කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
මට ගැහුවොත් සර්ට වුණත් මං ගහනවා

මට ගැහුවොත් සර්ට වුණත් මං ගහනවා

සුජීව, රනිල්ට කියයි

ජනාධිපතිතුමා ගිය සතියේදී ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබිණි. එම දේශනය සිදු කිරීමට පෙර එම දේශනයට අඩංගු විය යුතු කරුණු පිළිබඳව ද ජනාධිපතිතුමා සැලකිලිමත් වුණේය. එම නිසා ජනාධිපතිතුමා මේ ගැන විශේෂයෙන්ම කතාබහ කළේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමඟයි.

“මටත් පසුගිය දිනවල ලන්ඩන්වලින් ආරාධනයක් ලැබුණා. සත්ත්ව උද්‍යානයක් විවෘත කිරීමක් සහ තවත් උත්සව ගණනාවකට සහභාගි වෙන්ඩ. ඒ සත්ත්ව උද්‍යානයට නම දාලා තිබුණේ උඩවලව කියලා. හැබැයි මං ලන්ඩන්වල තත්ත්වය ගැන සොයා බැලුවා. මට දැනගන්න ලැබුණා මට උත්සවයට ආරාධනා කිරීමට එරෙහිව එල්ටීටීඊ හිතවාදීන් ලොකු විරෝධතාවයක් දක්වන්න සූදානම් වෙනවා කියලා. එල්ටීටීඊයට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන නිසා මං ඒකට සහභාගි වුණේ නැහැ. ඒ කොටි හිතවාදීන් පොයින්ට් එකක් විදියට අරගෙන තියෙන්නේ ෆොන්සේකාගේ සුදු කොඩි කතාව. ඒක ඉස්සරහට දාලා තමයි විරෝධය දක්වන්න කටයුතු කරලා තියෙන්නේ.” ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා ඇමැති බැසිල් රාජපක්ෂගේ කතාව අනුමත කළේය. “මං දන්නවා ඔය කියන කතාව. ඔය කියන විරෝධතාව කරන්නේ ෆොන්සේකාගේ කතාව අල්ලාගෙන තමයි. මං ලන්ඩන්වලට යනකොටත් ඔය විරෝධයම දක්වන්න ඉඩ තියෙනවා. මට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිහින් දේශනය පවත්වන්න ඉඩ ලැබුණත් නොලැබුණත් කියන කාරණයට වඩා ලෝකයට සහ අපේ රටට කාරණා දෙක තුනක් පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා.” ජනාධිපතිතුමා කියා සිටියේය.

එකක් තමයි එල්ටීටීඊය රටෙන් පිටත කරන දේවල් ලෝකයටම පෙන්වන්න පුළුවන්. එල්ටීටීඊයට උඩගෙඩි දෙන ප්‍රකාශ සිදු කරන මේ රට පාවා දෙන අපේ රට ගැන බොරු කේලාම් කියන උදවිය ගැන රටේ ජනතාව දැන ගන්න ඕන. අනික තමයි එවැනි ගතු කියන උදවිය ගැන ජනතාව තීරණයක් ගනීවි. ඒ අයට දෙන්ඩ ඕනේ උත්තරය මොකද්ද කියලා. අනික රටට එරෙහිව ගතු කියන එකේ බරපතළකම ජනතාව තේරුම් ගනීවි.” ජනාධිපතිතුමා ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හමුවේ කියා සිටියේය.

“මම දේශනය කළොත් මගේ දේශනයේදී එල්ටීටීඊයේ ම්ලේච්ඡත්වය ගැන ලෝකයටම කියනවා. මේ වෙන විට රටින් පිටත එල්ටීටීඊය ක්‍රියාත්මක වෙන විදිය ගැන මං එළි කරනවා. ඒ වගේ කොටි ක්‍රියාකාරකම් වගේම කුමන්ත්‍රණ ගැනත් ලෝකයට එළි කරන්න පුළුවන්.” ජනාධිපතිතුමා කියා සිටියේය.

ගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදය ගැන ජනාධිපතිතුමා සිටියේ අවධානයෙනි. “අපට විශාල මන්ත්‍රීවරුන් පිරිසක් හිටියා කියලා පාර්ලිමේන්තුවට සහභාගිවීම අඩු කරන්න එපා. විපක්ෂයෙන් එල්ලවෙන චෝදනාවලට හොඳට උත්තර දෙන්න. අපි රටට වැඩ කරලා තියෙන්නේ.” ජනාධිපතිතුමා විදේශගත වීමට පෙර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.

අයවැය විවාදය පාර්ලිමේන්තුවේ සිදු වෙද්දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර නිතර සුහද කතාබහ සිදුවිය.

ඒ අතරතුර තවත් මැති ඇමැතිවරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරයට ද පැමිණෙති. මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල නීති විද්‍යාලයේ විභාගවලට මුහුණ දෙන නිසා පාර්ලිමේන්තුවට පැමිණියේ විවේක අවස්ථාවලදී පමණි.

ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනිණි. ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊට මුහුණ දුන්නේ හොඳ සූදානමකින් යුතුවය.

මේ අතර ගිය අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද සමඟ පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙට්ටිගේ ගේ කාමරයට පැමිණියේ අලුත් තොරතුරු කොහොමදැයි විමසමිනි.

දිලුම් අමුණුගම, හේමාල් ගුණසේකර, දුමින්ද සිල්වා, වික්ටර් ඇන්තනී, මාලිනී ෆොන්සේකා, කමලා රණතුංග යන මන්ත්‍රීවරු ඒ අතර වූහ. ඒ වෙන විට පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් සිටියේ කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරයේය. “පුතා ඔයාට පහුගිය දවසක මංගල සමරවීර උන්නැහේ මොනවාද කිව්වා නේද? ඒ එක්කම මං එයාට හොඳ උත්තරයක් දුන්නා. මොන පක්ෂයක හිටියත් පෞද්ගලිකව පහර දෙන්න හොඳ නැහැ.” නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් කියා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටය.

මේ අතරතුර එම ස්ථානයට එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ ආවේය. “බුද්ධික ඔයාලාගේ පක්ෂයේ ඔය තරම් ගෝරි මොකද” මන්ත්‍රී නාමල් රාජපක්ෂ විමසා සිටියේය.

“අනේ මම නම් දන්නේ නැහැ. මං ඕවාට උත්තර දෙන්නත් කැමැති නැහැ.” මන්ත්‍රී බුද්ධික පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.

“දැන් අලුත් සන්ධානයක් ගහලානේ. සජිත්, දයාසිරි සහ බුද්ධික එකතුවෙලා පුවත්පතක ඔවුන් තිදෙනා සිටින ඡායාරූපයක් පෙන්වමින් කුමාරසිරි හෙට්ටිගේ කීවේය. “නෑ නෑ ඒක සන්ධානයක් නෙමෙයි මගේ සමාධි පදනමේ උත්සවයක පිංතූරයක් විතරයි.” මන්ත්‍රී බුද්ධික කියා සිටියේය.

මේ අතරතුර ඇමැති ඩිලාන් පෙරේරා එජාපය ගැන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට ගැඹුරු අදහස් දැක්වීමක් කළේය. “මල්ලි ඔයාට එජාපය කවදාවත් හරියන්නේ නැහැ. ඔයා වගේ අයට ගැළපෙන්නේ නැති පක්ෂයක්. රෙද්ද බැනියම අඳින මිනිහට එජාපයේ තැනක් නැහැ. අපේ රටේ පදනම ඔය පක්ෂයේ නැහැ.” ඇමැති ඩිලාන් පෙරේරා මන්ත්‍රී බුද්ධිකට කීවේය.

“ඉස්සරහට බලමුකෝ” මන්ත්‍රී බුද්ධික සිනහ වෙමින් පිළිතුරු දෙමින් එතැනින් නික්ම ගියේය.

ගිය සතියේ පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී සුජීව සේනසිංහ සහ මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු අතර ගැටුමක් ඇතිවීමට ගොස් අනූනවයෙන් බේරුණේය. ඒ එජාප නායකයා මන්ත්‍රීවරු දෙදෙනා මැදට වී සිටි නිසාය. එහෙත් මන්ත්‍රීවරු දෙදෙනා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. මේ වචන හුවමාරුව ඇතිවීමට හේතු වූයේ මන්ත්‍රී හරේන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයකි.

