චිරං ජයතු සිළුමිණ
 

චිරං ජයතු සිළුමිණ

 

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක

පක්‍ෂපාතී, මධ්‍යස්ථ මාධ්‍ය ආයතන හෝ මාධ්‍ය යනුවෙන් කොටසක් නොපවතී. සෑම මාධ්‍යයකට ම, මාධ්‍ය ආයතනයකට ම තමන් තෝරාගත් දේශපාලන ආර්ථික දර්ශනයක් තිබේ. ඒවා ඒ වෙනුවෙන් පෙනී සිටී. මෙය සිදුවන්නේ ජනමාධ්‍ය අයිතිකරුවන්ගේ ලෝක දෘෂ්ටිය හා පැවැති අවශ්‍යතාව අනුවයි. “සිළුමිණ” පුවත්පත පළ කෙරෙන්නේ ‘ලේක්හවුස්’ යන ජනපි‍්‍රය නාමයෙන් හඳුන්වන ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟිනි.

මේ සමාගම ඩී.ආර්. විජේවර්ධන මහතා සමඟ අනන්‍ය වේ. ඔහු මෙරට මුද්‍රිත මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෙකි, පුරෝගාමියෙකි, හොඳ දැක්මක් තිබූ කෙනෙකි. ඒ පිළිබඳු කිසිදු විවාදයක් නැත. නමුත් ඔහුට ‘පංතියක්’ තිබිණි. ඒ පංතියේ න්‍යාය පත්‍රයට ඔහු අනුගත ව සිටියේ ය. ඒ බව ආරම්භයේ සිට ම දැකගත හැකිවිණි. ඩී.ආර්. විජේවර්ධන මහතාගේ නායකත්වය යටතේත්, ඔහුගේ අභාවයෙන් පසුවත් ලේක්හවුසියේ පුවත්පත් දේශපාලන – ආර්ථික කාරණාවලදී පෙනී සිටියේ අධිපති පංතියේ මතවාදය වෙනුවෙනි.

නමුත්, ඔහු තමන්ගේ පුවත්පත් සියල්ල ම ජනමාධ්‍ය කලාවේ ඉහළ ම ප්‍රමිතීන්ට අනුකූල ව පවත්වාගෙන යාමට ප්‍රයත්න දැරුවේ ය. එහි අග්‍රඵලයක් ලෙස ‘සිළුමිණ’ හඳුනා ගැනීමට මම කැමැත්තෙමි. ඔහුගේ න්‍යාය පත්‍රය තුළ සිටිමින් මාධ්‍යකින් ඉටුවිය යුතු මෙහෙවර දිගු කාලයක් තිස්සේ ඉතා සතුටු දායක මට්ටමකින් ඉටුකරන්නට ‘සිළුමිණට’ හැකිවිය.

ජනමාධ්‍යකින් ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳ ‘යුනෙස්කෝව‘ මඟින් පළ කෙරී ඇති කොමිෂන් සභා වාර්තාවක ඇතුළත් කරුණු ඇසුරින් මෙය පැහැදිලි කිරීමට පිළිවන. අසූව දශකය ආරම්භයේදී ඒ වාර්තාව ග්‍රන්ථයක් ලෙස එළිදැක්විණි. ඒ, One World – Many Voices (එක ලෝකයක් – හඬවල් රැසක්) යනුවෙනි. ජනමාධ්‍යයක සමාජ මෙහෙවරට අදාළ ව ප්‍රධාන කාර්යභාරයන් 8 ක් එහි විස්තර කෙරේ. ඒවා මෙපරිදි ය.

