යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කළ පුරෝගාමී පුවත්පත
 

යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කළ පුරෝගාමී පුවත්පත

 

මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්‍ෂ

ශ්‍රීලාංකික පුවත්පත් ඉතිහාසයේ සංධිස්ථාන විමර්ශනය කිරීමේදී විශේෂ අවධානය යොමුවන කරුණු කීපයක් පවතී. ඒවා විග්‍රහ කළ හැකි වන්නේ ඒ ඒ වකවානුවල පැවති සමාජ සාධකයන් පදනම් කර ගනිමිනි. 19 සියවස මැදභාගයේදී සිදුවූ සමාජ සංස්කෘතික හා අධ්‍යාපනික විවිධ ප්‍රවණතාවන් ලාංකීය පුවත්පත් ඉතිහාසයේ වෙනස්කම් ඇති කිරීම කෙරෙහි බලපාන ලදී. ආගමික - ශාස්ත්‍රීය වාද විවාද මෙන් ම නව අධ්‍යාපනික ආයතන ආරම්භවීම ද මෙයට හේතු වී තිබේ. පාරුපන වාදය, න,ණ,ල,ළ වාදය, ගුත්තිල මූසිල වාදය, පානදුරා වාදය වැනි වාද විවාද මෙන්ම අනගාරික ධර්මපාල, හෙන්රි ඕල්කොට්, මාරි මියුසියස් වැනි දේශීය – විදේශීය විද්වතුන්ගේ අධ්‍යාපනික පුනර්ජීවය ද සමාජීය වෙනස්කම් සඳහා බලපා තිබේ.

ලේක්හවුස් ආයතනය දේශීය පුවත්පත් කලා සම්ප්‍රදායක් බිහි කිරීම සඳහා කැපවූ ආයතනයකි. 1930 මාර්තු 30 වෙනිදා ආරම්භ වූ “සිළුමිණ” පුවත්පත දේශීය සම්ප්‍රදායක් බිහි කිරීමට මුල් වූ පුවත්පතකි. සිළුමිණහි ආරම්භක සංස්කාරකවරයා වූයේ පියසේන නිශ්ශංක මහතාය. සිංහල පාලි - සංස්කෘත භාෂාවන්හි විද්වතෙකු වූ ඔහු විසින් ලියන ලද ලිපි මෙන්ම පුවත්පතේ අන්තර්ගත වූ ලිපි ලේඛන ගැඹුරු විෂය ඥානයක් පාඨකයාට ලබාදීමට සමත් විය. රටක ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ පාඨකයා බුද්ධිමත් කරවීම හා විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ඔවුන්ගේ මත ප්‍රකාශයට ඉඩකඩක් ලබාදීමෙනි.

“සිළුමිණ” ඉරිදා සංග්‍රහය ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදුන් බව සිළුමිණ ඉතිහාසය ගවේෂණාත්මක විමර්ශනය කිරීමෙන් පසක් වනු ඇත. සිළුමිණ ආරම්භ කොට වසරක් පමණ ගතවූ පසු ලංකාවේ පාඨකයා අතර වඩාත් පැතිරී ගිය මෙන් ම ඇගැයීමට පාත්‍ර වූ පුවත්පත ලෙසට පත් ව තිබේ. මෙහි පළකරන ලද “ශාස්ත්‍රීය අතිරේකය” මෙකී ජනප්‍රසාදයට විශේෂයෙන් හේතු වී ඇත. ඊට අතිරේක ව “ග්‍රන්ථ විවරණ” යනුවෙන් ආරම්භ වූ නව ප්‍රකාශනයන්ගේ ප්‍රබලතා දුබලතා විවරණයට පාත්‍ර කිරීම හා විවිධ නිර්මාණ සඳහා ඉඩකඩ වෙන් ව පැවතීම තවත් විශේෂත්වයක් වේ. සිළුමිණ පුවත්පතෙහි සෑම දිනක ම කෙටි කතාකරුවකුගේ නිර්මාණයක් පළකිරීම නිසා වර්තමානයේ සිටින බොහෝ ලේඛක ලේඛිකාවන්ට තම නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් සලසා දී තිබේ.

ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට පුද්ගලයාගේ ස්වාධීන චින්තන ශක්තිය ප්‍රබෝධමත් කළ යුතු අතර එය නිශ්චිත එල්ලයක් කරා යොමු කරවීමට ද අවශ්‍ය වේ. එම කාර්යය භාරය සිළුමිණ කතුවරුන්ගෙන් ඉටු වී තිබේ. පියසේන නිශ්ශංක මහතාගෙන් පසුව කර්තෘ පදවියට පත් වූ මාර්ටින් වික්‍රමසිංහ අවධියේදීත් විවිධ ක්‍ෂෙත්‍රයන්ට අයත් පුද්ගලයන් බිහි වී තිබේ.

මීමන ප්‍රේමතිලක, උඳුගොඩ නවරත්න, හොරණ කුමාරසිංහ, හක්ගල්ලේ සෙනෙවිරත්න, උපනන්ද බටුගෙදර වැනි කවීන් උපත ලැබුවේ සිළුමිණ පුවත්පතෙනි. එසේ ම ළමා පරපුර වෙනුවෙන් වෙන් වූ ලිපි ලේඛන, විශේෂාංග අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය. ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ කර්තෘ කාලයේදී ආරම්භ වූ “කමලා ළමා සමාජය”, “මල්හාමි කතා මණ්ඩපය” යනාදී විශේෂාංග පාඨකයා ආකර්ෂණය කරගැනීමට සමත් විය.

අන්තර් සංස්කෘතික අවබෝධයක් ලබා ගැනීම සඳහා ද සිළුමිණ දායක වී තිබේ. එදා සිට ම ලංකාවේ විවිධ ක්‍ෂෙත්‍රවලට අයත් විද්වතුන් සිය පර්යේෂණ හා විෂය ඥානය ග්‍රාහකගත කිරීම සඳහා සිළුමිණ ප්‍රයෝජනයට ගෙන තිබේ. කොටහේනේ පඤ්ඤාකිත්ති, පැලෑනේ වජිරඥාන, හේන්පිටගෙදර ඥානසීහ, යක්කඩුවේ ප්‍රඥාරාම, ඇස්.ජේ. ද ඇස් වීරසිංහ දේවගැතිතුමා, සෙනරත් පරණවිතාන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඊ. ඩබ්ලිව් අදිකාරම්, ගුණපාල මලලසේකර වැනි ගිහි පැවිදි ප්‍රභූන් විශාල පිරිසක් සිළුමිණ පුවත්පත සමඟ දැඩි සම්බන්ධතාවක් පැවති බව සිළුමිණ ඉතිහාසය නිරීක්‍ෂණය කරනවිට පැහැදිලි වේ.

එසේ ම අනාගත ලොකයේ ස්වරූපය පිළිබඳ 1938 දෙසැම්බර් 04 දින සිළුමිණ පුවත්පතෙහි පළ වූ මෙම ලිපිය සුළු නිදසුනක් ලෙස දැක්විය හැකි ය. ජේ.පී. ද ෆොන්සේකා මහතා විසින් ලියන ලද ඒ ලිපිය නම්කොට තිබුණේ “ප්‍රවෘත්ති පත්‍රයේ අනාගතය – 2038 සිදුවිය හැකි වෙනස්කම්” යනුවෙනි. මීට වසර 70 ක පමණ පෙර ලියන ලද මේ ලිපියේ අඩංගු කරුණු අද කොතරම් දුරට සත්‍ය වී තිබෙන්නේ ද යන්න අවබෝධ කරගත හැක්කකි.

”2038 දී ප්‍රවෘත්ති පත්‍රයට ලියුම් සපයන්නා එය කඩදාසියක ලියා කන්තෝරුවට නොඑවිය යුතු බැව් සිතීමට ඉඩ තිබේ. පුවත්පත් කියවන්නන්ද දැන්වීම් ප්‍රසිද්ධ කරවන්නන්ද ඒ කාලය වන විට වැඩි විය හැක. එක අක්‍ෂර පේලියක් පැන්සය බැගින් සපයන ලියුම්කරුවා මහන්සි වී ස්වකීය අතින්ම ලියන ලිපිය වර්ණ යෝජකගේ කුසීතකමකින් අමුණති.

