හිටපු කතුවරු සිළුමිණට සුබ පතති
 

ඉදිරි ගමනට සුබ පතමි

 

’සිළුමිණ’ට වසර අසූවක් පිරෙන මේ මොහොතේ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් සේවය කරන්නට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයක් කොට සලකමි. මෙය භාග්‍යයකටත් වඩා මාගේ ජීවිතය වඩාත් තෘප්තිමත් කළ සිදුවීමක් බවට ද පත්වෙයි.

පුවත්පතකට වසර අසූවක් යනු මහා බැරෑරුම් කඩඉමකි. යුග යුග පසුකරමින් තරගකාරී මාධ්‍ය ලෝකයේ තවදුරටත් යටපත් නොවී පැවැතීමට ශක්තියක් තිබීම කිනම් මානයකින් ඇගැයීමකට යොමු කළ ද විශාල ජයග්‍රහණයක් ලෙසින් සැලැකිය හැකි ය.

පුවත්පත් ලෝකයේ තමන්ට හිමි ව තිබූ පෞරුෂය සහ අනන්‍යතාව රැකගනිමින් මේ නොනිමි දීර්ඝ ගමනෙහි යෙදෙන “සිළුමිණ”, වර්තමානයේ සියලු සමාජ මට්ටම් විසින් අවධාරණයෙන් අවධානයට ලක්කරනු ලබන පුවත්පතකි.

රාජ්‍ය මාධ්‍යයක් ලෙසින් සිය වගකීම් දරමින් ම පාඨක ලෝකය ජයගැනීමට හැකිවීම වෙසෙසින් අගය කරමි. සිළුමිණ කතුවරයාට සහ ඔහුගේ කතු මඬුල්ලට මේ වර්ණවත් මොහොතේ සුබ පතමි.

බන්දුල පද්මකුමාර

සභාපති - ලේක්හවුස් ආයතනය

හිටපු කතුවරු සිළුමිණට සුබ පතති

සිළුමිණ 80 ට සුබපතන මට 88 යි

ඩී.එෆ්.කාරියකරවන

දැඩි සේ ගිලන් ව එහෙත් ප්‍රසන්න වුවනින් යුතු ව සයනයෙහි වැතිර සිටි මේ ප්‍රාමාණික මාධ්‍යවේදියා පත්‍ර ලෝකයේ පතාක යෝධයෙකි. ‘බස නැසෙන හැටි’ නමින් ද ‘දොස් නිදොස්’ නමින් ද මෑත කාලයේ පවා සිංහලය නිවැරදි ව හැසිරවිය යුතු ආකාරය පිළිබඳ අප දැනුම්වත් කළ හේ සිළුමිණ, දිනමිණ මතු නොව ලේක්හවුසියේ සියලු ම වාර ප්‍රකාශනයන්හි ද කර්තෘ පදවිය හෙබවීය.

මේ වන විට කයෙන් දුබල තත්ත්වයේ පසු වුවද දැඩි චිත්ත ශක්තියෙන් යුත් මේ දැවැන්තයා ඩී.එෆ්.කාරියකරවනයන් ය. අතීත තොරතුරු ස්මරණයෙන් ලද නව ජීවයෙන් යුතු ව සිළුමිණ යටගියාවේ රසමුසු තැන් මෙන් ම අවධානයට හා ප්‍රශංසාවට ලක්විය යුතු තැන් ද ඔහුගේ අවධානයට ලක්විණි. කාරියකරවනයන්ගේ් දැඩි චිත්ත ශක්තියෙන් යුත් භාග්‍යවත් ස්මරණ ශක්තිය අභිමුව මවිත විය නොහැක්කේ කාටදැයි මට සිතිණි.

