|
|||||||||||||||||||||
බණ්ඩාරනායක සිරිමතාණන් සෙවනේ ඇය ලෝකය පිළිබඳවත් දේශපාලනය පිළිබඳවත් මහා දැනුම් සම්භාරයක් ලබාගත්තත් ඇයගේ ජීවිතය සිය සැමියාගේ හා දරු තිදෙනාගේ කටයුතු සඳහා සීමා විය. 1956 දී බලයට පත් බණ්ඩාරනායක රජය බටහිර අධිරාජ්‍ය විරෝධී සමාජවාදී පිළිවෙතක් යටතේ මෙරට සාමාන්‍ය ජනතාවට සහන ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරද්දී බණ්ඩාරනායක මහතා පිටුපසින් සෙවණැල්ලක් සේ ඇය සිටියාය. බණ්ඩාරනායක මහතා ගේ ඝාතනයෙන් පසු පක්ෂයේත් රටේත් නායකත්වය බාර ගත් ඇය එතුමාගේ සමාජවාදී ප්‍රගතිශීලී වැඩ පිළිවෙළ හා ප්‍රතිපත්ති ඉදිරියටම ගෙන යාමට කැප වූවාය. ලෝකයේ පළමුවන අගමැතිනිය ලෙස ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූයේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ කැපී පෙනෙන චරිතයක් වෙමිනි. බණ්ඩාරනායක රජය මඟින් ගෙන ගිය ජනසතු ව්‍යාපාර ඉදිරියට ගෙන යමින් සමාජවාදී ලෝකයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම ඇය නොබැඳි ජාතීන් අතර මෙන්ම රුසියාව, චීනය වැනි සමාජවාදී රටවල පවා ඇය ගෞරවයට හා පිළිගැනීමට හේතු විය. 1961 දී බෙල්ග්‍රේඩ් හි පැවැති නොබැඳි ජාතීන්ගේ මංගල සැසි වාරයේදී ඇය සිය චතුර කතිකත්වය විදහා කළ කතාව ද ලෝක ජන නායකයන්ගේ ඇස් අරවන්නට හේතු විය. එවක ලෝකයේ ජනපි‍්‍රය රාජ්‍ය නායකයන් වූ යුගෝස්ලෝවියාවේ මාර්ෂල් ටිටෝ, චීනයේ චෞ එන්ලායි, ඊජිප්තුවේ අබ්දුල් නසාර්, ලිබියාවේ කර්නල් ගඩාෆි, ඉන්දියාවේ ශ්‍රී නේරු හා ඉන්දිරා ගාන්ධි, පාකිස්තානයේ අයුබ් ඛාන්, කාම්බෝජයේ සිහනුත් කුමරු, ඝානාවේ න්කෲමා ඇයගේ පෞද්ගලික මිතුරන්වන තරමට ශ්‍රී ලංකාව හා සමඟ බැඳී සිටියේ ඇගේ සමාජවාදී විදේශ පිළිවෙත නිසාය. ඇගේ විචක්ෂණ බුද්ධියත්, දුරදක්නා නුවණත් සහජ ඥානයත් රට අන්තර්ජාතික තලයේ මනා ලෙස හැසිරවීමට ඇයට උපකාරි විය. ඇයට රට කරගෙන යාමේදී ද පැහැදිලි සමාජවාදී ප්‍රතිපත්තියක් තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජවාදී ආර්ථික දර්ශනය ඇය ඉදිරියට ගෙන ගියේ විරුද්ධවාදීන් ගේ දෝෂාරෝපණ මැදය. ඇයට ඊට අවශ්‍ය ධෛර්යයත් නිර්භීත භාවයත් නිසගයෙන්ම පිහිටා තිබිණි. තෙල් සමාගම් ජනසතු කිරීමට ගත් එඩිතර පියවරට අධිරාජ්‍ය ගැති පක්ෂ හා පිරිස් විරුද්ධ වුවද ඇගේ එඩිතරකම හරහා ඒ සියල්ල නිසි පරිදි සිදුවූයේ පිටරට සමාගම්වලට ඇදී ගිය කෝටි ගණන් මුදල් මෙරට ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉතිරි කරමිනි. ධනවාදී රටවල් ඇයගේ මේ තීරණයට එරෙහිව සිටිය ද, ඊජිප්තුව, ඉන්දියාව, චීනය හා රුසියාව ඇයට පක්ෂව සිටියේය. 1956 න් පසු ඇරැඹි මහා සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ දී ඇය එඩිතරව තීරණ ගත්තේ රටේ ජනතාව ගැන සිතා මිස ඇගේ පෞද්ගලික සුඛවිහරණය හෝ වාසිය තකා නොවීම විශේෂයකි. 1965 දී බලයට පත් ඇගේ රජය රටේ තරුණ නායකයන්ට ඉදිරියට ඒමට අවස්ථාව සලසමින් සිය සමාජවාදී ප්‍රතිපත්ති හරහා රට සුඛිත මුදිත කිරීමේ ප්‍රථම පියවර ගත්තේය. 1970 දී යළි බලයට පත් ඇය නව සමාජවාදී රජයක් බිහි කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය කොට අධිරාජ්‍යවාදීන් සතුව අප රටේ තිබු සියලු බන්ධන බිඳ දැමුවාය. 1972 ව්‍යවස්ථාව හරහා නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය පිහිටුවා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ සිරිමාවෝ එමඟින් ජනතා ආධිපත්‍යය ඉහළින් ඔසවා තබන්නට සමත් වූවාය. රටේ කර්මාන්ත ශාලා වැඩි දියුණු කරමින් මෙරට කාර්මික හා කෘෂිකාර්මික රටක් කිරීමට ඇය ගත් වෑයම සාර්ථක එකක් විය. වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මහජන බැංකුව ආදිය ඇගේ සමාජවාදී ආර්ථික පිළිවෙත යටතේ දියුණුවෙන් දියුණුවට පත්විය. දේශීය රෙදි පිළි කර්මාන්තයට තැනක් දෙමින් පේෂ කර්මාන්ත සංස්ථාව ඉහළින් දියුණු වූයේ ජනතාවටම ඒවායේ ආර්ථික ප්‍රතිපාදන ලබා දෙමිනි. එහෙත් ඇගේ ප්‍රතිපත්ති පිළිබඳව නොරුස්සන කොටස්වල දැඩි දෝෂ දර්ශනයට ලක්වූ ඇයට දේශීය මෙන්ම විදේශිය කුමන්ත්‍රණවලට ද මුහුණ දීමට සිදුවිය. 1971 කැරැල්ලට ඇයට මුහුණ දීමට සිදුවූයේ මේ අවදියේදීය. ගැමි තරුණ තරුණියන් කෙරෙන් මතුවූ මේ කැරැල්ලට සාර්ථකව මුහුණ දුන් ඇය ඊට සහභාගිවූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කරමින් ඔවුන් රටට හිතැති තරුණ පරපුරක් ලෙස ගොඩනඟන්නට උත්සාහ ගත්තාය. නොබැඳි ජාතීන් ගේ සමුළුව 1976 දී ශ්‍රී ලංකාවේ පවත්වමින් ද එහි සභාපතිත්වය හොබවමින් ද ඇය ශ්‍රී ලංකාව අන්තර්ජාතික තලයේ ඉහළින්ම ඔසවා තබන්නට දැඩි වෙහෙසක් ගත්තාය. සමාජවාදී හා ධනවාදී රටවල ද සහයෝගය ලබා ගනිමින් රටේ ආර්ථිකය නංවන්නට ඇය ගත් ප්‍රතිපත්ති ප්‍රශංසනීය විය. මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමා ද එකල ළාබාල මන්ත්‍රීවරයකු වශයෙන් ඇගේ රජයට එක්වෙමින් පන්නරය ලැබුවේ ද ඇගේ සෙවනින් වීම ද විශේෂයකි. එඩිතර පියවර ගැනීමේ හැකියාවත්, සියලු දෙනාම එක්තැන් කොට සිය සමාජවාදී ගමනට එක්කර ගැනීමත් ඇගේ ප්‍රතිපත්ති අතර කැපී පෙනිණි. 1960 ජූලි මස 21 වැනි දින ලෝකයේ ප්‍රථම අගමැතිනිය වෙමින් කාන්තාවන් ලෝකයේ සමතැන් ගත යුතු ය යන්න ආදර්ශයෙන් පෙන්වා දුන් මේ දිරිය මාතාව ඉතිහාසය අලුතින් ගොඩ නැඟුවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
| |
||||||||||||||||||||
|