දිනය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා අයවැය කතාව පැවැත්වූ දිනයයි. එදින අයවැය කතාවෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේදී මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ, හරේන් ප්‍රනාන්දු, චන්ද්‍රානි බණ්ඩාර සහ තලතා අතුකෝරාළ ඇතුළු පිරිස සිටියදී මේ වචන හුවමාරුව ඇතිවී තිබිණි. “සුජීව හරියට පේ‍්‍රමදාස කාලයේ සිටි ඔසී වගේ තමයි.” හරේන් ප්‍රනාන්දු එජාප මන්ත්‍රීවරුන් අතරේදී කියා තිබිණි.

ඊට පිළිතුරු දෙන්නට මන්ත්‍රී සුජීව සේනසිංහ සැලසුම් කළේ ගිය සතියේ පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේදීය. මන්ත්‍රී සුජීව මන්ත්‍රී හරේන් ප්‍රනාන්දුට පහර දීමට උත්සාහ ගෙන තිබිණි. ඒ මන්ත්‍රීවරුන් දෙපළ අතර ඇතිවූ වචන හුවමාරුවත් සමඟමය. ඊට මැදිහත් වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහය. මන්ත්‍රී සුජීව මන්ත්‍රී හරේන්ට පහරදීමට සැරැසෙද්දී දෙදෙනා අතර සිටි එජාප නායකයා සිතුවේ මන්ත්‍රී සුජීව තමාට පහරදීමට සැරැසෙන බවය. ඒ සමඟම එජාප නායකයා පහත් විණි. මේ ගැටුම බේරීමට මන්ත්‍රී බුද්ධික පතිරණ ද මැදිහත් වී තිබිණි.

ඉන් අනතුරුව එජාප නායකයා විසින් ගැටුම සමථයකට පත් කොට මන්ත්‍රී හරේන් ප්‍රනාන්දුට කීවේ පාර්ලිමේන්තු තරප්පු පෙළ ඔස්සේ ගොස් පිටවෙන ලෙසටය. එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය සමඟ මන්ත්‍රී සුජීව සේනසිංහ විදුලි සෝපානයෙන් පිටමං කෙරිණි.

ඉන් අනතුරුව ගිය සතියේ මාධ්‍ය වාර්තා පළ කොට තිබුණේ මන්ත්‍රී සුජීව සහ මන්ත්‍රී හරේන්ට විරුද්ධව විනය පියවර ගැනීමට එජාපය සූදානම් වෙන බවටය. කෙසේ වෙතත් ගිය බදාදා මන්ත්‍රීවරුන් වන හරේන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ සහ බුද්ධික පතිරණ එජාප නායකයා හමුවට කැඳවා තිබිණි. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තුවේ එජාප නායකයාගේ කාමරයට කැඳවා තිබුණේ විශේෂ කරුණු විමසීමකටය. මන්ත්‍රී හරේන් ප්‍රනාන්දුට පෙරවරු 10.30 ට ද, මන්ත්‍රී සුජීව සේනසිංහට පෙරවරු 11.00 ට ද, මන්ත්‍රී බුද්ධික පතිරණට පෙරවරු 11.30 ට පමණ ද පැමිණෙන ලෙස එජාප නායකයා දන්වා තිබිණි.

විශේෂ කරුණු විමසීමේ අවස්ථාවේදී එජාප නායකයාගේ කාමරයට එජාප ජ්‍යෙෂ්ඨයන් ද කැඳවා තිබිණි. කරූ ජයසූරිය, තිස්ස අත්තනායක, ජෝෂප් මයිකල් පෙරේරා සහ මන්ත්‍රී ජෝන් අමරතුංග එම පිරිස අතර වූහ.

එම කාමරයෙන් පිටත තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු රඳවා තිබිණි. ඒ මන්ත්‍රී රංගේ බණ්ඩාර සහ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිය.

“මොකද සුජීව මන්ත්‍රීවරුන්ට ගහන්න යන්නේ” එජාප නායකයා මන්ත්‍රී සුජීවගෙන් විමසුවේය. “සර් වුණත් මට ගැහුවොත් මං ගහනවා. ඒක මගේ හැටි. අනිත් එක මං ලංකාදීපේ මාධ්‍යවේදියෙකුට එරෙහිව නඩු දානවා. මට හිතෙන්නේ සර් සමහරු කොටවනවා.” මන්ත්‍රී සුජීව සේනසිංහ කියා සිටියේ එජාප ජ්‍යෙෂ්ඨයන් ද මවිතයට පත් කරමිනි.

ඉන් අනතුරුව මන්ත්‍රී බුද්ධික පතිරණ එජාප නායකයා හමුවට ගියේය. “මොකද වුණේ බුද්ධික” එජාප නායකයා විමසුවේය. “නැහැ සර් හරේන් කිව්වා සුජීව ඔසී වගේ කියලා. තවත් වචනයක් කිව්වා” මන්ත්‍රී බුද්ධික එජාප නායකයා හමුවේ සියල්ල හෙළි කළේය. “ඒයි යෝධයෝ නායකතුමා ඉදිරියේ මොනවද ඔය කියන කතා” එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග විමසා සිටියේය. “නැහැ සර් මට සිද්ධ වුණු දෙයනේ කියන්න කිව්වේ. ඒකයි මං අකුරක් නෑර කිව්වේ” මන්ත්‍රී බුද්ධික කියා සිටියේය.

“ඔය ප්‍රශ්න මොනවත් ඇති වෙන්නේ නැහැනේ මොකටද ඔයාලා තේ පැන් සංග්‍රහයට ගියේ” එජාප නායකයා මන්ත්‍රී බුද්ධිකගෙන් විමසුවේය. “නැහැ සර් එදා මට උණ හැදිලානේ හිටියේ. අනික ඔය අතරේදී රුවන් විජේවර්ධන මන්ත්‍රීතුමාත් තේ පැන් සංග්‍රහයට ගියා. ඉතින් මාත් එතුමා පිටිපස්සෙන් එතැනට ගියා.” මන්ත්‍රී බුද්ධික කියා සිටියේය. ගිය සතියේදී පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී ජයලත් ජයවර්ධනට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැඩි ලෙස චෝදනා කළහ. ඒ ජනාධිපතිතුමාගේ ලන්ඩන් සංචාරයට පෙර ලන්ඩන් නුවරට ගොස් කොටි හිතවාදීන් සමඟ එක්ව රටට එරෙහි ප්‍රකාශ කළ බවට චෝදනා කරමිනි.

ඉන් පසුව කථා නායක චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල් තැබුවේය. මේ අතරතුර එජාප මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස ඇතුළු එජාප මන්ත්‍රීවරු රැසක් මන්ත්‍රී ජයලත්ගෙන් ඉල්ලා සිටියේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙසය. ඉන් පසුව මන්ත්‍රී ජයලත් ජයවර්ධන මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස වෙත තම විදෙස් ගමන් බලපත්‍රය ලබා දුන්නේය. ඉන් පසුව එය සජිත් මන්ත්‍රීවරයා විසින් ලබා දී තිබුණේ මන්ත්‍රී බුද්ධික පතිරණ වෙතය.

පාර්ලිමේන්තුව කල් තැබු පසුව මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර සහ මන්ත්‍රී බුද්ධික පතිරණ ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරියා සමඟ ගියේ සෙංකෝලය තිබු තැනටය. සෙංකෝලයේ ඇති දියමන්ති ඇතුළු දෑ මන්ත්‍රීවරු හොඳින් පිරික්සා බැලූහ. සෙංකෝලය පිළිබඳ විස්තර ද සහකාර වේත්‍රධාරියා මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දුන්නේය. ඉන් අනතුරුව මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර ඇතුළු තරුණ මන්ත්‍රී පිරිස ගියේ කථානායක තුමාගේ ආසනය ආසන්නයටය.

