මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


චූටි මැණිකෙ තනියම දාලා යන්නෙ හිතකින් නෙමෙයි

අදින් ඇරැඹෙන අලුත්ම නවකතාව දෙවන සඳ

චූටි මැණිකෙ තනියම දාලා යන්නෙ හිතකින් නෙමෙයි

මම මනහාරි ඉද්දමල්ගොඩ.

ගමේ ප්‍රභූ පවුලක උපත ලබපු මට හිටියෙ එකම එක අක්කා කෙනෙක් විතරයි.

දුක, කඳුළ නොහඳුනන සැපට හැදුණු වැඩුණු මම ජීවත් වුණේ හරියට ඔටුනු නොපළන් කුමාරිකාවක් වගෙයි.

අපේ නිවසේ කැණි මඬල කඩා වැටුණේ හරියටම මට අවුරුදු දාහතේදි. ඒ කිව්වේ මගේ අප්පච්චි අප සදහටම හැර දා ගිය දවසෙ ඉඳලයි.

පිය විප්පයෝගය දරාගන්න බැරි වුණු මගේ අම්මා එක්තැන් වුණෙත් මගේ ජීවිතේට ගිම්හානය උදා වුණෙත් ඊට පස්සෙ.

අක්කා ඒ වනවිට විවාහ වෙලා එක් දියණියකගේ අම්මා කෙනෙක් වෙලා හිටියා. ඔත්පල වුණු අම්මා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඇය මා පිටට පැවරුවේ ඇ‍ගේ විවාහ ජීවිතයේ යුතුකම් මඟ හැරෙනවා කියලයි.

අම්මා වෙනුවෙන් මට කරන්න බැරි කිසිම දෙයක් තිබුණේ නෑ. ඒ වෙනකොට මම ආදරවන්තියක්. ඒත් ආදරය ගැන හිතනවාට වඩා මට අම්මා ගැන හිතන්න සිදු වුණා. ඒත් අන්තිමේදී අම්මා සදහටම දෙනෙත් පියා ගත්තා.

ඊට පස්සෙ සිදුවුණු බොහොමයක් දේවල් මම කියන්නෙ නැහැ. දේපළ තණ්හාවෙන් ඇස් අන්ධ වෙච්චි අක්කා ළඟට ‍යනවාට වඩා වෙනත් ඕනම දේකට මුහුණ දෙන්න ධෛර්යයක් ශක්තියක් මට තිබුණා.

මේ වගේ ඉරණම් ගමනක් යන්න මම තීරණය කළේ ඒකයි.

මම දෙනෙත් හැර බලන්නට තැත් කළෙමි. එහෙත් නෙතු පිය බරැති ඒවා සේ දැනෙයි. දෙනෙත් විවර කළ නොහැකි තරමට විඩාපත් බවක් දැනෙන්නේ පසුගිය රාත්‍රියෙන් අඩකටත් වඩා නිදි වර්ජිතව පසු වීම නිසා විය යුතු ය. ගමන ආරම්භයේදී දැඩි ව්‍යාකූල බවක් මසිතට ඇති වී තිබිණ. නිදිමත පරදා ඒ ව්‍යාකූල බව මා අවදියෙන් තබන්නට ඇතත් විවරව තිබූ දෙනෙත් කවර මොහොතක හෝ පියවෙන්නට ඇත. බොහෝ වේලාවක් නින්දත්, නොනින්දත් අතර පසු වූ මට නෙතු පිය සලා විඩාව දුරු කොට මුළුමනින් ම දෑස් විවර කරන්නට මඳ වේලාවක් ගත විය.

මා ගමන් කරමින් සිටින සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිට ගමන් කරමින් තිබෙන්නේ කවර ප්‍රදේශයක් පසු කරමින් දැයි දැන ගැනීමට මට උවමනා විය. එහෙත් මෝටර් රථයට මා නැග ගත් මොහොතේ සිට ම මුනිවත රකිමින් සිටින තරුණ රියදුරාගෙන් එය විමසීමට මට නොසිතිණ‍. ඔහු ඉදිරිය බලාගෙන ඉතා සැලකිල්ලෙන් රිය පදවයි. රථය වේගයෙන් ගමන් කරමින් තිබුණෙන් දෙපස ඇති කඩ සාප්පු වල වහළවල් ඉදිරියෙන් සවිකර ඇති පුවරුවල වූ නම් කියවා ගැනීමටවත් මට අවකාශයක් නොවීය. මේ වනවිට උදෑසන හය පසුවෙමින් තිබුණ ද, දෙපස ඇති කඩ සාප්පු බොහොමයක දොර පියන්පත් වසා තිබිණ. උණු තේ කෝප්පයක අවශ්‍යතාවය මට තදින් ම දැනුණේ ය‍. අලුයම පිබිදුනු අවස්ථාවේ තේ කෝප්පයක් පිළියෙල කර ගත්ත ද, අනෙකුත් කටයුතු නිමා කර අවසාන වනවිට එය නිවී තිබුණෙන් මට සිදුව‍ූයේ එපමණකින් සැනසීමට ය. කවදත් නිවුණු තේ පානය කිරීමට මා තුළ කැමැත්තක් නොවී ය. මගේ තනි නොතනියට සිටි ඩිංගිරි මැණිකා මගේ මේ ස්වභාවය හොඳින් දැන සිටියා ය. කහටත්, කිරි සහ සීනිත් මනා ලෙස යොදා උණු උණුවේ ඇය මා වෙනුවෙන් පිළියෙල කරගෙන එන රසවත් තේ කෝප්පය මට සිහිපත් විය.

