොත් එය පුදුම වීමට තරම් කාරණයක් නොවේ.

අපගේ නිරීක්ෂණයන්ට අනුව මහා මැතිවරණයේදී එජාපය නිසැකවම ජයගන්නා පළාතක් වනුයේ මධ්‍යම පළාත ය. මහනුවර හා නුවරඑළිය එජාපය ජයගන්නා බවට දැනටමත් මුදල් වීසි කළ හැකි අතර මන්ත්‍රී ධුර 05 ක් පමණක් ඇති මාතලේ දිස්ත්‍රික්කය තුළ ද එජාපෙ ශක්තිය දුර්වල නැත. මධ්‍යම පළාතට මායිම්ව පිහිටි ඌව පළාතෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනෙනුයේ මන්ත්‍රීවරු 13 ක් පමණි. ඒ බදුල්ලෙන් 08 ක්, මොනරාගලින් 05 ක් ලෙසටය. මින් බදුල්ලේ බලය ස්ථිරවම එජපෙට හිමි වන ලකුණු පෙනෙන්නට ඇති අතර නිදහස් සන්ධානයේ මොනරාගල ප්‍රධාන අපේක්ෂකයන් අතර ඇති “මනාප ගැටලු” එහිදී ද “බුලත් කොළය” දුර්වල කර ඇත. කෙසේ වෙතත් මේ සටහන තබන මොහොත වන විටත් මොනරාගල අවසාන ජයග්‍රාහකයා පිළිබඳ කල්තියා අනාවැකි පළ කළ හැකි තත්ත්වයක් නොතිබුණි. ඒ තරමටම උණුසුම් තරගයක් එහි දැකගත හැකිය.

මේ අතර සබරගමුවට අයත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය තරමක් ඉදිරියෙන් සිටිය ද, කෑගල්ල දිස්ත්‍රික්කය නම් “කොළට” බර ගතියක් පෙනෙන්නට ඇත. වයඹ පළාත තුළ තත්ත්වය ද එසේමය. රාජපක්ෂ මහතා තරග කරන කුරුණෑගලින් සන්ධානය යම් ඉදිරියකින් පසුවුවද පුත්තලම දිස්ත්‍රික්කය එජාපෙ ජය ගැන්මට වැඩි ඉඩක් තිබේ. 2010 දී කුරුණෑගලින් මන්ත්‍රී ධුර 05 ක් පමණක් දිනූ එජාපෙ මන්ත්‍රී ධුර ගණන මෙවර නිසැකවම ඊට වඩා වැඩි වීමේ තාර්කික හැකියාවක් පවතී. විශේෂයෙන්ම හම්බන්තොට අත්හැර හිටපු ජනාධිපතිවරයා කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම එජාපෙ ආධාරකරුවන් තුළ විශාල ධෛර්යයක් හා උනන්දුවක් ඇතිකර ඇති බව පෙනී යයි. ජවිපෙ ද බොහෝ විට කුරුණෑගලින් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගන්නා තත්ත්වයක් තුළ ප්‍රධාන පක්ෂ දෙකට එම දිස්ත්‍රික්කයෙන් බෙදා ගැනීමට තවත් ඉතුරු වනුයේ මන්ත්‍රීධුර දාහතරක් පමණි.

සාමාන්‍යයෙන් පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී එජාපය අඩු ප්‍රගතියක් පෙන්වූ පළාතක් ලෙස උතුරුමැද සැලකුණ ද මෙවර ඒ තත්ත්වය වෙනස් වුවහොත් එය පුදුම වීමට තරම් කාරණයක් නොවේ. විශේෂයෙන්ම අනුරාධපුරටත් වඩා පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ එජාපයේ බලය වැඩි වී ඇති ආකාරයක් පැහැදිලිවම දැකගත හැකිය.

