සිළුමිණේ මයුරපාද මාර්ටින් වික්‍රමසිංහ
 

සිළුමිණේ මයුරපාද මාර්ටින් වික්‍රමසිංහ

 

පුවත්පත් කලාවේදියකු හැටියට ද, ලේඛකයකු හැටියට ද, මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතයේ ස්වර්ණමය යුගය උදාවන්නේ, ඔහුගේ දෙවැනි ලේක්හවුස් සමය තුළ බැව්, විවාද රහිත කාරණයකි. කෙසේවතුදු 1931, 1932 වසරවල ඔහු නමින් සිළුමිණ පත්හි ලියවුණු කිසිවක් පිළිබඳ සාක්ෂියක් ඇත්තේ නැත. සිළුමිණ පත්හි ඔහුගේ මුල්ම ලේඛනය පළ වන්නේ, 1933 පෙබරවාරි 26 වැනි දිනය.

එය ඔහු විසින් “මම නම් සිවුරු අරිනවා කොලුවෝ තේ පැන් සලක වාදයක්” යන හිසින් ලියන ලද කෙටිකතාවකි. එය පළව ඇත්තේ විජිත මනුවර්ණ නමිනි. අනතුරුව 1933 මාර්තු 12 වැනි දින ඔහුගේ සුප්‍රකට “කුරක්කන් පාන්” නමැති කෙටිකතාව මුල් වරට පළ වූයේ ද, සිළුමිණ පතෙහිය. එසමයෙහි ඔහු සේවය කෙළේ දිනමිණ කතුවරයා හැටියටය. දිනමිණ කතුකම කරන අතරවාරයේදීම සිළුමිණට නිර්මාණ සැපයීමත්, විචාර ලේඛන ලිවීමත් ඔහු සිරිතක් කරගත් බව පෙනී යයි.

මුලදී, විජේවර්ධනට අවශ්‍ය වූයේ ද, මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ කතුකමේ තබාගන්නටය. ඔහුගේ මූලික සැලැස්ම ද එය විය. වික්‍රමසිංහගේ සේවය වඩාත් ඔබින්නේ සාහිත්‍ය කලාවටත් සංස්කෘතියටත් බර වූ මැදහත් සන්සුන් පුවත්පතකට බැව් විජේවර්ධන හොඳාකාර දැන සිටියේය. එසේද වුවද වැලිවිටගේ ඉල්ලා අස්වීම හේතුවෙන්, වික්‍රමසිංහට දිනමිණ පත්තරය භාරගන්ට සිදුවිය.

දිනපතා දිනමිණෙහි ප්‍රධාන කර්තෘ හැටියට වැඩ කරන අතරවාරයේදීම, සිළුමිණ පුවත්පත සඳහා විශේෂාංග රචනා ලිවීමෙන් ඔහු ඉමහත් ආස්වාදයක් ලැබුවේය. ඒ සම්බන්ධයෙන් ඔහුට විජේවර්ධනගෙන් ද නොමඳ අනුබලයක් ලැබෙන්ට ඇතැයි සිතිය හැක්කේය.

දිනමිණ කතුකම කරන අතරවාරයේදී ඔහු සිළුමිණට තම නමින් ලියුවේ ඉතා මඳ වශයෙනි. ඇතැම් විට ඔහු කිසියම් නිර්මාණයක් තම නමින්ම පළවන්ට ඉඩ හැරියේය. එහෙත් විශේෂාංග ලිපි මෙන්ම ඇතැම් නිර්මාණ පවා ඔහු සිළුමිණ පතට ලියුවේ, ‘මයුරපාද’ යන පන්හිඳ නාමයෙනි. එසමයෙහි සිළුමිණෙහි මයුරපාද ලිපිය, මාර්ටින් වික්‍රමසිංහගේ ස්වාධීන චින්තනය හෙළි කෙරෙන, ඔහුගේ ලේඛක පෞරුෂය හුවා දක්වන සාඩම්බර ලේඛනයක් වූ වග අවිවාදිත කාරණයකි.

