ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නියමුවා සිළුමිණයි
 

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නියමුවා සිළුමිණයි

 

සිළුමිණ පුවත්පත තුළ ශාස්ත්‍රීය ලිපි එකතුවක් ලෙස, නිතිපතා කලඑළි දකින පුන්කලස සංග්‍රහය අළලා 2006 - 2007 යන වර්ෂ අතරතුර, ග්‍රන්ථයක් නිර්මාණය විණි. වර්තමානයේදී ද එබඳු ග්‍රන්ථයක් සැකසෙමින් පවතින බව අසන්නට ලැබිණ. සිළුමිණ පුන්කලස තුළ සංසරණය වූ ලිපි ඇසුරින් එවන් ග්‍රන්ථ නිර්මාණය වීම, අතිශයින් ඵලදායක ය. මේ සම්බන්ධයෙන්, මා කලින් දැක්වූ ග්‍රන්ථයේ පූර්විකාවෙහි, සිළුමිණ කර්තෘ කරුණාදාස සූරියආරච්චි හා එවක නියෝජ්‍ය කර්තෘව සිටි නන්දන වීරසිංහ මෙබඳු අදහසක් පළ කළහ.

“සිළුමිණ පුවත්පත ශාස්ත්‍රීය හා විදග්ධ කලාව සම්බන්ධයෙන් සිය අතීතයේ සිට පැවැත්වූ ඥාතිත්වය පිළිබඳ ව මෙරට වැඩිහිටි පාඨක ජනයා හොඳින් දනිති. කලාව, දර්ශනය, පුරා විද්‍යාව, ඉතිහාසය බඳු විෂයයන් වෙනුවෙන් ලොව කවර හෝ පුවත් පතක සැලසෙන ඉඩ අවකාශ විමසා බලන කල සිළුමිණ අද ද අද්විතිය වෙයි.”

ඔවුන් දෙදෙනා මෙහි සඳහන් කරන ශාස්ත්‍රීයත්වය, කාට හෝ භාණ්ඩයක් ලෙස විකුණා ප්‍රතිලාභ ලබාගත හැකි දෙයක් නොවේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, වරක් “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි පළ කළ ප්‍රකාශයක්, මහාචාර්ය ඩයස් ගුණරත්න විසින් “ සරච්චන්ද්‍ර නම් දාර්ශනිකයා” නම් වූ සිය කෘතියෙහි උපුටා දක්වයි. ඊට අනුව “ගැඹුරු කලාව හෝ ශාස්ත්‍රීයත්වය අළෙවි කළ හොත් ඒවාට විශාල ප්‍රතිලාභ නොලැබේ. එසේ නම් එබඳු ශික්ෂණ ක්‍රම පැවැතිය යුත්තේ හා පවත්වාගත යුත්තේ ඇයි ද? යන පැනය නැඟෙනු ඇත.

සමස්ත ජන ප්‍රජාවේ සංස්කෘතික පැවැත්ම රඳා පවත්නේ එබඳු උසස් ඇවතුම් පැවතුම් ඇසුරෙහි වීම ඊට හේතුවයි. නූතන සංවර්ධන විශේෂඥයෝ, සංවර්ධනයට, චිරස්ථායී යන විශේෂණයක් ඈඳති. මේ චිරස්ථායී යන වචනයෙන් හඳුන්වන කලාපයට, යම් ප්‍රජාවක චිරාත්කාලීන ව ගොඩනැගුණු සාහිත්‍ය චින්තනය, ආගමික සංස්කෘතිය හා ඒ දෙකින් ම අන්‍යෝන්‍ය පෝෂණය ලද, සමාජ ජීවිතය ද ඇතළත් වේ. ජින්මාරි ඩොංමාතාව් දක්වන අන්දමට, ආසියානු සමාජවල, විශිෂ්ට ලකුණු වූ, මනා සංස්කෘතික කළමනාකාරිත්වය, අල්පේච්ඡතාව, සරලීකෘත ඇවැතුම් පැවැතුම් අද බහු භාණ්ඩිකත්වය, අසීමිත ආශා හා මහා පරිමාණ ජීවිතය ඉදිරියේ අවඥාවට ලක් ව ඇත. කරුණාදාස සූරියආරච්චි හා නන්දන වීරසිංහ පූර්විකාවේ කියන පරිදි ෆෙඩ්රික් නිට්ෂේ නම් දාර්ශනිකයාට අනුව නූතන පුවත්පත නිරන්තර ව්‍යාජය පිරි අනර්ථ කර ඝණ්ටාවකි. පුවත්පතට සාපේක්ෂව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ නම් තත්ත්වය වඩාත් අන්තරාය කර වේ.

