දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»


කුමරතුඟු චින්තනය හැමදාට ම වලංගුයි

කුමරතුඟු චින්තනය හැමදාට ම වලංගුයි

වි.ජ.මු. ලොකුබණ්ඩාර

කුමාරතුංගයන් එතෙක් මෙතෙක් මේ ලක්දිව පහළ වූ මහා චින්තකයන් අතර අග්‍රතමයා ය. එතුමන් වැනි මහා පඬිවරයකුගේ විචක්ෂණ දැක්ම, නිර්මාණ අපූර්වත්වය මතු නොව, ඒ සියල්ල ඔස්සේ විශද වන අදීන නිර්මාණ පෞරුෂය ද අපගේ අවධානයට ලක්විය යුතුම ය. වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් සතු භාෂා සාහිත්‍යයික දැනුම, පාණ්ඩිත්වය අද කාලයේ ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ඇතැයි අප සිතන අයට වඩා බෙහෙවින් පෘථුල ය. එබැවින් මෙවර කුමාරතුංගයන් ගැන කෙරෙන මේ විශේෂ අතිරේකයේ ප්‍රමුඛ සංලාපයට අප ආරාධනා කළේ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ටය.

කුමාරතුංග නම් චරිතය ගැන ඔබේ කියැවීම කෙසේ ද?

කුමාරතුංග නම් චරිතය කැපී පෙනෙනවා නිදහස ලබාගැනීමේ අරගලයට වගේම නිදහසින් පසු ජනතාවගේ සුබසිද්ධියට ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් අවබෝධයෙන් ක්‍රියා කළ පඬිවරයෙක් හැටියට. සටනක් කෙරෙද්දී ඒ අවස්ථාවේ ඇති සමීප අපේක්ෂා පමණයි බොහෝ විට බොහෝ අයට පෙනෙන්නේ. කුමාරතුඟුවන් ඉන් එහා දුටු කෙනෙක්. ඔහු එහිදී කියනවා: අපේ රටේ ජනතාවගේ අනන්‍යතාව රැකිලා තියෙන්නේ භාෂාව මත බව.

එතුමා හොඳට අවබෝධ කරගත්තා, අනුරාධපුර යුගයේ සිට පොලොන්නරු යුගයෙන්, දඹදෙණි යුගයෙන් ජයවර්ධනපුර කරා ආ ගමනේදී අපේ භාෂාව ඉතාමත්ම මටසිලිටි විදියට, අර්ථ ව්‍යක්ති ඇති වන විදියට අපූරු අභිවර්ධනයක් ඇති කරගත් බව. 19 වැනි සියවසේ අග 20 වැනි සියවසේ මුල ලියැවුණු මූලික රචනා කිසිදු ඕජෝ ගුණයකින් තොර රචනා බව පේනවා. අමාවතුර, බුත්සරණ, රත්නා‍වලිය වගේ ඒවායේ ලකුණක් වත් නැති පරිහානි ලක්ෂණ තමයි ඒ කාලේ තිබුණේ.

සංස්කෘත හා පාලි භාෂා ව්‍යාකරණය අනුව එකල සිංහල භාෂා ව්‍යාකරණයක් ගොඩනඟාගෙන තිබුණා. නමුත් කුමාරතුංගයන් කියන්නේ සිංහලයට වෙන ම අනන්‍ය ව්‍යාකරණ රටාවක් තිබෙන බව නො වේ ද?

දැන් බලන්න ‘වෘක්ෂාඃ පතන්ති’ කියලා සංස්කෘතයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ‘ගස් වැටෙති’ කියන අදහසයි. ඒත් අපේ සිංහල ව්‍යවහාරයේ කියන්නේ ‘ගස් වැටේ’ කියලා. අපට ම අනන්‍ය වුණු භාෂා වියරණයක් සොයාගත් කෙනෙක් තමයි කුමාරතුංග සූරීන්. එතුමා හැම විට ම කියා සිටියේ සිංහලයට වෙන ම ස්වායත්ත ව්‍යාකරණ භාෂා රීතියක් තිබෙන බවයි.

නූතන වාග් විද්‍යාඥයන් කුමාරතුංගයන් ගැන නොපැකිළ ව ප්‍රකාශ කරන දේ ගැන ඔබ එකඟයි ද? එනම්: එතුමා නූතන වාග්විද්‍යාවේ මුල් ම ලකුණු දුටු ප්‍රාඥයා වශයෙන් කරන හැඳින්වීම ගැන...

පැහැදිලිවම. නූතන වාග් විද්‍යා සංකල්ප ගැන අග්‍රගණ්‍ය උගතුන් වන මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාතිලක, මහාචාර්ය විමල් ජී. බලගල්ලෙ වගේ අය අද කතා කරනවා කුමාරතුංගයන් එදා දුටු නූතන වාග් විද්‍යාව ගැන. නූතන වාග් විද්‍යාඥයන් පිළිගන්න සිද්ධාන්ත තියෙනවා නම් ඒවා පිළිබඳ අපූරු දැනීමක් සහජ ඉවෙන් හෝ කවරාකාරයෙන් හෝ කුමාරතුංගයන්ට තිබිලා තියෙනවා. මම පෙර පැවසූ උදාහරණය ම ගන්න. වෘක්ෂාඃ පතන්ති - ගස් වැටෙති කියන එක පිළිගන්නේ නැහැ. අපේ භාෂා රීතියේ හැටියට අප්‍රාණවාචී පදයක් නම් ඒක බහු වචන වුණත් ක්‍රියා පදය ඒක වචනයි. ‘ගස් වැටේ’ කියන එක එයට නිදර්ශනයක්.

අපේ මේ අග්‍රගණ්‍ය ලක්ෂණ මතු කරගත් විශාරදයෙක් තමයි කුමාරතුංග මුනිදාස කියන්නේ. මොකද ඔහු කල්පනා කළා මේ රට නිදහස ලැබුවාට පස්සෙ අපි අපේ භාෂාවෙන් නීති සම්පාදනය කළ යුතුයි කියලා, අපේ භාෂාවෙන් රාජ්‍ය පරිපාලනය කරන්න ඕන කියලා, සිංහලය රාජ්‍ය භාෂාව කරන්න ඕන කියලා. එතකොට ඒක කබල් භාෂාවකින් කරන්න බැහැ නේ. අපේ රටේ ඉහළ ම ස්වර්ණමය යුගයේ තිබුණු භාෂා රීතියක් තිබෙනවා. එය හඳුනාගෙන ඒ අනුව අපේ භාෂාව හැඩගස්වාගන්න ඕන.

බ්ලූම් ෆීල්ඩ්, නෝම් චොම්ස්කි වගේ වාග් විද්‍යාඥයන්ගේ මූල ධර්ම මේ අය උපදින්නත් කලින් කුමාරතුංගයන් තමන්ගේ ව්‍යාකරණ විවරණයෙත්, ක්‍රියා විවරණයෙත් සම්පූර්ණයෙන් ම සඳහන් කරනවා. අපේ භාෂාවේ ව්‍යාකරණය හැදුණේ පාලි සංස්කෘතවලින් නෙමේ ය කියන එක කුමාරතුංගයන් තදින් ම කිව්වා. විවිධ පිරිවෙන්වලින් එතුමාට පහර පිට පහර එල්ල වුණා. නමුත් ඒවා ගණන් ගන්නේ නැතිව එතුමා ඒ මතේම හිටියා. අද වාග් විද්‍යාවෙන් ඒවා සනාථ වෙනවා.

අපේ ඓතිහාසික ව්‍යාකරණයෙත් මෙය පිළිගත්තේ නෑ නේද?

සිදත් සඟරාව මුල් කරගත්ත ඓතිහාසික ව්‍යාකරණයෙන් පමණක් පෝෂණය වුණු විද්වතුන් මේක නොපිළිගන්න බව ඇත්ත. ඒත් කුමාරතුංග මහත්තයා ඒකට යට වුණේ නැහැ. වැරැදි, වැරැදි විදියට දකින්න එතුමාට පුළුවන් වුණා.

එතුමා සංස්කෘත භාෂා ප්‍රාඥයකු වීමත් මේ සඳහා බලපෑම් කරන්නට ඇති...