මාර්ටින් වික්‍රමසිංහ, මයුරපාද නමින් සිළුමිණට සිය මුල්ම ලිපිය ලියන්නේ, 1934 අගෝස්තු 05 වැනිදාය. යට සඳහන් ලිපියේ සිරස වූයේ “උත්සව සන්නිය හා සූදුව“ යන්නය. එතැන සිට 1950 නොවැම්බර් 05 වැනි දින දක්වා මයුරපාද නමින් සතිපතා සිළුමිණට සපයන ලද ලිපි සංඛ්‍යාව 235කි. “සිංහල නාටකය දියුණු කිරීම” යන හිසින් ඔහුගේ අවසාන මයුරපාද ලිපිය සිළුමිණ පත්හි පළ වන්නේ, 1950 නොවැම්බර් 05 වැනිදාය.

ඒ අනුව පෙනී යන කාරණය නම්, ලේක්හවුසියෙන් අස්වුණු පසුව ද ඔහු ස්වකීය අභිමානවත් පන්හිඳ නාමයෙන් සිළුමිණට ලිපි සැපයූ බවය. ඒ කියන්නේ, පනස් ගණන් වන තුරු ද, ඔහු තුළ සිටි පුවත්පත් කලාවේදියා සජීවමානව සිටි වගය. වික්‍රමසිංහට පත්තර කලා පුරුද්ද අත්හරිනු බැරි සේ විය.

අරමුණු කරගත් නිමිත්ත ද, විෂය විවිධත්වයද, ඒ ලිපි ලියවුණු බස හා රීතිය ද, ලේඛකයාගේ ස්වාධීන ආකල්පය හා දෘෂ්ටිය ද හේතුකොටගෙන, සිළුමිණෙහි මයුරපාද ලිපිය එසමයෙහි ඉතා අභිමානවත් ලේඛනයක් හැටියට විචාරවත් පාඨක ප්‍රසාදය දිනාගෙන සිටියේය.

මේ අතර මයුරපාද යන නමින්ම ඔහුගේ මුල් යුගයේ කෙටිකතා ද සිළුමිණෙහි පළව ඇත.

1955 වසරේදී පළ වූ ඇත්ත යුත්ත යන රචනා සංග්‍රහයෙහිත්, ඊළඟ වසරේදී නිකුත්වුණු බණ කථා සාහිත්‍යය යන විචාර ලිපි සරණියෙහිත් සංග්‍රහව ඇත්තේ, මාර්ටින් වික්‍රමසිංහ විසින් ‘මයුරපාද’ යන පන්හිඳ නමින් ලියන ලද විවිධ නිබන්ධයන්ය. ඇත්ත යුත්තෙහි එක් මයුරපාද ලිපියක් ‘රාවණ ලෙන’ බලන්ට ගිය ගමනක් පිළිබඳ චාරිකා සටහනකි.

ලේක්හවුසියේ සිටි සමයේදී වික්‍රමසිංහ සහ පිරිසක් බණ්ඩාරවෙලට ගොස්, එහි දවස් කිහිපයක් නැවතී සිට, ඇල්ලට පැමිණ, රාවණා කන්දට නැඟ, රාවණ ලෙන බලන්ට ගොස් ඇත්තේ, ඉතා අසීරු මාර්ගයක් ඔස්සේය.

”පාලමට මඳක් ඈතින් වූ ගල්තලාව උඩින් යන ඇළ, කෙසෙල් පට්ටයෙන් වියන ලද පලසක් සේ ගල්තලය වසා පැතිර ගොස් ගුගුරමින් බැස නිම්නයෙහි වැටෙන්නේ, සිනිඳු සුදු පටසළු ගොඩක් වැනි පෙණ උතුරුවමිනි. ගල්කුළු අතර වන පළිඟු දියක් සේ පෑදුණු දියෙන් පිරි වළක ගැලී හිස් පමණක් දියෙන් උඩට නඟාගෙන විට සපන මීහරකුන් දකින කවරකු වුව ද, තුටු කඳුළෙන් තෙත් වුණු ඇස් ඇතිව විට සපන මහල්ලන් සිහි කරනු ඇත.”

ඇළෙන් එගොඩ වී, වැල්ලවාය මඟ දිගේ ඉදිරියට ගමන්ගත් පිරිස, රාවණා කන්දට නැඟගත්හ. ඔවුන් රාවණ ලෙනට ළඟා වූයේ, ගල්කුළු අතරින් අමාරුවෙන් නැඟි නැඟී ගමන් කිරීමෙනි. රාවණ ලෙන තුළට ඇතුළුවීම ඊටත් වඩා දුෂ්කර කාරියක් විය. වික්‍රමසිංහ සිය අත්දැකීම විස්තර කරන්නේ මෙපරිදිය.