ම විසින් 2000 පියවර ශාස්ත්‍රීය සඟරාවට ලියන ලද ලිපියක කුඩා ඡේදයක් එහිලා නිදසුන් කරගතිමි. “රුධිරයට මිනිසා දක්වන පිළිකුල මඟින් ඔහු අහිංසාවාදී සාදෘශ්‍යයකට සමීප කරවීමට ශ්‍රව්‍ය දෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයට හැකි නමුත් වන්නේ අනෙකකි. බොහෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හි උදා වැඩසටහන් ඔස්සේ සත්ව මාංශ වඩා ප්‍රණීත ලෙස පිසීම පිළිබඳවත්, වඩාත් පෝෂ්‍යදායී වන්නේ ගවමස් ද, එළුමස් ද නොහොත් කුකුළු මස් ද යනාදී කතාබස් සිදුවීම සාමාන්‍ය මෝස්තරය වී ඇති අතර එබඳු ගිජු කතාබහ විද්‍යාත්මක තලයකට ගෙන එමින් එබඳු වැඩසටහනකට වෛද්‍යවරයකු සම්බන්ධ කිරීම ද සිදුවේ.”

සිළුමිණ පුන්කලස ඒ අනුව, නූතන අනෙකුත් පුවත්පත්හි අන්තර්ගතයන්ගෙන් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හි අරමුණුවලිනුත් වෙනස් වේ. ශාස්ත්‍රීයත්වයට සේවය කරන වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන් ද මෙහිදී අපගේ පැසසුමට නිතැතින් ලක්වන බව ද කිව යුතු වේ. වර්තමානයේ බොහෝ මුද්‍රිත මාධ්‍යයන් ශාස්ත්‍රීය හැඩතල පිටින් ගන්වා, ඇතුළත, දේශපාලනය, භාණ්ඩ අලෙවි ප්‍රවර්ධනය, ආදිය උසිගන්වන බව පෙනේ. සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය නම් ග්‍රන්ථය ලියූ බෙරිඩේල් කීත්ගේ අදහස් විමංසනශීලී ව පසක් කරද්දී මා තුළ මෙවන් ආකල්පයක් ඇතිවිණි. පූර්වකාලීන සමාජයට සාරධර්ම හා ජීවත්වීමේ මැදහත් මාවත කියා දෙනු ලැබුවේ සාහිත්‍යය විසිනි.

විචර කලාව හා ශිල්ප ශාස්ත්‍ර අභිවර්ධනය වූයේ සාහිත්‍යයේම දිගුවක් ලෙස ය. (ඒත් අද තත්ත්වය එසේ නොවේ.) මේ ආකල්පය අප පුන්කලසට ගැළපුව හොත්, මේ භාණ්ඩ මූලික සංස්කෘතික ඕඝය තුළ පුන්කලස, ප්‍රජාවගේ ශාස්ත්‍රීය ආධ්‍යාත්මය පවත්වා ගැනීමට කරන වෑයම දුෂ්කර නමුත් ප්‍රශස්ත ය. කපිල කුමාර කාලිංග විසින් 1998 වත්මන සඟරාවට ලියූ ලිපියක දැක්වෙන අදහසක් අතිශය වැදගත් වේ.

“පැහැදිලි ව ම ආර්ථිකය, සංස්කෘතිය සමඟ දැඩි ලෙස මිශ්‍ර වී ඇත. කලාවේ පැවැති අර්ථකථන සමඟ ජනපි‍්‍රය සංස්කෘතියේ ආධිපත්‍යය ගැටෙන්නේ එහි ඵලයක් වශයෙනි. පාරිභෝජන සමාජ රටාව කෙතෙක් ප්‍රබලදැයි යන්න පැහැදිලි කරන විචාරකයකුට අනුව, සමස්ත සංස්කෘතිය ම විලාසිතා මවන්නන්ගේ දෘෂ්ටියේ (disigner’s ideology) තෝතැන්නකි.” මේ තත්ත්වය වඩාත් නරුම හා දරුණු වෙමින් ඓතිහාසික හා සංස්කෘතික නිකෙත්නයන්හි පැරණි හැඩතල, ව්‍යාපාරික ජාවාරම්කරුවන් ගේ නවීකරණවලට හසුවී වෙනස්වීම දක්වා වර්ධනය වෙමින් ඇත. සීගිරිය සම්බන්ධයෙන් මෙවන් ඛේදනීය ඉරණමක් ක්‍රියාත්මක වෙමින් පවත්නා බව පෙනේ.