“චූටි මැණිකේ...”

ඩිංගිරි මැණිකාගේ කටහඬ සිහිනයෙන් මෙන් මට ඇසිණ. කුඩා කල සිට ම මා බලා ගැනීම සඳහා අප නිවෙසේ වෙසෙන ඇය මා ඇමතුවේ ‘චූටි මැණිකේ’ යන ආදරණීය ඇමතුමිනි. ‘පැංචි’ යන ආදරණීය ඇමතුමෙන් මා ඇමතූ අම්මා පවා පසු කාලයේ ඉඳහිට ‘චූටි මැණිකේ’ යන ආදරණීය ඇමතුමෙන් මා අමතන්නට පුරුදුව සිටියේ ඩිංගිරි මැණිකාගෙන් ලද ආභාෂය නිසා විය යුතු ය. අම්මා සිහිපත්ව මගේ ලය තුළ දැවිල්ලක් හට ගත්තාක් මෙන් මට දැනිණ. ඇය මිය ගොස් තුන් මස දානය දීමෙන් පසු හත් දිනක් ගත වීමට ද පෙර මා ගත් හදිසි තීරණය පිළිබඳව සිත තුළ කම්පාවක් ඇති වීම වළක්වා ගැනීමට මම උත්සාහ කළෙමි.

“මිස්...”

මෝටර් රථයේ රියදුරා ප්‍රථම වරට මා ඇමතුවේ ය. ඔහු මුහුණ දෙස ඍජුව බලන්නට පෙර ඔහුගේ මුහුණ ඉදිරිපස කණ්ණාඩියෙන් දර්ශනය විය. කාරුණික හා ආකර්ෂණීය නෙත් සඟල මොහොතක් මා ගොළු බවට පත් කිරීමට සමත් විය.

“මිස්ට දැන්නම් බඩගිනිත් ඇති නේද?”

රියදුරා යන්තමින් සිනාසී ඇසුවේ ය.

“නෑ. එච්චරමත් නෑ.”

මා පැවසුවේ සැබෑවක් නොවේ. මේ හදිසි තීරණය ගැනීමට තීරණය කිරීමෙන් පසු සිටම කුස පිරෙන්නට අහරක් නොගත් බව මට සිහිපත් වූයේ එවර ය. ඊයේ දහවල් ඩිංගිරි මැණිකා ආපසු ඇගේ ගම බලා යන්නට පෙර ඇය මා වෙනුවෙන් රසවත් ආහාර වේලක් පිළියෙල කර තිබූ නමුත් මට ඉන් කටක් පමණවත් ආහාරයට ගැනීමට නුපුළුවන් වූයේ සිත තුළ වූ කැලඹීම නිසා විය යුතු ය.

“කවදද චූටි මැණිකෙ මං ආපහු එන්නෙ?”

මා මේසයට හිඳ ගත් පසු මා අසල ගැවසෙමින් මගේ පිඟානට පමණටත් වඩා බත් හා වෑංජන බෙදමින් සිටි ඩිංගිරි මැණිකා හදිසියේ ම ප්‍රශ්න කළා ය. එවේලෙහි මගේ හදවත හෝස් ගා ඇවිලිණ. මා ගත් මේ තීරණය පිළිබඳව අංශු මාත්‍රයක් පමණවත් දැන නොසිටි ඇය පිළිබඳව මා තුළ ඇති වූයේ ඉමහත් සංවේගයකි.

“මම ඉක්මනින් ම පණිවිඩයක් එවන්නම්.”

මා පැවසුවේ ඇගේ දෙනෙත් මඟ හරිමිනි.

“චූටි මැණිකෙව තනියම දාලා මං යන්නෙ හිතකින් නෙමෙයි චූටි මැණිකෙ. සත්තයි.”

