පුවත්පත් අතර සිළුමිණ සිළුමිණකි
 

පුවත්පත් අතර සිළුමිණ සිළුමිණකි

 

මහාචාර්ය තිස්ස කාරියවසම්

ඉරහඳ පවතිනාතාක් කල් රැකෙනා බවට පිළිගත් නැකතකින් ඇරැඹි සිංහල පත්‍ර කලාවේ අභිමානනීය දැවැන්තයා 80 වසරට පා තබන්නේ මේ මස තිස් වැනිදා ය. සත දහයක මිලකින් ආරම්භ කොට සත දහයේ විශ්වවිද්‍යාලය නමින් බුහුමනට පාත්‍ර වෙමින් පාඨකයාගේ මනරංජනය කළ සිළුමිණ, අදත් ස්වකීය අනන්‍යතාවය, අභිමානය රැක ගනිමින් පුවත්පත් කලාවේ මහගෙදර නම් වන ලේක්හවුසියෙන් අග්නිදිග ආසියාවේ වැඩියෙන් ම කියවන පුවත්පත වශයෙන් සතිඅන්තයේ ඔබේ නිවසට පැමිණේ.

දශක අටක මතක සටහන් සමඟින් දිනෙන් දින පරිණත වූ සිළුමිණ පිළිබඳ මෙවර මුවදොර වදන සංලාපයට එක් වූයේ සම්මානිත මහාචාර්ය තිස්ස කාරියවසම් වියතාණන් ය. ගෞරවයෙන්, භක්තියෙන් දශක අටක සිළුමිණ පිළිබඳ විවරණයක යෙදුණු හේ, සිය ශාස්ත්‍රීය ගමන්මඟේ ආරම්භය සනිටුහන් කරමින් 1961 දී තම පළමු ශාස්ත්‍රීය ලිපිය පළ වූයේ ද සිළුමිණේ බැව් සිහිපත් කළේ ය.

සිළුමිණ ආරම්භ වන්නේ යටත් විජිත යුගයේ දී. මේ යුගයේ දේශීය චින්තනයකින් හෙබි සිංහල පුවත්පතක් ආරම්භ වීම වැදගත් සංධිස්ථානයක්.

1930 මාර්තු මාසේ සිළුමිණ පත්තරය ආරම්භ වීමත් සමඟ යටත්විජිත ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිවර්තනීය වෙනසක් එක්කයි මෙය ආරම්භ වෙන්නේ. 1931 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතාවය කුමක් විය යුතු ද යන්න ගැන ඉංගී‍්‍රසි ආණ්ඩුව සලකා බලමින් සිටියා. ඒ සඳහා පත්කර එවූ කොමිසම විසින් තීරණය කරනවා සර්වජන ඡන්ද බලය ලබා දෙන්න.

සිළුමිණ පත්‍රය පැමිණෙන්නේ ලංකාවේ හැමදෙනා ම යටත් විජිතය තුළ උපතින් සමානයන් බවට පත්කරන, අවුරුදු 21 ට වැඩි සියලුම පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයා පත්කර ගැනීමට අවකාශ සලසා දෙන කාල වකවානුවක.

ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන්න ක්‍රියා කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ සහ ඔහුගේ ඉල්ලීම් ගැන ලේක්හවුසියේ සිළුමිණ කර්තෘවරයා විශේෂයෙන් අවධානය යොමු කළා. සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව බොහොම පැහැදිලි ව පිළිගත්ත ප්‍රතිපත්තියක් තමයි සිළුමිණට තිබුණේ. මුල්කාලීන සිළුමිණ ජනපි‍්‍රය වීමටත් ඒ කාරණය ඉවහල් වුණා. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ ම ඇතිවුණු පරිවර්තනය මිනිසුන්ට ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කොට දුන්නේ සිළුමිණ පත්‍රය මඟින්.

1934 දී රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවට පැමිණි අවස්ථාවේ සිළුමිණ ක්‍රියා කළ ආකාරයත් මෙහිදී විශේෂයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලාංකේය සංගීතවේදීන් ශාන්ති නිකේතනය කරා යන්නත් පටන් ගත්තා.

