කවිතා ලතා
 

සිළුමිණ අපේ පවුලේ සාමාජිකයෙක් වගේ

 

සිළුමිණ දිනේවා

සෙත සදා ලක් දනට
සැපත් වී අසූ වියට
හෙළ සාහිත අඹර
බබළවන සිළුමිණට
ආවඩා ආයු බොහෝ වේවා
එකසිය විස්සට
දෙසියවිස්සක්...
 

දයානන්ද පොන්නම්පෙරුම
ගොඩගම - හෝමාගම


සදා ජය!

පළමුව පාඨක නෙත ගැටී
දෙවනුව පාඨක සිතට ඇතුළු වී
තෙවනුව පාඨක හදවත් තුළට කිඳා බැස
අවුරුදු අසූවක්ම ගත විය....
තව තවත් කීර්ති, ප්‍රශංසා ලැබ
දියුණුවෙන් දියුණුවට පත්වෙන්නට
පතමි, සිළුමිණට
සදා ජය!
 

ඩබ්.නිම්නි සුපුන් සෙව්වන්දි


සිළුමිණක් මැ යි නුඹ....

මහඔසුවන් අතැ
සහසැස් තුබූ
සඳුන් ගැටය ලෙද
සුහුදු දන මන - හද
පොබ කරන
සුවපත් කරන
වල්විදුනාව නුඹ....

දෙස් - විදෙස් ගතු
කෙළිබිමෙහි තතු
සාහිත හුයෙන් ගෙතු
සේතුවෙක් මැ වී අදිසි...

පතමි දිගාසිරි
වොරැඳෙන්නට බෝ කල්
එකලු කරනා
පුවත්පත් කලාවේ සෑ රද
සිළුමිණෙන් මැ යි නුඹ...
 

දිලිනි ආරියවංශ
පේරාදෙණි විශ්වවිද්‍යාලය


ජන සෙවණ සිළුමිණ...!

සිරි - සරසවි දොහොත
සුන්දරත්වය සනහස සපිරි
පින්සිරි පුන්කලස!
ජන දිවි පුදසුනට වැඩි!

දැරූපුන් අබියස
අසිපතක් වී දිදුලන
ගුණ දහම් සුපිපෙන
සුනිමල සුවඳ පුදසුන!

සිරි රහල් - විදු සක්විති
හැඳින පුබුදුව - පුදදෙන!
ඇම්.ජී.කේ. ජෝන් ප්‍රේරා
මාලපල්ලේ වෙත්තසිංහ
ජන කිවි සෙවණ අගයන

පෙර මග පහන් ටැඹ
යුග - යුග - දිදුලු මත්වන
රසඳුන! නැණ සෙවණ!
ජනතා සෙවණ “සිළුමිණ”!
 

ඊ. ෂෙල්ටන්


චිරං ජයතු සිළුමිණ රැජිනිය!

හෙළ පුවත්පත් විමනේ
වැජඹෙන රැජින සිළුමිණ
දැයට මෙහෙවර කරමින්
අසූවිය එළඹිය ද ඔබ
සුරවමියක සේ තවමත්
අගතැන්පත් යැ රුසිරින්

නව රසය පිඬුකර
පිටු සළු පිළි ද හැඩකර
සැරසී මහඟු සාහිත බරණින්
හසරැළි සදිසි කිතු කැන්
නිබඳ නඟනා මිහිරිය
සැරද! සිළුමිණ රැජිනිය

දියත සැරිසරමින්
නව තතු සොයා මැනවින්
මැදහත් සිතින් දෙස්පල්
බිම ද විවරණ කරමින
දනන් හිස හිස දිදුලන
සිළුමිණ ඔබය සිළුමිණ
තවත් සුවහස් කල්
දනන් තුඩ තුඩ රැව් දී
චිරං ජයතු සිළුමිණ
 

ප්‍රේමසිරි කාරියවසම්


ලක් අඹර බබළන සිළුමිණ

සරුයාය සරසවන
සිත්පුරා මෝදුවන
නෙක සිතුම් ඔප් නැඟෙන
කවි කැකුළු සුවඳ දෙන
රසික දන තරුයාය පුබුදුවන
ලක් අඹර බබළමින
යළි යළිත් නැඟෙන සඳ
සිළුමිණ
එසිළුමිණ සතිපතා දකින්නට
නිබඳවම පින් පුරන
සදාදර මිතුරි
මම
 

බිබිලාදෙණියේ
ශීලා බාලසූරිය


අසූවිය සපිරෙයි

අසූවිය සපිරුණත්
තව ම ඔබ මහලු නැත
එදා තිබූ සුදු වත ම
අදත් දිලෙමින් පෙනෙයි
සසර සැරි සරන තුරු
ඔබ මගෙයි මා ඔබෙයි
කොළ ගණන් පිටු ගණන්
ලියූ ඒ කවිවදන්
සදා නොමැකෙන ලෙසින්
රස විඳිමු හැමකල්
සිළුමිණට වේවා දිගාසිරි දස දෙසින්
 

ලීලා ද සිල්වා


”සිළුමිණ”

කැප වෙමින් අනුන් වෙනුවෙන්
පරහිතකාමීව
වැඩදායකව සතහට
සැනසුම් සුවය ගෙනෙමින්
පහදා යථා තතු
හද බැඳ ගත්
පුන්කලස
දිනේවා!
 