ඩිංගිරි මැණිකා තවත් බත් හැන්දක් මගේ පිඟානට බෙදන්නට තැත් කළ ද මම එය අතින් වැළැක්වූයෙමි. තැනින් තැන සුදු පැහැ ගැන්වුණු පොකුටු කොණ්ඩයකින් ද මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් ද යුත් ඩිංගිරි මැණිකා සිය ඔසරි පොටින් දෙනෙත් පිස ගත්තේ මන්දැයි මට සිතා ගත නොහැකි විය.

“ලොකු මැණිකෙගෙ ගෙදර ගියාට මොකද චුටි මැණිකේ... පරෙස්සමෙන් ඉන්න. පුළුවන් තරම් ඉක්මනට රස්සාවක් හොයාගෙන ඒ ගෙදරින් පිට වුණා නම් තමයි හොඳ.”

ඩිංගිරි මැණිකා ‘ලොකු මැණිකේ’ යනුවෙන් හැඳින්වූයේ අක්කා ය. ස්වභාවයෙන් ම සැර පරුෂ චරිතයක් ව‍ූ අක්කා කිසිවෙකුට දයාවක් කරුණාවක් නොදැක්වූ ගැහැනියක වූවා ය. මටත්, අම්මාටත් පමණක් නොව ඇය ඇගේ ස්වාමි පුරුෂයාට ද, තම කුසින් බිහි කළ එකම දියණියට ද ආදරයක් කරුණාවක් නොදක්වන බව ලෙඩ ඇ‍ඳේ සිටියදී අම්මා කීප වරක් ම සිහිපත් කළා ය.

“මං නැති දවසක චූටි මැණිකෙ අක්කා එක්ක පරෙස්සමෙන් ජීවත් වෙන්න.”

ඉතිරිය ලබන සතියේ සිට...


ලේඛිකාව ගැන ....

ප්‍රියංකා අමරතුංග

මාතර නාවිමන මහා රාජ විද්‍යාලයෙන් සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසි ප්‍රියංකා අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියකි.

ඇය ලොව ප්‍රථම සංයුක්ත තැටිගත සිංහල නවකතාව “සුදු සහ කළු” නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයට නමක් එකතු කළ ලේඛිකාවයි.

“මිහිර” ළමා පුවත්පතට අවුරුදු 10 දී කවි නිර්මාණ ලියා ලේඛන කලාවට අත්පොත් තැබූ ප්‍රියංකා අමරතුංග “රිවිර” ඉරිදා පුවත්පතට සහ “රැජිණ”, “තරුණි”, “නවලිය” යන ජාතික කාන්තා පුවත්පත් සඳහා සිය නවකතාවලින් දායක වූවාය.

ගුරු දිවියේ ලද අත්දැකීම් ඇසුරෙන් ප්‍රියංකා අමරතුංග ළමයින් වෙනුවෙන් උකුසු පිහාටුව, රාදුගා යන නවකතා නිර්මාණය කළාය.

විසි වසරක ගුරු ජීවිතයෙන් සමුගත් ප්‍රියංකා සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතාකරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහා ද දායක වී ඇත. සුදු අරලිය, බොල් වී අහුරු, සූරියකාන්තා, සිදංගනාවෝ, ඉහිරුණු කිරි, දෙවන වේදිකාව, මා ද ඔබම විය, කුරුළු පිහාටු ප්‍රියංකා අමරතුංග ලියූ ටෙලි නාට්‍ය තිර රචනා කීපයකි. ඇය විසින් තිර රචනය ලියන ලද, දෙවන වේදිකාව ටෙලි නාට්‍යය දැනට ටීඑන්එල් නාලිකාවේ දිනපතා රාත්‍රී 8.05 ට විකාශය වේ. ඉදිරියේදී විකාශය වීමට නියමිත කුරුළු පිහාටු ටෙලි නාට්‍යය ප්‍රියංකා අමරතුංග ගේ කුළුඳුල් නිෂ්පාදනයයි.

බොල් වී අහුරු නවකතාවෙන් 1990 දී නවකතාකරණයට පිවිසි ඇය මේ වන විට නවකතා 30 කට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇති අතර, මා ඔබේ යසෝදරා, තිත්ත මල්, කුමාරිහාමි, ඉහිරුණු කිරි, සියොතුනි අපට තටු නෑ ආදී නවකතා පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ නවකතා කිහිපයකි. ඇය ලියූ අලුත්ම නවකතාව “මේ වසන්තයයි” පසුගියදා නිකුත් විය.

සිතුවම්  හර්ෂ ගුණවර්ධන


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්