සිළුමිණ: සිත්මල්යාය - මොන සැප තිබුණත් තනිකම කියන දේ දරා ගන්න හරිම අමාරුයි
මොන සැප තිබුණත්
තනිකම කියන
දේ
දරා ගන්න හරිම අමාරුයි
මම තිගැස්සී ඇහැරුණෙමි. මෙතරම් වේලාවක් මා දැක ඇත්තේ සිහිනයක් බව අවබෝධ
වූ පසු මගේ සිතට දැනුණේ මහත් අස්වැසිල්ලකි. පසුගිය රාත්‍රියේ ප්‍රමාණවත්
නින්දක් නොලැබීමත්, ගමන් වෙහෙසත් නිසා දෙපැයකට ආසන්න වේලාවක් මා නින්ද
වෙනුවෙන් ගත කර ඇති බව රෝස පැහැති බිත්තියේ සවි කර තිබූ අලංකාර රාමුවකින් යුත්
බිත්ති ඔරලෝසුව මට සිහිපත් කළේය.
මගේ කාමරය තුළට නොවැසු ජනෙල් පෙළ තුළින්
යන්තමින් අඳුර කාන්දු වෙමින් තිබිණ. මම ඇඳ මතින් නැගිට ජනෙල් පෙළ අසළට ගමන්
කළෙමි. ඒ වන විට ද මගේ තෙත කොණ්ඩය තරමක් වියළී තිබුණේ විදුලි පංකාව ක්‍රියාත්මක
කර තිබූ නිසා විය යුතුය.
මම ජනෙල් තිර මෑත් කර පිටත බැලුවෙමි. පරිසරය පුරා ද අඳුර කැටි ගැසෙමින් තිබිණ.
අවට වූ කඳු පන්තීන් මහත් අලංකාරයෙන් දිස් විය. කඳු වැටිවල අතරින් පතර දිස්
වූයේ නිවෙස්වල දල්වා තිබූ පහන්වල ආලෝකය වන්නට ඇතැයි මට සිතිණ.
“ටක්... ටක්... ටක්...”
කිසිවෙකු සිහින් හඬින් දොරට තට්ටු කරන හඬ ඇසිණ. මට මා දුටු සිහිනය සිහිපත් විය.
යළිත් දොරට තට්ටු කරන හඬ ඇසිණ. දොර වෙත ගමන් කළ ද දොර විවෘත කිරීමට මට බියක්
දැනිණ.
“මිස්...”
සිහින් ගැහැනු කටහඬක් පිටතින් ඇසිණ. ඒ කමලා විය යුතුය. මම දොර හැරියෙමි. හිස
මුදුනට කර කෙටි කොණ්ඩය ගැට ගසාගෙන තද පැහැති ඒප්‍රනයකින් සැරසී සිටින කමලා දොර
අසල වූවාය. ඇගේ අතෙහි තේ බන්දේසියක් විය. මා දුටු කමලා සිනාසුණාය.
“අපේ මැඩම් මේ වෙලාවට තේකක් බොනවා. ඒ ගමනම මිස්ටත් තේ ගෙනාවා.”
“බොහොමත්ම ස්තුතියි.”
මම තේ කෝප්පය අතට ගතිමි.
“මිස්ට කම්මැලි ඇති.”
බන්දේසිය ඒ මේ අත පද්දන කමලා පැවසුවාය.
“ඔව්. මට නින්දකුත් ගියා.”
“මහන්සියට වෙන්න ඇති. අද දවසෙ මිස් විවේක ගන්න.”
“මට තේරුම් ගන්න බෑ. මොනවද මට කරන්න තියෙන්නෙ? මැඩම්ව බලා ගන්න? කවන්න පොවන්න?
නාවන්න? මට ඒ හැමදේම පුළුවන්. මගේ අම්මත් මේ වගේ අසනීපයෙන් එක්තැන් වෙලා
හිටියනේ.”
මම හිස් තේ බඳුන බන්දේසිය මත තැබුවෙමි. එය පසෙක වූ කනප්පුව මත තැබු කමලා
අනුකම්පාව මුසු දෙනෙතින් මදෙස බලා සිටියාය.
“කමලා මට කරන්න ඕන දේවල් කියා දෙන්න. මට ඕන දෙයක් කරන්න පුළුවන්.ÓÓමිස් ඒ මොනවත්ම
කරන්න ඕන නෑ.”