ඉන් අනතුරුව යළිත් වරක් සභාවේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් ලොබිය වෙත පැමිණෙද්දී රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් එජාප මන්ත්‍රී ජයලත් ජයවර්ධන වට කොට ගෙන දෝෂාරෝපණය කළහ.

ලන්ඩනයට ගිහින් අපේ රටට කරපු හානියට සමාව ගන්නවා ජනාධිපතිතුමා හමු වෙලා. රටට ද්‍රෝහි වෙන්න එපා.” මැති ඇමැතිවරු කීහ.

මේ සිදුවීම සිදුවූයේ ද පසුගිය දිනෙක මන්ත්‍රී සුජීව සේනසිංහ සහ මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු අතර ගැටුමක් සිදුවීමට ගිය ස්ථානයේදීමය. “ඔතන නම් අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය වගෙයි. ගැටුම් තමයි ඇති වෙන්නේ. ඒ නිසා ඔතනින් මන්ත්‍රීවරුන්ට යන්න බැරි වෙන්න වට කරලා තියන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලුවොත් හොඳයි.” මන්ත්‍රී බුද්ධික එජාපයේ සහ රජයේ මැති ඇමැතිවරුන් සමඟ කීවේය.

පාර්ලිමේන්තුවේදී රජයේ මැති ඇමැතිවරුන් මන්ත්‍රී ජයලත් ජයවර්ධනට දෝෂාරෝපණය කරන විට ඔහු වෙනුවෙන් එජාපයේ එකම මන්ත්‍රීවරයකු හෝ පෙනී නොසිටීම ද විශේෂත්වයක් වීය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ විශේෂ ආරාධනයට අනුව බ්‍රිතාන්‍යය බලා ගිය ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට තමන් පැමිණි කාර්ය ඉටුකර ගැනීමට අවකාශ ලබා නොදීමේ සිදුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා රාත්‍රියේ විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි.

මේ දේශපාලන මණ්ඩල විශේෂ සාකච්ඡාව පක්‍ෂ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, සහ ප්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

කොටි සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක්. ඔවුන්ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ කරන්න ඉඩ හැරිලා බලා ඉඳපු බ්‍රිතාන්‍ය රජය කර ඇත්තේ මුළුමහත් ශ්‍රී ලාංකීය ජාතියටම අවමන් කිරීමක්.” සාකච්ඡාව අරඹමින් ප්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ පෙන්වා දුන්නේය.

”තමන්ගේ රටට ආපු රාජ්‍ය නායකයකුට ඔහු පැමිණි කාරණය ඉටු කර ගන්න ඉඩ සලසා දෙන්න බැරි රාජ්‍යයක් බවට අද බ්‍රිතාන්‍යය පත්ව තිබෙනවා. අපේ රටේ බිහිසුණු යුද වාතාවරණයක් තිබියදී පවා රටට හිතැති වේවා, අහිතැති වේවා, ඕනෑම රටක රාජ්‍ය තාන්ත්‍රිකයකුට මේ රටට පැමිණ, තමන් පැමිණි සැලසුම්, වැඩසටහන් සාර්ථකව බාධාවකින් තොරව සාකච්ඡා කරන්න අවශ්‍ය ඉඩකඩ අපි සළසා දුන්නා. එහෙත් කොටි හිතවාදි රටවල් යුදමය තත්ත්වය ඉදිරියට දමමින් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට නම් කරමින් අවමන් කළා.

ඒත් අද මේ සිදුවීමත් එක්ක මුළුමහත් ලෝකයටම බ්‍රිතාන්‍ය පාලකයන් පෙන්වා දී ඇත්තේ කුමක්ද? වෙන දෙයක් නොවෙයි, තමන්ගේ අසාර්ථක භාවය” යැයි විමල් වීරවංශ මෙහිදී අවධාරණය කළේය.