සිළුමිණට සත දහයේ විශ්වවිද්‍යාලය කියා කිව්වේ එහි පැවැති නිවැරැදි භාෂා භාවිතය හේතුවෙන්. ‘සිළුමිණ’ කවදත් භාෂාව ගැන ලොකු උනන්දුවක් දැක්වූවා. සිළුමිණ ප්‍රධාන කර්තෘ ධූරය මට බාරදුන්නේ 1980 දී. මම මුලින් ම ‘සිළුමිණ’ බාරගන්න කැමැති වුණේ නැහැ. නමුත් මම හුඟක් ප්‍රසිද්ධියට පත්වුණේ් දිනමිණ හා සිළුමිණ ප්‍රධාන කර්තෘ ධූරය දරන කාලයේ. මම ලේක්හවුස් එකට පණදීලා මගේ පණ නැතිකරගත් කෙනෙක්.

මට නව පත්‍ර කලාවේදීන්ට උපදෙසක් දෙන්න තියෙනවා. ඒ තමයි පත්‍ර කලාවට පිවිසෙන ඕනෑම නවකයෙක් මුලින් ම කරන්න ඕන බස නිවැරැදි ව හැසිරවීමට උගෙන ගැනීමයි. මූලික වියරණයේ සිට සංකීර්ණ වියරණය දක්වා හොඳින් හදාරා තියෙන්න ඕන. මුල් යුගයේ සිළුමිණ අපේ කෙටිකතා නව මුහුණුවරකින් යුතුව පළ කළා. කෙටිකතාව, නවකතාව ඈ නොයෙකුත් නිර්මාණ ක්‍ෂේත්‍රයන් සමඟ සිළුමිණ අවියෝජනීය අයුරින් බැඳී සිටියා. ඒ සිළුමිණේ මුල් ම කාලයේ කෙටිකතා ලියන්න යොමුවුණු පිරිසෙන් කෙනෙක් තමයි මම.

මගේ පළමු කෙටිකතාව සිළුමිණේ පළවෙන කොට මම පාසල් ශිෂ්‍යයෙක්. මාතර ටී.ජී.ඩබ්. ද සිල්වා ලිව්වෙත් ඒ කාලේ. සිළුමිණ නව නිර්මාණකරුවන්ට කවදත් අතහිත දුන්නා. අසූ විය සපුරන සිළුමිණට මා සුබ පතන්නේ අසූ අටවැනි වියේ ඉඳන්.

බාධක මධ්‍යයෙහි අනන්‍යතාව රැක ගත්තා

එඩ්මන්ඩ් රණසිංහ

මම වසර දෙක හමාරක පමණ කාලයක් සිළුමිණ ප්‍රධාන කර්තෘ ධුරය දැරුවා. ඒ කාලයේ ඩබ්ලිව්. කේ. පී. ගුණවර්ධන, පී. බී. ඉලංගසිංහ, දයාසේන ගුණසිංහ, නන්දසේන සූරියාරච්චි, ගාමිණි සුමනසේකර, ගංගා විමලසේන වැනි අය මා සමඟ වැඩ කළා. මට මතකයි දයාසේන ගුණසිංහ රයිගම් රාල කියල ජනපි‍්‍රය කොලම් එකක් කළා. ඒ අතීතය හරිම සුන්දරයි. අපි හරිම ස්වාධීනව වැඩ කළා. ඒ ස්වාධීනත්වයට කිසි කෙනෙක් බාධා කළේ නැහැ. දේශපාලනඥයන් සහ අපි අතර සැලකිය යුතු පරතරයක් තිබුණා. ඒ අය ගනුදෙනු කළේ සභාපතිවරයා සමඟ පමණයි.

එක් අවස්ථාවක ටී. බී. ඉලංගරත්න මහතාගේ නවකතාවක් කොටස් වශයෙන් පළ කරන්න අපි පටන්ගත්තා. ඒ වෙලාවෙ සභාපතිතුමාට යම් බලපෑමක් ඇවිත් තිබුණා ඒක නවත්තන්න. ඒත් ඒ වන විට එක් කොටසක් පාඨකයා අතට පත් කර තිබු නිසා අපි කතාව නැවැත්තුවෙ නෑ. මගේ සේවා කාලයේ මේ වැනි අනවශ්‍ය අතපෙවීම් සිදුවුණේ අවස්ථා දෙකකදී පමණයි. ඒ කිසිවකට යටත් නොවී ස්වාධීනව සිළුමිණ අනන්‍යතාව රැකගැනීමට අපි කටයුතු කළා.

සාහිත්‍ය කලාවන් පිළිබඳ අපි ශාස්ත්‍රීය සාකච්ඡාත්, ආගමික කරුණු පිළිබඳ ගැඹුරු සංවාදත් සිදු කළා. අදත් මේ වගේ බොහෝ දේ තිබෙනවා සාකච්ඡා කරන්න. අපි අතීතය ගැන බොහෝ දේ කතා කරනවා. අනාගතය ගැන මොනවද කතා කරන්නෙ. සමාජයේ තැලෙන මිනිස්සු ගැන කතා කරන්න මාධ්‍යයක් බිහි විය යුතුයි. පුද්ගලිකත්වයෙන් ඉවත් වෙලා තම තමන්ගේ න්‍යාය පත්‍රවලින් ඉවත්වෙලා ජනතාවගේ න්‍යාය පත්‍රයකට පුවත්පත සකස් විය යුතුයි.

සිළුමිණට වසර අසූවක් පිරෙන මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා තවත් බොහෝ කාලයක් පාඨකයාට සේවාවක් කිරීමට හැකියාව ලැබේවා කියා.

ඉර හඳ පායනා තුරු සිරිලක් දිවට
සිළුමිණ විජය දදයකි පාඨක ලොවට

කවුඩානේ පියදාස පෙරේරා

සිළුමිණ පුවත්පතේ 14 වැනි කතුවරයා විදියට මම කියන්නේ සමාජයේ බාල තරුණ මහලු කොයි කාටත් රස විඳිය හැකි බුද්ධිගෝචර පුවත්පතක් ලෙස සිළුමිණ ඉදිරියට යා යුතුයි. මෙතනදී කර්තෘ කවුද කියන දේ ප්‍රධාන වෙන්නේ නෑ. මොකද පුවත්පතේ නියම අයිතිකරු වෙන්නේ පාඨකයායි. ඒ නිසා පාඨකයාට ගැළපෙන හා අවශ්‍ය ලෙස පුවත්පත පළවිය යුතුයි. පැරැණි කියමනක් තියනවා වඩුවා කවුරු වුණත් පුටුව හොඳ වෙන්න ඕනෑ කියලා.

අපි ඒ කාලෙ සිළුමිණට කිව්වේ ශත දහයේ විශ්වවිද්‍යාලය කියලයි. එහෙම කිව්වේ මේ පුවත්පතෙන් විශ්ව දැනුමක් ලබාගත හැකි නිසයි. මේ කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක වගේ කතුවරු සිටි කාලයයි. පී. බී. අල්විස් පෙරේරලා බිහි වුණේ මේ පුවත්පතෙන්. මීමන පේ‍්‍රමතිලක මහතා පුවත්පත තුළ ඉඳගෙන කවියට විශාල සේවාවක් කළා. ඒ වගේම මගේ කාලසීමාව තුළත් මම හිතනවා මටත් කවිය වෙනුවෙන් යම් දෙයක් කරන්න හැකි වුණා කියලා.

ඒ වගේම තමයි පත්තරයකින් සිදුවිය යුතු සමාජ අවශ්‍යතා පූරණය කිරීමක් සිළුමිණ මඟින් අදටත් සිදු වෙනවා. අද වුණත් කොල්ලෙක්ට කෙල්ලක් හොයාගන්න ඉඩමක් විකුණගන්න සිළුමිණ තමයි බලන්නේ. මේ කියන සමාජ අවශ්‍යතාත් තේරුම් ගෙන පුවත්පත ඉදිරියට යා යුතුයි.

ඒ වගේම පැරැණි පොතපත හා දැනුම පිළිබඳව කියැවීමේ රුචිය ඇති විශාල උගත් තරුණ පිරිසක් රටේ සිටිනවා. ඒ අය වෙනුවෙන් පැරැණි දැනුම පිළිබඳ නැවත හෝඩුවාවක් ලබාදෙමින් පිබිදෙන පරපුර සමඟ විශාල ගමනක් යාමට සිළුමිණට සුබ ප්‍රාර්ථනා කරනවා.