උතුරු පළාත තුළ දී සුපුරුදු පරිදි මෙවරත් දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යයක් අපේක්ෂා කළ හැකිය. යාපනය දිස්ත්‍රික්කය මෙන්ම වන්නි දිස්ත්‍රික්කය ද ඔවුන් ඉදිරි මැතිවරණයේදී ජය ගනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. වන්නියෙන් මන්ත්‍රී ධුර තුනක් සහ යාපනයෙන් මන්ත්‍රි ධුර 05 ක් දෙමළ ජාතික සන්ධානයට ලැබීමට වැඩි පසුබිමක් මේ වන විට නිර්මාණය වී තිබේ. යාපනයෙන් දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රී ධුර පහක් හිමිකර ගැනීමට සමත් වුවහොත් දිස්ත්‍රික්කයට හිමි සෙසු මන්ත්‍රී ධුර දෙක දිනා ගැනුමට එජාපය, ඊ පී ඩී පී ය හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර දැඩි තරගයක් ඇති වනු සහතිකය.

දෙමළ ඩයස්පෝරාවේ සහ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්ගේ නිහඬ සහයෝගය හිමිව ඇත්තේ නැසීගිය ප්‍රකට නීතිඥ කුමාර් පොන්නම්බලම්ගේ පුත්‍රයා වන ගජේන්ද්‍ර කුමාර්ලාටය. පොන්නම්බලම් සමඟ යාපනයට පාර්ලිමේන්තුවට නියෝජනය කර අත්දැකීම් ඇති ගජේන්ද්‍රන් හා පද්මිනි සිදම්බරනාදන් ද තරග වදිති. එජාපය යාපනයෙන් මන්ත්‍රී ධුරයක් දිනා ගතහොත් එය අනිවාර්යයෙන්ම විජයකලා මහේෂ්වරන්ට හිමි වනු ඇත. එසේ නමුත් ඊ පී ඩී පීයට යාපනයෙන් හිමි වන්නේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් නම් ඒ සඳහා එහි නායක ඩග්ලස් දේවානන්දා සහ චන්ද්‍ර කුමාර් මුරුගේසු හිටපු මන්ත්‍රීවරයා අතර තියුණු මනාප සටනක් ඇතිවනු නිසැකය. මෙයින් මුරුගේසුට කිලිනොච්චිය අවට හොඳ සහ‍යෝගයක් ඇති ආකාරය දැකගත හැකි ය.

නැ‍ඟෙනහිර පළාතට අයත් මඩකළපුව දිස්ත්‍රික්කය ද ජය ගැනුමට වැඩි ඉඩක් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. ආර්. සම්බන්දන් තරග කරන ත්‍රිකුණාමලයෙන් ද ඔවුනට නියෝජනයක් හිමි වීමට ඉඩ ඇති පසුබිමක ජනතා ඡන්දයෙන් (ජාතික ලැයිස්තුව නොමැතිව) තම නියෝජිතයන් දොළොස් දෙනෙකු පත්කර ගැනීමේ හැකියාවක් ඔවුනට ලැබෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සන්ධානගතව තරග කරන තත්ත්වයක් තුළ ත්‍රිකුණාමලය හා දිගාමඩුල්ල දිස්ත්‍රික්කවල බහුතරය හිමිකර ගැන්ම එජාපෙට ගැටලුවක් නොවන තරම්ය.

එකදු හෝ දිස්ත්‍රික්කයක බලය හිමි නොවුවද කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, බදුල්ල, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලදී නියෝජන හිමිකම් කරා යෑමේ හොඳ අවස්ථාවක් මෙවර ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබේ. විශේෂයෙන්ම මෙවර “පාවෙන” ඡන්දදායකයන්ගේ ප්‍රියතම තේරීම බවට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ජවිපෙය. නමුත් මේ වාසිය ජවිපෙට ලැබෙනුයේ අවසාන දින කිහිපයේ දී ඔවුන් එය කළමනාකරණය කරගන්නා ආකාරය මතය.

පොදුවේ ගත් විට මෙම මැතිවරණයේදී අලුත් මුහුණු රැසක් පාර්ලිමේන්තුවට පැමිණීමේ වැඩි විභවතාවක් ඇති අතර, දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වූ පළපුරුදු දේශපාලනඥයන් රැසක් මෙවර ජනතා මනාපයෙන් ප්‍රතික්ෂේප වුවහොත් එය කිසිසේත්ම අහඹුවක් නොවේ. එය ද ලියා තැබිය යුතුම ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්