සමහර රටවල් පසුගිය දශක කිහිපය පුරාම ප්‍රාර්ථනය කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජයග්‍රහණය. නමුත් ජනාධිපතිතුමන් ඇතුළු රණවිරුවන් තමන්ගේ ඒ සිහිනය බිඳ වට්ටපු එකේ පළිය ගන්නයි අද මේ විදිහට කටයුතු කරන්නේ. මේක ඉතා නින්දිත ක්‍රියාවක්. අපි මේ “ශ්‍රී ලංකාවට එරෙහි හතුරු පිළිවෙත හෙළා දැකිය යුතුයි. අපේ රටට සිදු කළ මේ නින්දිත ක්‍රියාදාමයට එරෙහිව අපි මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාවම පෙළගැස්විය යුතුයි.” විමල් වීරවංශ තවදුරටත් අවධාරණය කරමින් පෙන්වා දුන්නේය.

”මේ කොටි විරෝධතා සංවිධානය කර තිබුණේ ඊළම් ධජය යටතේ. ඒත් මේ විරෝධතාවලට කොටි හිතවාදීන් පමණක් නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂයද තම හිතවතුන් සහභාගි කර තිබුණා.” නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්‍ගයකින් අනාවරණය කරගත් තොරතුරක් හෙළි කළේය.

”මේ තත්ත්වය හමුවේ අපට නිහඬව ඉන්න බැහැ. අපි මේ තත්වයට එරෙහිව මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාවම පෙළගැස්විය යුතුයි. සිදු වී ඇති නින්දිත ක්‍රියාදාමය පිළිබඳව රටම දැනුවත් කළ යුතුයි.” විමල් වීරවංශ අවධාරණය කළේය.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සවස සියලු මාධ්‍ය ආයතන කැඳවා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා මේ කාරණය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කළේය.

සිකුරාදා කොළඹ, බෞද්ධාලෝක මාවතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට මහ ජන ගඟක් ගැලුවේය.

”කොටියා දාලා - ජනපතිගෙන්

පලිය ගන්න

කොටිය ඉවර – කරපු එකේ

පලිය ගන්න ... ආදී සටන් පාඨ සමඟ දැවැන්ත උද්ඝෝෂණයක් ඒ අනුව පැවැත්විණි.

2011 වසර සඳහා වන ඌව පළාත් සභාවේ අයවැය විවාදය පසුගියදා අවසන් වීය. නව ඌව වෙල්ලස්සක් හැදීමට පළාත් මහ ඇමැතිවරයා ගෙන ආ අයවැය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී පළාතේ ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට ගෙනා යෝජනා ද පළාත් සභාවේ විවාදයට ලක්විය. පළාත් ප්‍රධාන ඇමැති ලෙස මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ පිළිතුරු කතාවට විපක්ෂය සවන් දුන්නේ නිහඬවමය.

මෙලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිහඬ වීමට හේතු ද අයවැය විවාදය අතරතුර එළියට පැන්නේය. හේතුව විදිහට කියවුණේ ද අමුතුම කතාවකි.

“විපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරෙන්ම ශෂින්ද්‍ර මහ ඇමැතිවරයා මඟින් උදව් අරගෙන” මේ කතාව ද අයවැය විවාදය අතරතුර කියවුණේය.

“මේ අතරතුර එම සිදුවීම එජාප මූලස්ථානයට ආරංචි වී එජාප සිරිකොත මූලස්ථානය මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් විමසා තිබුණේ එලෙස උදව් ලබාගත් එජාප පළාත් මන්ත්‍රීවරුන් ගැනය. නමුත් මහ ඇමැතිවරයා එජාප පළාත් මන්ත්‍රීවරුන් ගැන හෙළි කර තිබුණේ නැත.

සාටක සංගමය, රාජපක්ෂ සමාගම කියලා දොස් කියන හැමෝම මට කියලා අපේ තාත්තාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් උදව් ලබා ගන්නවා.” මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේ පළාත් සභාවේ සියලු දෙනාම හිනස්සවමිනි.

මේ අතරතුර ඌව පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති අනුර විදානගම අයවැය විවාදය රසවත් කරමින් අමුතු කතාවක් කීවේය.