“එහෙනම්?”
“අපි චුට්ටක් කතා කරමු. මිස්ව දැන අඳුන ගන්නත් ආසයි. එන්න අපි යමු බැල්කනියට.”
දිගු කලකට පසු සමීප මිතුරියක් හමු වූවාක් මෙන් මගේ සිතට සතුටක් දැනිණ. මම කමලා
පසුපසින් සඳැල්ලට ගමන් කළෙමි. සඳළුතලයේ වූ වේවැල් පුටුවක් මට අතින් දැක්වූ
ඇය ඒ අසල වූ කුඩා පුටුවක් මත හිඳ ගත්තාය.
“ගොඩක් වෙලාවට මම මැඩම් හැන්දෑවට මෙතනට එක්ක එනවා. අවට ලස්සන බල බලා මෙතන ඉන්න
මැඩම් හරිම ආසයි.”
මා වටපිටාව දෙස බැලුවේ සතුටිනි. මඳ අඳුරින් වැසී තිබුණ ද, අවට පරිසරය
අතිශයින්ම චමත්කාරජනක විය. බටහිර අහස රන්වන් පැහැයත්, තද රතු පැහැයත්
තැවරුණු අපූරු සිත්තමක් නොවේදැයි මට සිතිණ.
“ලස්සනයි.”
මට ඉබේටම මෙන් කියවිණ.
“මිස් තව ලස්සන දැක්කෙ නෑ. පාන්දරට මෙතනට ආවම හිතෙනවා හරියට පාරාදීසෙට ආවා
කියලා.”
මෙම නිවසෙහි වැඩ පළ කළ ද කමලාට ඇත්තේ සුන්දරත්වය හඳුනන හදවතක් නොවේදැයි මට
සතුටක් දැනිණ.
“අර... අර පේනවා නේද මිස්?”
කමලා ඈත වූ කිසිවක් අතින් දැක්වුව ද, කැටි ගැසෙමින් තිබුණු අඳුර මිසක අන්
කිසිවක් මට නොපෙනිණ.
“මං කිව්වෙ අර... උස... ගස් පේළියක් පේන්නෙ. අන්න එතනින් ටිකක් එහාට ගියාම
තියෙනවා ලස්සන දොළ පාරක්. වතුර ටික හරිම පිරිසුදුයි. එතනට ගියාම නම් මිස්
ජීවිතේ මේ තරම් දුකක් කියලා කීයටවත් හිතෙන්නෙ නෑ. එච්චරටම ලස්සනයි.
නිස්කලංකයි.”
“ජීවිතේ දුකක්?” යි මට ඉබේටම මෙන් කියවිණ. කමලා දුක්මුසු සිනාවක් නැගුවාය.
“හිතලා කිව්වා නෙමෙයි. ඒ වුණාට ඇත්ත ඒකනෙ මිස්. සැපයි සැපයි කියලා ළං කර ගන්න
හැමදේම අන්තිමේදී දුකක්...”
කමලා ඇය පැලඳ සිටි උපැස් යුවළ ගලවා ඒප්‍රනයේ කෙළවරකින් එය පිස නැවතත් ඇස ලා
ගත්තාය.
“මගේ ජීවිත කතාව මං මිස්ට පස්සෙ වෙලාවක කියන්නම්. මොකක්ද මං මේ කිය කියා
හිටියෙ...? ආ... දොළ පාර? සමහර දවස් වලට මං ඔය දොළ පාර ළඟට වෙලා පැය ගණනක් වාඩි
වෙලා ඉන්නවා. එතකොට මට දැනෙන්නෙ දොළ පාරයි, අවට ගස් කොළනුයි, නිස්කලංක බවයි
හැමදේම මාත් එක්කම බද්ධ වුණු දේවල් වගේ. ගොඩාක් වෙලා අහගෙන ඉන්නවා. මට දැනෙන්නෙ
මිස් ඒ නිශ්ශබ්දතාවය මාත් එක්ක කතා කරනවා වගෙයි.”
මම සිනාමුසු මුහුණින් යුතුව කමලා දෙස බලා සිටියෙමි. ඇය පසුවන්නේ මගේ අක්කා
පසුවන වයසෙහි විය යුතුය. එහෙත් මෙතරම් සුන්දර හිතක්... සුන්දර කල්පනාවක්? මගේ
අක්කාට ද මෙතරම් සොඳුරු සිතක් හිමි වූයේ නම් මේ වන විටත් මම අම්මාගේ සුවඳත්,
අම්මා සහ අප්පච්චීගේ මතකයත් ඉව අල්ලමින් මහ ගෙදර රැඳී සිටිනවා නොවේ ද?
මගේ මුවින් ඉබේටම මෙන් සුසුමක් පිට විය. කමලා මා දෙස සෘජුව බැලුවාය.
“මිස් දුකෙන්?”
හිඳගෙන සිටි පුටුව මා වෙත වඩාත් ළං කර ගත් ඇය ඇසුවාය. අඳුර විසින් ඇගේ මුහුණින්
පළ වන හැඟීම් මා කෙරෙන් වසන් කළේය. කිසිවෙකු නිවසේ විදුලි පහන් දල්වමින් සිටින බව
පෙනෙන්නට වූ නමුදු සඳැල්ලට ඒ වනතුරුත් ආලෝකය නොලැබිණ. අඳුර විසින් මීට ස්වල්ප
වේලාවකට පෙර බටහිර අහසෙහි වූ රත් පැහැයත්, රන් පැහැයත් මකා දමා තිබූ අතර, ඈත
ගස් අතරින් ඉදුණු දෙහි ගෙඩියක පැහැය ගත් සඳක සේයාව පෙනිණ.
“මිස්ට කරන්න ඒ හැටි දෙයක් නැහැ. මැඩම් නාවන, කවන පොවන, රෙදි පෙරෙදි සෝදන හැමදේම
මං කරනවා.” කමලා පැවසුවාය.
“එතකොට මං?”
“අපේ සර් මිස් ගෙන්න ගත්තේ මැඩම්ගේ තනි නොතනියට. අපේ මැඩම් ඉන්න වයසෙ කෙනෙකුට
මොන සැප තිබුණත් තනිකම කියන දේ දරා ගන්න හරිම අමාරුයි මිස්...”
කමලා පැවසුවේ ශෝකී ස්වරයෙනි.
“තනි නොතනියට කියලා හතර පස් දෙනෙක්ම අපේ සර් මේ ගෙදරට ගෙන්නුවා. ඒත් ඒ කිසිම
කෙනෙක් අපේ මැඩම් තේරුම් ගත්තෙ නෑ. අන්තිමේදී වුණේ වෙන වෙන අයත් එක්ක සම්බන්ධකම්
හදාගෙන මැඩම්ගෙන් ඈත් වුණු එකයි.”
“වෙන වෙන අය කිව්වෙ?”
මම ඇසුවෙමි. කමලාගේ මුහුණ පැහැදිලිව පෙනුණේ නම් එහි සටහන් වන්නට ඇත්තේ
පසුතැවිල්ල විය යුතුය. තමා අතින් නොකිව යුතු යමක් කියවූයේදැයි ඇය
පසුතැවෙනවා වන්නට ඇතැයි මට සිතිණ. මට මිගාර සිහිපත් විය.
“තව ටික කලක් මේ ගෙදර ඉන්නකොට මිස් මං කියපු දේවල් තේරුම් ගනීවි. දැනට මිස්ට කරන්න
තියෙන්නෙ මං මැඩම්ගෙ වැඩපළ ඉවර කළාට පස්සෙ මැඩම් එක්කම කාලය ගත කරන එකයි. පොත්පත්
කියවන්න, සින්දු කියන්න, කතන්දර කියන්න, පිරිත් අහන්න... අපේ මැඩම් හරියට පුංචි
ළමයෙක් වගෙයි. සමහරවිට මැඩම් වගේ තරුණ වයසෙ ඉන්න කෙනෙකුට මේ දේවල් අමාරු වෙන්න
පුළුවන්. ඒත් හිත හදාගෙන කරන්න පුළුවන්නම් මිස්ට කැමැති කාලයක් මේ ගෙදර ඉන්න
පුළුවන්....”
මට අම්මා සිහි විය. කමලා පවසන්නේ සත්‍යයක් නොවේදැයි මට සිතිණ. අම්මා ද මේ තනිකම
කලක් වින්දාය. අප්පච්චි මියගොස් වැඩි කලක් යන්නට පෙරම සොයා ගත නොහැකි වූ රෝග
පීඩාවකින් එක්තැන් වූ ඇය අක්කා විවාහ වී අලුත් නිවසක් තනාගෙන මහගෙදරින් පිටව
යාමත් සමඟම දැඩි ලෙසින් තනිකමෙන් පීඩා වින්දාය. එකල පරිගණක ක්‍රියා
කරවන්නියක් ලෙසින් පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි මට අම්මා හමු වූයේ
පාන්දරටත්, රාත්‍රී කාලයේත් පමණකි. තනි නොතනියට ඩිංගිරි මැණිකා ළඟ සිටිය ද,
අනෙක් සියලුම අම්මාවරුන්ට මෙන්ම මගේ අම්මාට ද උවමනා වී තිබෙන්නට ඇත්තේ ඇය
බිහිකළ දියණියන් දෙදෙනා තමා සමීපයෙහි රඳවා ගැනීමට වන්නට ඇතත් ඇය ඒ පිළිබඳව
කිසි කලෙක මැසිවිල්ලක් නොනැඟුවාය.
“හෙට පෝය නේද පුතේ?”
අම්මා ඇගේ කාමරයේ බිත්තියේ එල්ලා ඇති විශාල ඉලක්කම් වලින් යුත් කැලැන්ඩරය දෙස
බලාගෙන මගෙන් විමසන අයුරු මට සිහි විය.
“ඔව්. හෙට නිකිණි පෝය. ඇයි අම්මා?”
මම අම්මාගේ ඇඳ මත හිඳ ගනිමි. අම්මා නඟන මඳහස මගේ මතකයට නැඟෙන්නේ නිතැතිනි.
“නෑ. මං නිකමට ඇහුවෙ. හෙට මගේ චූටි මැණික වැඩට යන්නෙ නෑනෙ.”
එවන් ඇතැම් රජයේ නිවාඩු දින මා විදුෂ හමු වීමට යොදාගෙන තිබුණ ද, අම්මාගේ දෙනෙත්
පවසන ආයාචනාවට පිටු පා හමු වීමට යාම මට කිසිසේත්ම කළ නොහැකි විය. එවන් දිනෙක
රාත්‍රී කාලයේ මා විදුෂ දුරකතනයෙන් අමතන්නේ ඔහු හමුවීමට නොහැකි බව
පැවසීමටය.
“මනහාරි. ඇයි නින්ද යන්නෙ නැද්ද?” විදුෂ විහිළු කරයි.
“නින්ද යන්න නිදාගන්න එපායැ?”
“හෙට දවස ගැන හීන බල බලා ඉන්නෙ නැතිව නිදා ගන්නවා. මේ මටත් නිදාගන්න දීලා.”
“මට සමාවෙන්න විදුෂ. හෙට මට එන්න වෙන්නෙ නෑ කියන්නයි කතා කරේ.”
විදුෂගේ කෙළිලොල් කටහඬ මඳකට ගොළු වෙයි. ඔහුගේ නිහඬතාවය මගේ සිත තුළ ඇති
කරන්නේ මහත් ශෝකයකි.
“මම ගෙදර ඉන්නෙ නිවාඩු දවසට විතරයි විදුෂ. හෙට මම අම්මා ළඟ ඉන්න ඕන.”
“කමක් නෑ.”
විදුෂ දුරකතනය විසන්ධි කරයි. මීට පෙර අවස්ථා කීපයකම මෙම සිදුවීමම සිදු වී
තිබුණෙන් ඔහු මා සමඟ අමනාප වන්නට ඇතැයි මා සිතන මුත් ඔහු එය සෘජු ලෙසින්
නොපවසයි. විදුෂ හා එකම විශ්ව විද්‍යාලයේ සේවය කළ රුවිනි ඔහුගේ ජිවිතයට
පිවිසෙන්නට ඇත්තේ මා අතින් සිදු වූ මෙම ප්‍රමාදයන් හේතුවෙන් විය යුතුය. එහෙත්
ළමා කල බැඳි මිත්‍රත්වය පදනම් කර ගත් ප්‍රේමය එක්වරම බිඳ හෙළමින් ඇගේ ජීවිතයට
සමීප වීම ඔහුට ද අසීරු කරුණක් වන්නට ඇත.
“මිස්...”
මගේ කල්පනා දැහැන බිඳ දමමින් කමලා ඇය හිඳ සිටි පුටුව පසෙකට කර නැගී සිටියාය.
ලබන සතියට
|