පාඨකයන්ගේ සිත් සුවපත් කරන සතිඅන්ත පුවත්පත

සුජීව දිසානායක

මේ වසර අසූව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ, පෞද්ගලික අයිතිය තිබූ යුගයත්, රාජ්‍ය පාලනය යටතට ගත් පසු යුගයත් ලෙස. මේ එක් එක් වකවානු වල මතු වූ සමාජ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුවත්, හිමිකාරිත්වයේ උවමනාව අනුවත් සිළුමිණ පුවත්පත සිය භූමිකාව ඉටු කරල තියෙනවා.

විශේෂයෙන් සිළුමිණට තියෙන ඉතිහාසය අනුව ශාස්ත්‍රීය අංශයට එදා ලැබුණු දායකත්වය විශාලයි. අදත් ශාස්ත්‍රීය කටයුතුවලදී ඒ ලිපි ලේඛන පරිශීලනය කළ හැකි මට්ටමක තියෙනවා. ඊට අමතරව ජන විඥානය හා සමාජ විචල්‍යතාව තේරුම් ගත් විශේෂාංග සහිත වීම තමයි මම දකින විදියට සිළුමිණ අනන්‍යතාව වන්නේ. අද සිළුමිණ හමුවේ තිබෙන අභියෝගය වන්නේ සංකීර්ණ හා තරඟකාරී මාධ්‍ය සංස්කෘතිය තුළ ඒ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන නූතන යුගයට ගැළපෙන පරිදි නව මුහුණුවරකින් කටයුතු පවත්වාගෙන යාම යි.

වෙළෙඳපොළ බලවේග හමුවේ මාධ්‍ය සිය ගුණාත්මක බව රැකගැනීම ප්‍රධාන තර්ජනයක්. වර්තමානයේ කතුවරයාගේ බලය යට කරගෙන අලෙවි කළමනාකරුගේ බලය වැඩි වෙනවා. මේ තත්ත්වය යටතේ වාණිජ අරමුණුවලට යටවී කටයුතු කිරීමට එරෙහිව නැඟී සිටීමේ අභියෝගය බාර ගැනීමට හැකි පුවත්පත සිළුමිණයි. කාලීන වශයෙන් වසර තිහක යුද්ධයෙන් හා දශක 6 - 7 ක ජනවාර්ගික ප්‍රශ්නයෙන් තැලී පොඩි වී බිඳී තිබෙන සිත් යා කිරීමේ මහා මෙහෙවරට උර දෙමින් කටයුතු කිරීම සිළුමිණේ ප්‍රමුඛතම කාර්යයක්. භූමිය දිනාගන්නට වසර තිහක් ගතවුණා. ඒත් ඒ බිඳුණු සිත්වල විරසක බව තුරන් කරන්න වසර හැටක්වත් යාවී. ඒක කියන තරම් පහසු නෑ. එහිදී රාජ්‍ය මැදිහත් වීම, ප්‍රතිපත්ති ආදිය අවශ්‍යයි.

ඒ සංහිඳියාව ඇති කරන්න සාහිත්‍ය වශයෙන්, මානුෂික වශයෙන් මිනිසුන් දායක කරගෙන සැලසුම් සහගත වැඩ පිළිවෙළකට යන්න සිළුමිණට හැකියාව තියෙනවා. ඒ හැකියාවන් ජයගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

සිළුමිණ ප්‍රධාන කර්තෘ වීමට ලැබීම ආඩම්බරයක්

ඩී. සී. කරුණාරත්න

සිළුමිණේ 80 වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේදී ඒ වයසට අවුරුදු හත අටකින් පසුපසින් සිටින හිටපු කර්තෘවරයකු වශයෙන් මගේ සුබපැතුම් පිරිනැමීමට අවස්ථාවක් ලැබීම සතුටකි.