ඔව්. පැහැදිලිව ම. 1934 දී තාගෝර් තුමා ලංකාවට පැමිණීම ගැන විශේෂයෙන් ම සිළුමිණ පත්‍රය සිය පාඨකයන් දැනුවත් කළා. ඔහුගේ කවි පරිවර්තනය කර පුවත්පතේ පළ කළා. ඔහුගේ චිත්‍ර පළ කළා. ඔහු පිළිබඳ විශිෂ්ට ලිපි පළ කළා. අපේ රටේ කලා ශිල්ප නඟා සිටුවන්න බොහොම ප්‍රබල හේතුවක් බවට සිළුමිණ පත්වෙන්නේ ඒ ආරම්භය හරහා. මේ ලිපි හා තාගෝර් තුමාගේ පැමිණීම සාමාන්‍ය ජනතාව අතරට පවා රැගෙන යන්න සිළුමිණ ක්‍රියා කළ ආකාරය විශිෂ්ටයි.

1939 ලෝක යුද සමයේදී සිළුමිණ පුවත්පත ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීමට ක්‍රියා කළ ආකාරයත් පුවත්පත් ඉතිහාසයේ පැහැදිලි ව සඳහන් වෙනවා.

1939 ලෝක යුද්ධය ඇතිවෙලා 1945 වෙනකම් කාලය ඇතුළත, ජනතාවට යුද්ධය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේ සිළුමිණ පුවත්පතයි. ඊට පෙර යුද්ධය පිළිබඳ අත්දැකීමක් අපේ මිනිසුන්ට තිබුණේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් ඊට කලිනුත් යුද්ධ තිබුණනේ කියලා. නමුත් ඒ අවස්ථාවේ සටනක් කියන්නේ කුමක් ද, යුද උපක්‍රම කියන්නේ මොනවද කියලා අවබෝධයක් ලබා දුන්නේ සිළුමිණ පුවත්පතයි.

සමහර දැන්වීම් මඟින්, මිනිසුන්ට කරන්න ඕන අනතුරු ඇඟවීම් වක්‍රාකාරයෙන් කළා. උදාහරණයක් විදියට මට මතකයි ‘ඕනෑවට වඩා කතා කිරීමෙන් සතුරාට යහපතක් සිදුවේ’ වගේ දේවල්. 1939 - 1945 දක්වා අනෙක් සියලු ම විද්‍යුත් මාධ්‍යයන් කරදරකාරී තත්ත්වයකට පත්වෙද්දි මුද්‍රිත මාධ්‍යයන් පැතිරුණේ නැති, සංසරණය නොවුණු වකවානුවක සිළුමිණට පුළුවන් වුණා, මහජනතාවට හැසිරෙන හැටි, ආහාර ගැන ආදි මේ සියල්ල පවත්වාගෙන යන ආකාරය ගැන දැනුම් දෙන්න. කලබල නොවි මහජනතාව රඳවා ගන්නා ක්‍රමය පිළිබඳ සිළුමිණ පුවත්පත් කර්තෘවරුන් පැහැදිලි ව ම දැනගෙන හිටියා.

1948 නිදහස ලැබීමත් සමඟ එහි යථා ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දුන් පුවත්පත් අතර ප්‍රමුඛ කාර්යභාරය ඉටු කළේ සිළුමිණ බවයි මට හැඟෙන්නේ.

1948 නිදහස ලැබීමෙන් පසු කාල වකවානුව තමයි වැදගත් ම වෙන්නේ. 1945 ඉන්දියාවයි පාකිස්ථානයයි නිදහස් රාජ්‍ය දෙකක් බවට පත්වෙද්දි අපේ අයට පොඩි ඇඟවීමක් එනවා. භාරතයට නිදහස ලැබෙන කොට ඔවුන් තමන්ගේ දේශීය කලා ශිල්ප වර්ධනය කරගන්තා. උදය ශංකර් වගේ කෙනෙක් අලුත් භාරතයට අවශ්‍ය කරන ආකාරයේ බැලේ නාට්‍යයක් නිර්මාණය කළා. නව නර්තනයක් ඔවුන් බිහිකර ගත්තා.

ශ්‍රී ලංකාවට එහෙම දෙයක් ආවේ නැහැ. අපට නිදහස ලැබෙන කොට අපි මොකද කරන්නේ කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. එතනදි ඩී. ආර්. විජේවර්ධන මහත්මයාගේ සම්බන්ධය සොල්බරි කොමිසමට තිබුණු නිසා බොහො ම පැහැදිලි ව පෙනෙනවා සිළුමිණ විවිධ ලිපි ලේඛන මඟින් ලංකාවට අවශ්‍ය කරන නිදහස කුමන ස්වරූපයක් ගත යුතු ද යන කරුණ ඉදිරිපත් කළ බව. මෙය නිකන් බහුබූත නිදහසක් නොවන බවත් වගකීම් සහගත නිදහසක් බවත් පෙන්වා දුන්නා. විවිධ ලිපි, සංවාද මඟින් එහි සාමාන්‍ය තත්ත්වය පැහැදිලි කර දුන්නා.

ලංකාවට සදාකාලික ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේ රට කෘෂිකාර්මික රටක් වුණාට පරගැති චින්තනයක් හැම විට ම තිබුණේ. ලංකාවේ පාලකයන් හැම වෙලාවෙ ම හිතුවේ ලංකාවේ සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණාට කමක් නැහැ, පිටරටින් සහල් ගෙනෙන එකයි ලාබ කියලා.

නමුත් සිළුමිණ පත්‍රය පැහැදිලි ව දේශීය කෘෂිකර්මාන්තයේ වැදගත්කම පිළිබඳ ව ජනතාව දැනුවත් කළා පමණක් නොවෙයි ඒ පිළිබඳ කතිකාවතක් සමාජයේ නිර්මාණ කිරීමටත් මැදිහත් වුණා.

ඔව්. ඒ කාලේ ආණ්ඩුවේ ප්‍රධාන කතාබහ වුණේ අපට හාල් ටොන් හැටදාහක් ඊජිප්තුවෙන් ලැබෙනවා, මියන්මාරයෙන් ලැබෙනවා වගේ දේවල්. අපට තිබුණේ ‘නැවෙන් කටට’ කියන ප්‍රතිපත්තිය. ආණ්ඩුව එහෙම කියද්දිත් සමහර අවස්ථාවන්හි සිළුමිණ ප්‍රධාන පුවත්පත් දේශීය වගාවන් වර්ධනය කර ගැනීමේත්, ගොවිතැන් සංවර්ධනය කර ගැනීමේත් වැදගත්කම ගැන ජනතාව දැනුවත් කළා.

1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමේ මූලික අඩිතාලම සැකැසෙන්නේ පුවත්පත් කලාවේදීන් අතින්. සංඝයා වහන්සේලා ඇතුළු ඒ ගෙන ගිය ව්‍යාපාරය එතැනින් ම අවසන් වීමට තිබුණා මෙය මහජනතාව අතරට නොගියානම්. 56 - 59 දක්වා ඇතිවුණු විවිධ දේශපාලනික විපර්යාස ගැන පත්තර බොහොම උනන්දුවෙන් සිදුවුණු තත්ත්වය ගැන මහජනයාව දැනුවත් කළා. නමුත් අවාසනාවකට වගේ මේ රටේ පුවත්පත්වල පළ වෙන දේවල් ගැන තීක්ෂණ ව හිතලා කතාබහ කරන පිරිසක් අතට නොවෙයි පුවත්පත් යන්නේ.

වරායේ කම්කරුවෝ හයිඩ් පාර්ක් රැස්වීම කඩාකප්පල් කරනවා කීවහම, ඇයි මෙහෙම කරන්නේ කියලා සංවාදයක් නැහැ. පුවත්පත් මඟින් කරන ලද සංවාද සමහර වෙලාවට හරියට සමාජගත වුණේ නැහැ. ග්‍රාහකයාට කරුණු දැක්වූවාට ඒවා හරියට ග්‍රහණය කරගත්තා ද කියන ගැටලුව අපිට තිබෙනවා. 59 සිට අසාර්ථක වුණු රාජ්‍ය කාලයන්හි හා දේශපාලන අර්බුද අවස්ථාවන්හි පුවත්පත හැම විටම කිසියම් ස්ථාවර රජයක් අවශ්‍ය යැයි මතවාදයක් ගෙන යනවා. 1960 සිට දේශපාලනයට වඩා ලංකාවේ නව සාහිත්‍ය ව්‍යාපාර ගැන සිළුමිණ පුවත්පත උනන්දුව දැක්වූවා.

‘ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය’ නමින් පළවුණු සාහිත්‍ය අතිරේකය මඟින්, විචාරශීලී සාහිත්‍ය කතිකාවතක් පුවත්පත් මඟින් ඇති කළ හැකියි යන මතය සමාජගත කළේත් සිළුමිණයි.

ඔව්. පැහැදිලි ව ම. භාෂා ශාස්ත්‍ර විශාරදයන්, ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් මෙන් ම විවිධ මාදිලියේ වියත් ලේඛකයන් ද සිළුමිණ පුවත්පතට ඉතා සාරගර්භ ලිපි සැපැයීම ඉතාමත් වැදගත්. පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර නාහිමි, එඩ්මන් පීරිස් රදගුරුතුමන්, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන්ගේ එදා සිළුමිණේ පළවූ ලිපි ලේඛන අද පවා අපි පරිහරණයට කරනවා. අදත් සිළුමිණ ඒ අනන්‍යතාවය රැකගෙන තිබෙනවා. සිළුමිණේ පළවෙන ‘පුන්කලස’ හා සම කළ හැකි ශාස්ත්‍රීය අතිරේකයක් හා ශාස්ත්‍රීය අතිරේකයට ඒ තරම් ඉඩක් වෙන් කළ පුවත්පතක් අදටත් නැහැ. එදා සම්ප්‍රදායික උගතුන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මතය ගැටෙද්දී සිළුමිණ මේ නව ශාස්ත්‍රීය සංවාදයට වේදිකාවක් නිර්මාණය කොට දුන්නා. එය සාහිත්‍ය ප්‍රගමනය සම්බන්ධයෙන් ගත් වැදගත් මැදිහත්වීමක්.

ශාස්ත්‍රීය මතවාද පිළිබඳ මැදහත් පිළිවෙතක් අනුගමනය කළ පුවත්පතක් වශයෙනුත් සිළුමිණ විශේෂ වෙනවා. මෙය පැහැදිලි ව පෙනෙන්නේ පේරාදෙණි මතවාදයට හා සම්ප්‍රදායික උගතුන්ගේ මතවාදයට සිළුමිණ සම වේදිකාවක් වීමෙන්.

ඒ කාලේ ‘බඹරපාද’ කියලා ලියපු ලේඛකයා (මීමන පේ‍්‍රමතිලක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගොඩනඟපු මතවාදය විවේචනය කරමින් ලිපි පෙළක් ලිව්වා. ඒ විතරක් නොවෙයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ සිදුවුණු රැස්වීමක වාර්තාවක් සිළුමිණේ පළ වුණා. ඒකෙ සත්‍ය තත්ත්වය ඊට හාත්පසින් ම විරුද්ධ නිසා 1961 දී මම ලිපියක් ලිව්වා ශිෂ්‍යයෙක් විදියට, සිළුමිණ කර්තෘට. ඒක මැද පිටුවේ පළ වුණා. මොකද්ද ඒකෙන් පේන්නේ. මම කවුද කියලවත් නොදන්න කාලයක පවා මගේ මතවාදයටත් සිළුමිණේ ඉඩ ලැබුණා. එහෙම වුණේ පත්තරේ තිබුණු මධ්‍යස්ථ භාවය නිසයි. සිළුමිණ පත්තරේ පළවූ මගේ පළමු ලිපියත් එයයි. මාධ්‍ය සම්ප්‍රදායේ තිබිය යුතු අපක්ෂපාතී බව මේ අනුව සිළුමිණ ක්‍රියාත්මක කළ බව පේනවා.

ඉංගී‍්‍රසි භාෂාවෙන් පළ වූ සාරගර්භ ලිපි හා පොත් ඉංගී‍්‍රසි නොදත් සාමාන්‍ය පාඨකයා වෙනුවෙන් පරිවර්තනය කොට පළ කිරීමත් ‘සිළුමිණ’ මුල සිට ම කළ කාර්යයක්. එයත් සාහිත්‍ය ප්‍රගමනය සම්බන්ධයෙන් පත්‍රය කළ සුවිසල් මෙහෙයක් නොවේ ද?

ඔව්. එය ඉතා ම අගය කළ යුතු කාර්යයක්. මුල් කාලේ අයි. ඇම්. ආර්. ඊරියගොල්ල මහතා ‘නොක්ස් ගේ ලංකා ඉතිහාසය’ ලිපි පෙළ පරිවර්තනයක් ලෙසින් සිළුමිණට ඉදිරිපත් කොට තිබුණා. පසුව එය තමයි පොතක් හැටියට ප්‍රසිද්ධ වුණේ. ඒ ලිපි පෙළ ඉතා ජනපි‍්‍රය වුණා. මේ කාලේ වගේ නොවෙයි, එදා තොරතුරු ලබාගැනීමට සිංහලෙන් පළ වූ පොත්පත් ඉතා හිඟයි. ඒ නිසා එංගලන්තයේ විකාශනය වූ ඉංගි‍්‍රසි ගුවන්විදුලි වැඩසටහන් හා එංගලන්තයේ පළ වූ පොත්පත් විවිධ විද්වතුන් විසින් පරිවර්තනය කරන ලදුව සිළුමිණේ පළ වුණා. ශාස්ත්‍රීය පිපාසයෙන් සිටි පිරිසට මෙය පැන් දෝතක් වුණා. සිළුමිණ ඉටුකළ ශාස්ත්‍රීය මෙහෙය අද්විතීය වන්නේ ඒ නිසයි.

නවකතාව සම්බන්ධයෙන් සභ්‍ය අසභ්‍යවාදය පිළිබඳ කතිකාවතේදීත් සිළුමිණේ මේ සුවිසෙස් ගුණය කැපී පෙනුණා.

පැහැදිලි ව ම. ඒ විතරක් නොවෙයි. කොළඹ කවිය, නිසඳැස් කවිය පිළිබඳ ඇතිවුණු හැම සංවාදයකදී ම සිළුමිණ මේ සියලු මතවාදයන්ට ඉඩකඩ ලබා දුන්නා.

සිළුමිණ කර්තෘවරුන් බොහොමයක් නිර්මාණ සාහිත්‍යකරුවන් වීම මෙයට හේතු වන්නට ඇතැයි මට හිතෙනවා.

ඔබ මතු කළ කාරණය තමයි, සිළුමිණ සම්බන්ධයෙන් තියෙන වැදගත් ම කාරණය. පියසේන නිශ්ශංකයන්ගෙන් පටන් ගත්තහම මාර්ටින් වික්‍රමසිංහ, මීමන පේ‍්‍රමතිලක, ඩී. එෆ්. කාරියකරවන, කවුඩානේ පියදාස පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුජීව දිසානයක ආදි වශයෙන් කලින්කල පත්වූ බොහෝ කර්තෘවරුන් අපේ නිර්මාණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සැපැයූ අය. වර්තමාන කර්තෘවරයා වන කරුණාදාස සූරියආරච්චිත් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවෙක්. මෙය ලෝක මට්ටමින් ගත්තත් විශේෂ ප්‍රවණතාවයක්. අපි අතර විශ්වාසයක් තියෙනවානේ පුවත්පත් කලාවයි, නිර්මාණ කලාවයි අතර පරස්පරයක් තිබෙනවා කියලා. ඒක නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් ‘සිළුමිණ’ ඉතිහාසය අරගත්තහම.

‘සම්මත සිංහලය’ පිළිබඳ විවාදය සිළුමිණ ඉතිහාසයේ තවත් වැදගත් කඩඉමක් ලෙස සැලැකිය හැකි නොවේ ද?

ඒ ගැන සඳහන් කළ යුතු ම වෙනවා. 65 දී මේ ‘සම්මත සිංහලය’ පිළිබඳ විවාදය ආව ම විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපිටත් ඒ ගැන ලියන්න හැකියාව ලැබුණා. අපේ මත ගැන විවාද පළ වුණා. එය ඉතාමත් වැදගත් මෙහෙවරක්. ඒ විතරක් නොවෙයි නාට්‍ය හා රංග කලාව ගැන සැලැකුවොත් සමහර නාට්‍ය තහනම් කිරීම පිළිබඳ, සමහර වේදිකා නිර්මාණයන්ට ඉඩ නොදීම ගැන දීර්ඝ සංවාද සිළුමිණ අරගෙන ගියා. එවකට පැවැති රජය මඟින් කලාව කප්පාදු කළ යුගයක සිළුමිණ කලා උන්නතිය වෙනුවෙන් පෙනී සිටියා. සිළුමිණේ පළවූ සමහර ශාස්ත්‍රීය ලිපි ඔබ්සර්වර් වැනි පුවත්පත් පරිවර්තනය කර පළ කළා.

1966 ‘ආඩි ටිකයි අම්බලමයි’ නාට්‍ය මේ ගැන හොඳ උදාහරණයක්. ඒකෙ පෙන්නුවේ ‘එක්සත් ජාතින්ගේ කෙණෙහිලි ප්‍රතිපත්තිය ගැන. අදත් අපට තියෙන ප්‍රශ්නෙ ඒක නොවෙයි ද? එවකට පැවැති රජය මේ නාට්‍ය තහනම් කළා. ඊළඟට හෙන්රි ජයසේනගේ ‘අපට පුතේ මඟක් නැතේ’ නාට්‍යයත් එහෙමයි. මේ සියලු අවස්ථාවල සිළුමිණ කර්තෘවරු හිටියේ ශාස්ත්‍ර හිතකාමී පිරිසගේ පැත්තේ. ඔබ සඳහන් කළ ‘සම්මත සිංහලය’ ගැන ගැටලුවේදීත් එහෙමයි. සිළුමිණේ වටින්නේ දේශපාලනය නොවෙයි, අපේ හදවත වගේ තියෙන ශාස්ත්‍රීය ප්‍රබෝධය ඇති කිරීමට උපස්ථම්භක වීමයි.