මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


අන්තිම මොහොතේ අපේ ජීවිත ගැලවුණා

අන්තිම මොහොතේ අපේ ජීවිත ගැලවුණා

රළු මුහුද නිසා සිරුරු ගැනීම අසීරුයි

නත්තලත් සමඟ එළැඹි නිවාඩු දින කීපය ගත කිරීමට ක්‍රිස්ටියානාවටී සහ ඇගේ සහෝදරයාගේ පවුලේ අය තෝරා ගත්තේ සිංගප්පූරුවයි. ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ සිට සිංගප්පූරුව කරා යන මේ ගමනට ඔවුහු සුපුරුදු ලෙසින් අන්තර් ජාලය හරහා ප්‍රවේශපත් වෙන් කළහ. ඔවුන් ගේ ගමන නියමිතව තිබුණේ පසුගිය 28 වැනි ඉරිදාය. පවුලේ ඇත්තන් ලහි ලහියේ ගමනට සූදානම් වූයේ සිංගප්පූරුවේ විනෝදවීම සඳහා සිතේ වූ බලාපොරොත්තු ගොන්නද සමඟිනි.

ගමන පිටත්වීමට ගුවන් තොටුපොළ කරා මේ පවුල් දෙකේ අය ගියේ මෝටර් රථ දෙකකිනි. ඒ යද්දී ඔවුන් යෑමට නියමිතව තිබූ ගුවන් යානය ගුවන් ගතවී හමාරය. ඒ පවුල් දෙකේ දස දෙනකුගේ බලාපොරොත්තු ඒ මොහොතේ සුන්ව ගියේය. එහිදී ඔවුනට දැන ගැනීමට ලැබුණේ ගුවන් ගමන් වේලාව වෙනස් කර ඒ පිළිබඳ ඔවුන් දැනුම්වත් කරමින් විද්යුත් තැපෑලෙන් පණ්වුඩයක් යොමුකර තිබූ බවය. එහෙත් ඔවුන් සිය විද්යුත් තැපෑල පරික්ෂා කර නොතිබූ නිසා එම පණිවුඩය ලැබී නොතිබුණෙන් ඔවුනට යානය මඟ හැරිණි.

එම පණිවුඩයත් සමඟින් පවුලේ ඇත්තන්ගේ සිංගප්පූරු විනෝද සවාරි සිහිනය බොඳව ගියේය. එහෙත්, ඔවුන් එසේ ගැලවුණේ සිය දෛවෝපගත ඉරණම් ගමනකින් බව ඔවුන් දැන ගත්තේ ඉන් පැය කීපයකට පසුය.

මේ තවත් කතාවකි.

ඉන්ගේ ගොරෙටි සිය දරුවන් සමඟ සිංගප්පූරුව බලා යෑමට එයාර් ඒෂියා යානයේ ප්‍රවේශ පත් වෙන් කළේ මීට මාස නවයකට පෙරය. එහෙත් පසුගිය සතියේ ඇගේ පියා අසනීප වූයෙන් ඇය සිය ගමන අවසන් මොහොතේ අත්හැර දැමුවේ කුඩා දරුවන් තිදෙනා‍ගේ බලවත් විරෝධය මධ්‍යයේය.

''අන්තිම මොහොතේ මගේ පියා ළඟ සිටිය යුතුයැයි ‍මගේ සිත මට බල කළා. ඒ නිසා අපේ ඉරණම වෙනස් වුණා''යැයි එයාර් ඒෂියා ගුවන් යානා විපත සැලවූ විගස ගොරෙටි විදෙස් මාධ්‍ය හා ප්‍රකාශ කර තිබුණේ අවසන් මොහොතේ තම දෛවෝපගත ගමන වෙනස් වූ අන්දම සිහිපත් කරමින් වැලපෙමිනි. ඇය දැන් එයාර් ඒෂියා යානයේ සිය අවසන් ගමන ගිය මගීන් වෙනුවෙන් දුක් වන්නීය.

