තරුණ නිර්මාණකරුවනට වේදිකාවක් තැනූ සිළුමිණ
 

තරුණ නිර්මාණකරුවනට වේදිකාවක් තැනූ සිළුමිණ

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

සිළුමිණ” පුවත්පත ආරම්භ වනවිට ලංකාවේ පැවැතියේ “මුද්‍රිත මාධ්‍යය” පමණි. දක්‍ෂිණාංෂික දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් වාමාංශික ව්‍යාපාරය හෙළා දැකීමේ ප්‍රවණතාව ඒ මාධ්‍යයන්හි කැපී පෙනිණි. එහෙත් “සිළුමිණ” ඒ සඳහා ම පමණක් සීමා නොවීය.

භාෂාව ආරක්ෂා කරමින්, වියරණ රැක ගනිමින් ඊටත් ඔබ්බට ගමන් කරමින් භාෂාවේ සන්නිවේදන ශක්තියද වැඩි කර ගැනීමට සිළුමිණ උත්සුක විය.

ඒ ගමන් මඟ හමුවේ ආලෝකය සැපැයූ පියසේන නිශ්ශංක ප්‍රමුඛ කෘතහස්ත මාධ්‍ය විශාරද කතුවරුන් රැසකි. මේ දීර්ඝ ගමන් මඟ හමුවේ ඔවුන් ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු ව ඇත. ලෝකයේ ඕනෑ ම රටක ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය ආයතනයක ප්‍රධාන අරමුණු දෙකක් දක්නට ලැබේ. ඉන් පළමුවැන්න නම් නිශ්චිත දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටිමින් තරගකාරී වෙළඳ රටාවකට අවතීර්ණ වීම ය.

මුල්‍යමය ලාභාපේක්‍ෂාව අරමුණු කරගත් අලෙවිකරණය වර්ධනීය මට්ටමක පවත්වා ගැනීම ය. ශාස්ත්‍රීය නිර්මාණ, සාමාජීය ගවේෂණ කතිකාවන් නිර්මාණය පිළිබඳ ව අවධානය යොමු වන්නේ ඉන් අනතුරුව ය. (එය අතුරු අරමුණකි) පවතින හැම මාධ්‍යකට ම මේ රටාවෙන් අද වන විට බැහැරවීමට නොහැකි වී ඇත. ‘සත්‍යය’ එයයි.

සිළුමිණ ඒ කාර්යය භාරයේ ම රැඳී නොසිට රට තොට කාලීන තොරතුරු හා ප්‍රවෘත්ති අඛණ්ඩ ව සපයමින් ශාස්ත්‍රීය, භාෂා සාහිත්‍ය කලා, පර්යේෂණ වලින් සමන්විත වූ සමාජ කතිකාවන්ට මංපෙත් විවර කරදීම අවධානයට ලක්විය යුතු කරුණකි. දේශපාලනයට පදනම වූයේ ද ඒ විවිධ සංවාද හා කතිකාවන් ය.

මේ නව ප්‍රවණතාව, ශ්‍රී විභූතිය ආරම්භක යුගයේදී ම සිළුමිණ පාඨකයා අභියසට ගෙන එන්නට හැකිවිය.

සිළුමිණ ඇරැඹූ ආරම්භක යුගය වන විට පුවත්පත් කියැවීමේ උනන්දුව ද, රුචිය ද සමාජය වෙතින් ගිලිහී ගොස් තිබිණි. සාක්ෂරතාවය ද එසේ ම ය. එහෙත් සිළුමිණ ඇති කළ මේ නව ප්‍රබෝධය හේතුකොටගෙන බොහෝ දෙනෙක් කියවන්නට පුරුදු පුහුණු වූහ. පුවත්පත් කියවා ශ්‍රවණය කළ බොහෝ දෙනෙකුද ඒ අතර විය. මෙරටේ සාක්ෂරතාවයේ වර්ධනයට ද එය හේතුවූ

වාට සැක නැත. කියැවීමේ සංස්කෘතිය මේ සමාජය තුළ මුල්බැස ගැනීමට පදනම වැටුණේ ඒ කාලවකවානුවේ සිට ය.

මේ හමුවේ මා දකිනා සුවිශේෂි කාරණාව වනුයේ ගැඹුරු ශාස්ත්‍රීය, සාහිත්‍ය කලා පර්යේෂණ සංවාද පිළිබඳ ව මෙරට විද්වතුන්ගේ දැඩි අවධානය යොමුවීම ය.

ඒ අතර මෙරට සන්නිවේදන, සංස්කෘතික, සමාජීය හා කලා මාධ්‍යයන් වැනි විවිධ අංගයන් කෙරේ කෘතහස්ත මඟපෙන්වීමක්, මෙහෙවරක් ඉටුකළාවූ ‘ප්‍රවේශ’ අතිරේකයද කාගේත් අවධානයට යොමු වන්නකි. මීට පෙර සිළුමිණ පුවත්පත සමඟ ආ විද්වත් සංවාද මණ්ඩපයක් ලෙස, මා එය හඳුන්වා දීමට කැමැතියි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට මෙන් ම මෙරට අධ්‍යාපන ගවේෂකයන්ට ද සිළුමිණ මහත් රුකුලක් වූවාට සැක නැත. 1953 වසරේදී ඇරැඹි මෙරට හර්තාලය උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳවද මා එහිදී ලිපි පෙළක් රචනා කළ බව දැනුදු සිහිපත් වේ. එය මා හට ඉතා හොඳ අත්හදා බැලීමක් මෙන් ම හොඳ පර්යේෂණයකට මඟ පෙන්වීමක් ද විය. ආධුනික නිර්මාණකරුවකු ලෙස මගේ නිර්මාණ අත්දැකීම් සමාජගත කිරීම උදෙසා සිළුමිණ පුවත්පත මහත් පිටුවහලක් වූ බව මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් සිහිපත් කරමි. මට මෙන් ම එවන් තරුණ අංකුර නිර්මාණකරුවන් බොහොමයකට ඒ මඟ සලස්වා දෙන්නට සිළුමිණ කිසි විටෙක ලෝබ නොවී ය. ඒ අභිමුව ජනපි‍්‍රය, ක්ෂණික රැලි තෝරා ගත්තේ නැත. ඒ හමුවේ ජාති, ආගම් භේද කිසිවක් නොවී ය.