එහෙත් අනාගතයේදී එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි ය. ලියුම්කරුවා ස්වකීය ගෙදර සිට ලියන දෙය ප්‍රවෘත්ති කන්තෝරුවේදී නිසර්ගයෙන් ම පරිකල්පිත වූවක් ලෙස ඇමිණී තිබෙණු දක්නට ලැබෙතැයි සිතීමට ඉඩ තිබේ. ඒ කාලය වන විට වර්ණයෝජකයන් වුවමනා නොවන බව සිතීම වුවද කනගාටුවට කරුණක් ය. ප්‍රවෘත්ති පත්‍ර කර්තෘ මහතා ලියුම්කරුවා කියවන දෙයින් ගත යුත්තේ කිනම් කොටසදැයි විසඳා එය ඉබේ ඇමිණෙන විලස ක්‍රියා කරනවා ඇත.

2038 වන විට දේශපාලනඥයන්ගේ දිගු වේගවත් කථා ද දැන්වීම් වශයෙන් ගෙවා පළ කරවන්නට ද සිදුවෙතැයි සිතීමට ඉඩ නැත්තේ නොවේ. 2038 දී එක් ලියුම්කරුවකුට ලෝකයේ තිබෙන ප්‍රවෘත්ති පත්‍ර බොහෝ ගණනක් ම ප්‍රධාන ලිපිය එක් දිනයෙකම සම්පාදනය කිරීමට ඉඩ ලැබෙන්නේ ය. ලන්ඩන් ග්ලාස්ගෝ, නිව්යෝර්ක්, චිකාගො, මැල්බෝර්න්, හොංකොං, රැංගුන්, කල්කටා, කොළඹ සහ ටොරොන්ටෝ ආදී නගරවල ප්‍රවෘත්ති පත්‍රවල එකම ලියුම්කරුවකු විසින් ලියන ලද එකම ලිපිය එකම දිනයෙහි පළවීමට ඉඩ ලැබෙනවා ඇත.”

මීට වසර 70 පමණ පෙර ලියූ මේ ලිපියේ අඩංගු කරුණු අද වන විට ඉටු වී තිබේ. අනාගත ලෝකයේ සන්නිවේදන විප්ලවය පිළිබඳ අපේ ලේඛකයන්ට පැවති අවබෝධය මධ්‍ය සංස්කෘතියේ ලක්‍ෂණ හඳුනාගැනීමට ඉඩකඩ ලැබීමයි. ආතර් සී. ක්ලාක් වැනි විද්‍යාඥයන් මෙන් ම අපේ ලේඛක ලේඛිකාවන්ට ලෝකය පිළිබඳ පැවති අවබෝධය සිළුමිණ පුවත්පත මඟින් ලාංකික පාඨකයාට ලබාදීම යුග මෙහෙවරක් වේ. පුවත්පතක පැවතිය යුතු කාර්යය භාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලේක්හවුස් ප්‍රකාශනයන්ට පැවැතීමත් සිළුමිණ ඒ කාර්යය භාරය මැනවින් වටහාගෙන තිබීමත් සන්නිවේදන ක්‍ෂේත්‍රයට වැදගත්වන්නකි.

සිළුමිණ පුවත්පතෙහි ශාස්ත්‍රීය අතිරේකය “සත දහයේ විශ්වවිද්‍යාලය” නමින් එකල ප්‍රචලිත වූයේ ද මෙවැනි ඥාන ගවේෂණ මෙන් ම ඥාන පෝෂක පදනමක් පැවති බැවිනි. සන්නිවේදන සාහිත්‍යයක් මෙන් ම සංස්කෘතියක් ගොඩනැඟිය හැකි වන්නේ මෙවැනි විද්වතුන්ගේ මත සමාජයට ගලා යෑමෙනි. දැනුමෙන් පෝෂණය වන සමාජයක් තුළ වඩාත් ප්‍රබල මානව කණ්ඩායමක් බිහිවන බව සත්‍යයකි. සිළුමිණ පුවත්පතෙහි කතුවරුන් මෙකී සාධකය අවබෝධ කරගෙන සිටීම පුවත්පත වඩාත් ලාංකික සමාජය තුළ ප්‍රතිෂ්ඨාපනය වීමට හේතු වී තිබේ.