ලොව පුරා සැමගේ හදවත් සන්තාපයට පත් කරමින් වර්ෂයක් ඇතුළත සිදුවූ තෙවැනි බිහිසුණු ගුවන් අනතුර වාර්තා කරමින් එයාර් ඒෂියා QZ 8501 ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටුණේ පසුගිය 28 වැනි ඉරිදාය.

“එදා අපිට විද්යුත් තැපෑල පරීක්ෂා කිරීම අතපසු වුණා. නියමිත වේලාවට යානයට යන්න බැරිවූ නිසා අපේ පවුලේ දස දෙනාගේ ජීවිත බේරුණා.” යැයි එදා අනූනවයෙන් දිවි බේරාගත් ක්‍රිස්ටියානාවටී පවුලේ සාමාජිකයෙක් එයාර් ඒෂියා ගුවන් අනතුර සැලවූ වහාම බීබීසී මාධ්‍යයට පැවසීය.

බෝයිං වර්ගයේ එයාර් ඒෂියා ගුවන් යානය අනතුරට පත්වන මොහොතේ සුරබයා සිට සිංගප්පූරුව බලා පිටත්වී පැයක් ගතවීමට මත්තෙන් රේඩාර් තිරයෙන් අතුරුදන් විය. ඒ වෙද්දී යානයට ගමනාන්තය කරා ළඟාවීමට ඉතිරිව තිබුණේ පැය දෙකක කාලයකි.

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී අඩි 35000 ක උසකින් ගමන් කරමින් තිබූ බව වාර්තා විය. යානයේ නියමුවා ඉන්දුනීසියානු ජාතිකයෙකි. ඉතා දක්ෂ ගුවන් නියමුවකු වූ ඉරියන්මෝ නමැති එම නියමුවා එයාර් ඒෂියා යානා විශාල සංඛ්‍යාවක් පදවා අත්දැකීම් ඇත්තෙකි.

ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරමින් තිබූ යානය එම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මිදී පියාසර කරවීම සඳහා නියමුවා විසින් පාලන මැදිරියෙන් යානය අඩි 38000 ක් උඩට නැංවීම සඳහා අවසර පතා ඇති බව අනතුරෙන් පසු වාර්තා විය. එහෙත් ඒ මොහොතේ ගුවනේ තිබූ දැඩි ගුවන්යානා තදබදය හේතුවෙන් එම අවසරය ලැබී නොමැත. තදබදය සමනය වූ වහාම යානය ඉහළ නැංවීමට අවසර දීමට මොහොතකට පෙර යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව ඉන්දුනීසියානු බලධාරීහු සඳහන් කරති.

හදිසි ආපදා සංඥා නිකුත් නොකරම අතුරුදන් වූ යානය පිළිබඳව ඒ මොහොතේ සිටම සොයා බැලීම් ආරම්භ විය. මෙලෙස අතුරුදන්වූ මේ එයාර් ඒෂියා ගුවන් යානය ද මැලේසියානු ගුවන් සේවයට අනුබද්ධ යානයකි. ඒ අනුව වසරක් ඇතුළත මැලේසියාවට සම්බන්ධ යානා තුනක් අනතුරට ලක්වී ඇත්තේය. 2014 වසරේ මාර්තු 08 වැනිදා අතුරුදන් වූ MH370 යානය මැලේසියාවේ ක්වාලාම්පූර් සිට චීනයේ බීජිං නුවර කරා ගමන් කරමින් තිබිණ. ඒ යානයට හෝ එහි සිටි මගීන් 239 දෙනාට සිදුවූ දේ පිළිබඳ තවමත් කිසිම තොරතුරක් නොමැත. MH17 දරන මැලේසියානු ගුවන් යානයට යුක්රේන අහසේදී ප්‍රහාරයක් එල්ලවීමෙන් මගීන් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෑතදී අතුරුදන් වූ එයාර් ඒෂියා යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 155 දෙනෙක් වූහ. ඉන් බහුතරයක් ඉන්දුනීසියානු ජාතිකයන් ය. ඒ හැරුණු කොට දකුණු කොරියානු, සිංගප්පූරු, මැලේසියානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් ද එහි වූ බවට තොරතුරු ලැබී තිබේ. යානයේ සහාය නියමුවා ප්‍රංස ජාතිකයෙකි.

යානය අතුරුදන් වූ පුවත සැලවීමත් සමඟ ඉන්දුනීසියානු, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ඇමෙරිකාවට අයත් නැව් 30 ක් සහ ගුවන් යානා 21 ක් යානාව සෙවීම සඳහා යෙදවිණ. ඉතා දරුණු කාලගුණ තත්ත්වයක් යටතේ රළු මුහුද නිසා මීටර් 3 - 4 ක් උසට රැල්ල නැගීම නිසා යානය සෙවීමේ කටයුතු බෙහෙවින් අසීරු විය. එසේ තිබියදී යානය සෙවීමේ නිරත යුද ගුවන් යානයකට පසුගිය අඟහරුවාදා (30 දා) ප්‍රථම වරට බෝර්නියා දූපත්වලට ආසන්න ජාවා මුහුදු පතුලේ තිබී යානයේ සැකිල්ල දැක ගැනීමට හැකිවී ඇත. එහෙත් දරුණු දියවැල් නිසා හටගන්නා දැඩි රළ පහර නිසා මුහුද යට දර්ශන අපැහැදිලිවීම හේතුවෙන් යානය තිබෙන ස්ථානය නිශ්චිතව සොයා ගැනීම අපහසු විය.

මීටර් 40 - 50 ත් අතර ගැඹුරින් මුහුදු පතුලේ ඇතැයි සැලකෙන යානය පිළිබඳ සෝනා උපකරණ යොදා ගනිමින් තවදුරටත් සොයා බැලීම් සිදු කෙරේ. මෙසේ යානය දර්ශනය වී ඇත්තේ එය අවසන් වරට දුටු ගුවන් සීමාවේ සිට කිලෝමීටර් 100 - 200 ත් අතර ඈත ජාවා මුහුදු පතුලෙනි.

එසේ වුවද යානයේ සුන්බුන් පළමුවරට දුටුවේ ඉන්දුනීසියානු මසුන් මරන්නකු වන 38 හැවිරිදි මොහොමඩ් තානා ය. ඔහු පසුගිය අඟහරුවාදා සිය කර්මාන්තයේ යෙදුණේ ඉන්දුනීසියාවේ මූජු දූපත් අසල මුහුදේය.

“මං දැල් දාපු මුහුදු සීමාවේ වෙනදා නොදකින රතු පාට සුදු පාට කළු පාට ලෝහ කැබලි වගයක් පාවෙනවා මං දැක්කා.” ඔහු වාසය කරන බෙලින්යු ගම්මානය කරා සවස් යාමයේ පැමිණි මොහොමඩ් පැවසීය. එහෙත් එසේ තමා දුටුවේ ගුවන් යානයක කැබලි බව ඔහු දැන ගත්තේ පසුවය.

දිගින් දිගටම යානය පිළිබඳ සෙවීම් බැලීම් සිදුවෙද්දී නිරීක්ෂණ ගුවන් යානයක සිටි අයෙකුට ජාවා මුහුදේ පාවෙන යානයේ සුන්බුන් දැකගත හැකිවිය.

“යානයේ යැයි සිතිය හැකි සුන්බුන් සමඟ සිරුරු හත අටක් පාවෙනවා මා දුටුවා. ඉන් සිරුරු තුනක එකිනෙකාගේ අත් අල්ලාගෙන සිටියා” යැයි ඔහු විස්තර කළේය.

එම සුන්බුන් හඳුනා ගැනීමත් සමඟ මැලේසියානු බලධාරීහු ඒවා අතුරුදන් වූ එයාර් ඒෂියා යානයේ සුන්බුන් බවට තහවුරු කළහ.

යානය පිළිබඳ කිසිම තොරතුරක් නොවූ අවස්ථාවේ ම යානයේ මගීන් ගේ ඥාතීහු ඉන්දුනීසියාවේ සහ සිංගප්පූරුවේ රැඳී සිටිමින් කුමන ‍හෝ ප්‍රාතිහාර්යයක් සිදුවී සිය ඥාතීන් නිරුපද්‍රිතව එ‍තැයි පෙරමඟ බලා සිටියහ. එහෙත් සුන්බුන් එයාර් ඒෂියා යානයේ යැයි හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සුන්වූ බලාපොරොත්තු ඇතිව සිය වේදනාව මුදා හරින්නට වූයේ විලාප තබමිනි.

යානයේ මගීන් ගේ යැයි සැක කෙරෙන සිරුරු 40 ක් මුහුදෙන්‍ ගොඩගත් බව මුලින් වාර්තා වුවද පසුව සඳහන් වූයේ සිරුරු 6 ක් පමණක් ගොඩගත් බවය. ඉන් සිරුරු 3ක් කාන්තාවන්ගේය. එක් කාන්තාවක් ගුවන් සේවිකාවක බවට විශ්වාස කෙරේ. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් තවත් සුන්බුන් හා සිරුරු ගොඩ ගැනීම ප්‍රශ්නයක් වී තිබුණේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. යානයේ දොරක්, හදිසි ගොඩ බැසීමේ ඉණිමඟක්, ඔක්සිජන් සිලින්ඩර, මගීන්ගේ බඩු බාහිරාදිය සහ යානයේ ඇලුමිනියම් කොටස් ගොඩගත් ද්‍රව්‍ය අතර විය.

ගුවන් නියමු ඉරියන්මෝගේ දියණිය සිය පියා පිළිබඳව සමාජ වෙබ් අඩවියකට පණිවුඩයක් එක්කරමින් සිය ශෝකය පවසා තිබුණේ මෙසේය. ‘තාත්තේ, අනේ ගෙදර එන්න. මට මගේ තාත්තා ඕනැ.’

යානය අනතුරට පත්වීම සැලවීමත් සමඟ සිය නිවෙසේ කාමරයකට වැදී දොරගුළු දමාගත් නියමු බිරිය නෑදෑ හිතමිතුරන් මුණ ගැසීම ප්‍රතික්ෂේප කරමින් වැලපෙන බවද වාර්තා විය.

එයාර් ඒෂියා ගුවන් යානය අතුරුදන් පුවත වාර්තාවීමත් සමඟ සුරබයා හි ජුඅන්ඩා ගුවන් තොටුපොළට පාසල් සිසුවියෝ කීප දෙනෙක් පැමිණිය. ඔවුන් පැමිණ සිටියේ අවසන් වසරේ නිවාඩුව ගත කිරීම සඳහා දෙමවුපියන් සමඟ යමින් සිටි සිය මිතුරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු දැන ගැනීමටය.

සුරබයා හි ගුවන් තොටුපොළේ මෙන්ම සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිය නෑ සිය මිතුරන් එනතුරා බලා සිටින බොහෝ දෙනෙකුගේ අවසන් පැතුම වී ඇත්තේ ඔවුන් ගැන කුමන හෝ තොරතුරක් ලබා ගැනීමය.

ඒ අතරම සුරබයා නගරයේ ගුවන් ‍තොටුපොළ ආසන්නයේ ගිලන් රථ පෙළක් මුහුදෙන් ගොඩ ගන්නා සිරුරු වහාම රැගෙන යෑම සඳහා පෙළ ගස්වා ඇත්තේය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්