දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»


විචාරාත්මක අදීනත්වය, සීමාන්තික අදීනත්වය සහ සංස්කෘතික අන්තර්පෝෂණය

විචාරාත්මක අදීනත්වය, සීමාන්තික අදීනත්වය සහ සංස්කෘතික අන්තර්පෝෂණය

හෙළ හවුල පිළිබඳ අපමණ අධ්‍යයන කෙරී ඇත. කොතෙකුත් ලියවී ඇත. ඒ නිසා මා වැනි දුහුනෙකු ඒ බලපෑම් සහගත ව්‍යාපාරය මේ යැයි යළි සැකෙවින් පවා ගෙන හැරපෑම අවශ්‍ය නැත. හෙළ හවුල විසින් ජනතාවට යෝජනා කළ භාෂා ව්‍යවහාර විධිය මෙරට පොදු ජනතාව සහ වියතුන් විසින් පිළිගැනුණේ නැත. හෙළුව අද ඉතිරි වී ඇත්තේ තවත් එක් භාෂා විලාසයක් ලෙසින් පමණි. එය රමණීය භාෂා විලාසයක් බව නම් පිළිගත යුතු ය.

සිංහල නම් ජනවාර්ගික කණ්ඩායම ගෙනගිය අධිරාජ්‍යවිරෝධී අරගලයේ කේන්ද්‍රීය කාරණය බවට ‘සිංහල’ භාෂාව පත් කළේ හෙළ හවුල විසිනි. සැබවින් ම ඔවුන් ඒ අරගලයේ හරි මැදට ගෙනාවේ සිංහල භාෂාව නොව හෙළ බසයි. එය මහාවංස කතාවෙන් විස්තර කෙරෙන සිංහලයන්ගේ බස නොව ඊටත් බොහෝ කාලයකට පෙර සිට පැවත එන හෙළයන්ගේ බස යැයි විශ්වාස කෙරිණ. එහෙත් මෙම ලිපියේ දී සිංහල භාෂාව යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. මට පෙළෙන හැටියට හෙළුව යනු සිංහලයේ එක විලාසයකි; වහරකි. ළගන්නා විලසකි.

සිංහලයන්ගේ යටත්විජිත ජාතිකවාදී ව්‍යාපාරයේ වැදගත්ම අංගය භාෂාව පත්වූයේ බවට පත් වූයේ මුනිදාස කුමාරතුංගගේ බුද්ධිමය ව්‍යායාමය නිසා ය. සිංහල සහ අනෙකුත් දේශීය භාෂා යටත් විජිතවාදි‍යාගේ දේශපාලනයේ සහ ආර්ථිකයේ භාෂාව ව‍ූ ඉංග්‍රීසියට දෙවැනි කොට සලකන කල සිංහල භාෂාව තම ජාතිකවාදී සටනේ කේන්ද්‍ර කරගැනීම වැදගත් ක්‍රියාවකි. ආගම වැනි අනන්‍යතා වෙනුවට භාෂාව අනන්‍යතාකාරකය ලෙස තෝරා ගැනිණි. මුනිදාස කුමාරතුංග ඇතුළු හෙළ හවුලේ නායකයන් පැන නැඟි සමාජ පසුබිම ද ඊට බලපාන්නට ඇත. ඒ පිරිස මතුව ආවේ සැලකිය යුතු ආගමික - සංස්කෘතික මිශ්‍රණයකින් යුතු ප්‍රදේශයකින් සහ සමාජ පසුබිමකිනි. බුද්ධාගම ඔවුන්ගේ ව්‍යාපාරයේ කේන්ද්‍රයේ නොතිබීමට එය එක හේතුවක් වන්නට ඇත. අනෙක මහාවංස කතාවට වඩා ඉතා ඈතට හෙළයන්ගේ කතාව ගෙන යන දෘෂ්ටිවාදී පුරාණෝක්තියකට බුදු දහම එහි හරය වෙත උකහාගන්නට හැකියාවක් නැත.

කුමාරතුංගගේ හෙළ ගීය නම් ප්‍රකට ‍රචනයේදීද තෙරුවන සේ රකින්නැයි කියන්නේ ද හෙළ භාෂාව, ජාතිය සහ දේශය යි. කුමාරතුංග ආගම ගැන ඇතැම් ලිපි ලේඛනවල සඳහන් කළ බව ඇත්ත ය. එහෙත් ඔහු වෙත දැකිය හැකි වැදගත් ගුණයක් නම් ලෞකික තාර්කික චින්තනය වෙත ඇති කැපවීමයි‍. රජයේ ගුරු විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි කාලයේ ඔහු සම්මත අදහස් ප්‍රශ්න කරන පුරුද්දෙන් යුතු වූ බව ද කියවේ. ඔහු සම්භාව්‍ය සිංහලයේ මහා කවියකු වූ ශ්‍රී රාහුල හිමිගේ කාව්‍යශේඛරය දරුණු ලෙස විචාරය කිරීම නිසා විවාදාත්මක පුද්ගලයකු වූ බව ද කියනු ලැබේ. අමරසි‍රි ගුණවර්ධන ලියූ ‘මහ හෙළ වත’ කෘතියේදී කුමාරතුංග චරිතය කාව්‍ය වීරයකුගේ තත්ත්වයට පත් කෙරෙන නමුත් ඔහුගේ විමංසනසීලී ‍බව ද තර්කානුකූල කල්පනය ද මැදහත් ගුණය ද විශේෂයෙන් විස්තර වේ. හෙළ හවුලේ නායකයා පිළිබඳ ලියන ලද භක්ති කාව්‍යයක් වැනි වූ ඒ කෘතියේ දී පවා දෘෂ්ටිවාදී සතුරන් මැඬීමේ සමත්කම් සේම ඔවුන්ට මැදහත් සිතින් සවන් දීමේ ගුණයක් කුමාරතුංග වෙත වූ බව කියවේ. ඒ මැදහත්කම් ඔහුගේ ගෝළබාලයන් ද එවන් ගෝළබාලයන්ගේ අනුග්‍රහය ලද සීමාන්තික සිංහල ජාතිකවාදීන් ද වෙත අද නැත්තේ මන්ද යන්න සැලකිල්ලට ගත යුතු කාරණයකි.

පාඨා­ශාලා පරී­ක්ෂකවර­යකු වශ­යෙන් 1920 දී

 

යටත් විජිතවාදය විසින් දෙවැනි තැනට ඇද දමනු ලැබ තිබුණු සිංහල භාෂාව ඉංග්‍රීසියට පමණක් නොව පාලි සහ සංස්කෘත භාෂාවලටත් දෙවැනි නොවන බව කුමාරතුංග විශ්වාස කළේ ය. ඒ නිසා ඔහු සංස්කෘත තත්සම මිශ්‍ර සිංහලය ප්‍රතික්ෂේප කළේ ය. මෙය යටත් විජිත සන්දර්භයක් තුළ ස්වදේශීයකයන්ගේ සංස්කෘතික දේශපාලනනයේ කොටසක් ලෙස නම් වරදක් කිය නොහැකි ආස්ථානයක් වුවත් නූතනය සිංහලය සජීවව බසක් සේ වර්ධනය වන්නට ඉඩ දීම යන කාර්යයේදී නම් කොතරම් නිවැරදි ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. අද්විතීය භාෂාමය අනන්‍යතාවක් හැරුණු විට ඉන් ලැබෙන අන් දෙයක් වේද? ඒ ගැටලුව තවත් තියුණු වන්නේ භාෂාව යනු අනන්‍යතාව සඳහා පවතින්නක් නොවන බව හොඳින් ම දත් කෙනකු වූ නිසා ය. භාෂාවක පවා අනන්‍යතාව සදාතනික දෙයක් නොවන බව ද භාෂාවක් එකම ස්වරූපයකින් ස්ථාවර නොවන බව ද යන කාරණා ඔහු නොසලකා හරින්නට ඇත.

ඔහු 1939 දී ලියූ සුබස කතුවැකියකදී සංස්කෘත, පාලි, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ණයට නොගෙන සිංහලයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි ය යන විශ්වාසය පරාජය කළ යුතු යැයි කීයේ ය.‍ මා දකින හැටියට නම් භාෂා කිහිපයකින් ම නිරායාසයෙන් ආභාසය ලැබිය හැකි ආකාරයට යම් බසක් ස්ථානගත වී තිබීම ඒ බසෙහි වාසනාවකි. අනෙක යම් බසකින් තව බසකට වචනයක් හෝ යෙදුමක් පැමිණ ඒ බසෙහි ස්ථාවර වූ විට එය තවදුරටත් අර මුල් බසට අයිති දෙයක් නොවේ. ‘බස් එක’ යැයි සිංහලයට ගන්නා වචනය තවදුරටත් ඉංග්‍රීසි යැයි කිව හැකි ද? ‍ ‘බසය’ යනුවෙන් එක වචනයකුත් ‘බස් එක’ යනුවෙන් තව වචනයකුත් තිබීම භාෂාවක පොහොසත්කමකි. ඒ දෙකම අතහැර කටවහරට ද ගත් වහරටද නුහුරු යෙදුමක් අවශ්‍ය නම් සාදාගන්නටත් එය අද්විතීය අනන්‍යතාවක ලකුණු යැයි කියන්නටත් පුළුවන. එහෙත් එය භාෂාවක සජීව ගලායෑමට කරන්නේ කුමක්ද? මේ නිසමා කුමාරතුංග සහ ගෝළ පිරිස පිළිබඳ ඉතාම සහවේදනීය ආකල්පයක් දරන නූතන වාග් විද්‍යාඥයකු වන මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පවා මේ ප්‍රවණතාව දකින්නේ පරමාදර්ශී සංස්කෘතික අමිශ්‍රිතභාවයක් පිළිබඳ දෘෂ්ටිවාදයක් ලෙස ය.

අදීනත්වයේ සීමාව

ඔහුගේ ‘හෙළ’ සංකල්පය සීමාන්තික දේශජභාවයක් පෙන්නුම් කරන අතරම ඔහුගේ නිර්මාණාත්මක වූ ද අදිනවූ ද චින්තනය ද දක්වන බව කිව යුතු ය. ඔහු හෙළයා සම්භව පුරාණෝක්තියක් ඔස්සේ (එනම් සිංහබාහු කතාව ඔස්සේ) ඉන්දියානු ආර්යන්ට සම්බන්ධ කරන්නට ද අකමැති විය. ‍ඔහු මේ දෘෂ්ටිවාදය ගොඩනඟන කාලයේදී පවා සිංහලයන් සහ ආර්යන් අතර සම්බන්ධය පිළිබඳ මතවාදය නැඟී එන සිංහල ජාතිකවාදයට වැදගත් වේ. එපමණක් නොව ප්‍රාචීනවාදීන් යැයි ‍හැඳින්වෙන යු‍රෝපීය ලේඛකයන් ද සිංහල භාෂාව ඉන්දියානු ආර්යයන් සමඟ සම්බන්ධ කර තිබිණි. බුදු දහම සහ සිංහලයන් අතර සම්බන්ධය වඩාත් ඒත්තු යන සේ ආඛ්‍යානගත කළ හැක්කේ ආර්ය ඉන්දියාව හා සම්බන්ධය පිළිගතහොත් ය‍. එහෙත් එවැනි අධිපති බුද්ධිමය පසුබිමකට පසුබිමකට එරෙහිව සිය හෙළ මතවාදය පිහිටුවීමට නම් ඉතා අදීන චින්තක‍ෙයකු විය යුතු ය. විජය නම් හොර දෙටුවා සහ ඔහුගේ සහචරයන්ගෙන් හෙළ ජාතික බිහි වූයේ යැයි කීම අපහාසයකියි කුමාරතුංග 1941 The Helio සඟරාවෙහිලා කීවේ ය. විජය එන්නට වසර දහස් ගණනකට පෙර පවා හෙළයන්ගේ ශිෂ්ටාචාරය අන් කිසිම රටක නොවූ තරම් වර්ධිතව පැවැති බව ද කීවේ ය.

මෙවැනි සංස්කෘතික පරිශුද්ධවාදී මතවාදවල ශේෂයන් අද කරන කාර්යන් කෙසේ වෙතත් එකල නම් කුමාරතුංග වෙතින් පළවන්නේ දෘඪතර අදීනත්ව‍යකි. අදීනත්වය පිළිබඳ සීමාන්තික දෘඪතරභාවයම යම් සංස්කෘතියක වර්ධනය අඩාළ කරන්නට ඉඩ ඇත.‍ ඔහු අලුතින් මහා පුරාණොක්තියක් ගොඩ නැඟුවේ පමණක් නොව, ඔහු ද පුරාණෝක්ති වීරයකු බවට පත් විය.

රසවාදයේ රස උරා ගැනීම

කුමාරතුංග විසින් රසවාදය වැනි සංස්කෘත විචාර සිද්ධාන්ත භාවිත කළ ආකාරය ද ඔහුගේ අදීනත්වය පෙන්වන තවත් තැනකි. සංස්කෘත කාව්‍ය සිද්ධාන්ත දේශීයකරණය කිරීමේ නැඹුරුව සියබස්ලකර කතුවරයාගේ සිටම සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි දැකිය හැකි ලක්ෂණයකි. එය ‘පෙදෙන් බුදු සිරිත’ කියන තැනින් ම පටන් ගන්නා දෙයකි. පාලියෙන්, සකුවෙන් යමක් ගත් තැන පමණක් නොව දෙමළෙන්, ඉංග්‍රීසියෙන් යමක් ගත් තැනදී ද දේශීය කවියා සහ බුද්ධිමතා එය කර ඇත්තේ ඊට දේශීය ලක්ෂණ දෙමිනි. මාර්ටින් වික්‍රමසිංහ නවකතා න්‍යාය දේශීයකරණය කළ සැටි කදිම නිදසුනකි. කුමාරතුංග තුළ ද මේ ගුණය විය. ඔහු සාහිත්‍යය නිසා ඇති වන රස විස්තර කරද්දී අලුත් රසයක් හඳුන්වා දුන්නේ ය. ඒ කුතූහලය රසය (කුහුලුරු) රසය වේ. විරිත් වැකියෙහි ඒ ගැන නිදර්ශන සහිතව විස්තර වේ. කුතූහලය රසයක් ලෙස ගත හැකි ද නොහැකිද යන්න විවාදාත්මක වුවත් අප මෙහිදී දැකිය යුත්තේ සංස්කෘත සිද්ධාන්ත ඇසුරෙන් සෛද්ධාන්තික පරිකල්පනයෙහි යෙදෙන්නට ඔහු දක්වන නැඹුරුවයි. කතා කලාව පිළිබඳ කතිකාව තුළ රසිකයාගේ කුතූහලය වෙත අමතන ආකාරය ගැන ද අවධානයක් ඇත. ‘පියෙන් පිය තව තව වඩ වඩා සිත අදින දේ ඇතැයි හැඟැවුම නැති පබඳ නොපැතිරේ,” යැයි කුමාරතුංග ක‍ීවේ ය. මා නම් සිතන්නේ මෙහි ඇත්තක් ඇති බවයි. කුමක් කවර තැන කෙලෙස කියන්නේ ද යන්න කතාවක් ගෙතීමේ වැදගත් අංගයකි. එය හුදෙක් කුතූහලය පිණිසම නොවේ. යමක් කියන ආකාරය එහි අර්ථයේ කොටසක්ය යන්න අද විචාරවේදය තුළ පිළිගත් අදහසකි. මේ අලුත් රස සංකල්පය වර්ධනය කරන්නට කුමාරතුංග පෙලඹුණේ නවකතා සහ කෙටිකතා යනාදී කතා කලා එකල වර්ධනය වෙමින් පැවැති නිසා විය යුතු ය.

එහෙත් කුතූහලය යනු පහත් මිනිස් ආශයක් යැයි ඊ.එම්. ෆෝස්ටර් Aspects of the Novel කෘතියේදී කී කියුම් මාර්ටින් වික්‍රමසිංහ ඔස්සේ සිංහලයට පැමිණ වැරදි ආකාරයට භාවිත විය. කුතුහලය නොවැදගත් යැයි‍ ෆෝස්ටර් කීවේ නැත. ඔහු තර්ක කළේ කුතූහලය හා සමඟ බුද්ධිමය චින්තාවත් එක් කිරීම නවකතාවේ කාර්ය විය යුතු බවයි. එහෙත් කුතූහලය රසයක් සේ වටහා ගන්නට තැත් කරන කුමාරතුංග දැඩි විචාරයකට ලක් කරන එවකට තරුණ කථිකාචාර්යවරයකු වූ ආරිය රාජකරුණා ‘සම්ප්‍රදාය හා සිහින ලෝකය’ කෘතියේ දී කුතූහලය පහත් ආශයක්ය යන කාරණය පුනරුච්චාරණය කරයි. මේ කෘතියේ දි රාජකරුණා විසින් කුමාරතුංගගේ අදහස් පරීක්ෂා කරන ආකාරය තුළ ද අගය කළ යුතු අදීනත්වයක් දැකිය හැකි වුවත් කුතූහලය කුමාරතුංග ගැන කියන දේ මගේ නම් සිත් ගනියි. අඩු තරමින් වර්තමාන ආඛ්‍යාන න්‍යාය තුළ නම් කුතූහලය පහත් දෙයක්ය යන අදහස එතරම් පිළිනොගැනේ.

භාවිතය දෙස බලා ඇගයීම

කුමාරතුංග අන් භාෂාවලින් ගත් වචනයෙන් යුතු මිශ්‍ර සිංහලය අප්‍රිය කළ බව අපි ඉහත කී‍ෙවමු. එහෙත් ඔහුගේ ශාස්ත්‍රීය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන සම්භාව්‍ය කාව්‍ය සංස්කරණයේදී ඔහු හෙළ කවිවල අරුත් කීවේ සංස්කෘත වචන හරි හරියට යොදමිනි. ‘අශ්ලීල පද්‍ය නිරසනය ගැනැ ද කියැ යුතු මඳ කරුණෙක් වෙයි. අධ්‍යාපන මණ්ඩලය විසින් ප‍ෙරවි සන්දේශය නියම කරන ලද්දේ බාලයනට නොවේ. ශික්ෂකයන්ගේ අවසාන සාක්ෂ්‍ය පත්‍රය සඳහා කැරෙන පරීක්ෂණයටයි” නිදසුනකි. මෙවැනි තැන් රැසක් ඔහු ලියූ විවරණවල දැකිය හැකි ය. ඔහුගේ ගෝළයෙකු ලියූ ගැදි කොටසක් හා මෙය සසඳා බලමු. “හෙළ බස තරම් පින්වත් බසෙක් තවත් ඇත් ද යනු පිළිතුරු පතන පැනයෙකි. එහි පැරැණි බව සලකන කලැ අතරක් නැති වැ එයට දිගට හරහට පත් විපත් පමණ මනනා කලැ මෙතෙක් පැවැත්ම යැ ඇසිරිය! එතෙක් පර සතුරන් ගේ මෙතෙක් සිය සතුරන්ගේ රුදුරු උවදුරු ගොදුරු වෙමින් එ සා කලක් රැකුණේ කවර බස ද? ඒ අතින් බලත් හෙළ බස් පින් බල බලවත් මැ යැ.” මෙම කොටස ගත්තේ මහ හෙළ වතිනි. එහි කතු ලියන බස සිය නයුවා ලියූ බසට බොහෝ වෙනස් ය. එහෙත් මෙය ද සිත් ගන්නා ශෛලියකි. මහ හෙළ වත වැනි කෘතියක් කියවන කල සැබෑ ලොවෙන් වෙනස් වූ අමුතුම ‍ෛශලියක නාට්‍යයක් බලන්නාක් මෙන් කෙනකුට දැනේ. එහෙත් එය සිංහලයේ තවත් එක් ශෛලියක් විනා මහා ශෛලිය හෝ එකම ශෛලිය නොවන බව කිව යුතු ය. කුමාරතුංග මේ කරුණ බසින් කියුමෙන් කෙසේ වෙතත් කෙරුමෙන් පිළිගත් බව පෙනෙන්නේ සකු තත්සම මුසු බසින් ඔහු කළ විවරණ දකින කලය.

ඒ නිසා සංස්කෘත තත්සම බහුල සිංහලය පලක් නැති දෙයකියි ඔහු කී බවත් කිව නොහැකි ය. හෙළය අනන්‍යතා කාරකය වුවත් හෙළ නොවන සිංහලය අනවශ්‍ය භාෂා විධියක් යැයි ඔහු ක්‍රියාවෙන් ම පෙන්නුම් කළේ යැයි කියන්නට පුළුවන. එසේ ම ඔහු විසින් නිපදවන ලද යෙදුම් බොහෝ ගණනක් දැන් සිංහලයේ ස්ථාවරව මුල් ඇද ඇත. ඒ කවර මලකින් එන සුවඳක් දැයි නොදැන වුව සුවඳ විඳින අය මෙන් අපි ඒ වචන නිති පතා යොදමු. රජය, සරසවිය, අණුදක්නය, දක්නය, රැකියාව, හැකියාව, සැසි ආදිය එසේ මුල් අදින ලද වචන වේ. එලෙසින් මුල් නො අදින ලද වචන ද ඔහු විසින් තනන ලදී. මුල් ඇදි වචන ඉතා අගනා බව ඇත්ත ය. එහෙත් ඔහු සහ ඔහුගේ ගෝලයන්ගේ උසුළුවිසුළුවලට ලක් වූ සංස්කෘත තත්සම වචන ද රාශියක් යට කී ලෙස ම මුල් ඇද ඇත. ඒවා සමුද්‍ර ඛාදන, පාංශු ඛාදන, ප්‍රභාසංස්ලේෂණය ආදී වචන ඇත. මේ වචන දෙවිධියම දැන් අපේ සමකාලීන විඥානයට කා වැදී ඇත. ඒ නිසා අද අප භාවිත කරන ශිල්ප වචන මාලාවල කුමාරතුංගගේ ආත්මීයත්වයට ද (Self) සහ ඔහුගේ අනෙකා ද (Other) එක විට පවතී. අප පැරණි වීරයන් අප වෙත එලෙසින් උකහා නොගන්නේ නම් අපට හසුවන්නේ වීරයන්ගේ අසම්පූර්ණ අර්ධයක් පමණි. ඉන් පසු අප කරන්නේ ඒ අර්ධ‍යක් කෙමෙන් කෙමෙන් ඛාදනය කර දැමීමයි.

කුමාරතුංග වැනි යුගකාරක ධීමතුන් නිශ්චිත ඓතිහාසික අවස්ථාවක කළ කී දේ ඒ සන්දර්භයෙන් පිටතට ගෙන ඔවුන් සර්වකාලීන වීරචරිත සේ ගෙන ඔසවාගෙන යෑමෙන් බිහිවන්නේ සංස්කෘතික වීදි මැරයන් මිසක් ධීමතුන් නොවේ. දේශපාලනික වශයෙන් මුනිදාස කුමාරතුංග ගේ වෑයම කෙරෙහි වඩා සහනුකම්පිත විද්වතකු වන මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සිය (Language, Religion and Ethnic Assertiveness පෙන්වා දෙන හැටියට හෙළ හවුලේ වූ ප්‍රභූවාදී චින්තනයත්, පාරිශුද්ධවාදී භාෂා සංස්කෘතික ආකල්පත් නිසා හෙළ වහර ජනතාව අතර මුල් ඇද්දේ නැත. අද කුමාරතුංග වැනි පඬිවරයෙකුගේ මෙහෙවරින් පල ලැබිය හැක්කේ ඔහුගේ කළ දේ අතර වූ දීප්තිමත් දේ මැදහත් සිතින් යළි අගය කිරීමෙන් පමණි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්