සාහිත්‍ය උන්නතියේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිළුමිණ
 

සාහිත්‍ය උන්නතියේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිළුමිණ

 

සූ වසරක් යනු පුද්ගලයකුගේ ජීවිතයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වයසකි. පුවත් පතක් විෂයෙහි ඊට තවත් යමක් එකතු වෙයි. පුවත්පතක් ඇසූ පිරූ බවින් නොනැවතී පාඨක සමාජය සමඟ ස්වකීය දැනුම් සම්භාරය බෙදා හදා ගනියි. පාඨකයාට කිසිවක් ප්‍රදානය කිරීම සේම යළිත් පාඨකයාගෙන් කිසිවක් ලබා ගැනීම ද ඵලදායි පුවත්පත් කලාවේ සම්ප්‍රදායයි. පුවත්පතක පැවැත්මේ තීරණාත්මක සාධකයක් වන්නේ ද මේ පෝෂණ හා ප්‍රතිපෝෂණ ක්‍රියාවලියයි.

අප රටෙහි පැරණි ම සති අන්ත පුවත්පත වන සිළුමිණෙහි දශක අටක ගමන් මඟ දෙස ආපසු හැරී බලන කල පෙනී යන වැදගත් කරුණක් වන්නේ ද ආරම්භයේ පටන් ම පාඨක ප්‍රජාව සමඟ පවත්වාගෙන ගිය අර්ථ සම්පන්න සහසබඳතාවයි. තොරතුරු සන්නිවේදකයකු වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කිරීමට ‘සිළුමිණ’ එදා මෙදාතුර දරා ඇති උත්සාහය ද මෙහිලා වෙසෙසින් කැපී පෙනෙයි.

සිළුමිණ පුවත්පතට සත දහයේ විශ්ව විද්‍යාලය යන නාමය පටබැඳුණේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීම සඳහා එය විසින් සැපයුණු මාහැඟි දායකත්වය හේතුවෙනි.

ලේක්හවුස් ආයතනයේ ප්‍රථම දිනපතා පුවත්පත වන ‘දිනමිණ’ මගින් ඉටුකරන ලද කාර්යභාරය තවදුරටත් පුළුල් කරනු පිණිස ඩී.ආර්. විජේවර්ධන මහතා ‘සිළුමිණ’ ඇරඹුවේ ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ම නොවන බව පැහැදිලි ය. එබඳු පුවත්පතක් ඇරඹීම සමාජ අවශ්‍යතාවක් ලෙස පෙරදුටු එතුමා එහි මුල්කාලීන කර්තෘවරුන් ලෙස පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ වැනි ප්‍රකට සාහිත්‍යකරුවන් පත් කළේ ගැඹුරුවූත් – හරවත්වූත් සමාජ සංස්කෘතික පදනමක් මත ‘සිළුමිණ’ ගොඩනැඟීම අරමුණු කරගෙනය.

සත දහයේ විශ්ව විද්‍යාලය ජනමනසෙහි තිරසාර ව පිහිටුවීම පිණිස සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේකය විසින් ඉටුකරනු ලැබූ කාර්යභාරය ද සුලුපටු නොවේ.

අතිරේකය එක්තරා ආකාරයක පර්යේෂණාත්මක කාර්යයක් වූවා පමණක් නොව අභියෝගාත්මක පියවරක් ද විය. මෙරට පුවත්පත් කලාවට එය අලුත් හඳුන්වාදීමක් වූයෙන් පාඨක සමාජය ඊට කෙබඳු ප්‍රතිචාරයක් දක්වාවිදැයි යන අභියෝගය බැහැර කළ නොහැකි විය. එසේ ම අතිරේකයට අවශ්‍ය ලිපි හා නිර්මාණ අඛණ්ඩ ව සම්පාදනය කර ගැනීම ද අභියෝගයක් විය.

එහෙත් මේ සියලු අභියෝග ජය ගනිමින් ශාස්ත්‍රීය අතිරේකයට පුළුල් පාඨක ප්‍රතිචාරයක් ලැබෙන්නට වූයේ ය. ශාස්ත්‍රීය සඟරාවක තරම් ගැඹුරු හා දීර්ඝ නොවූත් සාමාන්‍ය පුවත්පත් වාර්තා තරම් සරල හා කෙටි නොවූත් ශාස්ත්‍රීයත්වය හා සරලත්වය සංකලනය වූ ලිපි විශේෂයෙන් පුවත්පත් කලාවට හඳුන්වාදීමේදී සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය විසින් ඉටුකරනු ලැබුවේ පුරෝගාමී මෙහෙවරකි. කෙටිකතා, කවි ආදී නිර්මාණ සඳහා අවකාශ සැලසීම හේතුවෙන් ප්‍රවීණ මෙන්ම නවක ලේඛක ලේඛිකාවෝ ද නව නිර්මාණ බිහි කිරීමට උත්සුක වූහ.

එමතු ද නොව විවිධ අත්හදා බැලීම් කිරීම සඳහා මෙය වේදිකාවක් බවට පත්කර ගත්හ. තවද නිවැරදි අක්‍ෂර වින්‍යාසය හා ව්‍යාකරණ භාවිතය විෂයෙහි සිළුමිණ පුවත්පත දැක්වූ දැඩි උනන්දුව නිසා එය බොහෝ දෙනාගේ භාෂා අත් පොතක් බවට ද පත්විය.

පොත්පත්, නාට්‍ය, චිත්‍රපට, සංගීතය චිත්‍ර, මූර්ති ඈ කලා නිර්මාණ හඳුන්වා දීමෙන් නොනැවතී ඒවා පිළිබඳ ව විචාර හා සංවාද මතු කිරීමට ද පියවර ගැනිණි. මුලින් විශ්ව විද්‍යාල මණ්ඩපවලට හා කලාකරුවන්ගේ කුඩා කව කිහිපයකට සීමා වී තිබූ කලා රසාස්වාදය හා නිර්මාණකරණය පළල් සමාජය කරා රැගෙන යාමට සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය දිගින් දිගට ම කැප වූයේ ය.

මෑත භාගයේ “සිළුමිණ” පුවත්පතෙහි ශාස්ත්‍රීය අතිරේකය නම්කොට තිබෙනුයේ ‘පුන්කලස’ යනුවෙනි. පුරෝගාමීන් විසින් ඉටුකරන ලද ශාස්ත්‍රීය මෙහෙවර කාලෝචිත අයුරින් ඉදිරියට ගෙනයාමට වත්මන් කතු මඬුල්ල දරන ප්‍රයත්නය ප්‍රශංසනීය ය. කලා ක්ෂේත්‍රයේ සෑම මාධ්‍යයක් ම පාහේ සම්බන්‍ධ කර ගැනීමට උත්සාහ දැරීම යහපත් ලක්‍ෂණයකි. කෙටිකතාව, කවිය, සාහිත්‍ය විචාරය වැනි සාහිත්‍ය අංශයට පමණක් සීමා වූ විශේෂයෙන් ම බර නොවී චිත්‍රපට, නාට්‍යය, සංගීතය, චිත්‍ර කලාව වැනි සෙසු කලාංග පෝෂණය කිරීමට ද ‘පුන්කලස’ ඇපකැප වී සිටිනු දැකිය හැකි ය.

නූතන කලා ප්‍රවණතා හඳුන්වා දීමේ දී ‘පුන්කලස’ ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරනු පෙනෙයි. පුන්කලසෙහි මුල් පිටුව නිබඳ ව ම වෙන් වෙන්නේ කලා ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු හා කෙරෙන හරවත් සංවාදයකට ය.

‘මුවදොර වදන’ ලෙසින් හැඳින්වෙන මේ සාකච්ඡාවට අතීත වර්තමාන හා අනාගත යන කාලත්‍රය ම බොහෝවිට පාදක වනු දක්නට ලැබේ. සාහිත්‍ය කලාවන් හදාරණ විද්‍යාර්ථීන්ගේ පමණක් නොව පොදු පාඨක සමාජයේ ද අවධානය දිනා ගැනීමට ‘පුන්කලස’ කලා අතිරේකයේ ඇතුළත් සැමැරුම්, විමංසන, අතීතයේ අහුමුළු, පුනර්පාඨනය, ධරණී ආදී සෙසු විශේෂාංග සමත් ව ඇත.

ප්‍රාමාණික කලාකරුවන් විටින් විට වේදිකාවට කැඳවන අතර ම අප්‍රකට කලාකරුවන් පාඨක ලෝකයට හඳුන්වා දීමට ද සිළුමිණ පුවත්පත පසුබට නොවී ය. ඒ අතරතුර නවක ලේඛකයන්ගේ නිර්මාණ හා ලිපිවලට ද ප්‍රමාණවත් ඉඩකඩක් සලසා දී ඇත. කලාකරුවන්ගෙන් හා කලා රසිකයන්ගෙන් තොර සමාජයක් සංස්කෘතික කාන්තාරයක් වනු ඇතැයි යන කියමන ගැඹුරින් වටහාගත් මාධ්‍යයක් වශයෙන් සිළුමිණ පුවත්පත සාහිත්‍ය කලාවන් අරභයා අනුගමනය කරන සාධනීය පිළිවෙත ඇගැයුමට ලක් කළ යුතු ය.

වෙනත් බොහෝ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන් කලාවටත් කලාකරුවාටත් පිටුපා, කලාවේ නාමයෙන් නොයෙක් විසූක දස්සන රඟ දක්වමින් සිටින මෙවන් යුගයක පාඨකයාගේ බුද්ධියට ගරු කරමින් උසස් වින්දන ශක්තියෙන් හෙබි ජන සමාජයක් ගොඩනැඟීමට සිළුමිණ පුවත්පත එදා මෙන් ම අදත් දරන උත්සහය ප්‍රශංසාත්මකය.