මේ පුවත්පතෙහි ඇතුළත් වූ ශාස්ත්‍රීය ඓතිහාසික, කාන්තා, ළමා, කෘෂිකර්මාන්ත, ග්‍රන්ථ විවරණ, විශේෂාංග නිර්මාණ පිටුව යනාදියෙන් පාඨකයා දැනුවත් කිරීමට දැඩි උත්සාහයක නිරත විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් වරෙක ප්‍රකාශ කොට තිබුණේ සිය ගුවන් විදුලි “ශාස්ත්‍රීය සංග්‍රහය” හා වෙනත් ශාස්ත්‍ර පීඨ වැඩසටහන් ගොඩ නැඟීමට සිළුමිණෙහි ශාස්ත්‍රීය අතිරේකය පූර්වාදර්ශයක් වූ බව ය. එසේ ම මෙරට ප්‍රබල සාහිත්‍ය විචාර කලාවක් ගොඩනඟා ගැනීමෙහි ලා පදනම සිළුමිණ පුවත්පතින් ලැබුණු බව ය. ජනමාධ්‍ය සංස්කෘතියේ ලක්‍ෂණයක් වන්නේ ඒක පාර්ශවීය මත දැක්මක් නොව ද්විපාර්ශවීය ස්වරූපයක් ගැනීමයි. විවිධ මත ඝට්ටනයට හසු කිරීම ය. ඒ තුළින් නව චින්තන ධාරාවක් මතු කර ගැනීමයි. එය සිළුමිණ තුළින් ඉටු වූවක් බව ආ මඟ පිළිබඳ සිංහාවලෝකනයෙන් පසක් වේ.

මේ පුවත්පත තුළ දක්නට ලැබෙන අනෙක් විශේෂත්වය වන්නේ සිංහල භාෂාව සුරක්‍ෂිත කරගැනීමේ හා එය නිවැරදි ව භාවිත කිරීමට අවබෝධයක් ලබාදීම ය. රටක සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේදී භාෂාව පිළිබඳ කරුණු හැදෑරීමෙන් දැනුමක් ලබා ගත හැකි ය. තම මව්බසෙහි ජීව ගුණය ආරක්‍ෂා කර ගැනීමෙන් හා එහි ප්‍රබලතාව මතුකරගත හැකි ආකාරයෙන් සිළුමිණ බස හසුරුවා ඇත. “නිවැරදි වහර” යනුවෙන් පණ්ඩිත ගුණපාල සේනාධීරයන් විසින් ලියන ලද ලිපි එක් නිදසුනක් ලෙස ද දැක්විය හැකි ය. අතීතයේ සිට ම භාෂා සාහිත්‍ය කරුණු පිළිබඳ දැක් වූ සැලකිල්ල වර්තමානයේ දීද සිළුමිණ සතු ව පැවතීම මාධ්‍ය සංස්කෘතියක් ගොඩනඟා ගැනීමට ඉවහල් වනු ඇත. “පුන්කලස” වැනි අතිරේකවලින් ඉටුකරන ලද සේවය පාඨකයාගේ මතකය තුළ රඳාපවතී.

ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟිය හැක්කේ ජනමාධ්‍ය ආයතන මෙන් ම පාලක පාලිත යන විවිධ කණ්ඩායම්වල පවතින අවබෝධයෙනි. එය වර්ධනය කරගත හැක්කේ මාධ්‍යයන් සිය වගකීම පිළිබඳ දැනුවත් වීමෙනි. වසර අසූවක පමණ කාලයක් තුළ සිළුමිණ පුවත්පත එකී සද්කාර්යය ඉටු කිරීම සඳහා දරන ලද උත්සාහය අගය කළ හැකි ය. ශ්‍රී ලාංකීය පුවත්පත් අතුරින් බහු රත්නඤඤු (බොහී රාත්‍රියදත්) ඥානයෙන් යුත් වැඩි මහලු වූ අසූවිය සපිරෙන මේ දැවැන්ත මාධ්‍ය සඟයාට අපගේ සුභාශිංසනය පුදකල යුතු ම ය. “ඔබ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!”