“අපේ මහ ඇමැතිතුමා ඌව පළාතේ ගෙන යන ‘සිත්සර උදානය’ සම්මන්ත්‍රණ මාලාව බොහොම ජනපි‍්‍රයයි. පසුගිය දවසක මහියංගනයේ මේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වුණා. එතැනට කුඩා දරුවන් 2000 ක් විතර එකතු වෙලා හිටියා. ඒ හැමෝම මහ ඇමැතිතුමා පිළිගත්තේ අත්පුඩි ගහලා ශෂීන්ද්‍ර මාමාට ආදරෙයි කියමින් කෑ ගසමින්. ඒ විතරක් නෙමෙයි එතැන හිටපු ගුරුතුමියකුත් ශෂීන්ද්‍ර මාමාට ආදරෙයි කියලා කෑ ගැහුවාලු” අනුර විදානගම ඇමැතිවරයා කීවේ සියලු දෙනාම හිනස්සවමිනි.

පළාත් සභාවේ අයවැය අතරේ අනුර විදානගම ඇමැතිවරයා කළ කතාවට ශෂීන්ද්‍ර මහ ඇමැතිවරයාට ද හිනාව නවතා ගන්නට නොහැකි විය.

පසුගිය අඟහරුවාදා පැවැති සබරගමුව පළාත් සභා රැස්වීම පැයක් වැනි කෙටි කලක් තුළ අවසන් කර එය දෙසැම්බර් 07 දක්වා කල්තැබීමට සභාපති රංජිත් බණ්ඩාර ට සිදුවිය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන රම්‍ය කුමාර වීරසිංහ ජනාධිපතිතුමාගේ දෙවන ධූර කාලයට සබරගමුව පළාත් සභාවේ සුභාශිංෂණ පළ කළ යුතු යැයි වූ යෝජනාව ඉදිරිපත් කළ අතර එය මහ ඇමැති මහීපාල හේරත් ස්ථිර කළේය.

කෙසේ වෙතත් විපක්ෂ නායක ඒ.ඒ.විජේතුංග සඳහන් කළේ එතුමාට සුබ පැතීමේ යෝජනාවක් මීට පෙර තම කණ්ඩායමේ ද පූර්ණ සහයෝගය ඇතිව මේ සභාව සම්මත කළ බැවින් නැවත වරක් එවැනි යෝජනාවක් ගෙන ඒම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි.

යුද්ධය නිමා කළ එතුමාට තම කණ්ඩායමේ ප්‍රශංසාව හිමිවන බව මීට පෙර මා සඳහන් කර ඇතැයි ද විපක්ෂ නායකවරයා කීය.

එහෙත් ඒ සමඟම නැඟී සිටි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී රංජිත් ප්‍රියන්ත කුමාර මේ යෝජනාවට අදාළව අදහස් දැක්වීම සඳහා තම පක්ෂයට කාලය ලබා දෙන්නැයි විපක්ෂ නායකවරයාගෙන් එදින උදෑසන ඉල්ලීමක් කළේ යැයි කීවේය.

සභාපති රංජිත් බණ්ඩාර සඳහන් කළේ විපක්ෂ නායකවරයා තමන්ට මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බවය. යෝජනාවට අදාළව ප්‍රධාන අමාත්‍යවරයා ද අදහස් දක්වා අවසන් බැවින් තවදුරටත් මේ පිළිබඳ අදහස් දැක්වීම සදාචාර සම්පන්න නොවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට විපක්ෂ නායකවරයා සහ ජ.වි.පෙ. මන්ත්‍රීවරයා එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින් චෝදනා ප්‍රතිචෝදනා එල්ල කර ගැනීමට වූ අතර ආණ්ඩු පක්ෂයේ අතුල කුමාර රාහුබද්ධ, ශ්‍රීලාල් වික්‍රමසිංහ යන ඇමැතිවරුන් ද විපක්ෂ නායකවරයා දිරිමත් කරනු පෙනිණි.

කෙසේ වෙතත් සභාව දිගින් දිගටම උණුසුම් වෙමින් තිබියදී සභානායක ඉමිතියාස් කාදර් එදින පෙරවරු 11ට සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සභාපති රංජිත් බණ්ඩාර මීළඟ රැස්වීම දෙසැම්බර් 07 යනුවෙන් සඳහන් කරමින් රැස්වීම් ශාලාවෙන් පිටව ගියේය.

