යුගයේ අවශ්‍යතාව එදත් අදත් හඳුනාගත් සිළුමිණ
 

යුගයේ අවශ්‍යතාව එදත් අදත් හඳුනාගත් සිළුමිණ

 

ආචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස

ලුත් පුවත්පතක් බිහිවීම යනු මිනිසා අලුතින් හිතන්නට පටන් ගැනීමයි. 16 වන සියවසේ සිට ම පෘතුගීසි, ලන්දේසි, ඉංගි‍්‍රසි ආදීන්ට යටත්වීම නිසාම සියවස් හතරක කාලයක් පුරා ශ්‍රී ලාංකික අනන්‍යතාවත් ස්වයංපෝෂිත ආර්ථිකයේත් රුව, ගුණ, තේජස මුළුමනින් ම වියැකී ගියේ ය.

මේ අතීතය මතින් ලාංකික අනන්‍යතාව සොයායාමේ උත්සාහයන් දැකගත හැකි වන්නේ 19 වන සියවස අග භාගයේදීයි. මේ සඳහා උන්නතිකාමි පුද්ගලයින් කීපදෙනෙක් සහ ආගමික නායකයන් මෙන්ම විදෙස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන නව ප්‍රභූ පැලැන්තිය මූලික වනු දැකිය හැකියි.

1832 දී කලම්බු ජර්නල් පළමු ඉංගි‍්‍රසි පුවත්පත බිහිවුවත්, කෝල්බෲක් කොමිසමේ නිර්දේශ අනුව පාලකයින් හා පාලිතයින් අතර සබඳතා දියුණු කිරීමට පුවත්පත් පළකළත් ඒ මඟින් පැන නඟිමින් තිබූ පොදු සමාජ අවශ්‍යතාව සැපිරුණේ නැත. මිෂනාරි ප්‍රචාරණයටත් අධිරාජ්‍යවාදී පාලනයටත් එරෙහි ව බෞද්ධ මුද්‍රණාල ඇරඹෙන්නේ මේ හේතුවෙනි.

ඒ අනුව ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත ලංකාලෝකය බිහි වීම මෙන්ම, බටුවන්තුඩාවේ පඬිතුමාගේ ප්‍රධානත්වයෙන් සරසවි සඳරැස ඇරඹිණි. අනගාරික ධර්මපාලතුමා විසින් පුවත්පත පොදු ජනතාව වෙත බෙදා හරිමින් ඇරඹූ ජාතික ව්‍යාපාරයේ එක් සන්ධිස්ථානයක් ලෙසයි 1914 දී එච්.එස්. පෙරේරා විසින් දිනමිණ පුවත්පත ආරම්භ කරන්නේ.

බටහිර අධ්‍යාපනයේ පෝෂණය වූ ඩී.ආර්. විජයවර්ධන ලංකාවට පැමිණ නිදහස් සටන් නියමුවෙක් වන්නේ ඒ සඳහා ජනමත නිෂ්පාදනය කළ හැකි ව්‍යාපාරික පුවත්පත් ජාලයන් ඇරඹීමේ මූලික සැලසුම් ඇති ව ය. ඒ අනුවයි ඔහු එච්.එස්. පෙරේරා වෙතින් දිනමිණ මිලදී ගන්නේ. බුද්ධිමත් දූරදර්ශී පාලකයකු වන ඩී.ආර්. විජයවර්ධන ඒ අනුව ය ලේක්හවුස් නිවසින් සති අන්ත පුවත්පතක් ලෙස සිළුමිණ පුවත්පත ආරම්භ කරන්නේ. සූරියමල් ව්‍යාපාරය, ලංකා ජාතික සංගමය, කම්කරු ව්‍යාපාරය ආදිය විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ජාතික නිදහස වෙනුවෙන් පෙළගැසෙන මේ කාල වකවානුව සතිඅන්ත ජාතික පුවත්පතකට හොඳ අවකාශයක් ඇති කාලයක් විය. සැබවින් ම සිළුමිණ එහි වගකීම නොපිරිහෙලා ඉටු කරන්නක් බවට නිරායාසයෙන් ම පත්විය.