ඔව්. එතුමාට අසාමාන්‍ය සංස්කෘත භාෂා දැනීමක් තිබුණා. සංස්කෘත භාෂාව ගැන විවේචනය කරන බොහෝ අයට සංස්කෘත පිළිබඳ දැනීමක් නැහැ. මෑත යුගයේ සංස්කෘත භාෂාව පිළිබඳ මහා ප්‍රාඥයකු සේ බොහෝ දෙනා සලකන කෙනෙක් තමයි මහාචාර්ය සෙනරත් පරණවිතාන. පරණවිතානයන් කුමාරතුංග ගැන මෙහෙම කියනවා:

“කුමරතුඟුවන්ගේ සංස්කෘත දැනුමට සමාන දැනුමක් ඇති කෙනෙක් මෙරට හෝ පිටරටක හෝ සිටීදැයි යන්න සැක සහිතය.” ඒ 1940 දශකයේ දී කියන්නේ. තම කෙටි ජීවිත කාලය ඇතුළත එතුමා භාෂාන්තර ඥානයෙන් පරතෙරට ම ගියා.

ක්‍රියා විවරණයේ සඳහන් වෙනවා, මුළු මහත් සිංහල වියරණයේ ම තියෙන්නේ ක්‍රියා ගණ 06 යි කියලා. ඒ බල, බම, බණ, පිහිට, රක්, බස් යනුවෙන්. මහාචාර්ය හෙට්ටිආරච්චි එක් වරක් ප්‍රකාශ කළා ව්‍යාකරණ විවරණයේ නැති ක්‍රියා ගණයක් හමු වූයේ නැහැ කියලා. මේ සියලු දේ කළේ තනි මිනිසෙක්. විශ්වවිද්‍යාලයක් හෝ ආයතනයක් නොවේ. මුළු මහත් සිංහලයේ ම ක්‍රියා ගණ ඒ කෘතියේ අන්තර්ගත යි. තව ම එක ම විශ්වවිද්‍යාලයකින් හෝ ඒවාට අමතර ක්‍රියා ගණයක් හොයාගෙන නැහැ. කොතරම් ගැඹුරු, විදුහුරු දැනීමක් තිබිලා තියෙනව ද?

කුමාරතුංග කියන කවියා ඔබ මේ මතු කරන කාරණයේ දී අමතක කරන්න බැහැ. එතුමාගේ භාෂා පාණ්ඩිත්‍යය වඩාත් ඔපමට්ටම් වෙන්නේ ජාතිහිතෛෂි කාව්‍යකරණයෙන් නො වේ ද?

කුමාරතුංගයන්ගේ ජාතිවාත්සල්‍යය, ජාතික අභිමානය මතු වන ගද්‍ය ලේඛන රාශියක් තියෙනවා. එහෙත් වඩාත් පහසුවෙන් ජාතික අරගලයකදී පණ පොවන සහ පොදු ජනතාව අතරට යන මාධ්‍ය තමයි කාව්‍ය. ‘හෙළ මීයැසිය’ වැනි පොතක් ගත්තොත් ඒක පැහැදිලි ව පෙනෙනවා.

‘මා දෙස හෙළ දෙස හැර වෙන දෙසකට
මා බස හෙළ බස හැර වෙන බසකට
මා රැස හෙළ රැස හැර වෙන රැසකට
මේ හිස නොනමමි නොනමමි කිසි විට’

ඇත්තෙන් ම ගැදියකින් කියනවාට වඩා මිහිරක්, ගැම්මක්, අභිමානයක් පැදියෙන් නිර්මාණය වෙනවා. ගුරුදේව රවීන්ද්‍රනාත් තාගෝර් වැනි අය එදා මහාභාරතයේ ගෙන ගිය අරගලයට කිසි සේත් ම දෙවැනි වන්නේ නැහැ කුමාරතුංගයන් නිදහස වෙනුවෙන් ගෙන ගිය අරගලය.

හෙළ මීයැසිය පුරා ඔහුගේ ජාතිහිතෛෂි දේශ මාමකත්වය විහිදෙනවා. ඒ වගේ ම ඔහු අනෙක් ජනතාවට කවිය උගන්වන්න බොහොම වැර-වීරිය ගත්තා.

එතුමා විශ්වාස කළ, හෙළ බස ප්‍රකෘතියෙන් ම ගීතවත් බසක් ය යන මතයත් මෙයට කදිම නිදර්ශනයක්.

ඔව්. එතුමා නිරන්තරයෙන් අවධාරණය කළා හෙළ බස ගීතවත් බසක් බව. එය ඔහුගේ චින්තාවේ තිබෙන සුවිශිෂ්ට බව විදාරණය වෙන අංශයක්. ඔහු ‘ලක්මිණ’ පුවත්පතට වරින්වර ලියූ කවිවල එකතුවක් තමයි ‘කවි ශික්ෂාව’. ‘කවි ශික්ෂාව’ හදාරන කෙනකුට පෙනෙනවා ඉතා ම රසවත් දෙබස් ඇසුරෙන් සාකච්ඡාවක් ගොඩනැ‍ඟෙන විදියට කවිය ඉගැන්වෙන අන්දමට, කවිය රස විඳින අන්දමට, සහෘදයන් බෝ වෙන අන්දමට, සමාජයේ රසිකත්වය වර්ධනය වන විදියට බොහොම සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ නිර්මාණය වූ කවි සමූහයක් බව. ඒවාගේ ම ඒ කාලේ යම් යම් මතිමතාන්තර තිබුණා කවි නිර්මාණයේ දී මතු වන දෝස ගැන. කවිය ඒවායෙන් නිදහස් කරගන්නත් ඔහු බොහොම වෙහෙස ගත්තා. ‘විරිත් වැකිය’ ඊට නිදර්ශනයක්.

විරිත් වැකිෙය් ‘ඔබ මහ කිවියෙක් - වෙත්වා අරුත් පද වැකි’ ලෙසින් පටන් ගන්නෙ ම සුබ පැතුමකින්. එනම් කාටත් මේ කාව්‍යකරණයේ නිරත වීමට හැකියාව ලැබේවා කියන හොඳ අදහසින්.

‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟී’ වැනි කියමන් හැමදාට ම වලංගු යි. ‘විරිත් වැකිය’ අවසානයේ තියෙනවා ආධුනිකයන්ට නිදර්ශන සමූහයක්, මේ මේ මාතෘකා යටතේ කවි නිර්මාණය කරන්නට කියලා. උදාහරණයක් වශයෙන්:

‘මකුළුවා දැල වියා රැක සිටී’, ‘මැලවෙන මල පිපෙන මලට දෙන ඔවදන්’ වැනි දේ එහි සඳහන් වෙනවා. ඒ කාලෙ හැටියට මේවා හරි අලුත්. ඔහු හදවතින් හොඳ කවියන් බිහි වනු දක්නට කැමැත්තෙන් හිටියා.

‘දොරට වැඩුම’ කාව්‍ය පන්තියේ එන ෙම් කවි පෙළ ගන්න.

‘සුදෝ සුදු වැ වලාකුළෙනි
ඇයි මේ සිල් ගත්තා වැනි
මඟුලට කළු නොනියි බැවිනි
එය හැර අපි යමු මෙ-වෙසිනි’

ඔහු වලාකුළට පවා ආමන්ත්‍රණය කරනවා. ‘නැළැවිල්ල’ කවි පන්තිය ගන්න. කුඩා බිලිඳුට නිඳාගන්නට සුදුසු පරිසරය සකස් කරන්නේ කෙසේ ද යන්න මෙයින් කදිමට නිරූපිත යි. බලන්න පහත කවිය:

‘උණු වැඩි යැ යි හිරුගෙ රැස්
තෙමා නැවැත ගෙනෙන ලෙස්
ගියේ යැ වැදැ මුහුදු කුස්
පෙනේ ද ආදර වෙසෙස්’

නිරායාසයෙන් ගලා එන රීතියක් තියෙන්නේ. එළිසමය ඉබේ ම ගොඩනැඟුණු එකක්; හිතා-මතා අමාරුවෙන් යොදපු එකක් නො වෙයි. විරිත නැළැවිල්ලකට ඉතා උචිත යි. පද පෙළ රිද්මානුකූල යි.

එතුමා කවිත්වයට ඇති ප්‍රධාන බාධාවක් වශයෙන් දැක්වූයේ අනුන්ගේ අදහස් කොපි කිරීම යි. ශ්‍රී රාහුල හාමුදුරුවො වුණත් සමහර සංස්කෘත ශ්ලෝක පරිවර්තනය කරලා තියෙනවා සිංහලයට. ඒවා ‘පරිවර්තන මිසක් කවි නො වේ’ කියලා කුමාරතුංගයන් කිව්වා - රාහුල හාමුදුරුවෝ කුකවියෙක් කියලා එතුමා කිව්වෙ නැහැ. එහෙත් ඒ කාලෙ ‘කුමාරතුංග රාහුල හාමුදුරුවන්ට කුකවියා’ කිව්වා කියලා ඔහුට විරුද්ධව පිරිසක් නැඟී සිටියා. එහි ප්‍රතිඵලය වුණෙත් සාරගර්භ විවාදයක්. කුමාරතුංග මහත්මයා අර හැමෝම එක්ක තනි ව ම කළ වාදය තමයි ‘කුකවිවාදය’.

ගුරුළුගෝමීන්ගෙ, විද්‍යාචක්‍රවර්තීන්ගෙ, ධර්මසේන හිමියන්ගෙ ආදී රීති හොඳින් හදාරා, එයින් සකසාගත් භාෂා රීතියක් කුමාරතුංගයන්ට තියෙනවා. ඒක භාෂාව තිබෙන තාක් කල් හැමදාට ම වලංගුයි.

කුමාරතුංගයන්ගේ විවරණ කෘතිවලින් සිදු වූ අප්‍රමාණ සේවාවත් අපට එතුමා සිහි කරන මේ අවස්ථාවේ සඳහන් නොකර බැහැ...

අපට අනුරාධපුර යුගයේ සිට ඉතිරි ව තිබෙන වටිනා සාහිත්‍යයක් තිබෙනවා. භාෂා සාහිත්‍යය පිළිබඳ බොහොම උනන්දුවක් ඇති වුණා කුමරතුඟුවන්ගේ විවරණ පොත් මඟින්. කුමාරතුංගයන් කළ මයූර සන්දේශ විවරණයට එතුමා ඉංග්‍රීසියෙන් ලියූ දීර්ඝ පෙරවදන කියවුවාම එතුමාගේ ඉංග්‍රීසි භාෂා චාතුර්යයත් පැහැදිලි වෙනවා. තිසර සන්දේශ විවරණයේදී එහි කර්තෘ හඳුනාගැනීමට ගන්නා ප්‍රයත්නය, සැලළිහිණියේ රස මතු කරන ආකාරය ආදිය විශිෂ්ට යි. එළුඅත්තනගලු වංස විවරණය ගත්තොත් පැහැදිලි ව ම එයට විශිෂ්ට යුක්තියක් ඉටු කොට තිබෙනවා. අපපාඨ තිබුණු තැන් කුමාරතුංගයන් නිවැරැදි කළ අවස්ථාත් තියෙනවා. සමහර අය කියනවා, කර්තෘගේ පාඨයක් එහෙම වෙනස් කරන්න අයිතියක් නෑ කියලා. ඒවා මතභේදයට ලක් වුණා. ඒත් ඔහු එය අභීත ව නිවැරැදි කළා. කව්සිළුමිණට විවරණයක් ලියන්න කුමාරතුංගයන්ට කඩදාසි තිබුණේ නැහැ. ඒ කාලේ යුද්දෙ නිසා කඩදාසි හිඟයක් තිබුණා. ඒ නිසා කෙටියෙන් ‘කව්සිළුමිණි පෙළගැස්ම’ ලිව්වා. අපූරු කවිත්වයක් මතු වෙන ආකාරයට යි එය පවා ලියා තිබෙන්නේ.

ඇත්තෙන් ම කුමාරතුංගයන් ජීවත් වූ කෙටි කාලය ඇතුළත කළ සේවාව ගැනත් එතුමාගේ අප්‍රමාණ පාණ්ඩිත්‍යය, නව පරපුරක් තැනීමේ අභිලාෂය, අදීනත්වය, ශාස්ත්‍රාභිලාෂී භාවය, නව චින්තනය ආදී මේ සියලු දේ ගැන කතා කරන්නට මේ වැනි කෙටි පුවත්පත් ලිපියකින් අපහසු බව යි, මගේ හැඟීම. විශේෂයෙන් වැදගත් වන්නේ ඔහු ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය වැනි සිද්ධාන්ත පොත් ලියපු මහා වාග් විද්‍යාඥයෙක් වගේම නැළැවිල්ල, හීන්සැරය, හත්පණ වගේ ළමා මනසට පොත් ලියපු කෙනකුත් වීමයි. එයින් පෙනෙන්නේ ඔහුගේ පරාසයේ පෘථුල බව යි. කුමරතුඟුවන්ගේ කවියකින් ම එතුමා ගැන කරන මේ හැඳින්වීම අවසන් කරන්න මම කැමැති යි. එතුමා ලියූ මේ කවි පදය වගේ ම එතුමාත් අතගැසූ හැම වැඩක් ම ඉතා සාර්ථක යි:

‘යන්තමකට හෝ අතගැසුවයි
වියැළී ගිය දඬුවත් ලියලයි...’

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්