මා සිළුමිණ කර්තෘ ධුරයට පත්වීම අහඹු සිදුවීමක් විය. 1984 සිට 1985 දක්වා සිළුමිණ කර්තෘ ධුරය හෙබවූ බන්ධුල ශ්‍රී සරච්චන්ද්‍ර මහතාගේ හදිසි අභාවය සිදු නොවන්නට, 1956 දී දිනමිණෙන් ආරම්භ වූ මගේ ලේක්හවුස් සේවා කාලය දිනමිණෙන් ම අවසන් වීමට ඉඩ තිබිණි. කෙසේ වෙතත් දෛවය විසින් ඒ තත්ත්වය වෙනස් කරවන ලදැයි මම සිතමි.

සරච්චන්ද්‍ර මහතාගේ අභාවයෙන් පසුව සිළුමිණේ මුල් පුටුව සඳහා ඇතිවූයේ තියුණු තරගයකි.

ලේක්හවුස් ආයතනයෙන් පිටත මාධ්‍යවේදීහු කීප දෙනෙක් ද මේ තරගයට පිවිස සිටි පිරිස අතර වූහ.

මේ වකවානුවේ එක් දිනකදී ලේක්හවුස් ආයතනයේ සභාපති රණපාල බෝධිනාගොඩ මහතා ගෙන් මට කැඳවීමක් ලැබිණි. මම ඔහු හමුවීමට ඔහුගේ කාමරයට ගියෙමි. එහිදී බෝධිනාගොඩ මහතා ඔහුගේ සුපුරුදු කතා විලාශයෙන් මා අමතමින් “අයිසේ, තමුසේ සිළුමිණ කර්තෘකමට පත්කරන්න අපි තීරණය කළා” යැයි කීවේ ඒ පිළිබඳ ව මගේ කැමැත්ත අකැමැත්ත හෝ විමසීමකින් තොර ව ය. ඒ වන විට මම දිනමිණ සම කර්තෘ පදවිය දරමින් සිටියෙමි.

දිනමිණ හැර යෑමට මා තුළ කැමැත්තක් නොතිබුණ ද මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක, මීමන පේ‍්‍රමතිලක වැනි ප්‍රවීණයන් හෙබවූ තනතුරක කටයුතු කිරීමට ඉඩ ලැබීම භාග්‍යයක් කොට සලකා මම සිළුමිණට ගියෙමි.

එවකට සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටියේ කර්තෘවරයාත් ඇතුළු මාධ්‍යවේදීන් දස දෙනකු පමණකි.

සිළුමිණේ මා ගත කළ කාලයේදී රටේ පැවැති භීෂණකාරී වාතාවරණය හේතුවෙන් පුවත්පත් නිෂ්පාදනයට සහ බෙදා හැරීමේ ක්‍රියාවලියට සිදුවූ බාධා බොහෝ ය. කෙසේ වෙතත් මිනිසුන්ට ගෙදරින් එළියට ඒම තහනම් කෙරෙන තුණ්ඩු ලැබී තිබු දිනවලදී පවා මරණ තර්ජන නොතකා රාජකාරියට පැමිණීමට තරම් සිළුමිණ මාධ්‍යවේදින් එඩිතර වූ බව මෙහිදී ආඩම්බරයෙන් සඳහන් කළ යුතු ය.

සිළුමිණේ අනන්‍යතාවය ශාස්ත්‍රීය අතිරේකයයි

තිලකරත්න කුරුවිටබණ්ඩාර

1930 මාර්තු 30 වැනිදා ඩී. ආර්. විජේවර්ධන මහතා සිළුමිණ ආරම්භ කළේ අපේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කිරීමේ අභිප්‍රායයෙන්. එතැන් සිට ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාවලියට සිළුමිණ දායකත්වය දුන්නා. ඒ වගේ ම සාහිත්‍ය සංස්කෘතිය හා කලා ශිල්ප ආදිය පෝෂණය කිරීමටත් සිළුමිණ දායක වුණා. මේ රටේ ජනතාවට ශාස්ත්‍රාලෝකය ලබාදීමට පුරෝගාමී මෙහෙවරක් කළේ සිළුමිණ පත්‍රයයි.

පියසේන නිශ්ශංක මහතා විසින් එවකට ශ්‍රී ලංකාවේ සිටි ගිහි පැවිදි පඬිවරුන්ගේත් විද්වතුන්ගේත් දායකත්වය ලබාගෙන රටේ සිංහල පමණක් දැන සිටි පාඨක ජනතාවට ශාස්ත්‍රීය දැනුමක් ලබාදීමටත් පුරෝගාමී වුණා.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පෙර එවකට සිටි විද්වතුන් සිළුමිණ පුවත්පත හැඳින්වූයේ සත දහයේ විශ්වවිද්‍යාලය යන නමින්. ඊට හේතු වුණේ ඉංගී‍්‍රසියෙන් පළවූ ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ පොත පත සහ පර්යේෂණාත්මක ලිපි ලේඛන සිංහලට පරිවර්තනය කර පළ කිරීම නිසායි. මේ නිසා ජාතික, සංස්කෘතික වගේ ම ආගමික හා කෘෂිකාර්මික උන්නතියටත් අතිවිශාල සේවාවක් සිළුමිණ සිදු කළා.

එදා වූ ඒ අනන්‍යතාව අදටත් අඛණ්ඩ ව පවත්වාගෙන යනවා. 1930 පියසේන නිශ්ශංක මහතා ආරම්භ කළ ශාස්ත්‍රීය අතිරේකය අද පුන්කලස බවට පත්වෙලා තියෙනවා. සාහිත්‍ය සංස්කෘතිය, කලා ශිල්ප, නාට්‍ය, සංගීතය වැනි විෂය පිළිබඳ ව අදත් ගැඹුරින් සාකච්ඡා වීම සතුටට කරුණක්.

කාලානුරූප ව වෙනස්වීම්වලට ලක් වූ පුවත්පතක්

කරුණාරත්න අමරතුංග

සිළුමිණට වසර 80 ක් සපිරෙනවා කියන්නේ එය ඉතා වැඩිහිටි පරිණත පුවත්පතක් කියන එකයි. මේ කාලය ඇතුළත රටේ දේශපාලන සමාජීය, සංස්කෘතික පැති වලින් වූ සංවර්ධනයේදී සිළුමිණ විශාල දායකත්වයක් සපයා තිබෙනවා. භාෂා සංවර්ධනය අතින් සාහිත්‍යයට හා කවියට සිළුමිණෙන් ලැබුණ දායකත්වය විශාලයි.

ඒ වගේම ශාස්ත්‍රීය අතිරේකය හරහා මේ රටේ ගිහි පැවිදි ලේඛකයන්ට බුද්ධිමය සංවාද ගොඩනඟන්නට සිළුමිණ කදිම වේදිකාවක් වුණා. මුල් යුගය සමඟ සසඳන විට පුවත්පත් කලාව අද විශාල වශයෙන් වෙනස් වෙලා. තාක්ෂණය අතින් වගේ ම සන්දර්භය අතිනුත් වෙනස්. පාඨක රුචිය පවා අද වන විට වෙනස් වෙලා තියනවා. මේ වෙනස් වීමෙන් තොරව ඉදිරි ගමනක් නෑ. ඒ නිසා එදා කතුවරුන්ට වඩා අද කතුවරුන්ට විශාල අභියෝගයක් තියෙනවා මේ වෙනස්වීම සමඟ ඉදිරියට යාමට. ඒ අතර සිළුමිණ නොසැලී ඉදිරි ගමනක් යන බව මතක් කළ යුතුයි.

සිළුමිණට තිබූ ප්‍රධාන චෝදනාවක් තමයි දැන්වීම් අධික වීම. මා මෙය දකින්නේ වෙනස් ආකාරයකට යි. වත්මන් පාරිභෝගික සමාජයේ නිෂ්පාදන අලෙවිය සඳහා ප්‍රචාරණය ඉතා වැදගත් වෙලා තියෙනවා.