ආරම්භ කර ටික දිනකින් ම ශත දහයේ විශ්වවිද්‍යාලය යනුවෙන් බුහුමනට ලක්වීමට සිළුමිණට හැකිවූයේ එය පාඨකයන් අතරට වේගයෙන් ව්‍යාප්තවීම වගේම සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවලට පිවිසීම නිසයි. සිළුමිණ නිරතුරුව ගමේ පාසලේ වෙද මහතාගේ නිවසේත් පාසල් ගුරුවරුන්ගේ ඇසුරටත් පත්වන පුවත්පත් බවට පත්වූයේ ආරම්භයේ සිට ම ජාතික පුවත්පතක වගකීම දරමින් කටයුතු කිරීම නිසායි.

මුල් යුගයේ සිට ම සිළුමිණට නායකත්වය දුන් කතුවරුන්ගේ හැකියාව මෙන්ම අනන්‍යතාව නිරතුරුවම පුවත්පතේ යහපතට බලපෑම් කළේ ය. මුල් ම කර්තෘ වූ පියසේන නිශ්ශංක මහතා කවියෙක්. ශාස්ත්‍රීය අතිරේකය මුල් පුවත්පත් සිට ම සිළුමිණට ආලෝකයක් ගෙන ආවා. මේ නිසා ම නව කවීන්ට සමාජයට පිවිසීමේ මංපෙත් විවර වුණා. කොළඹ යුගයේ කවීන් බොහොමයක ම මංපෙත් විවර කිරීමට සිළුමිණට හැකිවුණා.

මොනිකා රාජපතිරණ, මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න, මානවසිංහ, මහගමසේකර වැනි කවීන් මුලින්ම හමුවූයේ සිළුමිණේ. ඒ වගේම සිළුමිණ පෝෂණය කළ වියත් ලේඛක මඩුල්ලක් සිටියා. බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමි, හික්කඩුවේ සුමංගල හිමි, සිරිසීවලී හිමි, පලන්නරාවේ ධම්මාරාම හිමි, ජී.බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, ආනන්ද කුමාරස්වාමි, සෙනරත් පරණවිතාන වැනි වියතුන් තම ක්‍ෂේත්‍රයන්ගේ අත්දැකීම් මෙන්ම නිර්මාණ වලින් සිළුමිණ පෝෂණය කළා.

මාර්ටින් වික්‍රමසිංහ පසුව සිළුමිණ කතුබවට පත්වූ පසු කවියට මෙන්ම කෙටිකතාවටත් සිළුමිණේ විශේෂ ඉඩක් වෙන් කළා.

එකල සිළුමිණ ශාස්ත්‍රිය අතිරේකය ශාස්ත්‍රීය වාද විවාදවලට තෝතැන්නක් වුණා. නණ, ළල වාද, ව්‍යාකරණ වාද මෙන්ම කලාව හා සාහිත්‍ය පිළිබඳ බටහිර හා සමාජවාදී මතවාදය පිළිබඳ වාද, විද්‍යාව හා අවිද්‍යාව පිළිබඳ වාද මේවා අතර වඩාත් ජනපි‍්‍රය වුණා. ඒ වාද විවාද නිසාම ඇතැම් ලේඛකයන් වඩාත් ජනපි‍්‍රය වුණා.

සිළුමිණට ලියූ ලේඛකයන් අතර බෙනඩික්ට් දොඩම්පේගම, ඩී.ඩබ්ලිව් වික්‍රම ආරච්චි, චන්ද්‍රරත්න මානවසිංහ ආදින් ද අමතක කළ නොහැකියි. පුරෝගාමි පුවත්පතක් වශයෙන් කලාව සාහිත්‍ය පිළිබඳ මතවාද මෙන්ම පුරාවිද්‍යාත්මක ගවේෂණ ආදියටත් හොඳ ඉඩක් සිළුමිණෙන් ලැබුණා.

පාරිසරික ස්වභාවික සෞන්දර්යය පුවත්පතක් මඟින් පාඨකයන්ට රසවිඳීම සුරැකීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේත් සිළුමිණයි. ලංකාව පුරා ඇති දියඇලි සොඳුරු වෙරළ තීරයන්, වනාන්තර වනසතුන් කඳු ආදිය පිළිබඳ ව ගවේෂණාත්මක ලිපි රැසක් සිළුමිණෙහි පළ වුණා.

මුල් පුවත්පතේ සිට ම ළමා පිටුවක් සුවිශේෂ අංගයක් ලෙස පුවත්පතට එකතු වී තිබුණා. මේ අනුව පුවත්පත ඉතා වේගයෙන් පාඨකයා අතර ජනපි‍්‍රය පුවත්පත වගේම ආදරය දිනාගත් පුවත්පත බවට පත්වුණා. එකල ඇතැම් නිවෙස්වල ශාස්ත්‍රීය අතිරේක එක්රැස්කර පොත් වශයෙන් සකසා සුරැකීමේ පිළිවෙතක් පවා තිබුණා. මෙසේ ගොඩනඟාගත් ශක්තිමත් පාඨක පදනම නිසාම සිළුමිණට අපහසුවකින් තොරව ශක්තිමත් වෙළඳ දැන්වීම් පදනමක් සකසා ගැනීමට හැකිවුණා. අනෙකුත් සතිඅන්ත පුවත්පත් අතර තරඟකාරී ලුහුඬු දැන්වීම් අතිරේකයන් පළ කිරීමේ ශක්තිමත් පදනමක් ඇති වූයේ මුල්කාලීන ව සිළුමිණ ගොඩනඟාගත් ශක්තිමත් පදනම නිසයි.

පුවත්පතක් ලෙස අංග සම්පූර්ණ වීමේදී ලෝක පුවත්පත්වල වැදගත් තොරතුරු පාඨකයන්ට සමීප කිරීමත් සිළුමිණ සාර්ථකව ඉටු කළා. දෙවන ලෝක යුද සමයේදී ලෝක තොරතුරු පිළිබඳ දේශීය පාඨකයා අවධානයෙන් පසු වුණා. නාසිවාදය හා ඊට එරෙහි ව එංගලන්තයේ ප්‍රතිචාර, සමාජවාදී කඳවුරේ හැසිරීම් පිළිබඳ ව දේශීය පාඨකයා දැනුවත් කිරීමට සිළුමිණ සමත්වී තිබුණා. එය තම කාලීන වගකීම මැනවින් වටහාගෙන දුෂ්කර හා බාධක මැඩගෙන කටයුතු කළ අවස්ථාවන් නිසාම පාඨක විශ්වාසය වැඩි දියුණු කර ගැනීමට සිළුමිණ සමත් වුණා.

1950 සම්බුද්ධ ජයන්තිය, මහරැජිනගේ් ලංකා ගමන, 70 දශකයේ සඳ මත පා තැබීම ආදිය වාර්තා කිරීමේදී සිළුමිණ මුල්තැනක් ගත්තා.

සිළුමිණ ගමන් මඟේ සුවිශේෂි සන්ධිස්ථානයන් පසුකරන්නේ් 1970 දශකයේදීයි. පුවත්පත් හිමිකාරිත්වය පෞද්ගලික අංශයෙන් රජයට මාරු වෙනවා. මේ අවස්ථාවේ කතුවරයා ලෙස කටයුතු කරන්නේ පෙරමුණේ් තිලකයි. පුවත්පතේ සාරගර්භ බව ඒ අයුරින් ම රැක ගැනීමට ඔහු සමත් වූ බව පෙනෙනවා.

පුවත්පතට ලිපි ලියූ ලේඛකයන් සහ කර්තෘවරු අතර ගුණපාල මලලසේකර, ඩී.බී. ජයතිලක, ධර්මපාල වෙත්තසිංහ, ඩී.එෆ්. කාරියකරවන, බන්දුල ශි‍්‍ර සරත්චන්ද්‍ර, එඩ්මන්ඩ් රණසිංහ, පර්සි ජයමාන්න, එඩ්වින් ආරියදාස, අනුල ද සිල්වා, සුමනා සපරමාදු ආදීන්ගේ දායකත්වය වඩාත් වැදගත් වූ බව පෙනී යනවා.

වර්තමානය වන විට සතිඅන්ත පුවත්පත් වැඩිවෙලා රූපවාහිනිය මෙන්ම විද්‍යුත් ගුවන්විදුලි නාලිකා විශාල සංඛ්‍යාවක් තරඟකාරී ව ඉදිරියට ඇවිත් මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතාව මෙන්ම පාඨකත්වයන් වෙනස් වෙලා බොහෝ දෙනෙක් වෙබ් අඩවි සන්නිවේදනයට හුරුවෙලා. මේ තරගකාරි වාතාවරණය තුළ සිළුමිණ එයට ඇති අවකාශය මෙන්ම ඉඩ හඳුනාගෙන ඊට ගැළපෙන ලෙස කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්වෙලා. පුරෝගාමි පුවත්පතක් ලෙස තවත් බොහෝ කලක් සිළුමිණ පවතින්නට නම් පවතින තරඟකාරි වාතාවරණයට ගැළපෙන අන්දමින් සිය ගමන් මඟ සකස්කර ගැනීම වඩාත් වැදගත්.