”ලෙනෙහි දොරකඩින් ඉවත දමන ලද පස්ගොඩක් ගල්පතුරුත් කෙමෙන් පාතට බැස සිටීම නිසා, ලෙනට යන පාර, ගෙයක මුදුන් වහලට නැඟීම සඳහා හාන්සි කොට තබන ලද ලෑල්ලක් වැන්න. ගල්පතුරුවලට පා ගැසූ කල, ඒ ගල් පතුරු කකුල් දෙකත් ඇදගෙන බසියි. සිනිඳු පසට පා තබා නඟින්ට වෑයම් කරන කලැ දෙපය පාතට බසියි. මේ පාරෙන් නම් කෙසේවත් ලෙනට ඇතුළු විය නොහැකිය. මම අතක් තරම් මහත ලී උලක් ගෙන, ඒ උල බිම සිටුව සිටුවා දණ ගෑමෙන් ලෙනට ඇතුළු වීමි. අපේ කාණ්ඩයේ බිය සැක නැති තරුණියක් සාහසික වෙස් ගෙන හතර ගාතෙන් නැඟ, මා තරම් වෙහෙස නොවී ලෙනට ඇතුළු වූවාය”

මේ මහා ගුහාව ආදිකල්පික වැදි මිනිසුන් ගල් අවි තැනූ කම්හලක් වැන්නැයි මාර්ටින් වික්‍රමසිංහ කියයි. එහි, සීගිරියේ ලෙන් බිත්ති වසාගත් බදාමය මෙන්, සිනිඳු හිරිගල් තලාවක් විය.

රාවණා ලෙන නරඹන්ට පැමිණි බොහෝ දෙන, මේ ගල්තලාව මත හිරිගල් තුඩින් සිය නම් ගම් ලියා තිබුණි. ඒ නම් අතරින් වික්‍රමසිංහට කියවාගත හැකි වූයේ ඩබ්ලියු.එච්.රයිට් යන නම පමණකි. මාර්ටින් වික්‍රමසිංහ සිය රචනය අවසන් කරමින් මෙසේ ලියුවේය.

”කිසි කලක බිත්තියක අකුරකුදු නොලියූ මට ද, මෙහි බිත්තියක නමක් ලියන්ට සිතිණ. මම හිරිගල් පතුරක් ගෙන ‘මයුරපාද’ යන නම ලොකු අකුරින් ලියුවෙමි.”

මාර්ටින් වික්‍රමසිංහ විසින් සිංහල සාහිත්‍ය වංස කතාව මත තබන ලද ‘මයුරපාද’ මුද්‍රාව, හිරිගලක් මත තැබුණේ එසේය.

1934 වසර පමණ වන විට, සිළුමිණ පත්හි විශේෂ අතිරේකයක් පළවන්නට විය. එය නම් කර තිබුණේ, “ශාස්ත්‍රීය සහ ඓතිහාසික අතිරේකය” හැටියටය. ඔහු මේ අතිරේකයට නමින් මෙන්ම නොනමින් ද ලිපි සැපයීම පුරුද්දක් කරගත්තේය.

පසු කලෙක ග්‍රන්ථ හැටියට ප්‍රකාශයට පත් වුණු ඔහුගේ මුල් කාලීන කෙටිකතා ප්‍රථමයෙන් පළ වූයේ, සිළුමිණ පත්තරයෙහිය. ඒ නිර්මාණ ද බොහෝ විට පළ වූයේ, මයුරපාද යන ආරූඪ නාමයෙනි. සැබැවින්ම, කෙටිකතාකරුවකු හැටියට ඔහුගේ ප්‍රබන්ධ ලේඛනය මනා කොට හැඩගැසුණේ, සිළුමිණ නමැති තක්සලාව තුළදීය.

කලින් සඳහන් කරන ලද “මම නම් සිවුරු අරිනවා” සහ “කුරක්කන් පාන්” යන කෙටිකතා දෙකට අමතරව, මයුරපාද නමින් ද, ඉතාම කලාතුරකින් සැබෑ නමින් ද, 1934 – 1946 අතර කාලය තුළ දුම්කොළ පිස්සා, නවස්හජම්ම ජාතකය, භාර්යාවට ගැසීම, මඟුල් කෑම, සන්තෝෂ හාමුදුරුවෝ, පව්කාරයාට ගල් ගැසීම, උදාරම් නරියා, නිවැරදි රක්ෂා සෙවීම, සෙල්ලම ලෙල්ලම වීම, පණ්ඩිත බල්ලා, මඟුල් කීම, කිරි කෑ හැටි, බළලකුගේ මරණය, හිස් කබල, කුණකටුවා වීම, කුම්භකර්ණයෝ, ගරාවැටුණු අම්බලම, කබල් පොත් ගැරීම, නියඟෙට කිපීම, නගරයට පැමිණි වැද්දා, අටපිරිකර, නයා එළවීම, ළමා නඩුව, පණ්ඩිතගොල්ල, උපාසක බළල්ලු, දඹුලුත් වැඳගෙන තලගොයිත් මරාගෙන ඒම, ජෛන පුරාණය, නැන්දම්මාගේ යෝජනාව, පරිවර්තනය, පින් ගොනා, මනමාලිය බලන්ට යෑම, මරුවා රැවටීම, වෙනස්වීම, සීනෙන් භයවීම, ගම්වැසියන්ගේ මරගාතය, නූගත්කමේ අගය, ලුණු කැඳ රජ කිරීම, අපූරු සොරකම, ගරා වැටුණු ගෙය, ගුරුතුමා බත පිසියි, නූගත්කමේ අගය, බබාගේ වෙසක් පහන යන කෙටිකතා සිළුමිණෙහි පළව ඇත. බබාගේ වෙසක් පහන නමැති කතාව පළව ඇත්තේ, 1946 මැයි 12 වැනි දින සිළුමිණ පත්හිය.

1946 අවුරුද්දේ දී ලේක්හවුසියෙන් ඉවත්ව ගිය පසුව ද ඔහු මයුරපාද නමැති සිය අභිමානවත් පන්හිඳ නමින්, 1950 වසර අවසන් වන තෙක්ම සිළුමිණට ලිපි සැපයුවේය. ඉන් අනතුරුව ද ඔහු සිළුමිණ සම්බන්ධය අත්හළේ නැත. 1950 වසරෙන් පසුව ද, ඔහු ආරාධිතව මෙන්ම අනාරාධිතව ද සිළුමිණට ලියුවේය. ඔහුගේ ඒ ලිපි සියල්ල පත්තරයේ ප්‍රමුඛ පිටුවක පළ විණි. ඔහු සිළුමිණට සැපයූ අවසාන ලේඛනය සේ පෙනී යන්නේ, 1974 අප්‍රේල් 14 වැනි දින අවුරුදු අතිරේකයට “අවුරුදු උළෙල සමාජවාදීය සැණකෙළියකි” යන හිසින් ලියන ලද නිබන්ධයයි.

1924 අප්‍රේල් 19 වැනි දින දිනමිණ පත්හි පළ වුණු “අලුත් අවුරුදු සරදමක්” නමැති නිර්මාණය මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම කෙටිකතාව බැව් පෙනී යයි. එතැන් සිට 1951 වසරේදී පිටවුණු වහල්ලු කෙටිකතා සංග්‍රහයෙහි එන කතා ඇතුළත්ව, ඔහු විසින් ලියන ලද කෙටිකතා සංඛ්‍යාව 108 කි. එම කෙටිකතාවලින් විශාල සංඛ්‍යාවක් මුල් වරට පළව ඇත්තේ, දිනමිණ හා සිළුමිණ යන පුවත්පත්වලය.

දිනමිණ ප්‍රධාන කර්තෘ ධූරය හොබවන අතරවාරයේදී, ස්වකීය නිර්මාණයන් පාඨක ජනතාවට සමීප කරවීම උදෙසා, සතිපතා සිළුමිණ පුවත්පත මාර්ටින් වික්‍රමසිංහට බෙහෙවින්ම උපස්ථම්භක විය.

ඉකුත් සියවසේ සතරවැනි දශකයේ මැද භාගය වන විට, මාර්ටින් වික්‍රමසිංහ පත්තර කලාව තුළ කිඳා බැස, එහි නිමග්නව සිටියේ වන.

එහෙත් පත්තරයක වැඩ කිරීම ගැමියන් විසින් සලකන ලද්දේ රස්සාවක් හැටියට නොවේ. පත්තර රස්සාව හෙවත් පත්තර කලාව ගැන ඔවුන් තුළ නියත හැඟීමක් වූයේ නැත. මාර්ටින් වික්‍රමසිංහ “උපන්දා සිට” ජීවන විත්ති ලියමින්, රසවත් සිද්ධියක් සටහන් කර තබයි.

