සිළුමිණ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක
 

සිළුමිණ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක

 

පුවත්පත් කලාව පමණක් නොව ජීවිතයේ බොහෝ පෙළහැර පියසේන නිශ්ශංකයන් පෑවේ සිය ජීවිත පරිඥානය හේතුකොට ගනිමිනි. ඔහුගේ එක ම පුත් චන්ද්‍ර පී. නිශ්ශංක මහතා සිය පියා පිළිබඳ මතකය මෙසේ අවදි කරයි.

“දවසක් මට මනමාලියක් බලන්න ගියා. තාත්තා ටික වෙලාවකින් ඒ ගෑණු ළමයට කිව්වා ‘මට කන්න විටක් කොටන් එන්න කියලා’ පළවෙනි පාර මනමාලි ලැජ්ජාවෙන් ඇඹරුණා. දෙවැනි පාරත් තාත්තා ඒක ම කිව්වම මනමාලි විටක් කොටලා අපේ තාත්තට දුන්නා. බුලත් පුවක් හුණු දුම්කොළ හොඳට තිබුණු විට කාපු තාත්තා මට කිව්වා ‘පුතේ ඒ කෙළි හොඳයි’ කියලා.”

මේ සියල්ලෙන් විද්‍යමාන වනුයේ ඔහුගේ ගැමි කමත් ජීවිත පරිඥානයත් හා පරිසරය කෙරෙහි පවත්නා වූ ආකර්ශනය හා බැඳීමත් ය.

1890 සැප්තැම්බර් 20 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ කැන්දලියද්දපාළුවේ උපත ලද පියසේන නිශ්ශංකයන් මුලදී වෛද්‍ය වෘත්තිය හැදෑරීමට උත්සුක වූහ. වෛද්‍ය විද්‍යාව ඉගෙනීම පිණිස ඉන්දියාවට ගිය ඔහු වසරකට පසු යළි ලංකාවට පැමිණියේ 1915 සිංහල මරක්කල කෝලාහල අවධියේ ය. ජාතීන් අතර මෙවැනි ගැටුම් ඇතිවීම ඔහු නොරිස්සුවේ ය. ඉන්දියාවේ ගත කළ වසරක පමණ කාලය තුළ අනගාරික ධර්මපාල තුමා ඇසුරු කරමින් බෞද්ධකම ඉහළින් ම සැලකූ ඔහු තම මිතුරන් ද උනන්දු කළේ ජාතික සමගිය රැක ගැනීම සඳහා ය.

1918 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයට භාෂා පරිවර්තකයකු ඉල්ලා තිබුණේ ය. පියසේන නිශ්ශංක මහතාටත් හොරෙන් ඔහුගේ මිත්‍රයකු වූ ජේ. ඩී. ඒ. පෙරේරා ඔහු වෙනුවෙන් මේ සඳහා ඉල්ලුම් පත්‍රයක් යැව්වේ ය. සුදුසුකම් තිබූ නිසාවෙන් නිශ්ශංක මහතා මේ ධුරය සඳහා තේරී පත්විය.

එකල ඔහුගේ වැටුප වූයේ රුපියල් හතලිහකි (40/=) පියසේන නිශ්ශංක මහතාට මුදල් අවශ්‍යතාවයක් දැඩි ව තිබුණේ නැත. ඒ ඔහුට ගොඩ මඩ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණු බැවිනි. ලේක්හවුස් ආයතනය තුළ ඔහුගේ හැකියාවන් හේතුවෙන් ඉතා ඉක්මනින් උසස්වීම් හිමිවිණි. දිනමිණ උප කර්තෘ වන්නට පියසේන නිශ්ශංක මහතාට වැඩි කලක් ගත නොවන්නේ මේ ආකාරයෙනි.

1930 වර්ෂය වන විට ඩී. ආර්. විජේවර්ධන මහතාට සතිඅන්ත පුවත්පතක් ඇරැඹීමේ අවශ්‍යතාවය පැන නැගී තිබිණි. එය සාර්ථක ව ආරම්භ කිරීමේ ලා සුදුසු ම පුද්ගලයකු ලෙසින් පියසේන නිශ්ශංක මහතා නම් කෙරිණි. මේ පුවත්පතෙහි මිල ශත 10 ක් වූ අතර පිටු 20 ක් විය. තම එක ම පුතණුවන් මෙලොව එළිය දකින්නේ ද මේ කාලයේ වුවද ඔහු ඒ සියල්ලට ම වඩා තම නව පුවත්පත කෙරෙහි ආකර්ශනය විය. එහි අභිවෘද්ධිය සඳහා ඔහු සිය පෞද්ගලික ජීවිතය කැප කළේ ය. සිළුමිණ පත්‍රය ශ්‍රේෂ්ඨ පඩිරුවනක් යටතේ ආරම්භ වනුයේ ඒ ආකාරයෙනි.

තම සති අන්ත පුවත්පතට අවශ්‍ය නම සොයා ගැනීම ද විජයවර්ධන මහතා බාර කළේ පියසේන නිශ්ශංක මහතාට ය. එයට හේතුව ඔහු හොඳින් ඡ්‍යොතිශය දැන සිටීමයි. නම් විශාල සංඛ්‍යාවක් යෝජනා වුවත් රත්මලානේ ධර්මාරාම හිමියන් විසින් තැබූ ‘සිළුමිණ’ නාමය ඒ සඳහා තෝරා ගැනිණි.

පත්‍රය ආරම්භ කිරීමේ නැකතක් සෙව්වේ ද නිශ්ශංක මහතා ය. ස්ථාන රැසකට ම ගිය ඔහු අවසානයේ බෙන්තර පළල්ලාවිට කෝරළයේ සංඝනායක හිමියන් ලබා දුන් නැකත සිළුමිණේ ආරම්භය සඳහා යොදා ගැනිණි. ඒ එම නැකතින් සිළුමිණ ඇරඹුවහොත් “ඉර හඳ තිබෙන තුරු සිළුමිණ පවතින බව“ ඒ නාහිමියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බැවිනි.

මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් සමඟ එක් ව සිළුමිණ හැකි තරම් ඉහළ මට්ටමකට ගෙන ඒමට පියසේන නිශ්ශංක ශූරිහු උත්සාහ ගත්හ. එමෙන් ම නවක ලේඛකයන්ට අත දීමට ඔහු තුළ තිබුණේ පුදුමාකාර කැමැත්තකි. ඇතැම් නවකයන්ගේ ලිපි මුළුමනින් ම නැවත ලියා ඒවා ලේඛකයාගේ නමින් ම පළ කිරීමට තරම් ඔහු උනන්දු වීය. ජේ. ඩී. ඒ. පෙරේරා මෙන් ම පණිභාරත ද සිළුමිණ පත්‍රය සඳහා එකල පියසේන නිශ්ශංකයන්ට උපකාර කළහ. මීමන පේ‍්‍රමතිලක වැන්නවුන් බිහිවුණේ ද සිළුමිණ මඟින් කළ ආධුනිකයන්ට අත දීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

සිළුමිණ අරඹා වසර 4 ක් ගත වන කාලය වන විට එනම් 1934 දී ඇලෙක්සැන්ඩර් වැලිවිට රෝගාතුර වීම නිසා දිනමිණ කර්තෘ කමෙන් අයින් විය. එයින් පියසේන නිශ්ශංකට දිනමිණේ කර්තෘ පදවිය බාර ගන්නට සිදු වූයෙන් මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණේ කර්තෘ පදවියට පත්විය. වික්‍රමසිංහ අවුරුදු 3 ක් පමණ කාලයක් ඒ පදවිය උසුලමින් සිටියදී පත්‍ර දෙකේ කර්තෘ හුවමාරුවක් සිදුවිය. ඒ අනුව වික්‍රමසිංහ දිනමිණේ කතුකමටත් නිශ්ශංක (දෙවැනි වර) සිළුමිණ කතුකමටත් පත්විය. 1944 මාර්ටින් වික්‍රමසිංහ ලේක්හවුස් පුවත්පත් සේවයෙන් අස් වූයෙන් නැවත දෙවන වරටත් පියසේන නිශ්ශංක දිනමිණ පත්‍රයේ කර්තෘ විය.

පියසේන නිශ්ශංක මහතා සාමාන්‍යයෙන් නිවසින් පිටවන්නේ පෙරවරු 9.00 ට පමණ ය. අනතුරු ව ඔහු බක්කි කරත්තයෙන් රාගම දුම්රිය පොළට පැමිණෙයි. එතැන් සිට දුම්රියෙන් කොළඹ බලා ගමන් කරයි. දිනමිණ ප්‍රාදේශීය මුද්‍රණය, මුද්‍රණය කිරීමෙන් පසු පුවත්පතකුත් රැගෙන රාත්‍රී 9.00 ට අවසන් දුම්රියෙන් එන ඔහු දුම්රියේදී පත්‍රයේ උපරීම පිටු ප්‍රමාණයක් කියවයි. ඉතිරි ඒවා කියවනුයේ නිවසට පැමිණ චිමිනි ලාම්පුවේ පිහිටෙනි. පත්‍රයේ ඇති වැරැදි තැන් සලකුණු කරගන්නා ඔහු තම පුත්‍රයාට කතා කරයි.

“ළමයෝ වලව්ව පැත්තෙ ගිහින් එන්න යන්න සූදානම් වෙන්න.”

ඒ අනුව ජයකොඩි වලව්වට රාත්‍රියේදී ම යන ඔහු ලේක්හවුස් ආයතනයට කතා කොට කොළඹ මුද්‍රණයේ වැරදි හැදිය යුතු තැන් පෙන්වා පැමිණ රාත්‍රියට ආහාර ගනියි.

පියසේන නිශ්ශංකයන් කිසි විටෙක පුවත්පතක තම නම සඳහන් කළේ නැත. “බාසුරු” යන ආරූඩ නාමය ඔහු ඒ සඳහා භාවිතා කළේ ය. ඔහුගේ සෑම සටහනක් ම ගැමි පරිසරයට අනුකූල ලෙසින් ගොඩනැඟි තිබිණි. ඔහුගේ නිර්ව්‍යාජ ගතිපැවතුම් ඒ ඔස්සේ විද්‍යමාන විය. විශ්‍රාම ගියත් දිගටම පත්‍රයට ලියන්නට ඔහුට ඇරියුම් ලැබිණි. විශ්‍රාම ගිය ද ඔහුගේ උපදේශකත්වය ආයතනයට අවශ්‍ය විය. උපදේශක කර්තෘ පදවියකින් ඔහු පිදුම් ලැබුවේ එබැවිනි.

බුදුසරණ හා සුබසෙත පත්‍ර අරඹා කරගෙන යෑමේ කාර්යය පැවරුණේ ද පියසේන නිශ්ශංක ශූරීන්ට ය. තම දිවිය හා එහි පෞද්ගලික අපේක්ෂාවන් පසෙක ලා ඔහු පුවත්පත් කලා වෘත්තියට ප්‍රවිෂ්ට වූ බැවින් “පුවත්පත් කලාව හා සම්බන්ධ විශේෂ උපාධියක් ඔහුට ලබා දීමට ද විද්‍යෝදය සරසවිය උත්සුක විය. කළුකොඳයාවේ ප්‍රඥාසේකර නාහිමියන්ගේ උපදෙස් පරිදි මේ උපාධිය පිරිනැමීම තවත් විශේෂ ලක්ෂණයක් විය.

පියසේන නිශ්ශංකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනෙක් සොහොයුරු මාධ්‍යවේදින් කෙතරම් ගරු කළේ ද යත් 1965 දී ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ ඔහුට මිය යන තුරු ම ඒ තනතුරේ සිටීමට සිදුවූයේ කිසිවකු ඔහු සමඟ තරග කරන්නට ඉදිරිපත් නොවූ බැවිනි.

තම එක ම පුතුගේ මංගල සේයාරුව පවා තමා කර්තෘත්වය දරන පුවත්පතේ නොදැමූ ඔහු එය වෙනත් පුවත්පත්වල පළ කර දීමෙන් සෑහීමකට පත් විය.

පියසේන නිශ්ශංකයන් සෑම දිනක ම උදෑසන පහ වන විට අවදි වේ. ඉන් අනතුරු ව මුහුණ කට සොදාගන්නා ඔහු තමා රාත්‍රියේ ලියන ලද ලිපියක වැරැදි අඩුපාඩු බලයි.

ඉන් අනතුරු ව සම්පූර්ණ ඇඳුමින් සැරසෙන ඔහු ගම්මානය වටේ රවුමක් යයි. හමුවෙන සෑම ගම්වැසියෙක් සමඟ ම සුහද ව කතා කරන ඔහු ගමේ කුමක් හෝ ගෙදරකින් උදෑසන තේ එක බොයි. අනතුරු ව තව නිවසකින් ආනමාලු කෙසෙල් ගෙඩියක් ද කයි. යළිත් ගෙදර එන ඔහු සිය ගෙවත්ත පුරා ඇවිදිමින් රැවුල කපයි. නිශ්ශංකයන් සිය රැවුල කැපීම සඳහා කිසි දිනෙක කණ්නාඩියක් පාවිච්චි කොට නැත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුවිශේෂී මිනිසකු වූ ඔහු කීර්තිමත් බොහෝ පුවත්පත් කලාවේදීන් ගේ ගුරුවරයාණෝ ය.

සද්දන්ත ශරීරයකින් හෙබි කරුණාවන්ත ගතිගුණයන්ගෙන් යුත් ඔහු සිළුමිණ පුවත්පත ජනපි‍්‍රය කරවීමේ ලා ගත් වෙහෙස අරමණීය ය.