රක්වානේ
සුමන නන්ද හිමි


ආයුබෝවන් සිළුමිණ

සිළුමිණට අසූවයි
මට තාම විසි දෙකයි
දැන ගත්ත දා පටන්
කියවන්නෙ සිළුමිණයි
මගේ බුද්ධියට නම්
වසර දහසට වැඩියි
ඔබ දිනේවා තවත්
එකී වයසත් අරන්...
 

රිද්මා පොන්නම්පෙරුම
සම්පත් බැංකුව


අසූවිය පිරි ශිඛාමාණික්‍යාව

හෙළ දිවෙහි වොරදනා
සුරගුරුගෙ නෑ දියණියන්
බැහැදැක යනු සඳහා
රන්සළුවලින් ඔබ රජදහන්වලින්
පැමිණියෝ සුරකුමරියෝ!

ඒ ශිඛාමණික්‍යාවෝ
ඉක්බිති පැලඳ මවුලිය සත්රුවන්
ලබාගත්තෝය අබිසෙස්!

සඟතෙරුන් පඩිරදුන්
කලා කුසලෙන් පිරුණ ඇත්තන්
දුහුණන් – දුහුණියන්
වන බඹර : බඹරිණියන්
වර – වර ළඟට කැන්දා
පාන්නට වූහ ළෙන්ගතුකම්
පයුරු පාසානම් – ආලවන්තකම්
ඔවුනොවුන් හා සමඟ
මුවපුරා!
සඳඑළිය මෙන් නොව
හුදෙක් හිරු කිරණම මෙන්
මේ ඉරෙත් මේ හඳෙත්
සිළුමිණිය - සුරගුරුගෙ දියණිය
දොළොස් පහනක් වෙයි හැමෝටම!
ආයු රක්ඛන්තු ආවඩා!!
 

මාදම්පේ
ඇම්.අසෝකා ද සිල්වා


ළහිරු මිණ..! සිළුමිණ...!

විනිවිදවැ යන
ඉසිවර නැණැ’සින්
අනා කල දුටු දෑ හිතැ’ති ඉසිවර
නගාලූ “ශිඛා මාණික්‍යය”
සිළුමිණ..!

ජන නැණැ’ස ඇවුරුණු
තිමිරඳුර තුනීකොට
තුරු නිල්ල ලියලවමින්
පායා දිදුලු දෙන
ළහිරු මිණ..!

උදාවන හෙට දිනද
විදුරවි නෙතු කැණින්
පෙර මඟ දිදුලුමත් කොට
පොබයවනු මැන! පොදු ජනහද
සිළුමිණ කුසුම් සුමිතුර...!
 

මාදම්පේ
ඊබට් ෂෙල්ටන්


බෙදූ අදහස් ලොවට මුතුමිණිය

විස්වය ම හකුලුවා
බුද්ධියට බිහිදොර වූ
ඥාන කෝෂයක් බඳු
සිළුමිණට
අසූ විය සපිරුණි ය

ඔබැ සෙවණෙ තුරුල් වී
ඔබැ සුවඳ විඳිනු වස්
මලට ආ බිඟු රැල සේ
දෙස් - විදෙස් නෙක දනෝ
අදත් ඔබැ ළඟ හිඳී
නොසෙල්වී අබිමනින්!

බෙදූ අදහස් ලොවට මුතුමිණිය
කලා සාහිත ලොවේ රැජිනමය
කාට කොතැනක වුවද රසඳුනය
අන් කෙනෙක් නොවේ ඒ සිළුමිණය

භාග්‍යය මතුකරන
පුන් කලස ඔබ ම විය!

විද්වතුන් දාර්ශනිකයින්
මහා කවි කිවිඳියන්
පතල ගත්කරුවරුන්
සඟරුවන පෙරටු කොට
මෙතෙක් ඔබ ආ ගමන
අර්ථයෙන් පමණක් ම නොව
සොබාවෙන් පබවත් වීය!
ඒ මහා පින් බෙලෙන්
ආයු රක්ඛන්තු ආවඩා
ආයු රක්ඛන්තු ආවඩා
 

ඩබ්ලිව්.කේ.
සරත් විමලසිරි