මේ ඓතිහාසික මොහොත මා ලද භාග්‍යයක්
 

මේ ඓතිහාසික මොහොත මා ලද භාග්‍යයක්

 

කරුණාදාස සූරියආරච්චි

(වත්මන් ප්‍රධාන කර්තෘ)

සිළුමිණ”ට මා පළමුවෙන් ගොඩවූයේ ගුරුවරයකු වශයෙන් සිටියදී ය. ඒ 1970 අග භාගයේදී ය. එවකට සිළුමිණ කර්තෘවරයා වූයේ එඩ්මන්ඩ් රණසිංහ මහතා ය. විශේෂාංග කර්තෘවරයා වූයේ දයාසේන ගුණසිංහ මහතා ය.

මේ දෙදෙනා ම ඉන් පෙර කිසිදිනෙක දැක නොසිටියෙමි. මා පැමිණියේ ලිපියක් පළකර ගැනීමට ය. එය තීරු ලිපියකි. (එහෙත් එකල තීරු ලිපියක් යනු කුමක්දැයි මම දැන නොසිටියෙමි).

”එඩ්මන්ඩ් රණසිංහ මහතා මගේ ලිපිය කිහිපවරක් කියවා බලා “තාම හරියට ලියැවිලා නැහැ”යි කියා ආපසු දුන්නේය.

”තව හිතලා ලියන්න”

මම ආපසු ගෙදර ආවෙමි. සතියකින් එය සකස් කරගෙන ආපසු ගියෙමි.

”තාම හරියට ලියැවිලා නැහැ”

මම ආපසු ගියෙමි. සති දෙකකින් පමණ නැවතත් ලියාගෙන පැමිණියෙමි.

”තාම හරි නැහැ”

මම ආපසු ගියෙමි. එකල ගම්පහ සිට කොළඹ පැමිණීම අද තරම් පහසු නැත. ඇති පමණ බස් තිබුණේ නැත. දුම්රිය ද අද තරම් නැත.

පස්වැනි වතාවටත් එම ලිපිය සකස් කොටගෙන මම සිළුමිණට ගොඩවූයෙමි.

රණසිංහ මහත්මයා ලිපිය නැවතත් තුන් හතර වතාවක් කියැවීය.

”ගුණේ.. මිනිහට ලියන්ඩ පුළුවන් බව පේනවා.. ඒත් තාම ෆයර් වෙලා නැහැ වගේ..”

එතැන් පටන් මම ගුණසිංහ මහත්මයා හමුවීමට පැමිණියෙමි. හත්වැනි හෝ අටවැනි වතාවට ලිපිය සකස් කරගෙන පැමිණි විට ගුණසිංහ මහත්මයා එයට “වටරවුම” නමින් හෙඩිමක් යෙදී ය.

එතැන් පටන් මම “සිළුමිණ”ට “වටරවුම” නමින් වූ තීරු ලිපිය සම්පාදනය කළෙමි. (එහෙත් එය දිවයිනේ පළවූ “වටරවුම”ට වඩා වෙනස් එකකි.)

ඉන්පසු 1982 ජනවාරියේ මම ගුරු වෘත්තියෙන් ඉල්ලා අස්වීමි. වෘත්තීය පත්‍රකලාවේදියකු වශයෙන් ‘දිවයින’ට සම්බන්ධ වූයෙමි. තීරු ලිපි රචකයකු, උප කර්තෘවරයකු, නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් ද සේවය කොට 2005 දෙසැම්බරයේ දී සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත් ව ආයෙමි.

ඒ වන විට පුවත්පත් කලාවේදියකු වශයෙන් වසර 24ක අත්දැකීම් රැසක් ලබා තිබුණ ද සිළුමිණ කර්තෘ පදවිය මට අභියෝගාත්මක එකක් වීය. තවත් කෙනකුගේ මෙහෙයවීම යටතේ සේවය කරමින් සිට ඓතිහාසික ජාතික පුවත්පතෙහි මෙහෙයවන්නා බවට පත්වීම අභියෝගාත්මක වීම නොවැළැක්විය හැක්කකි.

ඒ බැරෑරුම් අභියෝගයට මා මුහුණ දුන්නේ දිවයිනේ වසර 24ක අත්දැකීම්වලින් ලැබූ පන්නරයෙන් සහ සිළුමිණ කර්තෘ මණ්ඩලය තුළ මට අලුතෙන් හමුවූ මාධ්‍යවේදීන්ගේ නිර්මාණශීලී දායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයෙන් ලද ශක්තිය සමඟිනි.

ඒ නිසා ම නොබිය ව බැරෑරුම් පියවර කිහිපයක් ම ගැනීමට මට ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසයක් ලැබී තිබිණි. “පුන්කලස” ශාස්ත්‍රීය සහ සාහිත්‍ය කලා සංග්‍රහය ඉන් එකකි. එහිදී ඉන් පෙර මා ඇසුරු කර නොතිබූ නන්දන වීරසිංහයන් දැක්වූ පරිණත දායකත්වය මම දැනුදු සිහිපත් කරමි.

ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා කලබැගෑනි සහිත සමාජ වාතාවරණයක් නිර්මාණය වීය. එක් පසෙකින් මානුෂික මෙහෙයුම ආරම්භ විය. අනෙක් පසින් එක පිට එක මැතිවරණ පැමිණියේ ය. ඒ සියල්ල ‘සිළුමිණ’ කර්තෘවරයා වශයෙන් වගකීම් සම්භාරයක් මා වෙත පැවරීය. මා තුළ ඇතිවූ මානසික ආතතිය ඉතා තියුණු ය. මාධ්‍ය ජීවිතයේ ඉන් පෙර කිසිකලෙක එවැනි පීඩනයකට මම හසුවී නොසිටියෙමි.

එහෙත් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සහෝදර මාධ්‍යවේදීන්ගේ ද ලේක්හවුස් ආයතනයේ කළමනාකාරිත්වයේ ද සහයෝගය නොමඳ ව ලැබුණු හෙයින් ඒ ආතතිය සහ පීඩනය දරා ගනිමින් කර්තෘවරයාගේ භූමිකාවට සාධාරණයක් ඉටුකිරීමට මට හැකිවිය. මෙහිදී ලේක්හවුස් වත්මන් සභාපති බන්දුල පද්මකුමාර මහතාගෙන් මට ලැබුණු සහයෝගය නිබඳ ව සිහිපත් කරමි.

දැන් පශ්චාත් යුද සමයයි. පූර්ව සංවර්ධන යුගයයි. මේ පසුබිම වටහා ගනිමින් ‘සිළුමිණ’ සමඟ පෙරට යාම මා සතු අභියෝගය බව මම වටහාගෙන ඇත්තෙමි.

වටරවුමෙන් සිළුමිණට සම්බන්ධ වූ මම වටරවුමක් ගොස් යළි සිළුමිණට ම පැමිණ සිටින්නෙමි.

සැබැවින් ම මගේ මාධ්‍ය ජීවිතය තෘප්තිමත් ව අවසාන කිරීමට මට හැකියාවක් තිබෙන බව මම ඉඳුරා ම දනිමි. 80 වැනි විය සපුරන සිළුමිණේ කතුවරයා වීමට ලැබීම මා මේ පැමිණි ගමන් මඟේ මහත් භාග්‍යයක් කොට සලකමි.