ප්‍රසන්න ජයකොඩි, ජයන්ත චÁද්‍රසිරි, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම් වැනි එදා සිටි තරුණ ලේඛකයන්ට, සාහිත්‍යකරුවන්ට, සිනමාකරුවන්ට, ඔවුන්ගේ ශක්‍යතාවන් ගැඹුරින් සංවාදගත කිරීම සඳහා සොඳුරු සංවාද මණ්ඩපයක් ම විය.

අද අප අතට පත්වන පිටු රැසකින් සමන්විත වූ “පුන්කලස” අතිරේකය ද ඒ මඟ අනුගමනය කරමින් ගමන් කරනා බව පෙනේ. එය සතුටට කාරණාවකි. එසේ රටට උගතුන් බිහි කිරීමට ශක්තියක් වූවා සේම දෙස බස රකිමින් බෞද්ධාගමික පුනර්ජීවනයක් උදෙසා ද සිළුමිණේ වෙන් කළ පිටු අපමණ බව කිව යුතු ය.

විවිධ විපර්යාසයන්, වෙනස්වීම්, හැල හැප්පීම් මාධ්‍යයේ වුවද සිළුමිණ පැමිණි මේ දීර්ඝ ගමන් මඟ තුළ, මාධ්‍යක් හැටියට සමාජ සංවර්ධනයක් උදෙසා යම් කාර්ය භාරයක් කිරීමට සමත් වූ බව පෙනේ.

දෙස බස රකිමින් භාෂාවේ සන්නිවේදන ශක්‍යතාවන් වැඩි දියුණු කොට, රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට ඉදිරියටත් සිළුමිණ වෙනත් මාධ්‍යයන්ට මාර්ගෝපදේශකත්වය සැලැසිය යුතු ය.

”පත්තර මහගෙදර” ඇරඹි, ජාතික පුවත්පතක් ලෙසත්, රාජ්‍ය කේන්ද්‍රීය පුවත්පතක් ලෙසත් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන සිළුමිණ ඒ ඒ කාලවලට ඔබින අයුරින් හැඩ ගැසීමට සමත් වී ඇත. පැමිණෙන සියලු අභියෝගයන් දරා ගැනීමට නම්‍යශීලී විය යුතු ය.

කුරිරු යුද්ධය නිමාවී ඇත. නව සංවර්ධනයක් කරා අප රට ළඟා විය යුතු ව ඇත. ඒ හමුවේ මෙරට සවර්ධන ක්‍රමෝපායන්, උපක්‍රම, වැඩපිළිවෙළ හඳුන්වා දිය යුතු ය. රාජ්‍ය කේන්ද්‍රීය පුවත්පතක් ලෙස මෙරට සංවර්ධනය පිළිබඳ ව ජාතික න්‍යාය පත්‍රය සන්නිවේදන ක්‍රියාදාමයට හසුකර ගත යුතු ය. ඒ පිළිබඳ ව කතිකාවන් සංවාද නිර්මාණය කිරීමට රාජ්‍ය මාධ්‍යයක් ලෙස සිළුමිණට ඇති වගකීම ද අති මහත් ය. ඒ හමුවේ පෙර ගමන්කරුවා ද විය යුතු ව ඇත.

ජයගත යුතු ඒ සංවර්ධන අභියෝගයන් මම මෙලෙස හඳුන්වා දෙමි. ඉන් පළමුවැන්න, රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම ය. දෙවැන්න රටේ නීතිය, සාධාරණත්වය හමුවේ යුක්ති සහගත බව, විනය තහවුරු කිරීම ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සමාජීය යහ පැවැත්ම හා රටේ සුබ සිද්ධිය ඇති කිරීම තුන්වැන්න ලෙස හඳුන්වා දිය හැකිවේ.

මේ සංවර්ධන අභියෝගයන් හමුවේ සමාජයේ ජනතාවගේ උදවු, අවශ්‍යතා, අනුමැතියන් හා බැඳි සමාජ කතිකාවන් ගොඩ නැගිය යුතු බව තවදුරටත් පවසනු කැමැත්තෙමි. මේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ජනමාධ්‍යවේදින් රැසක් ම, සිළුමිණ කර්තෘ මණ්ඩලය තුළ සිටිනා බවද මේ අවස්ථාවේ සිහිපත් කරමි. හෙට දින වඩාත් යහපත් ලොවක් තැනීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි අපේ උදක්ම බලා පොරොත්තුව ය.

එදා සිළුමිණ හැඳින්වූයේ “ශත දහයේ විශ්වවිද්‍යාලය” යන නමිනි. වසර ගණනාවක් ගතවුවත් ඒ නොනිමි යුග මෙහෙවර හෙට දවසට ද ඉඩ සලසමින් 80 වෙනි සංවත්සරය සමරනා මේ අවස්ථාවේ සිළුමිණ පුවත්පතට තවත් ඉදිරි මෙහෙවරක් කිරීමට සහෘද්‍යාංගමව සුබ පැතුම් එක් කරමි.