”පත්‍රයක වැඩ කිරීම රක්සාවක් ලෙස නොසැලකූ ගැමියෝ මා ‘ලියන මහත්තයා’ නමින් හැඳින්වූහ. මගේ වැඩුමල් පුතාත් දෙවෙනි පුතාත් නිවාඩු කාලයෙහි ගමට ගිය අවස්ථාවක අපේ ගෙදරට ආ ගැමියෙක් ‘මේ ලියන මහත්තයාගේ ළමයිද?’යි මගේ සහෝදරියකගෙන් ඇසුවේය.

”අපේ තාත්තා ලියන මහත්තයා නෙවි; වික්‍රමසිංහ”යි කුඩා ළමයි දෙදෙනාම එකවර තරහයෙන් කීහ.”

මෙසමය වන විට ලේක්හවුසිය, පුවත්පත් ආයතනයක් වශයෙන් තහවුරු වෙමින් පැවැත්තේය. දිනපතා දිනමිණ සහ සතිපතා සිළුමිණ යන සිංහල පුවත්පත් ද, දිනපතා ඩේලි නිව්ස් සහ සතිපතා සිලෝන් ඔබ්සර්වර් යන ඉංග්‍රීසි පත්තර ද හේතුකොටගෙන, මහජන මතය කෙරෙහි බලපෑ හැකි පුවත්පත් ආයතනයක් ගොඩනැඟීමට විජේවර්ධන සමත්ව සිටියේය. මේ පුවත්පත් ආයතනය, ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, තව බොහෝ කරුණු සම්බන්ධයෙන් දේශීය ධනපති පන්තියේ අවශ්‍යතා හා සිතැඟි ඉටු කරන ප්‍රතිපත්තියකට බරව සිටියේය. ඇතැම්විට ජාතික දේශපාලන ප්‍රශ්නවලදී පවුල්වාදී ස්ථාවරයක වුව පිහිටා කටයුතු කළ අවස්ථා ද නොතිබුණා ම නොවෙයි.

මේ අතර වික්‍රමසිංහගේ චින්තනය ගොඩනැඟෙන්නේ නිදහස් මතවාදී බුද්ධිමතකුගේ හැඩය ගනිමිනි.

එවන් පසුබිමක් යටතේ වික්‍රමසිංහ ලේක්හවුසිය සමඟ විශේෂයෙන්ම එහි නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධන සමඟ පෑහී වැඩ කෙළේ කෙසේද?

මෙම පෑහීමත් නොපෑහීමත් ගැන වික්‍රමසිංහ කරන විවරණය අතිශයින්ම සිත්ගන්නාසුළුය.

”අලුත් දෙයකට අත ගැසීමට බියවීම නිසා, අවුරුදු දහඅටක් පමණ පුවත්පත්කම කරමින් මම කාලය ගෙවීමි. පත්‍ර හිමියන්ට වුවමනා දේ ලිවීම, ඇතැම් විට කතුකම කරන්නාගේ හිත් වේදනාවට හේතු වුවද, පහසු කාර්යයකි. එවැනි කතුවැකියක් හෝ ලිපියක් මා ලියුවේ කලාතුරකින් දවසකයි. මට ඇති නිදහස අනුව පත්‍ර හිමියන්ගේ හැඟීමට ද කෙළින්ම පටහැණි නොවන සේ කතුවැකි හා ලිපි ලිවීම, කඹයක ගමන් කිරීම වැනි මඳක් අමාරු කාරියකි.

”තනිකර දේශපාලන ප්‍රශ්නයක් හැර රට, ජාතිය, බස පිළිබඳ අනික් ප්‍රශ්න ගැන මගේ වැටහීම කීමට මට එක්තරා නිදහසක් තිබිණ. ඒ නිදහසින් රටට සේවයක් කරන්ට වැටහෙන නුවණත්, අවංකකමත්, ඉවසීමත් ඇත්තාට, දිනමිණ හිමි විජේවර්ධන ඉඩ දුන්නේය. අමාරු වූයේ, අවංකවත් මධ්‍යස්ථවත් ඒ කාරිය කිරීමයි” (උපන්දා සිට)