කාව්‍යකරණය යනු අලුත් අලුත් දෑ නිපදවීමේ පදනමයි
කාව්‍යකරණය යනු අලුත් අලුත් දෑ
නිපදවීමේ පදනමයි
දේශයක්
පරාධීනත්වයෙන් ස්වාධීනත්වය කරා ගමන්
කිරීමේ දී මිනිසාගේ චින්තන ස්වාධීනත්වය
මුල් තන්හිලා සැලකූ කුමාරතුංග ජනතාව
දැනුමෙන් ආඪ්‍ය කිරීම සහ එසේ ස්වාධීන
චින්තනයෙන් යුත් දැනුමෙන් ආඪ්‍ය වූ ජන
සමූහයක උත්පාදක ශක්තිය වර්ධනය කිරීම
ස්වකීය සමාජ දර්ශනයේ පදනම ලෙස ගත්තේ ය.
සාහිත්‍ය නිර්මාණකරණය ද කුමාරතුංග
විසින් පිළිගන්නා ලද්දේ මිනිසාට නව නිර්මාණ
බිහි කිරීමට පදනම සකස් කරන භාවිතයක්
ලෙසිනි.
කව් කරන්නේ අලුත් - දෑ සිත්හි නිපදවයි
සිතින් නිපදවන්නේ - අතින් නව දෑ තනයි
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟී
හිඟා කෑම බැරිවුණු තැනැ ලගී ගයා මරගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නො හැඟී
මහ දද දන ගණ උපදින කලැ පර දෑ අනැඟී
සිත නිදහස් බවට
නො පමුණුවා පළමු කොට
නිදහස සිය රට
ලමු යි ෙයති දදහු ඇතියෙන් තට
හිත නිදහස් කරන හොඳ ම
ගුරු කම කව් මගට වැටුම
එයිනැනොත් සිය දෑ පෙම
ළ දෙන්නැ කව් ලොවට පුදුම
දේශපාලන නිදහස යනු කුමාරතුංගට වියුක්ත
සංකල්පයක් නො වී ය. පරාධීනත්වයෙන්
මිදුණු ස්වාධීන චින්තනය, ඒ ස්වාධීන
චින්තනයෙන් ජනිත වන නව සිතුම් පැතුම්
අන්තර්ගත කවිත්වය, මිනිසාගේ උත්පාදක
ශක්තියෙහි ආබද්ධ අංග ලෙස පිළිගන්නා හෙතෙම
නිදහස් දැයක මුල් පෙළෙහි කවියා අසුන් ගන්වයි.
ප්ලේටෝගේ පරමාදර්ශී ජනරජයෙන් පිටුවාහල්
කෙරුණු කවියාට කුමාරතුංග ස්වකීය
පරමාදර්ශී නිදහස් රාජ්‍යයෙහි වැදගත් ම
ස්ථානය හිමි කර දෙයි. ඒ කවියා අහංකාර
දේශපාලකයා මතු නො ව දෙවියකු කී දෙයක් වත්
කරුණු නැති වැ නොඅදහන්නෙකි.

“සත් කරු ගත් කරු පමණ
ඔබ හට කරුණෙක් නොවේ
දෙවියකු කී දැයක් වත්
කරුණු නැති වැ නො අදහනු”
කුමාරතුංග කවිය (සාහිත්‍යය) යනුවෙන් හුදු
පරිකල්පනය ප්‍රමුඛ කරගත් භාව විෂයක
ක්‍රියාවලියක් අරමුණු නො කළ බව ඉහත
අදහස්වලින් ඉඳුරා ම පැහැදිලි වෙයි. ඔහුට
ආසන්න සමකාලික පූර්වගාමියකු වන විශ්ව
කීර්තිධර කලා විචාරක ආනන්ද කුමාරස්වාමි
මිනිසාගේ නිර්මාණශීලී හැකියාව ජාතියක
උත්කෘෂ්ට බව නිර්ණය කිරීමෙහි ලා ප්‍රමුඛ
සාධකයක් වන බව 1909 තරම් කාලයක දී මෙසේ
පවසා තිබේ. ‘ජාතියක නැග්ම හෝ බැස්මෙහි
ප්‍රමාණය තීරණය වන්නේ එරටෙහි සාහිත්‍ය,
කලා, සංගීතය ආදියේ නැග්මෙහි හෝ බැස්මෙහි
ප්‍රමාණය තීරණය මතයි. ජාතියක තත්ත්වය
ගොඩනැඟීමෙහි ලා ප්‍රධානතම කාර්ය භාරය ඉටු
කරන්නේ, කවීන් ය’. අධිරාජ්‍යවාදීන් මෙරට
ස්ථාපිත කළ අධ්‍යාපන ක්‍රමය ඔවුන්ගේ
දේශපාලන අරමුණු ඉලක්ක කරගත්
අනුකාරකයන් බිහි කරන්නක් බවත් සැබවින් ම
ඉංග්‍රීසි අධ්‍යාපනය යටතේ බිහි වූ ලාංකේය හා
ඉන්දියානු පිරිස් පරිසමාප්තයෙන් ම උගත්
ප්‍රජාවක් නො වූ බවත්, ආත්මය විනාශ කරගත්
පරම්පරාවක් වූ බවත් කුමාරස්වාමි පෙන්වා
දී තිබේ. ඉන්දියාවේ හා ලංකාවේ එවකට
ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය
කුමාරස්වාමිට අනුව කලා රසවින්දනය විනාශ
කිරීමටත් සංවේදීභාවය විනාශ කිරීමටත්
සමත් අනිටු විපාක ගෙන දෙන්නක් ම විය.
පරාධීනත්වයෙන් අත්මිඳීම යනු බටහිර
අධිරාජ්‍යවාදී ග්රහණයෙන් මතු නො ව දේශීය
හෝ වේවා පෙරදිග හෝ වේවා සකලවිධ
අගතිවලින් නිදහස් වීම බව කුමාරතුංග
සැලකූ වග ඔහු පුරාණ අකුරුකරණය පොත් පෙළෙන්
ගණ දෙවි හෑල්ල ඉවත් කොට, ඒ වෙනුවට අකුරු
සැහැල්ල නමින් අලුතින් පබඳන ලද කෘතියක් එක්
කිරීමෙන් පැහැදිලි වෙයි.
“මේ පොත් පෙළේ සතර වැන්න වූයේ ගණ දෙවි සැහැල්ල
යැ. සිංහල දරුවන්ට ඒ නුසුදුසු යැ යනු අපගේ
මතය යි. භාෂාව ද වරදින් ගහන යැ, අදහස් දීන
බවට හිත යැ. එවැනි භාෂායෙන් එවැනි අදහස්
දරුවන්ගේ හිතට වැද්දීම අපරාධයෙකි. එයට
හවුල් වන්නට නොකැමැති වූ අපි මේ අභිනව
ග්‍රන්ථය නිපැදවූමු.”
මිනිසා විසින් නිපදවනු ලබන දැනුම
අදෘශ්‍යමාන දේව වරමක ඵලයක් ලෙස
පිළිගැනීමට කුමාරතුංග අකමැති වූවා
පමණක් නො ව කියවන නුවණ පොත් පෙළේ සවන පොතෙහි
ඇතුළත් කෙරුණු ‘ගණිසුරු විදුලිය පන්දම’
නමැති පැදි පෙළෙන් ගණ දෙවියන්ගේ සොඬගට
විදුලිය පන්දමක් දී, මඟ යන බසයකට නංවා
නවීන විද්‍යාත්මක දියුණුව හමුවෙහි දෙවියන්
අසරණ වන සැටි ද නිරූපණය කරයි. අවසන
ගණිසුරු ලවා ම කියවන මේ අදහස්, එක්
පරපුරක් නිර්මාණය කළ ඥානය ඊළඟ පරපුර
විසින් අතික්‍රමණය කිරීමේ ශිෂ්ටාචාරයක
වර්ධනයේ වැදගත් ම සාධකය පිළිබඳ
කුමාරතුංගයන්ගේ දැක්ම හෙළි කරන තැනකි:
පෙණෙහෙල්ලක් වනමින් යන
පිටිසරයා පවා මෙ දින
විදුලිය පන්දමක් යොදන
බව දැ න්
නම් මටත් පෙනෙන
මොනරා වාහන නියමේ
ම - සොහොවුරා කතර ගමේ
යෙදේ යැ ඇතු නැග වැඩමේ
සුදුසු නො වෙ ද සමයට මේ
යතත් ගොනකු නැඟැ නියමෙන්
ම ගේ පියා කල් යෑමෙන්
අවහොත් කොළඹට මා මෙන්
ගනී රියක් නො යන සෙමෙන්
විද්‍යා තාක්ෂණ දැනුම ලොව පුරා ව්‍යාප්ත
වෙමින් පැවැති වකවානුවක දැනුම සම්බන්ධ
පාරභෞතික සංකල්ප මෙන් ම දේව විශ්වාසය ද
සිංහල සාහිත්‍ය පරිමණ්ඩලයක ප්‍රථම වතාවට
අභියෝගයට ලක් වූයේ කුමාරතුංග මුනිදාස
අතිනි. සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම
නූතනවාදී කවියා ලෙස කුමාරතුංග මුනිදාස
හැඳින්වීම සාකල්‍යයෙන් ම යෝග්‍ය බව මේ
නිර්මාණය සාක්ෂ්‍ය දරයි. පස්වෙනි ශ්‍රේණියේ
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්හට
විභාග ජයග්‍රහණය උදෙසා ගණ දෙවි පූජා පවත්වා
ජීවම් කළ පෑන් ඔවුන්ගේ සුරතට ලබා දෙන්නේ
කුමාරතුංග මුනිදාස මේ ප්‍රාථමික විශ්වාස
සරදමට ලක් කොට වසර හැත්තෑ පහකටත් අධික
කාලයක ඇවෑමෙන් වීම උත්ප්රාසය දනවන
කරුණක් වන්නා සේ ම කුමාරතුංග මේ වනවිටත්
ලාංකික සමාජ පසුගාමීත්වයට සියවසක්
ඉදිරියෙන් සිටින බව ද තහවුරු කරන්නකි.
කවිය යනු හුදු භාව විෂයක ප්රපංචයක් නො
වන්නක් බව තහවුරු කළ සේ ම කුමාරතුංග කවියක
අන්තර්ගත විය යුතු වැඩදායක අරුත අවධාරණය
කර දැක්වීම ද වැදගත් කරුණකි.
අරුත යැ පදය යැ යි - පබඳෙහි දෙ කොටසෙකි
පබඳින්නහු හදෙහි - අරුත පළමු තැනේ
ඉක්බිති ඔහු විසින් - අරුත නිසි පදයෙන්
අනූනට වැඩ පිණිස - පහළ කරනු ලැබේ
මෙ ලෙසින් හද පබඳ - පද පබඳ යැ දෙකෙකි
එ දෙක සැම’තින් සම - වුව එ හොඳ පබඳකි
හද පබඳ පළමු මැ - කොට නිමැවියැ යුතු යැ
ඉක්බිති පද පබඳ - බවට නැඟියැ හැකි යැ.
හද පබඳ සපයා - ගත්තේ පද හසර
දනී නම් විසිතුරු - පද පබඳක් කෙරෙයි
හද හිස් වූ එකකු - ‘පබඳක් සපයමි’ යි
ඉඳ ගෙනැ, කල් නසා, - කරනුයේ විහිළු යැ
කුමාරතුංග විසින් පෙන්වා දෙන ලද මේ මාහැඟි
අරුත දහස් ගුණයක බලවත් කමකින් අපට දැනෙන්නේ
වත්මනෙහි හද හිස් වූ වද පබඳකරුවන් විසින්
පබඳිනු ලබන කවි කසළ කඳු කන්දරාව දකින විට
ය.
කාව්‍ය හා සම්බන්ධ කුමාරතුංගයේ ඊ ළඟ
වැදගත් මැදිහත්වීම වන්නේ පුද්ගල සන්තානගත
ආත්මීය සැමරුමක් අනවශ්‍ය භාවාත්මක ආසක්ත
වීමකින් තොර ව කාව්‍යයට නැඟීමට උත්සාහ
කිරීම යි. ‘පියසමර’ කාව්‍යය පුරා ඇත්තේ
භාවාත්මක සැමරුම් ය. පෙරදිග සංස්කෘතිවල
පියා සහ පුතා අතර ඇති භාවාත්මක බැඳීමෙහි
අදිසි ගුණය කවියක් තුළ රැඳවීම ලෙහෙසි පහසු
කාරියක් නො වේ. කවියා එම භාෂා
ප්රාතිහාර්යය පාන්නේ භාෂාව මෙන් ම ඒ හා
සම්බන්ධ විරිත ද මනා ලෙස සංයෝග කිරීමෙනි.
ඉඳිගසා’ර අසාර වැ පාළු වී
අඳුරු වී යැ ගමත් දහවල් පවා
රට - තොටේ ඔබ නම් ගෙනැ කී බසක්
මිසැ වෙනින් සඳහන් පමණත් නො වෙයි
(පිය සමර, පි. 61)
සිංහල කවියෙහි කාව්‍යමය වාග් ව්‍යහාරය
පිළිබඳ මනා වැටහීමක් ඇති මාර්ටින්
වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංගගේ පිය
සමර අරබයා කර ඇති විග්‍රහය මෙහි ලා දැක්වීම
යෝග්‍යය.
‘පිය සමර සංක්ෂිප්ත කාව්‍යයක් වුව ද එය තරුණ
කවීන් විසින් විමසා බැලිය යුතු රචනයක් වීය.
පිය සමර රචනයෙහි දී කුමාරතුංග කෝට්ටේ
කාලයෙහි කවීන් විසින් පට්ටගහනු ලැබූ විරිත්
නොගත්තේ ය; එළි වැට බැහැර කෙළේ ය. නූගතුන්
නොමග යවන මිහිරිසර නඟන විරිතක් නොගත්තේ ය.
උගත් කවීන් මෙන් කුකවින් විසින් ද නැවත
නැවතත් වහරනු ලැබීමෙන් අඩ පණවුණු පද මාලාව
ද බැහැර කළේ ය. ‘තුටු සාගරය’ හැර පැරණි
කවීන්ගේ වහරින් මැලවුණු අනික් අලංකාරයක්
පිය සමරෙන් සොයා ගැනීම ලෙහෙසි නොවේ.
පිය සමර රචනයෙහි දී බැහැර කළ යුතු තවත්
වහරකට මුල් තැන දෙනු ලැබීම කුමාරණතුංගගේ
කවිත්වයට හානිකර වී ය... ‘කුමාරණතුංගගේ
පිය සමරට වස්තු වූයේ ඔහු දරුවකුව සිටි
කාලයේ තම මවුපියන් නිසා සිතූ සිතුම් හා
හැඟුණු හැඟීම් ය. රජුන්ගේ විසිතුරු
ජීවිතයත් නගරයෙහි අලංකාරයත් වර්ණනා කළ
පැරැණි කවීන්ට රුචි වූ කිකිණි හඬ නඟන පද බහුල
කෝෂය පමණක් නොව බස් වහර ද එවැනි වස්තු
වර්ණනයට අනුචිත ය. කුමාරතුංග ඒ පැරැණි පද
මාලාව බැහැර කෙළේ ය. ඒ පද මාලාව වහරනු ලැබීම
නිසා උපන් රීතිය ඒ පදමාලාව නැමැති ඇඳුමෙහි
මෝස්තරය වැන්න. පැරැණි පද මාලාව නැමැති ඇඳුම
ඉවත දැමූ කුමාරණතුංග එහි මෝස්තරය නමැති
රීතිය බැහැර නො කෙළේ ය.
ඔහු ඒ රීතියෙහි අනෞචිත්‍ය දෝෂය දුටු බව
ඔහුගේ කුමර ගීයෙන් හා අනික් ඇතැම්
පද්යාවලින්ගෙන් හෙළි වෙයි. ‘කුමර ගී’
රචනයෙහි දී පිය සමර වාග් රීතිය බැහැර කරනු
ලැබීමෙන් හෙළි වන්නේ ආත්ම විවේචනයට ද
හුරුවන සේ දියුණු වුණු ඔහුගේ අකපට විචාර
බුද්ධිය යි. නූගතුන් හා තම අනුගාමිකයන්
ද රැවටීමෙන් රැකගත යුතු පාණ්ඩිත්‍යයක්
ඔහු කෙරෙහි නොවීය.
ඔහුගේ සිත් ගත් විෂයන් එහි කෙළවර දකින
ආශාවෙන් ඔහු විචාර බුද්ධියෙන් උගත්තේ ය.
ඔහුගේ විචාර බුද්ධිය, භාෂාව, වියරණය හා
කාව්‍යය ද පිළිබඳ දැනුම විසින් හික්මවනු
ලැබී ය. එහෙත් එය අන්‍යයන්ගේ ශක්තිය මෙන්
දුබල තැන් ද දකින විචාර බුද්ධියක් වීය. ඔහුගේ
පළමු කාව්‍ය වන ‘පිය සමර’ නොපැසුණු බොළඳ
වර්ණනයෙන් හැඟුම්වලින් තොර වූයේ ඔහුගේ ඒ
විචාර බුද්ධිය නිසා ය. මෙකල බස් වහරින්
ගිලිහුණු පදයෙන් හා රීතියෙන් වැසීමෙන් තම
සිතුම්වලට හා හැඟීම්වලට විදග්ධ වේශයක්
දීමට වෑයම් කිරීම අව්‍යාජ කවියකු වශයෙන්
තමාට නොතරම් කාරියක් යයි අවංකව හැඟුණ
බැවිනි. කුමාරණතුංග ‘කුමර ගී’ රචනයේ දී
පිය සමර භාෂා රීතිය බැහැර කළේ ය.
(වික්‍රමසිංහ, 1957 – 9 – 20)
කුමාරතුංග විසින් රචිත ළමා කාව්‍ය නිර්මාණ
විමර්ශනය කරන කල දැක ගත හැකි වන්නේ කෝට්ටේ
රාජධානි කාලයෙන් පසු ව සිංහල භාෂාව
නිර්මාණාත්මක ප්‍රකරණයක භාවිත කෙරුණු
ප්‍රථම අවස්ථාව එම ළමා කාව්‍ය නිර්මාණ
සමුච්චය බවයි.
ළිහිණියකු වැ පියා හඹව
මුවකු ලෙසට පුතුන් ලබව
පෑ හිස මෙලොවට බර බව
පා පර ලොව දෙසට ඔබව
වවුලු රජින්දේ
සවිමත් අත්තෙකැ පැලැඹී
පුහුළම මිරිකා රස බී
කජුව අපට හෙළනු හොබී
අපිදු එය මැ සොයමු එබී
වවුලු රජින්දේ
ගඟට නො කොටැ කිසිවෙකු හට
ගඟට පැමිණැ නො වැ උගහට
රහට උරන රසය කහට
කහට නො වෙද පෙම ඔබ හට?
වවුලු රජින්දේ
‘වවුල් තොහුව’ නමැති මේ නිර්මාණය අපගේ විශේෂ
අවධානයට ලක් විය යුතු යැයි සිතමි. මේ
නිර්මාණය සමාජ සංක්රාන්තියේ එක්
වකවානුවක පැවති ළමා ලෝකයේ විචිත්රත්වය
සංරක්ෂණය කළ සංස්කෘතික ආලේඛ්‍යයක් වන්නා
සේ ම සාමාන්‍ය සිදුවීමක් දෙස අලුත් ඇසකින්
නිර්මාණශීලී ව බැලීමට කවියාට තිබූ
නිරර්මාණශීලී හැකියාව පෙන්නුම් කරන්නකි.
කුමාරතුංග විසින් නිර්මිත විශිෂ්ට කාව්‍ය
නිර්මාණ තුනක විද්‍යමාන වන ප්‍රතිභා ශක්තිය
සහ කාව්‍යමය වාග් ව්‍යවහාරය පිළිබඳ සඳහන්
කරමින් මේ ලිපිය නිම කරන්නට අදහස් කරමි.
‘නැළැවිල්ල’, ‘මල් බස්’ සහ ‘හාවාගේ වග’ යන
කාව්‍ය නිර්මාණ අපූර්ව වස්තු නිර්මාණය
සම්බන්ධයෙන් කුමාරතුංග සතුව පැවති
ප්‍රතිභා ශක්තිය විදහා දක්වන අතර ඒ නිර්මාණ
සඳහා උපයුක්ත කාව්‍යෝචිත වාග් ව්‍යවහාරය
සිංහල කවිය නව යුගයකට සංක්‍රමණය වෙමින්
පැවති වකවානුවක ඊට අවශ්‍ය ප්‍රකාශන රීතිය
පාදා දීමක් ලෙස හැඳින්වීම යෝග්‍යය.
මහාචාර්ය ජයන්ත අමරසිංහ
|