මෙවන් නවීකරණ ක්‍රියාත්මක කරන්නාවූත්, අදාළ සංස්කෘතික ස්මාරකයට පිටුතල සැපැයූ ඉපැරණි සංකල්පය කුමක් ද යන්න වටහා ගත යුතු ය. එහෙත් ශාස්ත්‍රීයත්වයකින් තොර හුදු බලය පමණක් ක්‍රියාත්මක වීමේදී සිදුවන පසු ප්‍රතිඵල අංශ දෙකකින් භයානක ය. එවන් අශාස්ත්‍රීය බලකාමීන් නිසා, සංස්කෘතිය හා එහිවූ චිරාස්ථායී බව වැනසෙයි.

ලාංකේය ශාස්ත්‍රීය අධ්‍යාත්මය ව්‍යාප්ත කිරීමෙහිලා පුන්කලසේ මෙහෙවර සමකළ හැක්කේ පුරාණ යුගයේ, ආගමික දාර්ශනික සංස්කෘතිය ව්‍යාප්ත කළ අටුවා සාහිත්‍යයට ය. චෝල පට්ටනමේ විසූ ධම්මනන්දී හිමි සංග්‍රහ කළ “සීහළවත්ථුවේ” ඇති “ගොන් පේ‍්‍රතයාගේ කථාන්තරය” මෙහිදී අවධාරණය කළ යුතු ය. කාශ්‍යප බුදුන්ගේ සමයෙහි, පුරාණ අනුරාධපුරයේ ගොවියෙක් වාසය කළේ ය. එක් දානපති පිරිසක් භික්ෂුනගේ ධර්ම සාකච්ඡා හා ශාස්ත්‍රීය ආගමික කරුණු සඳහා ශාලාවක් පරිත්‍යාග කළහ. මේ ගොවියා, ඒ ශාලාවට භික්ෂුන්ට යා නොහැකි වන සේ උඳු, මුං හා වී වපුරවා ශාලා දොරකඩ අවහිර කළේ ය. ධර්මයක පුළුටක් වත් ඒ පෙදෙසේ නොපැවතීම පිණිස ගස්කපා, මං මාවත් වසා දැමී ය. සතුන් මරා අතුනුබහන් අවට රැඳවී ය. ජල මූලාශ්‍ර අපවිත්‍ර කළේ ය.

මොහු තාවකාලික ව ජය ගත්තේ ය. ධර්මය පැරදී ගියේ ය. ඒත් ජීවිත අවසානයෙන් පසු ගොවියා විශාල ගොනෙක් වී උපන්නේ ය. ඒ ගොනාට අත් පා පවා සෙලවිය නොහැකි විණි. මිනිස්සු පැමිණ ගොනාගේ නගුට ආදිය කපා ගෙන ගොස් සූප සාදා ගෙන පරිභෝග කළහ. කපුටු, මයින ආදි සත්තු තුවාල පාරා ගෙන කෑහ. මැස්සො ඉහඳ තැබූහ. ඒත් ගොනා මිය නොගියේ ය. කර්ම බලයෙන් නැවත පණ ලැබිණි. ඔහු එක් බුද්ධාන්තරයක්ම දුක් විඳ පසු ව අපාගත විය. මෙවන් කථාන්තර මනඞකල්පිත යයි අද යුගයේ කිසිවකුට තර්ක කළ නොහැකි ය. අතිශයින් නූතන අධි මානසික පර්යේෂණවලදී, පියවි ඇසට නොපෙනෙන ධර්මතා සනාථ වී ඇත. මෙවන් තොරතුරු අතර කිහිපයක් දක්වමි. අංජන කුමාර අන්ද්‍රාදීගේ පරා මනෝ විද්‍යාව, බොපෙආරච්චිගේ විද්‍යාවෙන් ඔපවෙන ඇදහිලි විශ්වාස, jigi Arigo, Surgeon of the Rusty Knife, 1974, Play fair, The infinite boundary 1976. ආදී මූලාශ්‍ර නිදසුන්ය.

පුන්කලස තුළින් සිදුවූ භාෂාත්මක හා විෂයික මෙහෙවරටත් වඩා එය අපේ ශාස්ත්‍රීය අධ්‍යාත්මය පුබුදුවා තිබේ. අපට ශාස්ත්‍රීය ලෙස සැරි සැරිය හැකි විදග්ධ සංස්කෘතික වපසරියක් නිමවා තිබේ.

සාලිය කුලරත්න

අංශාධිපති

සිංහල අංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය