අමිල ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළා
 

අමිල ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළා

 

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පැරණි ඉතිහාසයේ සිට බැලූ විට සාහිත්‍ය කලාව වැදගත් මැදිහත්කරුවෙක් බවට පත්වෙලා තිබෙනවා. අතීතයේ සීගිරි ගී දක්වා විමසා බැලුවත් ඒ සැම තැනකම සමාජ මැදිහත්වීම නොමැතිව කවර සාහිත්‍යයකටවත්, දේශපාලනයකටවත්, ආගමකටවත් පවතින්න බැහැ. ඒ නිසා පුවත්පත ආරම්භ වීමට පෙර දීර්ඝ සියවස් ගණනාවක් විමසා බලන විට අපට පෙනෙනවා ඒවායේ පැවැත්ම අනාගතය දක්වා විහිදී යන්නේ යම්කිසි සමාජ පෙළගැස්වීමක්, අවශ්‍යතාවක් හඳුනාගෙන නිර්මාණකරුවන් ක්‍රියාත්මක වීමෙන් පමණයි. එහෙම නැති නිර්මාණයක් පවතින්නේ නැහැ.

ඒ නිසා දහනවවැනි සියවසේ අගභාගයේ හා විසිවැනි සියවසේ සමාරම්භක යුගවල ලංකාවේ සාහිත්‍ය හා සමානව ම මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමඟ පුවත්පත විශාල සමාජ අවශ්‍යතාවක් ලෙසයි මතුවෙන්නේ. ඒ පුවත්පත්වලට තත්කාලීනව විශාල කාර්යභාරයක් පැවැරී තිබුණා, සාහිත්‍යයෙන් ඔබ්බට ගිය. මන්ද සාහිත්‍ය එක්තරා කියවන පාඨක සමාජයක රැඳුණු දෙයක්. නමුත් පුවත්පත ඉන් ඔබ්බට ගොස් පොදු ජනතාවගේ මාධ්‍යයක් බවට පත් වෙනවා. මේ නිසා එතෙක් පැවැති සාහිත්‍යයේ සමාජ මැදිහත්වීම යන කරුණ ඊට වඩා දහස් ගුණයකින් ඉදිරියට ගෙනයන්න සිදු වෙනවා.

එනම් සෑම කාර්යයකම සමාජ මැදිහත්කරුවා බවට පත් වීමයි. ජාතික නිදහස දිනා ගැනීම, සමාජ සදාචාරය වර්ධනය කිරීම, භාෂා ශාස්ත්‍ර පෝෂණය, ආගමික සංකල්ප සමාජගත කිරීම, දේශපාලන න්‍යාය පත්‍රවලට අවශ්‍ය හැඩගැස්වීම, විසිවැනි සියවසට ගැළැපෙන නවීන අධ්‍යාපන ශිල්පධර්ම හඳුන්වාදීම ආදි මේ හැම දෙයක ම ප්‍රධාන මැදිහත්කරුවා බවට පුවත්පත පත් වෙනවා.

ඒ කාර්යභාරයේදී ලේක්හවුස් ආයතනය, දිනමිණ පුවත්පත මෙන්ම සිළුමිණ පුවත්පත මොනතරම් විශිෂ්ට ආකාරයෙන් ක්‍රියාත්මක වුණා ද? සිළුමිණ ලංකාවේ ප්‍රධාන පුවත්පත ලෙසත් සැලකිය හැකියි. එය සැබවින් ම සියලු පුවත්පත්වල සිළුමිණයි. එදා සිළුමිණ පුවත්පත ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ ලෙස හැඳින්වූවා. අද අන්තර්ජාලය හරහා ලෝකය එය ‘open university’ ලෙස හඳුන්වනවා.

විශ්වවිද්‍යාලයක් තක්සලාවක් කියන අභිමානය සිළුමිණට හැර වෙනත් පුවත්පතකට ලබන්න බැහැ. එදා සත දහයට තිබුණු පත්‍රය විශ්වවිද්‍යාලයක් වුණා නම් එය සමස්ත සමාජයේම විවෘත සරසවියක් වී තිබෙනවා.

පාඨකයාගේ නැණැස පෑදීම, විද්වත් මත හැදීම, ජාතියට නව මත ගෙන යාම, භාෂා ශාස්ත්‍රයන්හි නව සංකල්ප පිළිබඳ වාද විවාද ඔස්සේ ඉදිරියට යාම, දේශපාලනඥයන්ට අවශ්‍ය මඟ හෙළිපෙහෙළි කිරීම, රජයන් ගොඩනැඟීම වැනි කාර්යභාරවලදී සිළුමිණ පුවත්පත 80 වසරක් පුරා ඉටු කළ මාහැඟි කාර්යභාරය විශේෂයි. මේ රටේ යුග පුරුෂයෝ, සාහිත්‍යධරයෝ, ආගමික නායකයෝ, වියත් ගිහි පැවිදි පඬිවරු, විචාරකයෝ, දේශපාලනඥයෝ ආදි මේ සියලු දෙනා සිළුමිණ නමැති තක්සලාවේ මහ ඇදුරන් බවට පත් වූ ආකාරය අපට පෙනෙනවා.

මා හිතන්නේ නිදහසට පෙර යුගයේ නිදහස දිනා ගැනීම පිළිබඳ පසුබිමේ ජාතියට අවශ්‍ය මතවාද නිර්මාණයේදී එදා සිළුමිණ පුවත්පත විශාල කාර්යභාරයක් ඉටු කළා. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, කුමාරතුංග මුනිදාස, අනගාරික ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ ජාතික නායකයන්ට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි දේශපාලනඥයන්ට යක්කඩුවේ ප්‍රඥාරාම, කළුකොඳයාවේ ප්‍රඥාශේඛර, වල්පොල රාහුල වැනි පැවිදි පඬිරුවනට නිදහස පිළිබඳ දැනුවත් කිරීමට පමණක් නොවෙයි 20 වැනි සියවසේ පඬිවරුන්ගේ සියලු මතවාදයන්හි තෝතැන්න බවට ද සිළුමිණ පත්වුණා.

සිළුමිණේ අනන්‍යතාවය මේ මතවාදයි. එදා සිට වර්තමානය දක්වා ම සිළුමිණට පැහැදිලි අනන්‍යතාවක් තිබෙනවා. සිළුමිණේ වත්මන් ශාස්ත්‍රීය අතිරේකය ‘පුන්කලස’ එක් එක් යුගවල එක් එක් නම්වලින් නානාවිධ ආකාරයෙන් පළ වී තිබෙනවා.

පසුගිය වසර දෙක තුනක කාලයේ ‘පුන්කලස’ මුල් පිටුවේ ‘මුවදොර වදන’ සංලාපයන්ට හසුවී තිබෙන අංශ මා පෙළ ගස්වා බැලුවා. එහිදී දේශපාලනය, ආගම, භාෂාව, ව්‍යාකරණය හා වාග් විද්‍යාව, දේශපාලනය හා භික්ෂුව, සංගීතය හා සංගීතවේදීන්, ආගම හා සදාචාරය, සාහිත්‍ය හා නවකතාව, නර්තනය හා නවීනත්වය, චිත්‍ර ශිල්පය, භාෂණය හා ලේඛනය, විශ්වවිද්‍යාලයන්හි කාර්යභාරය, ජනශ්‍රැතිය, ජනමාධ්‍ය මෙහෙවර, බුදුදහම හා ධර්ම දේශනය, ඉතිහාසය, පුරා විද්‍යාව, නවීන සංස්කෘතිකාංග, අලුතින් බිහිවන පොතපත, ජනවාර්ගික ගැටලුව, ජනපි‍්‍රය සංස්කෘතිය, සිනමාව, වේදිකාව, පශ්චාත් නූතනවාදය වැනි විවිධ අංශවල ශාස්ත්‍රීය මතවාද මෙහි දක්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අංශ ගණනාවකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන දැනුම හා සමාන දැනුමක් සමාජයට පුන්කලසේ මුල් පිටුවේ සංලාපවලින් ලැබෙනවා. මේ පිටුවට හසු නොවුණු විද්වත් මතවාදයක් නොමැති තරම්. අනෙක මේ අදහස් සමාජගත කිරීමට තෝරා ගන්නා වියතුන් විශේෂයි.

භාෂාව ගත්තොත් මහාචාර්ය ජේ. බී. දිසානායක, සුචරිත ගම්ලත්, භික්ෂුව හා දේශපාලනය පැත්තෙන් බෙල්ලන්විල විමලරතන හිමි, සංගීතය පැත්තෙන් පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ බැද්දගේ නර්තනය පැත්තෙන් බැසිල් මිහිරිපැන්න, ජයසේන කෝට්ටේගොඩ, විශ්වවිද්‍යාලයන්හි කාර්යභාරය පැත්තෙන් සේන එපිටවත්ත, මහාචාර්ය තිස්ස කාරියවසම්, ජනශ්‍රැතිය පැත්තෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ජනපි‍්‍රය සංස්කෘතිය පැත්තෙන් මහාචාර්ය විමල් දිසානායක ආදි වශයෙන් ඒ ඒ අදාළ ලංකාවේ සිටින ප්‍රාමාණිකයන් මේ සංලාපවලට තෝරා ගැනුණා. මේ අනුව සිළුමිණ කියන්නේ ශාස්ත්‍රීය අවශ්‍යතාවයෙන් යුත් ප්‍රධාන පුවත්පතයි. හැම යුගයකම මෙය දක්නට ලැබුණා.

මට මතකයි සිළුමිණ පුවත්පත ඔස්සේ සිදුවුණු මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ හා මහාචාර්ය නලීන් ද සිල්වා ගේ ශාස්ත්‍රීය සංවාදය. මතවාදවලට තුඩුදුන් ශාස්ත්‍රීය ලිපි එදත් මෙහි කොතෙකුත් පළ වුණා. නිදර්ශන වශයෙන් පොදු ජනයාගේ උරුමය - (මාර්ටින් වික්‍රමසිංහ - 1960), බුදුදහම සහ රජදහම - (කොටහේනේ ප්‍රඤ්ඤාකිත්ති හිමි - 1963), විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ භාෂාව - (අයිවර් ජෙනිංස් - 1952), සාහිත්‍යයේ පරමාර්ථය කුමක් ද - (ගුණදාස අමරසේකර - 1958), පාඨක ජනයා විචාරයට විරුද්ධ ද - (එදිරිවීර සරච්චන්ද්‍ර - 1958), ශ්‍රේෂ්ඨ සිංහල කාව්‍යය කුමක් ද - (වැලිවිටියේ සෝරත හිමි - 1958) යනාදි ලිපි ලේඛන රාශියක නම් සඳහන් කිරීමට පුළුවන්.

ඒ නිසා සමහර පුස්තකාලවල මේ පුවත්පත ආරක්ෂිත දැනුම් ගබඩාවක් බවට පත්කරගෙන සිටිනවා. සමහර පුවත්පත්වල ශාස්ත්‍රීය අතිරේකයන්හි දක්නට ලැබෙන අදහස් ‘පොල්ලෙන් ගහනවා’ හා සමානයි. විචාරය පවා සාහිත්‍යකරුවකුගේ භූමිකාවෙන් අයින් වෙලා දාමරිකයකුගේ ස්වභාවයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. තමන්ට අවශ්‍ය මතය නොවෙයි සමාජයට අවශ්‍ය මතවාදය සංයමයෙන් ඉදිරිපත් කරන්න සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සැමවිටම උත්සාහ කළා. කවදාවත් ඒ සම්බන්ධයෙන් පුන්කලසට චෝදනා කරන්න බැහැ. කවදත් එහි සංවාද ආවේගශීලී වුණේ නැහැ.

එක් එක් අයගේ ප්‍රතිරූප බිඳින්නේ නැතිව ශාස්ත්‍රීය සංවාදයක් කරන්නේ කොහොමද යන පැනයට හොඳම පිළිතුර පුන්කලසයි. විද්වතුන්ගෙන් ගෞරවය ඉන් ආරක්ෂා වුණා. සමහර පුවත්පත්වල සාහිත්‍ය අතිරේක වැඩිකල් නොපවතින්නේ හා ඒවා දැනුම් ගබඩා බවට පත් නොවෙන්නේ ඒ නිසයි. ලංකාවේ විශ්වවිද්‍යාලවල ප්‍රාදේශීය පුස්තකාලවල සංරක්ෂිත සිළුමිණ පුවත්පත පර්යේෂකයන්ට තෝතැන්නක්. දැන් වත්මන් කතුවරයාගේ වැදගත් ප්‍රයත්නයක් ලෙස මේ ශාස්ත්‍රීය ලිපි පුවත්පතට සීමා නොකොට එය වඩාත් උසස් සාහිත්‍යයක් බවට පත්කිරීමට ගත් වෑයමක් තමයි ‘පුන්කලස’ ග්‍රන්ථය. මීට ඇතුළත් වුණේ අවුරුදු ගණනාවක් ශාස්ත්‍රීය සංග්‍රහයේ පළවූ හොඳම ලිපි එකතුවක්. අනෙක අන්තර්ජාලයේ සිළුමිණ පුවත්පතට හොඳ වෙබ් අඩවියක් තිබෙනවා. මේ මඟිනුත් සිළුමිණ ඉදිරිපත් කරන මතවාද සමාජගත වෙනවා. ඒ හැකියාව වෙනත් පත්තරවල ශාස්ත්‍රීය අතිරේකවලට තිබෙනවා ද යන්නත් ගැටලුවක්.

සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය මඟින් පොතක් හඳුන්වාදීම දීර්ඝ කාලයක සිට සිදු කෙරුණා. සමහර පුවත්පත් ඊට ඉඩක් නොදුන් කාලවල පවා හොඳ පොතක්, කලා නිර්මාණයක්, එළිදුටුවාම සිළුමිණ ඒ වෙනුවෙන් පෙනී සිටියා. මෙහි පළවූ ග්‍රන්ථ විචාර හරහා ඒ පොත්වලට සමාජයේ පිළිගැනීමක් ලැබුණා. සාහිත්‍යයේ උසස් ප්‍රමිතිය සිළුමිණ මේ ඔස්සේ රැකගත්තා.

සිළුමිණ කිසි කලෙක පොදු ජනයාට බොළඳ රසයක් ලබා දුන්නේ නැහැ. ගෝලීය ජනපි‍්‍රය සංස්කෘතියකට සමහර පුවත්පත් ඇද වැටෙද්දී සිළුමිණ තමන්ගේ සම්භාවනීය අභිමානය රැකගත්තා. සම්භාවනීය වූ පමණින් එය පොදු ජනයාගේ රසඥතාවයෙන් ඉවත් වූයේ නැහැ. එය අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වුණා. අදත් ඉරිදා පුවත්පත් අතරින් වැඩියෙන් අලෙවි වන්නේ මෙයයි.