එහෙත් සභාව කල්තැබීමෙන් අනතුරුව ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විනාඩි ගණනාවක්ම සභා ශාලාව තුළ ගැවසෙනු දක්නට ලැබිණි.

පසුගිය සඳුදා උදෑසන 3.15ට චීන සංචාරය නිමවා දිවයිනට පැමිණි සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් අනතුරුව එදින මුළු දවසම ගතකළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් හතරක පැවැති විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගී වෙමිනි.

උඳුගොඩ දෙමළ විද්‍යාලයට පැමිණි මහීපාල හේරත්ට එහි වතු කම්කරු මාපියන් දැක්වූ හරසර කෙතරම් වීද යත් හැඟුම්බර වූ මහ ඇමැතිවරයාට අදහස් දක්වන අතරතුර නෙතට ගැලූ කඳුළු සඟවා ගැනීමට මහත් උත්සාහයක් ගැනීමට සිදුවිය.

තේ දළු සහ වනමලින් සැකසූ මල්දම් අතින් ගෙන සිටි වතු කම්කරු මවුපියන් මහීපාල හේරත්ගේ ගෙලවට තරගයට මෙන් ඒවා පැලඳූ අතර මහ ඇමැතිවරයා සඳහන් කළේ තමන්ට දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් අමාත්‍යවරයා සිහිපත් වූ බවය.

මගේ දේශපාලන ජීවිත කාලය තුළ මෙතරම් විශාල මල්දම් ප්‍රමාණයක් මට පැළඳූ අවස්ථාව මෙයයි. මහීපාල හේරත් සඳහන් කළේය. ඔහු උඳුගොඩ පාසලෙන් නික්ම ගියේ යටිදැරිය ඇතුළු අවට වතු ප්‍රජාව සකස් කර තිබූ දිවා භෝජනය ද භුක්ති විඳීමෙන් පසුවය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සබරගමුව පළාතේ පළමු ස්ථානයත් දිවයිනේ වැඩිම ලකුණු ගත් පස්දෙනා අතරටත් වැටෙන එස්.ඩී.එස්.එස්.කුමාරි දැරියට උපහාර පිදීමේ උළෙලක් එදිනම ඈ ඉගෙනුම ලැබූ වරකාපොල මායින්නොළුව විදුහලේ දී පැවැත්විණි.

ලකුණු 191 ක් ලබාගනිමින් සබරගමුවේ පළමුවැනියා වූ ඇයට උපහාර පිදීම සඳහා සබරගමුවේ මහ ඇමැති මහීපාල හේරත්ට ද ඇරැයුම් ලැබී තිබිණි.

මේ උත්සව සභාවට දැදිගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය මනෝද විජේරත්න එක්ව සිටි අතර උත්සවය අතරතුර ඔහු පසුගිය දිනක මරණයට පත් සියඹලංගමුව සද්දන්තයාගේ අකල් මරණය පිළිබඳ බොහෝ සිත් තැවුලින් යුතුව මහ ඇමැතිවරයාට කරුණු කීය.

ඇතාගේ දළ යුග මෙපමණක් දිග යැයි ඔහු මහ ඇමැතිවරයාට විග්‍රහකළේ තාවකාලික වේදිකාවේ කණුවක උස මහත ද උපහැරණයට ගනිමිනි.

මේ රැස්වීම අමතමින් මනෝද විජේරත්න සඳහන් කළේ “මම දැන් පැරැදුණු මිනිහෙක් අඩු තරමින් සමූපකාර සංගමයකවත් මගේ නිල බලයක් නැහැ. ඒ හින්ද දැදිගම මේ මායින්නොළුව ඉස්කෝලේ ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු වලදී මහ ඇමැතිවරයාගේ උපකාර අපේක්ෂා කරන බවය.

මහ ඇමැතිවරයා උත්සව සභාවෙන් පිටව ගියේ කුමාරි දැරියට රුපියල් විසි පන්දහසක මුදල් තිළිණයක් පිරිනැමීමට පළාත් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ද රැස්වීමේදී හෙලිදරව් කිරීමෙන් පසුවය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා