සිළුමිණ අපේ පවුලේ සාමාජිකයෙක් වගේ
 

සිළුමිණ අපේ පවුලේ සාමාජිකයෙක් වගේ

 

අපේ සීයට වයස අවුරුදු අසූවයි. සිළුමිණ පත්තරේටත් අවුරුදු අසූවයි. සීයා තාම සිළුමිණ කියවනවා. ඒ දවස්වල සීයා මාව ලඟ තියාගෙන මටත් ඇහෙන්න සිළුමිණ කියෙව්වා. එදා අහපු සිළුමිණ මම අද කියවනවා. හෙට දවසේ අපේ දරුවනුත් සිළුමිණ කියවාවි. අපේ තාත්තට අම්මා මුණ ගැහුණෙත් සිළුමිණ මංගල යෝජනා තීරය හරහායි. මෙහෙම බලනකොට සිළුමිණ අපේ ම පවුලේ කෙනෙක් වගේ.

ගෙදරට ගෙනාපු සිළුමිණ පත්තරේ සිත්මල් යාය, සම්පත, පුන්කලස, රසඳුන, මංගල යෝජනා හා ලුහුඬු දැනවීම් අතිරේක තිබුණා. මේ අතිරේක ගෙදර හැමෝ ම අතරේ හුවමාරු වුණා. පත්තරේ පිටු පෙරළන කොට නැවුම් සුවඳක් පිටු අතරින් අපට හැමදා ම දැනුණා.

ඒ අපට දැනුණ නැවුම් සුවඳ පුරා වසර අසූවක අඛණ්ඩ දිගු ගමනක සාර්ථකත්වයේ සුවඳයි. ඒ ජාතියේ නිදහස වෙනුවෙන් හඬ නැඟූත්, සිංහල සංස්කෘතියේ පුනර්ගමනයට මං පෑදූ ජාතික පුවත්පතකින් හමන ජයග්‍රහණයේ සුවඳ කියලා අපි දන්නවා. පියසේන නිශ්ශංක මුල් ම කතුවරයාගේ ඉඳන් කරුණාදාස සූරියආරච්චි වර්තමාන කතුවරයා දක්වා ම සිළුමිණ පුවත්පත ජාතික සංස්කෘතික විඥානය නිර්මාණය කිරීමෙහිලා සුවිශේෂ වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතිහාසය පුරාවට ම ලක් වැසි සැවො ම සිළුමිණ පුවත්පතෙන් විනීත විනෝදාස්වාදයක් ලැබුවා.

සෑම දිනක ම හිරු පායන්නාක් මෙන් සිළුමිණ තව බොහෝ කලක් ලක් වැසි අපට ආලෝකයක් ම වේවා!

දිනේෂ් අල්විස්

තෙලිකඩ
 


නවකයන් රැසකට පත්‍ර කලාවේ දොරටු විවර කර දුන්

එස්. සුබසිංහ

පත්තර කලාවේ නිහඬ ව විසු දැවන්තයකු ලෙස එස්. සුබසිංහ මහතා හඳුන්වා දිය හැකි ය. කිසි දිනෙක අන්තවාදී නොවී ය. බොහෝවිට ක්‍රියා කළේ සාධාරණ ව ය.

1932 මාර්තු 5 වනදා වේවැල්දෙණියේ උපත ලැබු සිරිවර්ධන සුබසිංහ මහතා මූලික අධ්‍යාපනය හැදරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. ආනන්ද විද්‍යාලයෙන් ඔහු ආවේ ලේක්හවුස් ආයතනයට ය. ඒ 1963 දී අලුතින් ඇරඹි ‘ජනතා’ පත්‍රයට එක්වී පත්‍ර කලාවේදියකු ලෙස වැඩ කරන්නට ය. සෝමපාල රණතුංග, සරත් රන්දෙණිය, ජැක්සන් සේනාරත්න යන සමකාලීනයන් සමඟ එක් ව ජනතා පත්‍රය හැඩගැන්වීමට දායක වූ සුබසිංහ මහතා ඉතා කෙටි කලකින් ම පුවත්පත් කලාවේ සියලු අංශයන්හි ප්‍රවීණත්වයක් ලබා ගැනීමට සමත් විය. එකල ඔහු ඔහුගේ සමකාලීනයන්ට ‘සුබේ’ විය.

ජනතා පත්තරයෙන් සුබසිංහ මහතා සිළුමිණ පත්තරයට පිවිසියේ ය. ඒ කාලයේ සිළුමිණ ප්‍රධාන කතුවරයා වූයේ කොළඹ යුගයේ ප්‍රකට කවියකු ව වැජඹුණ මීමන පේ‍්‍රමතිලක මහතා ය. මීමන යුගය සිළුමිණ අලුත් ස්වරූප ගත් යුගයකි. මීමන පේ‍්‍රමතිලක මහතාගෙන් ඔහුට හොඳ මඟපෙන්වීම් ලැබුණේ ය. 1964 දී කොමන්වෙල්ත් පේ‍්‍රස් යුනියන් (CPU) ආයතනයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නැගී එන පුවත්පත් කලාවේදීන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට සමත් ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීන් කිහිපදෙනා අතරට එක්වූ සුබසිංහ මහතා එංගලන්තයේ මුල් පෙළේ ජාතික පුවත්පත් හා ප්‍රාදේශීය පුවත්පත්වල කර්තෘ මණ්ඩලවලට අනුයුක්ත ව පුවත්පත් කලාව පිළිබඳ නිපුණත්වයක් ලබාගත්තේ ය.

මීමනගෙන් පසු ව සිළුමිණ ප්‍රධාන කර්තෘ තනතුරට ලේක්හවුස් අධිකාරීන් විසින් තෝරාගන්නා ලද්දේ තරුණ සුබසිංහ ය. ඒ 1965 දීය. වාර්තාකරණයේදීත් විශේෂාංග ඉදිරිපත් කිරීමේදීත් ඔහු සිළුමිණ නව මගකට යොමු කළේ ය. ගවේෂණාත්මක සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ බෙනඩික්ට් දොඩම්පෙගමගේ කුසලතාවලින් නිසි ඵල නෙළා ගත්තේ ඔහුගේ කාලයේදී ය. සිළුමිණ එතෙක් නොගිය ඉසවු කරා පාඨකයා රැගෙන ගියේ ය. ඒ නිසාම සතිඅන්ත පුවත්පත ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. විශ්ව දැනුමට හා සෞඛ්‍ය සන්නිවේදනයට පුවත් කලාවේ කැපී පෙනෙන තැනක් හිමි වූයේ ද මේ යුගයේ ය. එවකට පිටපත් 1,80,000 කට සීමා වී තිබු සිළුමිණ පත්‍රය පිටපත් ලක්ෂ 3 ඉක්මවමින් අග්නිදිග ආසියාවේ වැඩි ම අලෙවියෙන් යුතු පුවත්පත බවට පත්විය.

මිනිසා ප්‍රථමයෙන් ම හඳට පා තැබු කාලයේ සිළුමිණ කතුවරයා වූයේ සුබසිංහ මහතා ය. ඒ ඓතිහාසික සිද්ධිය සටහන් කරමින් පළ කෙරුණු විශේෂ සිළුමිණ පත්තරය පිටපත් හාරලක්ෂ තිස්දහසක් පමණ මුද්‍රණය කෙරුණේ ය. ඒ පත්තර සියල්ල උණු කැවුම් මෙන් විකිණි ගියේ ය.

සුබසිංහ මහතා 1970 දී සිළුමිණෙන් දිනමිණට පැමිණියේ ය. 1973 දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ හෙතෙම ‘නවයුගය’, ‘සතුට’ හා ‘මිහිර’ යන කුඩා පත්තර බාර ව කටයුතු කිරීමට සිදුවිය. 1977 දී යළිත් සිළුමිණ ප්‍රධාන කර්තෘ පදවියට පත්වූ සුබසිංහ මහතා 1978 දී දිනමිණ ප්‍රධාන කර්තෘ පදවිය බාරගෙන 1979 දෙසැම්බර් 31 වැනිදා ලේක්හවුස් ආයතනයෙන් සමුගන්නා තුරුම එම පදවිය හෙබවීය. 1980 දී විජය පුවත්පත් ආයතනය හා එක් ව සිරිකත, තරුණයා, සහ විජය, ඉරිදා ලංකාදීප පත්‍රවල ආරම්භක කතුවරයා බවට පත්විය.

ජනාධිපතිවරුන්, අගමැතිවරුන් දුන් සම්මාන හා තිළිණ නිහතමානී ව ප්‍රතික්ෂේප කළ ඔහු පුවත්පත් කලාව හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයා 2000 දී ශ්‍රී ලංකා කර්තෘ සංසදය දුන් විශිෂ්ටයන් සඳහා වූ උපහාර සම්මානය පිළිගත්තේ ය.

සුබසිංහ මහතා කර්තෘ පදවිය දරද්දී ප්‍රධාන කර්තෘට වෙන් කළ කාමරයට වී සිටියේ නැත. ඔහු නිතර ම වාඩිවී සිටියේ කර්තෘ මාණ්ඩලිකයකුගේ මේසය ඉදිරිපිටදී ය. නවකයන් රැසකට පත්තර කලාවේ දොරටු විවෘත කරදීමට ඔහු පුරෝගාමි විය. හෙතෙම වේලාව අවේලාව නොබලා නවකයන්ට ගුරුහරුකම් ලබා දුන්නේ ය. සුබසිංහ මහතා ප්‍රසිද්ධිය සඳහා ලීවේ නැත. ඒ නිසා ලියන බොහෝ දෑ ලීවේ නිර්නාමික ව ය. නමක් අවශ්‍ය වූ විට අන්වර්ථ නාමයක් යොදා ගත්තේ ය. ඔහු සැමවිටම තැන දුන්නේ ලියන අදහසට ය.

පුවත්පත් කලාවට අතිමහත් සේවයක් කළ සිරිවර්ධන සුබසිංහ මහතා 2005 පෙබරවාරි 3 වැනිදා වේවැල්දෙණියේදීම ජීවිතයෙන් සමුගත්තේ ය.

ප්‍රවෘත්ති ගැන ඔහු දැරුවේ අපූරු මතයකි.

“නිවුස් නම් අපි ඒවා හොයාගෙන යන්න ඕනෑ. අපි ව හොයාගෙන එන ඒවා නිවුස් නෙමේ. ඒවා නොමිලේ පළ කරන්න එවන ප්‍රචාරක දැන්වීම්. හැබැයි ඕනෑනම් ඒවා ඔස්සේ නිවුස් හොයා යන්නත් පුළුවන්.” ඔහු වරක් ප්‍රවෘත්ති නිවේදන ගැන අදහස් දක්වමින් කීවේ ය.

පසන් ගමගේ
 


නිර්මාණශීලි නව පරපුරක් බිහිකළ

මීමන පේ‍්‍රමතිලක

(1961 - 65)

ලාංකේය සාහිත්‍ය කලාවේ අමරණීය සටහන් තැබූ, මීමන පේ‍්‍රමතිලක මහතා 1918 සැප්තැම්බර් මස 20 වැනිදා හොරණ කැබැල්ලාගොඩ ග්‍රාමයේදී ජන්ම ඟයාදය ලැබීය. හොරණ තක්ෂිලා විදුහලින් හා විද්‍යාරත්න පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් ව උසස් අධ්‍යාපනය ලැබු ඔහු පාසල් අවධියේ පටන් ම කවි ලිවීමට දස්කම් දැක්වී ය.

සොබා දහමින් කවි කලාව ඉගෙන දහස් ගණනින් පුවත්පත් වලට කවි ලියූ ඔහුට 1936 ජුනි 16 දා භාෂා පරිවර්තකයකු ලෙස පත්තර කලාවේ මහගෙදර හෙවත් ලේක්හවුස් ආයතනයට එක් වීමට වරම් ලැබිණි. කවිය තම ජීවිතය කර ගත් මීමන පේ‍්‍රමතිලක ස්වහෝත්සාහයෙන් ලාංකික පත්‍ර කලාව තුළ ද දස්කම් දැක්වීමට වැඩි කලක් ගත නොවී ය. උප කතුවරයකු විශේෂාංග කතුවරයකු ලෙස විසිහත් වසරක් පුරා ලද පන්නරය තුළින් 1963 දී මීමන පේ‍්‍රමතිලකයන් සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරයට පත්විය.

පෞද්ගලික ජීවිතයට වඩා ඔහු නිතරම අවධානය යොමු කළේ තමා සේවය කළ පුවත්පතේ අභිවෘද්ධිය ගැන ය. සිළුමිණ කතුවරයා ලෙස සේවය කරන අවධියේදී අගනුවර සිට සැතපුම් දහස් ගණනක් ඈත වන මැද පිහිටි මිනිස් ඇස නොගැටුණ පැරණි පුද බිමක් නැතිනම් රාජ සමයේ ඉදිකළ මහ වැවක් අසල වූ පිටිසර ගම්මානයක් සොයා යන්නා වූ ඔහු දින කිහිපයක් ඇවෑමෙන් නැවත කාර්යාලයට පැමිණියේ දහස් සංඛ්‍යාත පාඨක පිරිසක් අමන්දානන්දයට පත් කළ විශේෂාංග ලිපියක් ද අතැති ව ය.

පටු ලාභ ප්‍රයෝජන ඉසුරු සම්පත් ලබා ගැනීමේ අරමුණු පසෙකලා උපතින් උරුම වූ ගැමිකම පෙරටු කොට ගත් මීමන පේ‍්‍රමතිලකයන් දක්ෂ අවංක මිනිසුන්ට අතහිත දීම තම ජීවිතයේ පරමාදර්ශය ලෙස සැලකී ය. ඒ අනුව එවකට නැගී ආ කවි කිවිඳියන්ට ද ලේඛකයන්ට ද නිවැරැදි මාර්ගෝපදේශකත්වය සැපයීම තුළින් නව කවි පරපුරක් හා ලේඛන පරපුරක් බිහි කිරීමට ඔහු සමත් විය. තම ධුර කාලය තුළදී සිළුමිණ දිවයිනේ සතිපතා පළ වූ පුවත්පත් අතරින් වැඩි ම අලෙවියක් ඇති පුවත්පත බවට පත් කිරීමට ද ඔහු පෙරමුණ ගත්තේ ය.

‘නිල්දියේ නළඟන’, ‘අඹමල්’, ‘යමුනා’, ‘අශෝකමාලා’, ‘අන්ධ ළමයා’, ‘සුරපුර’, ‘පාළුගම’, ‘සොහොන්බිම’, ආදි කවි පොත් ඔහුගේ නිර්මාණ ජීවිතය හැඩ කළ අතර ‘රංජනී’, ‘පෙම්වතිය’, ‘අමුත්තා’, ‘අභිරහස් මරණය’, ‘ගමේ ජීවිතය’ ආදි නවකතා ඔහුගේ උසස් ලේඛන හැකියාව ලොවට විදහා පෑමට දායක විය. ඉංගී‍්‍රසි භාෂාව මැනවින් හදාරා බටහිර සාහිත්‍ය සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් ලබා සිටි මීමන පේ‍්‍රමතිලකයන් ප්‍රකට ඉංගී‍්‍රසි කෘතීන් රැසක් සිංහල භාෂාවට පරිවර්තනය කළේ ය. ශූර ලේඛකයකු සම්භාව්‍ය පත්‍රකලාවේදියකු ව්‍යක්ත ගත්කතුවරයකු ප්‍රවීණ භාෂා පරිවර්තකයකු මෙන් ම මානව දයාවෙන් පිරිපුන් උත්තම ගණයේ සැබෑ මිනිසකු වූ මීමන පේ‍්‍රමතිලක මහතා 1965 ජුලි 12 වැනිදා සිළුමිණ කතුවරයා ලෙස සේවය කරමින් සිටියදී ම දැයෙන් සමුගත්තේ ය.

සුලෝචනී විජේසිංහ
 


මම සත දහයේ සරසවියෙන් උගත් ශිෂ්‍යයෙක්

මීට අඩසිය වසරකට පෙර, මගේ ශිෂ්‍ය අවධියේත් එතැන් සිට මේ දක්වාත් නැණස පාදා ගැනීම සඳහා මට පිටිවහලක් වූ “සිළුමිණ”ට 80 වසරක් පිරීම නිමිත්තෙන් මගේ ගෞරවනීය ප්‍රණාමය මෙසේ පුද කරමි.

1950 දශකයේදී ප්‍රධාන නගරවලින් බැහැර වූ දුප්පත් පාසල් සිසුන්ට බාහිර දැනීම ලබාගැනීම සඳහා වූ මං පෙත් ඉතා ම දුලබ විය. එකල අධ්‍යාපනයේ විෂමතාවය මනාව වටහාගෙන සිටි අපේ ගුරු පියවරුන් “සත දහයේ සරසවිය” වෙත අප යොමු කරන ලද්දේ ඒ අඩුව සපුරා ගැනීමේ පහසුම මඟ එය නිසා විය යුතු ය.

“සිළුමිණ” මඟින් දැනීම ලබාගත්තේ පාසල් සිසුන් හෝ බුද්ධි පිපාසයෙන් පෙළෙන වැඩිහිටියන් පමණක් නොවේ. විධිමත් අධ්‍යාපනයකට වරම් නොලද, වරාය කම්කරුවන් හා වෙනත් බොහෝ ශ්‍රමිකයෝද “සිළුමිණ” ඇසුරින් දැනීම ලබා ගැනීමට සමත් වූහ.

මෙසේ සිළුමිණ ඇසුරින් නුවණ වඩවා ගත් සමහරුන් පසුව දැඩි රැඩිකල් මතධාරීන් බවට පත්වුවද, ඔවුන්ට තිබු දේශපාලන අවබෝධය ගැන, මෙකල දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වුවද පුදුමයට පත්වනු ඇත. පුවත්පතක මුද්‍රණ ශිල්පියකු ලෙස සේවය කළ මගේ පියා ද සිළුමිණ ඇසුරු කරමින් ස්වෝත්සාහයෙන් ම විශ්ව දැනුම දියුණු කරගත් අයකු විය.

පන්සලෙන් මූලික අධ්‍යාපනයත් පිටකොටුවේ “හාවර්ඩ් බාලිකා” පාසලෙන් 2 වන පංතිය දක්වාත්, ලැබු අධ්‍යාපනය හැරුණු විට ඔහුගේ එක ම “සරසවිය බවට පත්වූයේ සිළුමිණ බව ඔහු ඉතා නිහතමානී ලෙස සඳහන් කළේ ය. හොඳ සිංහල දැනුමකුත් ඉංගී‍්‍රසි, දෙමළ සාමාන්‍ය වශයෙනුත් දැන සිටි පියාගේ දේශපාලන අවබෝධය ද ඉතා උසස් මට්ටමක විය. එමෙන්ම ආරම්භක සිළුමිණේ සිට ම එය ඇසුරු කළ ඔහු රෝගී ව මියයන තෙක් ම ඊට දැඩි ඇල්මක් දැක්වීය.

එදා මුද්‍රණ ශිල්පියකු ලෙස සුළු වැටුපක් ලැබූ මගේ පියා සිළුමිණ, දිනමිණ මිලට ගත්තාක් මෙන් ම සවස වැඩ අවසන් ව එන විට අප වෙනුවෙන් “ජනතා” පත්‍රයක් රැගෙන ඒමට ද අමතක නොකළේ ය.

පිටු භාගයේ ප්‍රමාණයෙන් මුද්‍රණය වූ ජනතා පත්‍රයේ මිල ශත දහයක් විය. ජනතා පත්‍රයේ පළවූ “සිබිල්”ගේ කථා එදා මගේ සිත් තදින් පැහැර ගත්තේ ය. සැබවින් ම මගේ කියැවීමේ ආරම්භය එයයි.

සිබිල්ගේ කථා වලට පමණක් නොව ඒ චිත්‍ර රටාවට ද මම දැඩිසේ ඇලුම් කරමි. එහෙත් සිබිල් කවුදැයි හඳුනා ගන්නට වසර ගණනාවක් ගතවිය. එහෙත් මා මෙන්ම සිබිල්ගේ චිත්‍රකථා තුළින් ඥානාලෝකය ලැබු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ දේශය පුරා විසිරී සිටිති. කුඩා කල මා කියවීමට යොමු කළ, පසු ව උපන් දේශය විසින් නොව, ජාත්‍යන්තරය විසින් අපට හඳුන්වා දෙන ලද “සිබිල් වෙත්තසිංහ මහත්මියට මගේ ශීර්ෂ ප්‍රණාම ආචාරය පුද කරමි.

සිබිල්ගේ කථාවලින්, සිළුමිණටත් ඉන් ලද දැනුම් සම්භාරය උපයෝගී කොටගෙන වඩාත් ගැඹුරු විෂයන් කෙරෙන් යොමුවූ මා මේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදීත් සිළුමිණ ඇසුරින් ඉවත් නොවූ බව ඉතා සතුටින් සඳහන් කරමි.

නවරත්න අත්තනායක
 


සිළුමිණ මීවද සමය ගැන සුන්දර මතකයක්

“නිදහස හිමි වෙන්ටත් - ජාති ආලේ වැඩෙන්ටත්
නැණ එළිය ලබන්ටත් - වාසනාවන්ත වෙන්ටත්
රට සමය හදන්ටත් - වාද - බේ බූන් කරන්ටත්
සමගිය ලියලන්ටත් - ඒ මගින් ලෝ වැඩෙන්ටත්
කැමති අය සිටිත්නම් - සිංහලද්දීපයේ මේ
“සිළුමිණ” කියවත්වා - ආයුබෝවන්! කියත්වා!
මේ වග මෙලෙස දන්වන්- නේ
කියන්නේ හිතන්නේ
සිළුමිණෙහි ඉතා ළාබාල - කවිකාරයාවේ!”

1930 මාර්තු 30 වැනි දින මුල් ම “සිළුමිණ” පත්‍රයේ පළවූ එස්. මහින්ද හිමියන්ගේ මේ කවි අපි පසු කලෙක අසා දැනගෙන කටපාඩම් කරගෙන සිටියෙමු.

1960 වසරේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගන්නා ශිෂ්‍යයින් වූ අප අතර පි‍්‍රයතම සතිපතා පත්තරය වූයේ “සිළුමිණ” පත්තරයයි.

“මීමන පේ‍්‍රමතිලක” නමින් එවක “සිළුමිණ” පත්‍රයේ නිතර පාහේ පළවුණු ගමේ, ඇළේ, දොළේ, ලන්දේ, සුන්දරත්වය විවරණය වුණු රසබර ලිපිවලට ගැටවර වියේ පසුවුණු අපි වහ වැටී සිටියෙමු.

සරසවි සලුපොටේ මුදු පවන් සිසිල හදවතට දැනෙමින් තිබු එවක, අපි සිළුමිණෙන් වැගිරුණු කව් අමා රසයට ද දිව දුන් මත් බිඟුන් සේ වීමු.

දවසේ ප්‍රබෝධමත් කාලයෙන් වැඩි කොටසක් විවිධ ජීවන ගැටලු සමග හැලහැප්පෙමින් සිටින පාඨකයනට සති අග රස කලස වූයේ “සිළුමිණ” පත්තරයයි.

මීමන පේ‍්‍රමතිලක එවක, “සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කතුවරයා විය. කොළඹ යුගයේ “දෙවැනි කවිපරපුර” යන නමින් ප්‍රසිද්ධ වූ වඩා දීප්තිමත් කවි පරපුර හැදී වැඩුනේ “සිළුමිණ” සෙවණේ ය.

“සඳ හා කුමුදිනිය” අතර පේ‍්‍රම සංවාදය, “සමනළයා හා මල් කැකුළ” අතර පේ‍්‍රම සංවාදය අප කියැවූයේ ස්වභාවික සෞන්දර්යට මෝහනය වූ හදවත් වලින් යුතු ව ය.

“සමහර වෙලාවට මලටත් නින්ද ලැබේ
එම නිදි ගතිය ඔබහට ඇතියෙන්ද ඉබේ
සුම දුර කැකුළ පෙති නොහරිනු මන්ද ඔබේ
මම නම් දනිමි! ඇතුලෙහි මකරන්ද තිබේ!

හ මල් ලොවේ ඇතිමුත් මුල් කැකුළ නියා
දහ අට වියේ කොල්ලෙකි අප අතර ඔයා
අහ ගෙන තරුණ ජීවිතයෙහි මිහිර දයා
වහ ගෙන නොසිට පෙති පිපියන්! රසය සොයා!

“සමනළයෙක් ලියයි” යනුවෙන් පළවුණු මේ කවි ලිව්වේ මීමන කවියා බව භාෂා විලාසයෙන් අපි දැනගෙන සිටියෙමු.

සැබෑ පුවත්පත් කලාවේදියා සතු පෑන ජාතියේ ගුණ වගාවට හා ඉදිරි ගමනට අවහිර වන බාධක වලහන අයෝමය සන්තාශයක් වැනි යැයි අපි එවක සිළුමිණෙන් පසක් කොට ගතිමු.

1962 වර්ෂයේ ජනවාරි මස 28 වැනි ඉරිදා “මේ ළමා විවාහ ඇයි?” යන මැයෙන් සිළුමිණ පත්‍රයේ පළ වුණු ලිපිය හඳුන්වා තිබු වාක්‍ය ඛණ්ඩ කිහිපය මෙසේ ය.

“වත නෙලුම් මලක් මෙන් ඇති, දෙනයන නිලුපුල් මෙන් ඇති ....... මල්පෙති මෙන් ඇති, පියොවුරු රන්තැඹිලි මෙන් පිරී ඇති නව යොවුන් කෙල්ලන් ගැන ඔබ අසා ඇත.

“එහෙත් නව යොවුන් වියට පා තැබු හැටිය ම වාගේ ළමා වයසෙහිදී විවාහ වන අය ගැන ඔබ අසා තිබේ ද...?

එදා අපේ රටේ ඈත පිටිසර දුෂ්කර ගම්මානයන්හි සිදුවන එවැනි ම්ලේච්ඡ සිරිත් විස්තර කරමින් සිළුමිණ කර්තෘ මීමන පේ‍්‍රමතිලකයන් ලියූ රසබර ලිපිය අවසන් කොට තිබුණේ මෙසේ ය.

“... අනුරාධපුරය රුවන්මැලිසෑය සහ ලෝවාමහපාය තැනු සිංහලයන්ගෙන් පැවත එන අප අතර පොළොන්නරුවේ ගල් විහාරය තැනු සිංහලයන්ගෙන් පැවත එන අප අතර, අවුකන බුදු පිලිමය තැනූ සිංහලයන් ගෙන් පැවත එන අප අතර, මහමෙව්නා උයනෙහි සමාධි පිළිමය තැනු සිංහලයන් ගෙන් පැවත එන අප අතර, ඉසුරුමුණියේ පෙම්වතුන් නෙළු සිංහලයන් ගෙන් පැවත එන අප අතර, කව් සිළුමිණ සසදාවත ඈ අනගි පොත් ලියූ සිංහලයන් ගෙන් පැවත එන අප අතර, සීගිරි බිතු සිතුවම් සහ දඹුලු ලෙන් සිතුවම් කළ සිංහලයන් ගෙන් පැවත එන අප අතර කෙල්ලක් යෞවන භාවයට පැමිණීමට පෙර පුරුෂයින් සමග ජීවත් වීමේ ම්ලේච්ඡ සිිරිත අදත් පැවතීම සිංහල වූ අපට කොතරම් නින්දාවක් ද...?”

අභිරමණීය කාන්තා ලාලිත්‍යයේ හා චර්යාවන් ඇසුරින් නිපන් රසබර උපමා - උපමේයයන් ගෙන් සිය ලේඛනය සැරසීම මීමනගේ ලේඛන ශෛලියේ කැපී පෙනෙන ලක්ෂණයකි.

සඳපහන ඇති රාත්‍රියක නුවර වැවේ ඔරු පදිමින් ලද චමත්කාරය මීමන සිය පන්හිඳෙන් චිත්‍රණය කරන්නේ මෙසේ ය.

“... රන්වන් පැහැගත් සඳරැස් ඇඟිලි නුවර වැව නමැති සුන්දරියගේ ඇඟට තැන් තැන් වලින් අනින්නාක් මෙනි. එයින් කිති කැවුණු ජලකඳ එහා මෙහා සෙලවෙයි. විනීත වනිතාවක් මෙන් ඇඹරෙයි. දඟලයි.

නුවර වැව මැද ජාතික ආගමික හැඟීමෙන් මම උද්දාම වීමි...”

1962 වර්ෂයේ දිනක අපේ පන්තියේ සාහිත්‍ය පාඩම උගන්වමින් සිටි මහවැවේ සිරිසේන වික්‍රමසේකර ගුරුතුමා සිළුමිණ ලිපියක් කියවමින් මෙසේ කී සැටි මට අද මෙන් මතක ය.

“... මේ මීමන පේ‍්‍රමතිලක මහත්තය බොහොම දක්ෂයි. උපමා දාල ලියන්න!”

ඊළඟට එතුමා සිළුමිණ පත්තර පිටුවෙන් කියැවූ වැකිය මෙසේ ය.

“... පිටුපස බැලු අපට පෙනුණේ යන්තම් නන්වන් පැහැයෙන් ඔප වැටුණු අහසය. අහසෙහි දිදුලුමත් බව හිමිදිරියේ අවදි වුණු එකියක පළ කරන පළමුවැනි සිනාව මෙන් යන්තම් අඳුරු ය. යන්තම් පැහැපත් ය. යන්තම් මලානික ය...”

එකල මෙවැනි “සිනා” අත්විඳ ඇති අප එම මිහිරෙන් කුල්මත් වීමු.

එකල, “සිළුමිණ”, සුන්දරත්වයේ මිහිර පාඨකයනට ප්‍රදානය කරන අතර ම මුල් පිටුවලින් නැවුම් ප්‍රවෘත්ති, “ගැඹුරෙහි මුතු” කරනු රිසියනට ඒ ඉඩ හසර ද සලසා දුන් බැව් උදක් කිව යුතු ය. 1963 වර්ෂයේ “මගේ පොත්ගුල” යන ශීර්ෂය යටතේ පලවුණු පුරාතන නූතන සම්භාව්‍ය ග්‍රන්ථ සමාලෝචනය පිලිවෙලින් අපි එකතු කොට පොතක අලවා තබා ගතිමු.

“සිළුමිණ” අසූ වැනි විය සපිරෙන මේ මොහොතේ එවා දකින මා තුළ ඇතිවන්නේ මහත් අමානන්දයකි.

මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ හාරසිය වැනි ජන්ම දිනය අනුස්මරණය කරමින් 1964 වර්ෂයේ “මහා කවියාට අපෙන් උපහාරයක්” යන මැයෙන් මීමන ලියූ ලිපිය අවසන් කර තිබුණේ මෙසේ ය.

“... ඉර බැසයන සුන්දර විලාශය ෂේක්ස්පියර් ගේ මනහර කාව්‍යයක මතක සිහියට නඟයි. පහළට යන විට ඇවන් නදිය සෙවර්න් නදිය හා එක්වෙයි. ඒ ජලකඳ ෂේක්ස්පියර්ගේ එංගලන්තයේ හදවත මැදින් විහිද යන රිදී රේඛාවක් බඳු ය.

බඩගෝස්තර වාදී නොවූ, අදීන - අභීත - පත්තර කලාවේ ගෞරවනීය බව වරෙක ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ ධුරය තුළින් ප්‍රදර්ශනය වූ අයුරු අපි දුටුවෙමු.

“අයිතිකරුවන්ට වුවමනා හැටියට පත්තර කලාව කරන්න මම ලෑස්ති නැතැයි” උන්ගේ අණ ඉවත දමා ගෙදර යාමට මීමන වැනි සිළුමිණ කතුවරුන් එඩිතර වූ අයුරු අප අසා ඇත.

“සුන්දරත්වය” මෙන්ම හරබර බවත් කැටිකොට ගෙන “පුන්කලස්” පිළිගන්වමින් යන සිළුමිණේ ඉදිරි ගමන්මග යුගෙන් යුගයට තව තවත් දිදුලුමත් වේවායි! යනු අපගේ අවංක ප්‍රාර්ථනය වෙයි.

මාදම්පේ ඊබට් ෂෙල්ටන්