තොරතුරු සම්පාදනය, සමාජානුයෝජනය, විවාදය හා සාකච්ඡාව, අධ්‍යාපනය, විනෝදාස්වාදය, අභිප්‍රේරණය, සංස්කෘතික ප්‍රවර්ධනය, අනුකලනය

මෙහි සමාජානුයෝජනය යනු තත්කාලීන සමාජයේ කතාබහට ලක්වී තිබෙන ප්‍රධාන මාතෘකා පිළිබඳ පාඨකයන් – ග්‍රාහකයන් දැනුවත් කිරීම සඳහා විවිධ දෘෂ්ටිකෝණ වලින් බලා ලිපි හෝ වැඩසටහන් සම්පාදනය කිරීමයි. විවාදය හා සාකච්ඡාව යනු ගැටලු සහිත තැන් පිළිබඳ, කාලීන මාතෘකා පිළිබඳ විවිධ මතවලට ඉඩ සලසන වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමයි. ඒ ඔස්සේ නිගමනයකට පැමිණීමේ අවස්ථාව ජනතාවට ලබාදිය හැකි ය. අභිප්‍රේරණය යනුවෙන් අදහස් වෙන්නේ තම පාඨකයන් හෝ ග්‍රාහකයන් ඔවුන් සිටින තැන සිට වඩා ඉහළ ආර්ථික සමාජ මට්ටමකට ගෙනයාම සඳහා අවශ්‍ය පෙළැඹවීම ඇති කිරීමයි. එය මාධ්‍ය විසින් ඉටුකරනු ලැබිය යුතු ඉතා වැදගත් කාරණයකි.

සමාජයක් උකටලී ව, උදාසීන ව සිටින විටෙක සමාජය අවදිකරවා අලුත් ජීවන හුස්මක් පිඹීම ඉන් අදහස් කෙරේ. අධ්‍යාපනය තවත් කාරණයකි. අද අප ජීවත්වන ලෝකයේ දැනුම ඉතා වේගයෙන් වර්ධනය වෙමින් ඇත. වසරක් ඇතුළත අලුතෙන් නිර්මාණය වන දැනුම් සම්භාරය අතිමහත් ය. 2005 පළවූ වාර්තාවකට අනුව 21 වෙනි සියවසේ පළමු දශකයේ මැද භාගය වනවිට සමාජය සතු දැනුම් සම්භාරය සෑම වසර 5 කට ම වරක් දෙගුණ වන බව සඳහන් විය. ඒ දැනුමෙන් තම පාඨක – ග්‍රාහක ප්‍රජාව සන්නද්ධ කිරීම මේ යටතේ විස්තර කෙරේ.

සංස්කෘතික ප්‍රවර්ධනය යනු නර්තනය, සිනමාව, නාට්‍ය, නවකතාව, කවිය, පාරම්පරික ඇදහිලි ආදී වූ සෑම දේක ම නිර්මාණාත්මක ලක්‍ෂණ හඳුන්වාදීම, නව නිර්මාණ සඳහා අත දීම, මේවා පිළිබඳ සංවාදයක් ඇති කිරීම ආදියයි. සමාජයකට ආර්ථික දියුණුව මත පමණක් රඳා පැවතිය නොහැකි නිසා මෙය වැදගත් අවශ්‍යතාවකි.

මෙහිදී විනෝදාස්වාදය යම් ශිෂ්ට සම්පන්න සීමාවක පිහිටා සිටිමින් ලබාදීම අදහස් කෙරේ. පහත් පෙළේ රසයක් ලබාදී මිනිසුන් වියරු වට්ටන මාධ්‍ය භාවිතයක් පිළිබඳ අදහස මෙහිදී බැහැර කරයි. ඒ නිසා ශිෂ්ටත්වයේ සීමා හැඳින ක්‍රියාකිරීම අවශ්‍ය ම කාරණයකි. අනුකලනය යනුවෙන් අදහස් කෙරෙන්නේ, සමාජයක ජීවත්වන විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතාකරන මිනිසුන් අතර සහනශීලතාවක් ඇති කිරීම ය.

මේ කරුණු 8 ඔස්සේ ගෙන බලනවිට ‘සිළුමිණ’ පසුගිය කාලාන්තරය මුළුල්ලේ තොරතුරු සම්පාදනය හැර සෙසු ක්‍ෂෙත්‍රවලදී සැලැකිය යුතු, සතුටුදායක කාර්ය භාරයක් ඉටුකළ බව පැහැදිලි වේ. එයිනුත් මා විශේෂයෙන් දකින්නේ ‘සමාජානුයෝජනයයි’ කාලීන සමාජමය මාතෘකා අරබයා ජනතාවට විවිධ දෘෂ්ටිකෝණ වලින් දැනුම් සම්භාරයක් ලඟා කිරීමට සිළුමිණ ගන්නා උත්සාහය කැපී පෙනේ. සති අන්ත පුවත්පතක් තොරතුරු සම්පාදනය අතින් ඉදිරියෙන් නොසිටී. එය කළ හැක්කක් නොවේ. හේතුව සති අග පුවත්පතක පිටු බොහොමයක් බ්‍රහස්පතින්දා තරම වනවිට සම්පාදනය වී අවසන්වන බැවිනි.

සිළුමිණ ද අපට සෙනසුරාදා දහවල් වනවිට මිලදී ගත හැකි ය. මේ නිසා ඉරිදා දිනය සටහන් වන පුවත්පතකට තොරතුරු වාර්තාකරණය අතින් ඉදිරියෙන් සිටිය නොහැකි ය. නමුත් අධ්‍යාපනය, විනෝදාස්වාදය ආදී කාරණා සම්බන්ධයෙන් ද ‘සිළුමිණ’ කාලයක් තිස්සේ ඉහළ මට්ටමකින් සිය වගකීම ඉටුකර ඇත. කලක් සිළුමිණ “ශත දහයේ සරසවිය” යන නාමය ද පටබැඳණි. එක් යුගයක මෙරට සිටි ඉහළ ම පෙළේ උගතුන් විවිධ විෂයයන් නියෝජනය කරමින් තම අදහස් සංවාදයට ලක් කළේ සිළුමිණ ඔස්සේ ය. ඉන්, මා දකින පරිදි ඉහළ මට්ටමක තිබූ අවධියක් වූයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, පියසේන නිශ්ශංක ශූරීන්, මීමන ප්‍රේමතිලක ශූරීන් වැනි අය සිළුමිණ මෙහෙයවූ වකවානුවයි.

අප ඉගෙන ගන්නා කාලයේදී ද සිළුමිණ හා සබැඳි මතකයක් ඇත. නිදසුන් කිහිපයක් දක්වන්නේ නම්... මිත්‍යා විශ්වාස හා ඇදහිලි පිළිබඳ පුළුල් කතිකාවක් සිළුමිණ පුවත්පත ගොඩනැ¼ගුවේය. ඒබ්‍රහම් ටී කොවුර්, කාලෝ ෆොන්සේකා වැනි හේතුවාදී අදහස් දරන පිරිස් මේ රටේ ජනතාව හැඳිනගත්තේ එමඟිනි. ඔවුන් මතු කළ අභියෝග ගැන රටේ විශාල අවදිවීමක් ද ඇතිවිය. ඒ කාරණය පමණක්ම ගත්ත ද එය විශාල මෙහෙවරකි. මිත්‍යා විශ්වාස වලින් මිනිසුන් දුරස්කිරීමට එය හේතුවූ බැවිනි.

භාෂා - සාහිත්‍ය ආදිය සම්බන්ධව ද සිළුමිණ හරවත් වාද විවාදවලට තෝතැන්නක් විය. ඒවා පිළිබඳ හැදෑරූ විද්‍යාර්ථීන්ට එය මහඟු රුකුලක් වූවා සේම තම අදහස් පළකිරීම සඳහා විද්වතුන්ට, සාහිත්‍යකරුවන්ට ඉඩ ලැබීමද එමඟින් සිදුවිය.

විනෝදාස්වාදය අතින් සිළුමිණ කලික් කලට හඳුන්වාදුන් විශේෂාංග සමහරක් අපට මතක ය. ඡායාරූප ඇසුරින් කුතුහලය දනවන කතාවක් ඉදිරිපත් කිරීම ඉන් එකකි. මේ විශේෂාංග බාල – මහළු - තරුණ – වැඩිහිටි කාගේත් ජනාදරය දිනා ගත්තේ ය.

සිළුමිණේ භාෂාවද ඉතා ඉහළ මට්ටමක තිබිණි. අද දවස හා සසඳන විට මෙය අතිශය ප්‍රශංසාවෙන් සඳහන් කළ යුතු කාරණයකි.

ඒ අතින් බලනවිට එක් අවධියක මා ද ඇතුළු ව අපේ රටේ පාසල් දරු දැරියන් සිංහල භාෂාව ඉගෙනීම සඳහා භාවිත කළ පුවත්පතක් ලෙස සිළුමිණ ගැන සඳහන් කළ යුතු ය. මෙය මා ඉතා ඉහළ වැදගත්කමක් ලබාදෙන කාරණයකි. ඒ ඇයි? ඕනෑම ජාතියක අදීනත්වය, නොනැසී පැවැත්ම පිළිබඳ එය ඉතා තීරණාත්මක කාරණයකි. දෙවනුව, තාක්‍ෂණය කොපමණ දියුණු වුවද ඩිජිටල්, සයිබෝග් ආදී කවරක් පැමිණියද සන්නිවේදනයේ ප්‍රධාන මෙවලම භාෂාවයි. ඒ භාෂාව මියගියහොත්, එය අවුල් කළහොත් එක්තරා කාලයක් ඇවෑමෙන් එකී භාෂාවෙන් සන්නිවේදනය කළ නොහැකිවනු ඇත.

එවිට ඔබ කියන දේ මටවත්, මා කියන දේ ඔබටවත් තේරුම්ගත නොහැකි වෙයි. මේ ගැන කිසිවකු හෝ සැක කරන්නේ නම් ඒ අයගෙන් ඉල්ලීමක් කිරීමට මම කැමැත්තෙමි. ඒ ලන්දේසි යුගයේත්, මාතර යුගයේ දීත් සිංහල භාෂාවට අත්වූ ඉරණම පිළිබඳ විමසා බලන ලෙසයි. ඉංගී‍්‍රසි පාලන යුගවලදී දැන්වීම් පුවරුවල, “දුම්රිය පාරේ ගමන් කරන අයවලුනට අච්චුකරනු ලැබේ” වැනි යෙදීම් දක්නට ලැබුණේ පෙර සඳහන් යුගවල ඇතිවූ භාෂා පරිහානිය හේතුවෙනි. මේවායේ භාවිත වූයේ ඉතා ග්‍රාම්‍ය සිංහලයි. පුදුමය නම්, අමාවතුර – බුත්සරණ වැනි ගද්‍ය කෘති ලියැවුණු සැළලිහිණි සංදේශය, සුභාෂිතය, කාව්‍යශේඛරය ආදී කාව්‍ය ග්‍රන්ථ ලියැවුණු සිංහල භාෂාවට අත්වුණු ඉරණමයි. අද ද මෙය සිදුවෙමින් ඇති බව අපගේ් වැටහීමයි. එනිසා ‘සිළුමිණ’ පුවත්පතේ භාෂා පෝෂණ මෙහෙවර ඉහළින් කැපී පෙනේ.

තවත් ප්‍රධාන කාරණයක් නම් ජාතිකත්වය පිළිබඳ ලක්‍ෂණය සිළුමිණේ හැමදාමත් ප්‍රකට වීම ය.

මෙරට ඉතිහාසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට, අපේ කලා ශිල්ප පිළිබඳ දැනුවත් කිරීමට, රටේ ජාතික ප්‍රශ්නවලදී කිසියම් ආකාරයකට තම දේශපාලන සීමාව ඇතුළත සිටිමින් හෝ ජාතිකවාදී දෘෂ්ටියකින් බලන්නට එය උත්සාහ දරා තිබේ. ‘සිළුමිණ’ පුවත්පත එක්තරා අවධියක අපේ රට අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ මතවාදයට ද ඉඩ සැලසීය.

’සිළුමිණ’ විනෝදාස්වාදය සැපයූ ආකාරය පිළිබඳ ද ප්‍රසාදයෙන් සඳහන් කළ හැකි ය. එහි පහත් අන්දමින් රාගික හැඟීම් අවුස්සා සිය පාඨක ප්‍රජාව වියරු වැට්ටුවේ නැත. ශිෂ්ට සම්මත සීමා හැඳින ගැනීමට සිළුමිණට හැකිවිය. පුවත්පත ගෙදරට ගෙන ගොස් පවුලේ කාටත් කියැවිය හැකි පරිද්දෙන් එය ඉදිරිපත් විය.

ඒ නිසා සමාජ සදාචාරය රැකිම, භාෂා පෝෂණය, ජාතික අනන්‍යතාව ආරක්‍ෂා කිරීම ආදී අංශවලින් සිළුමිණ සතුටුදායක මෙහෙවරක යෙදී ඇති බව පැහැදිලි ය. දැනටද යම් ප්‍රමාණයන්ගෙන් මේ ලක්‍ෂණ ඒ තුළ දැකගත හැකි ය.

නමුත්, මා විශ්වාස කරන පරිදි මේ පුවත්පත් ආණ්ඩුවට පවරා ගැනීම තුළ ඒවායේ ගුණාත්මක අගය දේශපාලන වුවමනාවන් මත ගමන් ගන්නට වූ බවද සඳහන් කළ යුතු ය. එවැනි මට්ටමක තිබියදී වුවද සිළුමිණ වර්තමානයේදී ද සිය විශේෂාංග පිටු මඟින් විශේෂයෙන් ‘පුන්කලස’ වැනි අතිරේක හරහා දෙස් - විදෙස් සාහිත්‍ය විචාර පිළිබඳ, අපේ භාෂාව පිළිබඳ, ශාස්ත්‍රීය කාරණා පිළිබඳ හරවත් හා වැදගත් ලිපි සඳහා ඉඩ ලබාදීම අගය කළ යුතු ය. එමඟින් ඒ විෂයයන් පිළිබඳ උනන්දුවක් ඇති අයට සැලකිය යුතු දැනුමක් සම්පාදනය කරයි.

වාණිජමය අතින් වෙළෙඳ දැන්වීම් මඟින් තවමත්, ඉහළ තරගකාරී පරිසරයක පවා තමන් ගොඩනඟාගත් ස්ථාවරයේ රැඳී සිටින්නට ද සිළුමිණ ට හැකිවී ඇත. එයද පුවත්පතක පැවැත්ම සඳහා අවශ්‍ය ලක්‍ෂණයකි.

මෑත භාගයේදී විද්‍යා, වෛද්‍ය විද්‍යා, තාක්‍ෂණික, පරිගණක ආදී විවිධ ක්‍ෂෙත්‍රවල ඇතිවූ දැවැන්ත දියුණුව තම පාඨකයාට හඳුන්වාදීමට ද සිළුමිණ දායකවූ අතර දැනටත් දායක වෙමින් සිටී. පසුගිය දශක කිහිපය තුළ එවැනි ක්‍ෂෙත්‍රවලත් පරිසරය පිළිබඳත් ඇතිවූ දැනුම හා නව වර්ධනයත් ජනතාව වෙතට රැගෙන යාමට එය යම් මෙහෙවරක් කරමින් ඇත. දැනුම රැගෙන යාම හා නොයෙක් විෂයය ක්‍ෂෙත්‍ර අරබයා සංවාදයක් ඇති කිරීමට මීට වසර කිහිපයකට පෙර සිළුමිණ දරන ලද ප්‍රයත්නයක් පිළිබඳ ද මෙහිදී සිහිපත් වෙයි. ඒ ‘ප්‍රවේශ’ අතිරේකයයි. එය ප්‍රකාශයට පත්වූ කෙටි කාල වකවානුව තුළ අප පෙර සඳහන් කළ පුවත්පතේ කාර්යභාරය හා බැඳි කාරණා සම්බන්ධයෙන් සාධනීය මෙහෙවරක් ඉන් ඉටු කළේ ය. නව අදහස්වලට ඉල්ලුමක් ඇති දැනුම් පිපාසයෙන් යුතු සමාජයක අප සිටින නිසා එවැනි ප්‍රයත්න වැදගත් ය.

ලංකාව මුහුණ දුන් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ බෙදුම්වාදය ජයගත්තේ නම් සිදුවන ව්‍යසනය බරපතළ ය. එය සියලු ජන කොටස්වලට ගෙන එන්නේ විනාශයයි. තමන්ට යහපත් යැයි එය ගැන දෙමළ සමාජයේ කිසිවකු හෝ සිතන්නට ඉඩ ඇතත් එය එසේ සිදු නොවේ. මේ අනතුර පිළිබඳ විශේෂයෙන් මෑත භාගයේදී මේ රටේ ජනතාව දැනුවත් කිරීම අරබයා ‘සිළුමිණ’ ඉදිරිගාමී කාර්ය භාරයක් ඉටුකළ බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. විජාතික බලවේග හඳුන්වා දෙමින් ඔවුන්ගේ යථා අරමුණු හෙළිදරවු කරන්නට සිළුමිණ නොපැකිළව ක්‍රියා කළේ ය.

සිළුමිණ හමුවේ ඇති ඉදිරි අභියෝග පිළිබඳ අවධානය යොමු කිරීමේදී පළමුව සඳහන් කළ යුතු වන්නේ සෑම පුවත්පතකට ම පාහේ පුවත්පතේ කාර්යභාරය සම්බන්ධයෙන් අභියෝගයක් එල්ලවී ඇති බවයි. මන්දයත්, මාධ්‍ය අතරමත් විශාල තරගයක් පවතී. මුද්‍රිත මාධ්‍ය ගණනාවක්ම ඇත. සති අන්ත පුවත්පත් සංඛ්‍යාව දිනපතා පුවත්පත් සංඛ්‍යාවට වැඩිය. නමුත් මෙම පුවත්පත් අලෙවිය ඇත්තේ බෙහෙවින් අඩු මට්ටමකයි. ඒ නිසා කුඩා වෙළඳපොළක් බෙදා ගැනීම සඳහා දැවැන්ත තරගයක් පවතී. සෙසු මාධ්‍යවලින් ද දැවැන්ත තරගයක් ඇත. විද්‍යුත් නාලිකා විශාල ප්‍රමාණයකි. එයින් ගුවන්විදුලි නාලිකා 33 ක් පමණද, රූපවාහිනී නාලිකා 12 ක් පමණ ද තිබේ.

මෙවැනි දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ‘සිළුමිණ’ තම අනන්‍යතාව රැක ගන්නේ කෙසේද යන්නත්, සෙසු තරගකාරී මාධ්‍ය වැටී ඇති තැනට නොවැටී සිටින්නේ කෙසේද යන්නත් සිළුමිණ හමුවේ ඇති ප්‍රමුඛ අභියෝගයකි. සිළුමිණ දැනට ඇත්තේ රජයේ පාලනය යටතේ ය. එතැන හිඳිමින් වෙනත් අදහස් උදහස් දරන අයට දැනුම බෙදාහරින්නේ කෙසේද යන අභියෝගය එය හමුවේ ඇත. පුවත්පතට වැදී ඇති රාජ්‍ය ලේබලය ඊට අභියෝගයකි. තවත් අභියෝගයක් නම් නූතන සමාජය මහත් තරගකාරී එකක් වීමයි. එම තරගකාරිත්වය, ආර්ථික ප්‍රශ්න වැනි කාරණා නිසා මිනිසුන් විශාල වශයෙන් අවිවේකී ය. පුවත්පත්වල පළවන දීර්ඝ ලිපි කියැවීම සඳහා ඔවුන්ට වේලාවක් නොමැත. දවසේ රාජකාරි කටයුතු අවසන් කර නිවෙසට ගිය පසු රාත්‍රී කෑම වේල පිළියෙල කර ගැනීමට පවා ඔවුන්ට වේලාවක් නැත.

සෑම ගෙදරක් ම පාහේ සවස හයෙන් පසු රූපවාහිනියට හුරුවූ සමාජයක පුවත්පත ඔවුන්ට ආකර්ෂණය කරන්නේ කෙසේද යන්න අභියෝගයකි. එහිදී, එය ජයගැනීම සඳහා නව ඉසවුවලට යොමුවීමට ‘සිළුමිණ’ට ද සිදුවේ. පුවත්පතක ප්‍රමිතීන් රැකගෙන එය කරන්නට ද සිදුව ඇත. නිදසුනක් දක්වන්නේ නම් 90 දශකයේදී ලංකාවේ සතිඅග පුවත්පතට එක්වූ නවාංගයක් වූයේ පොඩි පිටු පත්තරයි. (ටැබ්ලොයිඩ් අතිරේක) එවැනි සමහර පුවත්පත්වල ඇත්තේ ඉතාමත් නිස්සාර, කමකට නැති දේවල් ය. ඒවඤ මුද්‍රණය කරන්නේ ඇයි ද යන්න ගැටලුවකි. ඒ අතින් සිළුමිණ ‘රසඳුන’ ඒ පත්තර ගොන්න අතර ඊට එහා ගිය ප්‍රමිතියක් පවත්වා ගනිමින් තිබීම අගය කළ යුතුය.

මාධ්‍ය කළ යුත්තේ මිනිසුන් තව තවත් මඩගොහොරුවට තල්ලු කිරීම නොව මඩගොහොරුවේ සිටින්නන් ඉන් ගොඩට ගැනීමයි. ජනපි‍්‍රය පුද්ගලයන් පිළිබඳ ඕපාදූප පළ කිරීමෙන් එය කළ නොහැකි ය. ඉන් එහා ගිය රසඥතා මට්ටමක් කරා තම ග්‍රාහකයන් යොමු කිරීම මාධ්‍ය විසින් කළ යුතු ය. මේ යුගයේ වඩා ප්‍රබල අභියෝග වන දේශගුණික විපර්යාස, බලශක්ති අර්බුදය, ආර්ථික අර්බුදය, පරිසර දූෂණය වැනි කාරණා පිළිබඳ නව දැනුම සොයා යන පිරිසක් සිටී. මාධ්‍ය ඔවුනට ආමන්ත්‍රණය කළ යුතු ය.

විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් නම් බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ රට ආර්ථික - සමාජීය - සංස්කෘතික වශයෙන් නිවැරදි දිශානතියකට යොමු කිරීම සඳහා ලැබී ඇති කදිම ඉඩ ප්‍රස්තාව අපතේ යාමට ඉඩ නොහැරීම සිළුමිණ වැනි ජාතික පුවත්පතකට පැවරෙන ප්‍රබල වගකීමකි. ඉඩ ප්‍රස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් ජනතාව ඒ සඳහා පොලඹවන මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ඇති විය යුතු ය. ඒ සඳහා දායක වීමද සිළුමිණ බඳු පුවත්පතක් හමුවේ ඇති ප්‍රධාන කාර්ය භාරයකි. රට ගොඩනැඟීම සඳහා සියලු ජන කොටස් - සමාජ කොටස් ඒකරාශි කරමින් තමන් හමුවේ ඇති නන්විධ කාර්යභාරය ඉටු කිරීමට හැකිවේවාය යන ප්‍රාර්ථනය ද ඇති ව මම සිළුමිණට සුබ පතමි.